top of page

🌺බැද්දේ කුමරිය 🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jan 27, 2022
  • 8 min read

🌺බැද්දේ කුමරිය🌺

(8 ,වෙනි කොටස)

https://www.facebook.com/groups/2653780434897311/permalink/2683073498634671/

දවල් වරුවේ නපුරු සතා සිව්පාවා ගැවසෙන මහ කැලේ ඇවිදමින් රාජකාරි කටයුතු කරන මිනුම් දෝරුන්, එදා දවසේ වැඩ අහවර කර හවසට මිනුම් වාඩිය බලා එන්නේ දාඩිය පෙරමින්, අත් කකුල් කටු අකුල්වලට හූරාගෙන කෙදිරිගාමින්ය..... ඔවුන්ගේ අත් කකුල්වල කූඩෑල්ලන් එල්ලි කෑ වේලුනු ලේ පැල්ලම්ද ඇත.


දහවලට මිනුම් කටයුතු වලට උදව් කරන හා ඔවුන්ට කෑම උයාපිහා දෙන කුමාර මල්ලී, මිනුම්දෝරුවන් වැඩ අහවර කර වාඩියට එන්නට පෙර , ඔවුන්ට රෑට කන්න බත් මාලු ව්‍යාංජන සාදා උනුවෙන් බොන්න තේ වතුරද ලෑස්ති කර තබයි....


"කුමාර තේ වතුර ටිකක් ගත්තනම් බොන්න...අද හරිම මහන්සියි....හැතැප්ම ගානක් අද ඇවිද්දනේ කැලේ මනින්න...."


"අප්පේ ඔව්......දිව ගිලෙන්න තරම් තිබහයි.....ඉක්මනට තේ කහට ටිකක් බීලා දොළට ගිහින් නාගෙන එමු ඉර බහින්න ඉස්සෙල්ලා...."


"ඔව්...ඇඟ අතපය කටු අකුල් වලට හිරිලා දනවා, කසනවා, දොළට ගිහින් නාගෙන ඇවිත් "සර්වවිශාදය " තෙල් ටිකක් වත් ගාගන්න ඕනේ ඇඟේ...."


හවස වේලාසන මිනුම් වැඩ ඉවර කර එන අයියා ඇතුළු කට්ටිය දොළට ගොස් නාගෙන එන්නෙ හවස් වනවිට, සැරට යමක් බීමටය..... ඔවුන් එය හැම මිනුම් කදවුරකදීම ඉදහිට කරන දෙයක්වේ...ඒ වෙනුවෙන් ගමේ කෙනෙක් ලවා ඔවුන් කිතුල් රා කළයක් ගෙන්වා ගැනීම කරති.


"පල්ලෙහා ගමේ පාලට මම කිව්වා ,හවස් වරුවට අපට රා මුට්ටියක් ගෙනත් දෙන්න කියලා ..."


"ආ...අද හොද ඌරු ගාතයකුත් තියෙනවා, මඥ්ඥොක්කා ටිකකුත් තම්බලා ගත්තනම් මරු....."


දවල් දවසට කැලේ ඇවිදමින් රාජකාරි කටයුතු කරනා ඔවුන්, ඇඟේ පතේ අමාරුකම් යවා ගන්නට, හවස් වරුවට රා කට්ටක් බොන්නේ ඩෝලයකට තඩි බාමින් සිංදු සාජ්ජයක් පවත්වමින් ය.


ඔවුන් සමඟ කැලේ ගෙවනා ජීවිතය මට මිහිරි විනෝදාත්මක ගමනක් උනත්, රාජකාරිය ලෙස කැලේ මිනුම් කටයුතු කරනා ඔවුන්, කැලේ ජීවිතයෙන් මිදී ගෙදර යන්නෙ කවද්ද කියා ඇඟිලි ගනිමින් හිදිනබව නිතර කියති. ඔවුන් කැලෑවේ ගෙවන කටුක ජීවිතයට අකමැති වුනත් එය ඔවුන්ගේ ජීවනෝපායන මාර්ගය බැවින් ඉඩ ලැබෙන විදිහට කටුක ජීවිතය අමතක කර ,රෑ වනවිට ඔවුන් සැර යමක් පානය කර දඩ මස් කා සංගීතයත් දමා එයින් සතුටක්ද ලබයි.


‘‘අන්න බොලේ, ජුවානිස් කවුද බවලතෙක් එක්ක මේ පැත්තට එනවා.....‘‘

සැවොම මිනුම් වාඩියට එන අඩි පාර දිහා බැලූවේ එකට මය.


‘‘ආ... ඒ ජුවානිස්ගෙ දුවනේ..... අපට අද දවල් ඒ නගාව හම්බවුන වෙලේ කිව්වා, එයාට වාඩිය බලන්න ආසයි කියල ...ඒකයි ඔය එනව ඇත්තේ ...‘‘


‘‘ආ.....නගා..... එහෙනම් උඹලා ජුවානිස්ගෙ කෙල්ලවත් බලන්න ගිහින් තියෙනවා......‘‘


අයියා ජුවානිස්ලට නොඇහෙන්න කීවේ මා දෙස බලමින් සිනාසෙමින් ය. ජුවානිස් ,සුනිලා සමග තව ගැමියන් දෙදෙනෙක් ගෝනි දෙකක් කර තියාන ඔවුන් පසුපස එයි.


‘‘මහත්තයා... මං මේ කෙල්ලට කූඩාරම් බලන්න ආසයි කිව්වට, ඔන්න ඔහේ එක්ක ආවා.... ඔන්න මෙකි හදපු කුරක්කන් හැලප වගයකුත් ගෙනාවා.....තව

මේ ගමේ මිනිස්සු මහත්තයාලට දෙන්න කියලා අල බතල, පළතුරු, එළවළු වගේකුත් එව්වා.... කොල්ලනේ ඔය ගෝනි දෙක වාඩිය පැත්තකින් තිබ්බනම්....."


‘‘එන්න එන්න සුනිලා නංගි... මේ තමයි අපේ නවාතැන....නංගි මිනුම් මහත්තයාලගෙ කූඩාරම් දැකලා නෑ කිව්වනේ.....‘‘


මම ඈලි මෑලි ලෙස ජුවානිස්ගෙ පිටුපසට වී බිම බලාගෙන සිටින සුනිලාට කතා කළෙමි. දිග මල් ගවුමක් ඇඳ තනි කරලට ගෙතූ කොණ්ඩයක් ඇති ඇයගේ සුන්දරත්වය එයට හොදින්ම පෙනේ..... ඈ තුලින් ඇති කරේ නැවුම් මලක ඇති සුන්දරත්වයකි.....


අප දෙස මුතු දසන් පෙන්නා සිනාසෙන, කෝළ ඇගේ පුන්සදවන් මුහුන දෙස කොපමණ වෙලාවක් වුවත් බලා සිටිය හැක...... මගේ හිතත් ඇය දැක සතුටින් පිරි ඉතිරි ගොස් ඇත.


වාඩියෙ ශාන්ත අය්යා ඇතුලු සැවොම ජුවානිස් අප්පුහාමි පිළිගත්තේ ගෞරවයෙනි. ඔහු විසින් ගමේ භව බෝග අපට නොමිලේ සපයමින් අපේ දුක සැප බලන්න ආ මිනිසා හා ඇගේ දියණිය සමඟ කතා කළේ ඉතා ගරු සරු ඇතුව මය.


‘‘ජුවානිස් අප්පුහාමිට ළමයි කීදෙනෙක් ඉන්නවද ?.....


‘‘ මට දරුවෝ හය දෙනෙක් ඉන්නවා. උන් ඔක්කොම ලොකුයි...... උන්ගෙ මෑණියන්දෑ දරුවො පොඩි කාලෙම අන්ත‍්‍රා වුණානේ......උන්දැගෙ නංගියි, ගමේ මිනිස්සුන්ගෙ උදව්වෙනුයි තමයි මම මේ ළමයි ලොකු කර ගත්තේ....මගෙ ලොකු කෙලි තමයි ඔය ගමේ ඉස්කෝලේ මහත්තයා කසාද බැදලා ඉන්නේ....ලොකු කොල්ලෝ දෙන්නා කසාඳ බැඳලා මේ ගමේම තමයි ඉන්නේ.... තව උන්ට බාල දෙනෙක් ඉන්නනවා... උන් ඉතිං මගේ ගොවිතැන් වැඩවලට උදව් කරනවා.....තව එකෙක් මැනික් පතලක මුදලාලි කෙනෙක් ලග නැවතිලා වැඩ කරනවා....බාල කෙලී තමයි මේකි.....අපේ ගෙදර වැඩ කරගෙන අපට කන්න බොන්න හදල දීලා අපි හැමෝගෙම දුක සැප බලන්නේ මේකී.....‘‘


‘‘ජුවානිස් අඩු වයසෙන් වෙන්නෑ කසාඳ බඳින්න ඇත්තේ....‘‘


"එහෙමයි මහත්තයා .... දහ අට පිරුනා විතරයි.... ගෙදර උන්දෑව තරුණ කාලෙම ගෙදර එක්ක ආවා...ඒ කාලෙ කසාද බැදිල්ලක් තිබුනෙ නෑනෙ මහත්තයා .....ඒ කැන්දගෙන ඇවිත්,උන්දැ එක්ක හේනක් කොටා ගෙන හිටියා... මේ කුළුබඩු එළවළු ටවුමට යවන්න පටන් ගත්තට පස්සෙ තමයි මම මේ උළුගේ හදාගත්තේ..... උන්දෑ අන්ත‍්‍රා උනෙත් දරුවෙක් ලැබෙන ගිහිල්ලයි.... මෙහේ ඉතිං අසනීපයකට කියල ඉස්පිරිතාලෙකට එක්ක යන්න පුළුවන් දුරකයෑ අපි ඉන්නේ..... ගොඩ වෙදකමයි, වින්නඹු අම්මයි, ගමේ වෙදයි තමයි ලෙඩට, දුකට අපට පිහිටට ඉන්නේ..........‘‘


මං ජුවානිසේගෙ කතාව අහගෙන හිටියේ දුකෙන් වගේම පුදුමයෙනි. කඳුකරයේ ජීවත්වන මොවුන් නගරයෙන් බොහෝ ඈත් වී ජීවත් වෙති. නගරයේ කිසිම පහසුකමක් නැති ,කඳු වළල්ලෙන් වටවුන, ගලා බසින ඇල දොළවල් හා ඝන වනාන්තරයෙන් වට වූ මේ පුංචි ගම්මානය කොයිතරම් සුන්දර උනත් එහි ජීවත්වන අහිංසක මේ සුන්දර මිනිසුන්ගේ ජිවත වල තිබෙන කනගාටුදායක දුශ්කර පැත්තකුත් ඇත.


නමුත් අපේ ඇසෙන් බලනා කල එහි ඇති සුන්දරත්වය වගේම දුක්ඛදායී තත්වය......ඔවුන්ට නම් එසේ නොපෙනේ....

කදුකරයෙ ගලාබසිනා ඇල දොළවල් ,නා නා විද වනසතුන් ද සමග ජීවත්වන කැලෑ ගමේ ජීවිතයට හොදින්ම පුරුදු පුහුණු වී ඇති ඔවුන්ට, තම ගම තරම් වටිනා බිමක් වෙන කොහේවත් නැත.....


ඔවුන් නගරයට යන්නේ ඔවුන්ගෙ භවබෝග විකුණා ගැනීමටත් ඒවා විකුණා ගන්නා මුදලින් ගෙදරට අවශ්‍ය ලූණු, සීනි, තේ කොළ, කරවල, ඇඳුම් ආදිය මිල දී ගැනිමටත්‍ ය. ඔවුන් එයට අමතරව අවුරුද්දකට දෙපාරක් පමණ විශේෂයෙන් නගරයට යන්නෙ නම් සමන්දේවාලයේ, පත්තිනි දේවාලයේ, පෙරහැර බලන්නට, සිරීපා කන්ද නගින වැනි වන්දනා ගමනක් යෑමට පමනය.... මොවුන්ගෙන් රුවන්වැල්ල, රත්නපුර ,පැල්මඩුල්ල නගර වලට අමතරව වෙන ඈත නගරයකට, ගිහින් ඇත්තෙ නම් මේ ගමේ ජීවත්වන වැඩිහිටි පිරිමි දෙතුන් දෙනකු පමණය.


ඔවුන්ගෙ ජීවිත ඉතා සරලය. කෑම බීම තම ගෙවත්තෙන් හේනෙන් ලබා ගන්නා ඔවුන් තමන්ගෙ දරුවන්ව ගම් මැද්දෙ ඇති පුංචි පාසැලට යවා අකුරු කරවයි.... එකම දිග ශාලාවකින් සමන්විත පුංචි පාසැලේ එකම ගුරුවරයෙකු පමණක් හිදියි... පාසැලේ පස්වන පන්තියට පමණක් අකුරු උගන්වන අතර සියලූ දරුවන්ට එකම ගුරුවරයකු වන ඉස්කෝලෙ ලොකු මහත්තයා විසින් ම අකුරු උගන්වනු ලබයි. ඔහු විසින් දරුවන්ට හොඳ නරක කියාදෙමින් අකුරු සාස්තරේ උගන් වන ගමන් දරුවන්ට, බව බෝග වගාව උගන්වා පාසැල් භූමිය පුරා ම එළවලූ, බටු, මිරිස් වගා කරවයි. ඒවා කරවන ඔහු, දරුවන්ට පසුව අස්වැන්න බෙදා දෙයි....


‘‘මහත්තයලාට මං හොඳ මඤ්ඤොක්කා අල ටිකක් ගෙනාවා..... අද උදේ හේනෙන් ගැලැව්වේ. තව නයි මිරිස් ටිකකුත් ගෙනත් ඇති. ඒවා හොදා ලූණු මිරිස් හදාගන්න ..."


"මහත්තයා,....මේං..

පාල අය්යන්ඩි හොද රා මුට්ටියකුත් මහත්තයාලට එව්වා...


"අප්පේ....මේ අනිත් ඔක්කොම කළමනාවලට වඩා ඒක වටිනවා.... කදවුර මුර කරන සයිමන් එය දෝතින්ම ගත්තේ ස්තුති කරමින්‍ය.


"මොකෝ මේ නගා කතාවක් නැත්තේ....කොහොමද අපේ වාඩිය හොදද...?


"බොහොම හොදට අය්යලා වාඩිය ගහගෙන ....රෑට සතාසීපාවන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ..."


මිහිරි හඩින් සුනිලා කතා කරනා දෙස ....මම වශීවි බලා හිදින්නේ ඇස්පිය නොගසාය. මගේ බැල්මෙන් අපහසුතාවයට පත්වුන ලෙස ඇය සැරෙන් සැරෙ අහක බලමින් මාදෙස හොරඇහින් බලයි. ඇගේ සුදු මුහුනේ දිලිසෙන ඇස් ,තරු කැට දෙකක් ගානය..


"අපි එහෙනම් ගිහින් එන්නම් මහත්තයා....මහත්තයලා හෙට උදේ බැද්ද මනින්න යනකොට මාත් එන්නම්කෝ වන සංරක්ශිතය පෙන්නන්න....ඒවා මග ඇරලා නෙව, පාර කපන්න ඕනේ......".


"ඔව්...අප්පුහාමි ...එහෙනම් හෙට උදේ වරුවේ ආයෙත් මේ පැත්තෙ ආවනම්..."


"ගම් මන්ඩියෙ ඉඳන් මේ හරියට වැඩි දුරක් නෑ..... මහත්තයලා ගමට පාර කපන්න ඉඩම් මනින්නෙ කිව්වහම, ගමේ මිනිස්සු කවුරුත් මහත්තයලාට උදව් කරන්න ඕනේ කිව්වා ....වෙලාවක කට්ටිය අපේ ගෙවල් පැත්තේ ආවනම් ....අපේ ගමේ විදිහට බත් කටක් කාල යන්න....වාඩියෙ හැමදාම උයන කෑමත් එපා වෙලා ඇතිනේ......‘‘


"බොහොම ස්තුතියි අප්පුහාමි ආරාධනාවට....අපි නොවරදවාම එන්නම්..."


‘‘හොඳයි ජුවානිස් එහෙනම් ගිහිල්ලා එන්න.... පුළුවන්නම් අපට කජු ලෙලි ටිකක් තව කා අතේ හරි එවන්න....රෑට සතා සිව්පාවා එනවට ගහන,. ගිනිමැලයට දාන කජු ලෙලි නිසා තමයි රෑට මදුරුවන්ගෙන් බේරිලා ඉන්නේ.....නැත්තම් කොහේද මේ කැලේ නිදාගන්නේ....’’ කුමාර ජුවානිස්ට මතක් කරයි.


"අපි එහෙනම් යන්නම් මහත්තයා ....."


"හොදයි ...හොදයි ගිහින් එන්න....බොහෝම ස්තුතියි ගෙනාපු කළමනාවලට ..."


මා දෙසට හැරි සුනිලා යනවා කිව් විට, මට දුක සිතුනෙ....තව ටිකක් ඇගේ සුන්දරත්වය බලන්න ඇත්නම් කියා සිතුන නිසයි .....ඇය කෝළ ලෙස, වාඩියේ හැමෝටම යන්නම් කියා මා දෙස තියුනු දෙනෙතින් බැලුවේ යන්නම් කියනා ලෙසය.....ඒ ඇස් වල සුන්දරත්වය , පුදුමාකාර ලෙස මගේ සිත සොරා ගත්තේ ප්‍රබෝධමත් ලෙස මා මනසින් සතුට ගඟුලක නැහැවෙද්දීය .....


පසු දින උදේ අය්යලත් සමග මිනුම් කටයුතු බලන්න ගිය කුමාරත් මමත් කැලෑවේ ඇතුළට ගොස් වේලාසන වාඩිය පැත්තට නැවත ආවේ මහන්සි බව පවසමින්‍ය.


"කුමාර අපි ගම්මානෙ පැත්තට යමුද ටිකක් ඇවිදලා එන්න..."


"ඇයි දැන් මහත්තයාට මහන්සියි කියලනෙ බැද්දේ ඉදන් ආවේ...."


"දැන් කම්මැලියි වගේ වාඩිය පැත්තට යන්න, අපි ටිකක් ගම් පැත්තෙ ගිහින් එමු...."


"මට නම් වැඩ තියෙනවා .....වාඩිය පැත්තෙ ....එහෙනම් ගිහින් ඉක්මනට එමුකෝ..."


"අපි ගමේ ඉස්කෝලේ පැත්තට ගිහින් එමුද....එකම ඉස්කෝලේ මහත්තයෙක් උගන්නන ඉස්කෝලේනේ...බලන්න ආසයි..."


"ඉස්කෝලෙ බලන්නද සුනිලා නංගි බලන්නද මහත්තයා ...? කුමාර හිනාවෙමින් ඇසුවේ, පසුගිය දින සුනිලාගේ නිවසට මම ගොස් ආබවත්, ඔවුන් වාඩියට ඇවිත් ගිය පසු හැමෝම ඉදිරියේ අය්යා මට විහිලු කරපු නිසා වන්නටත් ඇත....


ඉතා දුෂ්කර ගම්මානයක් වු රුවන්ගමට එන්නට පාර වැටී තිබුණේ මහ කැලෑව මැද්දෙනි.... ශාන්ත අය්යා ඇතුලු මිනුම් කරුවන් ,රජයේ ඉඩම්වලින් පාර මැන ලකුනු කල පසු, නොබෝ කලකින් ම ගමට පාරක් කපන්න නියමිතය. ඒ නිසා මේ කටයුතු මෙලෙස සිදු වෙයි.


බැද්දේ සිට අඩිපාරක් දිගේ අපි ඇවිදගෙන ගියේ ගම්මානය පැත්තටය....


"මහත්තයා ....මම දන්නෑ ගමේ ඉස්කෝලේ කොහේද තියෙන්නේ කියලා....අපි කාගෙන් හරි අහමුද...?


"ඔව් අහන්න බලන්න ..."


පාරෙන් ගිය ගැමියෙක්ගෙන් දැනගත් පරිදි අප දෙදෙනා ගමේ ඉස්කෝලේ පැත්තට ගියෙමු. ගමේ පාසැල පිහිටා තිබුනේ...කලු ගල් වලින් වටවුන වැඩි උස නැති කන්දක ආකාරයේ උස් බිමකය. අපි හෙමිහිට ඒ ගල් කන්ද කොනක තිබු ගල් වැටි පඩි පෙලේ හිමිහිට නැගගෙන උඩහට ගියෙමු. ගල් පඩි පෙලේ මදක් දුර නගින විටත් පාසැලේ දරුවන් කෑ කෝ ගසන හඩ ඇසේ...ඒ සමගම පොඩි ඝාන්ටාර ශබ්දයක්ද ඇසිනි...


"මහත්තයා ළමයින්ගෙ විවේක කාලය වගේ....කුමාර කීය.


ගල් පඩිපෙළ නැග පාසැල් ගොඩ නැගිල්ලට ගිය කල තනි විශාල ශාලාවකින් පමනක් නිම කල තිබු ගමේ පාසැල දැක ගත හැකි විය.

කන්ද උඩ පාසැල් බිමේ නොයෙකුත් පාට ඇදුම් ඇදගත් කකුල්වලට සෙරෙප්පු ජෝඩුවක් වත් නැති අවුරුදු එකලොහට දොළහට අඩු දරුවන් එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කරයි. ඔවුන් සැවොම අතේ බිස්කට් වර්ගයක් ඇත. ඒවා ආන්ඩුවේන් පාසැල් දරුවන්ට බෙදාදෙන ඒවා වන්නට ඇත.


"මහත්තයා...අර සුනිලා අක්කා....ශාලාවෙ ඇතුලේ....ළමයින්ට බිස්කට් බෙදනවද කොහේදො...."


අපි හෙමිහිට ශාලාව දෙසට යනවිට අප දුටු සුනිලා....ඇය කරමින් සිටි වැඩය ඒ ළග සිටි ලොකු දරුවෙකුට භාර දී අප දෙසට ආවේ සිනා කටක් පුරෝගෙනය.


මල් ගවුමකින් සැරසි උන් ඇය වෙනදා මෙන්ම තනි කරලට කොන්ඩය ගොතා ඇත. ඇය නැවත දකින්න ලැබීම මගේ හිතට ඇති කලේ සතුටකි. ඇය දවල් වරුවට පාසැලේ ඉන්නා බව දැන්ගෙනම, මම කුමාරත් සමග මෙහි ආවේ ඇය දකිනා බලාපොරොත්තුවෙන් නොවෙද..? මගේ අනුමානය හරි....ඇය නැවත දකින්න ලැබීම කෙතරම් අගේද...?ඇගේ සුන්දර වතේ හිනහෙන දෑස්...මුතුවන් දත් දෙපළ....උසේ තරමට මහත...ඇය නම් මේ වන පෙතට පායපු සදක්ම වැනිය.


"මහත්තයාලා මේ කොහේ යන ගමන්ද ?...සිනා කටක් පුරවාගෙන ඇය අප දෙසට ආවාය.


"ඉස්කෝලේ බලන්න එන්න හිතුනා...."


"ඒක හොදයි ...එන්නකො මහත්තයාලට ඉස්කෝලේ වත්ත පෙන්නන්න.....මේ ළමයි පැල කරපු එළවළු වගාව...අර ඉස්කෝලේ පිටිපස්සෙ තියෙන්නේ මේවට දාන්න ගන්න වතුර පීල්ල....එන්නකෝ පෙන්නන්න ...පුවක් පටි දිගෙ එන වතුර....එක දිගටම කඩා හැලෙනවා.....හරිම සීතයි....."


"අප්පේ කොහේ ඉදන්ද මේ පීල්ලෙ, වතුර එන්නේ....මම අත් දෙකට ගත් සීතල වතුර උගුරක් බී ඇසුවෙමි.


"කන්දෙ උඩ තියෙන් දියබුබුලකින් තමයි එන්නේ ...හරි පිරිසිදු වතුර..."


"කෝ ඉස්කෝලේ ලොකු මහත්තයා ...?


"ඔය පල්ලෙහා පේන්නෙ....ලොකු මහත්තයා ඉන්න ගෙදර තමයි ..දැන් ඔය දවල්ට කාලා එන්නම් කියලා ගෙදර ගියා....අපේ අක්කගෙ ගෙදරනේ ඔය...තව ටිකක් හිටියොත් ඉස්කෝලේ මහත්තයා , මහත්තයාලට හම්බවෙලාම යන්න පුලුවන් ..."


"නෑ....වෙන වෙලාවක අපි එන්නම් ...මේ කුමාරට වාඩියේ වැඩ තියෙනවා කියලා ඉක්මනට යන්න ඕනේ කිව්වා..."


"අපි එහෙනම් ගිහින් එන්නම් සුනිලා...."


"හොදයි මහත්තයා ..."


මිනුම් කදවුරේ කුමාරත් සමඟ බොහෝ කුළුපග වූ මම කුමාරත් සමඟ ගමේ ගොඬේ කැලේ නිදහස් වෙලාවට ඇවිදින්න ගියෙමු. මිනුම් කටයුතු කරන අය සමඟ කැලේ ගොස් පුරුදු කුමාර මා සමඟ කැලේ හැමතැන්වලම ඇවිද ගියේ අලුත් පරිසරය මට පෙන්විමටය. අය්යාගෙන් ඔහුට ඒ වෙනුවෙන් අවසර ලැබි ඇත. කොළබ කන්තෝරුවෙන් තව දින තුනක නිවාඩුවක් ගන්නට සිතාගෙන මම ආ නිවාඩු ගමන උපරිමයෙන්ම වින්දෙමි.


බැද්දේ , ගම්මානයේ ඇවිදින කල දකින් අඹ, අන්නාසි, පේර ගස් දුටු විට, ඒවාට නැග වාඩියේ හැමෝටම කන්න ඒවා කඩා ගන්නා කුමාර, කොස්, දෙල් ආදිය ද, හතු, ගොටුකොළ ආදිය ද කැලෙන් කඩා ගෙන එන්නේ සැමටම වාඩියේ උයා කන්නට දීමටය.... කැලේ යන අතර වාරයේ කැලේ අඹ, අන්නාසි ගෙඩි ,කඩා කළු ගලක ගසා දෙකට කඩා ගන්නා කුමාර මට ද ඒවා කන්නට දෙයි.... වනයේ ගඩා ගෙඩි කමින් ඇල දොළවල බැස නාමින් වනයේ සුන්දරත්වය විඳිමින් ගත කරන කාලය කෙතරම් නිදහස් දැයි මට සිතෙ.....ඒ කාලය තුල දෙතුන් වතාවක්ම මට, සුනිලා හමුවි කතා කරන්න අවස්තාද ලැබුනි. ඒ ලැබුනු හැම අවස්තාවකම මගේ හිතේ ඇය ගැන ඇතිවුන හැගිම් ගොන්න, වචනයෙන් කිව නොහැකි තරම් , දිනෙන් දින වැඩි වුන ආදර හැගිම් ගොන්නක් විය....


දින තුනහතරකට පසු දිනක, ජුවානිස් තව දෙතුන් දෙනෙකු සමඟ වාඩියට ආවේ අතින් කටින් ගෝනි මළු පුරවා ගෙන ය.


‘‘මේ මොනවද ජුවානිස් මේ බරට ම ගෙනත් තියෙන්නේ.‘‘


‘‘මහත්තයාලට කන්න මඤ්ඤොක්කා, කිරි අල, මිරිස් ජාති තමයි. හොද දඩ මස් ටිකක් අද හම්බුනා ,ඒකයි මේ තකහනියේ ආවේ....මේ වත්තෙ කපපු කෙසෙල් කැනකුත් ගෙනාවා. මහත්තයාලා පාර කපන්න ඇවිත් ඉන්නෙ කිව්වහම ගමේ මිනිස්සුන්ට හරි සතුටුයි. හෙට අනිද්දට ගෑණු කට්ටිය කැවිලිත් හදල දෙයි මහත්තයාලට කන්න.‘‘


අනේ මේ ගමේ ඉන්න අහිංසක දුප්පත් මිනිසුන් කොයිතරම් නම් අව්‍යාජ නිහතමානී අයද? ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට පැමිණි අය වෙනුවෙන ඔවුන් අපට උදව් කිරීමට පෙළඹී ඇති ආකාරය කෙතරම් අගනේ ද?


‘‘මහත්තයාලා ඕන වෙලාවක අපට ඇහෙන්න හූවක් කියන්න, කැලේ ඉන්නෙ උනාට අපට දුවල එන්න පුළුවන්...... තව ඕන දෙයක් තියෙනවා නම් කියන්න මහත්තයා. දඩ මස් එහෙම මේ පැත්තෙ වරදින්නෙ නෑ. අපි මහත්තයාලට කන්න ඇතිවෙන්න ගෙනත් දෙන්නම්.‘‘


එදින රෑ කුමාර දඩ මස් සැරට උයා, මඥ්ඥොක්කා තම්බා, නයි මිරිස් දමා පොල් සම්බෝලයක් කෑමට කොටා තිබුණි. කෑමට පෙර ජුවානිස් ගෙනත් තිබූ රා මුට්ටිය පෙරා බොනගමන්, ඌරු මස් කැබැලි රස බලපු අපි සංගීතයක් ද දැම්මේ නිදහසේ ,ගිනි මැලය ඉදිරිපිටය..... රා බී වෙරි වූ කුමාර පැත්තක් අල්ලන් වැටී සිටි නිසා රෑ කෑම අපට කුස්සියට ගිහින් බෙදා ගෙන කෑමට සිදු විය. බඩකට පිරෙන්න ඌරු මසුත්, මයිඤොක්කා සහ කොච්චි පොල් සම්බෝල කමින් සිංදු කිය කියා හිටපු අපි නිදියන්න ගියේ ගොඩක් රෑ බෝවීමෙන් පසුවය.


දවස් ගාණක් අයියලා සමඟ කැලෑවේ මිනුම් වාඩියේ ගත කළ මා කොළඹ බලා ආවේ රාජකාරි කටයුතු අතපසු කිරීමට අකමැත්තෙන් ය.


කොළඹ බෝඩිමේ නැවතී රාජකාරියට යන මට දැන් සිරිදාස සමඟ එහි සිටිම එපාවි ඇත.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page