top of page

💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය 💞 ( 17 වන කොටස )

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 24, 2020
  • 7 min read

"බබා හම්බවෙන්න තිබුන දිනේ ඉදන් තව දින දෙකක් ම පහු වුණානේ..... අපි මාළිව ඉස්පිරිතාලේකට එක්ක යමු නේද....?.


"දරුවා ලැබෙන ලකුණු පහල වුණාම ඉස්පිරිතාලේ ගියාම ඇති කියල වින්නඹු අම්මා කිව්වට.....දින දෙක තුනක්ම පහුවුන නිසා.... අපි ඉස්පිරිතාලේ ගිහින් හොද දොස්තර කෙනෙකුට පෙන්වමු......‘‘


මාළිගෙ අම්මා මාළිව ඉස්පිරිතාලේ ගෙනියන්න ලෑස්ති වෙයි....සුනිලා ,ජයන්ති ලුසියා ඇතුළු හැමෝම ගෙදර අය මාළිට ආවතේව කරමින් නොවිසිල්ලෙන් පසුවන්නේ අලුත එන දරුවා දැකිමටය....පිලිගැනිමටය.


මම වැඩිහිටි ඔවුන් කියන කියන හැම දේටම ඔලුව වනමින් එකඟ වෙමින් සිටිමි..... මා හට දරුවන් ලැබීම වැනි කිසිම දෙයක් ගැන ඒ හැටි වැටහීමක් නැත. .. වැඩිහිටි කවුරුත් කියන දේට මං කැමති වෙන්නෙ එබැවිනි.


"අපේ අක්කත් පනිවිඩයක් එවලා තිබුනා....මාළිට දරුවා ලැබෙන්න ප්‍රමාද ඇයි කියලා අහලා.. ....වුවමනාවක් උනොත් එයාට කියන්න කිව්වා....ඇවිත් දරුවා බලාගන්නම් කියලා......"


"මෙහේ මාළි බලාගන්න කට්ටිය ඉන්නවනේ සුමල් පුතා....දරුවා ලැබුනට පස්සෙ බැරියෑ අක්කට ඇවිත් බලලා යන්න.....එයාටත් එයාගෙ දරුවන්ගෙ වැඩ තියෙනවානේ...."


"දැන් කවුද මාළි එක්ක ඉස්පිරිතාලේ යන්නේ....ගිහින් එයා ලග නවතින්නේ...."


"ජයන්තිට නම් ඕවායේ තේරුමක් නෑ...අපි සුනිලට කියමු දරුවා ලැබෙනකම් මාළිගෙ තනියට ඉන්න කියලා ...."


"ඔව්....එහෙම හොදයි ..."


‘‘එහෙනම් ඇඳුම් එහෙම ලෑස්ති කරගන්න සුනිලා ..... සුනිලට පුළුවන්නෙ මාළි අක්කත් එක්ක දරුවා ලැබෙනකම් ඉස්පිරිතාලේ මාළිගෙ තනියට නවතින්න ....ජයන්ති එහෙනම් ගෙදර ඉන්න....‘‘


‘‘ඔව්... ඔව්... මං නවතින්නම් අක්කගෙ, තනියට..... එහෙනම් මාත් ඇඳුම් මොනවහරි දාගන්නද?’’ සුනිලා කීය.


‘‘ඔව්... එහෙම හොඳයි. මම ගෙදර කාර් එක එලවන සිරිපාලට එන්න කිව්වා..... තව පැයකින් විතර එහෙනම් ලෑස්ති වෙලා ඉන්න හැමෝම....ඉස්පිරිතාලේ යන්න ..‘‘


‘‘හැමෝම යන්න ඕනේ නෑනේ..... සුමල් පුතයි, සුනිලයි, මායි ගිහාම ඇති.....‘‘ මාලිගෙ අම්මා හැමදේම සැලසුම් කරයි.


අපි දවල් වනවිට මාළිවත් කැටුව රෝහල බලා ගියේ ගෙදර කාර් එක එලවන සිරිපාල සමගිනි.... සිරිපාල ඉතා ඕනෑකමෙන් හෙමින් හෙමින් වාහනය පදවන්නෙ මාළිට අපහසුවක් අමාරුවක් දැනෙයි කියා බයෙනි......සිරිපාල මාළිව පොඩිකාලේ ඉදන් බලාගෙන ඇත්තේ ඔහුගෙ දරුවෙක් ලෙසය.....සිරිපාල වාහනය එලවන ගමන්ද මාළි දෙස හොරැහින් බලන්නේ ඇයට වාහන ගමනේ අපහසුවක් ඇතැයි ද කියා අසනා ලෙසය......මාළි ඉතා සුදුමැලිව කතාබහක් නැතිව ඉඳී..... ඇයගෙ පෙනුමේ ඇත්තේ ඉතා දුක්මුසු බවක් බව සියල්ලන්ටම හොදින්ම පෙනෙයි.


‘‘ඇයි මාළි ඔයා අමුතු වෙලා ඔයාට අමාරු ද?‘‘


‘‘නෑ මට එහෙම අමාරුවක් නෑ. ඒ වුණාට ඇඟට පණ නෑ.....‘‘


‘‘අපි දැන් ඉස්පිරිතාලෙටනේ යන්නේ. බය වෙන්න එපා දුවේ.‘‘


මාලිගෙ අම්මා ඇය ලඟින් ම ඉඳ ගෙන ඇගේ ඔළුව අත ගායි. සුනිලා මාළිගෙ හා දරුවාගේ ඇඳුම් මලූ උකුලෙ තියාන වෙන්නෙ කුමක්දැයි කල්පනාවෙන් හිදියි..... ඇයත් මාළිගෙ තනියට හිටපු එක ලොකු දෙයක් විය.


මාත් මාළිගෙ මවත් මාළිව ඉස්පිරිතාලෙට ඇතුළ් කර ඇයව වාට්ටුවට දමන තුරු ඇය පසු පසින් සිටියෙමු.....මාළිව අපි ආන්ඩුවේ ඉස්පිරිතාලේ ඇති ගෙවන වාට්ටුවකට ඇතුලත් කලේ ඇගේ පහසුව සදහායි...ඈ වාට්ටුවේ නවත්වා, සුනිලා ඇගේ තනියට තියා ඉන් පසුයි මමත් නැන්ම්මත් නැවත ගෙදර ආවේ.....


සුනිලා මාළිගෙ තනියට ඉස්පිරිතාලේ නැවතුනේ ඇගේ කැමැත්තටමයි. ඇය මාළිට ඇගේ සහෝදරියකට සේ සලකයි, ආදරය කරයි. එය මටත් නැන්දම්මාටත් ලොකු දෙයකි, ලොකු සහනයකි.


‘‘අපි හවසට එනකොට සුනිලට රෑට කන්න කෑම අරන් එන්නම්......සුනිලා දවල්ට ගෙදරින් කෑම කාලා ආව නිසා හොදයි .... දැන් ලෙඞ්ඩු බලන වෙලාව පහුවෙලා නිසා අපි යන්නම්....සුනිලා දුව.....‘‘ නැන්දම්මා හා මම ආපසු ගෙදර බලා ගියේ හවස නැවත මාළි බැලීමට එන බව පවසාය.


‘‘ඈ.. සුමල් පුතේ මාළි දුව ඉන්නෙ හරි අපහසුවෙන් වගේ...... වැඩි කතා බහකුත් නෑ. මොකක් හරි අමාරුවක් ද දන්නෙත් නෑ.....අද වෙනදාට වඩා හරි වෙනස්.....‘‘ නැන්දම්මා මාළි ගැන දුකෙන් පසුවෙයි..


‘‘ඒක තමයි මාළි වෙනදට වඩා වෙනස් තමයි ....මටත් ඒක තේරුනා.....දැන් ඉතිං මාළි ඉස්පිරිතාලේ නේ ඉන්නේ....ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ.... දින පහුවෙලත් දරුවා ලැබුනෙ නැති නිසා.... එයා ඒ ගැන බයෙන් වෙන්න ඇති ඉන්නේ....කොහොමත් බබා හම්බවෙන්න යන්න බයයි කියලා තමයි හිටියේ......‘‘


‘‘සමහරවිට එහෙම වෙන්න ඇති.‘‘


‘‘අපි වේලාසන ආපහු ඉස්පිරිතාලේ යමු හවසට සුනිලට බත් එකකුත් ඇරගෙන යන්න ඕනේ......හොද වෙලාවට සුනිලා වේලාසන දවල්ට බත් කටක් කාලම ගියේ.... අනේ හොඳ කෙල්ල තමන්ගෙ අක්ක කෙනෙක්ට වගේ මාළි දුවව බලා ගන්නේ..... හොඳ වෙලාවට ඒ ළමයා මෙහේ නවත්ත ගත්තේ.... නැත්නම් ඉතිං කවුද මාළි දුවගෙ තනියට ඉන්නෙ. අර ජයන්ති කෙල්ල හිටියට වැඩක් නෑ....දාංගලේ.....කියවන එකමයි වැඩේ....වැඩක් කරන්න කැමති නෑ....මාළි වගේම කම්මැලියි .....මටත් ඉතිං ඉස්පිරිතාලවල නැවතිලා පුරුද්දක් නෑනේ..... මට ඔය මාළි දුව හම්බ වුණේ ගෙදරමයි..... දැන් ඉතිං එහෙම නෑනේ. ළමයි හම්බවෙන්න ඉස්පිරිතාලේ යනවනේ ගොඩක් අය....ඉස්සර අපි දරුවෙක් හම්බුවෙන්න ඉන්නකොට වින්නඹු අම්මා ගෙදරට ඇවිත් ඔක්කොම වැඩ කරලා දරුවා අතට දෙනවා...නිදහසේ ගෙදරම ඉන්න පුලුවන් එක හරි ලේසියි ...හැබැයි ඉතිං සීයක් නීති රීති ..තැම්බුම් හොදි බොන්න දෙනවා...මුලින් සුදට කන්න දෙනවා...පස්සෙ .කරවිල කොස් පොලොස් දෙනවා හොදට කිරි එරෙන්න කියලා ....ඒ කාලේ හරියට අපිව පරිස්සම් කලා...ඒ වගේම තමයි දරුවා හම්බවෙන්න ලේසි වෙන්න කියලා ගෙදර දොරේ වැඩත් ගත්තා....ඒවායෙ ඇත්තක් තියෙනවා ...පේන්න නැද්ද මාළි කම්මැලි කමට මුකුත් වැඩක් පලක් නොකර කකා බිබි ඉදන් ඇග මහත් කර ගත්තා විතරයි ...

..‘‘


අපි ගෙදර යන විට ජයන්ති හා මාමන්ඩි ,මාලිගෙ විස්තර දැන ගන්න බලාගෙන ගෙයි ඉස්තෝප්පුවේම රැදි සිටියාහ.


"කොහොමද ලොකු අම්මේ මාළි අක්කට....තාම බබා හම්බුනේ නැද්ද ..?


"තව කොහෙද ළමයෝ..


"ඉන්න මම ලොකු අම්මටයි අය්යටයි කෑම බෙදන්නම්.....දවල් කෑම වෙලාවත් හොදටම පරක්කු උනානේ..."


" ජයන්ති දුවේ....හවසට සුනිලටයි මාළිටයි කෑම දෙකක් ගෙනියන්නත් ඕනේ....සුනිලට නම් වැඩිය කන්න දෙන එකක් නෑ...දරුවා හම්බවෙන්න තියෙන නිසා....කොහොමත්, කුස්සියේ කෑම උයන ලුසියට කියන්න..කරවිල, පොලොස් ටිකක් එක්ක හොද බත් කටක් උයලා ගන්න කියලා...


"සුමල් අය්යේ...එන්න බත් කන්න...."


"මම ඇගපත හෝදගෙන එන්නම්..."


ජයන්ති නංගි, මාළි ලග නැති වෙලාවට වැඩිපුර මා සමග කතාවට එයි, විහිලු කරයි, මගේ කෑම බීම ගැන ඕනෑවට වඩා හොයා බලයි...."


"අය්යේ...මාවත් හවස මාළි අක්කා බලන්න ඉස්පිරිතාලේට එක්ක යන්න හොදද..?"


"ලොකු අම්මගෙන් අහන්න "


"ලොකු අම්මා මොනව කියන්නද ...ඔන්න මාත් එනවා ඉස්පිරිතාලේ යන්න .."


අපි තුන් දෙනා,සමග මාමන්ඩිද හවස ඉස්පිරිතාලේ යන්න ලෑස්ති උනේ...මාළිගෙ කුළුදුල් දරුවා ,නැතහොත් ඔවුන්ගේ පළවෙනි මුණිපුරා හෝ මිනිබිරිය දැකීමට ආසාවෙන් වෙන්නට ඇත.


හවස අපි සැවොම ඉස්පිරිතාලේ යන විට මාළි රෝහල් වාට්ටුවේ නොසිටියාය. සුනිලා අප දැක දුවගෙන විත් කතා කරන්න පටන් ගත්තාය.


‘‘මාළි අක්කව මොනවද පරීක්ෂණ වගයකට කියල එක්ක ගියා. තාම එක්ක ආවේ නෑ.......‘‘ අක්කට හොඳටම ප්‍රෙෂර් වැඩියි කිව්වා. දියවැඩියාවත් හොඳටම නැගලා කිව්වා.


‘‘අනේ දෙයියනේ... මේ දරුවා කොච්චර එපා කිව්වත් පැණි රසමනේ කන්නේ...... වින්නඹු අම්මා කිව්වා වැඩිය ලූණු කෑම කන්න එපා කියලත්.... ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා. කොහේද හොඳ නැති කෑමනේ හොය හොයා කෑවේ.....‘‘


‘‘ලෙඞ්ඩු බලන වේලාවත් පහු වුණා. තාම මාළිව එක්ක ආවේ නෑනේ..... මං ගිහින් නර්ස් නෝනාගෙන් අහල එන්නද...?’’


මාළි වාට්ටුවේ නැති නිසා මා වුන්නේද හිතේ දෙගිඩියාවෙනි.


‘‘අනේ ඔව් පුතේ ඒක හොඳයි අහල එන්න දරුවාට කොහොමද කියලා.....‘‘ නැන්දම්මා කීය.


මා ගොස් නර්ස් නෝනාගෙන් මාළි ගැන විමසුවෙමි.


‘‘මාළි කරඳගහගේ නේද...? එයාට හොඳට ම ප්‍රෙෂර් වැඩි වෙලා. .....දරුවා ලැබෙන දිනත් පහුවෙලා නිසා අපි එයාව ඔපරේෂන් කරලා දරුවා ගන්න කියල ලෑස්ති කරනවා...... ඔය ගොල්ලන්ට එයාව බලන්න ඕන නම් එන්න.... මාත් එක්ක....‘‘


‘‘අනේ ලොකු දෙයක් නර්ස් නෝනා.‘‘ නැන්දම්මා මට ඉස්සර විය....


අප යනවිට මාළිව ඔපරේෂන් රූම් එකට ගෙනියන්න ඉස්සර, වෙන කාමරයක ඇඳක දමා තියා තිබුනි...... ඇයට සුදු ඇඳුමක් අන්දා නිදිමත වෙන්න බෙහෙත් වගයක් ද දී තිබුණ බැවින් ඇයට අපි සමඟ කතා කරන්න තරම් සිහියක් නොතිබුණි. මාළිගෙ අම්මා ඇයගෙ ඔලූව අතගාමින් කතා කරයි.


‘‘දුවේ ඔයාට කොහොමද....? බය වෙන්න එපා දුවේ.... ඔයාට සියලූ දෙවි දේවතාවුන්ගෙ පිහිටෙන් අමාරුවක් වෙන්නෙ නෑ..... දරුවා කරදරයක් නැතුව ලැබෙයි....‘‘ මවගෙ කට හඬ ඇසී ඇය ඇස් ඇර බලා මාව දැක අත දිගු කොට මගේ අත අල්ලා ගත්තාය.


‘‘මාළි ඔයාට කොහොමද....?’’ මං ඇයගෙ අත අල්ලා ගෙන අනිත් අතින් ඔළුව පිරිමැද්දෙමි. ඇයගෙ ඇස් කොනින් කඳුළු බිදු වැටෙන්න පටන් ගත්තාය..


‘‘මට හොඳයි... මාව ඔපරේෂන් කරනවා කිව්වා..... බබා හැදිලා වැඩි නිසා. මට හොඳට ම ප්‍රෙෂර් නිසා ප්‍රෙෂර් අඩුවෙන්න බෙහෙත් දීලා මෙතන තියාගෙන ඉන්නෙ ඔපරේෂන් එකට ඉස්සර......‘‘


‘‘ඔයා බය වෙන්න එපා ඔයාට කරදරයක් වෙන්නෑ අපි ඔපරේෂන් රූම් එකෙන් එළියෙ ඉන්නවා...... ඔයා බය නැතුව ඉන්න.‘‘ මං දෙකට නැමී ඇගේ හිස සිම්බෙමි.... මාළිගේ මව එය දැක ඇඬුම් සඟවා ගෙන, ඇය ද මාළිගෙ හිස සිඹ ඇයට තුණුරුවන් සරණ පැතීය.


‘‘අපි එහෙනම් එළියෙන් ඉන්නම් දුවේ...... නර්ස් නෝනා කිව්වා වැඩිය ඔයත් එක්ක කතා කරන්න එපා කියලා.‘‘


‘‘ඔයාටයි දරුවාටයි බුදු සරණයි, දෙවි පිහිටයි. බය වෙන්න එපා.....‘‘ මං මාළිගෙ ඔළුව අත ගා ඇය සිටි කාමරයෙන් එළියට ආවේ ඇයටත් වඩා බයෙන් හා චකිතයෙනි.


‘‘අයියේ අක්කට කොහොමද.....? අපට ඇතුළට යන්න දුන් නෑනේ නර්ස් නෝනා....‘‘ සුනිලා හා ජයන්ති එළියෙ සිට අප ලඟට දුව ආවේ මාළිගෙ විස්තර දැන ගැනීමටය.


සුනිලා දවල් සිට රෝහලේ නැවති සිටි නිසා ඇයගෙ වත දැන් මහන්සියෙන් මැලවි ඇත. ජයන්තිද මාළිගෙ කුළුදුල් දරුවා දකින්න ආසාවෙන් බලාහිදී... හැමෝම ඇයගේ තොරතුරු හා අලුත් දරුවා දැක ගැනීමට ආසාවෙන් බලාපොරොත්තුවෙන් හිදී.


‘‘තව වෙලා යයි මාලිව රෝහලේ වාට්ටුවට දාන්න.... තවම බබා හම්බ වෙලා නෑනේ.... මාළිව ඔපරේෂන් කරනවලූ බබාව ගන්න...... බබා හැදිල වැඩි නිසත් එයාට හොදටම් ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන නිසත්....‘‘


අපි පස්දෙනාම ඔපරේෂන් රූම් එකෙන් පිට කොරිඩෝවේ එහෙට මෙහෙට ඇවිද ඇවිද සිටියේ මාළි ගැන සිතමින්ය.... මාළිගෙ අම්මා ඔපරේෂන් කාමරය ලඟම තිබුණ පුටුවක වාඩි වී ඉතා දුක්මුසු ලෙස කල්පනා කරමින් ඉඳියි. මගේ හිතද තදින් ගැහෙයි..... දරුවාටත්, මාළිටත් මම සියලූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි පතමින් සිටියේ බයෙන් වගේම දුකින්ය.


‘‘අක්කට අමාරුද අයියේ.....‘‘ ජයන්ති හා සුනිලා ද සැරෙන් සැරේ මාළි ගැන අසයි....ඔවුන්ටද මාළි ගැන ඇත්තේ දුකකි. තමන්ගේ ම අක්කා කෙනෙක්ට වගේ ඔවුන් මාළිට සැලකුවාය.


සුනිලා,මාළිගෙ සියලූ වැඩකටයුතු කර දෙමින් දරුවාට ඇඳුම් ද මසා දෙමින් මාළි ලඟට ම වී පසුගිය මාසයේ කල් ගෙවූයේ මාළිගේ නැගණියක ලෙස ය.


‘‘ ගෙදර ඉන්න අනිත් අයට දුවගෙ විස්තර දන්වලා එවන්න කිව්වා.... කා අතේ ද අපි ගෙදරට පණිවිඩයක් අරින්නේ....කාර් එක එලවාගෙන ආපු සිරිපාල ගෙදර යවමුද. දුවව ඔපරේෂන් කරන බව කියලා ..."


"මම සිරිපාලයි, ජයන්ති දුවයි එක්ක ගෙදර යන්නම්...මෙතන හැමෝටම ඉන්න බෑනේ...මාමන්ඩි කීය.


"ඔව්...මෙතන හැමෝටම ඉන්න බෑනේ...ඒක හොදයි ..එහෙනම් මහත්තයා ගෙදර යන්න ."


‘‘දැන් රෑ වේගෙනත් එනව නේ ද? .....දුවව ඔපරේෂන් කරාද දන්නෙ නෑ.... විස්තර දැනගන්න විදිහක්වත් නෑනේ..... මේ නර්ස් නෝනලාගෙන් මොනව හරි ඇහුව්වහම හරියට කේන්ති යනවනේ.‘‘


‘‘තව ටිකක් බලමු අම්මේ... ඉන්න මං අම්මලාට බොන්න මොනවහරි අරගෙන එන්නම්. හවස ඉඳන් වතුරවත් නෑනේ....දැන් රෑ අටටත් ලගයි...සුනිලට කන්න ගෙනාපු බත් මුල් දෙක තියෙනවා ...ඕන නම් අම්මා ඒක සුනිලා එක්ක කන්න....‘‘


"අනේ දරුවෝ මට නම් මොනවත් කන්න බෑ...තාම දුවව වාට්ටුවට ගෙනාපු නැති නිසා මගේ හිතට හරි නෑ...."


"ඉන්න මම මොනව හරි බොන්න ගේන්න හැමෝටම "


මම ලඟ තිබුණ ඉස්පිරිතාලේ විවේකාගාරයේ කැන්ටිමට ගොස් සුනිලාටත්, අම්මාටත් කිරි බෝතල් දෙකකුත්, බනිස් ගෙඩි දෙකකුත් ගෙනවිත් දුන්නේ රෑ කෑම වෙලාවත් පහු වේගෙන යන නිසයි.


ඔපරේෂන් කාමරය ලඟ හිටි හිත හොද සුළු සේවකයෙකුගෙන් අවසර ගෙන අපි ඔපරේෂන් කාමරය ඉදිරිපිට නැවතී සිටියෙමු.


මාත් මාළිගෙ අම්මත් පසු උනේ බියකිනි. ඇයි ඇයට තවම දරුවා හම්බ වෙලා නැතිවද....? මෙච්චර පරක්කු....මාළිට අමාරුවත්ද..... අප තිදෙනාගෙම සිතේ ඇති වි ඇත්තේ බියකි.... එකිනෙකා කතා නොකර ඔපරේෂන් කාමරය ලඟ, එහි දොර දිහා බලාගෙන හිටියේ කොයි වෙලේ හෝ මාළිවත් දරුවත් රැගෙන කවුරු හෝ එයින් එලියට එයි ද කියායි .


‘‘මාළිනි කරදගහගේ නෑදෑයෝ කවුද මෙතන ඉන්නේ....‘‘ නර්ස් නෝනා කෙනෙකුත් දොස්තර මහත්තයා කෙනෙකුත් ඔපරේෂන් කාමරයෙන් එළියට විත් ඇසීය.


‘‘මාගෙ හිත බයෙන් ගැහෙන්නට විය.‘‘


"අනේ මම එයාගෙ අම්මා...නැන්දම්මා හිටි තැනින් වහා නැගිට ගත්තාය.


‘‘මේ මම එයාගෙ මහත්තයා.‘‘ මම ඉදිරිපත් වුණේ ටිකක් සැකයෙනි.... මට හරියට කතා කරගන්නටද බැරි විය.


දොස්තර මහත්තයා මට කාමරය තුළට එන ලෙස සංඥා කළේ ය.


‘‘මේ මිස්ට කරදගහගේ වෙන්න ඇති.....‘‘ වෙනත් දොස්තර කෙනෙක් මගේ ලඟට විත් මා සමඟ කතා කළේය.


" මිස්ට කරදගහගේ....මාළිට ටිකක් අමාරුයි ... අපි ගොඩක් උත්සහ ගත්තා අම්මටයි, දරුවටයි දෙන්නටම කරදරයක් නොවෙන්න.... ඒත් ඔයාගෙ මිසිස් ඔපරේෂන් කරාට පස්සේ තාම එයාගෙ සිහිය ආවේ නෑ...අපි එයාව දැඩි සත්කාර ඒකකයට දැම්මා... එයාගෙ නොයෙකුත් අසනීප තත්ත්වයන් නිසයි ඇයට දරුවා සාමාන්‍ය විදිහට හරියට බිහි කර ගන්න බැරි වුන නිසයි .... අපි දරුවා ගන්න ඔපරේෂන් කලේ.... ඔපරේෂන් එකෙන් පසුව මිසිස්ට තාම සිහිය ආවේ නෑ....දැම්ම ඔයගොල්ලන්ට එයාව පෙන්නන්න බෑ...අපේ දොස්තර වරු ගොඩක් එයාගෙ සිහිය ගන්න තාම උත්සහ ගන්නවා... අපට කණගාටුයි.... හැබැයි දරුවා හොඳින් ඉන්නවා... දරුවා ගොඩක් හැදිලා. හොඳ සනීපෙට දරුවා ඉන්නවා....නර්ස් ඔය බබාව මෙහෙට ගේන්න.....දොස්තර මහත්තුරු දෙදෙනා සහ නර්ස් නෝනලා දෙතුන් දෙනකු මා වට කරගෙන කනගාටුදායක ලෙස කීය...


."මේ ...මේ ඉන්නේ ඔයාගෙ දරුවා.‘‘ නර්ස් කෙනෙක් මගෙ අතට ගෙනත් පෑ දරුවා මා අතට ගත්තේ දෙනෙතේ කඩා හැලෙන කඳුලූ අතරිනි..... දෙවියනේ අහිංසක මාළිට තාම සිහිය ඇවිත් නෑ කියන්නේ ඇයි...මට කිසි දෙයක් හිතා ගැනිමට නොහැක.....මම කොහොමද මේ බව ඇගේ දෙමව්පියන්ට කියන්නේ....ඔවුන්ගේ එකම දරුවා සිහිසුන් වී සිටින බව.... දෙවියනේ මං කොහොමද මාළිගෙ දෙමව්පියන්ට ඇය පැය ගානක් සිහිසුන් වී සිටින බව ඇගේ දෙමව්පියන්ට කියන්නේ.... මා දරුවා නැවත නර්ස් අතට දී ඔපරේෂන් කාමරයෙන් එළියට ආවේ භාගෙට ඇඬුම් අතරින්ය.


මා අඬමින් ඔපරේෂන් කාමරයෙන් එළියට එනවා දැක මාළිගෙ මව මා වෙත දිව ආවේ ඇස් දෙක ද ලොකු කරගෙන ය.


‘‘ඇයි පුතේ මොකද මේ අඬන්නෙ දරුවට කරදරයක් ද?’’


‘‘ නෑ අම්මේ....මාළිට තාම සිහිය ඇවිත් නෑ...මාළිට පුතෙක් හම්බවෙලා...දරුවා හොද සනීපෙන් ඉන්නවා.....මාළිව දැඩි සත්කාර ඒකකයට දාලා.....අපට දැන්ම එයාව බලන්න බෑ....මාළිගෙ මව සාරි පොටින් මූණ වසාගෙන අඬන්නට වුණේ මාළි ගැන බයෙන් හා දුකෙන් බව මට වැටහින.... සුනිලා ද බාගෙට අඬමින් ඇය වත්තන් කරගෙන ඇගේ ඇඬීම නවත්වන්නට උත්සහ ගනී.


හෙට හමුවෙමු


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page