
💥බැද්දේ කුමරිය දෙවන ඇරඹුම💥
- Prisila Godahewa

- Apr 7, 2022
- 6 min read
💥 බැද්දේ කුමරිය 💥
(දෙවන ඇරඹුමේ )
පළවෙනි කොටස (1)
රුවන්ගමේ ගම්මුලාදෑනීයාගේ බාල දුව වන සුනිලාගෙ හා මගේ විවාහය හා දෙවන ගමනේ උත්සවය වෙනුවෙන් , එම ගමේ සියලු ගම්වැසියන් එයට සහභාගි වි තිබුනේය. ඔවුන්ගේ වත්කම් ප්‍රමාණය හැටියට, පුළුවන් උපරිමයෙන්, තිබුන හොදම ඇඳුමෙන් සැරසි ඔවුන් අපේ දෙවන ගමනේ මඟුළ වෙනුවෙන් සහභාගි වීම ,මටත් සුනිලාටත් විශාල සතුටක් විය.
ජුවානිස් අප්පුහාමිලාගේ මහ ගෙදර වත්තේ පැත්තක ගසා තිබුන ටකරං මඩුව, පරන සාරි දමා වටකර , පැමිනි අමුත්තන්ට දහවල් ආහාරය දෙන්නට ලෑස්ති කර තිබුනේය. ගෙදර වත්තේ කොනක විශාල රබානක්, පොඩි ගිනි මැලයක් යට තියා ( රබාන රත් වෙන්න) ගමේ ගෑනු හතර පස් දෙනෙක් තරඟයට රබන් ගසමින්ද සිටියෝය. අප දෙදෙනා ගෙදර වත්තට ඇතුළු වන මොහොතේ..... ,ගේ ඉස්සරහ කොස් ගහක එල්ලා තිබුන රතිඤ්ඤා වැල එක දිගට පත්තු වෙන්නට පටන් ගත්තේ කන් බිහිරි කරන තරම් සද්දෙකිනි.
සුනිලා රතුපාටට හුරු ඔසරියකින් සැරසි සිට් අතර, මම මට සුපුරුදු අත් දිග සුදු කමිසයකින් හා සුදු කලිසමෙන් සැරසි උන්නෙමි. සුනිලාගේ අක්කා හා අය්යලා මල්ලිලාද අපට ගැලපෙන ලෙසම සැරසි උන්නේය.
දහවල් ආහාරය ටකරං මඩුවේදි මුලින්ම ඉදුල් කරන්නට අප දෙදෙනාට ආරාදනා කරන ලද්දේ සුනිලාගේ අක්කා විසිනි. ඇය වතුර දැමු වීදුරුවක් අප දෙදෙනාට මුළින්ම අල්ලා, කෑම මේසය ඉඳුල් කරන්නට ආරාධනා කලාය.
ජුවානිස් අප්පුහාමිලාගේ විශාල වත්තේ, ගෙට අල්ලා කොනක ගසා තුබුන ටකරං මඩුවේ දිග කෑම මේසයක් දමා වටේට පුටු තියා ඇත. කෑම මේසයට සුදු රෙද්දක් එලා, ඒ උඩ කෑම දීසි තබා, සුදු රෙද්දකින්ද වසා ඇත. අප දෙදෙනා ඒ මඟුල් මඬුව තුලට ගිය පසු, එහි සුදු රෙද්ද දෙතුන් දෙනෙක් විසින් අරින ලදි..... විශාල පළන්ඟන් වලට, කහ බත්, රතු බත්, දඩ මස්, පොළොස් ඇඹුල, වම්බටු පැහි, අල හොදි ,පිපිඥ්ඥා තක්කාලි සම්බෝල, අඹ මාළුවක්, සිංහල අච්චාරු හා පපඩම් බෙදා තිබුනි. බත් කාලා කන්නට මීකිරිද ගෙදර හදපු කිතුල් පැණි හා කෙහෙල් කැනක්ද ටකරං මඩුවේ පැත්තක එල්ලා ඇත. සිංහල තාලෙට සියලු දේ ලෑස්ති කොට තිබුනේය.
"අප්පේ මේ කළබලේම අපේ අක්කලා තාත්තලා ජයටම මඟුල් මේසයකුත් ඇරලම තියෙන්නේ ...."
"අපි හැමෝම බලාගෙන හිටියේ සුනිලා නංගි කවද්ද දීගේ යන්නේ කියලනේ....අපි හැමෝටම හරිම සතුටුයි නංගි හොද වැදගත් පරම්පරාවක මහත්තයෙක් කසාඳ බැදපු එක....."
"අනේද කියන්නේ....අපට තියෙන සතුටක්....ඇස්වහක් කටවහක් නෑ සීදේවි මහත්තයා ....සුනිලට හරි ආදරෙන් ඉන්න පාටයි ...."
"මහත්තයාගේ නෑදෑයෝ මඟුලට ආවේ නැත්තෙ ඇයි දන්නේ නෑ.... යාලුවො දෙතුන් දෙනෙක් විතරයි නේද මඟුලට සහභාගි වෙලා තියෙන්නේ ...."
"එදා සුනිලා නංගිලා කසාඳ බැදපු දවසේ ,මහත්තයාගේ නෑදෑයෝ යාලුවො කට්ටියම කච්චේරි යන්න ආවනේ....ඒ මදෑ....කොළඹ ඉදන් නෑදෑ කට්ටියටම, මේ ගමට එන්න කරදරයිනෙව...."
"ඒක තමයි ....කසාඳ බැදපු දවසේ ආව එකම මඳෑ...."
මගෙත් සුනිලාගෙත් විවාහයෙ, දෙවන ගමන උත්සවය වෙනුවෙන් සහභාගි වු සුනිලාගෙ ගමේ සියලු දෙනා, බඩ,කට පිරෙන්න කෑම කා සතුටෙන් පසුවන බව පෙනේ. ඔවුන් සැවොම සුනිලාගේ පවුලේ අයට බොහෝ හිතවත් බවද, ගෞරවයෙන් සලකන බවද පෙනේ.....
දහවල් ආහාරය නිමවීමෙන් පසු,
ජුවානිස් අප්පුහාමි විසින් මංගල සභාව අමතන්නට විය. ඔහුට අමතරව, සුනිලාගෙ සහෝදරිය කසාඳ බැද සිටි රුවන්ගම ඉස්කෝලේ ලොකු ඉස්කෝලේ මහත්තයා විසින්ද කතාවක් පවත්වන ලදි.
"අපේ සුනිලා නංගිගේ අතගත් සුමල් මහත්තයාගෙන් අප සැවොම බලාපොරොත්තු වෙන්නේ, අපේ ආදරණීය සුනිලා නංගීව මුළු ජීවත් කාලෙම ඉතා ආදරයෙන් කරුණාවෙන් ඔබේ බිරිඳ ලෙස මෙතැන් සිට බලා ගන්නා ලෙසයි...."
ගමේ ඉස්කෝලේ මහත්තයා විසින්, අලුත විවාහ පත් වුන යුවළට ඉතා අගනා උපදෙස් දෙමින් ඉතා හරවත් කතාවක් පවත්වන ලදී.
උත්සවයට පැමිනි සියල්ලෝ ,ඔහු විසින් පවත්වන ලද කතාවට සවන් දුන්නේ බොහෝම ඕනෑකමිනි.
මගේ පැත්තෙන් අපේ දෙවන ගමන සඳහා සහභාගි වි උන්නේ සිරිදාස හා තව යහළුවන් දෙදෙනෙක් පමනි. ජුවානිස් අප්පුහාමි ඒ ගැන විශේෂ සඳහනක් කලේ මේ ගමට ඇවිද එන්නට ඇති අපහසුව නිසා, කොළඹ ඇත්තන් අපේ පළවෙනි දින මඟුලට ,හා කච්චේරියට යන ගමනට පමණක් සහභාගි උන බව මතක් කර දෙමින් ය.
මගෙත් සුනිලාගේත් මංගල්‍යයේ දෙවන ගමන දින, අහිංසක අව්‍යාජ ගැමි ජනතාවක් ඒ වෙනුවෙන් ඉතා සතුටින් සහභාගි වි, අපට සුභ පැතිම ගැන මට තිබුනේ ලොකු ආඩම්බර බර සතුටකි.
සුනිලාගෙ ගමේ දුප්පත් නෑදෑයින් , අහල පහල ගෙවල් වල ඈයන් හා යහළුවන් විසින් අපට සුළු තෑගි බෝගද පිරිනමා තිබුනි. ඒවා අතර වතුර බොන විදුරු හයක්, තේ කෝප්ප හයක්, පිඟන් හයක් වැනි, කුස්සියට, ගෙදරට අවශ්‍ය කරන සුළු බඩුමුට්ටුද සුනිලාට චීත්ත ගවුම් රෙදි, තුවා ආදියද ලැබි තිබුනි. සුනිලා ඒවා බොහෝම ආසාවෙන්, සතුටින් බාර ගත් බව පෙනින.
රුවන්ගම පැවැති අපේ දෙවැනි ගමනේ උත්සවය බොහෝම චාමෙට වියදම් අඩුවෙන් අවසන් උන බවක් මට පෙනුනත්......, එය ගමේ මිනිසුන්ගේ අතින් අති උත්කර්ශවත් උත්සවයක් වු බව සුනිලා විසින් මට පවසන ලදි. එවැනි උත්සවයක් පවත්වන්න වත් වත්කමක් නැති මිනිසුන් ඒ ගමේ ඇති බව මටත් පසුව වැටහින.
" අපේ මඟුල පුලුවන් විදිහට අපේ ගෙදර කට්ටිය එකතු වෙලා හොදින් කරලා දැම්මා.....මට ඒ ගැන හරිම සතුටුයි ....අපේ තාත්තා ,අක්කා, අය්යලා, මල්ලිලාට ඒ ගැන ගොඩක් සතුටුයි ...."
"ඔව් සුනිලා ,මටත් හරි සතුටුයි මේ ගමේ උදවිය අපේ විවාහය වෙනුවෙන් සතුටුවුන හැටි දැකලා ....හරිම අහිංසක නිරහංකාර මිනිස්සු එක්ක මට ඉදිරිකාලේ ගත කරන්න ලැබෙන එක ගැනත් සතුටුයි.
"ඔන්න මහත්තයා ...දැන් නම් අපට ගමේ මිනිස්සුන්ට පේන්න ඕන තරම් මේ ගමේ ලස්සන පැති බලන්න යන්න පුලුවන් .....අපි කසාඳ බැදලා ඉන්න නිසා , බයක් සැකක් නැතුවම දැන් අපට ගම් කරේ ඇවිදින්න යන්න පුලුවන් ...."
"මට ආසයි සුනිලා එක්ක අර,ගේ පිටිපස්සෙ තියෙන මහ දොලේ නාන්න යන්න ....එතකොට අර පේන කන්දේ, කැලේ ඇවිදින්න යන්න එහෙම ...."
"අනේ මටත් ආසයි , මහත්තයා එක්ක ගමේ හැම තැනම ඇවිදින්න යන්න....."
අපේ විවාහය සඳහා මම කන්තෝරුවේන් සුමාන දෙකකට නිවාඩු දමා පැමින නිසා...., අපේ විවාහය හා දෙවන ගමන උත්සවය අහවර උන දින සිට, සුනිලා හා මම නිදහසේ ගමේ ලස්සන තැන් දැක බලා ගන්නට සතුටින් ඇවිද ගියෙමු. මගේ ජීවිතයේ බොහෝම නිදහසින් සතුටින් ගත වි ගියදින කිහිපයක් ලෙස එම දිනවල් හැදින්විය හැක.
" දැන් අපේ මඟුලත් , දෙවැනි ගමනේ උත්සවයත් ඉවර උන නිසා, දැන් කොහේද අපි දෙන්නා මීට පස්සෙ නවතින්න යන්නේ මහත්තයා ....?"
" අපි ටික දවසක් කොළඹ ගිහින් නැවතිලා ඉදිමු....මම ඉස්සර හිටපු බෝඩිමේ ඔයාට ගිහින් නැවතිලා ඉන්න බෑ...., එතන සිරිදාසත් ඉන්න නිසා .......ඊටත් අපේ තාත්තලා අක්කලා ඒ බෝඩිම දන්න නිසත්....ටික කාලයක් අපි අපේ ගෙදර අයගෙන් වහං වෙලා ඉන්න ඕනේ සුනිලා....., මොකද ඒගොල්ලන්ට හොරෙන්, ඒගොල්ලන්ගෙ අකමැත්තෙන් මම කසාඳ බැන්ද නිසා, ගෙදර අය දැන් කළබල වෙලා ඉන්නෙ කියලා සිරිදාස කිව්වා.. ...."
" මම නිසා, මහත්තයාට හරිම කරදරයක් නේද සිද්ද උනේ......මහත්තයාගේ ලඟම නෑදෑයෝත් මම නිසා මහත්තයා ට නැති උනා නේද ?
"ඒකට කමක් නෑ සුනිලා ....මම ආදරේ කල කෙනා මට ලැබුනනේ...."
"මහත්තයා මට ගොඩක් ආදරේ නිසා තමයි , මහත්තයාගේ තාත්තා අක්කාවත් අමතක කරලා මාව කසාඳ බැන්දේ කියලා මම දන්නවා.....මට හරිම සතුටුයි මට ගොඩක් ආදරේ කරන කෙනෙක් කසාඳ බදින්න ලැබුන එක ගැන ...."
"සුනිලා ආයෙත් මට මහත්තයා කියන්න පටන් ගත්තා නේද...?
"දැන් ඉතිං ඔයා මගේ මහත්තයානේ....දැන් නම් මට ඔයාට නමෙන් කතා කරන්න බෑ....අය්යා කියන්නත් බෑනේ ....ඒ නිසා මීට පස්සෙ මම ඔයාට මහත්තයා කියලා තමයි කතා කරන්නේ....ඒක මට සතුටක් , මගේ කැමැත්ත ....."
"ඔයාට හොද විදිහක් .....ඔයා කැමති විදිහකට මට කතා කරන්න සුනිලා...."
"ඒක හොදයි . ....එහෙනම් මහත්තයා අපි දැන් මොකද කරන්නේ....? දැන් කොළඹ ගිහින් කොහේද එතකොට අපි නතර වෙන්නේ....?
" සිරිදාස, අපි දෙන්නට අලුත් බෝඩිමක් හොයලා තියන්නම් කිව්වා. මම මගේ කන්තෝරුවෙන් වෙනත් කන්තෝරුවකට මාරුවකුත් ඉල්ලුවා...... මොකද තාත්තා මාව හොයාගෙන ආයෙත් පරණ කන්තෝරුවට එන්න බැරි නැති නිසා ...."
"මම හින්දා මහත්තයාට හරි කරදරයක් නේද උනේ...."
"හිත ගිය තැන මාළිගාව කියනවනේ...."
"ඒක නම් ඇත්ත ....ඔයා කොයිතරම් සැපට ඉන්න පුලුවන්, කොයිතරම් උගත් වැදගත් කෙනෙක්ද....? මාව හොයාගෙන මේ කැලෑ ගමට ආවට...."
"අපි තව දවස් දෙක තුනක් මේ රුවන්ගම ඔයගොල්ලන්ගෙ ගෙදර ඉඳලා ,ඊට පස්සේ කොළඹ යමු සුනිලා ...."
" මහත්තයා, අපි දැන් කසාඳ බැදලා නිසා , මේ අපේ මහ ගෙදර නැවතිලා ඉන්න ඕනේ නෑ...., අපේ තාත්තා මට අර තැන්නෙන් පහළ, රබර් අක්කරයක් එක්ක සාමාන්‍ය ප්‍රමානයට හදපු ගෙයකුත් හදලා මගේ නමට ලියලා තියෙන්නේ. අපි හෙට උදේම ඒ ගෙදර පදිංචියට යමු මහත්තයා ....අපේ අය්යලා කළබලේම ඒ ගෙදර සුදු හුනු ගාලා, බිම හෝදලා අලුත් කරලා තියෙන්නේ කිව්වා..... ,අපේ කසාදය සිද්ද වෙන බව දැන ගත්තට පස්සේ....."
"ආ....අර දවසක් ජුවානිස් අප්පුහාමි මට පෙන්නන්න , මාව එක්ක ගෙන ගිය ගෙදරද....?
"ඔව් මහත්තයා ....ඒ ගෙදර වැඩිය ලොකු නෑ. කාමර දෙකක පොඩි ගෙයක්....හැබැයි අපි දෙන්නට ඕනෑවටත් වඩා ඉඩ තියෙනවා ...."
"ඒ ගෙදර හොදයි අපි දෙන්නට ටික කාලයක් ඉන්න.....අපි ටික දවසක් ඒ ගෙදර ඉදලා, සිරිදාස බෝඩිමක් හොයලා දුන්නට පස්සෙ කොළඹ යමු.... ඊට පස්සේ අපි දෙන්නට තනියම ඉන්න ගෙයක් කොළඹින් හොයා ගමු. මට ආන්ඩුවේන් දුන්න නිළ නිවාසය මම භාර දුන්න නිසා, ආයෙත් අලුත් ගෙයකට මම ඉල්ලුම් කරන්න ඕනේ.....අපේ ගෙදර අයගේ කේන්තිය නිවෙනකම් අපි දෙන්නා කොහොමත් ටිකක් වහං වෙලාම ඉමු......"
" දැන් ඉතිං අපිට කොළඹින් ගෙයක් ගත්තත්, ඒකට මුල ඉදලා බඩුමුට්ටු ගන්න වෙනවා නේද....?
"ඔව්.....මට අයිති ලී බඩු ඔක්කොම අක්කලාගේ ගෙදර ගිහින් දැම්මනේ....දැන් ඉතිං ඒ බඩුමුට්ටු මුකුත් අක්කගෙන් ආපහු ඉල්ලන්න යන්න මට බෑ....... අපට ගෙදරට මුල ඉඳලම බඩු ගන්න වෙනවා. ..."
"මට දුකයි මහත්තයා ..... මම හින්දා ඔයාට ඔයාගේ නෑදෑයෝ , යාලුවො ,දේපළ ඔක්කොම නැති උනා නේද...? එතකොට ඔයාගේ පුතා...? දැන් කොහොමද ඔයා එයාව අපි ළඟට ගන්නේ....?
"ඒක තමයි මට තියෙන දුක....අක්කා නම් මට ආපහු මගේ දරුවා මට ආයෙත් දෙන්නෙ නෑ.....මාළිගෙ අම්මලා ,දරුවා අක්කා ගාව හැදෙන්න දෙන එකකුත් නෑ.....ඒ දරුවට මාළිගෙ දේපළ ඔක්කොම අයිති වන හින්දා.... ,දරුවව ඒගෝල්ලෝ ලඟට ආයෙත් ගනියි...... සිරිදාසට කියලා තමයි මොනව හරි කරන්න බලන්න ඕනේ....."
"එතකොට දැන් සිරිදාස ජයන්තිව කසාඳ බදිනවද....?
"සිරිදාස එහෙම තමයි හිතාගෙන ඉන්නේ....අනේ මන්දා ජයන්තිලාගේ අම්මලා, මාළිගෙ අම්මලා සිරිදාසටත් අකමැති වෙයිද දන්නේ නෑ, මම කරපු වැඩේ නිසා.... "
"මම නිසා කී දෙනෙක් නම් කරදර වෙනවද? මට හරි දුකයි මහත්තයා ...."
" කමක් නෑ සුනිලා ....ඔයා ඒකට දුක් වෙන්න ඕන නෑ.....අපි දෙන්නා අපේ ආදරය දිනුවනේ...."
"ඒ උනාට දැන් ඔයගොල්ලන්ගෙ තාත්තා, ඔයාට දෙන්න හිටිය දේපළ මුකුත් දෙන එකකුත් නෑ මම නිසා..... , ඒගොල්ලන්ගෙ අකමැත්තෙන් ඔයා මාව කසාඳ බැන්ද නිසා....ජයන්ති වගේ හොද, වටින කෙනෙක්ව ඔයා අමතක කරපු නිසා...., රවට්ටපු නිසා....."
"අපි ඕවා අමතක කරලා දාමු සුනිලා ....මට ඒගොල්ලන්ගෙ මොනවත් ඕන නෑ..... මට ඔයා ඉන්නවානේ ඒ ඇති ....මට වටින්නේ ඔයාගෙ ආදරය විතරයි ......"
" මටත් ඔයා හිටියම ඇති.... ....ඔයාගෙ නෑදෑයෝ ,දේපළ මුකුත් ඕන නෑ.....මට මහත්තයා එක්ක සතුටින් ඉන්න විතරයි ඕනේ..... අපි හෙට, අපේ තාත්තා මට හදලා දීපු ගෙදර පදිංචියට යමු......ඔයා ආයෙත් වැඩට යනකම් අපට එහෙ ඉන්න පුලුවන් ....."
"මම සුමාන දෙකක් කන්තෝරුවෙන් නිවාඩු ගත්ත නිසා ,තව සුමානයක් විතර මට ඔයගොල්ලන්ගෙ ගමේ නැවතිලා ඉන්න පුලුවන් ......ඊට පස්සෙ අපි දෙන්නා අලුත් බෝඩිමක් හොයාගෙන කොළඹ යමු....."
-නැවත හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




හානේ....... හරිම සතුටුයි, කාලෙකට පසු, ආයෙම ඔයාගේ ලේඛන හැකියාව අපිට රස විඳින්න ලැබෙනවාට🙏❤️