
💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Sep 13, 2020
- 6 min read
(පස්වන කොටස)
‘‘එහෙනම් මල්ලි දවස් තුනක් විතර නිවාඩු දාන්න...... ඒ කිව්වේ සිකුරාදා සදුදා අගහරුවාදා නිවාඩු දැම්මොත් එකදිගට දවස් පහක් විතර අපිත් එක්ක කැලේ ඉන්න පුලුවන් ….අපි එන සුමානේ සිකුරාදා උදේම රුවන්වැල්ලේ යන්න දේවල් ලෑස්ති කරගෙන ඉන්නේ..... අපිට නම් මාසයක් දෙකකටත් වැඩි වෙන්න එහේ ඉන්න වෙයි….ගෙවල් වලට ඉතිං ගිහින් එන්න වෙන්නේ සුමාන දෙක තුනකට වරක් තමයි... ඒකත් එක්කෙනා දෙන්නා මුරයට තියලයි…. මල්ලිට බැරිය දවස් දෙකතුනක් බැද්දේ කූඩාරම්වල අපිත් එක්ක නිදහසේ සැහැල්ලුවෙන් ඉඳලා ආපහු කොළඹ එන්න.‘‘
‘‘ඇත්තමයි අයියේ බැද්දේ කූඩාරම් ගහගෙන මිනුම් මහත්තයාලා ගෙනියන ජීවිතේට, මම නම් හරිම කැමතියි.‘‘
‘‘ඒ උනාට අපේ රාජකාරිය හරි භයානකයි.... මහ කැලේ මනින්න යනකොට දවසට අක්කර 10, 15 අපි ඇවිදින්න ඕනේ.... ඒ මදිවට ඝන කැලේ හරියට නපුරු සත්තු ඉන්නවා…. දිවියො, වලස්සු, වල් ඌරෝ..ගෝන්නු වගේ සත්තු….කදුකර ප්‍රදේශ වල ඉන්න කූඩැල්ලන්ගෙන් තමයි වැඩියම කරදරය...අනිත් දේවල් නම් ඉතිං අපි රස්සාව නිසා ඉවසගෙන කරගෙන යනවා...‘‘
‘‘තනි අලියාගෙන් තමයි වැඩියෙන් ම පරිස්සම් වෙනන ඕනේ..නේද ?. මට මතකයි එකපාරක් "තනමල්විල" අයියලත් එක්ක කැලේ ගිය වෙලේ…. අපේ කූඩාරම අයිනට ම තනි අලියා ඇවිත් වෙච්ච කරදරය.‘‘
‘‘ඒ විතරක්යෑ නයි පොලොංගු, වලස්සු. ඊටත් වැඩිය වල් ඌරෝ....‘‘
‘‘වල් ඌරෝ කිව්වහම නම් අපි කාපු කෑමත් මතක් වෙනවා..අප්පේ... වාඩියෙ කුමාර උයන වල් ඌරු මස් වලට ගහන්න බෑ තරු පහේ හෝටල්වල කැමටත්......‘‘
‘‘මේ පාර කීදෙනෙක් විතර කැලේ යනවද අයියේ.‘‘
‘‘මාත් එක්ක තව පස් දෙනෙක් විතර.‘‘
‘‘එහෙනම් මාත් අනිවාර්යයෙන් ම එන්නම්. හැබැයි ඉතිං දවස් තුනහතරක් තමයි. ඊට වැඩිය නිවාඩු දාන්න අමාරුයි.‘‘
‘‘එහෙනම් මල්ලි සිකුරාදාට ලෑස්තිවෙන්න. අපි උදෙන් ම යනවා. රුවන්වැල්ලෙ ටවුමෙ ඉඳන් හැතැප්ම 15ක් විතර උඩහට ගිහින් මුලින්ම හම්බවෙන ගමේ ඉදන් හැතැප්ම 20 විතර දුරට තියෙන බැද්ද තමයි අපිට මනින්න නියම කරලා තියෙන්නේ…. ඒ වගේම දැනටත් මුලින්ම හම්බවෙන ගමටත් අඩි පාරක් තියෙන්නේ….ඒකේ මේ දෙපාර්තමේන්තුවේ ජීප් වල යනවා මිසක් වෙන වාහන වල යන්න බෑ... ඒ ගමේ ඉදන් අනිත් ගමට යන්න පාර, මහ කැලේ මැදින් කපන්න ඉස්සර අපි ආන්ඩුවේ ඉඩම් මැනලා ලකුනු කරන්න ඕනේ...ඊට පස්සේ මම සිතියම් හදලා ඒවා ලකුනු කරලා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ…….
"ගොඩක් වැඩ තියෙනවා නේද කරන්න..."
" සිකුරාදා උදේම කට්ටිය ගිහින් හවස් වෙන්න ඉස්සර අපි අපට නවතින්න කූඩාරම් ගහගන්නත් ඕනේ....‘‘
‘‘හරි අයියේ. මං අනිවාර්යයෙන් ම එනවා. නිදහසේ වන සත්තුත් එක්ක කැලේ දවසක් දෙකක් ඉඳල අවහම කොළඹ, කන්තෝරුවේ සත්තු ටිකත් ටික දවසකට අමතක කරන්න පුළුවන් වෙයි....‘‘ මම හිනාවෙවී කිව්වෙමි.
අය්යලා එක්ක මිනුම් කදවුරේ නැවති නිදහසේ කාලය ගත කර එන්න ඇති කැමැත්තට මම ඇදුම් පැලදුම් ලෑස්ති කරගෙන, කන්තෝරුවෙන් දවස් තුනක නිවාඩුවක් සම්මත කරගෙන එම ගමනට ලෑස්ති උනේ හරි සතුටිනි...
සිකුරාදා උදේම ආණ්ඩුවේ ජිප් දෙකකින් මිනුම් බඩුත් කූඩාරම් බඩුත්, කෑමබීම් පටවාගත් ආන්ඩුවේ ජිප් රත දෙක රුවන්වැල්ල බලා පිටත් විය. ශාන්ත අය්යා ඒ කාන්ඩයේ ලොක්කා උන අතර අනිත් ඈයෝ ඔහුට අත් උදව් දෙන්නන් විය.
රුවන් වැල්ලට යන අතරමග උදේ ගෙවල්වලින් සාදා ගෙනැවිත් තිබූ පාන්, පරිප්පු කා උණ වතුර බෝතලේ තිබූ තේ වතුර බීපු අපි, වැඩිය පරක්කු නොවී කෙලින් ම ගියේ රුවන්වැල්ලෙ සිට කිලෝමීටර් 20 විතර ඈතට වෙන්න තිබූ රුවන්ගම බලාය.
"අපි මුලින්ම යන්න ඕනේ රුවන්ගම ගම්මුලාදෑනියා හම්බවෙලා අපි ආපු කාරනවා කියලා...., ගමේ වැඩක් කරන්න පුලුවන් කොල්ලෝ දෙන්නෙක් ජීප් එකේ දාගෙන, යන්න ඕනේ කූඩාරම් ගහ ගන්න වැඩේටත් එක්ක…"
වාහන දෙක කඳුකරය බලා ඇදි යන්නේ හරි වේගයෙනි. ලංගම බස්, ආන්ඩුවේ වාහන වලට අමතරව සීමිත පුද්ගලික වාහන ප්‍රමානයක් පමනක් පාරේ ගමන් කරනා නිසා, වැඩි කලබලයක් නැතුව පාරේ වාහන පදවාගෙන යෑම ඉතා පහසුය.
උදේ පාන්දරින් කොළබින් ගමන් ආරංභ කල වාහන දෙක, දැන් බදුල්ල පාරේ දිගටම... කඳු වැටි, හෙල් වැට්, තේවතු ,රබර්වතු හා වන රක්ෂිත පසුකරමින් රුවන්වැල්ලේ නගරයද පසු කරමින් ඇදි ඇදි දිගටම යයි.
කදුකරයට පහලින් ඇති කුබුරු යායවල්, රබර් වතු, තේ වතු, පසු කරමින් ඇදි යන වාහනයේ පසුපස ආසනයේ වාඩිව් සිටින මම ජනෙලයෙන් ඔලුව දාගෙන අවට වටපිටාවේ සුන්දරත්වය විදිමින් යන්නෙමි. රුවන්වැල්ල ටවුම පසුකර පසු අවට වටපිටාවේ දකින්න ලැබුනේ ගැමි සුන්දරත්වය විහිදා යන දසුන්‍මය….අප දිගටම ආ තාර පාර අවසන් වි ගල් බොරලු සහිත කැලෑ පාරකට වාහනය සේන්දු වු බව වැටහෙන්න ගත්තේ වාහනය දැඩි හෙලවිම් සමග වලවල් ගල් මුල් උඩින් වැට් වැට් යද්දීය. තදින් වාහනයේ ඉදිරි ආසනය අල්ලාගත් මම තව තවත් උවමනාවෙන් අවට බැලුවෙමි..... දිගටම වේගයෙන් ආ වාහනය, දැන් හෙමිහිට ගමන් වේගය අඩු කර ඇත. හෙමිහිට එහෙට මෙහෙට පැද්දෙමින් බෝට්ටුවක යන ආකාරයට ගල් මුල් උඩින් වාහනය යයි….හිටි හැටියෙ කොන්ද ඇවිලෙන තරමට විශාල වලවල් වලද වැටේ...සැවොම වාහනය ඇතුලත ආසන තදින් අල්ලා ගෙන ඉදී….
"දැන්නම් "රුවන්ගමට" ලග ඇති….මේ පාරේ අපට තව හැතැප්ම පහක් විතර උඩ කන්දට යන්නට වෙයි…වාහනයේ ගියත් ගමන නම් දුශ්කරයි…."
"ගමන හෙමින් යන්න වෙන්නේ ශාන්ත මහත්තයා ...ගල් මුල් වැඩියි…ඩ්‍රැයිවර් කීය.
"ඔව්..ඔව්..මට පේනෙවා...හෙමිහිට යමු...ගම මැද්දට ගියාට පසු ගම්මුලාදෑනීයාට කතා කරලා වාහනය තැන්නක නවත්තලා බඩු ටික කන්දට ඇද ගමු..... කවුරු හරු පිරිමි දෙතුන් දෙනෙක් අඩගහගෙන යන්න වෙයි....වාහනය මීට වඩා කන්දෙ යන්න බෑ....බඩු උඩහට අදින්න වගේම…. මේ මුකලානේ දන්න කෙනෙක් එක්කගෙන යන්න වෙයි....නැත්තම් අපි අනිවාර්යයෙන්ම අතරමං වෙයි…"
"වාහන වලටත් හොද නෑනේ මේ යන ගමන්…"
"මේ දෙපාර්තමේන්තුවෙ වාහන තියෙන්නෙ මේ ගමන් යන්නමයි…. ලංකාවේ දුශ්කර පලාත් දියුනු කරගන්න අවශ්‍ය නිසානේ මේ පාරවල් කපලා හදන්න උත්සහ ගන්නේ….ඒකටනේ අපි මේ වන රක්ෂිත ඉඩම් මැනලා දෙන්නේ....".
විශාල ගස් කොලන්, කදු වැට් ගල් මුල් ඒවායින් ගලාබසින හින් දිය පාරවල්…. ඉදහිට වාහනය පසුකරගෙන යන ගැමි මිනිසුන්ගේ අව්‍යාජ බැල්ම, ඔවුන්ගෙ සරල ඇදුම් පැලදුම් ගම් හා කැලෑ අසිරිය හොදින්ම පෙන්වයි.
දැන් උදේ දහය පසුවි ඇත. අපි උදෙන්ම ආ නිසා වේලාසන ගම් ඉසව්වට ලගාවිමට හැකි වි ඇත. ....හොදින් ඉර පායා ඇතැත්..,..අප යන පාරේ විවිධ විශාල තුරුලතා ගස් වැල්වල සෙවන නිසා අවට පරිසරය අඩ අදුරින් වැසි ඇත. එම පරිසරය තුල ඇත්තේ අමුතුම සුන්දරත්වයකි.... පාන්දර ජාමේ වැටුනු පිනි කැට, තවමත් වියලි නොගොස් ගස්කොළන් අතු අග දිලිසෙයි ...නොයෙකුත් අලුත් කුරුල්ලන්ගෙ ශබ්ද, හීන් දොළපාරවල් වල වතුර බැස යන මිමිනිම්….කදුකරයෙන් වටවු බිමට පහලින් ඇති කුබුරු යායේ..... නිල් පාටින් දිලෙනා ගොයම..., වක්කඩ වල් උතුරා ගලායන සුදු පෙන සහිත දිය පාරවල්..... කුබුරේ ලියදි හරහා හෙමිහිට බැස යන හැටි….. බැද්දට යන පාර, දිගටම ඇති සුන්දරත්වය නම් වචනෙන් නිම කල නොහැකි සුන්දර දසුන්‍ය….
කදු යායවල් වලින් වට වී තිබූ ගම්මාන පසු කරමින්, කුබුරු යාය, රබර් වතු, කුරුදු වතු ගල් මුල් උඩින්, ඇදියන වාහනය ... විශාල දොළ පාරවල්, පොඩි දිය පාරවල්, ගල් මුල් උඩින් කදුමුදුන කරා උඩහට නැගයන විශාල ටයර් සහිත ජීප් රත දෙක,..... දැක ඉදහිට බැද්දට, වැඩට පලට යන උන් අයින් වෙන්නේ ඇස් ගෙඩි ලොකු කරමින් මේ වාහන කොහේ යනවාද කියා අසනා ලෙසටය…. දිගටම ඇදී යන ආණ්ඩුවේ ජිප් රථ දෙක දැක අවට ගම්වැසියන් අනිවාර්යයෙන්ම නැවතී වාහනය දෙස බලන්නට අමතක නොකරති.... කවදත් වාහන නොයන අඩි පාරේ යන මේ ආන්ඩුවේ ජීප් රත දෙකේ ඉන්නා..කවදාවත් දැක නැති අලූත් මහත්තැන්වරු ,කැලේ පැත්තට මොකට යනවාදැයි සැකයෙන් ඔවුන් බලති.....සුන්දර ගම වටා ඇති කුඹුරු, හේන් බිම්, ලඳු කැලෑ දොළ පාරවල් පසු කරමින් ගිය ජිප් රථය ලගා උයේ "රුවන්ගමටය".....
හූවක දුරින්.....ඇතින් ඈතින් පිහිටා තිබු පොල් අතු, මාන්න සෙවිලි කර කටු මැටි ගසා සාදන ගෙවල් අතර හොදට මෝඩගල් බැද සාදන ගෙවල් තුන හතරක්ද ඇත....
එයිනුත් උළු සෙවිලි කර, කබොක් ගලෙන් ශක්තියට සාදා, සුදු උනු ගෑ ..... කදුකරයෙන් වටවු බිමේ තැන්නක සාදා තිබුන ගේ දොරකඩ අපේ වාහන දෙක නතර කලෙමු.
"මේ ගේ වෙන්න ඇති ගම්මුලාදෑනීයාගෙ ගෙදර ...මෙච්චරයි හොද ලස්සනට හදපු ගෙකට මුලු ගමේම තියෙන්නේ…."
"එහෙනම් ටිකක් වාහනයෙන් බිමට බැහැලා කට්ටිය ගිමන් ඇරගෙනම ආයෙත් ගමන ආරංභ කරමු…"
"ශාන්ත මහත්තයා කවුද අර ගේ ඇතුලෙන් එලියට එනවා...අපේ සද්දෙට වෙන්න ඇති…."
"ආ….මේ මහත්තයාලා කවුද දන්නෑ... කොහි යන ගමන්ද...මහත්තයා ....? මම හිතන්නේ...මගේ මතක ඇති කාලෙකට මේ වාහන දෙකක් අපේ ගමට ආවමයි…"
"අපි මේ ගමේ ගම්මුලාදෑනීයා හම්බවෙන්න කියලා ආව ගමන් උන්නැහේ…."
"මම තමයි මේ ගමෙ ගම්මුලාදෑනීයා… ජුවානිස් අප්පුහාමි ...මොකටද දන්නෑ මහත්තයලා ගමට ආවේ.."
ඒ වෙනවිට ගමේ, සරම් ඇද උඩුකය නිරුවතින් සිටි ගැමියන් දෙතුන් දෙනෙක්ද...පොඩි පිරිමි ළමයින් හා රෙදි හැට්ට ඇදගත් ගැහැනු දෙතුන් දෙනෙක්ද අපේ වාහනය දැක ඒ අවට සිට අප දෙස බලා ඉදී...කවදාවත් මිට පෙර ගමේදි දැකනැති, මොවුන් මොකට මේ යකඩ ගොඩේ ගමට ආවාදැයි ඔවුන්ගේ මුහුනු තුල ඇත්තේ ප්‍රශ්නාර්ථයකි…..
"අපි මේ ආන්ඩුවේ මිනුම් මහත්තුරු… දෙපාර්තමේන්තුවෙන් අපිව එව්වේ….. මේ ගමට හරියට පාරක් නැති නිසත්...මේ කන්දෙන් එහා කන්දේ "පලාහෙලට" ගමට පාර කපන්න පෙර අපට කැලෑව මැනල ලෑස්ති කරන්න, දැනුම් දීලා තියෙනවා මහ කන්තෝරුවෙන්…. . අපි මේ ඒ වැඩේට ආපු ගමන් උන්නැහැහේ…"
"එහෙමද මහත්තයා ...කොච්චර ලොකු දෙයක්ද අපේ ගමට පාරක් කැපෙනවානම්...අපි මහත්තයලාට ඕන උදව්වක් කරන්නම්….මහත්තයලා එන්න ගෙට ...අපි මොනව හරි බීලා ඉමු…..
".ලීනිස්...පාල….වරෙල්ලා….උබලා ඔතන ඉදන් බලන් ඉන්නේ…..විජාහට මේ මහත්තයාලට කුරුම්බා වල්ලක් බාලා බොන්ඩ දුන්නනම්…."
"අපිට මේ එලිය හොදයි….ලොකු උන්නැහේ …"
ගමේ තිබුන හොදම ගෙදර ගම්මුලාදෑනීයා නොහොත් ජවානිස් අප්පුහාමිගේ ගෙය විය. ඈතින් ඈතින් පිහිටා තිබු ගමේ දුප්පත් කටු මැටි ගෙවල් මැද උළු සෙවිලි කර ගලන් බැඳ තිබුණ මේ ගෙය, ගමේ තිබුන හොඳම ගෙය විය. ගෙයි ඉදිරිපස ආලින්දය වැනි කොටස..හාන්සි පුටු දෙකක් හා කනප්පුවක් ඇත….ඒ ඉදිරිපිට පොඩි ලී පුටු දෙකක් සහ දිග බංකුවක්ද තබා ඇත…කනප්පුව උඩ බුලත් පුවක් දැමු ඉලත්තට්ටුවක්ද ඇත....
කඳු හෙල්වලින් වටවුන කදුකර භූමියේ ..සමතලා තැන්නක සාදා තිබූ ජුවානිස්ගෙ ගේ ඉතා සුන්දර ගස් කොළන්වලින් වට වුණු පැරණි ගෙයක් විය..... ගේ මිදුලේ ගේ වටේට වෙන්න ,දාස් පෙතියා පාති දෙකක් සිටවා හොඳින් මිදුල අතු ගා ඉතා පිරිසිදුව තිබිනි..... විශාල සුදු වැලි ඇතිරු මිදුල් වත්ත වටා ඉනි වැටක් සිටුවා ඇත. ඉනි වැටට සිටිවා ඇත්තේ මඤ්ඤොක්කා, මුරුංගා, කෝපි හා ගිරිසීඩියා යන ගස් වලිනි. වත්ත පුරා පිලිවෙලට පාත්ති සාදා හිටවන ලද වම්බටු ,බන්ඩක්කා, කොච්චි මිරිස් ,ගස්ලබු, ජම්බු ගස් පලදාවෙන් බරවී ඇත. ඒවා බලන්න ලස්සන දසුන්‍ය.
වැට අයිනේ ඇති, කෝපි ගස්වල පාන්දර පිපී තිබූ සුදු පාට මල්වලින් තවමත් සුවඳ විහිදෙයි. මල්වල පැණි බොන්නට ඇවිත් සිටි මී මැසි රංචුවේ නාදය කනට මිහිරකි..... ජුවානිස්ගෙ ගෙයි ඉදි වැට උනබම්බු වලින් තනා ඇත. මිදුලේ පැනි දොඩම් ගසක් ගෙඩි වලින් පිරි බිමට බරවි ඇත. ඒ යට ලෑලි බංකුවක්ද ඇත...මිදුලේ තැන තැන පොලොවෙන් මතු වුන ලොකු වැලිගල් උඩ අපි එකා දෙන්නා ජීප් රතයෙන් බැස විත් වාඩි වී ගිමන් හරින්න පටන් ගත්තෙමු…...
ජුවානිස් අප්පුහාමි ගමේ මිනිසුන් ලවා අපට කුරුම්බා කඩා කපා පිලිගැන්විය.
"බොන්න මහත්තයා ...දැන් විඩාවත් ඇතිනේ…"මහතයාලට අපි දවල්ට කන්න කෑම ලෑස්ති කරන්නද…"
"නෑ නෑ...අපි එනකොට දවල්ට කන්න බත් මුල් ගෙනාවා….පුලුවන් ඉක්මනින් වාඩිය ගහ ගන්න තමයි අපට ඕනේ….කවුරු හරි පිරිමු දෙන්නෙක් හිටියනම් අපට ජීප් දෙකේ බඩු ටික උඩහ කැලේට ගෙනිය ගන්න ...මොකද මෙතනින් එහාට වාහන කන්දට ගෙනියන්න අමාරුයි …"
"අප්පෝ මහත්තයෝ ඕක මොකද...ඔය මේ ඇවිත් ඉන්න දෙතුන් දෙනා උදව් කරයි මහත්තයලගෙ බඩු ටික කන්දට ගෙනියන්න …."
"ලොකු උදව්වක්...අපි හරියට කැලේ පාර දන්නෙත් නෑනේ ....අපේ පරිස්සමට පාර දන්න දෙතුන් දෙනෙක් ආවොත් අපට ලේසියි...
"අපේ මේ වාහන දෙක මේ තැන්නේ නවත්තලා ගියාට කමක් නැද්ද මුලෑදෑනි මහත්තයා ...?
"අපෝ...ඒකට මක් වෙනවද... මහත්තයා ඕවට කවුරුත් අත තියන්නෑ...මගේ ගේදොරකඩ තියෙන කම්...."
"අපි එහෙනම් කන්ද පැත්තට යන්නද ....හවස් වෙන්න ඉස්සර අපට වාඩිය ගහලා ඉවර කරගන්නත් එපෑ...."
"ඔව්....ඔව් හොදයි මහත්තයා...ඉර අව්ව බහින්න ඉස්සර කන්ද නැග ගන්න... ....පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයා .... මම හොද කිතුල් හකුරු ටිකක් තේ බොන්න ගෙනියන්න දෙන්න....
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *



Comments