🌺බැද්දේ කුමරිය 🌺
- Prisila Godahewa

- Jan 27, 2022
- 7 min read
🌺බැද්දේ කුමරිය🌺
( 24 වෙනි කොටස )
https://www.facebook.com/groups/2653780434897311/permalink/3083865228555494/
මගේ අක්කා මට, ජයන්තිව කසාද බන්දා දීමට යෝජනා කලා වගේම, වැඩි දවසක් නොයාම අක්කා එය ඇගේ තනි තීරණය අනුව සම්මත කරගෙන, ජයන්තිගෙ අම්මලාට ඇගේ කැමැත්ත යවන බව නම් මට පැහැදිලිය.......මාළිගෙ දේපළ වලට තන්හාවෙන් අක්කා මට ඇය කසාද බන්දා දුන්නා වගේම......ජයන්ති වත් කෙසේ හෝ මට ඇය කසාද බන්දා දෙන්න හදන්නේ.....ඔවුන්ගේ දේපළ වලට තන්හාවෙන් හා ඒවා පිට යයි කියා බයේය . මම ජයන්ති අනිවාර්යයෙන්ම කසාද බැද යුතු බව අක්කා කියන්නේ ඔවුන්ගේ දේපළ මට අයිති කර දීමට බව මම දනිමි.
" මල්ලි එන සිකුරාදා වැඩ ඇරිලා කොළඹ ඉදන් කෙලින්ම මෙහේ එන්න...අපි එන සෙනසුරාදා කළුතර ගිහින් මේ මඟුල් තුලා කතාකරගෙන පිලිවෙලක් කරගමු.....මම තාත්තටත් පනිවිඩයක් අරිනවා සෙනසුරාදා මෙහෙ එන්න කියලා කලුතර යන්න...ඔන්න මල්ලි මම කිව්වා ...වරද්දන්න එපා සිකුරාදා රෑට අපේ ගෙදර එන්න..."
අක්කා හැමදෙයක්ම තනියම තීරණය කරයි. ඇයට මගේ කැමැත්ත අකමැත්තෙන් ඇති වැඩක් නැත.
"ඒ මිනිසුන් හරි කැමතියි ඔයාට....ජයන්තිගෙ අම්මා තාත්තත් ,හැමතිස්සෙම කියනවා ජයන්තිව කසාද බැදලා දරුවත් හදාගෙන ඔය දෙන්නට කළුතර ගෙදර ඉන්න පුලුවන් කියලා .... ඔයගෙයි මාළිගෙයි දරුවට තමයි ඒගොල්ලන්ගෙ හැම දේපලක්ම අයිති වන්නේ කියල නිතර කියනවා..... තව ටික කාලයකින් ඔයාගේ පුතාට ඒ ඔක්කොම දේපල ලියල දානවා කිව්වේ....ඔයා ජයන්ති බැන්දොත් ඒවා ඔක්කොම ඔය දෙන්නටනේ....මොකද මාළිගෙ අම්මා ජයන්තිට හරි ආදරෙයි එයාගෙ නංගිගේ දුව නිසා.....‘‘
"අක්කා මොනව කිව්වත් මගේ කැමැත්තක් නෑ...."
‘‘ මෝඩ වෙන්න එපා මනුස්සයෝ.....ඒ මිනිස්සු මාස දෙක තුනකට සැරයක් ඇවිත් පුතාව බලල යන්න අමතක කරන්නෙත් නෑ..... ඒ එන වෙලාවට හාල්, පොල්, තුනපහ ගමේ තියෙන හැමදෙයක් ම ඇරගෙන තමයි පුතා බලලා යන්න එන්නේ. පුතාට බැංකු පොතකුත් ඇරල , දැන් හැම මාසෙකම ඒකට සල්ලි දානවා කියලත් කිව්වේ....විකාර මනස්ගාත අත් ඇරලා...ජයන්ති ගැන හිතන්න.....‘‘
අක්කා සමඟ කතා කර වැඩක් නැත....සෙනසුරාදා ජයන්තිලාගෙ ගෙදර ගිය විට, මම ඒ වැඩිහිටියන්ට මගේ අකමැත්ත කෙලින්ම කියාදානවා......එතකොට ඔක්කොම ඉවරයි. අක්කට මම කියන දේ තේරෙන්නෙ නැත්නම් ,ඒකයි කරන්න ඇත්තේ.....
මම නැවත කොළඹ බලා මගේ බෝඩිමට ගියේ දෙලොවක් අතර අතරමං වය....මම මගේ කන්තෝරුවේ සිරිදාස සමඟ එකම බෝඩිමේ සිටිනා නිසා, මගේ මේ ප්‍රශ්නයට විසදුමක් ඔහුගෙන් හෝ ඇසිය යුතු යැයි සිතා ගත්තෙමි.
සෝමේ හා මම එකතුව බෝඩිමේ උයා පිහාගෙන කෑම කන්නෙමු. අප දෙදෙනාම දැන් තනිකඩයෝය.... සෝමේ තවම කසාද නොබැදපු කෙනෙක් නිසා, ඔහුට මගේ ප්‍රශ්න තාම නොතේරේ....නමුත් ඔහු නිතරම මට කියන්නෙ තව කසාඳයක් කරගෙන දරුවත් මගේ ලඟට ගෙන, හොදින් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න කියායි..... නොයෙකුත් දේ සිතමින් මම බෝඩිමට ආවේ හිතේ කනස්සල්ලෙනි.
"මොකද බං ...දුකෙන් වගේ..."
"නිකම්...අක්කලාගෙ ගෙදර ගිහින් එන ගමන් මේ....මෙන්න අක්කා අපට රෑට කන්න කෑම දුන්නා...."
"ශා...නියමයිනේ...මම මේ කම්මැලි කමෙන් හිටියෙ රෑට කන්න උයන්න....උඹේ අක්කා නම් හරිම හිත හොද ගෑනි...උඹ හරි වාසනාවන්තයි ඒ වගේ අක්කා කෙනෙක් ලබන්න....බලපන්කෝ උබේ දරුවත් තමන්ගෙ දරුවෙක් වගේ හදාගෙන ඉන්න හැටි....වෙන කොහේවත් අක්කලා ඔහොම කරන්නෑ...."
"ඔව්...ඔව් ...වෙන අක්කලා එහෙම කරන්නෑ තමයි ..."
"මොකද උඹ ඒක සවුත්තුවට වගේ කිව්වේ ....අක්කා එක්ක වලියක්ද...?"
"තාම වලිය පටන් ගත්තෙ නෑ... .අක්කා මාළිගෙ පුංච් අම්මගෙ දුව ,ජයන්තිට මාව ජෝඩු කරල කසාද බන්දල දෙන්න හදන්නේ....."
"නෑ......අර විස්කුරුප්පුවට.....හා...හා.....නියමයි...උඹට නම් නියමෙට ගැලපෙනවා..."
සෝමේ බඩ අල්ලගෙන හිනාවෙයි....
"මොකද උඹ සවුත්තුවට හිනාවෙන්නේ.....විකාර නැතුව හිටපං.....මට මේකට විසදුමක් දීපං බං... "
"මොකටද...?
"මාළි නැති නිසා එයාගෙ අම්මගෙ දේපළ ජයන්තිටත් අයිති වෙන නිසා....ඒකට තන්හාවේ තමයි ඔය මට අපේ අක්කා එයාව ජෝඩු කරන්න හදන්නේ...."
"නෑ....එහෙමද ..? එහෙනම් උඹ ඒකීට කැමති නැත්නම්, මට ජෝඩු කරපන්කෝ....මේ කන්තෝරුවේ කුරුටු ගගා ඉන්නෙ නැතුව මට සැපට කකුල් දෙක උඩ දාගෙන ඉන්න තිබුනා, ඒ දේපළ තිබුන නම්.....උඹ වගේ මෝඩයෙක්....."
"ඇයි දැන් උඹ හිනාවුනේ විස්කුරුප්පුව කියලා ...දේපළ ගැන කිව්වහම බදින්නත් අහනවා...."
" මෙහෙමනේ බං දේපළ තියෙනවා නම් මොන විස්කුරුප්පුවක් උනාම මොකද...?
"නිකං විහිලු නොකර, මට මේකට උත්තරයක් හොයලා දීපං බං...එන සෙනසුරාදා අක්කලා මට කළුතර යන්න එන්න කිව්වා, මඟුල තීන්දු කරලා දින දාගන්න...."
"ඉතිං...පලයං...ඉස්කුරුප්පුව උනත් කෙල්ල ලස්සනයි ...බැන්දට පස්සේ බැරියැ ඔය තොරොම්බල් ටික හලලා හදල ගන්න... ජයන්තිගෙ ගතිගුණ වලත් නරකක් නෑ....මාත් එක්කත් මාළිගෙ මළගෙදර දවසේ කතා කලා...හොද පාටයි ....අක්කලා කියන දේකට කැමතිවෙලා ඒකිව බැදලා සතුටින් හිටපං බං.....ඒකිටත් ඕන තරම් සල්ලි තියෙන එකේ....."
"එකිට සල්ලි නෑ....ජයන්තිගෙ තාත්තා තිබුන දේපළ ඔක්කොම විකුනගෙන බීලා නැති නාස්ති කරගෙන,....ඒවා ඔක්කොම ලාභෙට ඇරගෙන තියෙන්නේ, මාළිගෙ තාත්තා ....ඉතිං මාළිගෙ අම්මලාට දැන් ඒ දේපළ වලින් වැඩක් නැති නිසා, මාවත් ඕවට ගාවගෙන ජයන්තිට මාව බන්දලා දීලා, මාළිට අයිති දේවල් අපි දෙන්නට දීලා දාන්න හදන්නේ......"
"මාර ප්ලෑන්ස්නේ....අච්චාරු ගොඩයි...කොහොම උනත් ජයන්තිට කැමති වෙලා ඒකිව බැදපන්...හදිස්සියකට අපටත් අතමාරුවක් ඉල්ල ගන්න පුලුවන් පෝසත් යාළුවෙක් ඉන්න කොට...."
" විහිලු නවත්තපන් බං....එහෙම නෙමේ...උඹට මම තව දෙයක් කියන්න හිටියේ..."
"ඒ මොකක්ද ඒ......?
"උඹට මතකනේ සුනිලා ...මගේ හිතේ එකී ගැන අදහසක් තිබුනා......"
"ආ....ඔය එන්නේ එලියට හිතේ තියෙන ඒවා...ඒකයි මේ දේපළ ගොඩ අහකදාන්න හදන්නේ....ඒ උනාට බං ඒකි කසාද බදින්න කියලා නේ ගමේ ගියේ.....දැන් ඒකීට ළමයිනුත් ඇති. .....උඹලැයි අක්කා කිව්වේ...මොනව උනත් අන්න කෙල්ලෝ....කසාද බදින්න නම්...."
"එහෙම තමයි ...ඒ උනාට දැන් මාස ගානකින් එයා ගැන ආරංචියක් නෑ.....බදිනකොට අපට මගුල් කියනවත් කිව්වා....තාම මගුල් කියන්න ආවේ නෑනේ.....මට හිතෙනවා ගමේ ගිහින් සුනිලා කසාද බැදලද නැද්ද කියලා බලලම එන්න.....මොකද කොළඹ වගේ නෙමේනේ ...නැකත් බලලා දින දාගෙන බදින්න අවුරුද්දක් විතර යනවනේ...."
"ඔව්...ගිහින් බලලා වරෙන්...උබ ඒකිට කැමතිමනම් ...හදිසියේවත් තාම බැදලා නැත්නම් උඹේ හිතේ තියෙන දේත් කියලම වරෙන්..."
" එහෙම නෙමේ බං.....උඹට පුලුවන්ද මාත් එක්ක සුනිලගෙ ගමේ යන්න එන්න....? තනියම යන්න මොකක්ද වගේ ...."
" ම්ම්.....එක කාමරේ එකට කා කා.. බී බී... ඉන්න යාළුවාට උදව් කරන්නත් එපෑ..... එහෙනම් මම එන්නම්....දැන් කවද්ද යන්නේ...? එන සෙනසුරාදා මට වැඩක් මුකුත් නෑ.... එහෙනම් එන සෙනසුරාදා රුවන්ගම යමුද..?
"එන සෙනසුරාදා ,අක්කලා එක්ක කලුතර යන්න එන්න කිව්වනේ.....ඊට ඉස්සර ගිහින් සුනිලා බලලා ආවනම් මට ජයන්ති ගැන තීරණයක් ගන්න තිබුනා......."
"අපි එහෙනම් හෙට උදේ කන්තෝරු ගිහින්....නිවාඩුවක් දාලා සුනිලගෙ ගමේ යමු....මාත් ආසයි සුනිලලාගෙ ගම බලන්න.... "
"බොහොම ස්තුතියි සෝමේ මගෙ තනියට එන්නම් කිව්වට..."
"ඒක හරි...හැබැයි මට හොදට කන්න බොන්න ඕනේ...මගෙ බස් වියදමත් උඹම ගෙවපං..."
"හා, හරි.... ඒවා හරි..."
මම තවම තිස් තුන් වියේ පසුවෙමි.... මට දැන් දැන් නිතර සහකාරියකගේ උවමනාව තදින්ම දැනෙන්න පටන් ගෙන ඇත. රැකියාවට ගොස් හවස බෝඩිමට ආපසු සෝමේ සමග උයාපිහාගෙන තනියම කෑම කා ජීවත් වීම මට දැන් ඇති වී ඇත...
මට දැන් නිතර නිතර සුනිලා සිහිවේ... සමහරවිට ඇය දැන් කසාද බැදලත් ඇත...ඇය ගැන තොරතුරක් දැනගැනිමේ ආශාව නම් මට දැන් වැඩි වැඩියෙන් දැනේ....
අක්කයි, තාත්තයි මට ජයන්ති කසාද බැද දෙන්නට උත්සහ ගත්තට, මගේ සිතට දැන් නිතර සුනිලා මතක් වෙන්නේ....ඇය හිමිකර ගැනිමේ ආශාවෙනි..... මුතු පබලූ වැනි දසන් පෙන්වා සිනාසෙන ඇය.... මා ඉදිරියේ නිතර නිතර මට මැවී පෙනේ.... මාස ගානකින් ඇගේ ආරංචියක් නොලද මට ඇය දකින්නට යෑමේ තද ආසාවක් මේ වන විට ඇති වි ඇත. ඇය දැන් මොනව කරනවා ඇද්ද? ඇය කසාඳ බැඳ දරුවෙක් ලැබෙන්න සිටිනවාත් වන්නට ඇත......අය්යෝ එහෙම නම්..... මම පරක්කු වූවා වැඩිය....ඒ සමඟ ම මගේ හිතට ඇතුළු උනේ ක්ෂණික දුකකි.
මාළිට බැරි අමාරු අවස්තාවේ උදව් උපකාර කළ සුනිලා, මගේ දරුවා මාසයකට වැඩි කාලයක් බලා ගත් සුනිලා......මටත් නොකියම ගමේ ගිය පසු.....ඇය විවාහ වීමට ගමේ යන බව අක්කා කිව් පසු..... පසුගිය මාස ගානක් මං ඇය අමතක කර දමා තිබුනි.....නමුත් ,අක්කා නැවත මට විවාහ වෙන්න බල කරනා නිසා, මට දැන් ඇය දකින්නට තද ආශාවක් ඉපද ඇත...... ඔව් මම ඇය බලන්න යා යුතුය. මට හෙට සිරිදාස සමග, සුනිලා බලන්න යන්නට නොවිසිල්ලෙන් පසුවුවෙමි.
හවස වැඩ ඇරුන පසු ටවුමට ගොස් මම ජුවානිස්ට, ගුණදාසට හා සුනිලාට ඇඳුම් තෑගි බෝග කොළඹින් ගෙන යන්නට ලෑස්ති කර ගත්තෙමි.
පසු දින උදේ කන්තෝරු ගොස්, දවසේ නිවාඩුවක් ගත් සිරිදාස හා මම පිටකොටුවෙන් රුවන්වැල්ල යන බසයකට උදේ දහයට පමන ගොඩ වුවෙමු....
සෝමේ සමග නොනවත්වාම, පසුගිය කාලයේ සිදුවුන සියලු සිදුවීම් කියවමින්, කොළඹ සිට රුවන්වැල්ල බලා අප දෙදෙනා බසයෙන් ගියෙමු.....
එම බසයෙන් රුවන්වැල්ලෙන් බැස ගත් අප දෙදෙනා නැවත රුවන්වැල්ලේ සිට රුවන්ගමට යන බසයකට ගොඩ වුනේ, දහවල් ආහාරය ගන්නා වෙලාවද පසු කරය. ....
රුවන්ගම බසයට ගොඩවුන වේලේ සිට මම, සුනිලා සමග ගෙවුනු පහුගිය කාලේ සුන්දර මතක සිහි කරමින් ගියෙමි. දැන් නම් මට සුනිලා දැක ගැනීමේ ආශාව ඉවසුම් නැති ගානය..... සුනිලා දැන් විවාහ වී පිටගම් ගොස් කියාද මට සැකයක් ඇත. එය මතක් වෙද්දී නම් මගේ හිතට දැනෙන්නේ කියාගන්න බැරි විශාල දුකකි.... මා ඇය බැලිමට එන්නට පමා වූවා වැඩි යැයි මට දැන් සිතේ..... පසුගිය කාලය තුල ......සුනිලා අද හෙට කසාද බදින්න යන කතා,
අක්කාගෙන් ඇසුන නිසා... ඒ දිනවල ඈ ගැන සොයා බැලීම මම නතර කර දමා තිබුනි.... සුනිලා මෙතරම් කාලයක් අමතක කරදමා සිටිම ගැන මටම, මං ගැන ඇතිවුනේ කේන්තියකි....ඇය විවාහ වීම සදහා ගමේ ගිය කතාව අක්කා නිතර නිතර කීම නිසා....මම මාළි ගැන සිතමින් පුතාගෙ සුරතල් බලමින්, ඒ දිනවල කාලය ගත කලේ, සුනිලා අමතක කර දමමින්ය.
ශාන්ත අය්යලා සමග මිනුම් වාඩියේ ගත කල දිනවල, දිනක් මහ රෑ පාර වැරදී.... සුනිලාගෙ නිවසේ මට රාත්‍රීය ගත කරන්න ලැබුන දින, එම රාත‍්‍රියේ දී මගේ හිතට සුනිලා ගැන ඇති වුන හැඟීම....., ආදරය.... මගේ හිතට මතක් වන විට තාමත් මගේ හිත හිරිවැටී සතුටින් පිරේ..... පහුගිය කාලයේ මං සුනිලා අමතක කර දැම්මත්..., අක්කා ජයන්ති හා මා කසාද බන්දා දීමට උත්සහ ගැනීමේදී....නැවත මට සිහිපත් වුනේ සුනිලාවය......
කිසිම දිනක කිසිම කෙනෙක්ට, තරුණ කාලයේ ආදරය නොකළ මට, ගැහැණු කෙනෙකු ගැන හැඟීමක් ඇති වුණා නම් ඒ සුනිලා විතරමය..... කොළඹින් ඈත ගමක ඉපදී ජීවත් වුණ ඇයගේ පෙනුම, සුන්දරත්වය ,කතාබහ ගතිගුන සියල්ල මා සිත් ගත්තේය ....ඇය දුටු විගස මම වෙනස් වුන හැටි ....... ඇයගේ සුන්දරත්වයෙන් හා කතා බහෙන් මා කලක් හීන් සතුටක් වින්ද හැටි මට දැන් මතක් වෙයි...
නොයෙකුත් පරණ දේ සිහිපත් කරමින් මම සෝමේ සමග රුවන්ගමින් බසයෙන් බැස්සේ සුනිලාට හා ජුවානිස්ලාට ගත් තෑගි බෝග මළු ද උස්සා ගෙනය.
සිරිදාස සමග "රුවන්ගම" හංදියෙන්" බසයෙන් බසින විට දහවල් දෙක පසුවි තිබුනි.
"මට නම් දැන් මාර බඩගිනියි...මොනව හරි නොකා මෙතනින් නම් එහාට කොහේවත් යන්න බෑ......සෝමේ කීය.
"මෙහෙ දවල්ට කන්න දෙයක් නෑ....කෝකටත් අර තේ කඩයට ගිහින් බලමු, මොනවද කන්න තියෙන්නේ කියලා ..."
රුවන්ගම හන්දියේ තිබුන එකම තේ කඩේට ගොඩවි, අප දෙදෙනා දවල්ට කන්න දෙයක් ඇත්දැයි බැලුවෙමු ....
"මේ වන්ඩු ආප්ප, හැලප තමයි මෙතන කන්න තියෙන්නේ....අර පාන් විස්තෝතු කෙසෙල් එහෙමත් තියෙනවා .... මොකද කරන්නේ....?"
"මේවා හරි කාලා යමු...නැත්තම් බඩගින්නේ මැරෙයි..."
"උඹට ඉතිං කන බනේමයි......එහෙනම් ඇරගෙන කාපං..."
"උඹට මම කිව්වනේ...මාව එක්ක ආවොත්, මට කන්න ඇරන් දෙන්න ඕනේ කියලා ......"
රුවන්ගම හංදියේ තේ කඩෙන්, වන්ඩු ආප්ප, හැලප හා ආනමාලු කෙසෙල් ගෙඩි දෙකක් කා කහට තේ දෙකක් බී අප දෙදෙනා ගමන ආරංභ කලෙමු.
සුනිලාගෙ ගමට යන පාරේ, මග දිගට මූනට හමුවන ගම්මුන්ගෙන්, අප දෙදෙනා පාර දිගටම අහගෙන ගියේ, ගම්මුලාදෑනීයාගේ ගෙදර සොයා යන ලෙසය.
"මාර ලස්සන ගමක්නෙ මේක .... හරිම නිදහස්, කඳුවලින් ,කුඹුරු වලින් වටවුන සශ්‍රික ගමකනේ අපේ සුනිලා නංගි ඉන්නේ......"
සිරිදාස අවට පරිසරයේ ගස්කොළන්වල නැවුම් සුවඳට හුස්ම අල්ලාගෙන ගමේ අසිරිය බලමින් මා පසුපස එයි...
"ඒක තමයි අපේ රටේ කොයිතරම් නම් ලස්සන පැති තියෙනවද දැක බලා ගන්න ....මේ ගම්වල ලස්සන , වටිනාකම් දැක බලා ගන්න උඹට මාත් එක්කම එන්න වුනානේ..."
"පළයං යන්ඩ...මාත් හොද ගමේ කොල්ලෙක් තමයි ....අපේ අම්මලා තාත්තලා අපි පොඩි කාලෙම කොළඹ පදිංච් යට නොගියා නම්......"
"එහෙමද....?සුනිලා ගෙදර ඉන්නවද දන්නෑ.....ඒක දැනගන්න කම් මට ඉවසිල්ලක් නෑ...."
" දැන් තමයි උඹේ නියම තත්ත්වය එළියට එන්නේ.....මම දැනගෙන හිටියෙ නෑනේ උඹ මෙතරම් ඒකිට ලව් කියලා .....මං නම් හිතන්නෑ ඒකි දැන් ගමේ ඇති කියලා ...උඹලගෙ අක්කා කියපු විදිහට නම් ඒකිට දැන් ළමයිනුත් ඇති...."
"මගේ වැරද්ද......මම සුනිලා බලන්න එන්න පරක්කු උනා..."
"දැන්ද ඒක තේරෙන්නේ...මෝඩයා....?
" අර බලපන්කෝ අර පොඩි දිය ඇල්ලක්....ගලෙන් ගලට වැටි වැටි එන වතුර පාර....ඒකේ ලස්සන....අපි පොඩ්ඩක් මේ දොර පාර ලග නැවතිලා යමුද...මගේ කකුල් රිදෙනවා, මේ ගල් මුල් උඩ ගිහින්...."
"උඹ දන්නවද......රෑට මේ ඇල්ල ලග තනි පිරිමින්,බිලි ගන්නවලු....පිරිමි තුන් හතර දෙනෙක්ම මේකට වැටිලා මැරිලා තියෙනවලු..."
"මගෙ අම්මෝ....මට බයයි එහෙනම් ....යමං.....යමං මෙතනින් ඉක්මනට ..."
"අප්පෝ....මහ ලොකු චන්ඩියා...උඹ දන්නවද .....අපේ ශාන්ත අය්යලා මිනුම් කදවුරු ගහගෙන හිටිය කාලේ...මේ පාරේ, මම මහ රෑ තනියම ගිහින් තියෙනවා .....එදා මට පාර වැරදුනානේ...මොකක් හරි වාසනාවකට යන්තම් ගමට යන්න පුලුවන් උනා...නැත්තම් මාත් මේ ඇල්ල පල්ලෙ..."
"යමං..බං...මට බයයි...කකුල් දෙකත් රිදෙනවා ඇවිදලා....
උඹට වෙන ලඟ පාත ගමක් තිබුනෙම නැද්ද ගෑනියෙක් හොයාගන්න ......මේ කැලේ ආවේ..."
"අපේ අය්යා නම් කිව්වා ....ලඟදිම මේ ගමට පාර කපනවා කියලා , ලංගම බස් යන්න..."
"එහෙම උනානම් ලේසියි ....දැන් නම් මට හරි මහන්සියි ...පයින්ම ඇවිදලා....මට බඩගිනියි දැන් ..."
" උඹට ඉතිං කොහේ ගියත් බඩගින්න......තව ටිකයි....සුනිලගෙ ගමට...මේ ටිකත් මහන්සි නොබලම යමු...."
"යං...යං..උඹට ඉතිං මේවායේ නැගලා හොදට පුරුදුයි නේ...මට තමා අමාරු......අර සක්කරවට්ටම් ජයන්තිව බැදගත්ත නම් ඉවරයි නේ....මේ කැලේ එන්නෙ නැතුව....එහෙම නම් මට අතමාරුවක් හරි ඉල්ල ගන්න තිබුනා....අපරාදේ ...."
සිරිදාස මට බැන බැන හරි මගේ තනියට ආ එක ගැන මට ඇත්තේ සතුටකි.
"සුනිලගෙ තාත්තා තමයි මේ ගමේ ගම්මුලාදෑනීයා ...අපි ගම්මුලාදෑනීයා හම්බවෙන්න ආපු විදිහටම ගමට යමු..."
"ඔව්...ඔව්..සුනිලාගෙ නම කියලා ගමේ මිනිස්සු ලවා ඒ කෙල්ලට කතා , පද හදන්නෙ නැතුව..."
-නැවත හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments