💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Oct 18, 2020
- 5 min read
💞 බැද්දේ කුමරිය 💞 බැද්දේ කුමරිය
( 27 වෙනි කොටස )
කාමරයට ආ මම, නින්දට ගියේ හිතේ දරා ගන්න බැරි තරමේ වේදනාවකිනි...සුනිලා, මට පෙනි පෙනි අහිමි වි ඇත....මගේ පමාව මගේ පසුතැවිල්ලට හේතුවය....
සුනිලා කොළඹ සිටි කාලයේ ඇය මට කැමති බව, දැනුනත්....ඇය මගේ අක්කා නිසා වෙනස් වෙන්නට ඇතැයි මට සිතේ....ඇය පුල පුලා ජයන්ති ගැන කියා, සුනිලාගෙ හිතේ මා ගැන තිබුන කැමැත්ත නැති කරන්නට ඇත....යමක් කමක් තේරුම් ගන්න පුලුවන් සුනිලා ....අක්කා ගමට ලියුමක් එවා ඇය ගමට පිටත් කර හැරිය හේතුව නිසාම, ඇයගෙ හිතේ මා ගැන යම් කිසි කැමැත්තක් තිබුනා නම්, එයත් මා අත් හරින්නට හේතු වන්නට ඇති. ....සුනිලා ගම ඇවිත් මාස අටක් යනකම් මම ඇය බැලීමට නොආ නිසා, ඇයගේ හිතේ යම් කිසි හැගිමක් මා ගැන තිබුනා නම්, එයත් නැති වන්නට ඇත. කෙසේ නමුත් සුනිලා දැන් විවාහ වන්නට සැරසෙන නිසා, මම ඇය ගැන මතකය සම්පුර්ණයෙන්ම හිතින් අත් හැර දමා ගත යුතුයි ....
සුනිලා ද ඇය විවාහ වෙන්න යන කෙනාට කැමති ඇති.... ඒ නිසානේ එයාගෙ ගතිගුණ නම් හොඳයි කීවේ. ..ජීවිතේ හැම දෙයක් ම සිද්ධ වෙන්නෙ අපි පතා ගෙන එන විදිහටය.... අප කර ඇති පව් පින් අනුව අපේ ධෛර්යය තීරණය වෙයි.... දැන් මම මගේ හිත හදාගත යුතුයි....ඔව්..එය කල යුතුයි .....බෝහෝ රෑ වෙනකම් ඇය ගැන සිත සිතා ඉද...මට එළිවෙන ජාමේ නින්ද ගොස් තිබුනි.
පසුදින උදේම සෝමෙත් මමත් නැගිට ලෑස්ති වුණේ කොළඹ බල යන්නටය. පසුගිය දිනක මා මේ කාමරයේ නිදා උන් දින, සුනිලා කාමරයටම පැමිණ ජනෙල් ඇරදමා තේ පිළිගැන් වූ ආකාරය, මගේ හිතේ මැවී මැවී පෙනී මැකී යන්නට විය.
අද අපට උදේ තේ කාමරයට නොලැබිණ. සෝමෙත් මමත් විගහට ගෙයින් පිටතට ගොස් මූණ කට සෝදා ගෙන පැමිණ ඇඳුම් ඇඳ ගත්තෙමි.
‘‘මහත්තයා එන්න තේ බොන්න.‘‘
ජුවානිස් පැමිණ අපට කතා කළේය.
"අද වේලාසනම යන්න ද හදන්නේ මහත්තයාලා .... අපි හිතුවේ තාම නිදි කියලා"
ජුවානිස් අපට තේ කෝප්ප පිළි ගැන්වූවේය. සුනිලා තාම මට අද උදේ දකින්න නොලැබින. තේ සාදා එය ජුවානිස්ට දෙන්න ඇත්තේ සුනිලා වන්නට ඇත.
‘‘උදේම ගියොත් හොඳයි ජුවානිස්.... දවල් වෙනකොට අපට කොළඹට යන්න පුළුවන්.‘‘
‘‘ආ... එහෙනම් මං අපේ කෙල්ලට කියන්නම් උදේ කෑම මේසෙන් තියන්න කියලා.‘‘
ඒසේ කියාගෙන ජුවානිස් කුස්සිය පැත්තට ගියේය.
වැඩි වේලාවක් නොගොස්ම අපට ජුවානිස් කෑම කන්නට අඩ ගැසුවේය. උදේ කෑම කන වේලාවේ දී, සුනිලා මේසේ ලඟ ඉඳ අපට කෑම බෙදුවේ කතා බහක් නැතුවමය. ඇගේ මුහුණ වෙනස් වී ඇත. ඇය අඩා ඇති බවක් ඇයගෙ ඇස් දෙකෙන් පෙනේ..... ඇගේ ඇස් දෙක තඩිස්සි වී ඇත. මුහුනේ ඇත්තේ දුක්මුසු බවකි. ඇය කිසිත් කතා බහක් නැතුවම අපට කෑම බෙදයි..... මාත් විශේෂත්වයක් නොපෙන්නවා කෑම කෑවෙමි.
උදේ ආහාර ගෙන මාත් සෝමෙත් ජුවානිස්ට හා සුනිලාට කියා කොළඹ බලා ආවෙමු.
කොළඹට එනතෙක් මා කල්පනා කරමින් ආවේ සුනිලා ගැනය. ඇය ඇගේ අනාගත ස්වාමි පුරුෂයා සමඟ දීග යෑමට, පෙරුම් පුරමින් ඉන්නා ආකාරය, හිතට දැනෙන විට මට දැනෙන්නේ දුකකි. මීට ඉස්සර මා සමඟ සුනිලා කතාබහ කරනා හැමවිටම කොයිතරම් නම් සතුටෙන් සිටියද?.... ඇය නිතර ම සිනාසෙමින් විහිළු තහලූ කරමින් මා සමඟ හැසුරුණු ආකාරය මතක් වෙද්දී මගේ හිත කීරි ගැහේ... මා පරක්කු වූවා වැඩිය. සියලූ ප‍්‍රශ්න නිරාකරණ්‍ය කරගෙන මා ඇය ලඟ යන විට ඇය වෙන කෙනෙකුට අයිති වී ඇත. මං වගේ පව්කාරයෙක් යැයි මට දිගින් දිගටම සිතේ...පවට පින දෙන්න බැරිය. එය ගිය ආත්මේ පතාගෙන ආ ආකාරයට සිදුවෙන බව තේරුම් ගත යුතුය.
"මොනවද උබ හූල්ල හූල්ල කල්පනා කරන්නේ...?
"මොනව කල්පනා කරන්නද...පවට පින දෙන්න බෑනේ..."
"පමාව පසුතැවිල්ලට හේතු වේ කියන එක උබ අහලා තියෙනවානේ....දැන්වත් සුනිලා අමතක කරලා....ඒකිට දෙයියනේ කියලා ඒ මිනිහා බැදගෙන සතුටින් ඉන්න දීපං.. ...උබ මේ පැත්ත පලාතෙ ආයෙත් එහෙම එන්න ඕන නෑ.... දැන් අක්කා කියන විදිහට ජයන්ති බැදලා සතුටින් හිටපං..."
"අනේ මන්දා බං..."
"මොනවද ...අනේ බන්දා කියන්නේ....එන සෙනසුරාදා අක්කලා කළුතර, ජයන්තිලගෙ ගෙදර යන්න අඩ ගැහුව්වා නේද...? මාත් එන්නම් අපි යමු එහේ...සුනිලගෙ කෑම වලට එහා ඒ ගෙදර කෑම....ආයෙත් මගුල් ගෙදරක ගියා වගේ කෑම....පැලෙන්ඩ කාලා එන්න පුලුවන්. අපි යමු එහේ...."
ගෙදර ගියත් රැකියාවට ගියත් මගේ හිත සොවින් බර වී ඇත. මා කුමක් කළ යුතු දැයි සිතා ගැනීමට නොහැක. කිසිම දවසක මගේ හිතට ගැහැණු ළමයෙක් ගැන අමුතු ආදර හැඟීමක් ඇති නොවුණත්, සුනිලා දුටු පසු ඇය ගැන ඇති වූ හැඟීම පුදුමාකාරය. කොළඹින් ඈත ගම්බද පරිසරයක ජීවත් වුණ ඇය අහම්බෙන් මුණ ගැසී, මට ඇය ගැන හිත ගිය අයුරු හරිම පුදුමාකාරය...... මීට පෙර ආත්ම භවයක හරි අපි හමු වී හිඳින්නට ඇති. ඒ නිසා වන්නට ඇත, ඇය දුටු විට මගේ හිතේ අමුතු හැඟීමක් කැමැත්තක් ඇති වෙන්න ඇත්තේ..... දැන් සියල්ල අහවරයි. නැවත කිසිදිනක ඇය බලන්න මම ගමේ නොයා යුතු යැයි මා තදින් ම සිතට ගත්තෙමි....
සෙනසුරාදා අක්කලා සමග කළුතර ගොස් ජයන්තිට කැමති වී ඇය කසාද බැදිය යුතුයැයි මම සිතා ගත්තෙමි. මගේ තනියට සෝමේ ඒ ගමනට කැදවාගෙන යා යුතුයි. ඔහු සිටිනා විට මගේ හිතට සහනයක් ලැබෙනා බැවින්....
සිකුරාදා වැඩ ඇරි...සෝමේ සමග අක්කලාගෙ ගෙදර ගියේ...සෙනසුරාදා කළුතර බලා යන අදහසිනි.
"අන්න...මාමා ඇවිත්...සොමේ මාමත් ඇවිත්....මාමේ සීයත් දවල් අපේ ගෙදර ආවා..."
අක්කාගෙ දරු දෙදෙනා මා දැක සතුටින් පසුවෙති. මගේ පුතාට දැන් වයස අවරුද්දට ලගයි. ඔහුත් අක්කගෙ දුවයි පුතයි සමග සෙල්ලම් කිරිමට සැරසේ...
"තාත්තා කොයි වෙලේද ආවේ..." තාත්තා හිටියට වඩා දැන් කෙට්ටු වී මහලු පෙනුමක් ලැබ ඇත. මගේ බිරිද මාළිගෙ මරණය ඔහුට විශාල දුකක් වු බව කීවේ අක්කයි. අප පොඩි කාලයේ අපේ අම්මා නැතිවුනා වගේම...මගේ බිරිඳ දරුවා ලැබෙන්න ගොස් නැතිවීම ඔහුට දුකක් වන්නට ඇත.
"දැන් අපි හැමෝම කොහොමද එක කාරෙක කලුතර යන්නේ...?
"මම ආවේ ගමේ උබේසේනගෙ වාහනේ...හෙට අපට ඒ වාහනේත් යන්න පුලුවන් ..." තාත්තා කීය.
කළුතර ජයන්ති බලන්න වගේම, මගේ මගුල තීන්දු කරන්න යන්න, අක්කා, අය්යා තාත්තා , සොමේ වගේම ශාන්ත අය්යාගේ අම්මත් ලෑස්ති වී සිටියේ තෑගි බෝග කෑම බීම ලෑස්ති කරගෙනය.
අපි උදේ දහයාමාරට පමණ ජයන්තිලාගෙ නිවස බලා යන විට, මාළිගෙ මවත් පියත් ජයන්තිලාගෙ ගෙදරට ඇවිත් තිබුනේ ඔවුන්ගේ වාහනයෙනි.
"අපි ඉතිං නොදන්න දෙන්නෙක් නෙමේ උනාට මේ දෙන්නා....මේවායෙ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවනේ...ඒකයි අපි මේ විදිහට ලෑස්ති උනේ..."
"ජයන්ති ලා රෝස පාට සාරියක් ඇද අත් කොට සුදු හැට්ටයක් ඇද, කොන්ඩය උඩට කර බැද සිටියාය. වෙනදාට ඇය අදින කොට ගවුමට වඩා ඇය
සාරියට හැඩ යැයි මට සිතේ..ඇය හෙප්පුවක් රැගෙන විත් මට අල්ලා, තාත්තා අක්කාටද එය ඇල්ලීය.
ඉන්පසු තේ මේසයට අපට ආරාධනා කලේ ජයන්තිගෙ මෑනියන් ය.
නොයෙකුත් කෑවිලි වලින් තේ මේසය පිරි තිබුනි. හැමෝම හෙමිහිට රස කැවිලි කමින් තේ බොද්දී ...සෝමේ කිසිම ගානක් නැතුව රස කර කර කැවිලි හැම එකක්ම කමින්, තේ බොන්නේ ජයන්තිටද මටද විහිලු කරමින් ය.
"අපි එහෙනම් දෙන්නගෙ කේන්දර බලවලා හොද දිනයක් දාගෙන ,මගුල ඉක්මනට අහවර කර දාමු...."
"අපි නම් කැමතියි ...සුමල් පුතා මගුලෙන් ඉස්සර කළුතරට මාරුවක් හදාගෙන එනවනම්..."
"මම කන්තෝරුවට දැනුම් දීලා....දැන්ම ඉල්ලුම් කරන්නම්"
"ඔව් ..ඒක ගොඩක් හොදයි ... එතකොට මේ ඉඩම්කඩනුත් බලාගෙන, මෙහෙට වෙලා රස්සාව කරන්න පුලුවන් ..."
උදේ තේ බී අහවර වී සෝමෙත් මමත් ජයන්තිත්...
වත්තේ ඇවිදමින් කතාබහ කරමින් සිටියෙමු....සෝමේගෙ විහිලු කතා නිසා වෙලාව යනවා දැනුනේම නැත. ජයන්ති අද බොහෝම සතුටින් ඉන්නා බව පෙනේ...ඇය රෝස පාට සාරියට ලස්සනය. වෙනදා මෙන් තොරොම්බල් බඩු කරබු කෑලි ඇය එල්ලාගෙන නැති නිසා, මට ඇයගේ මුහුන බලා කතා කරන්නට සිතුනි.
දහවල් කෑම මේසයද ඉතා ඉහලින් සාදා සරසා තිබුනි.
දහවල් කෑමෙන් පසු, අපි සියලු දෙනා සමුගත්තේ...මගෙත් ජයන්තිගෙත් කේන්දර බලවා මගුලට නැකත් බලා දිනයක් දාගන්න පොරොන්දව උඩය.
"අද ජයන්ති හරි ලස්සනයි නේද සාරියට...?
අක්කා එමින් ගමන් මට ඇසෙන්න කීය.
"අපරාදේ අක්කේ....ජයන්ති මූට කැමති උනේ....නැත්තම් මම බදිනවා ජයන්තිව....නියම කෙල්ල...මොනවායින් අඩුපාඩුවක්ද...? මොනව උනත් සුමල්, ලක් කාරයා...."සොමේ කීය.
"මල්ලි අද හෙටම කන්තෝරුවට දන්නලා කලුතරට මාරුවක් හදා ගන්න....තාත්තා එහෙනම් අද හෙටම මේ දෙන්නගෙ කේන්දර බලවලා දිනයක් දාගන්න මගුලට...අපටත් ඉතිං මගුලට ඇදුම් එහෙම ලෑස්ති කරගන්න වෙනවා දැම්ම තියා...."
අක්කා කළබලේ සතුටින් මගේ දෙවන මගුලට ලෑස්ති වෙන්න අනිත් අයවත් උනන්දු කරවයි....
අපි කොහොම හිතුවත්, පැතුවත් අපට වෙන්න තියෙන දේ ...ගිය ආත්ම වල පව් පින් අනුව සිද්දවෙන බව පමනක් මම දැන උන්නෙමි. මම ඉස්සරහ කාලේ, ජයන්ති මගේ බිරිඳ ලෙස පිලිගැනිමට දැන්ම තියා සූදානම් විය යුතුයි....ඔව් තාත්තා අපේ කේන්දර බැලු පසු ,මම නිතර කළුතර ගොස් ජයන්ති මුණ ගැසි කතා බහා කර පැමිනිය යුතු යැයි මම සිතා ගත්තෙමි.
හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා "



Comments