💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Sep 13, 2020
- 8 min read
( 9 වන කොටස )
කන්තොරුවෙන් ගත් නිවාඩුව, තව දවස් ගානකට දික්කරගෙන....,බැද්දේ මිනුම් කදවුරේ ගත කරන්නට මා සිතට ගත්තේ සුනිලා දුටු පසුය. බැද්දේ විවේක සුවයෙන් ගත කල මා ,පසුව නොගිහින් බැරි කමට කොළඹ ආවේ නම් හිතේ ඇතිවුන අමුතුම හැගීමකින් හිත පුරවාගෙන සතුටින් ප්‍රබෝධමත්වය......
එය කාහටත් කීමට හැකියාවක් නොතිබුන සිතිවිල්ලක් නිසා,.... මම හිත යටින් සුනිලා සිහිපත් කරමින් සතුටු උනෙ රහසින් හා දුකෙන් ය.. ඇය සිහියට එන හැම මොහොතකම කියාගත නොහැකි ආදර හැගීමකින් මගෙ හිත පිරී ඉතිරි යයි.....ඇගේ නොයිදුල්, ගැමි සුන්දරත්වයෙන් පිරි පෙනුම,කතා බහ, සුන්දර වනපෙත, ගැමි ජනතාව, ඔවුන්ගෙ අව්‍යාජ කතාබහ හා ආගන්තුක සත්කාරනම් කිසිදා අමතක නොවන සුන්දර කාලයක් මම ගත කර ඇවිත් ඇත.
බැද්දේ ඇවිද ඒ සුන්දරත්වය වින්ද මම නැවත කෙලින්ම රාජකාරිය සදහා කොළඹ නොයා, අක්කලාගෙ ගෙදර ගියේ ,අය්යා මම එනවිට දුන් වේලපු දඩමස් පාර්සලය හා ගමේ මිනිසුන්ගෙන් ලැබුන පළතුරු ඇතුළු කුළුබඩු පාර්සලය අක්කාට දීමටය.
"අනේ....අනේ....මණමාලයා රට වටේ ඇවිදින්න ගිහින්.....අන්න තාත්තා අරහේ.... ගජ් රාමෙට ඔයාගෙ මගුල් ගෙදර ගන්න ගමේ මිනිස්සුත් එක්ක වැඩ.....බලන්න මල්ලි තව කොච්චර ට්ක දවසක්ද මගුලට තියෙන්නේ....ඔයා ගානක් නැතුව රට වටේ ඇවිද ඇවිද ඉන්නවා.....අයියා තමයි වැරදි කාරයා......මගුල කට ලග තියාගෙන බැද්ද මනිනවා බලන්න එක්ක ගිය එක....."
"වෙන පාරවල් වල මිනුම් කටයුතු බලන්න එක්ක ගිහාම වගේ නේමේ....., අය්යා මේපාර එක්ක ගිය ගමන , ඒ ඔක්කොම පරන ගමන් පරාදයි ....මේ පාර ගිය ගමන....කියලා වැඩක් නෑ ඒ ගමේ කැලේ ලස්සන.... ඒ ගමේ මිනිස්සු අය්යලාට උපරිමයෙන්ම ආගන්තුක සත්කාර පවත්වන හැටි....මට නම් කොළඹ එන්න හිතුනේ නෑ....අපරාදේ මේ මගුල වේලාසන දාගෙන තිබුනෙ නැත්නම් මම ඒ ගමේ නවතිනවා....අක්කා තමයි මාව අමාරුවෙ දැම්මේ....."
"ඒ මොකක්ද ඒ කතාව.....මම දන්නවා මල්ලි .....මගෙයි නැන්දගෙයි උවමනාවට ඔයා මාලිට කැමති උනේ කියලා ....ඒ උනාට මාළි මොනවයින් අඩු කෙනෙක්ද....දේපළ ඉඩකඩම්ද, නෑ පරපුර ද හැමදෙයක්ම තියනවානේ.....පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මාළි ඔයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල්, වැඩිය ලොකු ලස්සනක් නෑ.....එච්චරයි.....ලස්සන කන්නද ? ..සුද්දා වගේ ඉන්න පුලුවන්නේ බැන්දට පස්සේ .....ඔක්කොම දේපළ මාලිටයි ඔයාටයි නේ...."
"මම ඔය දේපළ වලට කෑදර නෑ....මට ඕනේ හිතේ සතුටින් කැමැත්තෙන් ඉන්න පුලුවන් කෙනෙක්....මාළි ගැන මගේ හිතේ ලොකු කැමැත්තක් නෑ....මම මෙච්චර කාලයක් කසාද බදින්න හොයපු කෙනා නෙමේ ඒ....ඔයගොල්ලන්ගෙන් බේරෙන්න බැරි කමට මම කැමති වුනේ......"
" මේ මොන කතාවක්ද.... මේ කියන්නේ....?තව සුමාන දෙකයි මගුලට.....තාත්තට එහෙම ඇහෙන්න ඔය කතා කියනවා නෙමේ.....දන්නවනේ තාත්තගෙ හැටි.....හොදට හොදයි.....නරකටත් නරකයි. ඔය කතා දැන් වැඩක් නෑ....මගුලට හැම දෙයක්ම ලෑස්තියි .....අයියා ඔයා අතේ එවල තිබුන ලියුමෙ තිබුනා එන සිකුරාදා අයියත් නිවාඩු දාලා ඔයාගෙ මගුලට එනවා කියලා ....දැන් ඔයා......එහේ මෙහෙ ඇවිද ඇවිද හිටියා ඇති...දැන් මහන්සි වෙලා මගුලට ලෑස්ති වෙන්න......" අක්කා සැර කර මට කීය. ඇය කියනා දෙයකට පිටින් නොයන්න අකමැති මම කට පියාන උන්නෙමි .
අක්කා හා තාත්තා ගමේ නෑදෑයින් සමග මගේ විවාහය සදහා ලක ලෑස්ති වන්නේ මහ ගෙදර හුනු පිලියම් කරමින් වත්තපිටිය සුද්දබුද්ද කරමින්ය. අපේ දෙවන ගමන අපේ මහගෙදර කරනා නිසා, දෙවන ගමන දින නෑදෑයින්ට සංග්‍රහ කරන්න කෑම බීම ,අවශ්‍ය දේ උයන්න පිහන්න ගෙදර පිටුපස තව මඩුවක් ගසා සූදානම් කරමින් සියලු දේ මේ වන විට ලැහැස්ති වෙමින් පවති.....
"අය්යා කවද්ද දැන් මගේ මගුලට නිවාඩු දාලා ගම එන්නේ..."?
"එන සිකුරාදා එනව කිව්වේ.... ඊටත් පස්සෙ බදාදා නේ මගුල් ගෙදරට අපට කලුතර යන්න තියෙන්නේ..."
"
විවාහයට ප‍්‍රථම තුන් හතර ගමනක් මම මාලි මුණ ගැසි කතා කර ඇවිත් තිබුනි ...... ඇය මුණ ගැසී කතා බහ කරන්න ඒ දිනවල, මම ගියේ අක්කාගෙ දැඩි බලකිරිමටමය.... . කවදා හෝ එක වහලක් යට ඇය සමඟ ජීවත් විය යුතු බැවින් මම ඇය මුණ ගැසි ආවෙමි. …. කියන්න තරම් ලස්සනක් නැති ඇය ටිකක් තරබාරු තැනැත්තියකි. ඉන ලගට දිග කළු කොණ්ඩයක් ඇති ඇය තලෙලූය. මම ගෙදර ඉන්නා කල හා කොළබ යහලුවන් සමග එහේ මෙහෙ ගිය කල, මට මුන ගැසුනු විච්චූර්න ගැහැනුන්ට වඩා නම් ඇයගෙ පෙනිමට මම ඒ දිනවල කැමති විය...... . නමුත් ලොකු විශේෂ හැගිමක් නම් මට ඇය ගැන කොහොමත් ඇති නොවිනි..... . ඒ දිනවලත් ඇය ගැන ලොකු විශේෂත්වයක්, ආදරයක් නොදැනුන මට........බැද්දේ ගොස් සුනිලා හමුවී ඇගේ හැඩ ලස්සන දැක ආ කල හා ඈ මතක් වෙන හැම මොහොතකම මට දැන් ඇති වන්නේ දුකකි...... අක්කා කසාද බැද බොහෝ කාලයකට පසු මට නෑදෑයන් එකතු වී ජෝඩු කල මනමාලි මුනැගැසිමට පෙර, සුනිලා හමුවී තිබුනා නම් කියා මට දැන් නිතර නිතර සිතේ......ඇය මතක් වන හැම මොහොතකම, මාළි අමතක කර සුනිලා සොයා යෑමට හිතේ....දැන් මම බොහෝ පරක්කු වි ඇත...මට දැන් නැවත හැරිමට නොහැක. සුනිලා ගැන සිහින මැවීම නවතා මම දැන් මගේ මගුලට ලෑස්ති ව්ය යුතුයි. මගේ මනමාළි මාලි ගැන සිතිය යුතුයි..
මම මගුලට පෙර ඇය නැවත හමුවීමට ගියේ අක්කා සහ තාත්තා සමගය. ඒ විවාහයේ වැඩ කටයුතු අවසන් වරට කතා බහ කරගෙන ඒමටය. ඒ ගිය විට මාළි ඉතා ඕනෑකමින් සතුටින් උද්‍යෝගයෙන් අපේ විවාහය ගැන කටයුතු සොයා බලා කරන බව මට වැටහිනි.
‘‘අපේ වෙඩින් එක ලොකුවට ගන්න නේ අපේ අම්මලා හිතන් ඉන්නේ.... ඒ වැඩ කටයුතු නම් ඔක්කොම දැන් ලෑස්ති කරලා ඉවරයි......."සුමල්" අපි පළවෙනි දවසේ මගුල් ගෙදර ඉවර වෙලා එදාටම අපි ඔයගොල්ලන්ගෙ ගෙදර නවතින්න යනවද...? මම නම් කැමති එදා රෑට හෝටලයක ඉදලා පහු වෙනිදට ඔයගොල්ලන්ගෙ ගෙදර යන්න...අපට මිළ මුදල් වලිනුත් එහෙම අමාරුවක් නැති නිසා එහෙම කරමුද?....‘
ඇය කිසිත් කෝල ගතියක් නැතිව මගෙන් අසයි.... මා ඒ අතින් බැලූ කළ තවමත් එතරම් කතාබහට දක්ශ ශක්තියක් නැති කෙනෙක්ද කියා මට සිතේ..... ඇය එසේ අසද්දී මට ඇති වූයේ ලැජ්ජාවකි.
‘‘අක්ක තමයි දන්නේ. එයා තමයි ඒවා ගැන හොයල බලලා කරන්නේ....මම අක්කගෙන් අහල කියන්නම්......‘‘
‘‘අක්කටම ඔක්කොම භාරදීලා තියෙන්නෙ. ඔයා එපැයි ඒවා බලලා කරන්න.....‘‘
‘‘අම්මා නැතිවුණ කාලෙ ඉඳන් අක්ක තමයි, තාත්තයි මාවයි බලාගත්තෙ...... තාමත් මායි, තාත්තයි අක්කා කියන දෙයක් තමයි කරන්න කැමති.....ඊටත් මට කන්තෝරුවේ වැඩ ගොඩ ගැහිලා තිබුන නිසා අක්කට කිව්වා ඒවා හොයලා බලන්න කියලා ....‘‘
‘‘හැබැයි ඉතිං කසාඳ බැන්ඳට පස්සෙ නම් අක්කා කියන දේවල් කරල හරියන්නෑ....ඊට පස්සෙ අපි දෙන්නට ඕන විදිහට තමයි අපේ දේවල් කරගන්න ඕනේ... බැන්දට පස්සෙ අපි දැන් කොහේද පදිංචි වෙන්න ඉන්න යන්නේ.....‘‘
‘‘ඇයි මගේ කොළඹ කුලී ගෙය.......ඒක මගේ කන්තෝරුව කිට්ටුව තියෙන තනි ගෙයක්..... අපි දෙන්නාට එහේ තමයි ඉන්න වෙන්නේ....මට වැඩට යන්න ලේසි නිසා.....නිවාඩු දවසට බැරියැ ගම එන්න....‘‘
‘‘ආ... ඒක හොඳයි. මං ආසයි වෙනම ජීවත් වෙන්න..... එත් ඉතිං..... කොළඹ නම් මට එතරම් පුරුදු නෑ. එහේ ජීවිතේට අමුතුවෙන් ම මට පුරුදු වෙන්න වෙයිනේද...?…..‘‘
"අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ….ඔයත් ඒ පරිසරයට කැමති වෙයි....වෙනසකටත් එක්ක හොදයි ...ඔයාට කොළඹ ඇතිවෙන්න ඇවිදලා දැක බලා ගන්න පුලුවන්.....
මම සිතුවට වඩා මාළි කතාබහට දක්ෂ කෝලගති කිසිත් නැති කෙනෙක් විය. පවුලේ එකම දරුවා වුණ ඇයට විශාල දෑවැද්දක් හිමි තැනැත්තියකි. ඇය ඇගේ පියා සමග ඔවුන්ගේ පොල්වතු ,රබර් වතු බලා කියාගෙන දියුනු කරන්න උත්සහ ගන්නා බව කීවේ ඇගේ මවයි..... ගමේ හොඳ නමක් දිනා සිටි ඇගේ දෙමව්පියන්ට ගමේ සියල්ලන්ගෙම විශේෂ පිළිගැනීමක් ඇත. විවාහ වන වයසට පැමිණ සිටි මා හට ඇය තෝරා දුන්නෙ ,තාත්තා අක්කා ඇතුළු අපේ නෑදෑයින්ය. ඇගේ තිබූ විශාල දෑවැද්දට මුල් තැන දුන් වැඩිහිටියෝ ඇය මට ඉතා ගැලපෙන යුවතියක් යැයි හඳුන්වා දුන්නාය. ලොකු කැමැත්තක් නැතිව උනත් අක්කා, තාත්තා සතුටු කරනු වස් මමත් ඇයට කැමති ව්ය. අපේ කේන්ද්‍ර පොරොන්දම් බලා ඒවා ගැලපෙන බව කීවේ මාළිගෙ දෙමව්පියන්ය.
අප සිතුවාටත් වඩා ඉතා උත්කර්ෂවත් අන්දමට කලුතර මාලිනිගේ නිවසේදී අපේ විවාහ උත්සවය පැවැත්විනි.....අපේ විවාහ උත්සවයට මාළිගෙ මුළු ගමේ ම නෑ හිත මිතුරන් සහ මගේ රැකියා ස්ථානයේ යහළුවන් ඇතුළු අපේ ළගම නෑදෑයින් , ශාන්ත අයියාගෙ නෑදෑයින් ද එයට සහභාගී විය. කිසිම දේක අඩුපාඩුවක් කියන්න නොතිබුනු විවාහ උත්සවය ඉතා ජයට ම තිබුණි.
මාළිලාගෙ ගෙදරට යන පාර ඉදිරිපිට ගොක්කොළ, පොල් ගෙඩි වලින් සාදා තිබුනු අප පිලිගැනීමේ තොරණ,........ ගොක්කොළ වලින් සාදා තිබුන හංස පූට්ටුව සහිත උඩුවියන් පාවඩ දා සරසා තුබුන පෝරුව,......නැකැත් වේලාවට පොරුවේ අශ්ටක කියා ඒ වැඩ කටයුතු කරන්න පැමින සිටි වෙද රාල....., ජය මංගල ගාතා කියන්න පැමින සිටි ළමා සාරි ඇදගත් ගැහැනු ළමයින්......., සංගිතය සැපයිම සදහා පැමින සිටි විශේශ බෑන්ඩ් කන්ඩායම,..... මංගල උත්සවයේ ජායාරූප ගැනිමට පැමිනි ජායාරූප ශිල්පීන් දෙදෙනා...... සුදු මේස රෙදි එලා කෑම පිලිගැන්වීමට ගසා තිබුන විශාල දිග මඩුව,..... සාරි රෙදි වලින් සරසා තිබුනේ විශාල පොල්වත්තේ ගෙට ලං වෙන්නටය....... මාළි ලාගේ විශාල පොල් වත්ත මැද තිබුන ගෙය හා මුලු වත්තම දකුනු ක්‍රමයට ඇදුම් ඇදගත් ,මගුලට පැමිනි සෙනගින් පිරි තිබුනි....... පොල් ගස් දෙකක බැද තිබුනු ලවුස් පීකර් දෙකෙන් සංගීතයක් නිකුත් වේ .... කිසිම දේක අඩුපාඩුවක් කීමට නොහැකි ලෙස කෑම බීම අතුරුපසද ඉතා ජයට තිබුනි.
දකුනේ ක්‍රමයට සුදු සාරියක් ඇද විශාල වේලයක් හා ආබරන පැලද සිටි මාලි අදුනගැනිමට නොහැකි ලෙස අන්දා මුහුන් සුදු කර ඇත..... මම සුදු ශර්ට් එකට ක්‍රීම් පාට මංගල ඇදුමක් ඇද ටයි පටියක් දමා සාක්කුවේ මලක්ද ගසාගෙන උන්නෙමි. මංගල ජෝඩුවේ යහලු යෙහෙලියන් ද එක විදිහේ ඇදුම් ඇද මංගල ජායාරූපයට සහභාගි වුනේ...මල්කුමරියන් හා මල් කුමාරයන් සමගිනි.
මගුල් ගෙදර ඇවිත් සිටි දකුනේ සියල ගැහැනුන් අත් දිග ලස්සන බීරලු ,ලේස් හැට්ට වලට ඉන්දියානු ක්‍රමයට සාරි ඇද දිග ඇට මාල, වලලු, කොන්ඩ කටු පැලද සිටියාහ. පිරිමින් කලිසම් කොට් ඇද සිටි අය වගේම ටුවිඩ් රෙදි ඇද කෝට් බෑ දමා නැමි පනා ඔලුවේ ගසා ගෙන අපේ තාත්තා වගේ වයසක අයත් සිටියාහ.
විවාහයේ වැඩ කටයුතු ඉවර වී අපට යන්නට තිබුණේ හවස් වරුවේ නැකතටය. දෙපැත්තේ ම නෑ හිත මිතුරුන්ගේ ආශිර්වාද මැද නැකතට අප අපේ හනිමුන් එක බලා පිටත් වුණේ අප වෙනුවෙන් වෙන් කර තිබූ බෙන්තර හෝටලයක් බලාය.
උදේ ඉදන් ජයටම කෙරුනු මගුල් පෝරුවේ වැඩ, කෑම බිම නැටුම් ගැයුම්,සියල්ල නිමවා මගුල් රතයට නැගුනු පසු මාලි මා හා සතුටින් කතා කලාය.
‘‘මඟුල් ගෙදර වැඩ ඔක්කොම හොඳට ම කෙරුණා නේද?’’ මාලි මගෙ අතින් අල්ල ගෙන කීයයි....
‘‘ඔව් මං හිතුවට වඩා සෙනඟක් ආවනේ මඟුල් ගෙදර‘‘
‘‘ඔව්... මුළු ගමේම ඉන්න නෑදෑයෝ යහළුවන්ට නොකියා බෑනේ.... අපේ ගෙදර සිද්ධ වුණ එකම මඟුල් ගෙයනේ….. අම්මයි, තාත්තයි හරි සන්තෝසයෙන් හිටියේ,..... මාව බලන්න ගොඩක් කාලෙක ඉදන් ගොඩක් මණමාලයෝ ආවා ගියා..... ඒ එකකටවත් මං කැමති වුණේ නෑනේ.... අනේ මන්ද ඔයාව දැකපු ගමන්ම මට ඔයාට කැමති හිතුනනේ…... අම්මලාටත් පුදුමයි... අපේ කේන්දර නම් ඒ තරම් හොදට ගැලපුනේ නැ කියලා ....අපේ අම්මා නම් එච්චර මේ මගුලට කැමති උනෙත් නැ....මගේ උවමනාවට තමයි අම්මලා කැමැත්ත දුන්නේ....මම දීග දෙන වයස පහුවේගෙන යනවා කියලා ......‘‘
‘‘ඇයි ඔයා මට කැමති වුණේ.‘‘
තොරතෝංචියක් නැතිව වාහනේ යන ගමන් මාළි කියවයි..... මාත් යමක් කතා කළ යුතු නිසා මම ඇගෙන් ඇසුවෙමි.
‘‘අනේ මන්ද ඔයා හරි කඩවසම්නේ.... ඒ නිසා වෙන්න ඇති.‘‘ මාළි එසේ කියා හිනැහෙයි.
අප දෙදෙනා අපේ හනිමුන් එක ගත කරන්න ගියේ බෙන්තර තිබුන හෝටලයකටය. මාළිට නම් හෝටල්වලට ගිහින් පුරුද්දක් නොතිබුණි. අප සමඟ අයියා සහ අක්කා ද හෝටලයට පැමින සිටියාහ. ඔවුන් හෝටලයේ ඇතුල්වීමේ කටයුතු සියල්ල කර අපව කාමරයට ද බස්සවා අපට සුභ පතා නික්ම ගියෝය.
සුනිලා හමුවන්න පෙර ,කිසිදිනක ගෑණු ළමයෙක් ගැන විශේෂ හැඟීමක් ආදරයක් ඇති නොවී තිබූ මම, දැන් නම් මාළි සමග හිතේ ඇති වුණ චකිතයකින් සිටින්නේ යැයි මට සිතේ….. මාළි මා මෙන් ඈළි මෑළි ගති නොතිබුණ කෙනෙක් නොවුන එක හොදට ගියේය......... එබැවින් මාවත් දිරි ගන්වමින් ඇය අපේ අලූත් ජීවිතය අලුතින් පටන් ගත්තාය.
මගේ නීත්‍යානුකූල බිරිඳ හා දිනක් හෝටලයේ විවේකීව ගත කළ අප දෙදෙනා සිතින්, ගතින් දෙකෙන් ම බැඳී සතුටින් ගත කළෙමු.
අපේ දෙවන ගමන දින උදේම අක්කා හා ශාන්ත අයියා පැමිණ අපට විහිළු තහළු කරමින් අපේ ඇඳුම් බෑග් රැගෙන යාමට උදව් කළෝය. මාලිට දෙවන ගමනට යෑමට රතු සාරියකින් සැරසුවේ මණමාලියන්ට අන්දන ඇගේ නැන්දා කෙනෙකිය..... ඇයව කැඳවා ගෙන ආවේ අක්කා සහ ශාන්ත අයියායි. මම මට දෙවන ගමන ඇඳීමට ගෙනත් තිබූ ඇදුම ඇඳගෙන හෝටලයේ එළියට වී ශාන්ත අයියා සමඟ කතා කරමින් සිටියේ මාළි ලෑස්ති වී එන තෙක් ය.
‘‘අපේ ගෙදර දෙවන ගමන උත්සවයට ලෑස්තිද අයියේ.‘‘
‘‘ඔව්... ඔව්... ඔයාගෙ යාළුවෝ ඇවිත් හරියට මහන්සි වුණා. ගෙවල් අස් කරලා, සරසන වැඩ වලට .....‘‘
‘‘දැන් මල්ලි මඟුල් ගෙදර ඉවර වෙලා කොළඹ පදිංචියට යනවනේ.‘‘
‘‘ඔව්... නිවාඩුත් ඉවර වේගෙන යන්නේ.... දවස් දෙකතුනකින් මාළිත් එක්කම කොළඹ යනවා.‘‘
‘‘කොහොමද මාළි හොඳ ද?’’
‘‘වරදක් නෑ. මට වඩා ඉදිරියෙන් ඉන්න නිසා ලේසියි හැම දෙයකටම.‘‘
‘‘ටිකක් කටකාරයි වුණාට ඒක හොඳයි...ගෑනු කොහොමත් ඒහෙම උනාම දියුණු වෙලා පිලිවෙලකට ජීවත් වෙන්න පුලුවන් ....එයා ඔයාවත් හොදට හදල, ඈලි මෑලි ගති ඇරලා ගනියි ..."
දෙවන ගමන උත්සවය අපේ මහ ගෙදර සාමාන්‍ය ලෙස පවත්වන ලදී.... මාළිගේ ලඟම නෑදෑයින් එයට සහභාගී විය. එදින මාළිගේ දෙමව්පියන් සිටියේ ගොඩක් සතුටිනි. ඔවුන්ගේ එකම දියණිය ආණ්ඩුවේ රස්සාවක් කරන මා වැනි කෙනෙකුට කසාඳ බන්ඳවා දෙන්න ලැබීම ඔවුන්ට ලොකු සතුටක් බව හැගේ.......
‘‘දැන් කවදද දුවයි, පුතයි කොළඹ පදිංචියට යන්නේ.‘‘
‘‘එන සිකුරාදා යන්න හිතන් ඉන්නෙ තාත්තේ…..‘‘ මං ප‍්‍රථම වරට මාලිගෙ තාත්තාට තාත්තා කියා ඇමතුවෙමි.
‘‘මං කොළඹ ගෙදරට ඕන කරන ඔක්කොම ලී බඩු ශාන්ත පුතා අතේ කොළඹට යැව්වා. පුතාලට දැන් තියෙන්නේ ඇඳුම් ටික ඇරගෙන ගිහින් පදිංචි වෙන්න විතරයි.‘‘
‘‘ස්තූතියි තාත්තෙ….. ශාන්ත අයියා කිව්වා, තාත්තලා ලී බඩු ටික තාත්තලාගෙ ලොරියකින් කොළඹ ඇරියා කියල.‘‘
පුතා දන්නවනේ...මාලිනිට තමයි අපේ ගෙවල් දොරවල් ඔක්කොම කවදහරි අයිති වන්නේ.....පුතා පුලුවන් නම් කන්තෝරුවෙන් කලුතරට මාරුවක් හදාගෙන එහේ නවතින්න එනව නම් තමයි අපි කැමති ....
"තව අවුරුද්දක් විතර මට කොළඹ වැඩ කරන්න වෙනවා තාත්තේ.....ඊට පස්සෙ මම කලුතරට මාරුවක් හදාගෙන එන්නම්."
දෙවන ගමන ඉවර වී දින දෙකක් අපේ මහ ගෙදර නැවතී සිටි, අප දෙදෙනා මගේ කොළඹ නිවාසය බලා ගියේ මාළිගේ පියා එවන ලද වාහනයකිනි.... ඒ සිකුරාදා දිනයක් බැවින් කොළඹ ගෙදරට ගිය පසු සෙනසුරාදා ඉරිදා අපි දෙදෙනා ගෙවල් දොරවල් පිරිසිදු කර, දෙදෙනාට ගෙදර කෑම බීම උයාගන්න ලෑස්ති වුනෙමු.
"අම්මා ඔක්කොම කෑම බීම බඩු ගෙදරින් එවලා...හාල් පොල්, එළවළු ,කරවල
තුනපහ ඔක්කොම ජාති....ආයෙත් හැම මාසෙම අන්තිමට බඩු එවන්නම් කිව්වේ....."
"ඒහෙනම් මට වැඩි වියදමක් යන එකක් නෑ කෑම බීම වලට " මම සතුටින් කීවෙමි.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments