
🌺🌺මට හිමි ඔබයි🌺🌺
- Prisila Godahewa

- Nov 22, 2020
- 4 min read
💞මට හිමි ඔබයි💞
(21 වෙනි කොටස)
https://www.facebook.com/groups/2653780434897311/permalink/2733742830234404/
රමේශ් හදුනාගත් මේ ටික කාලය තුල ඇයි මට ඔහු, දමිළ ජාතියකු බව වටහා ගන්නට නොහැකි වුනේ....මෙපමණ දවසක් ඔහු දෙමළ ජාතිකයකු වූ බව වටහා ගන්නට බැරුවුන මට..., දැන් මා ඉස්සරහ ඉන්න ඔහු නියම දමිළ ජාතිකයකු බව පෙනෙන්න පටන් ගෙන ඇත....ඇයි මට ඔහුගෙ පෙනුමෙන්, කතාබහෙන් , කළින් ඔහු හදුනාගන්නට බැරි වුනේ...මම දැන් මොනවද කරන්නේ...?? මම දැන් මොනවා කලයුතුදැයි මට නොතේරේ...
“ඇයි රුවිනි බය වුණේ මං ටැමිල් කිව්වම..."
“නෑ නිකං..."
“නිකං නෙමේ. ඔයාගෙ මූණත් අමුතු වුණා. මේ කෝවිල , මෙතැන අපි වදිනපුදින දෙවියො ඉන්න තැනක්..... අපේ ගෙදර අය නිතර ඇවිත් වඳින තැනක්...මට ඔයාව මෙතනට එක්ක එන්න ඕන නිසයි…… , මේ ට්‍රිප් එක මම "ඕගනයිස්" කලෙත්....පහුගිය දවස්වල අපි දෙන්නා කතා කරන කොට, මට ඔයාව ටිකක් තේරුම් ගන්න පුලුවන් උනා...ඒ නිසයි , මට ඔයාව මෙතැනට එක්කර ගෙන එන්න ඕන වුනේ ඒකයි.... ඔයාව දැකපු මුල්ම දවසෙම මට ලොකු අමුත්තක් ඇති වුණා...ඔයා සිංහල කෙනෙක් කියලා මම දැනගෙන හිටියා....ඒ උනාට කොච්චර හොඳ ලස්සන දෙමළ ගෑනු ළමයි හිටියත් මට ඔයාව දැක්ක මුල්ම දවසෙ හරි අමුත්තක් දැනුණ නිසා තමයි මං ෂර්මිලාට කිව්වේ ඔයාව හඳුන්වලා දෙන්න කියලා...
"
“මටත් කවදාවත් කිසිම පිරිමි ළමයෙක් ගැන ඔයා ගැන වගේ අමුතු හැඟීමක් ඇති වෙලා තිබුණේ නැහැ. ඒත් මටත් ඔයාව හොඳට දැකලා පුරුදු කෙනෙක් කියලා හිතුණා දැකපු මුල් දවසෙම...."
“ඒ කියන්නේ ඔයාටත් මට හිතුණු දේම හිතුණද...? රමේෂ් පුදුමයෙන් ඇසීය.
“ඔව්....
මම ඔළුව වැනුවෙමි.
“ආ මේ එළඟිතෙල් පහනක් ඔයත් ගන්න.... අපි මේ පහන් දෙක රාමා - සීතා දෙවියන්ගේ දේවාලය ඉස්සරහ තියලා වඳිමු....."
රමේෂ් කහපාට එළඟිතෙල් මැටි පහනක් මගේ අතේ තැබුවේය.
අප සමඟ ආ යහළුවෝ එහෙට මෙහෙට බෙදී ගොස් තැන් තැන්වල වඳිති. ෂර්මිලා හා නිහාල්ද කෝවිල වටේ යමින් දෙවිවරුන්ගේ පිළිමවලට අත් තියමින් වඳිති. බුද්ධාගමේ මිනිසුන්ට හින්දු දෙවියන් වැඳ පුදා ගැනීම එතරම් විශේෂ දෙයක් නොවන්නේ හැම පන්සලකම දෙවිවරුන් සඳහාම වෙන් වූ දේවාල සාදා තිබෙන බැවිනි.
නමුත් පළවන වතාවට කෝවිලකට ආ මට නම් දැනුනේ අමුතුම හැගීම් ගොන්නක් සමග චකිතයකි. බලන බලන අත විවිද දෙවියන්ගෙ නම් වලින් සෑදුනු දේවාල කූටි භූමිය පුරා ඇත. ඒවාට දෑත් එක්කොට වදින, බිම පෙරලි වදින, උඩුකය නිරුවතින් වදින පිරිමි බැතිමතුන්, තැන තැන ඇත. සමහරුන්ගේ අතේ පළතුරු පුජා වට්ටි වන අතර, සමහරුන් ලග එළවළු හාල් කැවිලි පුජාවට්ටිය. දේවාල භූමිය පුරා දකින හැම දේකම ඇත්තේ අලුත් බවකි.
“ඔයා ටැමිල් කියලා මට හිතුණේම නෑනේ...."
“මං දෙමළ පාට නැද්ද?
"ශර්මිලා නම් කිව්වා ඔයා දෙමළ පාටයි කියලා ...මම ගනන් ගත්තෙ නෑ.....හිතුනෙත් නෑ....හැබැයි දැන් නම් එහෙම පේනවා" මම සිනාසී කිවෙමි.
“යං අපි දේවාලේ ඇතුළට...."
ඔහු මට දේවාලය තුලට යන්න කියා, එක එළඟිතෙල් පහනක් පත්තුකර දෙවියන් ඉදිරියේ තැබූ ඔහු, අනෙක මට පත්තු කරන්න කීවේය. පහන් පත්තුකර අප දෙදෙනා එකිනෙකාගේ මුහුණු බැලුවේ එකටමය. ඔහුගේ කතා කරන, හිනහෙන දෙනුවන්, සිත්ගන්නා සුළු පෙනුම, හොද උසමහත කඩවසම් බවට මම වශීවි ඇත. ඔහු මොන ජාතියක උනත් මම දැන් කොහොමද ඔහු අමතක කරන්නේ....මේ වන විට මගේ හිත පුදුම විදිහට ඔහු වෙත, බැදී ඇතැයි සිතේ.... රමේෂ් මොනවාදෝ කියමින් දෙවියන් දෙස බලමින් වඳියි.
මා අත්දෙක එකතු කරමින් දෙවියන්ගේ රූපය දෙස බලමින් සිටියේ කිසිම අරමුණක් නැතුවය. මට වැරදී ඇත්දැයි මම දෙවියන් දෙස බලමින් සිතුවෙමි. අම්මලා, බාප්පලා ගැන මට මතක් වෙයි. රමේෂ් මා ගැන යම්කිසි බලාපොරොත්තුවකින් ඉන්නා බව මට වැටහේ.... ඔහු මගෙන් කෙළින්ම ඇසුවේ නැතත් මට එය හොදින්ම තේරේ.... ඔහු මාව මුලින්ම කෝවිලට එක්ක එන්න ඇත්තේ ඔහු හින්දු ජාතිකයෙකු බව මට කියන්න වෙන්න ඇති.
“රුවිනි ඇයි කල්පනා කරන්නෙ...? මං ඔයාගෙන් කෙළින්ම ඇහුවේ නැති වුණාට මට කැමැතිද කියලා ඔයාට තේරෙනවා ඇතිනේ මං කියන දේවල්වලින් ඔයාට මම කැමතියි කියලා .... ඔයාගේ අකැමැත්තක් නැත්නම් විතරක් අපි දිගටම ආශ්‍රය කරමු....."
“ අපි දෙන්නා ආගම් දෙකක, ජාති දෙකක....ගෙවල් වලින් ඉස්සරහ කාලයේ ප්‍රශ්න එයිද දන්නේ නෑ. මං ඒ ගැන කල්පනා කළේ...."
“ඉස්සරහ ගැන දැන්ම වැඩිය හිතන්න එපා. එන විදියකට අපි මුහුණ දෙමු. ඔයාම නේ කිව්වේ, මට වගේම ඔයාටත් මාව දැක පුරුදු බවක් හිතට දැනුණා කියලා. මම හිතන්නේ නම් අපි ගිය ආත්මේ ඉඳන්ම, දන්න දෙන්නෙක් කියලායි...."
“මට මුකුත් තේරෙන්නේ නෑ රමේෂ්. මගේ ඔළුවට එන්නේ අම්මවයි, බාප්පවයි විතරයි...ඒ ගොල්ලෝ කවදහරි ඔයා ගැන දැනගත්තහම අපට ගොඩක් ප්‍රශ්න එයි...."
“ඔයා මට ඇත්තටම කියන්න, ඔයා මට කැමැතිද...නැද්ද ..? මම හින්දු කියන එක අමතක කරලා හිතන්න. ඇත්තටම හිතට එකඟව හිතලා කියන්න...ඔයා මට කැමතිද කියලා ...."
“ඔයාට මගේ අකැමැත්තක් නැහැ.... මටත් තේරෙන්නේ නැත්තේ ඇයි මං ඔයාට මේතරමට කැමැති කියලයි.... ඒ කියන්නේ ඔයා කියනවා වගේ අපි දෙන්නා ඉස්සර ආත්මෙක ඉදන් අදුනන දෙන්නෙක් වෙන්න ඇති....."
“ඔයාට ඒක හරියටම කියන්නවත් තේරෙන්නේ නැද්ද...?
රමේෂ් හිනාවෙමින් ඇසීය.
“අපි යමු නේද?...
"ආ ...මේ මුළුතැන්බත් මම ඔය දෙන්නටත් ගෙනාවා....."
ෂර්මිලා මුළුතැන් බත් මුල් දෙකක් අපේ අතේ තැබීය.
“මං මේවා කාලා නෑ. මේ මොනවද?"
“කෝ දෙන්න මට." රමේෂ් මගේ අතින් එක මුලක් ගෙන දිග හැරියේය. එය පැණි පාටට උයාපු බතක්ය. එහි කජු, මුද්දරම්පලම් තිබිණි. ඔහු මෙන්ම මමත් එයින් ටිකක් ඇඟිලි දෙකට අරන් කටේ දමා ගත්තෙමි.
“හරිම රසයි. මුං ඇට, මුද්දරස්පලම්, කජු එහෙමත් දාල...."
“මේක දෙවියන්ට පූජා කරන්න හදන කෑමක්.... කෝවිල් එන අයට උදේ හවස මේවා පූසාරිලා බෙදනවා."
“එන්න රුවිනි අපි අර පූසාරිට කියලා ,ආශිර්වාද කරලා පොට්ටු තියා ගමු.."
රමේෂ් මාවත් ඇදගෙන දේවාලයක් ඉස්සරහ ශලෝක කියන පූසාරි කෙනෙකු ළඟට ගියේය. ඔහු දෙමළෙන් පූසාරි සමඟ කතා කර මොනවාද කීය. මට ඔහු දෙමළෙන් කතා කරන විට මට මහා අමුත්තක් දැනිණි.... ඔහු මා සමඟ සිංහලෙන්ද, පූසාරි සමඟ දෙමළෙන්ද කතා කරන විට මට ලොකු නුහුරක් සමග බයක්ද දැනිණි...
.
“ආ මේක ගන්න..."
පූසාරි කැඩුණු සිංහලෙන් මට කතා කර දෙකට පලපු පොල් ගෙඩියක බෑයක දැමූ බුලත් කොළයකුත්, කෙහෙල් ගෙඩියකුත්, කඩපු මල් වගයකුත් මගේ අතට දුනි. ඔහු අපේ නළලේ සුදු හඳුන් කුඩු හා රතු පාට පොට්ටු තැබුවේය.
“අපි යමු රුවිනි.... අනිත් අය බලාගෙන ඉන්නවා...."
කෝවිලේ වැද පුදාගත් අප ඉන්පසු නැවත වාහනයට නැග ,කළුතර පැත්තට ගමන් ආරංභ කලෙමු .
මම රමේශ් හදුනාගත් මේ ටික කාලයට ඔහුගෙ ආදරබර කතාබහට, ඔහුගේ පෙනුමට, ඔහුගේ ගතිගුණවලට මගේ හිත දැන් ඇදී ගොස් හමාරය. දැන් නම් ඉතිං,ඔහු මොන ආගමක,මොන ජාතියක වුනත්, කවුරු අකමැති උනත්, මට නැවත පසුපස හැරෙන්න බැරි විදිහට මම , ඔහුට හිතෙන් බැදී ඇත. මම ඔහුට ආදරය කරන්න පටන් ගෙන ඇත. වෙන දෙයක් වෙද්දෙන් කියා මම සිත හදා ගත්තෙමි. ඉස්සරහට එන දේකට මූණ දීමට මම තීරණය කලෙමි.
දහවල් එකළොහා විතර වෙනකොට, උනවටුනට ආ අපි එහි මුහුදු වෙරලේ වාඩි වි ගෙනා කඩල වැනි දෑ කමින් සිටියෙමු. අප සමග ආ පිරිමි ළමයින් මුහුදේ බැස නාන්න පටන් ගත් අතර ගැහැනු ලමයින් වෙරළේ ඕපාදූප කතා කරමින් සිටියෙමු. අපි සියල්ලෝ ඉංගිරිසියෙන් කතා කලෙමු. රමේෂ්ගේ යාලුවෙක්ගෙ බිරිඳ වු සරෝජනි ,මා සමග ඉතා කුළුපගුව කතා කලහ. ඇයට පොඩි දියනියක් සිටින බවත්, ඇයව ඇගේ මවගේ ලග නවත්වා මේ විනෝද චාරිකාව ඔවුන් ආ බවත් කීහ.
බොහෝ වේලාවක් මුහුදේ නාගෙන, වෙන ඇදුම් ඇදගත් පිරිමි ළමයි අප වෙත ආවේ, සතුටින් සිනාමුසුවය. රමේෂ්ගේ මුහුනේ පුදුමාකාර සතුටක් ඇති බව පෙනේ....ඔහු අනෙක් අයට නොපෙනෙන්න මා සමග දෑසින් කතා කරන්නේය. ඔහුගේ සිනාමුසු දගකාර බවට මා වශීවි උන්නෙමි.
නමුත් අද අපි කෝවිලට ගිය පසු, රමේශ් දෙමළ ජාතිකයකු බව දැන ගත් පසු, මගේ හිත ලොකු කළුගලක් දැම්මා සේ බර වී ඇත....මෙය නම් ඉස්සරහ කාලේ මා අපහසුවකට පත්වන දෙයක් බවට පත්වන බව මට වැටහේ...මෙතරම් දුරක් පැමිනි විනෝද චාරිකාව, විනෝදයෙන් ගත කිරීමට තරම් මගේ හිත සැහැල්ලු වී නොමැත . රමේෂ් මුණ ගැසුනු දිනේ පටන් හිත පුරා උතුරා ගිය සතුට, ඔහු සමග ආ මේ විනෝද ගමනෙදි නැතිවී ගිය හැටි.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *



Comments