💞බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය (19 වෙනි කොටස)
- Prisila Godahewa

- Sep 24, 2020
- 7 min read
"මළගෙදර වැඩ ඉවර උන ගමන්ම ජුවානිස් අප්පුහාමි, සුනිලව ගමේ ගෙදර එක්ක යන්න ඕනෙ කිව්වා ..."
"ඔව්..මාත් එක්කත් කිව්වා ..., සුනිලා කසාද බදින්න ඉන්න පිරිමි ළමයා... , සුනිලව ගෙදර එක්කගෙන එන්න කියලා ..."
"හරි වැඩේනේ අපි මාළි දුව ඉස්පිරිතාලේදී නැති වෙන දවසේ, සුනිලවනේ එයාගෙ තනියට තියලා තිබුනේ......ඉතිං ඉස්පිරිතාලේදී .. සුනිලටනේ නර්ස් නෝනලා කියලා දීලා තියෙන්නේ ..... අම්මා නැති දරුවට පිටි කිරි පොවලා හරියට දරුවා ලොකු මහත් කරලා හදාගන්නා හැටි....අම්මා නැති කිරිසප්පයා හරියට බලගන්න දන්නේ දැන් සුනිලා විතරයි ....මොකක්ද දැන් අපි කරන්නේ....?සුනිලා දැම්ම ගෙදර ඇරලා කොහොමද... ?
"අපි සුනිලගෙන් අහල බලමු ...දැම්ම ගමේ යන්න ඕනද කියලා ...ජයන්ති දුව දැන් මෙහෙ ඉන්න නිසා, අපි ජයන්තිට කියමු දරුවා බලාගන්න වැඩේ ඉගෙන ගන්න කියලා....අම්මා මොකද පුංච් අම්මා මොකද....ජයන්ති ඉතිං දරුවගෙ පුංච් අම්මනේ........."
"ඒ කෙල්ල කොහේද ළමෙක් බලාගන්නේ... දාංගලේ විතරයි .....ඒහෙම දෙයක් කොහෙද එයා කරන්නේ....සුනිලව තව ටික දවසක් මෙහේ තියා ගන්න පුලුවන් නම් ලේසියි....නාකි මට උනත් දැන් මේ කිරි දරුවා බලාගෙන පුරුද්දක් නෑ....සුනිලා නම් හරි පුරුදු කාරියක් වගේ දරුවා බලාගන්නේ..."
"සුනිලට එයාගෙ අය්යලා අක්කලාගෙ ළමයි බලාගෙන පුරුදුයි ඒකයි ඒ......"
අපේ කතාව අසා සිටි සුනිලා ,එවලේ අප ලගට විත් කියපු දේ ගැන, අප සියලු දේනාටම සතුටු සිතිනි.
"අපේ තාත්තා මාව ගමේ එක්ක යන්න ඇහුව්වට,....මම තව මාසයක් විතර බබා බලාගෙන ඉදලම යන්නම්....කාට හරි බබා පුරුදු වෙනකම් ....මට මාළි අක්කා වෙනුවෙන් කරන්න පුලුවන් දේ ඒකනේ....මාළි අක්කා මට එයාගෙම නංගි කෙනෙක්ට වගේ සැලකුවේ....මම ඒ ගැන හිතලා, දරුවා බලාගන්න උදව් කරන්න ඕනේනේ....."
"දැන් සුනිලාගෙ තාත්තා, මළ ගෙදර ඉවරවෙලත් ගමේ නොයා ඉන්නේ...සුනිලා එකපාරම ගමේ එක්ක යන්න කියලා මය හිතේ...."
" ඔව්...එහෙම තමයි , ඒ උනාට මම අපේ තාත්තට මේක පැහැදිලි කරලා කියලා දීලා, තාත්තව හෙට ගමේ අරින්නම්...මේ කිරි දරුවගෙ අම්මත් ලග නැති එකේ එයාව බලාගෙන පුරුදු මමත් එකපාරටම යන එක හොද නෑනේ..."
සුනිලා කිව්ලෙසම මාළිගෙ හත්දවසේ දානෙන් ඉස්සර ජුවානිස් අප්පුහාමි, ගම බලා ගියේ ඒ තරම් හිත හොදින් නොවන බව අප සියලු දෙනාට වැටහින. ඒ සුනිලා ,මාළි නැති ගෙදර, දරුවෙක් බලාගෙන ඉන්නවාට, ජුවානිස්ලා අකමැති නිසා වන්නට ඇති.
"ජුවානිස් හිතනවද දන්නෑ අපි සුනිලගෙන් වැඩ ගන්නවා කියලා .."
"සුනිලා, ජුවානිස් එක්ක කියනව මම අහගෙන, කිරි දරුවා දැම්ම දාලා යන එක හොද නෑ...තව මාසෙකින් විතර ගමේ එන්නම් කියලා ..."
"සුනිලා හොද කෙල්ල..."
ඉස්පිරිතාලේ දී පුහුණු කර තිබුණු ලෙස සුනිලා දරුවාට කිරි සාදා දෙමින් පරිස්සමට කිරි පොවමින් දරුවා ආදරෙන් බලා ගනී.....දරුවා සෝදා පිරිසිදු කරන්නේද ඇයයි..... මාළිගෙ අම්මා හා ජයන්ති ඇයට අත් උදව් දෙමින් දරුවා බලාගනී. නමුත් මාළිගෙ මව දරුවා දෙස බලාගෙන නිතර කදුළු සලයි.......
පුංච් අම්ම උනත්, ජයන්තිට දරුවා බලාගෙන පුරුද්දක් නැත. ඇය දරුවා බලගන්නවා වෙනුවට, මා පස්සෙන්ම වැටි මට කෑම බීම පිලිගන්වමින් මගේ ඇදුම් පැලදුම් පවා ලෑස්ති කරදිමට උත්සහ ගනී.... ඇය ඒ දේවල් කරන්නේ....මාළිගෙ අම්මාගෙ හා ඇගේ අම්මාගෙ අනුදැනුම මත යැයි මට සිතේ...
මාළිගේ ,පුංච් අම්මාගෙ දුව වන ජයන්තිටද...පහුගිය කාලේ කසාද බදින්න මණමාලයෙක් සොයපු බව මට තාම මතකය.
මාලිගෙ මළගෙදර වැඩකටයුතු ඉවර වී මම නැවත කොළබ කන්තෝරුවේ වැඩට ගියේ මාසෙකට විතර පසුයි. ඒ මාළිට දරුවා ලැබෙන්න ප්‍රථම මා නිවාඩු දමා ආ ගමනය.
මම කන්තෝරු ගිය මුල්දිනේ...කන්තෝරුවේ සැවොම පැමින, මට ශෝකය ප්‍රකාශ කලහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්...මාළිගෙ මළගමටද ,කොළබ සිට ලංගම බසයක් කුළියට ගෙන කලුතර ආවවුන් ය.
"ආ..සුමල් දැන් කොහොමද ... කවුද දැන් දරුවා බලාගන්නේ...?
"මාළිගෙ අම්මයි ගමේ ගෑනු ළමයි දෙන්නෙකුයි..."
"ඉතිං...උබට හැම සුමානෙම කළුතර යන්න වෙයි නේද දරුවා බලන්න .."?
"ඔව්...ඒක තමයි...මම කොළබ අපි නැවතිලා හිටිය කොළබ කුළී ගේ ආයෙත් භාර දුන්නා...ඒ ගෙදර තිබුන බඩුත් අපේ අක්කලාගෙ ගෙදරට ගිහින් දැම්මා...මම දැන් අක්කලාගෙ ගෙදර නැවතිලා ඉන්න නිසා, දරුවා අක්කලාගෙ ගෙදර එක්ක එන්න මම හිතාගෙන ඉන්නේ...මට නිතර කළුතර යන්නත් අමාරුයිනේ...ඊටත් මගේ දරුවගෙ වගකීම තියෙන්නේ මටනේ...මාළිගෙ දෙමව්පියන් දැන් වයසයි...ඒ මිනිස්සුන්ට බෑ කිරිදරුවෙක් හදා ගන්න. ඒ නිසා මම ඉන්න තැනකට මගෙ දරුවා එක්ක එන්න හිතාගෙන ඉන්නේ ..."
"එක හොදයි ..."
ඉන්පසු සුමානෙ, මම වැඩ ඇරි, කළුතර මාළිගෙ නිවසට යනවිට ජයන්ති හා සුනිලා දරුවා අතේ තියාගෙන වැලි මිදුලේ ඇවිදමින් සිටිනු දැක ගත හැකි විය. මා ඈතදීම එනවා දුටු විට ජයන්ති... දුවගෙන විත් මගේ අතින් අල්ලා ගත්තේ...ඉස්සර මාළි කරනා ලෙසමය. මම වහා ඇගේ අත ගසා දැමුවේ...වෙන කවුරු හරි දකියි කියා බයෙන්ය. දරුවා අතේ තියාන මිදුලේ ඇවිදමින් සිටි සුනිලා, එය දැක අහක බලගන්නවා මම දුටිමි .
"සුමල් අය්යා..අපට මොනාද කොළඹින් කන්න ගෙනාවේ..."
"මොනව ගේන්නද ...මම මේ ඔලුව ගිනි ඇරන් ඉන්න වෙලේ..." මම අමනාපයෙන් කීය.
ජයන්ති මගේ ලග හුරතල් වෙන්න උත්සහ ගනී....එය දකින සුනිලා නොදැක්කා සේ අහක බලා ගනී.
සුනිලා මගේ දරුවගේ අම්මා ලෙස, ආදරයෙන් ඔහු වඩාගෙන සිටිනා හැටි දකින කල, මට ඇය ගැන ඇතිවන්නේ සතුටක් හා ආදරයෙකි....සුනිලා දැන් තවත් ලස්සන වෙලායැයි මට ඇය දෙස බලනා කල පෙනේ...ඇය නියම අම්මා කෙනෙක් ලෙස දරුවාට ආදරයෙන් සැලකීම බලාගැනිම මගේ හිතට සතුටකි.
මම දරුවා බලන්න, වැඩ ඇරි කොළබ සිට කළුතර ගෙදර ආ බව දැක මාළිගෙ මව හා පියා සතුටු වු බව මට දැනින.
මම දරුවාට පොවන කිරිපිට් හා තව දරුවාට අවශ්‍ය දේ කොළඹින් ගෙන ආබව දැක ඔවුන් තවත් සතුටු වු බවද පෙනෙයි...
"දැන් පුතේ තව සුමානයකින් විතර අපි, සුනිලා ගමේ අරින්න ඕනේ...ඊට පස්සෙ මේ දරුවා බලාගන්න වැඩේ තමයි අපට අමාරු...මොකද අපි ඒකට කරන්නේ...?
"ඒක තමයි මමත් කල්පනා කලේ...මම ඉන්න තැනකට දරුවා එක්කගෙන ගියොත් හොදයි කියලා මට දැන් හිතෙනවා....ඒත් කොහොමද අක්කා දරුවා බලාගන්නේ කියන එකත් ප්‍රශ්නයක්, ..... එයාගෙ දරුවන්ගෙ වැඩත් එක්ක...කවුරු හරි දරුවා බලාගන්න පුලුවන් කෙනෙක්, වැඩට ඇරගෙන තමයි දරුවා අක්කලාගෙ ගෙදර එක්ක යන්න ඕනේ...."
‘‘ එහෙම නෙමේ පුතේ.... අපේ දුවගේ දරුව නිසා අපි මේකට හොද විසදුමක් හොයාගන්න ඕනේ...අම්මත් නැති දරුවා නිසා අපි හැමෝම, දරුවගෙ අනාගතය ගැන හිතන්න ඕනනේ....අපිත් තව ටික කාලයයි ජීවත් වෙන්නේ...අපි නැති දවසක ඒ දරුවට යන කලක් ගැන හිතල තියෙන්න එපා....දරුවා මෙහෙ තියාගන්න මම කැමතියි ...ඒත් ඒකේ පිලිවෙලක් තියෙන්න එපෑ...දැන් මේ දරුවා ඔය ළමය ගෙනේ....ඉස්සරහ කාලේ ගැනත් අපි හිතන්න එපෑ.... මොකද කරන්නේ කියලා ......සුමල් පුතා තාම තරුනයි.....පුතාට හැමදාම තනිකඩව ඉන්න බෑනේ....ඒකට දරුවා ප්‍රශ්නයක් වෙන්නෙ නැති තැනකින් තමයි පුතාට කවදහරි ආයෙත් කසාදයක් කර ගන්න වෙන්නේ....නැත්තම් අම්මා නැති දරුවට තාත්තත් නැති වෙනවනේ.....
පුතාට පුලුවන්ද රස්සාවෙන් අස් වෙලා ඇවිත් මෙහේ නවතින්න .....?මේ අපේ තියෙන දේපල ඇති මේ දරුවගෙ දරුවන්ටත් එක්ක...... අපට ඉතිං හැමදාම දරුවා බලාගන්න බෑනේ.... අපි දැන් වයසයිනේ......ඒ නිසා පුතා මෙහෙ නැවතිලා අපි කැමති කෙනෙක් කසාද බැදලා දෙන්නත් එක්ක මේ කිරි දරුවා හදාගන්නවා නම් තමයි අපි කැමති ... මොකද අපේ මේ සම්පූර්ණ දේපළ අයිති වන්නේ සුමල් පුතාටයි, මේ දරුවටයිනේ.....‘‘
‘‘මට තේරෙන්නෙ නෑ මොනවද කරන්න ඕනේ කියල..... රස්සාවෙන් අස්වෙන එකනම් අපරාදේ.....ආන්ඩුවේ රස්සාව නිසා....අනික දැන්ම නෙමේ මම ආයෙත් කවදාවත් කසාදයක් කර ගන්න කැමති නෑ නැන්දම්මේ....... මට දරුවා තනියම හදාගන්න පුලුවන් කමකුත් නෑ .....නැන්දලාට මේ කිරි දරුවෙක් හදාගන්න බෑ කියලත් මම දන්නවා.....මේකට පිලියමක්, අපේ අක්කගෙන් තමයි අහන්න ඕනේ...... ‘‘
"සුමල්ගෙ අක්කා මොනවද කිව්වේ දරුවා ගැන...? නැන්දම්මා අසයි.
" මුකුත් හරියට දෙයක් ඒ ගැන අක්කා එක්ක මට කතා කරන්න වෙලාවක් හම්බුනේ නෑ.....මම හෙට ගෙදර ගිහාම , අපේ අක්කගෙන් අහන්නම් මොනවද දැන් මේ දරුවගෙ වැඩේට කරන්න පුලුවන් කියලා..."
"සුනිලව ගෙදර අරින්නත් ඕනේනේ....ඒ නිසා ඊට ඉස්සර ඉක්මනට මේකට පිලියමක් කරන්න ඕනේ...අපි කතාබහ කරලා මොනව හරි ඉක්මනට කරමු නේද...?
"ඒක තමයි පුතේ...ජුවානිස් ගියපාර ගමේ ගියෙත් හිත හොදින් නෙමේ....සුනිලා කසාද බදින්න ඉන්න කොල්ලා, ජුවානිස්ට කරදර කරනවලු සුනිලව ගමේ එක්ක එන්න කියලා ...."
"සුනිලගෙ අතට තමයි දරුවා හොදට පුරුදු ...රෑට සුනිලා නිදාගන්නෙත් දරුවා තුරුල් කරගෙන....හරියට ඒ කිරි දරුවගෙ අම්මා, හරියට එයා වගේ....සුනිලා බලාගන්න විදිහට අපට බෑ...ඒ දරුවා බලාගන්න ...."
"මම දරුවව අපේ අක්කලාගෙ ගෙදර එක්ක යන්නද...නැන්දම්මේ..?මම ඉන්න තැනම දරුවත් ඉන්න එක හොදයි නේ...".
"ඔය දරුවගෙ අක්කා මොනවා කියයිද දන්නෑනේ....එයාටත් එයාගෙ ළමයි බලාගන්න තියෙන එකේ....මේ කිරි දරුවා කොහොමද එයත් හදාගන්නේ.... දරුවා තව ටිකක් ලොකු උනා නම් මටත් බලාගන්න පුලුවන් .....දැන් මේ කිරි බොන මේ දරුවා මට තනියම බලාගන්න එක තමයි අමාරු.. ..ඒකයි කිව්වේ....ඒ මදිවට, ජයන්තිත් හෙට අනිද්දා ගෙදර ගිහින් එන්න ඕනේ කියලා නිතර කියනවා....එහෙව් එකේ මට මේ කිරි සප්පයා තනියම බලාගන්න කොහොමත් බෑනේ පුතේ....
නැන්දම්මා මගේ දරුවා මා සිටිනා තැනකටම පිටත් කර හරින්නට උත්සහ ගන්නා බව මට පෙනේ.......නමුත් ඇයට ඔවුන්ගේ දේපළ බෙදී යෑම පිළිබඳවද තව ප්‍රශ්නයක් ඇත....මාළිගෙ ස්වාමිපුරුෂයා ලෙස, කවදා හෝ මටද ඇයගේ දේපළ වලට අයිතිවාසිකම් කීමට හැකි නිසා, ඒ ගැන දැන් ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය කියා මට සිතේ.....
"මම අහල බලන්නම් අක්කගෙන්...එයාට දරුවා බලාගන්න පුලුවන්ද කියලා ......"
"ආ...සුමල් අය්යේ මේ තේ එක බොන්න...මේ ලුසියා හදපු වැලි තලප...හරි රසයි කන්න කෑල්ලක්..."
"මම පුතා බලන්න මාළිගෙ ගෙදර ආ දිනට ජයන්ති සතුටින් ඉපිලමින් ඉන්නා බව පෙනේ....ඇය මගේ ඕනෑ එපාකම් ගැන බලන්න, ඕනෑවටත් වඩා මහන්සි වෙයි. ඇගේ ඒ මහන්සිය මට කරදරයක් ගානයි. මම ඒ දේවල් ගනන් නොගෙන ඉන්න උත්සහ ගනිමි. නමුත් ඇය මගේ පස්සෙ වැටි ඉන්නේ ...නැන්දම්මාගෙ උවමනාවට බව නම් මට වැටහේ...
එදින රෑවේගෙන එනවිට ඇගපත සෝදාගෙන මම මගේ පුතා සිටිනා කාමරයට ගියේ දරුවා අතට අරන් ටිකක් සුරතල් කරන්න හිතාගෙනයි.
සුනිලා ඇගේ කාමරයේ , ඇදේ උඩ වාඩිවී දරුවා අතේ තියාන බෝතලයකින් ඔහුට කිරි පොවමින් උන්නාය.
"ආ...අය්යා ..පුතා බලන්න ආවද..? මේ බලන්න මගේ අතේ ඉදන් මුකුත් නොදැන කිරි බොන හැටි...අම්මා අප්පා ගැන වගක් නෑ...මම ඉන්නවා නම් මෙයාට ඇති....සුනිලා ආදරෙන් දරුවාට කිරි පොවයි....මම ඇගේ ඇද උඩින් ඇගේ ලගින්ම වාඩිවී ඇගේ උකුල උඩ ඉන්නා දරුවා දෙස බලාන උන්නෙමි.
" බලන්නකෝ ....දැන් මේ මාසෙට, බබා ලොකු උන හැටි... මෙයා ඉස්පිරිතාලෙදි මගේ අතට දෙනකොට හරි පොඩියි....මට හරි සතුටුයි අම්මා නැති දරුවෙක්, මට ටිකක් හරි ලොකු කරගන්න පුලුවන් උන එක ගැන.....සුනිලා කියවයි...ඇය දැන් හිටියාටත් වඩා ලස්සන වි ඇත. ඇය සතුටින් දරුවා බලාගෙන මෙහි ඉන්නා බව පෙනේ...
"සුනිලට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නෑ....මට මේ කරන උදව් වලට..."
"ඕවා මොනවද ...මම හරි ආසාවෙන් මේ බබා බලාගන්නේ...අපේ තාත්තා කරදර කරන නිසා මිසක් , මම ගමේ යන්නෙ නැතුව මේ බබාව දිගටම බලාගන්න ආසයි...."
"එහෙම හොද නෑනේ සුනිලා ...සුනිලා කසාද බදින්න කෙනෙක් ඉන්න බව මට නැන්දම්මා කිව්වා ...එයා එන්න කියනවා නම් සුනිලා එහේ යන්න ඕනනේ... "
"ගමේ නම් ගිහිල්ලා එන්න ඕනේ...දැන්නම් මේ දරුවා දාලා යන්නත් දුකයි....අම්මා නැති දරුවා නිසා..."
"ආ...මම බැලුවා සුමල් අය්යා කොහේද කියලා ....මෙයා මෙහේ සුනිලගෙ කාමරේනේ....ඔහොම හොදයෑ....ගෑනුන්ගෙ කාමර වලට එන්න...ජයන්ති කේන්තියෙන් විහිලුවක් ලෙස කීවේ අපි සිටි කාමරයට එන ගමන් ය..
"ඇයි ජයන්ති ...මම ආවේ මගේ දරුවා බලන්න ...සුනිලා ඉන්න බව පස්සෙ දැක්කේ......"
"ඒක මිසක්...මම බැලුවා මොකද මේ දෙන්නා ..කලුවරේ කාමරය ඇතුලේ කියලා ..අන්න අය්යව ලොකු අම්මා හොයනවා...."
"මොකටද දන්නෑ...."
"ගිහින් බලන්නකෝ...අපේ අම්මලාට අය්යත් එක්ක කතා කරන්න ඕනේ කියලා පනිවිඩයක් එවල තිබුනා කියලා ...ලොකු අම්මා කිව්වා ...
මම සුනිලාගෙ කාමරයෙන් එලියට යන විට සුනිලා දුකෙන් වගේ මා දෙස බැලිය .
"නැන්දම්මා මට කතා කලාද..?
"අපේ නංගිලා ගිය සුමානෙ මෙහෙ ඇවිත් ගියා...ඔය ළමයට පනිවිඩයක් කියන්න කිව්වා...ඒත් මට හිතෙනවා තව ටිකක් ඉදලම ඒ පනිවිඩය කියන්න "
" ඒ මොකක්ද ...? එහෙමද...? මම පුතාව අපේ අක්කලාගෙ ගෙදර එක්ක යන්න කියලා නැන්දම්මේ..."
"ඒක නම් හොදයි ...අපේ නංගිත් කිව්වා ඒ විදිහ හොදයි කියලා ..."
"කවුද ජයන්තිගෙ අම්මලාද...?
"ඔව්.."
"අපේ අක්කලාව ඉරිදට මේ පැත්තෙ මම එක්ක එන්නම්....කොහොමත් මට දරුවා තනියම එක්ක යන්න බෑනේ...."
"එහෙමද...ඒක හොදයි...එහෙනම් අපි කෑම ටිකක් හදමු ඒගොල්ලන්ට හොදට කන්න දෙන්න....."
අක්කා ශාන්ත අය්යා සමග, මාළි නැතිවී මාසයක් ගිය පසු නැවත කලුතර මාළිගෙ දෙමව්පියන් හමුවන්න ආවේ මගේ දරුවා ගැන තීරණයක් ඇරන් යැයි මට සිතුනි.
"අපි මේ ටික දවසක ඉදන් හිතේ තියාන ඉදලා මේ ගමන ආවේ....මල්ලිත් දැන් අපේ ගෙදර ඉන්න එකේ...මල්ලිගෙ දරුවත් මල්ලි ඉන්න තැනම හිටියනම් හොදයි...කියලා අපට හිතුනා, මාළිගෙ අම්මේ...."
"ඒක ඇත්ත...අපිත් දැන් වයසයිනේ...මේ කිරි සප්පයා බලාගන්න අමාරුයි...යසෝමට ඉතිං පොඩි දෙන්නෙක් ඉන්න එකේ ඒ දෙන්නත් එක්කම මේ දරුවත් හදාගන්න අමාරුවක් නෑනේ...දැන් කොයි වෙලේ හරි සුනිලගෙ තාත්තා එනවා සුනිලා ගමේ එක්ක යන්න...සුනිලා බදින්න ඉන්න කොල්ලා කැමති නෑලු සුනිලා මෙහේ ළමයා බලාගෙන ඉන්නවට....එක අතකට ඒකත් ඇත්තනේ....".
"ඇත්තනේ...ඒ කෙල්ලත් කසාද බදින්න ගමේ අරින්න එපෑ...කල් නොයවා..."
"ඉතිං යසෝමා දුවට පුලුවන්ද මගේ මාළි දුවගේ දරුවා බලාගන්න...."
‘‘මල්ලිගෙ දරුවා මොකද මගේ දරුවො මොකද....? මම මල්ලිගෙ දරුවා මගේ දරුවෙක් වගේ බලාගෙන හදාගන්නම් මාළිගෙ අම්මේ........"
" ඒක ලොකු දෙයක් යසෝමා දුවේ....ඒ වගේම මාළි නැතිවෙලා වැඩි දවසක් නැති උනත්, දරුවගෙ ඉස්සරහ කාලේ ගැන අපි හිතන්න එපෑ... දරුවගෙ අනාගතය ගැන හොදට හිතල බලලා තීරණයක් ගන්න ඕනේ අපි හැමෝම, වැඩි කල් නොගොස්....
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments