💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Sep 13, 2020
- 12 min read
(හත්වන කොටස )
පාන්දර සීතල වැඩි වැඩියෙන් මට දැනෙද්දි..... ලී වංගෙඩියක යමක් කොටන සද්දයක් ද ඇසේ.....ඒ සමගම දර ලිපකින් නැග එන දුම් සුවදකින් හෙමිහිට කූඩාරමද පිරි යයි.... අමුතුම මාදිලියේ කුරුල්ලන්ගෙ සතුන්ගෙ, මිහිරි නාදයෙන් හා මහ දොලෙන් නොනවත්වා ගලා හැලෙන , ජල කදේ හෝ හෝ ශබ්දයෙන් ඇහැ ඇරුන මට...... මා සිටින්නේ කැලෑවක බව සිහියට නැගුනි.....
පසුගිය රෑ කූඩාරමේ, බූරු ඇදේ උඩ සීතලට හොඳ සනීපයට ම නින්ද ගොස් ඇත....... පසුගියදා මුලු දවසම කදු නැග, කූඩාරම් ගසා උන මහන්සිය හා සීතල ජලයෙන් නාගත් නිසා එසේ වන්නට ඇත....පොරවා ගෙන සිටි රෙද්ද තව තවත් කරේ සිට පොරවා ගත්තේ ඉවසන්න බැරි තරම් සීතලක් මේ කදුකර ප්‍රදේශයේ පාන්දරට දැනෙද්දිය.....
මම නිදා සිටි බූරු ඇදෙන් නැගිට, පොරවා ගෙන උන් රෙද්ද පිටින්, කූඩාරමෙන් එළියට ආවේමි. අනිත් සියල්ලෝද තමා මෙන් ම පොරවන රෙදි පොරොවා ගෙන එළියේ තැන් තැන්වල වාඩි වී තේ බොමින් ඉදිති.... කුමාර දුම් දමමින් දර ලිපේ ,උදේට කන්න උයන බව කුස්සිය පැත්තෙන් පෙනේ.... ඒ අස්සේ ඔහු දර ලිප ලග ඇන තියාගෙන අත් දෙක ලිපට අල්ලගෙන සිටින්නේ අවට සීතලෙන් මිදෙන්න වෙන්ටැ....... ශාන්ත අය්යා උදේ පාන්දර හැමෝටම කලියෙන් නැගිට, මුහුණ කට සෝදා කාකි ඇදුම ඇද, ඊට උඩින් සීතල කබායක් ඇද කූඩාරමේ මේසය උඩ සිතියමක් දිග ඇරගෙන එහි වැඩකය...
" ආ...මල්ලිත් නැගිට්ටේ...තේ බීලා ඉන්න.....අපි නම් දැන් උදේට කාපු ගමන් බැද්දට , උදේ වැඩ පටන් ගන්න යනවා....මල්ලිටත් අපිත් එක්ක බැද්ද මැද්දෙන් කපන පාර මනිනවා බලන්න යන්න එන්න පුලුවන් ....නැත්තම් මල්ලිට අර ගමේ ලීනිස්, ආවොත් ගම වටේ රවුමක් ගිහින් එන්න යන්නත් පුලුවන් ....
"මම අද ටිකක් ඈතට නොයා මේ කිට්ටුව ඇවිදලා හෙට දිහාට බැද්ද ඇතුලට ඇවිදින්න යන්න එන්නම් අය්යේ....
"අපට අද උදේට බොන්න කිරි නෑ...කහට තමයි ...ගමේ කාට හරි කියලා හෙට දිහාට උදේට කිරි බෝතලයක් ගෙන්න ගන්න බලමු...."
" අන්න වාඩියෙ කට්ටිය මූන හෝදගෙන එන්න දොළට ගියා.....මල්ලිත් ගිහින් හෝදගෙන එන්න ....උදේට කාලා වැඩ පටන් ගන්න ඕනේ ඉක්මනට.....දොලෙන් මූන කට හෝද ගත්තට මල්ලි ....ඉතිං අනිත් රාජකාරියට නම්, බැද්දට හරි
..ඊයේ හදා ගත්ත වල කක්කුස්සියට හරි තමයි යන්න වෙන්නේ...‘ අයියා හිනා වෙවි කියයි....
"මේ බැද්දේ මොන වැසිකිලිද....අකමැති උනත් ඒ ගැන දන්නවා අය්යේ...."
වල කක්කුසි කියන්නේ ටිකක් ගැබුරට හාරා ගත් වලක් උඩින් හොද ඝනකම් ළෑලි දෙකක්...මැද ඉඩ තියා දමා සාදන ලද තාවකාලික වැසිකිලියකි...එය පොල් අතු හෝ ඉටි කොළ යොදා වටේ වසා ඇත....බැද්දේ ජිවිතේ තවත් අපහසුම අවස්තාවක් තමයි එය පාවිච්චි කිරිම. ...
එකා දෙන්නා දොළ පැත්තට ගිහින් මුහුණ කට සෝදා අනිත් වැඩ ද කරමින් පැමිණ ඇත. මිනින්දෝරු රැකියාවේ කාකි ඇඳුම් ඇඳගෙන ලොකු උස බූට් සපත්තුත් දාගෙන ලෑස්ති වී සිටින්නේ රාජකාරිය කරන්න යන්නට ලෑස්ති වය.
‘‘එහෙනම් කට්ටිය ඉක්මන් කරන්න .... අපි ඉක්මනට උදේට කාලා මිනුම් වැඩවලට යන්න යමු....‘‘
‘‘කුමාර මොනවද උදේට කන්න තියෙන්නේ.‘‘
‘‘බත් උයලා, පරිප්පු උයලා කරවල බැද්දා.....ඊයේ විල්බට් ගෙනාපු බතලත් තැම්බුවා....ඒක නම් ලුණු මිරිස් ටිකක් එක්ක බැද්දේ ඇතුලට යනකොට ගෙනිහින් බඩගිනි උනොත් කෑවැහැකි ....‘මම පොඩි මුට්ටියක් ගෙනියනවා පොල්කටු ටිකක් එක්ක....අපට ඔය ලී කෑලි ටිකක් එකතු කරගෙන තේ කහට ටිකක් දවල්වෙලා හදාගන්න පුලුවන් ...
‘‘ෂා... නියම කෑම එහෙනම් කමු ඉක්මන් කරලා ...... ඊයෙ රෑට රොටි කෑව නිසා දැන් හොදටම බඩගිනි වැඩියි.... ‘‘
අපි බැද්දට යන්න ලෑස්ති වෙනවිට, උදේ පාන්දරින්ම දියෙස් හා ලීනිස් වාඩියට ඇවිත් තිබුනේ වල්දෙල් ගෙඩි වගයක්ද රැගෙනය.
සියල්ලෝ ම කෑම කා අහවර වී මිනුම් බඩු රැගෙන රාජකාරිය සඳහා පිටත් වන්නට විය.... මාත් අයියලත් එක්ක ඔවුන්ගෙ වැඩ බැලීමට පස්සෙන් ට්ක දුරක් ගියෙමි.
කැලෑවේ අඩි පාරවල් දිගේ යමින් ලඳු කැලෑ, අගල් ඔස්සේ යමින් අයියත් අනිත් හතරදෙනත් මිනුම් වැඩ කරන්නට පටන් ගත්තේය..... මං වනයේ සිරි නරඹමින් එහේ මෙහේ ඇවිදමින් සිටියේ ලොකු උද්‍යෝගයකිනි.
උසට වැවුණු රූස්ස ගස්වලින් ද, ඇඳුරු රුක් ගොමු යටින් ද ඇවිද යනවිට, හීන් සද්දෙන් බැස යන දිය කඩිති හමුවෙයි.....ඒවා පසු කර ඇවිද යන අපට, එහෙන් මෙහෙන් පැන යන වලි කුකුලන්, හාවුන්, මීමින්නන් ද අහම්බෙන් දකින්නට ලැබේ..... බැද්දේ ඇති පදුරු යටින් පහත් වෙමින් ද පදුරු අස්සෙන් රිංගමින් ද කටු අකුල් මඟ හරිමින් කැලෑවේ සුන්දරත්වය නරඹමින් එහෙ මෙහ ඇවිද ගියත් අයියලා.... මිනුම් වැඩ කරන දුරින් ම සිටීමට මා අමතක නොකළේ කැලෑවේ පාර වරදියි යන බියෙනි.
‘‘මල්ලිට පුළුවන් නම් මේ ලීනිස් එක්ක ගම් මායිම් පැත්තෙ ගිහින් බලන්නකෝ ....අපට රෑට කන්න දඩ මස් ටිකක් හොයා ගන්න පුළුවන් ද කියලා.... ශාන්ත අයියා දඩ මස් කෑමට රුසියෙකි...ඔහු මිනුම් ජිවීතේ පටන් ගත්දා සිට යන එන හැම තැනකම දඩමස් හොයාගෙන කෑමට අමතක නොකරන කෙනෙකිය. ඒ වගේම මිනුම් වැඩ අහවර වී ගෙදර යනවිට ,අක්කාට හා ගෙදර අයටද කන්න වේලපු දඩ මස්ද රැගෙන යයි.
"මල්ලි ඒ ගමන් ගම්මුලාදෑනීයාගෙ ගෙදරටත් ගිහින් ජුවානිස් අප්පුහාමිට කියන්න, අපි මිනුම් කදුවුර ගහලා ඉවරයි...පුලුවන් නම් වාඩිය පැත්තෙ හවස් වරුවක ඇවිත් යන්න එන්න කියලා ....මට බැද්දේ ඉදන් පාර කපන්න ඉඩම් මනින ඒවා ගැන විස්තර ටිකක් ගම්මුලාදෑනීයාගෙන් දැනගන්න ඕන වෙලාතියෙනවා......
‘‘ හා....මං යන්නම් අයියේ....මේ ලීනිස් එක්ක..මටත් ගම පැත්තෙ යන්න ආසයි .. අපි එහෙනම් ගම පැත්තට යමුද ලීනිස්.....‘‘
"හොදයි මහත්තයා ...අපි එහෙනම් අර කටු අකුල ලග කෙටි පාරෙන් ගම පැත්තට බහිමු.....
මම ලීනිස් සමග ලදු කැලේ, සතුන්ගෙ අඩි පාරවල් දීගේ.....ගල් මුල් උඩින් පැන පැන ගම් මායිම පැත්තට ගියේ පාන්දර ගස් උඩට, බිමට වැටුන පින්න ඇගේ පතේ සීතලට ගෑවි ගෑවි බිමට වැටෙද්දීය... ....උදේ පාන්දරට කැලේ ගස් කොලන් තනකොළ වලින් හමන නැවුම් පිරිසිදු සුළගින් මම හුස්ම පුරවා ගත්තේ ආසාවෙන්නි....
වදුරෝ රෑනක් අප යන අඩි පාරේ අවට ගස්වල උදේ පාන්දර දලු කන්න පටන්ගෙන ඇත.... අප ඔවුන් සිටිනා හරියෙන් යද්දි ,දලු කමින් සිටිය වදුරෝ ඒ වැඩය නවත්වා අප දෙස බලාහිදින්නේ කටේ ඇති ලපටි දලු, ඒ හක්කෙන් මේ හක්කට මාරු කරමින්ය. වදුරු රැලේ බඩේ පැටව් එල්ලා ගත් වැදිරියන් හා පුංචි පැටව් ලග තියාන කෑම කන වැදිරියන් හරි සෝදිසියෙන් උන් දෙසට ඇහැගසා ගෙන කෑම කයි....ඔවුන්ගේ දර්ශනය කෙතරම් බලා හිටියත් ඇති නොවන ගානයි...
"ලීනිස්" සමග ගම් මණ්ඩිය පැත්තට ඇවිද ගෙන ගියේ කටු අකුල්වල පැටලෙමින් සීතල පින්නේ , ගස් අතු හා බැද්දේ විහිවුවන නැවුම් සුවදත් සමග වෙනස්ම නුහුරු පැත්තකට ය.
අප ඊයේ ගම්මුලාදෑනීයා ගේ ගෙදර සිට අපි කදවුරු ගහ ගත් ඉසව්වට නැග්ග පාරට වඩා මේ පැත්ත වෙනස්‍ය. මේ හරියෙ ගෙවල් හතරක් පහක් එක කිට්ටුවට වෙන්න පිහිටා ඇති අතර, ඒ අතර, තේ කඩයක්ද ඇත.
ඉතා අහිංසක ගැමි ජනතාවක් ජීවත් වන මේ ගම්මානයේ ගෙවල් පහලොවකට විස්සකට වඩා නැත..... ඒවාද එකිනෙකට ඈතින් ඈතින් දොළපාරවල් , අතු පාරවල් නැතහොත් වතුර පීලි ඇති තැන් වල සාදාගත් ගෙවල් ය... එම ගෙවල් වලිනුත් සමහරක්, පිදුරු පොල් අතු සෙවෙලි කළ පුංචි කටු මැට් ගෙවල් වු අතර.... බිත්ති මැටියෙන් ,කබොක්ගල් වලින් හා මෝඩ ගල් වලින් ගල් බැඳ තනා ඇති ටිකක් හොඳ ගෙවල් දෙක තුනක් ද ඇත..... සුදු හුනු ගා උළු සෙවිලි කර තිබුන ගෙවල් හරි අඩුය. එවැනි ගෙවල් ඇත්තේ ගම්මුලාදෑනීයාට හා ඉඩම් කඩම් වැඩියෙන් තියාගෙන රබර් ,කරාබුනැටි, කුරුදු ,ගම්මිරිස් , කරදමුංගු වැනි කුළුබඩු වගා කර ටවුමට විකුනන ගැමියන්ගේය. මේ ගමේ මිනිසුන්ගේ ප්‍රදාන ආදායම් මාර්ග අතරට රබර්, කුරුදු , කුලුබඩු , හකුරු ආදිය ඇතුලත්‍ය.
ඊට අමතරව ගමේ මිනිසුන්ගෙ ප‍්‍රධාන ජීවනෝපාය වන්නේ වී හෙල්මළු ක්‍රමයට කරනා ගොවිතැන හා හේන් බෝග වගාවත් නිසා ඔවුන් ස්වයංපෝෂිත බව නම් මට වැටහේ..... සෑම නිවසකම ගෙවත්තෙ එළවලූ, මිරිස් ආදිය වගා කර ඇත. ඒවා ලොකු පොඩි හැම ගෙදරකටම පොදුය.
ගෙවත්ත ඉනි වැටවල් වලින් ආවරණය කර මිදුලේ මල් වගා කර ඇති ගෙවල් ද එහි තිබුණි. මායි, ලීනිස් සුයි, ගම් මණ්ඩිය පැත්තෙ යනවා දැක ගමේ මිනිසුන් ,ගෙයින් එළියට විත් අප දෙස බලන්න පටන් ගත්තෙ පුදුමයෙනි.....ඊයේ අපි ගමට ආ බව ඔවුන්ට ආරංචි වී ඇතත්, බොහෝ ගැමියන්ට අප මුන ගැසි නැති නිසා ඕනෑකමින් ඔවුන් මා දෙස බලයි.... කරේ දමා සිටින ලේන්සු අතට අරගෙන බුලත් කහට වැටුනු දත් පෙන්වා මා සමඟ බයෙන් සැකෙන් බයාදු ලෙස හිනහෙන මිනිසුන් ,කෙතරම් නම් අහිංසක දැයි මට සිතේ....
ගමේ මැද තිබුනු එකම තේ කඩේ ලග, ගමේ මිනිසුන් හතර පස් දෙනෙක් මිදුලේ ඇති ලෑලි බංකුවේ හා ඒ ලග ගල් පොත්ත උඩ ඉදගෙන පාන් විස්කෝතු ,හැලප, වංඩු ආප්ප වැනි දෙයක් කමින් ඕපාදූප දොඩවමින් කහට බොයි...කඩය අවට ඇත්තේ පොල්කොළ මිශ්‍ර දර සුවදකී....කඩය පිටුපස දර ලිපකින් පිටවන දුමක් නොනවත්වාම පිටවේ... එහි සමහරවිට ආප්ප, රොටි වැනි දෙයක් හැදෙනවා ඇත....
මම ලීනිස් සමග කඩේ පැත්තට යන විට ඔවුන් දෙතුන් දෙනෙක් හිටි තැනින් නැගිට, කැහැපට ගසා ඇදන් හිටි සරම් පහතට දමමින් බායාදු ලෙස සිනා නැගිය. සමහරු මුහුනේ සිනා පොදක් නැතුව ප්‍රශ්නාර්ථයෙන්ද මා දෙස බලා හිදි.... දිග කකුල් කලිසම් ඇද මේ ගමට ආ මහතැන් කවුදෝ කියා ඔවුනට තවමත් සැකයකි..
‘‘මහත්තයලා මේ උදෑහැනැක්කේ...... කොහේ යන ගමන් ද මහත්තයා ....වයසක කෙනෙක් බුලත් කහට බැදුනු දත් ටික පෙන්නා අසයි...
‘‘අපි මේ එහා කැලේ මනින මිනින්දෝරුවරු.....මම මේ ටිකක් ගම පැත්තෙ ඇවිදලා යන්න ආවා.....‘‘
‘‘ඈ මහත්තයා කැලේ මනින්නෙ..., පාරක්වත් අපේ ගමට එන්න ද?’’
‘‘මං හිතන්නෙ එහෙම වෙන්ඩෑ.......‘‘ ඔහුගේ හිත සතුටු වෙනු දැකීමට කැමැත්තෙන් මා කීවේය.
‘‘අනේ එහෙනම් කොච්චර දෙයක් ද මහත්තයා .....අපට ආරංචි උනා මහත්තයලා ඊයේ ගමට උඩහ, වාඩි ගහ ගන්න ආවා කියලා ...මහත්තයලාට මොනවහරි ඕන කමක් උනොත් අපට කියන්න..... අපි වෙනුවෙන් බැද්දේ වෙසෙන්න ආ
මේ උන්නැහැලාට අපි උදව් කරන්න එපෑ...‘
"අපි ඊයෙම කූඩාරම් ගහගෙන ඉවර කලා...... මේ පැත්තෙ ආවේ දඩමස් ටිකක් එහෙම හොයා ගන්න පුළුවන් ද බලන්න....‘‘
‘‘ඇයි මහත්තයෝ මොකෝ බැරි.... අර අපේ චණ්ඩිය,.... සයිමා.... ඊයෙත් ඌරෙක්ට පතරොමක් තියල මස් කරේ.... යං මං මහත්තයාව එහේ එක්ක යන්නම්.....කියන්න බෑ අදත් උදේ සතෙක් මස් කරද දන්නෑ....ඊයෙ රෑ වෙඩිල්ලක් පත්තු වෙනවනම් ඇහුනේ ගොඩක් ඈතින් බැද්දේ .....සයිමගෙ වෙඩිල්ලක්ද දන්නෑ ඒ......ලීනිස් උබත් වරෙන් යන්න....මටත් සයිමා දිහාවේ යන්න ඕනකමක් තියෙනවා අපි යමු එහෙනම් ...." ධර්මේ නම් ගැමියාද අප සමග එක්විය. ඔහු ගොඩක් තරුණ කෙනෙක්‍ය.
ඔහු අපට ඉස්සර වී කැලෑ පාරක් ඔස්සේ අපව එක්ක ගෙන ගියේ ගෙවල් දොරවල් කිසිත්ම නොතිබුනු පැත්තකටය...... එය කැලෑව පැත්තට වෙන්න තිබූ පැල්පතකි..... පැල්පත අවට මුලු පරිසරයෙම ඇත්තේ අදුරකි......මහ විශාල නම් නොදන්නා ගස්...ඒ අතර හොර ගස්, විශාල ඇටබ ගසක්, පොල්, කොස්, කිතුල් ගස්ද ඇත. ඒ ගස් නිසා ඒ මුලු පරිසරයේම ඇත්තේ මූසල මුස්පේන්තු අදුරකි.....
ගෙයි මිදුලේ කොනක, පුවක් පටි, එක දිගට එකතු කර කන්දේ සිට එන වතුර පීල්ලකින් නොනවත්වා දිය පාරක් කඩා හැලේ.....ඒ අවට ඇති ගල් උඩට වැටෙන දිය පාරේ හීන් ශබ්දය මූසල අදුරු පරිසරයේ ඇති නිහඩබව මැකි යයි....
ගෙයි ඉදිරිපස මිදුලේ කොස්ගහක් යට බූරු ඇඳක් උඩ නිදිය ගෙන කවුරුන් හෝ ඇති බව පෙනේ ..... ඉතා නිස්කලංක ගස් කොළන්වලින් වට වූ ගෙයි මිදුල, කිසිම පිළිවෙලකට තබා ගෙන නැති බව ඈතටම පෙනේ....... ලට්ට ලොට්ට වත්ත පුරා දමා ඇත.
වත්ත වටේම තිබු දැඩි අදුරත් ..කිසි පිලිවෙලකට නොතිබුනු වත්ත පිටිය පුරා...දර, රබර් තැටි, පොල් අතු, පොල්ලෙලි වලින් හැඩිවි ඇත....වත්තේ කොනක වලක් සාදාගෙන වක ගැසි නිදා උන් බඩ ලොකු බල්ලා, අප දැක ඇග පත ගසමින් දත් විලිස්සමින්, බුර බුරාගෙන අප ලගට එද්දි මම ලීනිස්ට මුවා වුනෙමි .
"චුප්...චුප්..බල්ලා... එහාට පල.... "
ධර්මේ ලග තිබුන ලී කෝට්ටක් අතට ගෙන බල්ලා එලවයි.....බල්ලා නොනවත්වා බුරන්නේ මා දෙසට හැරිය....ඒ මම කවදාවත් ඔහු මේ ගමේදි නොදකපු කෙනෙක් නිසා වන්නට ඇත.
‘‘සයිමෝ.........සයිමෝ... උඹ නිදි ද? .....මේං කොළඹ මහත්තයා කෙනෙක් ඇවිත් උබ හොයාගෙන...නැගිටලා වරෙන් විගහට...... ‘‘
සයිමා අපේ සද්දය ඇහී.. .. මහ දවාලේ.....කොස් ගහ යට ,බූරු ඇදෙ නිදාගෙන සිටි තැනින්, නැගිට කෙලින් වී සරම හද හදා අපි දෙස බැලුවේ සැකෙන් වගේය....ඔහු ඉතා හැඩිදැඩි බඩ මහත මිනිසෙක්‍ය....ඇස් පොඩිකර අප දෙස ටික වේලාවක් බලා සිටි ඔහු...හිටි තැනින් නැගිටගත්තාය.....ඒ ගමන්ම ඔහු අප දෙසට හෙමිහිට එන ගමන්, බල්ලාට කෑගසා එලෙව්වේ අප දෙස සැකයෙන් බලමින.
"කවුද ධර්මේ මේ මහත්තයා ...?
"මොකද බං මහ දවල් නිදි... මේ කොළබ ඉදන් ආව මහත්තයා කෙනෙක් ....."
"ඊයේ රෑ වල් ඌරෙක්ට බැදපු තුවක්කුවක් බැද්දෙ පැත්තෙන් ,පත්තුවෙනව ඇහිලා .... එලිවෙන ජාමේ ගියා බලන්න.. ..එනකොට හොදටම එළිය වැටුනා....පොඩ්ඩක් මේ ඇහැ පියෙව්වා ...ආයෙත් හවස මීමින්නන්ට හාවන්ට උගුල් ටිකක් අටවන්න යන්න එපෑ..... ගමේ මිනිසුන් සැමට දඩමස් සපයන්නේ මොහු බව මට වැටහේ...
"මේ මහත්තයාලා ගමට පාර කපන්න..... මිනුම් වැඩවලට ආපු ඇත්තන්.......උඩහ බැද්දේ කූඩාරම් ගහගෙන ඉන්නේ.... ඊයෙ ආවේ....මහතයාලට වල් ඌරු මස් ටිකක් හොයාගන්න කියලා මේ මහත්තයා ඇවිත් තියෙන්නේ....
"එහෙමද...? මම උදේම කන්දෙ පල්ලෙහා කඩ මන්ඩියට මස් ටික කොල්ලෝ දෙන්නෙක් අතේ යැව්වනේ... ....කාටහරි හදිස්සියකට දෙන්න කියලා ඉතිරි කරගත්ත ඒවා ටිකක් තියෙනවා....එහෙනම් හිටපන්කෝ බලන්න..."
එසේ කියමින් ,ඔහු ගේ පිලිකන්න පැත්තට, අගුව අයිනෙන් හෙමිහිට ගියේ සරම කැහැපට ගසමින්‍ය.
" දන්නවද මහත්තයා ....ඔය සයිමා කාලයක් මහා උළුගෙයිත් ලැගලා ආපු කෙනෙක්...."
" සයිමා කසාද බැදලා නැද්ද....ගෙදර කවුරුත් නැත්තේ... ..."?
"මොන කසාදද...මහත්තයා ..ඕකා ඔය කන්දෙ පල්ලෙහා වෙන මිනිහෙක්ගෙ ගෑනියෙක් ගෙනත් තියන් හිටියා කාලයක් ....කොහෙද කොයිවෙලෙත් ඒ ගෑනිව මූ මරාගෙන කන්න හදනවා ,ඉවරයක් නැති ගෝරි....ඒ ගැනි මේ මිනිහ එක්ක ඉන්නවට වැඩිය....කොයිවෙලෙත් තරහ වෙලා ඔය කන්දෙ පල්ලෙහා උංගෙ මහගෙදර ඉන්න යන්නේ ..පොඩි කෙලිත් හොක්කේ ගහගෙන...."
"අපි එහෙනම් යමුද...ලීනිස් ගම්මුලාදෑනීයාට අය්යා පනිවිඩයක් කියන්න කිව්වා...ඒකත් කියලම යමු....කොයි පැත්තෙන්ද දැන් ගම්මුලාදෑනීයාගෙ ගෙදර පැත්තට යන්නේ ....මට නම් මේ කැලෑවේ උතුර දකුන මාරු වෙලා තියෙන්නේ....ඊයේ ගිය පාර අද මතක නෑ....
"එහෙම තමයි මහත්තයා අක්කර භාගෙ ,දෙක ඈතින්නේ ගෙවල් තියෙන්නේ....අපි අර පැත්තෙන් ලන්ද බහිමු එතකොට ලගයි අප්පුහාමිගෙ ගෙදරට"
ගමේ මිනිසුන් ගම්මුලාදෑනීයාට අප්පුහාමි කියා වැඩි ලෙන්ගතු කමෙන් කතා කරන අවස්තාද ඇත. සමහරු ජුවානිස් කියාද අමතයි.
සයිමාගෙන් ගත් ඌරු මස් ගාතය , ඔහු එය විශාල හබරල කොළදෙකක තියා ගහක වැලකින් ඔතා ලීනිස් අතට දුන්නේය. ලීනිස් එය වත්තෙ කොනක, පුවක් ගහකින් වැටි තිබු කොළපතක් ගෙන, එය එහි තබා කර තියාගත්තේය. ඔහුත් ධර්මේත් මා ඉදිරියෙන් දිග අඩි තියමින් යන්නේ ඉද හිට නැවති මාදෙසද බළමින් ය. ඔවුන්ගේ වේගයට මට දැන් ගස් ගල් උඩින් පැන පැන ගොස් හොදටම හතිය.
.
‘‘මහත්තයලාට වාඩියට මොනව හරි ඕන උනොත්... මට ඕන දෙයක් කියන්න.... මං විජාහින් මහත්තයාලාට ගෙනත් දෙන්නම්.‘‘
‘‘ ධර්මේ මොනවද මේ ගමේ කරන්නේ....?’’
"මම ඔය අපේ වත්තේ කිතුලකට නැගලා..... ගමේ උන්ට හවස් වරුවට ඇග රත් කරගන්ට රා ටිකක් බා ගන්නවා.....වැඩිපුර කිතුල් වලින් හකුරු හැදි ගාලා පොල්කටු වලට දාලා හකුරු හදනවා.....ඒවා ඔය පල්ලෙහා කඩ මංඩියට ගිහින් දීලා ලුණු , කරවල තුනපහ ඇරගෙන එනවා....අපට ඉතිං අල බතල , එළවළු වලින් අඩුවක් නෑනේ...යලට මහට කුබුරු ගොවිතැනත් අදේට ඇරගෙන කරනවා...තව බැද්දේ හේනකුත් කොටලා, අමු, කුරහං ටිකකුත් හදල තියෙනවා....කොහේද මේ සතා සිව්පාවා එක්ක නේ කරදරේනේ ඒවා ආරක්ෂා කරගන්න....
"ගමේ ගොඩක් ඈයන්ගේ රස්සා ඕවා වෙන්ඩ ඇතිනේ....
‘‘ඔව් මහත්තයා මුලු ගමේම ඈයන්ගේ රස්සාව ඕවා තමයි .... ගොවිතැනයි....හේනක් කුබුරක් කොටාගෙන ගොඩ මඩ දෙකම ගොවිතැන කරගෙන සතුටින් ඉන්නවා.....වැඩි තන්හාවක් ආසාවක් නෑ..... අනිත් අය වගේම මමත් එහෙමයි... වී ගොවිතැන් වගාව තමයි. අපි වගා කරන ඒව පොළට ගිහින් කීයක් හරි හොයා ගන්නවා. කරවල, ලූණු, සීනි, තේ කොළ ගන්න අනිත් දේවල් ඉතිං අපි ගෙවල්වල ම හදා ගන්නවනේ. ඒ කිව්වේ එළවලූ, පලතුරු මිරිස් එහෙම.‘‘
" අද හවසට මම වාඩියට, හොද තෙලිජ්ජ ටිකක් ඇරගෙන එන්නම්කෝ...මහත්තයාලට ඇගපත ටිකක් රත් කරගන්න ..."
කැලෑ පාරෙන් ඇවිද ආ අපට අප්පුහාමි ගේ ගෙවල් පැත්තට යන්නට තිබුණේ කුඹුක් ගස්වලින් වට වී සිහින් රාවයකින් ගලා බසිනා දොළ පාරෙකින් එගොඩ වීමෙන් ය. දොලේ කළු ගල් , වැලි ගල් උඩින් පැන පැන යන ගමන් මම අවට සිරි නරබන්නේ ආසාවෙනි...
.
ගම් මැද්දට යන අතර අපට අතරමඟදී මුණගැසුණු ගෑණු පිරිමි සැවොම අහිංසක බයාදු ලෙස සිනාසී පාරෙන් ඉවත් වී අපට යන්නට දෙවටේ ඉඩ දෙයි....ලීනිස් හා ධර්මේ .... ඔවුන් සමග උජාරුවෙන් කතා කරන්නේ....මා සමග එක මග, මට පාර පෙන්වමින් යෑමත් ඔවුන්ට ලොකු දෙයක් නිසයි.....
.‘‘ජුවානිස් අප්පුහාමි ගෙදර හිටිය දැක්කද මලයෝ....? මේ මහත්තයාට උන්දෑ හම්බවෙන්න් ඕනෙ කියලා අපි එහේ යන ගමන්....."
පාරේ යන තරුණ ගැටයකුගෙන් ලීනිස් අසයි.....
"ඕං...මං දැක්කා කෝපි ගාලේ ඉන්නවා....වෙන කොහාටවත් යන්න ඉස්සර ගියානම්..."
‘‘අර ඇටභ ගස් දෙවටෙන් හැරිලා ටිකක් ගිහාම උළු සෙවිලි කරල තියෙන ගෙ මහත්තයාට මතකනේ....ඊයේ අපි මහත්‍යාලට කුරුම්බා කපලා දුන්නේ....ඒ වත්තෙ ඉදන්නේ....අර පේන්නේ මහත්තයාලා ඊයේ ආව වාහන දෙක තැන්නෙ නවත්තලා....
.‘‘
ජුවානිස්ට ගමේ හැමෝම ගමේමුලෑදෑනියා කියා හොදින් සලකයි. ...ඔහු ගමේ සියල්ලන්ට ම උදව් උපකාර කරනා අනිත් උදවියට වඩා ටිකක් ඉහළින් සිටිනා කෙනෙක් බව ජුවානිස්ගෙ ගේ දොරකඩට ගිය විට පෙනේ....... ගමේ දුප්පත් පැල්පත්වලට වඩා උළු සෙවිලි කර කබොක් ගලෙන් බැඳ, බිත්ති සුදු හුනු ගා තිබුණ ගෙය, ගමේ තිබුන හොඳම ගෙය විය. කඳු හෙල්වලින් සමන්විත භූමියේ තැන්නක සාදා තිබූ ජුවානිස්ගෙ ගේ ඉතා සුන්දර ගස් කොළන්වලින් වට වුණු ටිකක් විශාල නිවසක් ලෙස අනිත් ගෙවල් දෙස බලනා කල පෙනේ..... ගේ මිදුලේ දාස් පෙතියා සිටවා හොඳින් මිදුල අතු ගා ඉතා පිරිසිදුව තිබිණි. වත්ත වටා ඉනි වැටක් සිටුවා ඇත. ඉනි වැටට මඤ්ඤොක්කා, මුරුංගා, කෝපි යන පැලද සිටවා ඇත. කෝපි ගස්වල පාන්දර පිපී තිබූ සුදු පාට මල්වලින් තවමත් සුවඳ විහිදෙයි. මල්වල පැණි බොන්නට ඇවිත් සිටි මී මැසි රංචුවේ නාදය කනට මිහිරකි. ජුවානිස් අප්පුහාමි නම් ගම්මුලාදෑනීයාගේ ගෙයි ඉදිරිපිට වැට ලඟට ගොස් ලීනිස්, ඔහුට කතා කලේය...
‘‘ගෙදර කවුද....? අප්පුහාමි මාමා....මේ කොළඹ මහත්තෙයෙක් ඇවිත් මාමාව හම්බවෙන්න.... ලීනිස් සද්ද නගා දෙවන වර කතා කරන විට තේ කොප්පයක් ද අතින් ගත් ජුවානිස් ගෙයින් එලියයට ආවේය.
‘‘ආනේ මේ මහත්තයාලනේ.... ඇයි අප්පේ මේ පැත්තෙ.... මට පණිවිඩයක් එව්වනම් මං එනවනේ වාඩිය පැත්තේ.‘‘
‘
‘නෑ... නෑ... මට හිතුනා ගම පැත්තෙ ටිකක් ඇවිදලා එන්න. අනිත් කට්ටිය නම් මිනුම් කටයුතුවලට ගිහින්....‘‘
‘‘ඇයි මහත්තයා යන්නෙ නැද්ද මිනුම් කටයුතුවලට....‘‘
‘‘අනේ නෑ... මම ලොකු මිනුම් මහත්තයාගෙ මස්සිනා..... මම මේ නිවාඩුවකට ආපු ගමන්. මේ ලීනිස් තමයි මාව බැද්දේ ඉදන් මේ පැත්තට එක්ක ආවේ....ලොකු මිනුම් මහත්තයා කිව්වා අප්පුහාමිට වෙලාවක් තිබුනොත් හවස් කරේ වාඩිය පැත්තේ ඇවිත් යන්න කියලා ..
.මොනවද බැද්දේ, වන සංරක්ශිතයේ මායිම්, වගයක් දැන ගන්න....
‘
‘‘ආ... එහෙමද මහත්තයා...මම අද හවස් කොරේ ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ...... එන්න එන්න මහත්තයා ගෙට ....අපි තේ එකක් බීලා ඉමු. ඊයේ අපි අලූත් කිතුල් හකුරු හැදුවා පොළට ගෙනියන්න. අලූත් කිතුල් හකුරු එක්ක අපි තේ බොමු...."
.
"දුවේ..... දුවේ... මේ මහත්තයාලට තේ ටිකක් වත් කරන්න.‘‘ අප්පුහාමි ගේ ඇතුළ බලාගෙන හයියෙන් කෑ ගැසීය්.
"කවුද මෙහෙ හකුරු හදන්න, කිතුලේ යන්නේ...."
"ඇයි අපේ පාල කොලුවනේ....ඌ හරි දස්සයා කිතුලෙ නගින්න...මගේ තුන්වන කොලුවා ...මහත්තයාලට ඊයේ කුරුම්බා කපල දුන්නේ....ඕකා කොයිවෙලෙත් ගෙදර නෑ....ගම වටේ රස්තියාදුවේ යනවා.....ඔය දැනුත් ගෙදර නෑ....
ටික වේලාවකින් අඩු කොප්ප දෙකකට තේ කහටත්, කිතුල් හකුරු පීරිස්සියකුත් සමඟ තේ අරගෙන ආවේ මට හිතාගන්නවත් බැරි තරම් සුන්දර යුවතියකි...... ගැමි සුන්දරත්වයෙන් අනූන දෙදණ දක්වා වැටුණු දිග කෙස් කළඹ එක කරලකට ගොතා,... ඇද සිටි ගවුමට උඩින් රෙද්දක් ඇඳගෙන සිටි ඇය ඉතා පැහැපත්ය. මුතුවන් දත් දෙපල පෙන්වා බයාදු ලෙස සිනාසුණු ඇය අපට තේ කහට පිළිගැන්වූවා ය.
‘‘මේ ජුවානිස්ගෙ දුව ද?’’
‘‘ඔව්.... මහත්තයා. මගේ බඩපිස්සි. මේකි තමයි මායියා නැති වුණාට පස්සෙ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ....මේ දවස් වල ගමේ ඉස්කෝලෙ මහත්තයාට උදව් කරන්නත් එක්ක, උදේට පොඩි උන් බලාගන්නත් එක්ක ඉස්කෝලේ යනවා. ලොකු ඉස්කෝලේ මහත්තයා විතරනේ මුලු ඉස්කෝලෙටම ඉන්න එකම ගුරුවරයා.....උන්දැට අමාරුයි ළමයි ඔක්කොටම එකට උගන්නවන්න...ඒ හින්දා මේ කෙල්ලත් ගිහින් ඉස්කෝලේ මහත්තයාට උදව් කරනවා....ඉස්කෝලේ ළමයින්ට දවල්ට බිස්කට් එහෙම බෙදල දෙන්න ඕනේ නේ....ඒවා ඉතිං මේ කෙලී පිලිවෙලට කරනවා කියලා.... ලොකු ඉස්කෝලේ මහත්තයා ,අනිවාර්යයෙන් කෙල්ල සතියෙ දවසට උදේට ඉස්කෝලේ එවන්න කියලා තියෙන්නේ.....මෙකිගේ අක්කා තමයි ලොකු ඉස්කෝලේ මහත්තයා කසාද බැදලා ඉන්නේ...ඔය ඉස්කෝලේ පල්ලෙහා ගෙදරනෙ පදිංචි වෙලා ඉන්නේ....මේ දවස්වල ඒකිට දරුවෙක් හම්බවෙන්න...ඒකයි වැඩිපුර මේකි එහේ යන්නේ...."
ඊට පස්සෙ ඉතින් දවල්ට ගෙදර ඇවිත් මේකි ගෙදර වැඩ කරනවා......‘‘
ගමේ සිටින අනිත් ගැහැණුන්ට වඩා වෙනස් සුන්දර අහිංසක පෙනුමැති තරුණ ඇය දෙස සුමල් බලා සිටියේ පුදුමයෙනුත් ආසාවෙනුත් ය...... සිහින් ඉඟත් පළල් උකුලත් වඩා උස් නොවූ ලැමත්, පැහැපත් සිනිඳු මුහුණෙන් මතු වූ සිනා රැල්ලත් ඉතා සුන්දරය.... මෙවන් නොදියුණු ඈත එපිට ගම්මානෙක ඉපදී සිටින මෙතරම් සුන්දර යුවතියක ඔහුට හිතා ගැනීමටත් බැරි තරම්ය.....
‘‘මොකක්ද නංගිගෙ නම කිව්වේ.‘‘ මං ඇය දෙස බලා ඇසුවෙමි.
‘‘මම සුනිලා.‘‘ ඇගේ කටින් පිට වූ මෘදු කටහඬ ඉතා මිහිරිය.... දත් පෙන්වා සිනාසුණු ඇය කෝල ලෙස අප සමඟ කතා කරයි....
‘‘තාත්තා කිව්වා ....මහත්තයාලා ගමට පාරක් කපන්න ඉඩම් මනින්න ඇවිත් ඉන්නෙ කියලා...... අනේ ඒක ලොකු දෙයක්..... අපි කඩ මණ්ඩියට යන්න හරිම දුකක් විඳින්නෙ. ගස් ගල් උඩින් පැන පැන සැතැප්ම 5ක් 6ක් විතර පයින් යන්න එපැයි.... අපි කෙටි පාරවල් හොයාගෙන තමයි කඩ මණ්ඩියට යන්නේ.‘‘
‘‘සුනිලලා මොකට ද කඩ මණ්ඩියට යන්නේ.‘‘
‘‘ඇයි හේනේ වත්තෙ පිටියෙ බෝග අපි විකුණන්නෙ කඩමණ්ඩියටනේ......ඒවා විකුනලා තමයි කඩ මණ්ඩියෙන් අපට ඕන කරන කරවල ,ලුනු, පාන් පිටි, එහෙම ගන්නේ...... ගොඩක් වෙලාවට අපි ගෙනියන බඩුවලට ඒවා හුවමාරු කරගන්නවා.‘‘ සුනිලා කෝල ලෙස වුවත් පැහැදිලි ලෙස අප සමඟ කතා කරයි.
"එහෙමද..? මට මේ ලීනිස් කිව්වා....ගමේ හැමෝම තමන්ට කන්න බොන්න ඕන එලවළු අල බතල ගෙදරම හදා ගන්නවා කියලා ..."
‘‘හවසට මං කුරක්කන් හැලප හදනවා..... මහත්තයාලාට කන්න හවසට කූඩාරමට ඒවා එවන්නම්..... මටත් හරි ආසයි කූඩාරම් ගහගෙන මහත්තයාලා ඉන්න හැටි බලන්න.... කවදාවත්ම මං දැකලා නෑ කූඩාරම් ගහගෙන ඉන්න අය....."
"ඉතිං ...සුනිලා තාත්තා එක්ක ඒ පැත්තෙ ඇවිත් බලන්න .."
"තාත්තට මං කිව්වා ...., මාවත් ඒ පැත්තෙ එක්ක යන්න කියලා. කෝ තාත්තා මට කඩා පැන්නෙ නැතෑ.‘‘
‘‘‘ඒ මොකද..?
‘‘අපෝ මහත්තයා, තාත්තා කැමති නෑ මාව කූඩාරම් පැත්තෙ එක්ක යන්න.....‘‘
‘‘මොනවද මහත්තයා අපේ මේ කෙලි කියන්නේ.‘‘
එසේ අසාගෙන ගෙයින් එළියට ආ ජුවානිස්.... ගෙයි ඉස්තෝප්පුවේ තිබුන බුලත් හෙප්පුවත් රැගෙන හාන්සි පුටුවේ කෙලින් වී වාඩි විය. බුලත් හෙප්පුවෙන් ගත් බුලත් කොළයක දෙකොන කඩා විසිකර දැමු ඔහු එය හතරට පහට නමා කටේ ඔබා ගෙන ,ගිරයෙන් කපන ලද පුවක් කෑලි දෙකක් හා, දුංකොළ කැබැල්ලක් හා හුනු ටිකක් හක්කෙන් තියා හෙමිහිට හපන්න ගත්තේය.
‘‘මේ සුනිලට අපේ කූඩාරම් බලන්න ආසයි කියන්නේ. ඉතිං ජුවානිස් ඒ පැත්තෙ එන වෙලාවක සුනිලවත් එක්ක එන්න.‘‘
‘‘බලමු... බලමු.... මහත්තයා.... ගෑණු උදවිය ඔය වාඩි ගානේ යන්නෙ නෑ.... ගමේ උන් දැක්කොත් මං මේකි එහෙ එක්ක යනවා මට විසුමක් වෙන්නෑ.....‘‘
ලොකු හකුරු කෑලි දෙකක් කා තේ කහට බිව් අප ගමේ වටේ ඇවිද එහි සිරි නරබමින් වාඩිය පැත්තට ගියෙමු.... ගමේ මිනිසුන් සමඟ කතා බහ කරමින් ඔවුන්ගෙ දුක සැප අසමින් ගම වටේ යනවිට හිතට දැනුණේ හරිම නිදහස් සැහැල්ලු බවක්ය. ජීවිතය ජීවත් කරවන්න, බැද්දේ දුශ්කර පැත්තක මේ මිනිසුන් විඳින දුක ....දුර සිට බලන අපට, හිතට දුකක් ඇති කළත්.... ඔවුන් මේ ජීවිතයට පුරුදු වී එයින් සෑහීමකට පත් වී සතුටින් ජීවත් වෙන්නෝ වෙති...... උදේ පාන්දර හේනට කුඹුරට යන ඔවුන් දා බිඳු වගුරවමින් භවබෝග සිටුවා, පරිස්සම් කරමින් ලබන අස්වැන්න විකුණා එයින් ලබන ලාභයෙන් තමන්ට අවශ්‍ය දෑ ලබා ගනිමින් ගෙනියන සැහැල්ලූ ජීවිතය තුළ ඔවුන් සෑහීමකට පත් වී තෘප්තියෙන් ජීවත් වේ. ඔවුන් ස්වයංපෝෂිත ජීවිතයක් ගත කරන්නවුන් බව වැටහේ...
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments