top of page

💞බැද්දේ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 13, 2020
  • 7 min read

(තුන්වන කොටස )

‘‘ දැන් යසෝමා ගෙදර නැති නිසා අයියටයි, පුතාටයි තමයි මීට පස්සෙ ගෙදර වැඩ තනියම කරගන්න වෙන්නේ.‘‘


‘‘නෑ... අක්කේ..... චූටි අක්කා අපිත් එක්ක පදිංචි වෙන්න එන්නම් කිව්වා. එයාගෙ ළමයි දෙන්නත් කසාඳ බැඳලා ගියාට පස්සෙ එයත් තනියමනෙ ගෙදර ඉන්නෙ...අයියා නැති උනාට පස්සෙ ...‘‘


‘‘ඒක හොඳයි. එහෙනම් යසෝමා ගෙදර නැතුවට පුතාලට පාළුවක් දැනෙන එකක් නෑ…..චූටි අක්කා ඉන්නවා නම්...ඒක ලොකු දෙයක්..‘‘


‘‘අක්කා ගෙදර නැති පාළුව නම් ඉතිං කාටවත් මකන්න බෑ…ඒ උනාට අක්කා වැඩි ඈතක නෙමේනෙ ඉන්නේ ,නිතර ගිහින් අපට අක්කා බලලත් එන්න පුලුවන් ….අක්කටත් මෙහෙ එන්න පුලුවන්නේ….‘‘


අක්කා ගෙදර නැති පාළුව තනිකම වැඩියම දැනුනේ මටය.... ඒ වැඩ ඇරි ගෙදර ආ පසු ඇගෙන් ලැබෙනා රස කැවිල්ලක් සමග තේ කෝප්පය, අතට බෙදා දෙන කෑම පිගාන, ආදිය සේම ඇය ගෙදර සිටිනා විට මගෙත් තාත්තාගෙත් ඇඳුම් පැළඳුම් සෝදා දීමත් වගේම ගේ ඇතුල, ඇය නැතුව පාලුවට ගොස් ඇත. ගේ තුල ඇත්තේ ලොකු පාලු ගතියකි. චූටි නැන්දා හිටියාට, අක්කා නැති පාලුව ඇයට නැති කල නොහැක .

දැන් මට තනියම මගෙත්, තාත්තාගෙත් ඇඳුම් සෝදන්න වී ඇත…. පුංචි නැන්දා අපට කෑම බීම හදා ගෙවල් අස්කර දුන්නට.... අප ඇයට කියා අපේ ඇඳුම් සෝදා ගැනීමට අකමැතිය.

වැඩි දවසක් යන්නට මත්තෙන්, ඉස්සර මාසෙකට දෙකකට සැරයක් අපේ ගෙදරට විත් අපේ ඇදුම් ගෙන ගොස් සෝදා මැද, ගෙදරටම ගෙනවිත් දෙන "ඩෝබිට" හැම සුමානෙම ඇදුම් දී සෝදා මැදගැනීමට අප පුරුදු විය.


අපේ ගම කිට්ටුව අක්කා පදිංචි වී සිටිය නිසා සුමානෙකට සැරයක් අක්කා ගෙදර විත් තාත්තා හා මා ගැනද බලා යන්නට අමතක නොකලාය.


‘‘දැන් පුතාගෙ ගාල්ලේ කන්තෝරුව, කොළඹට මාරු කලොත් මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.....මේ කාලයේ කොළබ පදිංචියට යන එක හරි අවදානම්...ජපනා කොළබට බෝම්බ දානවා කියපු කාලේ ඉදන් කොළබ මිනිස්සුත් ඇත ගම් වෙලට පදිංචියට ගිය එකේ....ගමේම ඉන්න තිබුන නම් තමයි හොද....‘‘


‘‘ ඒකට කමක් නෑ….ආන්ඩුවේ රස්සාවක් හම්බුනොත් නම් මම කොළබ ගිහින් බෝඩිමක නවතිනවා…..‘‘


‘‘තනියම ?


"‘ඔව් ඉතිං තනියම ඉන්නත් පුරුදු වෙන්න එපෑ....‘‘


" ඈ....පුතේ මම අක්කගෙ මගුලෙන් ගොඩක් දවසකට පස්සෙ තමයි දැන ගත්තේ , මගුල් කපුවා ,ශාන්ත පුතාලගෙ පැත්තට, අපි ලොකු මුදලක් දෑවෑද්දට දෙනවා කියලා කියපු බව... අපි යසෝමට දුන්න මුදලට වැඩියෙන් දෙනවයි කියපු ගාන... පුතා,කන්තෝරුවෙන් ණයක් ඇරන් ශාන්ත පුතාට දුන් බවත්..…."


"ආ...ඔව්..මාත් මොනව හරි අක්කට දෙන්න එපෑ...ඒකයි."


"ඒ උනාට පුතේ...මම උබට කිව්වෙ නෑ….අක්කා දීග දෙන්න කියලා මම උඩහ ඉඩම විකුනුපු වේලේ...ඉඩමෙන් ලැබුනු මුදලින් ගානක් උබටත් ඇරන් තියලා තියෙනවා...උබගෙ මගුලක් ගන්න දවසකට ගන්න කියලා …."


"මට තාත්තගෙ සල්ලි එපා….හැබැයි තාත්තේ අපේ කන්තෝරුවේ දෙන්නෙක්ටම දැන් සුද්දා පිටරටින් ගෙනාපු කාර් තියෙනවා...මටත් ආසයි එයින් එකකට….මට අර තාත්තා ඇරන් තියපු සල්ලි ටික දෙන්නකෝ කාර් එකක් ගන්න…මගෙ යාලුවො දෙන්නෙක්ටම සුද්දා ගෙනාපු පරන ඇමරිකන් කාර් තියෙනවා...මටත් ආසයි ඒ එකකට…. මම මේ දවස්වල යාලුවොත් එක්ක යාලුවාගෙ වාහනය එලවන්නත් ඉගෙන ගන්නවා…..අනේ තාත්තේ….ඒ සල්ලි ටික මට දෙන්නකෝ...."


"උබට කාර් ගන්න නෙමේ මම ඒ මුදල් ඉතිරි කරගෙන ඉන්නේ…..ඔව්....මට ආරංචියි උබ දැන් සුද්දො යන ක්ලබ් ගානෙත් යාලුවො එක්ක රවුම් ගහන්න යනවා කියලා ...සිගරට් බොනව කියලත් ආරංචියි... .ඔන්න පුතේ මම හොදින් කියන්නේ...උබ ඔය රට බීම එහෙම බීලා මට ආරංච් උනොත් මම උබ ගෙදරින් එලවනවා ….ඇහුනද...තේරුනාද..? උබව මම ඉංග්‍රීසි ඉස්කෝලට දාලා ඉංග්‍රීසි ඉගැන්වුවේ නාස්ති වෙන්න නෙමේ….අපේ පරම්පරාවෙ වැදගත් කම තියාගන්නයි….අර මැරුන අම්මට එහෙම අගෞරවයක් වෙන දෙයක් එහෙම කරලා අහුවෙනවා නෙමේ...."


"යාලුවො එක්ක විනෝදෙට සිගරට් එකක් බිව්වට.... මම රට බීම නම් කටේ තියලා නෑ…...බොන්නෙත් නෑ....අනේ තාත්තේ මට අර සල්ලි ටික දෙන්නකො කාර් එකක් ගන්න…"


ආන්ඩුවේ කන්තෝරුවේ වැඩට යන්නට පටන් ගත් පසු,එහිදි මට අදුනගන්න ලැබුනු යාලුවො හැමොම වගේ සෙල්ලක්කාර ජීවිත ගත කරපු ඈයන් විය…. ඔවුන් සැමට කොට ගවුම් ඇද ,හුබස් මෙන් විශාල කොන්ඩ මොස්තර දා තොල් රතු කරගත් ගැහැනු යාලුවන්ද විය….උන් සැවොම සමග හවස කන්තෝරු වෙලාවෙන් පසු මමත් සුද්දෝ යන ක්ලබ් වලට යන්නට පුරුදු විය….ඒ ඔවුන් අතර කැපි පෙනෙන්න මෙන්‍ ය….


අක්කා ගෙදර නැති පාලුව නිසා වැඩ ඇරි වේලාසන ගෙදර යන්නට ඇති කම්මැලිකමට පටන් ගත් රෝන්දේ ගැසීම.....පසු කලෙක මට නොගිහින් බැරි ගතියක්ම දැනින...

ඒ ගිය වෙලාවට ක්ලබ් එකේ යාලුවො, ඔවුන්ගේ ගෑනු ළමයින් සමග හරි හරියට බීයර්, වයින් බිබි ඉංගිරිසින් විහිලු තහලු කරමින් සතුටින් ...ඇමරිකන් සිගරැට් දුම් තාලයකට අදිද්දී ….ඔවුන්ට දෙවෙනි නොවෙන්න මමත්….සිසිල් බීමක් බොමින් ඇමරිකන් ආරෙට තැනු සිගරැට් එකක් කටේ රුවා ගනිමින් හැසිරෙන්න පටන් ගත්තේ….අනිත් යහලුවන් අතරේ කැපී නොයන්නයි …..


ඉංග්‍රීසි බසින් ඉගෙන ගෙන ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් සැවොම වාගේ.... සුද්දා යන රාත්‍රි ශාලා වලට යමින් යහලුවෝ අපි ,සුද්දාට පේන්න උජාරුවෙන් හැසිරෙන්න උත්සහ ගත්තෙමු…. ඒ ගමන් වලදි අපි කලිසම් කමිස උඩින් සුද්දා මෙන් කෝට් එකද ඇදගෙන යාමටද අමතක නොකෙරුවෙමු. එලෙස පටන් ගත් මගේ සිගරැට් බීම...මට නවත්වා ගන්නට බැරි තරම් දුර දිග ගියේය. පුරුද්දට නිතර අදින සුදු කලිසම,ශර්ට් එක වගේම මගේ කමිස සාක්කුවේ හෝ කලිසම් සාක්කුවේ නිතර ඇමරිකන් සිගරැට් පැකට්ටුවක් නොවැරදීම තිබුනි.


අක්කා ගෙදර සිටින කාලයේ පටන්, සුමාන දෙක තුනකට සැරයක් ගෙදරට එන "ඩෝබි" කොලුවා...., දැන් නිතර අපේ ඇදුම් සෝදා මැද ගෙදරටම ගෙනත් දෙයි. අම්මා ජීවත්ව සිට් කාලයේ සිට හා අපි පොඩි කාලයේ පටන්...ඔහු අපේ ගෙදර ආදාට, ගෙයි ඉදිරිපසින් නොඇවිත් ගෙයි පිටිපසින් පැමින පිටුපස වැරැන්ඩාවේ කොට පුටුවේ වාඩි වී අපේ කිලිටි ඇදුම් පොට්ටනි ගසා ගෙනයාමට ලෑස්ති කර ගනී. ඔහු එනවිට ගෙනෙන, ඊට කලින් සෝදා මැද ගෙනවිත් තියෙන ඇදුම් අක්කා පරිස්සමට කාමරයෙන් ගෙන ගොස් අල්මාරියේ තබයි. ඔහුට බීමට තේ වතුර හෝ රස කැවිල්ලක් දෙන්නේ ,ඔවුන් වෙනුවෙන්ම කුස්සියේ පැත්තක අයින් කර තබන කෝප්පයකට පිගානකටය.... ඇදුම් හෝදන ඩෝබිලා පහත් කුලයක කියා, අම්මා එලෙස ඔවුන් කොන් කර තිබු කාලය පුංච් මට නම් හරි අමුතුය..

ගෙදරට විත් තාත්තාගෙ සරම් කෝට් බෑ වගේම මගේ කන්තෝරු අදින සුදු කලිසම් අත් දිග ශර්ට් "ඩෝබි" ගෙනිහින් සෝදා ගෙන විත් දෙන නිසා මම බොහෝම ලස්සනට පිලිවෙලට ඇදුම් අදින්න පුරුදු වි සිටියෙමි. මම ඇන්දේ තනිකර සුදු කලිසම් හා සුදු ශර්ට්‍ය. සමහර වැදගත් දින වලට කන්තෝරුවට සුදු කෝට් සූට්ද දාගෙන යන්නෙමි. අපේ තාත්තාත් ටුව්ඩ් රෙද්ද බැනියම සමග කෝට් බෑය දමාගෙන මිස ගෙදරින් ඉලියට නොගිය කෙනකිය. ඒ කවදත් තාත්තා ඇදපු ඇදුමය. තාත්තාට මුලු ගමේම මිනිසුන් ඉතා ඉහලින් ගරු කලේය. ඒ ගරු කිරිම නිතතින්ම අපටද ලැබුනි.


වැඩි දවසක් යන්නට මත්තෙන් තාත්තා මට, මගේ මගුලකට කියා ඉතිරි කර තිබු සල්ලි ටික දුන් නිසා ...මට මගේම කාර් එකක යන ආසාව ඉශ්ට කරගන්නට හැකි විය.…එය පරන සුද්දෙක් පාවිච්චි කරපු ඇමරිකන් වාහනයකි....ගමේ කා අතරත් ප්‍රසිද්ධ වෙද මහත්තයාගෙ පුතාගෙ කාරය කියමින්, මම එය එලවාගෙන ගම වටේ යන විට, ගමේ කවුරුත් මා දෙස උවමනාවෙන් බලද්දි මට ඇතිවන්නේ සතුටකි...... ඉතා උජාරුවෙන් එය එලවාගෙන ගම වටේ වගේම සමහර දවසට කන්තෝරුද යන්නෙමි. මම තාත්තා මෙන්ම ආඩම්බර කාර ලෙස ගමේ ජීවත් උනෙමි. ඒ සමගම මගේ සෙල්ලක්කාර ගතිද වැඩි විය. ගමන් බිමන්ද වැඩි විය. වියදමද වැඩි විය. සිගරට් බීමද වැඩි විය. ක්ලබ් එක මම ගත කරන්න කැමතිම තැන විය.

කසාද බැද වැඩි කාලයක් යන්නට ප්‍රතම අක්කාට බබෙක් ලැබෙන්න ආ නිසා, තාත්තා ඈ ගැන සුතුටු වෙනවා මෙන්ම හිතින් කරදර වෙන්නද පටන් ගත්තේය.


අක්කාගේ විවාහ දිනයේ දෑවෑද්ද ගැන ඇතිවුන ප්‍රශ්නය, වැඩිදුර නොගිහින් විසදුනා වගේම, ඉන් පසු ඔවුන් දෙදෙනා ඉතා සමගියෙන් සතුටින් ඉන්නවා දැකීම ,මට ගෙන දුන්නේ ලොකු සතුටකි....ශාන්ත අයියා අක්කාට ,ඉතා ආදරෙන් සලකනවා දකින විට මගේ හිතේ ශාන්ත අය්යා ගැන ලොකු පැහැදීමක් දැන් ඇතිවි ඇත.


‘‘අක්කට බබා හම්බවෙන්න ලඟ නිසා නරකද පුතා ටික දවසක් අක්කලාගෙ ගෙදර ගිහින් එයාගෙ තනියට එහේ නැවතිලා හිටියොත්…..හදිස්සියක් උනොත් කවුරු හරි ගෙදරත් ඉන්න එපෑ......‘‘


"මං ගියත් ඉතිං හවසට, රෑට විතරනෙ ගෙදර ඉන්නේ.. උදේම මම වැඩට යනවනේ..."


" ඒ උනාට, ශාන්ත පුතාත් ඈත පැතිවල මිනුම් කටයුතු වලට යන නිසා සුමාන ගනන් ගෙදර නෑ...රෑට කවුරු හරි ගෙදර හිටියොත් තමයි හොද....දවාලට නම් ඔය වට පිටාවේ ගෑනු යනවනේ තනියට කතා කර කර ඉදල එන්න....


ඒ යෝජනාව, මගේ යාලුවන්ගෙන් හා සුරා සූදුවෙන් මා අයින් කරන්න තාත්තා යෙදු උප්පරවැට්ටියක් බව කාලයක් ගියාට පසු මට වැටහිනි.


‘‘මං එහේනම් එහේ ගිහින් නැවතිලා වැඩට යන්නද? අක්කා ගැනත් බලන්න එපෑ..."


කවදත් අක්කට බොහෝ ආදරය කල මම එය මග හරින්නට නොසිතුවෙමි.


"මං ගිහාම තාත්තට චූටි නැන්දා එක්ක තමයි තනියම ඉන්න වෙන්නෙ…..‘‘


‘‘ආ... ඒකට මොකද...ඒකි මගේ බාල නංගි වෙච්චි, කවදත් මට ඒකී හොදට සලකනවා… අනික උබ ගෙදර හිටියයි කියලා, මම ගැන බලන්න ,උබට වෙලාවක් තියෙන එකක්ද….. කොයි වෙලෙත් රෝන්දෙ ගහනවා අර රෝද හතරෙන්...….?’’


‘‘එහෙනම් මං හෙට අනිද්දා දිහා අක්කලාගෙ ගෙදර ගිහින්, එහේ නැවතිලා වැඩට යන ගමන්,....අක්කට බබ හම්බ වෙනකම් එහේ ඉන්නද තාත්තේ ?….?’’


‘‘ඔව් ඒක හොඳයි. මං නැන්දට කියලා දුවට ගෙනියන්න මාළු ඇඹුල් තියල් එහෙම හදවලා දෙන්නම්.... තව සව් දොදොල් ටිකකුත් හැදුවොත් දුව ආසාවෙන් කයි….මාත් ලගදි ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම් කියලා අක්කට කියන්න ....‘‘

කොහොමත් මම අක්කලාගේ ගෙදර යන්නේ ගමේ ගොඬේ එළවලූ, පලතුරු හා චූටි නැන්දා සාදා දෙන කෑම බීමද කද බැදගෙනය…...


අක්කා පදිංචි වී සිටියේ අපි සිටි ගමට කිට්ටුව ප‍්‍රදේශයක වීම අපට ඉතා පහසුය. අක්කත්, ශාන්ත අයියත් පදිංචි වී සිටියේ ශාන්ත අයියලාගෙ මහ ගෙවල් කිට්ටුවට වෙන්නටය. එහි සිටියේ ශාන්ත අය්යාත් අක්කාත් පමණය.


ඇය දැන් මහත් වී සුදු වී ලස්සන වී ඇත. ඇය දරුවකු ලැබෙන්න සිටින ලකුණු පෙණුනේ ඇය ඇද සිටි ලොකු ගවුමෙනි.


‘‘ආනේ…. මල්ලි ආපු එක හරි හොඳයි.... මාත් පාළුවෙන් හිටියේ. මොනවද මේ අතින් කටින් උස්සගෙන…..අප්පේ අලුත ගත්ත කාර් එකේ එනකොට තියෙන උජාරුව..‘‘


‘‘මේ තාත්තයි, චූටි නැන්දයි බෑග් පුරවලා දුන්නෙ.. ගෙට ගෙනිහින් බලන්නකෝ. හා..හා...කෝ... කෝ... අක්කා උස්සන්න එපා. මං ගිහින් තියන්නම්.‘‘


‘‘අයියා වැඩ ඇරිලා ගෙදර එන්නෙ කීයට ද අක්කේ.‘‘


‘‘අද නම් හවස පහමාර, හය වෙනකොට අයියා ගෙදර එයි. ගිය සුමානෙ කුරුණෑගල පැත්තෙ මිනුම් වැඩකට ගිහින් සුමානයක් විතර ගෙදර ආවෙත් නෑ…. ශාන්ත අයියගෙ නංගි තමයි රෑ ඇවිත් මට තනි රැක්කෙත්.‘‘


‘‘අයියෝ මට කිව්වනම් මං එනවනේ….අක්කගෙ තනියට. මටත් දැන් ගෙදර ඉන්න කම්මැලියි...තාත්තයි නැන්දයි එක්ක.....‘‘


‘‘එහෙනම් මල්ලි ටික කාලයක් මෙහේ නැවතිලා ඉන්න.මෙහෙ ඉදන් බැරියෑ වැඩට යන්න.... ගෙදර ඉදන් යනවට වඩා ලගයිනේ...මට ආරංචියි දැන් වාහනේ ඇරගෙන රෝන්දේ ගහන්න, සිගරැට් බොන්න පුරුදු වෙලා කියලා…

මෙහෙ ඉන්නව නම් ඒවා ඔක්කොම නවත්තලා මගේ තනියට ඉන්න වෙයි..., වැඩ ඇරුන හැටියේ ගෙදර එන්න ඕනේ...‘‘


‘‘ අක්කේ….මං ආන්ඩුවේ ලිපිකරු විභාගයටත් ලිව්වා. ලඟදීම ප‍්‍රතිඵල එයි…. ඒ එනකම් ඉතිං මට මෙහෙ අක්කත් එක්ක ඉන්න පුළුවන් අක්කගෙ තනියට….විභාගෙ හොදට පාස් උනොත් මට කොළබට මාරුවක් ලැබෙයි...පඩිත් වැඩි වෙලා...‘‘


‘‘ඒක හොඳයි….එහෙම උනොත්...මේ ගාල්ලේ යාලුවො ටික නැතුව පිලිවෙලකට ජීවත් වෙන්න පුලුවන් ...කට්ටිය එක්ක රස්තියාදුවේ යනව කියලා තාත්තා හොදටම කළකිරිලා ඉන්නේ…."


"හරි හරි ..ගෙට ගොඩ වුනා විතරයි...අක්කා,.කියවන්න තියාගත්තනේ…."


". එහෙනම් එන්න තේ බොන්න….ඇග හෝදගෙනම එනවද….මල්ලී.‘‘


හවස වැඩ ඇරී ගෙදර ආ ශාන්ත අයියා මා දැක ගොඩක් සතුටු විනි.


"කොච්චර දෙයක් ද මල්ලි ආපු එක... දැන්නම් යසෝමට පාළු නැති වෙයි…..


මම අක්කලාගෙ ගෙදර මාස දෙක තුනක් ම නැවති ඇගේ තනියට සිටියේ යුතුකමක් ලෙසය. ඒ කාලයේ බොහෝ දුරට මගේ හිටි යාලුවො මගෙන් දුරස් වී ගිය අතර, ක්ලබ් යන ගමන්ද නැතිව් ගියේ හවස් වෙනකොට අක්කා මා එනකම් මග බලාන උන් නිසයි. ...


ශාන්ත අයියා අක්කාගෙ සැමියා මිනින්දෝරු රැකියාවක් කළ කෙනෙකු බැවින් මා හට ඔහු සමඟ විවිධ ප‍්‍රදේශවල මිනුම් වැඩ බලන්නට යන්නට අවස්ථාව ලැබි තිබුනි.... ඒ ගිය විට මිනින්දෝරුන්ගෙ කූඩාරම්වල මහ කැලේ ගෙවන ජීවිතය ගැන ද අවබෝධයක් ලබා ගැනීමට මා හට හැකි විය. ඉතා නිසංසල වන අරන වල, ගම්බද පැතිවල රජයේ කැලෑ, පාරවල්, ඉඩම් මනින්න යන ශාන්ත අයියා ඇතුළු මිනින්දෝරුවන් සමඟ මා හට විවේක ඇති වේලාවන්වල දී ගොස් ඔවුන් සමඟ නැවතී ඉද එන්නේ විනෝද ගමනක් ගිය ආකාරයටය. මා එය කරන්නෙ ඉතා ආසාවෙනි.


අක්කාට කුළුදුලේ ලැබුනේ ගැහැනු දරුවෙක්‍ ය….පවුලට මුලින් ගැහැනු දරුවකු ලැබීම වාසනාවන්ත යැයි ශාන්ත අය්යාගෙ අම්මා කීවාය....ඇයට පළමු දරුවා ලැබුණු පසු මා ඇයට උදව් කරමින් තව දුරටත් එහෙ නැවතී සිටියේ ගාල්ලේ රැකියාවට යන ගමන්‍ය.


තාත්තා හා චූටි නැන්දා බැලීමට අවස්තාව සාදාගත්තේ සෙනසුරාදාට හෝ ඉරිදාටය. මා ගමේ එනවාට තාත්තාගෙ වැඩි කැමැත්තක් නැති බව මට තේරුම් ගොස් තිබුනි.... ඒ මගේ පරන පුරුදු යාලුවො මුන ගැසෙවි යැයි බියෙන් වෙන්නට ඇත.

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page