top of page

🌺මට හිමි ඔබයි 🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Nov 29, 2020
  • 5 min read

💞මට හිමි ඔබයි💞

(53 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2770862553189098/

" යාපනේ ගිහාම අපට ගොඩක් ලොකුවට කරදර වෙයි කියලා හරියටම කියන්න බෑ.... ... ඒත් ප්‍රශ්න නම් ටිකක් හරි ඇති වෙයි......මට කච්චේරියේ ලොකු පෝස්ට් එකක් හම්බවෙන නිසා, ඒ මිනිස්සුන්ට මාව නිතර ඕන වෙනවා....ඒ නිසා ,පොඩ්ඩක් විතර ප්‍රශ්න වලින් බේරිලා ඉන්නත් පුලුවන් වෙයි.... අපි එහෙ ගියාම ඔයා සිංහල කෙනෙක් බව කොහොමත් කාටවත් නොකියම ඉමු...

"

“මං එහෙනම් අනිත් දෙමළ ගෑනු අය වගේ එහෙ ගිහාම, ගෙදරට සාරිය අඳින්නද...?


“ඒක තමයි මං ඔයාට කියන්න හිටියේ.... ටික දවසක් සාරිය ගෙදරට ඇන්දම ඒක නිකම්ම ඔයාට පුරුදු වෙයි. කොට ගවුම ඇඳලා ඒ පැත්තේ ඉන්න ගියොත් ඔයා සිංහල කෙනෙක් කියලා නිකම්ම හඳුන ගනියි...."


“ දැන් කවද්ද අපි යාපනේ පදිංචියට යන්න ඕනේ.....?


“මේ මාසේ අන්තිමට තමයි යන්න තියෙන්නේ. අපේ අවශ්‍යම බඩු මුට්ටු ටික අරගෙන අපට කෝච්චියේම යන්න පුළුවන් ...."


“අපි ගත්ත ලී බඩු අපිට ඇරගෙන යන්න බෑනේ...අපි රාමයියලාට ඒවා දෙමු නේද.... ඒවා අරගෙන ගියොත් තව වියදමක්නේ...."


“ඒක හොඳයි. අපි එහෙම කරමු. අපි යන බව දැනගත්තොත් රාමයියලාට දුක හිතෙයි ..."


“ඒක තමයි. හරිම හොඳ මිනිස්සු.... අපට කොච්චර උදවු කළාද?


දින ගෙවී ගොසින් රමේෂ්ට යාපන නගරයේ ආන්ඩුවේ රැකියාව භාරගත යුතු දිනය හොදටම ලං විය.

අප දෙදෙනාම ඒ ගැන හිතේ පොඩි බයකින් සැකේකින් සිටි කාලයක් විය....


අප දෙදෙනාට යාපනයේ පදිංචියට යායුතු බව ආරංචි වී රාමයියා හා ලක්ශ්මි බෙහෙවින් කළකිරිමට පත් විය. නමුත් අපටවත් ඔවුන්ටත් ඒ වෙනුවෙන් දෙයක් කිරිමට නොහැකි විය. ආන්ඩුවේ රස්සාවට නොගොසින් රමේශ්ට ගෙදර නැවතීමට පුලුවන් තත්ත්වයකට, ඒ වනවිටත් අපි ඇවිත් නොසිටියාහ.


මන්නාරමේ අවුරුද්දක කාලයක් ඉතා අරපිරිමැස්මෙන් , සරලව සතුටින් ජීවත් උන අප දෙදෙනා , රමේෂ් තනියෙන් හම්බකල මුදළින්, සුළු මුදලක් අප දෙදෙනාට ඉතිරි කර ගැනිමට හැකි විය. ඒ තනිකරම මගේ උත්සහය ගා කැපකිරිම, අරපිරිමැස්ම නිසා බව මම දනිමි... ඒ ගැන රමේෂ් බෙහෙවින් සතුටට පත්ව සිටියේය.


මන්නාරමේ ගෙවුනු අවුරුද්දක කාලය තුල ලැබුනු නිදහස් ජීවිතය ,බොහො අත්දැකීම්, සොදුරු මතක, සියල්ල අමතක කර අප දෙදෙනා යාපන නගරය බලා ගමන් ඇරබුවේ අපේ ඇදුම් කැඩුම් හා අතයාවශ්‍ය බඩු පමනක් රැගෙනය.


විවාහ ජිවිතය ආරම්භයේ දී ගත් බාල බඩුබාහිරාදිය රාමයියා හා ලක්ශ්මිට භාර දී මන්නාරමෙන් යාපනය බලා කෝච්චියෙන් අප දෙදෙනා ගමන් ආරංභ කලේ හිතේ සැක ,බය, දුක සමගය....


ඒ වන විට යාපන නගරය තුල කොටි ත්‍රස්තවාදීන්ගේ කල්ලි තැන තැන හිස ඔසවමින් සිටින කාලයක් බවට පත් වි තිබුනි.


"අනේ මන්දා රමේශ් මම නම් මේ යාපන ගමන යන්නේ හරිම බයෙන්..."


"ඔයා වගේම තමයි මමත්...මම මේ ගිය අවුරුද්දේ ඉදන් ඉල්ලුම් කල රැකියාවට ලැබුනු පත්වීමනේ...මට කවදාවත් නැති තරම් ලොකු පෝස්ට් එකක් දීලානෙ මාව යාපනයට අරින්නෙ...ඉතිං පත්විම අත්රින්නත් බෑ...ආන්ඩුවේ රස්සාව නිසා...."


"අපි මන්නාරමේ හිටියා වගේ ටික කාලයක් යාපනේ ඉදලා, ආයෙත් ටික කාලයකින් වෙන පලාතකට මාරුවීමක් ඉල්ලමු..."


"ඔව් ,නිත්‍යා මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ..."


"ඇත්තටම ඔව් රමේෂ් ...හිත හදාගෙන මේ යන ගමන ගිහින් අපි...පුලුවන් ඉක්මනට වෙන පළාතකට යන්න ඉල්ලුම් කරලා බලමු.. හිතේ බයෙන් කොච්චර ලොකු පඩියකට ජිවත් උනත් වැඩක් නෑනේ...හැබැයි ඉතිං... දැන් නම් මම සිංහල කෙනෙක් කියලා කිසි කෙනෙක්ට කියන්න බැ....මට දැන් සිංහල කතා කරනව වගේ දෙමළත් ටිකක් කතා කරන්න පුලුවන් .."


"ඒක නම් ඇත්ත..ඔයා සිංහල කිව්වත් කවුරුත් දැන් නම් විශ්වාස කරන එකකුත් නෑ...ඒ තරමට ඔයා දැන් දෙමළ පාටයි..."


මේ වන විට මාත් රමේශුත් සිංහලෙන් කතා කරන එක එහෙන්පිටින්ම නතර කර, දෙමලෙන් හෝ ඉංග්‍රීසියෙන් කතා කිරිම ආරංභ කර තිබුනි. මම දැන් අවුරුද්දකින් කොළඹ නොගිහින් තිබුනා වගේම, අවුරුද්දකින් විතර සිංහල කෙනෙක් සමග කතාබස් කරද නොතිබුනි.


මන්නාරමේ සිට යාපනය බලා ගමන්ගත් අපි යාපනයේ දුම්‍ රිය නැවතුමෙන් බසින කල මාත් රමේශ්වත් රැගෙන යන්න යාපන කච්චේරියේ වාහනයක් ඇවිත් තිබුනි.


යාපනය කච්චේරියේ රැකියාව සමග ලැබුනු විශේෂ නිළය නිසා රමේෂ්ට නිල නිවාසයක්ද ලැබිණි. නිල නිවාසයේ ගෙදරකට අවශ්‍ය කරන සියලු ලී බඩු ඇතුළු අවශ්‍ය කරන සෑම බඩුමුට්ටුවක්ම තිබුණු එක අපට ලේසි විය. විවාහයෙන් පසු මම අංග සම්පූර්ණ නිවාසයක දැන් පදිංචියට ඇවිත් ඇත. මන්නාරමේ සිට අපේ අත්‍යවශ්‍ය බඩු පමණක් රැගෙන ආ අපි දෙන්නා යාපනයේ පදිංචි උනේ නම් හිතේ බයෙන් සැකෙන්මය.... ඒ මම සිංහල කෙනෙක් නිසාය. මේ ජාති වාදී කළබල කාලේ මගේ ජාතිය ප්‍රශ්නයක් වෙයි කියන බයේ අපි දෙදෙනා උන්නෙමි.

අපට ලැබී තිබුණු නිල නිවාසය කාමර හතරක විශාල එකකි... එහි හොඳ වටිනා ගෘහ භාණ්ඩද තිබිණි. අප එහි පදිංචි වීමෙන් පසු එහි වත්තේද එළවළු වගා කරන්න පටන් ගත්තෙමු. එය දැන් අප දෙදෙනාගේ විනෝදාංශය සේම ගෙදරට අවශ්‍ය එළවළු හා පලතුරු ආදිය නොමිලේ ලබා ගැනිමට හැකිවීම අතමිටටද හොඳ විය.


“ඔයා කච්චේරියේ වැඩ කරන නිසා මෙහේ මිනිස්සු ඔයාට හරියට සලකනවා...ඒ නිසා අපට කරවල උම්බලකඩ වලින් අඩුවක් එහෙමත් නෑ.....ඔයාව බලන්න එන හැමෝම කරවලනේ ගේන්නේ....."


“ඔව් ඒ අය ඒගොල්ලන්ගෙ වැඩ කරගන්න කච්චේරියට ආවාම මං උදවු කරනවානේ....මම තරුණ කෙනෙක් නිසා ඒගොල්ලෝ මට කැමතියි ...."


“ඔයාට කොහොමද ඔය තරම් හොඳට සිංහල කතා කරන්න පුළුවන් වුණේ රමේශ්..."


“මං ගියේ වැල්ලවත්තෙ ඉස්කෝලෙකටනේ.. . මං ඉගෙන ගත්තේ සිංහල මාද්‍යයෙන් ..."


"ඔයාට භාශා තුනම පුලුවන් නිසා මේ පළාතෙදි හරි වටිනවානේද..?


"ඇත්තටම ඔව් නිත්‍යා ...මෙහෙ මිනිස්සු මට හරියට ගරු කරනවා...අහිංසක මිනිස්සු ..."


“මටත් දැන් දෙමළ හොදට ලියන්න, කතා කරන්න පුළුවන්...."


“ඔව් ඒක වටිනවා මෙහේ ඉන්නකොට.....


යාපනේ පදිංචියට ආපසු, ළඟ ගෙදරක අහිංසක ගෑනු කෙනෙකු මට ගෙදර අස්පස් කර අතුගා වැඩ කරදීමට පැමිණියාය.


“ඔයා ගෙදර වැඩට එන ගෑනු කෙනා එක්ක නිතරම දෙමළෙන් කතා කරන්න... එතකොට ඉක්මනට ඔයාට දෙමළ තව ඉගෙන ගන්න පුළුවන් වෙයි..."


“ඔයාට නම් ඉංග්‍රීසි ,සිංහල ,දෙමළ භාෂා තුනම හොදට කතා කරන්න පුළුවන්. ඒක කොච්චර දෙයක්ද?


“ඇයි ඉතිං ඔයාටත් ඒහමනේ...භාශා තුනම පුළුවන්නේ...."


“නෑ තව ඉංග්‍රීසියි, දෙමළයි හොදට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ...."


“ඒකට කමක් නෑ. ඔයාට මෙහෙ ඉන්න කොට ඉතිරි ටිකත් හොඳටම කතා කරන්න පුළුවන් වෙයි...."


යාපනය කච්චේරියේ නිල නිවාසය අපේ නවාතැන වීමත් සමග ටිකෙන් ටික අපි එහි වාසයට ඉතා ප්‍රිය වීමු. අහිංසක දෙමළ ජනයාගෙන් සමන්විත එම ප්‍ර‘දේශයට මම බෙහෙවින් ඇලුම් කලද හිත යට පොඩි සැකයක්ද තිබුනි. මම ගෙදරට වී රමේෂ්ගේ වැඩකටයුතු කර දෙමින් වත්තපිටියේ එළවළු මල් වගා කරමින් දවල් දවස ගෙදර ගෙවන්නෙමි. උදේ පාන්දරින් ගෙදරින් පිටවන රමේෂ් දැන් දවල්ට බත් කන්නට ගෙදර එයි....ඒ ඔහුගෙ රැකියා ස්තානය අපි නැවති සිටි ගෙදර පේන දුරින් තිබුන නිසයි ... ඔහු හවස් වෙනකම් රැකියාවේ නිරත වෙයි....

මගේ ගෙදර වැඩකටයුතු කර දීමට පැමිනෙන, දෙමළ වයසක ගෑනු කෙනාට සිංහල වචනයක්වත් කතා කිරීමට නොහැක. ඇය සමග දන්න දන්න විදියට දෙමළ කතා කළ මට වැඩි කාලයක් නොගොසින්ම ඉතා චතුර ලෙස දෙමළ කතා කිරීමට හැකියාව ලැබිනි.


කරේ මංගල තාලිය එල්ලාගෙන,නළලේ මොට්ටුවක් තියා සාරියකින් සැරසී සිටි මා දකින කිසිම කෙනෙක් මා සිංහල ගැහැනියකියැයි නොසිතුවේය. එබැවින් රමේෂ්ද මා හට පැවසුවේ මා දැන් සිංහල ගැහැනියකයැයි කාහටවත් කීමට අවශ්‍ය නැති බවයි....


අප දෙදෙනා අපට විවේකය ලැබෙන ලෙස, යාපන නගරයේ සුන්දරත්වය බැලිමට ගියෙමු.... උතුරු කරේ ඇති වියළි කාළගුනය ගැන නොතකා මේ පළාත් වල මිනිසුන් ඉතා උත්සහයෙන් ,හොදින් වගා කටයුතු කරගෙන යන හැටි ඒ ඇවිදින්න යන හැම දවසකම අපට දකින්න ලැබුනි.


"මේ පැත්තේ මිනිස්සු ව්‍යාපාරයක් විදිහට එළවළු වගා කරනවා වගේ... දිගටම රතුලූනු, මිරිස් කොටු හරිම ලස්සනයි නේද? ...මේ පැත්ත ටිකක් රස්නෙ වැඩි වුණත් බලන්නකො මේ මිනිස්සු රතුලූනු, මිරිස්, පළතුරු වගා කරලා තියෙන ලස්සන...".


"එහෙම තමයි නිත්‍යා ...උතුරේ මිනිස්සු කම්මැලි නෑ....වියළි කලාපයට ගැලපෙන ආකාරයට උතුරේ මිනිස්සු ඒගොල්ලන්ගෙ ජීවන ක්‍රම සකස්‌ කර ගෙන ඉන්නවා .... වගාව විතරක් නෙමේ ... උතුරේ සත්ව පාලනය වගේම දේශගුණික පරිසරයට අනුව යොදා ගෙන ඇති කෘෂිකාර්මික ක්‍රම තියෙනවා.... හුණුගල් සහිත මේ බිමේ... මිදිවැනි පළතුරු නොයෙක්‌ අල වර්ග, එළවළු වර්ග ඉතාමත් සාරවත්ව වගාකළ හැකි ආකාරයට මේ මිනිස්සු, පස හදාගෙන වගා කටයුතු කරනවා. ඒ නිසා උතුරුකරේ සුන්දරත්වය කියන්න බැරි තරම්....ඔයාට පේනවානේ....."


"ඒ වගේම ..මේ පලාතේ බලන බලන අත තල් ගස් තියෙන්නේ .....මෙහෙ මිනිස්සු තල්ගහ ගොඩක් ප්‍රයොජනයට ගන්නවා වගේ..."


" ඔව්...නිත්‍යා, තල් ගස් ගැන ඔයා මොනවද දන්නෙ ... ?


"මම නම් ඒ ගැන වැඩිය මොනවත් දන්නෑ...හැම පැත්තෙම තල්ගස් තියෙනවා කියලා මට පේනවා... ඔයාම මට තල් ගහ ගැනත් කියලා දෙන්නකෝ..."


"තල් ගස් හොදින් වැවෙන්නේ වැලි සහිත පසේ....ඒවා ස්වාභාවිකව වැඩෙන ගසක්.... ඒකයි උතුරු නැගෙනහිර පළාත් පුරාම තල් ගස් පැතිරී තියෙන්නේ ....... වැලි සහිත බිම, වතුර නොරැඳෙන ස්‌වභාවය, වේගවත් සුළං සහිත පරිසරය තුල, තල් ගස් ඉතා හොදින් හැදෙනවා.... තල් ගස බොහෝ දේවල් වලට ගන්නවා...... නිවාස හදන්න අවශ්‍ය දැව මේ පාලාත්වල මිනිසුන් ගන්නේ තල් ගසෙන්....තල් හකුරු නිෂ්පාදනය, රස කැවිලි, තල්ගසේ ලපටි මුල් ග වලින් කොට්ටකිරන්.... පැදුරු, පැළලි, වට්ටි පෙට්ටි කොසු ඉදල් ආදීය වගේම විසිතුරු බඩු ආදියද හදන්න තල්ගසේ කොටස් ප්‍රයෝජනයට ගන්නවා... ගෙදරට ඕන කරන බොහෝ දේ හදාගන්නේ තල් ගසෙන්...දකුනෙ මිනිස්සුන්ට පොල් වගේ උතුරේ මිනිස්සුන්ට තල් ගස තමයි වටිනාම දේ.......


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page