top of page

🌺🌺මට හිමි ඔබයි 🌺🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Nov 24, 2020
  • 4 min read

💞💞මට හිමි ඔබයි 💞💞(51වන කොටස )

https://www.facebook.com/groups/2653780434897311/permalink/2767744940167526/

මතක ඇති කාලයේ පටන් කොළඹ පදිංචි වි සිටි මම , ලංකාවේ උතුරු ප්‍රදේශයක පිහිටි එම ගැමි ගෙදර, හා එම වත්තේ ඇති සුන්දරත්වයෙන් මා මත් වී ගියාක් වැනිය. රමේෂ් එම ගේ දෙස බලාන, ගේ ඇතුලේ ඉන්න අයට කතා කරයි...


අන්නා...අන්නා...

අය්යා...අය්යා...."


රමේෂ්ගේ කටහඬ ඇසී ගෑනු කෙනෙක් ළමයෙකුද වඩාගෙන, ගෙයින් එළියට ආවාය.


"රාමයියා ගෙදර ඉන්නවද? රමේෂ් දෙමළෙන් ඇසීය.


“ආ ඉන්නවා..."

ඇය ගේ තුළ බලා "රාමයියා..." කියා හඬ නැගීය.

රාමයියා නොහොත් වැඩි වයසක් නැති තරුණ පිරිමි කෙනෙකු ගෙයින් එළියට ආවේ උඩට කමියක්ද නැතිව පරණ වේට්ටියක් ඇඳගෙනය.


“ඇයි..? කවුද මේ..?.

ඔහු රමේෂ්ගෙන් දෙමළෙන් ඇසීය.


“අපි මේ කොළඹ සෙල්වම්ගේ යාළුවෝ.... එයා තමයි කිව්වේ ඇවිල්ලා ඔයාව හම්බවෙන්න කියලා...."


“ආ... සෙල්වම් අය්යා මට ඔයගොල්ලෝ ගැන කිව්වා... එන්න ඇතුළට... මට අමතක වුණානේ.... කවදද මෙහේ ආවේ...?


ඔහු අපේ ආගිය තොරතුරු කතා කළේ අපට ගේ ඇතුලට එන්න ආරාධනා කරමින්‍ ය.


"අපට මෙහෙම හොදයි.. එළියේ හොද සනීපයි..." එළවළු පළතුරු වගාවෙන් වටවි තිබුන වත්ත පුරාවට ඇස් යොමු කරමින් සිටි මා දැක රමේෂ් කීය.


ඔහුගෙ බිරිඳ යැයි සිතිය හැකි තරුණ ගැහැනු කෙනකු අපට පුටු දෙකක් ගෙනැවිත් සියඹලා ගහ යටින් තිබ්බේ වාඩි වෙන්නටය. රාමයියාද කරමින් සිටි වැඩය නවත්වා, අප වාඩි වූ පසු සියඹලා ගස් යට සාදා තිබූ ලෑලි බංකුවේ වාඩි වී අප සමඟ කතා කරන්න පටන් ගත්තේය. ඒ අවට කිකිලියන් බිම පහුරු ගාමින් කෑම සොයයි.....


"අපි මෙහේ පදිංචියට ආවේ ඊයේ.....අපට නවතින්න ගෙයක් ,මම වැඩකරන පැත්තෙන්ම අද කුළියට හොයා ගත්තා....."


"රස්සාව කරන පැත්තෙන්ම ගෙදර හොයා ගත්ත එක හොදයි ...,ඒ වගේම මෙහෙ,.. එහෙ මෙහෙ යන්න බයිසිකලේකුත් තියෙනවද.?...ඒක හරි ලේසියි ,බස් එනකම් පාරවල් වල බලාගෙන ඉන්න ඕන නෑ..."


අප මෙහි පදිංචියට ආ බවත්, අපට නවතින්න ගෙයක් හොයා ගත් බවත්, හෙට සිට එහි පදිංචියට යන බවත් ඇසූ ඔවුන් දෙදෙනා සතුටු විය.


“සෙල්වම් කිව්වා නංගි සිංහල කියලා..."


ඔහු මා දෙස බලමින් කැඩුණු සිංහලෙන් කීය. ඇගේ බිරිඳට සිංහල වචනයක්වත් කතා කිරීමට නොහැකිය. ඇය සිනාසෙමින් මා දෙස බලමින් රමේෂ් සමඟ දෙමළෙන් කතා කරයි.... ඇය කියන දේ මට තේරුණත්, තවම හරියට දෙමළ කතා කිරීමට මට බය නිසා, මම කතා නොකොට ඔවුන් කියනා දේ අසා සිටියෙමි.


කොහොම වුණත් දෙමළ භාෂාව තේරුම් ගන්න හරි පුළුවන් උනම එක ලොකු දෙයකි...


“ටවුමේ ගෙස්ට් හවුස් එකේනෙ අය්යලා නැවතිලා ඉන්නේ.... අද රෑට මෙහෙන් කෑම මුකුත් කාලා යන්න... රාමයියා අපට රෑ කෑමට ආරාධනා කළේය.


ටික වෙලාවකට පසු....රාමයියායි, රමේෂුයි දෙමළෙන් නොයෙක් දේ කතා කරමින් සියඹලා ගහ යට ඉද තල් රා තොල ගෑවේ පරණ යාළුවන් ලෙසය.

වත්තේ ඇති තල් ගසකින් පෙරාගත් අලුත් තල් රා, රමේෂ් රාමයියා එක්ක තොල ගෑවේ උම්බලකඩ කෑලි සපමින්‍ ය.


"මේක බොන්න...රසයි..."

රාමායියා තල් ගෙඩියක් කපා මට වතුර බොන්න දුන්නේය. ඒ වතුර නම් මට අමුතු රසයක් ගෙන දුන්නේය.


මා රාමයියාගේ බිරිඳ සමඟ කුස්සියට ගොස්, මා දන්නා විදියට ඇය සමඟ දෙමළ වචන දෙකතුනක් කතා කළෙමි.


ඇය ඇගේ අවුරුද්දක් පමණ වයස දරුවා කුස්සියේ බාල්කේ, එල්ලා තිබූ රෙදි ඔංචිල්ලාවක තබා නිදි කර ඇගේ වැඩ කර ගනී.... සාරියක් ගැට ගසා බාල්කයේ සාදා තිබූ රෙදි තොටිල්ල මට අලුත් දෙයක් විය. දරුවා එහි හොදටම නිදිය. ඉද හිට ඇය දරුවාගේ තොටිල්ල හෙමිහිට තල්ලු කරයි. මම රෙදි තොටිල්ලේ සිටි බිළිදිය දෙස බැලුවේ ආසාවෙනි...ඉතා තද පැහැති සමක් තිබු ඇය ඉතා පුශ්ටිමත්‍ ය. ඇය ඇඟට ඇදුමක් නැතුව තොටිල්ලේ හොදටම නිදිය.


ලක්ශ්මි අපට කන්න කෑම ලෑස්ති කරන දෙස මම බලා උන්නෙ ආසාවෙන්..... ඇය ඉතා කඩිසර ලදක්‍ ය. මම බලා සිටියදීම ඇය, පොල් ගා සම්බෝලයක් සාදන්නට විය.

පසුව මාවත් අඩගසාගෙන ගෙදර වත්තට ගොස්, එළවළු පාත්ති වල තිබු, බණ්ඩක්කා, මෑකරල් ,වම්බටු, තක්කාලි කඩාගෙන කුස්සියට ගොස් ඒවා සියල්ල කපන්නට විය. පසුව තෙල් ටිකක් ලිපතබා, අබ, මිරිස් දමා එයට කපාගත් එළවළු, වතුර දමා සාම්බාරු හොද්දක් හැදුවේ මා බලා සිටියදීමය.

පසුව ඇය ලිප ලග වාඩිවී තෝසේ තැටියක තෝසේ වක්කර තෝසේ හැදුවේ ඉතා කඩිසර ලෙසය. ඇය වේලාසන සෑදු ලොකු ඉස්සෝ හොද්දක් ලිප ලග තියෙනවා පෙනේ... ඇය තෝසේ හදන තෙක් මම ගෙයින් එළියට බැස වත්තේ සිරි නැරඹුවෙමි.


කොහොඹ ගහ යට ලෑලි බංකුව උඩ තල් රා බොමින් රාමයියා හා රමේෂ් හොඳටම යහළුවන් වී ලොකු කතාවකය.


මම ඔවුන්ගේ ගේ අවට වත්තේ සිරි නරඹමින් ඇවිද්දෙමි. මුළු වත්තම හරිම පිරිසුදු ලෙස අතුපතුගා තිබුනි. හරි පිළිවෙළට එළවළු පාත්ති... ගෙදර වත්ත පුරා සකසා එළවළු වගා කර ඇත.... පලතුරු ගස්වල පලතුරු පිරී ඇත. ඔවුන්ගේ ජීවනෝපාය ගොවිතැන බව මට වැටහිණි. ගෙදර වත්තේ පැත්තක, තල්කොළ පැදුරක කරවල වගයක් වේලෙයි....ගේ පිටුපස එළුවෝ වගයක්, කපාදමා තිබු තණකොළ කයි...ගෙදර දොරකඩ නකුටු බල්ලෙක්, වලක් හාරාගෙන ගුලි ගෑසි නිදිය.


“නිත්‍යට පාළුද....? රමේෂ් මගෙන් දෙමළෙන් ඇසීය.


“නෑ......මට හරි ආසයි මේ වත්ත දැක්කහම...අපිත් එළවළු වවමු අපේ ගෙදර වත්තේ .... මම දන්න දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් කීවෙමි .


"ඔව්...තංගත්චි මේ පළාත්වල හැමෝම, තමන්ගෙ ගෙදර කෑමට ගන්න එළිවලු පළතුරු ගෙදර වත්තේම හදාගන්නවා...පාත්ති වලට දාන්න පෝර එළුවන් ,හරකුන්ගෙන් නිකන්ම ලැබෙන නිසා, එළවළු හොදට හැදෙනවා..."


"අපට රාමයියාගෙන් එළවළු ඇට ඉල්ල ගන්න පුලුවන් පැල කරන්න ..."


"ඔව්..මම දෙන්නම් ඔක්කොම එළවළු ඇට වර්ග ..."


අපට සවස 6.30, 7.00 වන විට රාත්‍රී ආහාරය ලැබිණි. ලක්ශ්මි ඉතා කඩිසරව රාත්‍රී ආහාරය අපි වෙනුවෙන් සකසා ගත්තේ, කිරි දරුවාද රෙදි තොටිල්ලේ තියාගෙනමය.


සාලයේ බිම එළා තිබූ තල් කොළ පැදුර උඩ, කෙසෙල් කොළ එළා ඇත. ඒවා කෑම කන්නට පිඟන් ලෙස භාවිතයට ගන්නා බව මට හැගින.


තෝසේ, ලොකු ඉස්සො හොද්දක්..., වම්බටු, මුරුංගා, බණ්ඩක්කා එකට දමා සාදන ලද එළවළු සාම්බාරුව, කොච්චි මිරිස් දමා සෑදු සම්බෝලය, අපට ඔවුන් දුන් රෑ කෑම,.... මා කාලෙකට පසු ඉතා ආසාවෙන් කෑ රසම රස කෑමවේලකි.


"කෑම හරිම රසයි ..."සරෝජා කියා දුන්නු විදිහට මම ඔවුන්ට දෙමළෙන් කීය. ඔවුන්ට එය සතුටක් විය.


“අපි හෙට හවසට ඔයගොල්ලන්ගේ අලුත් ගෙදර එන්නම්...


"නැවත අප ආපසු තානායම බලා එන්නට ලෑස්ති වෙන අවස්තාවේ, තල හකුරු මුල් වගයක්, පිලාටු නම් තල්ගෙඩියේ සාරයෙන් සෑදු තලපයක් වැනි පැනිරස කෑමක්, කොට්ටකිරන් පාර්සලයක්, උම්බලකඩ, කරවල පාර්සලයක් ඔවුන් අපට දුන්නේ, එය හෙට ගෙට ගෙවදීමට යන විට ගෙනියන්නද කියායි....


“එහෙනම් හෙට සවසට ඔයගොල්ලෝ අපේ ගෙදර එන්න. බොහොම ස්තුතියි අපට කල සංග්‍රහ වලට.... "


“හෙට එනකොට අපි ඔයගොල්ලන්ට රෑ කෑම හදාගෙන එන්නම්....අලුත් ගෙට ගිය ගමන් ඔයගොල්ලන්ට කෑම උයා ගන්න බෑනේ..."

ලක්ශ්මි ඉතා සතුටෙන් කී විට මට ගොඩක් සතුටු සිතිනි....මෙවැනි ආගංතුක සත්කාරයට කැමති හින්දු ජනයා හා සිංහල ජනයා අතර හිත් අමනාපකම් ඇති වන්නට හේතුව හිතාගන්නටත් බැරිය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
bottom of page