top of page

🌺බැද්දේ කුමරිය 🌺

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Jan 6, 2022
  • 7 min read

🌺බැද්දේ කුමරිය 🌺

(දෙවන කොටස (2 )

https://www.facebook.com/groups/2653780434897311/permalink/3068817593393591/

තාත්තාගෙ වැඩිමහල් සහෝදරිය වන අපේ සුදු නැන්දා.... අම්මා නැතිවුනදා සිට, අක්කා තාත්තා හා මා ගැන නිතර සොයා බලා කටයුතු කරන්නීය ...... ඇය පදිංචි ව හිදින්නේ අපේ ගෙවල් කිට්ටුවෙන්ම නිසා, අම්මා නැති වුණ දා සිට අපේ තනිකම හා පාළුව යාන්තමට හෝ මඟ හැරී ගියේද ඇය නිසයි.....කවදත් අක්කාත් මාත් දෙදෙනාම, නැන්දාට ආදරය කරන්නේ ඇයගේ කරුණාවන්ත ත්‍යාගශීලි බව නිසාත්, පොඩි කාලේ සිට ඇය අප ගැන සොයා බැලුවේ ඇයගේ කුස උපන් දරුවන් සේ නිසාත්‍ ය. එබැවින් ඇගේ දරුවන්ද අපට දැනුනේ, එක් කුස උපන් සහෝදරයන් මෙන්‍ ය.

අපේ ගෙදර ඇති පාලුව කාන්සිය දැන් නැතිවෙන්නේ ඇයත් ඇගේ පවුලේ සියලු දෙනාත් නිසාත්‍ ය. අප දෙදෙනාට නිතර අවවාද අනුශාසනා කරමින් , අප දෙදෙනා හොද තැනකට ගන්නට උත්සහ කරන ඇය , දැන් තාත්තාගේ තැන, අතට ගනිමින් හමාරය. සමහර අවස්තා වල ඇගේ ඒ අවවාද අනුශාසනා අපට කරදරයක් වෙන තරම්‍ ය.


තාත්තාගේ කැමැත්ත ඇතුව නැන්දා, වැඩි කාලයක් නොගොසින්ම අක්කාට කපුවෙක් මාර්ගයෙන් මණමාලයෙක් සොයා ගෙන තිබුණි....


‘‘ ඒ දරුවා යසෝමාට වඩා අවුරුදු හතරක් විතර වැඩිමල්, කඩවසම් ඉලන්දාරියෙක්.....වැඩි ඈතක නෙමේ, අපේ ගම කිට්ටුවම තමයි ඒ අය ඉන්නෙත්.. ....මං දැකල තියෙනවා ඒ දරුවා මීට අවුරුද්දකට විතර උඩදී...ගෙවල් දොරවලුත් හොදයි….වැඩි බරපතල පවුලක් නෙමේ….ඒ නිසා ඒ ළමයා , කසාද බැද්දොත් යසෝමට කරදරයක් නැතුව හොදට ජීවත් වෙන්න පුලුවන් වෙයි.....‘‘


‘‘කොහේද ඒ ළමයා වැඩ කරන්නේ..?..‘‘


තාත්තා නිතර , අක්කාට කතා කරපු මණමාලයා ගැන, නැන්දාගෙන් විස්තර අහන්නේ ඉතා උවමනාවෙනි.


‘‘ ඒ දරුවා ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ….ඒක කොච්චර හොද දෙයක් ද කවදාහරි පෙන්ෂන් එකක් තියෙන රස්සාවක්නේ.....‘‘


‘‘ඒක තමයි ...ඒක නම් ගොඩක් හොඳයි..... ආන්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් නම් කොච්චර වටිනවද….?.


"ඒ ළමයට සහෝදර සහොදරියන් මහ ගොඩක් නෑ.....ඒ නිසා කවදාහරි ,ඒ අය ඉන්න මහගෙදරත් අයිති වෙන්නේ ඒ ළමයට...අනික කුළපරම්පරාවත් අපට හොදටම ගැලපෙනවා...... කොච්චර වටිනවද ඒ දේවල් උනත් ....‘‘


‘‘එහෙනම් අක්කා ඒ අය එක්ක කතා කරල බලලා....ඒ කට්ටියව දුවව බලන්න මෙහෙ එක්ක එන්න දිනයක් දා ගත්ත නම්.....‘‘


" ඒ අය අපට ඈතින් නෑදෑයෝත් වෙනවලු ඒ උනාට, මඟුල් කපුවෙක් මාර්ගයෙන් යසෝමා බලන්න එන නිසා, අපට මඟුල් කපුවටත් මුදලක් දෙන්න වෙයි…."


"අක්කා ඒ ගැන පොඩ්ඩක් බලන්න ..මට ඕවා තේරෙන්නෙ නෑ..…"


"එහෙනම් අපි එන සෙනසුරාදා ඒ කට්ටියට මෙහෙ එන්න කියමු යසෝමා බලන්න ..."


නැන්දාගේ වෑයම සාර්තක වි, තාත්තා ,අක්කා හා මගෙ හිතට සතුටක් ගෙන දෙමින්, ඊට පසු සෙනසුරාදාම, අක්කා බලන්න මණමාලයා පිළිග්නන අපි ලෑස්ති උනෙමු.


අක්කාගේ මණමාලයා ,ඇය බලන්න එන දවසේ, ලොකු නැන්දාත්, පොඩි මාමාත් පැමිණ අපේ ගෙවල් දොරවල් අස්පස් කරන්න, කෑම හදන්න උදව් කලේ බොහෝම උද්‍යෝගයකින්..... සැවොම අම්මා නැති මාත්, අක්කා ගැනත් ඉතා ඕනෑකමින් සොයා බලා, උදව් කිරීම තාත්තාගෙ හිතට සැනසිල්ලක් විය.


‘‘යසෝමට මං හෙට අඳින්න ගත්ත සාරිය ගෙනාවා හැට්ටෙත් මහල ඉවරයි.... ඇඳල බලන්නකෝ…..‘‘


ලොකු නැන්දා අක්කා සමඟ ඇගේ කාමරයට ගොස් ඇයට සාරිය අන්ඳා හැඩ බලයි.


"හැට්ටේ ටිකක් ලොකුයි...නැන්දේ…."


"මම රෑට දෙපැත්තෙන් අල්ලලා මහලා දෙන්නම්...මේක හොදයි.....ලස්සනයි…මම උඩහ ගෙදර කැතරින්ට කියලා මේක මහ ගත්තේ...".


‘‘හෙට උදේ කීයටද දැන් කට්ටිය මෙහේ එන්නේ....?.‘‘


අක්කා ද ඇය බලන්න එන මණමාලයා හා ඇගේ පවුලේ කට්ටිය පිලිගන්නට සූදානමින් හිදින්නේ බොහෝම උවමනාවෙනි... මේ වනවිට අක්කාට අවුරුදු විසි තුන සම්පූර්ණ වී තිබුණ බැවිනුත් , ඇගේ අනිත් යෙහෙළියන් මේ වනවිට දීගගොස් සිට් බැවිනුත් ඇයටත් ඉක්මනින් කසාදයක් කර ගැනීමේ අවශ්‍යතාවය ඇති බවක් අපට පෙනී ගොස් තිබුනි.....


‘‘යසෝගේ මූනේ මලක් පිපිලා….. මණමාලයා දකින කම් ඉස්පාසුවක් නෑ වගේ....‘‘


අක්කා බලන්න මණමාලයෙක් එන දවසේ, ඇයගෙ පාසැලේ යෙහෙළියක් පැමිණ, ඇගේ උදව්වට අපේ ගෙදර නැවතී හිඳියි. .. ..


‘‘කෑම බිම ඔක්කොම දැන් ලෑස්ති ද? හෙට දවල් කෑමට නේද කට්ටිය එනව කියල තියෙන්නේ…..‘‘


‘‘ඔව්... ගමේ ගෑනු දෙන්නෙක් ගෙදරට ගෙන්නා ගෙන හෙට උයන්න ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරල තියෙන්නේ...ඒ දෙන්නා හෙට උදෙන්ම කෑම උයන්න පටන් ගනියි...‘‘


"හෙට උදේ දහය විතර වෙනකොට, මණමාලයාගේ ගෙදර කට්ටිය මෙහේ එයි...."


පසුදින වෙනතෙක් මම බලා සිටියේ, මගේ එකම සහෝදරිය බලන්න එන මණමාලයා දැක බලා ගැනීමටය….


මේ වන විට මම, ගාල්ලේ නොතාරිස් කන්තෝරුවක ලිපිකරුවකු ලෙස රැකියාවක් කරමින් සිටියෙමි. තාත්තාගේ දොස්තර සිහිනය ඉශ්ට කරන්න බැරිවුන මම, පසුව නෝතාරිස් කන්තෝරුවක රැකියාවක් කිරිම ආරංභ කලේ වෙන දෙයක් කරන්න දෙයක් නැති කමටය. මෙයින් පසු රජයේ රස්සාවක් කිරීම මගේ බලාපොරොත්තුව වේ. වයසට ගිය කාලෙක පැන්ශන් එකක් ලැබෙන නිසා අවසානයේ තාත්තා මගෙ ලිපිකාර රැකියාවට අවසර දුන්නේ ඉක්මනින් රජයේ රැකියාවක් සොයා ගන්නට කියමින්..... රාජ්‍ය ආයතනයක ලිපිකාර රැකියාවක් සදහා ඉල්ලුම් කිරිමට පෙර, රජයෙන් පවත්වන ලිපිකාර විභාගයට ලියන්න මම මේ දිනවල සුදානමින් හිදින්නෙමි. ඒ නිසා මගෙන් ගෙදර වැඩ කර ගන්නට පවුලෙ කිසි කෙනෙක් උනන්දු නොවිය. මම පුළු පුළුවන් හැටියට ගෙදර දොර අස් කර දෙන වැඩවලට බලෙන්ම උදව් කලෙමි.


සෙනසුරාදා අක්කා බලන්න මණමාලයා ඇතුලු අට දෙනෙක් පමන අපේ ගෙදරට ආවෝය. ඔවුන්ට හොදින් බත බුලතින් සංග්‍රහ කරන්නට නැන්දා මාමා, තාත්තා ඇතුලු අය උනන්දු වූහ.

අක්කා බලන්න ආ නෑදෑයින් කෑමෙන් බීමෙන් හොදින් සප්පායම් වී එදින අපේ ගෙදරින් ආපසු යන විට හවස තුනත් පසුවී තිබුනි.

දකුණේ ගැහැනුන් අදින ආකාරයට, සාරියකින් සැරසී සිට් අක්කා,ඇය බලන්න ආ මනමාලයාට බුලත් හෙප්පුව ගෙන ගියේ කෝළ ලෙසය. නමුත් ඇය සතුටින් පසුවන බව නම් කාටත් හොදින්ම පෙනිනි. ඇය බලන්න ආ නෑදෑයින් ආපසු ගිය පසුත් ඉන් පසු ගෙවුනු මුලු සුමානෙම, ඇය ගෙදර වැඩ කටයුතු කලේත් සතුටිනි.

පසු ගිය සෙනසුරාදා, අක්කා බලන්න පැමිණි අලූත් නෑදෑයෝ අක්කාට කැමති වී ඇති බැව්, සුමානයක් ඇතුලත අපට දැනගන්නට ලැබුන විට, මට සතුටක් සේම දුකක් ද දැණිනි…. සතුට නම් අක්කාට හොඳ කෙනෙකුහා විවාහ වීමට හැකිවීමත්..., දුක නම් අපහැර දමා ඇයට ඇගේ සැමියාගෙ නිවසට ගිය කල තාත්තාත් මාත් තනිවෙනවා යන හැඟීමත් නිසාය…. කෙසේ වෙතත් අක්කාගෙ අනාගත සුභ සිද්ධිය තකා මාත්, තාත්තාත් අක්කාගෙ විවාහයට, එක සිතින් කැමැත්ත දුන්නෙමු.


‘‘ යසෝ කසාඳ බැඳලා ඒ ගෙදර නවතින්න ගියත් මේ ගම කිට්ටුව කෙනෙක් නිසා, යසෝට නිතර ගෙදර ඇවිත් යන්න පුලුවන්නේ.....

කොහොම හිටියත් ගෑනු ළමයි කවදා හරි මහ ගෙදරින් යන්න එපෑ...’’


‘‘එහෙම තමයි ගෑණු ළමයිව අම්මල තාත්තලාට ඕන විදිහට ගෙවල්වල නවත්ත ගන්න බෑනේ….අනිවාර්යයෙන්ම විවාහ වුණාට පස්සෙ සැමියාගෙ ගෙදර යන්න වෙනවා.‘‘


නැන්දා අක්කාගෙන් ඉක්මනට නිදහස් වීමට උත්සහ කරයි….ඇය දවල් දවසට තනියම ගෙදර ඉදීම නැන්දාට ලොකු බරකි. උදේ පාන්දර මම වැඩට ගිය පසු, තාත්තා නිතර බෙහෙත් සාප්පුවේ වැඩ කරමින් සිටින නිසත්, අක්කා තනියම ගෙදර සිටිම නැන්දාගේ හිතට හරි නැත. දවල් දවසට නැන්දා ඇගේ බාල දියනිය අක්කාගෙ තනියට ,නිතර අපේ ගෙදර එවයි. අම්මා නැතිවුන පසු, ගමේ ගැහැනුන් ඉදහිට අපේ ගෙදර විත් අක්කාගේ පාලුව මකා යන්නට, ඇය සමග කතා කරමින් ඉද යන්නට අමතකද නොකරයි.

කෙසේ නමුත් අක්කා බලන්න පැමිණ ශාන්ත අයියා හොඳ කෙනෙක් බව මටත්, තාත්තාටත් අනිත් නෑදෑයින්ටත් තේරුම් ගොස් තිබුනි.

එබැවින් අප සියල්ලෝම එක පයින් අක්කාගෙ විවාහයට කැමැත්ත පළ කලෙමු.


‘‘එහෙනම් අපි යසෝගේ මගුල් ගෙදර ...මැයි මාසේ දිනයක උත්සවය ගන්න දා ගමු.... ඒ වෙනකොට පුතාගෙ ආන්ඩුවේ ලිපිකාර විභාගයත් ඉවර වෙලා තියෙයිනේ....‘‘


‘‘ඔව් ඒක හොඳයි. එහෙනම් අපි මණමාලයාගෙ පැත්තට ඒ බැව් දැනුම් දෙමු.‘‘


‘‘යසෝට දෑවැද්දට දෙන දේවලූත් පිළිවෙලක් කරලා ඒ අයට කියන්න වෙයි අය්යේ..…. මගුල් කපුවා ඒ ගැනත් ඇහුව්වා….මම කිව්වා බඩු මුට්ටු වලට අමතරව මුදල් එහෙමත් අපි දෙනවා කියලා.... අපි පුළුවන් හොඳට යසෝමාගෙ විවාහ උත්සවය ගමු.... අම්මාත් නැති කෙල්ලනේ…. මගුල් ගෙදර චාරිත‍්‍ර ඒ කෙරෙන්න ඕන විදිහට හොඳට, කවුරුත් එකතු වෙලාම කරමු.‘‘


"අක්කේ මම බැලුවේ අපේ ඉහළ වත්තේ කොටසක් විකුනලා, දුවගෙ මගුල හොදට ගන්න කියලා ......දෑවැද්දට දෙන දේවල් ලෑස්ති කරන්න සල්ලි තියෙන්නත් එපෑ…"


"ඔව් අර ඉහළ, පාර අයිනේ කොටස හොද මිලකට දීගන්න පුලුවන් වෙයි…., පහුගිය කාලේ පාර අයින කෑල්ල එක එක්කෙනා මිලට ගන්නත් ඉල්ලුවා.....ඔන්න ඔහේ ඒ කෑල්ල විකුනලා දාලා යසෝමගෙ මගුලට සල්ලි හදාගන්න….... නැතුව ඉතිං... ,මුලු ගමටම බෙහෙත් කරාට මොකද.....මල්ලිට සල්ලි ඉතුරු කරන්න ඕන කමක් තිබුනෙ නෑනේ….අහිංසක මිනිස්සු කියලා කාගෙන්වත් බෙහෙත් වලට සල්ලි ගන්නෙ නෑනේ. ...හොදයි ඉතිං පරම්පරාවෙන් හම්බවෙච්ච් ඉඩකඩම් තියෙන නිසා...අර ශ්‍රියා නංගි ජීවත් වෙලා ඉන්න කාලේ වත්තේ පිටියෙ දේවල් විකුනලා කීයක් හරි ඉතිරි කර ගත්ත නිසා ළමයි දෙන්නගෙ වියදම් පිරිමහ ගත්තා .... "


" යසොමගෙ මගුල හොදට ගන්න ඕනේ….දෑවෑද්දට සල්ලිත් දෙන්න එපෑ..."


අහල ගම් හතකට බෙහෙත් කලත් තාත්තා, ඒ කාගෙන්වත් මුදල් ගන්න අකමැති නිසා උන්දෑ අත ඉතිරි කරගත් මුදල් නොතිබුනි. නමුත් අම්මා ජීවත්ව සිටිය කාලේ....වත්තේ පොල් කොප්පරා ,පොල් තෙල් ආදිය තම්බි මුදලාලිට හා ටවුමේ මහ කඩේට විකුනා ලැබුනු මුදල්, අක්කාත් මාත් වෙනුවෙන් ඉතිරි කර තිබු බව අපි දැනගත්තේ ඇගේ මරනින් පසුය. ඊට අමතරව ඇය අක්කාට රත්තරං කර මාලයක්, කරාබු ජෝඩුවක් සාදා ඇය වැඩිවිය පැමින දින පැලදුවාද මතකය. තාත්තා ඇයට වලලු ජෝඩුවක් වේලාසන සාදා තිබුන බව අම්මා කීවේ ලොකු සතුටකිනි. විශේෂ ගමන් වලට අම්මා දාපු රත්තරං වලලු ජෝඩුව, කර මාලය අම්මා නැතිවුන පසු, අක්කා එයත් පාවිච්චි කරනවා මම දැක ඇත .... කසාද බදින්න ලෑස්ති වෙන අක්කාට ඒ රත්තරං බඩු ඇති යැයි මට සිතේ….


අක්කා කවදත් පවුලේ සියලූ නෑදෑයින්ගෙ, හොද හිත දිනාගෙන සිටි කෙනෙක්‍ ය. එබැවින් නෑදෑයෝ කවුරුත් ඇයට ඉතා ආදරය කලහ. ඇය ලොකු පොඩි කාටත් ඉතා ආදරයෙන් ගෞරවයෙන් සැලකීම නිසා සැවොම ඇයට ඉතා කැමතිය....


"දැන් එන සුමානේ යසෝමගෙ මඟුලට හැම දෙයක්ම ලෑස්තියි නේද?


"ඔව්... ඔව්...ඒ හැම දෙයක්ම ලෑස්තියි..."


අවසානයේ ඇයගෙ විවාහ උත්සවයට අම්මාගෙ හා තාත්තාගෙ සියලූ නෑදෑයින් පුළු පුළුවන් විදිහට උදව් කරමින් ඇගේ විවාහ උත්සවය ජයටම ගත්තේය.


අක්කාගෙ විවාහ උත්සවය අපේ මහගෙදර පුළුවන් ඉහලින්ම පැවැත්වීන. තාත්තා සිටියේ සතුටෙන් වගේම කණගාටුවෙනි. අම්මා නැතිවුණදා සිට තාත්තාවත්, මාවත් ඉතා ආදරයෙන් රැක බලා ගත් අක්කා අපට උයා පිහා ඇඳුම් සෝදා ගෙවල් අස් පස් කරමින් අම්මාගෙ තැන ගෙන සිටි තැනැත්තිය අද ගෙදරින් යන්න ලෑස්ති වී ඇත.


"අද යසෝමා හරි ලස්සනයි.... දකුනේ තාලෙට සාරිය ඇඳලා, වේල් එක දාගෙන ඉන්න හැටි බලන්න ලස්සනයි. "


ශාන්ත අයියා කළු පාට කෝට් සූට් එකක් හැඳ ඇයගෙ ලඟින් ම සිටියේ ගාම්භීර ලෙසය...

අක්කා ඉතා සතුටින් මංගල චාරිත‍්‍රවලට සහභාගී වෙන බව අප සැවොටම දැණුනු දෙයකි.


‘‘වෙලාව හරි නේද මනාල යුවලට යන්න....?‘‘


‘‘එහෙනම් දෙන්නත් එක්ක නෑදෑයින්ට වැඳල අවසර ගත්තොත් හොඳයි වෙලාව පහුවෙන්න ඉස්සර.‘‘


අක්කා සහ ශාන්ත අයියා තාත්තා ලඟට ගොස් බිමට නැවී වැන්දාය... අක්කාගෙ ඇස්වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තේ තාත්තා ඇයගෙ උරහිස් වලට අත තියා ඇගේ හිස සිඹිනා විටය. තාත්තාගේ දෙනෙතින්ද කදුලු වැටිනි…..අක්කා අද දින අපේ ගෙදරින් නික්ම, අලුත් නෑදෑයින් වෙත නික්ම යන බැවි දැන තාත්තා දුක් වන්නේය.....


අක්කා කඳුළු සලමින් අඬන්න පටන් ගත්තේ මම ඇයගෙ කකුල් දෙක අල්ලා වඳින විටය. මාව ඉඹ තුරුල් කරගෙන අක්කා කඳුළු සලමින් අඬන්න පටන් ගත් කල, අප දෙදෙනාම අඬනවා දැක නෑදෑයින් ද ඇස්වල කඳුළු පුරවාගෙන අප දෙදෙනා දෙස බලා සිටියේය.


"යාන්තම් යසෝමගෙ මඟුල් ගෙය ඉවරයි ....දැන් ඉතිං දෙවන ගමනේ උත්සවයට යන්න අපිත් ලෑස්ති වෙන්න එපෑ...."


අක්කාගේ දෙවැනිගමන නොහොත් "ඇට් හෝම්" එකශාන්ත අය්යාගේ මහ ගෙදර ඉතා ඉහලින් පැවැත්විණි. දෙවන ගමන දින තාත්තා අක්කාට දෙන දෑවැද්ද නෑදෑයින් ඉදිරිපිට ශාන්ත අය්යාගේ අතට දී මගුල් ගෙදර චාරිත්‍ර ඉටුකරන ලදි…..


ටික වේලාවකට පසු, ගෙයි එහේ මෙහේ කසු කුසුවක් ගියෙන් මම අක්කා ලගට ගොස් ඒ ගැන ඇගෙන් ඇසුවෙමි.


"අක්කේ, ඇයි මේ ශාන්ත අය්යලාගෙ ගෙදර කට්ටිය කසුකුසු ගාන්නේ… ශාන්ත අය්යත් පේන්න නෑ..ඒ මොකද?


"අනේ මල්ලියේ….හරි වැඩේනේ..තාත්තා දැන් ටිකකට ඉස්සර දීපු දෑවැදි සල්ලි ගාන වැරදිලු...කපුවා ශාන්ත අය්යලාට ඊට වැඩි ගානක්ලු දෙනව කියලාලු තියෙන්නේ.."


අක්කාගේ ඇස්වල කදුලු බිමට පනින්න ඔන්න මෙන්නය.


මගුල් ගෙදර ආ ශාන්ත අය්යාගෙ නෑදෑයෝ තැන තැන කුටු කුටු ගායි...අක්කා රතු සාරිය ඇදගෙන මුහුණ බෙරි කරගෙන මගුල් පුටුවේ තනියම ඇත…. ශාන්ත අයියා පේන තෙක් මානෙක නැත. මම ගෙයින් එලියට විත් ශාන්ත අය්යා කොහේදැයි විපරම් කලෙමි.


" ශාන්ත මුහුදු වෙරළ පැත්තට ගියා...ඒ පැත්තට ගිහින් බලන්න"

කෙනෙක් කිය.


ශාන්ත අය්යලාගෙ මහගෙදර මුහුදු වෙරලට ආසනව පිහිටා තිබුනකි.


මම මගුල් ගෙදර සිට කළබලේ මුහුදු පැත්තට දුවගෙන මෙන් ගියෙමි. මට ඈතදීම ශාන්ත අය්යා මුහුදු වෙරලේ, පෙරලපු ඔරු කදක් උඩ ඉදගෙන සිකරෙට්ටුවක් උරන අයුරු දැක ගත හැකි විය. මම හෙමිහිට ඔහු ලගට ගොස් ඔහුට කතා කලෙමි.


"ශාන්ත අය්යේ මොකක් හරි ප්‍රශ්නයක්ද?අරහේ මඟුල් ගෙදර අය ටිකක් කළබල වෙලා තියෙන්නේ...?


"ප්‍රශ්නයක්ද අහන්නේ...තමුසෙලා මට බොරුනේ කලේ…"


"ඒ කිව්වේ අය්යේ…."


"කපුවා අපට දෑවැද්දට දෙනව කියපු ගානෙන් භාගෙනෙ දැන් මාමන්ඩි යසෝමට දුන්නේ..…මම ඒ දෑවෑද්දට දෙනව කියපු ගාන නිසයි යසොමට කැමති උනේ.....අපේ අම්මලා අරහෙ කේන්තියෙන් ඉන්නේ...ඒ ගොල්ලෝ ඒ සල්ලි වලින් තමයි අපේ නංගිට දෑවෑද්ද දෙන්න බලාගෙන ඉදලා තියෙන්නේ…."


"අනේ අය්යේ..අරහේ නෑදෑයෝ දෙවෙනි ගමන උත්සවයට ඇවිත්...අය්යව හොයනවා...අනේ අය්යේ තාත්තා දෙනව කියලා, කපුවා කියපු ගාන ...මම කන්තෝරුවෙන් ණයක් ඇරන් හරි අය්යට පස්සෙ ගෙවන්නම්...අක්කට වෙනස් කමක් කරන්න එපා...දැන් අපි ගෙදර යමු..අරහේ කට්ටිය බලන් ඉන්නවා....මනමාලයා නෑ කියලා ….අනේ අය්යේ මම දිවරලා පොරොන්දු වෙනවා… කපුවා අක්කට දෙනව කිව්ව දෑවෑද්ද ,මම අය්යට දෙනවා කියලා ...අපි යමු අය්යේ ගෙට...."


ටික වේලාවක් මාදෙස බලන් හිටිය ශාන්ත අය්යා, හෙමිහිට ගෙවල් පැත්තට යන්න ආවේ මා සමගමය.


කොහොම හරි අක්කාගේ මගුල් ගෙදර හා, දෙවන ගමන ඉවරවුනේ එලෙසය.


අක්කා, විවාහයෙන් පසුව ශාන්ත අයියාගෙ නිවසේ පදිංචියට ගියාය... ඔවුන් දෙදෙනාට පදිංචියට ශාන්ත අයියලාගේ මහ ගෙදර කිට්ටුවෙන් ම අලූතින් සාදන ලද නිවසක් තිබුණි. අලුත් නිවසට බඩු මුට්ටු තාත්තා අක්කාට දෑවැද්ද ලෙස යවන ලද්දෙ විවාහ දිනයටද ප‍්‍රථමය. ඒවා අතර අල්මාරියක් ,යුගළ ඇදක්, කන්නාඩි මේසයක්, පුටු සෙට් එකක් හා කෑම මේසයක්, පුටු හයක් තිබුනි….ඇයට තාත්තා දෑවැද්ද ලෙස මුදල් ද දුන්නේය.


ඒ දුන් මුදලට අමතරව තාත්තාට හොරෙන් මම ශාන්ත අය්යාට, කපුවා දීමට පොරොන්දු වී තුබුන ගාන දෙන්නට, කන්තොරුවෙන් ණයක් ගන්නට ඉල්ලුම් කලෙමි. ඒ අක්කාගේ මගුල කැඩී යැයි කියා බයේය.


- නැවත හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page