
💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Oct 18, 2020
- 5 min read
💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය
( 29 වෙනි කොටස)
"අපි දෙන්නා දවස් භාගෙක නිවාඩුවක් දාලා අක්කලාගෙ ගෙදර යමුද?...මොනව උනත් අක්කත් එක්ක මේක, කතා කරලා , එයාට කියලම මම තීරණයක් ගන්නවා....ගුණදාසලා බෝඩිමේ හිටපුවාවේ....අපි වැඩ ඇරිලා එනකම් ඉන්න කියලනෙ මම ආවේ..."
අපි කන්තෝරුවෙන්
දවස් භාගයක නිවාඩුවක් දමා කෙළින්ම ගියේ අක්කලාගේ ගෙදර ය. විනඩි හතලිස් පහකට කිට්ටු කාලයක් අක්කලාගෙ ගෙදර යන්න ගත විය. හෙට ගුණදාසලා, ගෙදර යන්න ඉස්සර, මගේ තීරණය මොකක්ද කියා සුනිලාට දන්වා යැවීමයි මට වැදගත් උනේ..."
කවදාවත් මේ වේලාවට අක්කලාගෙ ගෙදර නොයන මා හා සෝමේ දැක ඇය පුදුම විය.
‘‘ඇයි මල්ලි මේ අවේලාවේ...‘‘ අක්කා පුදුමයෙන් ඇසීය.
" උවමනාවකට ආවා....කෝ දරුවෝ දෙන්නා...?
"තාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ නෑ... අන්න චුටි පුතානම් ඇදේ නිදි..."
"මල්ලිලා මොනවද බොන්නේ..."
"මොනව උනත් කමක් නෑ අක්කේ..."සෝමේ කීය.
මම කාමරයට ගොස් මගේ පුතාගෙ තොටිල්ලට එබී ඔහු දෙස බලා උන්නේ...හිතේ දෙගිඩියාවෙනි ....අම්මා තාත්තා ලග නැති දරුවා නැන්දා ලග සැපට ඉන්නා එක ගැන මට ඇත්තේ ලොකු සතුටකි. අක්කා දරුවාට වෙනස්කමක් නොකර ඔහු හොදින් හදාගන්න භාර ගැනිම ගැන මම ඇයට ණය ගැතියි.
මම සුනිලාට කැමති බවත් ඒ නිසා, ජයන්තිට උන පොරොන්දුව වෙනස් කරන්න කියා අක්කට කියන්නේ කෙසේදැයි කියා මම පුතාගේ මූණ දෙස බලාගෙන කල්පනා කලෙමි..... අපේ, මගේ, ප්‍රශ්න කිසිදෙයක් දන්නැති චූටි පුතා හිනෙන් කිරි සිනා නගමින් සැපට නිදීය.
දැන් වත් කොන්ද කෙලින් තියාගෙන මේ ප්‍රශ්නය ගැන මම, අක්කා සමග කතා කලයුතු යැයි හිතාගත්තෙමි.
මම හිත ශක්තිමත් කරගෙන, කාමරයෙන් එළියට ගොස්, සාලයේ අක්කා හා සෝමේ ලගින් වාඩිවි, කතාව කියන්න පටන් ගත්තෙමි.
‘‘අක්කට දෙයක් කියන්න මම මේ කලබලේ ආවේ....‘‘
"මං ඒත් බැලුවා ,ඇයි මේ අවේලාවේ ආවේ කියලා ... ,මොකක්ද කාරනාව...." ඇය අන්දමන්දව අසයි.
"අක්කා මොනව කියයිද දන්නෑ...ඒ ආරංචියට".
‘‘මොකක්ද අප්පේ ඔය තරම් ලොකු වැදගත් ආරංචිය..... ඔයා ඇයි බය වෙලා වගේ....‘‘
"අක්කේ මම කසාද බදින්න හිතුවා..."
"ඔව් ඉතිං අපි...ඒ ගැන කතා කරානේ..."
‘‘අක්කේ මං ජයන්තිව කසාඳ බඳින්න කැමති නෑ කියලා මුල ඉදන්ම අක්කට කිව්වනේ ....මම කසාද බදින්න කැමති වෙන කෙනෙක් ඉන්නවා ...‘‘
"අපි ගිය සෙනසුරාදා ජයන්තිලාගෙ දෙමව්පියන්ට කැමත්ත දීලානෙ ආවේ... දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ... ඉතිං කවුද ඒ කැමති කෙනා.... ඔෆිස් එකේ කෙනෙක්ද....?’’
‘‘නෑ අක්කා. හොඳටම දන්න කෙනෙක්.‘‘
‘‘කවුද අප්පෙ මං දන්න කෙනා.... අගේ කරන්නැතුව කියන්නකෝ.‘‘
‘‘සුනිලා.‘‘
‘‘සුනිලා අර ජුවාන්ගෙ කෙල්ල.‘‘
‘‘ඔව්.. ඇයි අක්කේ.‘‘
‘‘පිස්සුද ඔයාට..... අර ගොඬේ කෙල්ල.‘‘
‘‘ගොඬේ උනාට සුනිලා කොළඹ විදිහට හැඩ ගැහෙයි පස්සෙ....‘‘
‘‘ඔයාගෙ මොලේ හොඳ නැද්ද...? එයා ඔයාට කොහෙත්ම ගැලපෙන්නෙ නෑ කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද ...?
අනික අපි කොහොමද දැන් ජයන්තිගෙ අම්මලාට, ඔයා ජයන්තිට කැමති නෑ, ඔයා සුනිලා බදින්න යන්නේ කියලා කියන්නේ....?"
‘‘ මම කැමති සුනිලට ...මම ජයන්තිට කැමති නෑ කියලා මුල ඉදන්ම කිව්වනේ....අක්කා ඒක ගන්න ගත්තෙම නෑ...මම කැමති දෙයක් මේ පාර වත් මට කරගන්න ඉඩ දෙන්න.... "
"උබට මොලේ කළදක් නැද්ද ..? අච්චර වටින දේපළ ගොඩකට පයින් ගහලා...ගමේ මුකුත්ම නැති කෙල්ලෙක් ඇගේ එල්ල ගන්න හදන්නේ...?
"සුනිලට ගමේ ඕන තරම් ඉඩකඩම් තියෙනවා..."
"ඒ කැලේ මොනව තිබුනත් මොකටද...එ වගේද කළුතර ටවුමට කිට්ටුව තියෙන මාළිගෙ දේපළ ..."
"මට දේපළ වලින් වැඩක් නෑ...මට මේ පාරවත් මම කැමති කෙනෙක් කසාද බැදගන්න ඉඩ දෙන්න...ගිය පාරත් ඔයගොල්ලන්ට ඕන විදිහට දේපළ කියලා අසනිප තිබුන කෙනෙක් මගේ ඇගේ එල්ලුවා...දැන් දේපළ කියලා තොරොම්බල් කරත්තයක් එල්ලන්න හදනවා..."
"මිනිහෙක් උනාම අනාගතය ගැන හිතල බලලා කසාදයක් කරගන්න ඕනේ....ඉස්සරහ කාලේ ජීවත් වෙන්න සල්ලි ඕනේ...ගෑනියෙක්ට ලස්සන විතරක් තිබිලා මදි...ජයන්තිට ඔය ඔක්කොම තියෙනවා ...ඊටත් අපි කොහොමද රෙද්දක් ඇදගෙන අර මිනිස්සුන්ට කියන්නේ දැන් උබ ජයන්ති බදින්න කැමති නෑ කියලා ...තාත්තා මෙලහකට කේන්දර බලලා නැකතුත් හදල් ඇති....මගෙන් බේරුනාට තාත්තගෙන් උබට බේරෙන්න ලේසි වෙන්නෙ නෑ....අපිව ලැජ්ජ කරන වැඩ කරන්න එපා....හොදට මතක තියාගනින් ජයන්ති නොබැද සුනිලා බැන්දොත්...මම මීට පස්සේ උබේ කිසි දේකට නෑ...මට අක්කා කියන්නත් එපා...මම තාත්තට කියනවා උබව පවුලෙන් අයින් කරන්න කියලා ...තාත්තගෙ දේපළ කිසි දෙයක් උබට දෙන්නෑ....අපේ නෑදෑ කම් මෙතනින් ඉවරයි කියලා හිතාගනින්... ."
දන්න කියනා කාලයේ පටන් ගෙදර හැමදෙයක්ම සිද්ද උනේ අක්කාට ඕනේ පරිදිය. මගේ විවාහය පවා සිද්ධ වුණේ එයාට ඕන ලෙසය. දෑවැද්දට තන්හාවෙන් අක්කා මට වඩා, වයස අවුරුදු දෙකක් වැඩිමල් මළිට මාව බන්දලා දුන්නේ එයාගෙයි අපේ නෑදෑයින්ගෙයි උවමනාවටය. මං හැමදාම එයා කියපු දේට කැමති වෙලා, හැමදේම කලා. මට කියල ජීවිතයක් ඇත්තෙම නැද්ද ...?. මගේ ජීවිතේ හැමදෙයක්ම අක්කාට ඕන විදිහටද තීරණය වෙන්නේ...? මාව කේන්තියෙන් ගැහෙන්න විය. මගේ ඔළුව කකියන්න විය. මෙච්චර කාලයක් අක්කා කියන දේකට පිටින් දෙයක් කියපු, දෙයක් නොකරපු මම , අද අක්කා සමග උරන වී ඇත. මතක ඇති කාලයේ පටන් අක්කට ඕන ලෙස හැමදෙයක්ම කරපු මම , සුනිලාගේ ආදරය වෙනුවෙන් අද දරුනු වි ඇතැයි මට සිතේ ....
‘‘කවුරු අකමැති වුණත් මං සුනිලව කසාඳ බඳිනවා....‘‘
‘‘එහෙනම් බැඳල බලනවකෝ රටේ ලෝකේ මිනිස්සුන්ට මුහුණ දෙන්න පුළුවන්ද කියල...උබට ගෑනි විතරයි ඉතුරු වෙන්නේ...ඊට පස්සෙ අපි කවුරුත් නෑ කියලා හිතාගනින්.....‘‘
‘‘මට වැඩක් නෑ රටේ ලෝකේ මිනිස්සු... මං හැමදාම වැඩ කළේ අනුන්නට ඕන විදිහට..... මට කියල ජීවිතයක් ඇත්තෙම නැද්ද...?. මේ පාරනම් මං කාගෙවත් ඕන එපාකම්වලට යටත් වෙන්නෑ...මම බදින්නේ මම කැමති ගෑනි ....‘‘
මං කේන්තියෙන් පුටුවෙන් නැගිට ගත්තෙමි.
‘‘අපි හැමදාම වැඩ කළේ උපදෙස් දුන්නෙ උබේ හොඳට..... සුනිල වගේ ගමේ ගොඬේ කෙල්ලෙක් උබට බඳින්න දෙන්න බෑ.... ජයන්තිලාට අපි කොහොමද මූණ දෙන්නේ....ඒ මිනිස්සු දැනටමත් උබේ මගුලට ලෑස්ති වෙනවා ඇති...ඒ මිනිස්සු අපට මොනව නොකියයිද..? තාත්තයි මමයි කොහොමද ඒ මිනිස්සුන්ට මුණ දෙන්නේ...උබට ඒක තේරෙන්නෙ නැද්ද..?
‘‘මට අනිත් අයගෙන් වැඩක් නෑ. මං මේ පාර කරන්නෙ මට ඕන දෙයක්.‘‘ මං කේන්තියෙන් අක්කලාගේ ගෙදරින් පිටවුණේ අක්කාට කියන්නෙවත් නැතුව....සෝමේ මගේ පිටුපසින් ඇස් ලොකු කරගෙන දුවගෙන එයි..."
"මගෙ අම්මේ....මම දන්නෑනේ උබේ කටට ඔච්චර හයියක් තියෙනවා කියලා ...මගේ ඇගේ ලේ වතුර වෙලා හිටියේ...අක්කා මටත් බනියි කියලා ...."
කේන්තියෙන් පුපුර පුපුරා පාරට බැස්ස මම, සෝමේ සමගවත් කතා නොකර, දිගටම ගියේ බස් නැවටතුමටය.
ජීවිතේ ප‍්‍රථම වතාවට වෙන්න ඇති මම , අක්කා සමඟ රණ්ඩු කළේ කියා මට සිතේ.... මගේ ඇග කේන්තියෙන් ගැහෙන්න පටන් ගෙන ඇත.... අම්මා නැති මට හැමදාම, අම්මා වුණේ අක්කා.... අක්කා අම්මා නැති වුණදා පටන් මං ගැන සොයා බැලූවේ අම්මා කෙනෙක් මෙනි..මගේ මුල්ම විවාහය සියල්ල ලෑස්ති කළේ ඇයට ඕන ලෙසටය. ඇයට කැමති දෙයක් කරන්න දී මං රූකඩයක් ලෙස අවුරුදු ගාණක් ජීවත් වුණෙමි..... මාළිගෙ මරණනින් පසු මගේ දරුවා ඇය හදා වඩා ගනියි.... එතනදිත් ඇය මගේ දරුවාට අම්මා වී ඇත. මා කළ යුත්තේ කුමක් දැයි මට හිතා ගන්නට බැරිය. අක්කා කැමති දෙයකට කැමති වී, මා මාගේ ජීවිතය, මා අකමැති කෙනෙක් එක්ක ජීවිත කාලයම ගත කරනවාද? නැතිනම් අක්කා ඇතුළු මගේ සියලූම නෑ හිතමිතුරන් අමතක කර දමා සුනිලා කසාඳ බඳිනවාද? මා දොලොවක් අතර අතරමං වී අන්ත අසරණ තත්ත්වයකට වැටී උන්නෙමි.
මම සෝමේ සමග අක්කලාගෙ ගෙදරින් නික්ම බෝඩිමට යන්න බස් රතයකට නැග ගත්තෙමි.....මං කතා නැතුවම කල්පනා කරේ මා කුමක් කළ යුතු ද යන්නයි....සෝමේද මට කේන්ති ගොස් ඇති බැවින්, මට බය වී කතා නැතුවම බස් රතය තුල වාඩි වී හිදියි.
කොපමණ කල්පනා කළත් මට, මා කළ යුත්තෙ කුමක්දැයි සිතට නොදැනේ. අද හවසට මා ගුණදාසට කිව යුතුයි ....., සුනිලා කසාඳ බඳින්න කැමති, අකමැති බව.... මම දැන් මොනවද ඔවුන්ට කියන්නේ.... ? තව සුමාන දෙකක් පමණයි සුනිලාගෙ විවාහ දිනයට ඉතිරි වී ඇත්තේ.....
සෝමේ පුදුමයෙන්, බයෙන් මෙන් මා ලග වාඩි වී හිදියි...
‘‘මොකද අපි දැන් මේකට කරන්නේ....සුමල් ? සෝමේ හිමිහිට බයෙන් සැකෙන් වගේ කතා කරයි.
" උඹලගෙ ගෙදරින් නම් මේ මගුලට කැමති වෙන්නෑ....උබ හිතේ කරදරයෙන් ඉන්න බව මම දන්නවා....අක්කත් එක්ක තද වෙලා අද ආවට සුනිලගෙ ප්‍රශ්නයට විසදුම මොකක්ද දැන් .... උඹේ දරුවා හදා ගන්නෙත් උඹේ අක්කානේ...අක්කා තරහ කරගෙනත් බෑ...නේද ?
‘‘ඔව් ඒක ඇත්ත. අම්මා නැති වුණ දවසේ ඉඳන් මාව බලාගත්තෙත් අක්කා තමයි. ඒ වුණාට එයා මගේ ජීවිතේ හැම දේකට ම ඇඟිලි ගහනවා.... මට කියලා නිදහසක් නෑනේ.... මං කැමති දෙයක් මට කරගන්න හැටියක් නෑනේ ...‘‘
‘‘ඉතිං කියපන්කෝ බලන්න උඹ අන්තිමට කැමති දේ මොකද්ද කියල.....අක්කා තාත්තා අමතක කරන්න එපා මොන තීරණය ගත්තත්...‘‘
* හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *



Comments