top of page

🌺බැද්දේ කුමරිය 🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jan 27, 2022
  • 12 min read

🌺බැද්දේ කුමරිය 🌺

(19 වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/3080856302189720/

මාළිගෙ මළගෙදර කටයුතු අහවර වි ගෙදර කට්ටිය ,ඇගේ හත්දවසේ දානය, බණ වෙනුවෙන් ලෑස්ති වෙති.


"මළගෙදර, හත්දවසේ වැඩ කටයුතු ඉවර උන ගමන්ම ජුවානිස් අප්පුහාමි, සුනිලව ගමේ ගෙදර එක්ක යන්න ඕනෙ කිව්වා ..."


"ඔව්..මාත් එක්කත් කිව්වා ..., සුනිලා කසාද බදින්න ඉන්න පිරිමි ළමයා... , සුනිලව ගෙදර එක්කගෙන එන්න කියලා ..."


"හරි වැඩේනේ අපි මාළි දුව ඉස්පිරිතාලේදී නැති වෙන දවසේ, සුනිලවනේ එයාගෙ දරුවගෙ තනියට තියලා තිබුනේ......ඉතිං, ඉස්පිරිතාලේදී ..... සුනිලටනේ නර්ස් නෝනලා කියලා දීලා තියෙන්නේ ..... අම්මා නැති දරුවට පිටි කිරි පොවලා හරියට දරුවා ලොකු මහත් කරලා හදාගන්න හැටි.... ඉතිං අම්මා නැති කිරිසප්පයා හරියට බලගන්න දන්නේ දැන් සුනිලා විතරයි.. ....මොකද දැන් අපි කරන්නේ....?සුනිලා දැම්ම ගෙදර ඇරලා කොහොමද... ?


"අපි සුනිලගෙන් අහල බලමු ...දැම්ම ගමේ යන්න ඕනද කියලා ......ජයන්ති දුව දැන් මෙහෙ ඉන්න නිසා, අපි ජයන්තිට කියමු දරුවා බලාගන්න වැඩේ ඉක්මනට ඉගෙන ගන්න කියලා....අම්මා මොකද පුංච් අම්මා මොකද.... ඉස්සරහ කාලේ ජයන්ති ඉතිං දරුවගෙ අම්මා වෙන්න ඉන්න කෙනානේ....."


"ඒ කෙල්ල කොහේද ළමෙක් බලාගන්නේ... ..දාංගලේ විතරයි .....ඒහෙම දෙයක් කොහෙද එයා කරන්නේ....සුනිලව තව ටික දවසක් මෙහේ තියා ගන්න පුලුවන් නම් ලේසියි....නාකි මට උනත් දැන් මේ කිරි දරුවන් බලාගෙන පුරුද්දක් නෑ....සුනිලා නම් හරි පුරුදු කාරියක් වගේ දරුවා බලාගන්නේ..."


"සුනිලට එයාගෙ අය්යලා අක්කලාගෙ ළමයි බලාගෙන පුරුදුයි ඒකයි ඒ......"


අපේ කතාව අසා සිටි සුනිලා , එවලේ අප ලගට විත් කියපු දේ ගැන, අප සියලු දේනාටම සතුටු සිතිනි.


"අපේ තාත්තා මාව ගමේ එක්ක යන්න ඇහුව්වට,....මම තව මාසයක් විතර බබා බලාගෙන ඉදලම යන්නම්....කාගේ අතට හරි බබා පුරුදු වෙන්න ඕනනේ....මට මාළි අක්කා වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ ඒකනේ....මාළි අක්කා මට එයාගෙම නංගි කෙනෙක්ට වගේ සැලකුවේ....මම ඒ ගැන හිතලා, දරුවා බලාගන්න උදව් කරන්න ඕනේ....."


"දැන් සුනිලාගෙ තාත්තා, මළ ගෙදර ඉවරවෙලත් ගමේ නොයා ඉන්නේ...සුනිලා එකපාරම ගමේ එක්ක යන්න කියලා මය හිතේ...."


" ඔව්...එහෙම තමයි , ඒ උනාට මම අපේ තාත්තට මේක පැහැදිලි කරලා කියලා දීලා, තාත්තව හෙට ගමේ අරින්නම්...මේ කිරි දරුවගෙ අම්මත් ලඟ නැති එකේ එයාව බලාගෙන පුරුදු මමත් එකපාරටම යන එක හොද නෑනේ..."


සුනිලා කිව්ලෙසම මාළිගෙ හත්දවසේ දානෙන් ඉස්සර ජුවානිස් අප්පුහාමි, ගමරට බලා ගියේ ඒ තරම් හිත හොදින් නොවන බව අප සියලු දෙනාට වැටහින..... ඒ සුනිලා ,මාළි නැති ගෙදර, දරුවෙක් බලාගෙන ඉන්නවාට, ජුවානිස්ලා අකමැති වන්නට ඇති.


"ජුවානිස් හිතනවද දන්නෑ අපි සුනිලගෙන් වැඩ ගන්නවා කියලා... .."


"සුනිලා, ජුවානිස් එක්ක කියනව මම අහගෙන, කිරි දරුවා දැම්ම දාලා යන එක හොද නෑ.....තව මාසෙකින් විතර ගමේ එන්නම් කියලා ..."


"සුනිලා හොද කෙල්ල....."


ඉස්පිරිතාලේ දී පුහුණු කර තිබුණු ලෙස සුනිලා දරුවාට කිරි සාදා දෙමින් පරිස්සමට කිරි පොවමින් දරුවා ආදරෙන් බලා ගනී.....දරුවා සෝදා පිරිසිදු කරන්නේද ඇයයි..... මාළිගෙ අම්මා හා ජයන්ති ඇයට අත් උදව් දෙමින් දරුවා බලාගනී. නමුත් මාළිගෙ මව දරුවා දෙස බලාගෙන නිතර කදුළු සලයි.......


පුංච් අම්ම උනත්, ජයන්තිට දරුවා බලාගෙන පුරුද්දක් නැත. ඇය දරුවා බලගන්නවා වෙනුවට, මා පස්සෙන්ම වැටි මට කෑම බීම පිලිගන්වමින් මගේ ඇදුම් පැලදුම් පවා ලෑස්ති කරදිමට උත්සහ ගනී.... ඇය ඒ දේවල් කරන්නේ....මාළිගෙ අම්මාගෙ හා ඇගේ අම්මාගෙ අනුදැනුම මත යැයි මට සිතේ...


මාළිගේ පුංච් අම්මාගෙ දුව වන ජයන්තිටද...පහුගිය කාලේ කසාද බදින්න මණමාලයෙක් සොයපු බව මට තාම මතකය.


############


මාලිගෙ මළගෙදර වැඩකටයුතු ඉවර වී මම නැවත කොළඹ කන්තෝරුවේ වැඩට ගියේ මාසෙකට විතර පසුයි. ඒ මාළිට දරුවා ලැබෙන්න ප්‍රථම මා නිවාඩු දමා ආ ගමනය.


මම කන්තෝරු ගිය මුල්දිනේ...කන්තෝරුවේ සැවොම පැමින, මට මාළිගෙ වෙන්වීම ගැන ශෝකය ප්‍රකාශ කලහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්...මාළිගෙ මළගමටද ,කොළබ සිට ලංගම බසයක් කුළියට ගෙන කලුතර ආවවුන් ය.


"ආ..සුමල් කොහොමද .....?අපට හරි දුකයි ,මාළිට උන දේට..... දැන් කවුද දරුවා බලාගන්නේ...?


"මාළිගෙ අම්මයි ගමේ ගෑනු ළමයි දෙන්නෙකුයි තමයි පුතාව බලාගන්නේ ...."


"ඉතිං...උඹට හැම සුමානෙම කළුතර යන්න වෙයි නේද දරුවා බලන්න .."?


"ඔව්...ඒක තමයි...මම කොළඹ අපි නැවතිලා හිටිය ගෙදර ආයෙත් භාර දෙනවා ...ඒ ගෙදර තිබුන බඩුත් අපේ අක්කලාගෙ ගෙදරට ගිහින් දානවා.....මම දැන් අක්කලාගෙ ගෙදර නැවතිලා ඉන්න නිසා, දරුවා අක්කලාගෙ ගෙදර එක්ක එන්න කියලා මම හිතාගෙන ඉන්නේ...මට නිතර කළුතර යන්නත් අමාරුයිනේ...ඊටත් මගේ දරුවගෙ වගකීම තියෙන්නේ මටනේ...මාළිගෙ දෙමව්පියන් දැන් වයසයි...ඒ මිනිස්සුන්ට බෑ කිරිදරුවෙක් හදා ගන්න. ඒ නිසා මම ඉන්න තැනකට මගෙ දරුවා එක්ක එන්න හිතාගෙන ඉන්නේ ..."


"එක හොදයි ..."


ඉන්පසු සුමානෙ, මම වැඩ ඇරි, කළුතර මාළිගෙ නිවසට යනවිට ජයන්ති හා සුනිලා දරුවා අතේ තියාගෙන වැලි මිදුලේ ඇවිදමින් සිටිනු දැක ගත හැකි විය. මා ඈතදීම එනවා දුටු විට ජයන්ති... දුවගෙන විත් මගේ අතින් අල්ලා ගත්තේ...ඉස්සර මාළි කරනා ලෙසමය. මම වහා ඇගේ අත ගසා දැමුවේ......වෙන කවුරු හරි දකියි කියා බයෙන්ය. දරුවා අතේ තියාන මිදුලේ ඇවිදමින් සිටි සුනිලා, එය දැක අහක බලගන්නවා මම දුටිමි .


"සුමල් අය්යා..අපට මොනාද කොළඹින් කන්න ගෙනාවේ..."


"මොනව ගේන්නද ...මම මේ ඔලුව ගිනි ඇරන් ඉන්න වෙලේ..." මම අමනාපයෙන් කීය.


ජයන්ති මගේ ලඟ හුරතල් වෙන්න උත්සහ ගනී....එය දකින සුනිලා නොදැක්කා සේ අහක බලා ගනී.


සුනිලා මගේ දරුවගේ අම්මා ලෙස, ආදරයෙන් ඔහු වඩාගෙන සිටිනා හැටි දකින කල, මට ඇය ගැන ඇතිවන්නේ සතුටක් හා ආදරයෙකි....සුනිලා දැන් තවත් ලස්සන වෙලායැයි ඇය දෙස

බලනා කල පෙනේ...ඇය නියම අම්මා කෙනෙක් ලෙස දරුවාට ආදරයෙන් සැලකීම බලාගැනිම මගේ හිතට සතුටකි.


මම දරුවා බලන්න, වැඩ ඇරි කොළබ සිට කළුතර ගෙදර ආ බව දැක මාළිගෙ මව හා පියා සතුටු වු බව මට දැනින.


මම දරුවාට පොවන කිරිපිට් හා තව දරුවාට අවශ්‍ය දේ කොළඹින් ගෙන ආබව දැක ඔවුන් තවත් සතුටු වු බවද පෙනෙයි...


"දැන් පුතේ තව සුමානයකින් විතර අපි, සුනිලා ගමේ අරින්න ඕනේ...ඊට පස්සෙ මේ දරුවා බලාගන්න වැඩේ තමයි අපට අමාරු...මොකද අපි ඒකට කරන්නේ...?


"ඒක තමයි මමත් කල්පනා කලේ...මම ඉන්න තැනකට දරුවා එක්කගෙන ගියොත් හොදයි කියලා මට දැන් හිතෙනවා....ඒත් කොහොමද අක්කා දරුවා බලාගන්නේ කියන එකත් ප්‍රශ්නයක්, ..... එයාගෙ දරුවන්ගෙ වැඩත් එක්ක...කවුරු හරි දරුවා බලාගන්න පුලුවන් කෙනෙක්, වැඩට ඇරගෙන තමයි දරුවා අක්කලාගෙ ගෙදර එක්ක යන්න ඕනේ...."


‘‘ එහෙම නෙමේ පුතේ.... අපේ දුවගේ දරුව නිසා අපි මේකට හොද විසදුමක් හොයාගන්න ඕනේ...අම්මත් නැති දරුවා නිසා අපි හැමෝම, දරුවගෙ අනාගතය ගැන හිතන්න ඕනනේ....අපිත් තව ටික කාලයයි ජීවත් වෙන්නේ...අපි නැති දවසක ඒ දරුවට යන කලක් ගැන හිතල තියෙන්න එපා....දරුවා මෙහෙ තියාගන්න මම කැමතියි ...ඒත් ඒකේ පිලිවෙලක් තියෙන්න එපෑ...දැන් මේ දරුවා ඔය ළමය ගෙනේ....ඉස්සරහ කාලේ ගැනත් අපි හිතන්න එපෑ.... මොකද කරන්නේ කියලා ......සුමල් පුතා තාම තරුනයි.....පුතාට හැමදාම තනිකඩව ඉන්න බෑනේ....ඒකට දරුවා ප්‍රශ්නයක් වෙන්නෙ නැති තැනකින් තමයි පුතාට කවදහරි ආයෙත් කසාදයක් කර ගන්න වෙන්නේ....නැත්තම් අම්මා නැති දරුවට තාත්තත් නැති වෙනවනේ.....

පුතාට පුලුවන්ද රස්සාවෙන් අස් වෙලා ඇවිත් මෙහේ නවතින්න .....?මේ අපේ තියෙන දේපල ඇති මේ දරුවගෙ දරුවන්ටත් එක්ක...... අපට ඉතිං හැමදාම දරුවා බලාගන්න බෑනේ.... අපි දැන් වයසයිනේ......ඒ නිසා පුතා මෙහෙ නැවතිලා අපි කැමති කෙනෙක් කසාද බැදලා දෙන්නත් එක්ක මේ කිරි දරුවා හදාගන්නවා නම් තමයි අපි කැමති ... මොකද අපේ මේ සම්පූර්ණ දේපළ අයිති වන්නේ සුමල් පුතාටයි, මේ දරුවටයිනේ.....‘‘


‘‘මට තේරෙන්නෙ නෑ මොනවද කරන්න ඕනේ කියල..... රස්සාවෙන් අස්වෙන එකනම් අපරාදේ.....ආන්ඩුවේ රස්සාව නිසා....අනික දැන්ම නෙමේ මම ආයෙත් කවදාවත් කසාදයක් කර ගන්න කැමති නෑ නැන්දම්මේ....... මට දරුවා තනියම හදාගන්න පුලුවන් කමකුත් නෑ .....නැන්දලාට මේ කිරි දරුවෙක් හදාගන්න බෑ කියලත් මම දන්නවා.....මේකට පිලියමක්, අපේ අක්කගෙන් තමයි අහන්න ඕනේ...... ‘‘


"සුමල්ගෙ අක්කා මොනවද කිව්වේ දරුවා ගැන...? නැන්දම්මා අසයි.


" මුකුත් හරියට දෙයක් ඒ ගැන අක්කා එක්ක මට කතා කරන්න වෙලාවක් හම්බුනේ නෑ.....මම හෙට ගෙදර ගිහාම , අපේ අක්කගෙන් අහන්නම් මොනවද දැන් මේ දරුවගෙ වැඩේට කරන්න පුලුවන් කියලා..."


"සුනිලව ගෙදර අරින්නත් ඕනේනේ....ඒ නිසා ඊට ඉස්සර ඉක්මනට මේකට පිලියමක් කරන්න ඕනේ...අපි කතාබහ කරලා මොනව හරි ඉක්මනට කරමු නේද...?


"ඒක තමයි පුතේ...ජුවානිස් ගියපාර ගමේ ගියෙත් හිත හොදින් නෙමේ....සුනිලා කසාද බදින්න ඉන්න කොල්ලා, ජුවානිස්ට කරදර කරනවලු සුනිලව ගමේ එක්ක එන්න කියලා ...."


"සුනිලගෙ අතට තමයි දරුවා හොදට පුරුදු ...රෑට සුනිලා නිදාගන්නෙත් දරුවා තුරුල් කරගෙන....හරියට ඒ කිරි දරුවගෙ අම්මා, හරියට එයා වගේ....සුනිලා බලාගන්න විදිහට අපට බෑ...ඒ දරුවා බලාගන්න ...."


"මම දරුවව අපේ අක්කලාගෙ ගෙදර එක්ක යන්නද...නැන්දම්මේ..?මම ඉන්න තැනම දරුවත් ඉන්න එක හොදයි නේ...".


"ඔය දරුවගෙ අක්කා මොනවා කියයිද දන්නෑනේ....එයාටත් එයාගෙ ළමයි බලාගන්න තියෙන එකේ....මේ කිරි දරුවා කොහොමද එයත් හදාගන්නේ.... දරුවා තව ටිකක් ලොකු උනා නම් මටත් බලාගන්න පුලුවන් .....දැන් මේ කිරි බොන මේ දරුවා මට තනියම බලාගන්න එක තමයි අමාරු.. ..ඒකයි කිව්වේ....ඒ මදිවට, ජයන්තිත් හෙට අනිද්දා ගෙදර ගිහින් එන්න ඕනේ කියලා නිතර කියනවා....එහෙව් එකේ මට මේ කිරි සප්පයා තනියම බලාගන්න කොහොමත් බෑනේ පුතේ....


නැන්දම්මා මගේ දරුවා මා සිටිනා තැනකටම පිටත් කර හරින්නට උත්සහ ගන්නා බව මට පෙනේ.......නමුත් ඇයට ඔවුන්ගේ දේපළ බෙදී යෑම පිළිබඳවද තව ප්‍රශ්නයක් ඇත....මාළිගෙ ස්වාමිපුරුෂයා ලෙස, කවදා හෝ මටද ඇයගේ දේපළ වලට අයිතිවාසිකම් කීමට හැකි නිසා, ඒ ගැන දැන් ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය කියා මට සිතේ.....


"මම අහල බලන්නම් අක්කගෙන්...එයාට දරුවා බලාගන්න පුලුවන්ද කියලා ......"


"ආ...සුමල් අය්යේ මේ තේ එක බොන්න...මේ ලුසියා හදපු වැලි තලප...හරි රසයි කන්න කෑල්ලක්..."


මම පුතා බලන්න මාළිගෙ ගෙදර ආ දිනට ජයන්ති සතුටින් ඉපිලමින් ඉන්නා බව පෙනේ....ඇය මගේ ඕනෑ එපාකම් ගැන බලන්න, ඕනෑවටත් වඩා මහන්සි වෙයි. ඇගේ ඒ මහන්සිය මට කරදරයක් ගානය. මම ඒ දේවල් ගනන් නොගෙන ඉන්න උත්සහ ගනිමි. නමුත් ඇය මගේ පස්සෙ වැටි ඉන්නේ ...නැන්දම්මාගෙ උවමනාවට බව නම් මට හොදින්ම වැටහේ...


එදින රෑවේගෙන එනවිට ඇඟපත සෝදාගෙන මම මගේ පුතා සිටිනා කාමරයට ගියේ දරුවා අතට අරන් ටිකක් සුරතල් කරන්න හිතාගෙනයි.


සුනිලා ඇගේ කාමරයේ , ඇදේ උඩ වාඩිවී දරුවා අතේ තියාන බෝතලයකින් ඔහුට කිරි පොවමින් උන්නාය.


"ආ...අය්යා ..පුතා බලන්න ආවද..? මේ බලන්න මගේ අතේ ඉදන් මුකුත් නොදැන කිරි බොන හැටි...අම්මා අප්පා ගැන වගක් නෑ...මම ඉන්නවා නම් මෙයාට ඇති....සුනිලා ආදරෙන් දරුවාට කිරි පොවයි....මම ඇගේ ඇද උඩින් ඇගේ ලගින්ම වාඩිවී ඇගේ උකුල උඩ ඉන්නා දරුවා දෙස බලාන උන්නෙමි.


" බලන්නකෝ ....දැන් මේ මාසෙට, බබා ලොකු උන හැටි... මෙයා ඉස්පිරිතාලෙදි මගේ අතට දෙනකොට හරි පොඩියි....මට හරි සතුටුයි අම්මා නැති දරුවෙක්, මට ටිකක් හරි ලොකු කරගන්න පුලුවන් උන එක ගැන.....සුනිලා කියවයි...ඇය දැන් හිටියාටත් වඩා ලස්සන වි ඇත. ඇය සතුටින් දරුවා බලාගෙන මෙහි ඉන්නා බව පෙනේ...


"සුනිලට කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නෑ....මට මේ කරන උදව් වලට..."


"ඕවා මොනවද ...මම හරි ආසාවෙන් මේ බබා බලාගන්නේ...අපේ තාත්තා කරදර කරන නිසා මිසක් , මම ගමේ යන්නෙ නැතුව මේ බබාව දිගටම බලාගන්න ආසයි...."


"එහෙම හොද නෑනේ සුනිලා ...සුනිලා කසාද බදින්න කෙනෙක් ඉන්න බව මට නැන්දම්මා කිව්වා ...එයා එන්න කියනවා නම් සුනිලා එහේ යන්න ඕනනේ... "


"ගමේ නම් ගිහිල්ලා එන්න ඕනේ...දැන්නම් මේ දරුවා දාලා යන්නත් දුකයි....අම්මා නැති දරුවා නිසා..."


"ආ...මම බැලුවා සුමල් අය්යා කොහේද කියලා ....මෙයා මෙහේ සුනිලගෙ කාමරේනේ....ඔහොම හොදයෑ....ගෑනුන්ගෙ කාමර වලට එන්න...ජයන්ති කේන්තියෙන් විහිලුවක් ලෙස කීවේ අපි සිටි කාමරයට එන ගමන්‍ ය..


"ඇයි ජයන්ති ...මම ආවේ මගේ දරුවා බලන්න ...සුනිලා ඉන්න බව පස්සෙ දැක්කේ......"


"ඒක මිසක්...මම බැලුවා මොකද මේ දෙන්නා ..කලුවරේ කාමරය ඇතුලේ කියලා ..අන්න අය්යව ලොකු අම්මා හොයනවා...."


"මොකටද දන්නෑ...."


"ගිහින් බලන්නකෝ...අපේ අම්මලාට අය්යත් එක්ක කතා කරන්න ඕනේ කියලා පනිවිඩයක් එවල තිබුනා කියලා ...ලොකු අම්මා කිව්වා ...


මම සුනිලාගෙ කාමරයෙන් එලියට යන විට සුනිලා දුකෙන් වගේ මා දෙස බැලිය .


"නැන්දම්මා මට කතා කලාද..?


"අපේ නංගිලා ගිය සුමානෙ මෙහෙ ඇවිත් ගියා...ඔය ළමයට පනිවිඩයක් කියන්න කිව්වා...ඒත් මට හිතෙනවා තව ටිකක් ඉදලම ඒ පනිවිඩය කියන්න "


" ඒ මොකක්ද ...? එහෙමද...? මම පුතාව අපේ අක්කලාගෙ ගෙදර එක්ක යන්න කියලා නැන්දම්මේ..."


"ඒක නම් හොදයි ...අපේ නංගිත් කිව්වා ඒ විදිහ හොදයි කියලා ..."


"කවුද ජයන්තිගෙ අම්මලාද...?


"ඔව්.."


"අපේ අක්කලාට මම මේ ඉරිදට මේ පැත්තෙ එන්න කියන්නම්.......කොහොමත් මට දරුවා තනියම එක්ක යන්න බෑනේ...."


"එහෙමද...ඒක හොදයි...එහෙනම් අපි කෑම ටිකක් හදමු ඒගොල්ලන්ට හොදට කන්න දෙන්න....."


අක්කා ශාන්ත අය්යා සමග, මාළි නැතිවී මාසයක් ගිය පසු නැවත කලුතර මාළිගෙ දෙමව්පියන් හමුවන්න ආවේ මගේ දරුවා ගැන තීරණයක් ඇරන් යැයි මට සිතේ.....


"අපි මේ ටික දවසක ඉදන් හිතේ තියාන ඉදලා මේ ගමන ආවේ....මල්ලිත් දැන් අපේ ගෙදර ඉන්න එකේ...මල්ලිගෙ දරුවත් මල්ලි ඉන්න තැනම හිටියනම් හොදයි...කියලා අපට හිතුනා, මාළිගෙ අම්මේ...."


"ඒක ඇත්ත...අපිත් දැන් වයසයිනේ...මේ කිරි සප්පයා බලාගන්න අමාරුයි...යසෝමට ඉතිං පොඩි දෙන්නෙක් ඉන්න එකේ ඒ දෙන්නත් එක්කම මේ දරුවත් හදාගන්න අමාරුවක් නෑනේ...දැන් කොයි වෙලේ හරි සුනිලගෙ තාත්තා එනවා සුනිලා ගමේ එක්ක යන්න...සුනිලා බදින්න ඉන්න කොල්ලා කැමති නෑලු සුනිලා මෙහේ ළමයා බලාගෙන ඉන්නවට....එක අතකට ඒකත් ඇත්තනේ....".


"ඇත්තනේ...ඒ කෙල්ලත් කසාද බදින්න ගමේ අරින්න එපෑ...කල් නොයවා..."


"ඉතිං යසෝමා දුවට පුලුවන්ද මගේ මාළි දුවගේ දරුවා බලාගන්න...."


‘‘මල්ලිගෙ දරුවා මොකද මගේ දරුවො මොකද....? මම මල්ලිගෙ දරුවා මගේ දරුවෙක් වගේ බලාගෙන හදාගන්නම් මාළිගෙ අම්මේ........"


" ඒක ලොකු දෙයක් යසෝමා දුවේ....ඒ වගේම මාළි නැතිවෙලා වැඩි දවසක් නැති උනත්, දරුවගෙ ඉස්සරහ කාලේ ගැන අපි හිතන්න එපෑ... දරුවගෙ අනාගතය ගැන හොදට හිතල බලලා තමයි තීරණයක් ගන්න ඕනේ අපි හැමෝම, වැඩි කල් නොගොස්...."


-නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

"මහත්තයාලා දැන් ලෙඩාගෙ විස්තර දැනගත්තනේ.... දැන් මෙතනින් යන්න...ආයෙත් උදේට ඇවිත් ලෙඩාව බලන්න...මටත් ලොකු දොස්තර මහත්තයා බනියි මහත්තයාලා මෙතන ඉන්නවා දැක්කොත්..."


ඉස්පිරිතාලේ සුළු සේවකයෙක් අප ලඟට විත් කීය.


" නැන්දම්මේ ...අපි දැන් ගෙදර යමු.... ගිහින් හෙට උදේ ලෙඩ්ඩු බලන වෙලාවට මාළි බලන්න එමු....."


"අනේ මට යන්න හිතෙන්නේ නෑ, මගේ කෙල්ලගෙ මූණ දකිනකම්...."


" අපි හැමෝටම දැන් මෙතන ඉන්න බෑනේ නැන්දම්මේ, අපි දැන් ගිහින්, හෙට උදේම මාළි බලන්න ඉස්පිරිතාලේ එමු.... ...මාළි දකිනකම් ඉවසුම් නැතුව බාගෙට අඬමින් ඉන්නා නැන්දම්මාගෙ අතින් අල්ලාගෙන, ඇය වාඩි වී සිටි තැනින් මම නැගිට්ටුවෙමි.


"එතකොට දැන් සුනිලත් ගෙදර යනවද...?


"මට බැරිද මාළි අක්කා දවල් හිටපු වාට්ටුවේ ඇඳ ලඟ අද රෑට ඉන්න.....හදිසියේ රෑට අක්කව වාට්ටුවට ගෙනාවොත්.... ගෙදර කවුරු හරි ඉන්න එපෑ උදව්වට ...."


"ඔව්නේ...ඒකනම් ඇත්ත....එහෙනම් සුනිලා ....ඔයා රෑට ඒ වාට්ටුවේ නවතින්න .... අපි හවස ගෙනාපු බත් මුල කාලා ඉස්පිරිතාලේම ඔයාට ඉන්න පුලුවන්නේ... .ලොකු උදව්වක් සුනිලා ඔයා අපට කරන්නේ...කොහොම ඔයාට ස්තුති කරන්නද මන්දා...."


"ඕවා මොනවද අය්යා .....මාළි අක්කා මට නංගි කෙනෙක්ට වගේ සැලකුවේ...එහෙව් එකේ මම එයාට පුලුවන් විදිහට උදව් කරන්න එපැයි....."


"අනේ ඔව් සුනිලා දුවේ...ඒක හොදයි ඔයාට ඉස්පිරිතාලේ රෑට ඉන්න පුලුවන් නම්...කොයි වෙලේ මාළි දුවව වාට්ටුවට ගෙනෙයිද දන්නෑනේ .. ..."


"එතකොට පුතේ.... මාලිගෙ දරුවව, ඉස්පිරිතාලේ නර්ස් නෝනල හොදට බලනවා ඇතිනේද..?


"ඔව්...ඔව්..ඒගොල්ලෝ ඒ දේවල් හොදින් කරනවා ඇති. ..අපි එහෙනම් යනවා සුනිලා ...උදේම අපි ඉස්පිරිතාලේ එන්නම්...සුනිලට තනියම වාට්ටුවේ ඉන්න බය නෑනේ... "


" නෑ අය්යා..මට පුලුවන් ..කොයි වෙලේ හරි මාළි අක්කව වාට්ටුවට ගෙනෙයිනේ....මම ඒ හින්දා හිටියොත් හොදයි ..."


මායි නැන්දම්මයි නැවත සිරිපාලගේ වාහනෙන්, ගෙදර යන තෙක් කිසි කතා බහක් නැතුවම ගියෙමු.


"දැන් හෙට උදේ කීයටද අපි ඉස්පිරිතාලේ යන්නේ...පුතේ...? නැන්දම්මා වාහනේ පිටුපස වාඩිවි ඉද අඩා ඇති බව ඇගේ කටහඬින් දැනේ...


"අපි උදේ හය වෙනකොට ගෙදරින් යමු....උදේ හයහමාරටනේ ලෙඩ්ඩු බලන්න පුලුවන් ..."


"අනේ අර සුනිලා දුව හොද කෙල්ල ....පව් මාළිව වාට්ටුවට එක්ක එන කොට ලඟ ඉන්න ඕනෙ කියලා නේ ඔය ඉස්පිරිතාලේ නැවතුනේ...."


අපි ගෙදර යන විට ,ජයන්ති, ලුසියා හා මාළිගෙ පියා ගෙයි ඉස්තෝප්පුවේ ඉද ගෙන අපි එනතෙක් බලා හිදිනා බව ඈතටම පෙනින.


"කොහොමද හාමිනේ දුවට දැන්...දරුවා හම්බුනාද..?"


නැන්දම්මා නැවත අඩන්න පටන් ගත්තේ මාමන්ඩි ලඟට ගොස්‍ ඒ ලඟ තිබුන පුටුවේ වාඩි වෙන ගමන්.....


"මේ මොකද....මේ..ඇයි සුමල් පුතේ..මේ අම්මා අඩන්නේ..."


"මාලිට බබා හම්බුනා...එත් තාම මාළිට හොද සිහිය ආවේ නෑ....දරුවා නම් සනීපෙන් ..."


"මොනවා...ඒ මොකද ඒ... දැන් කවුද මාළි ළග ඉන්නේ...." මාමන්ඩි කලබල වි ඇත.


"අපි සුනිලා ඉස්පිරිතාලේ නවත්තලා ආවා...අපි හෙට උදේම ආයෙත් යනවා මාළි බලන්න ...."


" අනේ සුමල් අය්යා මමත් එන්නද මාළි අක්කා බලන්න .?.."


ජයන්තිද අපිත් එක්ක උදේට යන්න ලෑස්ති වෙයි...


"නෑ ..නෑ...මමයි නැන්දම්මයි විතරක් යන්නම්, හැමෝම ගිහාම මාළිට කරදරයි....."


පසු දින පාන්දර මමත් නැන්දම්මාත් ඉස්පිරිතාලේ යන්න ලෑස්ති උනේ, මාළි දකින්න බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාන හා බයෙන් සැකෙන්‍ ය.


උදේ හයේ ඉදන් හයහමාර වෙනකම් අපට ඉස්පිරිතාලේ ගේට්ටුව ලඟ ,අනිත් ලෙඩ්ඩුන්ගෙ නෑදෑයින් යාළුවන් සමඟ නැවති ඉන්නට සිදුවුනේ ඉස්පිරිතාලේ ගේට්ටුව අරින තෙක්‍ ය. මාළි දකින්න ඉවසුම් නැතුව ඉන්නා නැන්දම්මාගේ කරදරය නිසා, අපි උදේ පහහමාර වෙනවිට ගෙදරින් පිටවි ආවෙමු.


"අන්න ගේට්ටුව ඇරුනා...අපි යමු පුතේ ඉක්මනට ...අපි යමු වාට්ටුව පැත්තට ...සුනිලා එතනනේ.... "


නැන්දම්මා හා මම විගහට මාළි බලන අදහසින් ඇය සිටි වාට්ටුව පැත්තට දුවගෙන වගේ ගියෙමු.


"අර සුනිලා නංගි වාට්ටුවෙන් එලියෙ වාඩිවෙලා ඉන්නවා...කවුද අර අනිත් ගෑනු අය..?


"අර මොකෝ සුනිලා අඩන්නේ...යමු පුතේ අපි ඉක්මනට ..."


සුනිලා වාට්ටුවෙන් පිටත බංකුවක් උඩ ඉදගෙන ඔලුව බදාගෙන අඩයි. තව ගෑනු දෙතුන් දෙනෙක් ඇය වටකරගෙන ඉදියි .....මගෙ හිතේ ඇතිවුන බයට පපුව ගැහෙන්න ගත්තේය. මට ඇවිදගන්නට නොහැකි ලෙස මගේ කකුල් පණ නැති වන්නට විය.


"ඇයි...ඇයි...සුනිලා ...මොකද අඩන්නේ..?


"අනේ අය්යේ....මාළි අක්කා දැන් ටිකකට ඉස්සර ආන්ත්‍ර උනා කියලා ලොකු දොස්තර මහත්තයා ඇවිත් කිව්වා...අක්කට ඔපරේෂන් එකෙන් පස්සෙ සිහිය ඇවිල්ලම නෑ...අද උදේ එහෙමම අන්ත්‍රා වෙලා..."


අනේ දෙවියනේ මගේ මාළි.....මට හිතා ගැනිමට බැරි විය, මොකක්ද මේ සිද්ද වුනේ කියලා... ඒ කතාව ඇසි නැන්දම්මා සිහිසුන් වී එතනම වැටෙන්න ගොස් අල්ලා ගත්තේ...අවට සිටි ගැහැනුන්‍ ය.


######


මාළිගේ මළ ගෙදර කටයුතු සිදු වුණේ මාළිගෙ මහ ගෙදරමය. ඇගේ මළ ගමට මුළු ගමේම මිනිසුන් සහභාගී විය. සැවොම දුක් වුණේ අගේ හොඳ ගතිගුණ ගැන කියමින් හා ඇය සැමටම කල උදව් උපකාර සිහිපත් කරමින්‍ ය...මම කිසිත් කර කියා ගැනීමට නොහැකිව ඇගේ දේහය අසල පුටුවක වාඩි වී වුන්නෙමි. මගේ තාත්තා, අක්කා ඇතුළු මගේ සියලූ නෑදෑයින් ද, අපේ ගමේ සිට මාළිගෙ කළුතර ගෙදර ඇයගේ මළ ගමට සහභාගී වන්නට පැමින තිබුනේය .


ජයන්තිගෙ දෙමව්පියන් පැමින මළගෙයි වැඩට බොහෝ උදව් පදව් කරති.

ජයන්තිගෙ මව මාළිගෙ අම්මාගෙ නංගිය.... මාළිලාගෙ තාත්තා සම්පුර්ණයෙන්ම බලාකියා ගන්නා දේපළ සියල්ල ඇගේ මවගේ සහ ඇගේ නැඟනිය වන ජයන්තිගෙ මවගේය. එබැවින් ඔවුන් සියල්ලෝ මාළිගෙ මළගෙදර පැමිණ එහි සියලු වැඩ කටයුතු කරන්නේ, තමන්ගෙ දරුවෙක්ගේ දෙයක් ලෙස සලකාය.


සුනිලාගෙ පියා,හා සහෝදරයාද මාළිගෙ මළගෙදර ඇවිත් සිටිනවා මම දැක්කෙමි. නමුත් ඔවුන් සමග කතා කරන්න තරම් මට සිහියක් නොවීය.


කාගේ කාගෙත් උදව්වෙන් මළගෙදර කටයුතු හොදින් සිදුවන බව පමනක් මම දැනන් උන්නෙමි.


########


අක්කා හා ශාන්ත අය්යා මළ ගෙදර කටයුතු සියල්ලටම උදව් උපකාර කලේ මාලිලාගෙ ගෙදර නැවති හිදිමින්‍ ය. මිනිය භූමිදාන කල පසු මළගෙදර පැමිනි සිටි සියල්ලෝ ,මළබතටද සහභාගි වි නැවත යන්නට පෙර අත් දෙක එකතු කර මට ආචාර කර යන්නට ගියේ බොහෝ දුක්මුසුවය. ඔවුන් සියල්ලෝම මාළිගේ මළගම වෙනුවෙන් සැබෑවටම දුක්වූවන් විය. පැමිනි සිටි සියල්ලෝ පුළු පුලුවන් විදිහට මළගෙදර කටයුතුවලට ඉතා ඕනෑකමින් ඉදිරිපත් වී උදව් කලහ.


මළ ගෙදර වැඩ කටයුතු ඉවර වෙන තෙක් මට මගේ දරුවාවත් , සුනිලාවත් දකින්න නොලැබින. ඒ දිනවල මා ලඟින් ඉදිමින්, මට ආවතේව කටයුතු කලේ ජයන්ති නංගිය.... ඇය වෙනදාටත් වඩා මට ලං වෙමින් ආදරෙන් කන්න බොන්න දෙමින් සැලකීම මට කරදරයක් ලෙස දැනින. ඇයගෙ දෙමව්පියන්ද වෙනදාට වඩා මා ගැන සෙවිල්ලෙන් ඉදමින් කතා බහ කිරිම නම් මගේ හිතට හොඳ නැති විය.


මාළි නැතිවුන සොවින් සිටි මට, මගෙත් මාළිගෙත් පුතා දකින්න.....මාළිගෙ මළ ගේ අවසන් වෙනතෙක් කිසිම උවමනාවක් ඇති නොවිය. කවුරු හෝ ඔහුව හොදින් බලා ගන්නා බව පමනක් මම දැනන් උන්නෙමි .....


මළගෙයි වැඩකටයුතු ඉවර උන පසු මම මගේ අක්කාගෙන් අපේ පුතා ගැන ඇසුවෙමි. මම මගේ දරුවා ගැන සොයා බලන්නට පටන් ගත්තෙ ඉන් පසුය.


"පුතා තාම ඉස්පිරිතාලේද අක්කේ..?


"ඔව්...තාම අපට පුතා භාර දුන්නෙ නෑ...සුනිලා බබා ලඟ ඉන්නවා..... මායි අය්යයි ඉස්පිරිතාලෙට ගිහින් දරුවා බලලා ආවා....ශෝක් කොළු පොඩ්ඩා...සුනිලා දරුවා ලඟම ඉන්නවා......ඉස්පිරිතාලේ ඉදන් සුනිලා ඇවිත් මාළිගෙ මිනිය බලලා ආයෙත් ඉස්පිරිතාලෙටම ගියා, දරුවා බලාගන්න. අපි හෙට ඉස්පිරිතාලේ ගිහින් දරුවා ගෙදර එක්කගෙන එන්න හදන්නේ......"


මගේ අක්කා හා ශාන්ත අයියා ද පසුගිය දවස්වල නැවතී උන්නේ මාළිගෙ මහ ගෙදරය.


මගේ තාත්තා මළ ගෙදර විත් ගමේ නෑදෑයෝ සමගම ඒ වාහනයේම නැවත ගමේ ගොස් ඇත. ඔහු මළගෙදර ආවිට, මා සමග කතා කරනවා මට මතකය. ඔහු දෑසේ කඳුළු පුරවගෙන මගේ ඔලුව අතගෑ කල මම හොදටම ඇඩුව බවත් මට මතකය.


‘‘දරුවා තාම ඉස්පිරිතාලේ..... දරුවව පරීක්ෂණ කටයුතු වගයකට ඉස්පිරිතාලේ නවත්ත ගත්තා..... ඉස්පිරිතාලෙන් කිව්වා මළ ගෙදර වැඩ කටයුතු ඉවර වෙනකම් දරුවා බේබි රූම් එකේ තියාගෙන බලා ගන්නවා කියලා.... ඒ වුණාට අපි සුනිලව නැවැත්තුවා දරුවා ලඟ.... සුනිලා දරුවගේ වැඩ කටයුතු බලාන තාම ඉස්පිරිතාලේ......‘‘


‘‘ආ... ඒකද? මං සුනිලව දැක්කෙම නැත්තේ...... දැන් තමයි මට සුනිලව මතක් වුණේ......‘‘


මළ ගෙදරින් පසු ගමේ බොහෝ දෙනෙක් මාළිගෙ ගෙදරට එකතු වී ගෙවල් දොරවල් අස් පස් කර පිරිසිදු කරන්නේ ඇගේ හත්දවසේ බණට හා දානයට සුදානම් වීමටය.


මළගෙදර ඉවරවී දෙවන දින ගෙවල් දොරවල් පිරිසිදු කර අවසන...., මාත්, අක්කාත් මාළිගෙ අම්මාත්, මගේ දරුවාව ගෙදර එක්ක ගෙන ඒමට ඉස්පිරිතාලෙට ගියෙ ශාන්ත අය්යා සමගය.


ඒ වනතෙක් මාළිගෙ මව පියාද දරුවා දැක නොතිබුනි.


අප දරුවා ගෙදර එක්ක ගෙන යන්න එන බව දැනගෙන, සුනිලා...., ඉස්පිරිතාලේ, දරුවාව තුරුල් කරගෙන ගෙදර යන්න ලෑස්ති වී උන්නාය.


‘‘මං මේ කොයි වෙලේ ගෙදර කට්ටිය එයිද කියල බලාන උන්නේ...... දැන් නම් දරුවට බෝතලේ කිරි බොන්න පුරුදුයි. මුල් දින දෙක.....නර්ස් නෝනලා බබාව කිරි පොවලා බේබි රූම් එකේ තියාන බලාගත්තා.... අලුත දරුවෙක් හම්බුන අම්මා කෙනෙක් ඇවිත් දරුවට කිරි පොවලා ගියා.....ඊට පස්සෙ හරිම අමාරුවෙන් තමයි නර්ස් නෝනලා පිටි කිරිවලට දරුවව පුරුදු කරගත්තේ. ....මට මේ දැන් ටිකකට ඉස්සර තමයි දරුවා අතට දුන්නේ.... අනේ මේ බලන්න මට තුරුල් වෙලා ඉන්න ලස්සන...... බෝනික්කෙක් වගේ නේද අක්කේ.....‘‘


සුනිලා දරුවාව මාළිගෙ අම්මාගේ අතට දුන්නාය....... ඇය ඇගේ මුනපුරාව....,ඇගේ එකම දියනියගේ දරුවා දැකපු මුල්ම අවස්ථාව එය විය......


ඇය කඳුළු පෙරමින් අඬමින් දරුවා අතට ගත්තෙ ඇගේ එකම දුව, මෙලොව හැර යන්නට පෙර ඇයට භාර දී ගිය දරුවාව සිඹ ආදරයෙන් තුරුළු කරගනිමින්‍ ය.....


‘‘අපි ගෙදර යමු නැන්දම්මේ...‘‘


අක්කා නැන්දම්මා අතේ හිටිය මගේ පුතා ඇයගෙ අතට ගත්තාය ....මාළිගෙ මව දරුවා අතේ තියාන, නොනවත්වා අඩන හැටි මටත් බලා සිටිය නොහැකිය. මගේ දෑසින්ද එවලේ මාළි මතක්වී කදුළු කැට බිමට වැටින.


"අපි යමු සුනිලා එහෙනම් ...ඔයාගෙ ඇදුම් එහෙම ගන්න...."අක්කා කීය.


අපි දරුවා ගෙදරට ගෙන ගිය පසු, ඉස්සෙල්ලාම දරුවා අතට ගත්තේ ජයන්තිය.... ඇය මාළි නැතිවුන සොවින් මළගෙදර ඉවර වෙන තෙක් අඩපු බවත් මට මතකය.


අපි දරුවා රැගෙන ගෙදර ගිය පසු ගමේ ගැහැනුන් වැල නොකැඩී දරුවා බලන්න මාළිගෙ නිවසට එන්නට පටන් ගත්තාය......ඒ මගෙ පුතා, අම්මා මරාගෙන ආ දරුවෙක් නිසා වන්නට ඇත. ඔවුන් සියල්ලෝ අත් කමුලේ තියාන අනේ අපොයි කියති.... ඔවුන් මාළිගෙ මවට සුනිලාට හා ජයන්තිට දරුවා හදාගන්න උපදෙස් දෙති.


දරුවා හම්බවෙන්න ගොස් මාලි නැතිවුනත්.......දරුවාට අවශ්‍ය කරන සියලූ ඇඳුම් පැළඳුම් තොටිලි, බඩු මුට්ටු සියල්ලම මාළි වේලාසන ලෑස්ති කර තිබුණාය. .....අපට දරුවා වෙනුවෙන් කරන්න තිබුණේ පිටි කිරි සාදා පොවා ආදරයෙන් දරුවා බලා ගන්නා එක පමණය....


ගෙදර ආපසු ඉස්පිරිතාලේ දී නර්ස් නෝනලා පුහුණු කර තිබුණු ලෙස සුනිලා දරුවාට කිරි සාදා දෙමින් පරිස්සමට කිරි පොවමින් දරුවා ආදරෙන් බලා ගන්නට පටන් ගත්තේ ....ජයන්ති හා නැද්දම්මාගෙ උදව්වෙනි.


නැවත හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page