top of page

🌺🌺මට හිමි ඔබයි🌺🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Nov 22, 2020
  • 7 min read

💞මට හිමි ඔබයි💞

(9 වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2720335891575098/

අපි උදේ 9.30 පමණ වනවිට කොළඹ කොටුව ස්ටේෂමට බෙන්තර සිට කෝච්චියෙන් පැමිණියෙමු. කොළඹ කොටුව ස්ටේෂමෙන් බැස ගත් අපි බාප්පා පිටුපසින් කිසි කතාබහක් නැතුව ගියෙමු. ස්ටේෂමේ සිටි සෙනග කන්දරාව දුටු පසු මට ඇති වුනේ කතා කරගත නොහැකි තරම් බයකි. මේ දැන් අපි ඉන්නේ කොළඹ කොටුවේ යන්න හිතට දැනෙන කොට සතුටක් සමග තිගැස්මකුත් ඇතිවේ....

කොළඹ දුම්රිය නැවතුම්පොළ මම හිතුවාට වඩා විශාල එකක් විය. එහි බෑග් මළු උස්සාගෙන එහෙ මෙහෙ දුවන, ඇවිදන මිනිසුන් ඇගේ හැපි හැපි යයි....උදේ පාන්දර ස්ටේෂමේ කඩළ, වඩේ, ටොපි විකුනන වෙළදුන්න්ගේ සද්දය, කෝච්චි සද්ද, අවට පාරේ යන වාහන සද්ද...මිනිසුන්ගේ සද්ද නිසා එහි ඇත්තේ එකම කළබලයක ස්වරූපයකි. අප තිදෙනා අපේ සූට්කේස්, බෑග් මළු උස්සාගෙන බාප්පා පසු පස ගියෙමු . ඔහු ලොකු අඩි තබමින් යන පසු පස අපි දුවගෙන මෙන් ගියෙමු.


කොළඹ දුම්රිය පොලේ ඇතුලත සිට අපි එයින් එළියට ආ කල...එහි ඉදිරිපිට ඇති පාර දෙපැත්තේ හා පේනතෙක් මානෙට ඇති උස කොට ගොඩනැගිලි වගේම පාරේ යන වාහන ගොඩක් දකින්න ලැබුනි. ඒ වගේම මිනිසුන්ද විශාල ප්‍රමානයක් කළබලේ එහේ මෙහේ යන හැටි දකින්න ලැබුනත්, මට ඒවා නැවති බලන්න අවස්තාවක් නොවීය. බාප්පා කළබලේ පය ඉක්මන් කර යන ගමන පසු පස අපත් ගියෙමු.


බාප්පා අප තිදෙනාට ඉස්සරහින් දිගටම ඇවිද ගොස් නැවතුනේ...දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ තිබුන තේ කඩයක් ලගය.


එදින උදේ තේ කෝප්පයක් පමණක් බී ගෙදරින් පිටවුන නිසා අපි හැමෝම හොඳටම බඩගිනි වි සිටියෙමු. නමුත් අම්මා ,කෝච්චිය තුලදි අපට ගෙදරින් ගෙනා අතිරස වගයක් කන්න දීපු නිසා, අපට කොළඹට එනකම්, බඩගින්න ඉවසාගෙන ඉන්නට පුලුවන් විය. දිගටම අපට ඉස්සරවි, ඇවිදගෙන ආ බාප්පා තේ කඩය ලග නැවතී අප තිදෙනාට එහි ඇතුලට යන්න කීය.


"දැන් මේ ළමයින්ට බඩගිනි ඇතිනේ...අපි මොනව හරි උදේට කාලම ගෙදර යමු....අපට තව බස් එකක නැගලා තමයි අපේ ගෙදර යන්න තියෙන්නේ ....."


"අපට ගෙදර යන කම් ඉන්න පුලුවන් මහත්තයා ....ගෙදර ගිහින්ම මොනව හරි හදාගෙන කමු...අපරාදේනේ සල්ලි නාස්ති කරන්නේ...."අම්මා බාප්පාට එසේ කීය.


"නෑ ..නෑ...ඒකට කමක් නෑ...මේ පොඩ් දරුවට බඩගිනි ඇති....යමු යමු ඇතුලට..."


තේ කඩයේ හතරැස් මේසයක් ඉදිරිපිට අප හතරදෙනා වාඩිවු පසු ,බාප්පා කඩේ වේටර් කොළුවා කැදවා අපට උදේට කන්න ඉදිආප්ප පරිප්පු පොල්සම්බෝල ගේන්න කීය.


"මහත්තයා, කිරි මාළුත් ගේන්නද...?


"නෑ ...නෑ..මාළු ඕන නෑ....පරිප්පු ,පොල්සම්බෝල ඇති...."අම්මා කට දැම්මාය.


"නෑ..කමක් නෑ කිරි මාලුත් ගේන්න ..."


ටික වේලාවකින් වේටර් කොළුවා ඉදිආප්ප පිගානක් සමග පරිප්පු, පොල්සම්බෝල පොඩි දීසි දෙකක් ගෙනත් මේසෙන් තැබීය. පසුව ඔහු මාලු කෑලි හතරක් දමාපු දීසියක්ද ගෙනවිත් මේසයෙන් තැබු කල මම අම්මාගෙ මුහුන බැලීය. අම්මා මට ඇහෙන් කීවේ ඒ මාළු කන්න එපා කියායි....ඒ බාප්පාට වැඩිපුර මුදල් වියදම් වෙන නිසා බව මට තේරිනි.


"රුවිනි ,කසුනි දුවේ ඇතිවෙන්න ඇරගෙන කන්න..."


මුලින්ම බාප්පගෙ පිගානට ඉදිආප්ප , පරිප්පු පොල්සම්බෝල හා මාළු කෑල්ලක් බෙදාදී පසුව අම්මා, අක්කාටත් මටත් කෑම බෙදන තෙක් අපි බල උන්නෙමු. ඉදිආප්ප මහ ගොඩක් තිබුනාට, පරිප්පු හා පොල්සම්බෝල නම් තිබුනෙ බොහොම පොඩි දීසි දෙකක්‍ ය. අම්මා බෙදා දුන් ඉදිආප්ප මම කටට දෙකට කන්නට විය. අක්කානම් මා මෙන් පේරේත නැති බව මම දනිමි. අම්මා බෙදා දුන් ඒවා කෑවාට පසු මම තවත් ඉදිආප්ප දෙකක් මගේ පිගානෙට බෙදාගත් විට අම්මා මා දෙස ඔරවා බැළුවේ ඔයතරම් කන්න එපා කියන්නා සේය. අක්කා නම් අම්මා බෙදාදුන් ඒවා කා අත සෝදාගත්තාය. මේසේ උඩ තිබුන මාළු දීසිය දෙස මම හොරෙන් බලමින් පරිප්පු හා පොල්සම්බෝල සමග ඉදිආප්ප කෑවෙමි. අම්මා මට ඇහෙන් ,මාළු කන්නට එපා කිව් පසු, මම ඒවා බෙදා නොගත්තෙමි. කෑම කෑවාට පසු වේටර් කොළුවා කහට තේ ගෙනාවේය. අපි තේද බීවෙමු. තේ බොන්නට මගේ බඩේ ඉඩ මදි වුනත් පෙරේත කමට මම එයද බීවෙමි. බාප්පා අපි කෑම කා අහවර වූ පසු බිල ගෙවා දමා....ඉතිරි කාසි දෙකක් මේසේ උඩ ,බිල සමග තිබුන පීරීසියට දැමීය. මට එය ප්‍රෙරෙහෙලිකාවක් විය. මම ඒ දෙස බලා සිටිනවා දැක බාප්පා...


"ඒක දුවේ,අපට කෑම ගෙනත් තියපු වේටර් කොළුවට සංතෝෂයක් විදිහට තිබ්බේ..."කීය.


මම බාගෙට හිනාවි ඔලුව වැනුවෙමි. තාත්තා ජීවත්ව ඉන්නා කල, අපද ඉදහිට වන්දනා ගමන් ගිහින් තිබුනත්....ඒ යන හැම ගමනකටම, අම්මා ගෙදරින් කෙහෙල් කොළ වලට බත් මුල් බැදගෙන, ගෙදරම හදාගත් කැවිල්ලක් හදාගෙන යන නිසා, අපට කෑම කඩවලින් කෑම කන්න ලැබී නොතිබුන තරම්‍ ය. හැබැයි මගේ ආසාව කඩවල තිබෙන කෑම කන්නටය. කොහොම හෝ අද මට ඒ ආසාවද ඉශ්ට විනි.


"එහෙනම් අපි යමු...අනෙක් බස් එක ගන්න...." බාප්පා එසේ

කියා අපේ ,ලොකු පෙට්ටියක් වැනි සූට් කේසය අතට ගත්තේය. තාත්තා ඉන්නා කාලයේ සිට, අපේ ගෙදර, අපේ ඇදුම් දා තිබුන එම සූට් කේසය පරන වී වහන යතුර කැඩී තිබුනෙන් අම්මා, එම බෑගය රෙදි පටියකින් නොඇරෙන්නට තද කොට බැද දමා තිබුනි. එම බෑගයට අමතරව අපේ පොත් පත්, උප්පැන්න සහතික, තාත්තාගේ ලියලියවිලි දමාපු ඇදුම් හා දුබුරු පාට පොඩි බෑගයද අපි කොළඹ ගේන්නට ගත්තෙමු . එම බෑගය අක්කා අතේය. අම්මා හා මම රෙදි මළු දෙකක අපේ ඉතිරි අතයාවශ්‍ය බඩු දමා රැගෙන ආවෙමු.


ඉන් පසු අපි ගියේ කොටුවේ බස් නැවතුමකටය.බාප්පා අපට එහි තිබුන බසයක බෝඩ් ලෑල්ල කියවා, අපට එයට නගින්න කියා, ඔහු බසයේ කොන්දොස්තර තැනගෙන් බස් ටිකට් පත් මිලදි ගත්තේය. බසයට නැග ජනේලයක් ලග ආසනයක, අක්කා සමග මම වාඩිගත්තෙමි. බාප්පා හා අම්මා වෙනත් ආසනයක වාඩි ගත්හ.


අප නැග ගත් බසය, කොළඹ කොටුවේ සිට

කොළොන්නාවේ පිහිටි බාප්පාගේ ගෙවල් කිට්ටුවට එනතෙක්, අවට පාර දෙපැත්තේ සිරි නරඹමින් මම ආවේ හරි සතුටෙනි. අක්කා නම් අම්මා, බාප්පා, කියන කියන දේ කරමින් මුව අගුළු දාගෙන ඉදී. ඇයට අවශ්‍ය කොළඹ ඉස්කෝලෙකට යන්නට පමනය.


කොලොන්නාවෙන් බසයෙන් බැස අප ඇවිදගෙන, බාප්පාගෙ ගෙදර පිහිටා තිබුන පැත්තට ගියෙමු. බාප්පාගෙ ගෙදරට යන පාර දෙපැත්තේ , ගෙවල්, එක ලග සාදා තිබුනි. සමහර තැන්වල ගෙවල් එකට අල්ලා ඇත. එම ගෙවල් ගොන්න එක ලග කිට්ටුවෙන් සාදා තිබුන නිසා එම පරිසරයේ දක්නට ලැබුනේ කළබල කාරී පෙනුමකි. ගැහැනු මිනිසුන් නිතර එහෙ මෙහෙ යන අතර, පොඩි දරුවන් පාර මැද බෝල ගසනු පෙනේ...සමහර දරුවන්.. වාහන ටයර් පෙරලාගෙන් පාර දිගේ යයි. තවත් තැනක ළමයින් දෙතුන් දෙනෙක් එකතු වී පොරකමින් "ටීක් බෝල" ගසනු පෙනේ....ගෙයක් ලග පාරේ ගෑහැනු මිනිසුන් දෙතුන් දෙනකු ඕපාදූප කතා කර කර ඉදිනු පෙනේ....එම ගෙවල් ගොන්න පසුකර අප ටිකක් නිදහස් පැත්තකට පැමිනියෙමු.


අම්මත් අක්කත් බිම බලාගෙන ඒ පාර දිගේ ඇවිද ආ අතර, මම බාප්පා ලගින්ම වටපිට, ඕපාදූප බලමින් ගියෙමි. තව දුරක් පටු පාරක් දිගේ ඇවිද ගිය පසු, බාප්පාගෙ ගේ යැයි සිතිය තැනක බාප්පා නතර වීය....ඒ ගේ දොරකඩට ගිය

බාප්පා එහි දොර අරිනකන් අපි ඔහුගේ පසුපසට වී සිටියෙමු. එවිට අපට ඈත ගෙවල් වල ගැහැනුන් හා පිරිමින් සැරින්සැරේ එළියට ඇවිත් අප දෙස බලන අයුරුද පෙනින.


“ඔහොම තමයි මේ පැත්තේ. අඳුනන්නේ නැති කවුරු හරි ආවොත් බලන එකමයි වැඩේ....."

අම්මයි, අක්කයි අපහසුවෙන් වටපිට බලනවා දැක බාප්පා කීවේය.


“මහන්සි ඇතිනේ....එහෙනම් ගෙට ඇවිත් ටිකක් ගිමන් අරින්නකෝ....., ගේ පිටිපස්සේ ළිඳ තියෙන්නේ... පස්සෙ ගිහින් මූණකට හෝදගන්න බැරියෑ....."


බාප්පාගෙ ගෙදර, සාලයක්, කාමර දෙකක්,කෑම කාමරයක් හා කුස්සියකින් සමන්විත විය. එය ටිකක් පැරණි බාප්පලාගෙ මහ ගේ බව ලොකු මාමා කියනවා මට මතකය.


"මේ ඉස්සරහ කාමරේ මගේ....ඒකෙ මීට පස්සේ සුද්දිටත් ඉන්න බැරියැ ....ඔය පිටිපස්සෙ කාමරේ දුවලා දෙන්නට ඉන්න පුලුවන් ....ඕවා පස්සෙ හෙමිහිට අස්කරලා ගන්න.....ඔය කාමර වල තියෙන අල්මාරියේ කබඩ් වල ඔයගොල්ලන්ගෙ ඇදුම් දාගන්න...." බාප්පා අම්මට ආදරේට සුද්දි යැයි දෙතුන් විටක්ම කියනවා ඇසීම අක්කටත් මටත් නුහුරු විය. නමුත් අපේ ගමේ වෙන ගැහැනුන්ට වඩා අම්මා බොහෝ පැහැපත් නිසා අපේ තාත්තාද අම්මාට සුදුනෝනා කියනවා අපට තවමත් මතකය.


"මේ ගෙදර ඔයගොල්ලන්ගෙ මහ ගෙදර කිව්වා නේද....එතකොට අම්මා නැති වුනාට පස්සේ ඔයා තනියමද මේ ගෙදර හිටියේ...."


" අම්මා නැති වුනාට පස්සෙ ...මම ඔයගොල්ලන්ගෙ ලොකු මල්ලියි තව වැඩපලේ කොල්ලෙකුයි එක්කනේ මේ ගෙදර හිටියේ...ඔයාගෙ ලොකු මල්ලි තමයි මට යෝජනා කලේ ඔයගොල්ලෝ මෙහෙට එක්ක එන්න කියලත් ...."

"ලොකු මල්ලි මට කිව්වා ..."


" සුද්දි.... මේ පැත්තේ ගොඩක් ඉන්නේ ඕපදූප හොයන මිනිස්සු.... ඒක නිසා ළමයි දෙන්නටත් හොඳ ඇඳුමක් එහෙම නිතර ඇදගෙන ඉන්න කියන්න. ඔයත් අලුත් ඇඳුමක් ඇදගෙන ඉන්න.... මෙහෙට රෙදි හැට්ට ගැළපෙන්නේ නෑ. මං සෝමා අක්කාට කියලා , පුලුවන් ඉක්මනට ඔයාට ගවුම් දෙකක් මස්සවලා දෙන්නම්.....එතකම් සාරියක් පටලවාගෙන ගෙයින් එළියට යනකොට යන්න...."


"අපි ලිද ලගට ගිහින් ඇගපත හෝදගෙන එන්නද...?


"ඔව්...එන්න, මේ කුස්සියේ දොර ඇරගෙන මේ පැත්තෙන් යන්න.."


අම්මා අපව ළිඳ ළඟට එක්ක ගොස් ඇගපත සෝදා ගන්නට කීවාය. වෙනදා කොහේහරි යනකොට අඳින ගවුම් දෙකක් අප දෙන්නාට ගෙදරට ඇඳගන්නටද කීය.


“මෙච්චර හොඳ ගවුම්, අපරාදෙනෙ ගෙදරට අඳින්නෙ....?


“කමක්නෑ ආපු හැටියේ, අහල පහල මිනිස්සුන්ට හොඳට පේන්න ඉන්න ඕනේ....

අම්මා කීවාය.


“සුද්දි..... මං දවල්ට කන්න මොනවා හරි අරගෙන එන්නම්. ඇගපත හෝදගෙන දොර වහගෙන ටිකක් විවේක ගන්නකො....මම එනකම් "

බාප්පා එසේ කියාගෙන ගෙයින් එළියට බැස කොහේදෝ ගියේය.


අම්මා විගහින් ගෙදර ඉස්සරහ දොර වසා ගත්තේ නාඳුනන කවුරුත් ගෙට එයි කියා බයෙන් වගේය.


මමත්, අක්කාත් කාමරයේ තිබුන ලෑලි කබඩ් එකට අප දෙදෙනාගෙ ඇදුම් දමා කාමරයේ දුවිලි පිහිදා අතු ගා දැම්මෙමු. අම්මා බාප්පාගෙ කාමරය හා සාලයේ බඩුවල දුවිලි පිස දමා අතුගා දැම්මේ සතුටිනි.


පාන්දර නැඟිට්ට නිසාත් ඇගපත සෝදා ගත් පසු ආ නිදිමත නිසාත්, මමත් අක්කාත්, අප දෙදෙනාගෙ කාමරයේ

තිබුණු එකම ඇඳට වැටී නිදා ගත්තෙමු.


පැය දෙකක් පමණ නිදා ගැනීමෙන් පසු කාගේද කටහඬක් ඇසී මා නැඟිටින විට බාප්පා තව කවුදෝ ගැහැනුන් දෙන්නෙකු එක්ක ඇවිත් අම්මාට හඳුන්වා දෙනවා ඇසිනි.


“අපි ඉන්නවා නංගි බය වෙන්න එපා මොනාටවත්....."

ගැහැනු දෙන්නා කීහ.


අක්කාත් මමත් කාමරයෙන් එළියට එනවා දැක, එක ගැහැනු කෙනෙක්....


“කාගෙද මේ ළමයි....? කියා ඇසුවේය.


“හරි හරි දැන් උඹලා පලයල්ලා. සුදු හාමිනේට වුවමනාවක් වුණොත් උදවු කරපල්ලා. මමත් වැඩට ගියාම ගෙදර කවුරුත් නෑනේ....."


ගෑනු දෙන්නා මාත්, අක්කාත් දෙස බලමින් ගෙයින් එළියට බැස ගියහ.


“හැම කෙහෙල්මලක්ම ඕනේ....ඔහොම තමයි මේ පැතිවල හැටි....."

බාප්පා තරහෙන් කීවේය.


“රුවිනි එන්න බත් කන්න....."

මාව දැක බාප්පා මට කතා කළේය.

බාප්පා බත් පැකැට් හතරක් ගෙනැවිත් තිබුණේය. අක්කාත්, මමත් බත් පැකැට් කෑවෙ රස කරමින්‍ ය.. බාප්පාත්, අම්මාත් අනෙක් බත් මුල් දෙක කෑවේ කෑම කාමරයේ මේසය උඩ තියාගෙනය.


“හාල්, තුනපහ ටිකක් කඩෙන් ගේන්න.... මම රෑට කන්න උයන්නම්. හැමදාම මේ විදිහට කඩෙන් කන්න බැහැනේ....."


“ඔයාට තාම මෙහේ පුරුදු නැහැනේ.... අපි දවස් දෙකක් විතර කඩෙන් කමු...."


“අනේ ඕනෙ නැහැ....

මට පුළුවන් උයන්න. "


“එහෙනම් මම හවසට බඩු ගෙනත් දෙන්නම්.... මටත් දැන් කඩ කෑම,කාලා එපා වෙලා ඉන්නේ....."

බාප්පා කීවේය.


“ඔයාගේ අම්මලා තාත්තලා එහෙම ගොඩක් කල්ද නැති වෙලා..."


“ අම්මා නම් ගිය අවුරුද්දේ නැති වුණේ....තාත්තා මම පොඩිකාලේ නැති වුනේ .....අම්මා නැති වුනාට පස්සෙ තමයි .... ඒ දවස් වල , ඔයාගෙ මල්ලි මෙහෙ ඇවිත් නතර වෙලා හිටියේ....එදා ඉඳන් මේ ගෙදර මම එයත් එක්ක හිටියේ.....ඒ දවස්වල මල්ලි මට නිතර ඔයගොල්ලෝ ගැන කියනවා....මටත් ඉතිං සුදුනෝනා බලන්න, ගමේ ගිය වෙලේ.... දැකපු ගමන් හිත ගියානේ....ඒකයි මෙහෙ එක්ක එන්න හිතුවේ....


"අපේ මල්ලි නිසා තමයි අපට කොළඹ එන්න වාසනාව ලැබුනේ....ඉතිං මල්ලි මෙහේ හිටිය කාලේ ...ඔයගොල්ලෝ උයාගෙන කෑවද...?


"සමහර දවස්වලට මොනවහරි උයාගෙන කනවා.... හරි කම්මැලියි උයන්න .... ඒ හින්දා වැඩිපුර කඩෙන් තමයි කෑවේ..... අක්කයි, අයියයි දෙන්නම කසාද බැඳලා රත්නපුර පැත්තේ ඉන්නේ..... හිමිහිට පස්සෙ ඒ දෙන්නට කියනවා මාත් කසාද බැන්ද බව....."


“අපි ගැන දැන ගත්තොත් ගෙදරට ඇවිත් මට බැණලා යයිද...? ළමයි දෙන්නෙක් එක්ක ඔයාගෙ ඇගේ එල්ලුනා කියලා ...."

අම්මා බයෙන් මෙන් ඇසුවාය.


“ඔයා බය නැතුව ඉන්න. ඕන දේකට මං ඉන්නවා....මට හොද නිසානේ ඔයාව එක්ක ආවේ..... ළමයි දෙන්නගේ ඉස්කෝලෙ වැඩ කටයුතු ටික පුලුවන් ඉක්මනට කරන්නත් ඕනේ..... මං අඳුනන ඉස්කෝලෙක මහත්තයෙක් මේ ළඟ ගේක ඉන්නවා. මං අද හෙටම එහේ ගිහින් එන්නම්.....දරුවො දෙන්නට ඉස්කෝලේ වැඩ අතපසු කරවන්න හොදේ... මට ළමයින්ගේ ඉස්කෝලෙ සහතික ටික දීලා තියන්නකෝ....".

බාප්පා මගෙත්, අක්කාගෙත් උප්පැන්න සහතික හා පාසල් අස්වීම් සහතික ආදිය අම්මාගෙන් ඉල්ලාගෙන ඔහුගෙ ලග තියාගත්තේය.


“රුවිනි දුවේ....ඉස්කෝලේ යනකම්, පාඩම් පොත්ටික එළියට අරන් පාඩම් කරන්න...නැත්තම්

හැම දෙයක්ම අමතක වෙයි නිකම්ම හිටියොත්.....බාප්පා ඉතා කාරුනිකයයි මට සිතේ...ඔහු නිතරම අක්කයි මගෙයි ඕනෑ එපාකම් ගැන විමසයි.


“මට මෙහේ හරි පාළුයි අම්මේ.... ලොකු මාමලාගේ ගෙවල් මේ ළඟද...? අපි අද එහේ ගිහින් එමුද? මට ආසයි නංගිලා මල්ලිලා දකින්න."


“උඹට පිස්සුද....? මේ බෙන්තර නෙමෙයි, මේ කොළඹ.... හිතෙන හිතෙන වෙලාවට එළියට බැහැලා යන්න බෑ...."


“මට මේ ගේ ඇතුළට වෙලා ඉන්න බෑ..... මම කීවෙමි.


“බැරි වුණාට මෙහෙම තමයි ඉන්න වෙන්නේ..... දැන් සෙල්ලම් කළ කාලෙ ඉවරයි. බාප්පා හොඳ ඉස්කෝලයක් උබලට හොයලා දෙයි.... උබලා දෙන්නා හොඳට ඉගෙන ගන්න ඕනෙ..... එච්චරයි අපට ඉතුරු වෙන්නේ.... තාත්තා හරි ආසාවෙන් හිටියේ උබලා දෙන්නට හොදට උගන්වන්න. මට ඒක තනියම කරන්න බැරි උන නිසා තමයි මම, බාප්පා එක්ක උබලත් අරන් කොළඹ ආවෙත්.... නැත්නම් ගමේ ගෙදර තියෙන විදියකට කාලා බීලා ඉන්නවා. උඹලා දෙන්නා ගැන හිතලම තමයි මං කොළඹ එන්න තීරණය කළේ.... එහෙව් එකේ උඹලා හොඳට ඉගෙන ගනිල්ලා...."


"හරි පාළුයි අම්මේ මෙහේ.....

අක්කාත් කීවාය.


“හවසට බාප්පා ආවම අපි ළඟ පන්සලකටවත් යමු..."


“අපි ලොකු මාමලාගේ ගෙදරත් යමු අම්මේ.....?මට ආසයි ලොකු මාමලාගේ දුවලා, පුතාලා බලන්න....

මම නැවත කීවෙමි.


“බලමු, බලමු බාප්පා ආපුවහම....


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page