top of page

💞බැද්දේ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 24, 2020
  • 7 min read

(16 වෙනි කොටස )

මම ජුවානිස් හා ගුණදාස කළුතර ටවුමෙන්, රුවන්වැල්ලේ බසයට නග්ගවා නැවත ආවෙමි. ගෙදරට එන විටත් මාළි, සුනිලා සමග අපේ කාමරයේ ඇද උඩ වාඩි වී කතා කරමින් හිදින්නේ පරන හොද යහලුවන් දෙදෙනෙකු ගානටය.


සුනිලා උදේ සිට ඇදන් සිටි කහ මල් සාරිය ගලවා කොට රැලි ගවුමක් ඇදගෙන කොන්ඩේ කඩා දමා හිදියි....මේ දැන් ඇය නාගෙන ඇවිත් බව පෙනේ.... මල් ගවුමට ඇති ඇගේ හැඩ රුව ,ලස්සන වෙන කවර ඇදුමකටවත් මට නම් නොපෙනේ.... ඇයගෙ මුහුනේ, හැඩරුවේ.... ඇති ගැමි සුන්දරත්වය, අහිංසක පෙනුම, ඕන තරම් වේලා බලා සිටිය හැක. ....

සුනිලා නිසා.මාළිලාගෙ ගෙට අලුත් හදක් පායා ඇති ගානයි....


මාළි සැහැල්ලුවෙන් ඇය සමග කතා කරමින් සිටිනා හැටි දකින විට මට ඇති වන්නේද සතුටකි.


"ආ...අක්කලා නංගිලා වගේ නේ මේ දෙන්නා.. මොනවද සුනිලා කියන්නේ මාළි......"


මම එසේ කියමින් ඔවුන් අතරට ගියේමි. සුනිලා නිසා මුළු ගේම එලිය වැටි ඇතැයි මට සිතේ....ඇගේ සුන්දරත්වය වගේම ඇගේ සිහින් හිනාව මේ ගේ තුල තිබුන පාලුව මැකි ගොස් ඇත.


සුනිලා සමග කතා කරමින් සිටිනා මාළි, මා ආ නිසා සතුටින් ඉපිලි හිදින බව පෙනේ.........නමුත් ඇයගේ මුහුනේ ඇග පතේ ඇත්තේ දැඩි විඩාපත් අසනීප ගතියකි....ඇය ගැන මට කනගාටුවක් ඇති වෙයි. ඇය අප දෙදෙනාගෙ දරුවා බිහිකිරිමට අපහසුවෙන් පසු වෙන අයුරු කනගාටුදායකය....


"මේ සුනිලා කියනවා මෙහෙ දිගටම ඉන්න ආසලු....මම කිව්වා මේ පලාතෙ කෙනෙක් කසාද බැදලා මෙහේ එන්න කියලා ....අපේ අම්මලාට කිව්වොත් හොද මණමාලයෙක් සුනිලට හොයලා දෙයි...."


"අපෝ...ඔව්, සුනිලට හොද මණමාලයෙක් මෙහෙන් හොයා ගන්න් බැරියැ...."


" අපේ තාත්තලා රුවන්වැල්ලේ බස්සෙකට නැග්ගුවාද අය්යා....?


"ඔව්....ඒ ඔක්කොම හරි. හවස පහ හය වෙනකොට ජුවානිස්ලාට ගම යන්න පුලුවන් වෙයි....."


"අපේ ගුණදාස අය්යට නම් ගෙදර යන්න ඕනම වෙලා තිබුනේ...මොකද අය්යාගෙ ලොකු පුතා අය්යා ගෙදර එනකම් බලන් ඉන්න නිසා... නෝනා නැන්දට ඒ ළමයා තනියම බලාගන්න බෑ .....අපිව තනියම එවන්න බෑ කියලනේ ඔය අය්යා අපිත් එක්ක කොළබ ආවේ..."


මා කාමරයට ආ කල සුනිලා, වාඩිවි සිටි ඇදේ ,මාළි හිටි තැනින් නැගිට කාමරයේන් එලියට යන්න ලෑස්ති විය...


"අපි අද හවසට මුහුදු වෙරලේ ඇවිදින්න යමු සුනිලා ආස වෙයි මුහුදු වෙරලේ ඇවිදින්න....දැන් ටිකක් මහන්සි අරින්නකෝ සුනිලගෙ කාමරයට ගිහින්...."


"මට මහන්සියක් නෑ අක්කා... ඊටත් මට දවල්ට නිදාගෙන පුරුද්දකුත් නෑ....මම කුස්සෙයෙ වැඩ කරන ලුසියා අක්කා එක්ක ටිකක් කතා කරලා එන්නම්කෝ.... "


"අප්පෝ....ලුසියට කවුරු හරි කතාකරන්න ඉන්නවා නම් ඊට වඩා දෙයක් නෑ....


මාළි මම ගෙදර ආ නිසා....සතුටින් ඉන්නා බව පෙනේ....මම ඇය ලගට ගිය කල ඇය මගේ අතින් අල්ලාගෙන මගේ ඇගට තුරුල්විනි......මා මෙහි එන හැම දවසකම මා සමීපයේම හිදිමින් , එහෙ මෙහෙ නොයා මා පසුපසම දැවටෙන ඇය,.....සතුටින් හිදියි. මා නිතර ඇය ලඟ නැති නිසා, පාලුවෙන් සිටිනා ඇය , මාගෙදර ආ කල, ගෙදර වැඩ කරන අයට කියා මගේ ඕනෑ එපා කම් හොදින් බලවයි.... විශේෂ කෑම බීම සාදවාගෙන මට සංග්‍රහ කරයි. මාළිගෙ නිවසට ආ කල ඇය මගේ ඇදුම් සෝදා මැද පිලිවෙල කර දෙයි..... ඇයට මගේ වැඩරාජකාරි කිරිමට නොහැකි උනත්, ඇය ඒවා වෙන අය ලවා කරවා දෙයි.... මට ඇය ගැන ඇත්තේ දුකකි. ....


දැන්නම් ඇය දරුවා ලැබෙන්න ලං වී ඇති නිසා ඉතා අපහසුවෙන් පසුවෙයි....ගෙදර හැමෝම ඇයට විශේෂ ලෙස සලකමින් ඇගේ ඕනෑඑපාකම් බැලිම මට සතුටකි. ඇය කොළබ මා සමග සිටියානම් මේ කිසි පහසුකමක් සැලකිල්ලක් ඇයට නැති වන නිසා, මම ඇය ඇයගේ දෙමව්පියන් සමග සිටිම ගැන සතුටුවන්නෙමි.


‘‘ඔයාට කොහොමද දැන්.....?ඇගට අමාරුද..?. දිනත් ලඟයි නේ ...ද? ඔයාට බබා හම්බවෙන්න ලංවුනාම...මං නිවාඩු දාලා අන්තිම සුමාන දෙකේ මෙහේ ඇවිත් නවතින්නම්.‘‘


‘‘අනේ ඒක හොඳයි..... මට නම් දැන් බයයි දරුවා හම්බ වෙන්න යන්නත්......‘‘


‘‘මොනවට බය වෙනවද ඔය හැම ගෑණු කෙනෙක්ට ම ළමයි හම්බ වෙන්නේ.‘‘


‘‘මේ මගේ පළවෙනි දරුවනේ ඒකයි බය......‘‘


‘‘ඇඳුම් එහෙම ලෑස්ති ද මාළි....? තව මොනව හරි ඕන නම් කියන්න මං ගෙනත් දෙන්නම්.‘‘


‘‘නෑ... මං අම්මත් එක්ක හැමදෙයක් ම ලෑස්ති කරගත්තා.‘‘


‘‘අපි අද මුහුදු වෙරළේ ඇවිදින්න යමුද? සුනිලත් කැමති වෙයි ඒ පැත්තෙ යන්න.‘‘


‘‘දැන් ඉතිං සුනිලත් ඉන්න නිසා ඔයා නිතර නිතර ටිකක් වත්ත පිටියේ ඇවිදින්න යන්න. ඒක ව්‍යායාමයටත් එක්ක හොඳයි.....නිතරම ඇදට වෙලා ඉන්න් එපා...‘‘


‘‘ඔව්.... වින්නඹු නෝනත් කිව්වා මට නිතර ඇවිදලා ගෙදර වැඩ එහෙම කරගෙන ඉන්න කියලා.... ඒ උනාට මට හරි කම්මැලියි, නිදාගන්නවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න හිතක් නෑ.‘‘


හවස මාත්, මාළිත්, සුනිලත් මුහුදු වෙරළේ ඇවිදින්න ගියෙමු...... මාළිලාගේ ගෙවල්වල සිට හැතැප්ප භාගයක් පමණ ඇවිද ගිය කල කළුතර මුහුදු තීරය දකින්නට ලැබේ..... අප තිදෙනා හවස් වරුවේ එහි ඇවිද මුහුදු සුළං විඳිමින් කාලය ගත කළෙමු..... සුනිලා පොඩි දැරියක සේ සිප්පි කටු ඇහිදමින් ඒවා එකතු කරයි..... ඇය මටත් මාළිටත් නිදහසේ ඉන්න හැර ඇය තනියම මුහුදු රැල්ල පාගමින් සිප්පි කටු ඇහිදමින් පුංචි දැරියක් සේ විනෝද වෙයි......


‘‘මොකටද ඔය සිප්පි කටු. ?


‘‘මේ මං ගමේ ගෙනියන්න කියලා ඇහිද ගත්තේ..... ගමේ ඈයන්ට මේවා දකින්න ලැබෙන්නෙ නෑනේ....ගිහින් පෙන්නන්න ඕනේ මුහුදු වෙරලේ තිබිලා මම ඇහිදපුවා කියලා .....‘‘


‘‘සුනිලා මෙහෙට කැමති ද?’’


‘‘අනේ ඔව් අක්කේ..... මං හරි ආසයි මුහුුදු වෙරළට. ...කොළඹටත් ආසයි. ....හැබැයි හරිම නිදහස් මේ පැත්ත ....අර බලන්නකෝ... අර ඈත බෝට්ටු යන හැටි. මං ඔය ඒවා දැක්කමයි.‘‘


‘‘ඒ මාළු බෝට්ටු..... හවසට තමයි මාළු අල්ලන අය මුහුදු යන්නේ..... ඔය යන බෝට්ටු රෑට මුහුදේ මැද්දට ගිහින් ...මාළු දැල් එලලා මාළු අල්ලගෙන, හෙට එළිවෙන කොට තමයි ගොඩබිමට එන්නේ.‘‘


‘‘ඉතිං කොහොමද ? කරුවලේ මාළු අල්ලන්නේ.‘‘


‘‘බෝට්ටුවල පැට්ට‍්‍රල් මැක්ස් ලාම්පු තියෙනවා. මුහුද මැද්දට ගිහින් බෝට්ටු, පාරු නවත්තලා දැල් දාලා තමයි මාළු අල්ලන්නේ. ඉක්මණට මාළු අහුවුණොත් එළි වෙනකම් ඉන්නෑ. වේලාසන ගොඩට එනවා.‘‘


‘‘අනේ මටත් ආසයි මාළු අල්ලනවා බලන්න යන්න.‘‘


‘‘අපෝ ගෑණු අයව ඒ අය එක්ක යන්නෙ නෑ. කිලි කියලා..... එතකොට මාළු අල්ල ගන්න බැරුව යනවලූ.‘‘


‘‘ඉතිං දැන් ඔය යන අයට රෑ කෑම එහෙම අරන් ද යන්නේ.....‘‘


‘‘අපෝයි ඔව්.... රෑට බත් විතරක් නෙමේ ඔය බෝට්ටුවල හාල්, තුනපහ, භූමිතෙල් එහෙම ඇරගෙන යනවා..... මාළු අහුවුණේ නැති වුණොත් දවස් දෙක තුනක් හරි බෝට්ටු ඇතුළෙම උයාගෙන කාලා මාළු අල්ලගෙන ම තමයි ගොඩබිමට ආපහු එන්නෙ. වතුර එහෙම බොන්න ඇති වෙන්න ගෙනියනවා.‘‘


හවස් වරුවෙම අපි මුහුදු වෙරළේ ඇවිදමින් සිට ගෙදර ආවේ රෑ වෙන්න කිට්ටු වෙද්දිය. ....ගෙදර ආ සැනින් සුනිලා කුස්සියට ගොස් උයන අම්මාට උයන පිහන වැඩවලට උදව් කරන්න විය. මාළි මා ලඟින්ම ඉඳ ගෙන මා සමඟ ආ ගිය තොරතුරු කතා කරයි....ඇයට මා ගෙදර ඉන්න දවසට ඇත්තේ ලොකු සතුටකි..... මාළිගෙ පියා එදින මාතර ගොස් පැමිණියේ දැන්ය. ඔහුට ජුවානිස්ලා හමු වීමට බැරි වීම ගැන ඇත්තේ කණගාටු වකි.


දින දෙකක් මාළිලාගේ ගෙදර නැවතී සිට මා නැවත කොළඹ ආවේ, වැඩට යෑමට අවශ්‍ය බැවිනි.... මා කොළඹ මාගේ නිවාසයට නොගොස් අක්කලාගෙ ගෙදර ගියේ කුලී නිවසේ තනියම සිටින්න අකමැති බැවින්ය.


මාළි මට සුමානෙකට සැරයක් විතර ගෙදර විස්තර, ඇයගෙ විස්තර දන්වා ලියුම් එවයි..... එය ඇය දරුවා හම්බ වෙන්න ගෙදර ගිය දිනයේ පටන් කරන්නකි. ඇය දෙමව්පියන් සමඟ යන ගමන්බිමන් නෑදෑයින්ගේ විස්තර දන්වා ලියුම් එව්වත් මා හට ඒවාට උත්තර ලියන්න වෙන්නෙ එහෙමත් දිනකය..... මා සුමන දෙක තුනකට සැරයක් ගොස් ඇය බලා එනවා මිස ලියුම් ලියමින් සිටීමට අකමැතිය. සුනිලා එහි නැවතුන පසු මාළි ඉතා සතුටෙන් ගත කරන බව ඇගේ ලියුම්වලින් මට දැනින.


‘‘අපි ගිය සුමානේ කළුතර බෝධිය වඳින්න ගියා...... සුනිලා අපි යන හැම ගමනකටම ඉතා ආසාවෙන් සහභාගී වෙනවා. සුනිලා මට ගෙදර වැඩ මුකුත් කරන්න දෙන්නෑ,.... මගේ හැම වැඩක් ම ඇය කරල දෙනවා. මට විතරක් නෙමේ අම්මටයි, ලූසියා නැන්දටයි උයන පිහන වැඩවලට ද උදව් වෙනවා. අම්මා සුනිලට හරි ආදරෙයි. මං හිතන්නෙ මටත් වඩා අම්මා දැන් සුනිලට ආදරෙයි වගේ. මගේ පරණ ඇඳුම් සපත්තු විතරක් නෙමේ අලූත් ඒවත් අපි එයාට ඇරන් දුන්නා..... සුනිලා මටත් ඉස්සර උදෙන් ම නැගිටලා වත්ත පිටිය අතු ගානවා. මල්වලට වතුර දානවා. ඒවාට සාත්තු කරනවා. අපේ ගෙදර සුනිලා නිසා එළිය වැටිලා. සුනිලා කිව්වා එයාට ගෙදර ගිහින් තාත්තා, අයියලා බලලා එන්න යන්නත් ඕනේ කියලා..... ඒත් අම්මා කිව්වා මගේ දරුවා හම්බ වෙන්න ලඟ නිසා තව ටිකක් ඉඳලම යන්න කියල. සුනිලා ඒකට කැමති වුණා. සුනිලා තාත්තාට ගමට ලියුමක් ද දැම්මා.... දැම්ම එන්න වෙන්නෙ නෑ කියලා. සුනිලාගෙ තාත්තා ද ලියුමක් එවා තිබුණා මට දරුවා ලැබුණු පසුව ගමේ එන්න කියලා. සුනිලා නම් අපේ ගමේ නෑදෑයෝ හැමෝම එක්ක දැන් එකතුයි. නෑදෑයෝ හැමෝම සුනිලට කැමතියි. හොඳ ගතිගුණ තියෙන සීදේවි දරුවෙක් කියල තාත්තත්, සුනිලා මෙහේ ඉන්නවට කැමතියි..... සුනිලා මට නංගි කෙනෙක් වගේ උදව් කරනවා. ඔයාටත් ස්තූතියි සුනිලා නංගිව අපේ ගෙදර එක්ක ගෙන ආවට.....’’ මාළි මට ඇගේ දිග ලියුම්වල සුනිලා ගැන විස්තර නිතර ලියා එවන්නේ එසේය..


"සුනිලට ගමේ කවුරුත් හරි කසාද බදින්න කෙනෙක් එහෙම හිටියේ නැද්ද...?


"ඉන්නවා මාළි අක්කේ.....අපේ තාත්තලා කතා කරලා ලෑස්ති කරපු කෙනෙක් ....අපේ තාත්තා මට ගෙදර එන්න කියලා ලියුමක් දාලා තියෙන්නෙත් එයාගෙ උවමනාවට තමයි ....මය හිතේ..."


"ඉතිං...දැන් සුනිලාගෙ කසාද බදින වයසත් හරිනේ.....කසාද බැන්දනම් හොදයි නේ....."


"ඒක තමයි ...එයාට කිසි ඕන කමක් නෑ...මාව කසාද බදින්න ...උන්දැගෙ අක්කා කසාද බැන්දට පස්සෙලු මාව කැන්දන් යන්න පුලුවන් ....අපට ඉන්න වෙනම ගෙයක් හදන්න ඕනලු....එක එක දේවල් කියනවා...මම ඒ කේන්තියටත් එක්ක තමයි කොළබ ඇවිත් නැවතුනේ....තාත්තලා මට එයාව ජෝඩු කරාට මම එයාට එච්චර කැමති නෑ...."


"ඒ උනාට මට දරුවා හම්බුන් ගමන් සුනිලා ගමේ යන්න .....හොද නෑනේ ..."


"ඔව් මාත් එහෙම තමයි හිතාගෙන ඉන්නේ...."


සුනිලා කලුතර ඇවිත් මාසයක් වගේ කාලයක් ගෙවී ගියේ හරි ඉක්මණින්ය. මාළිට දරුවා ලැබෙන්න තියෙන සුමානය මුල දීම මා සුමාන දෙකකට කන්තෝරුවේන් නිවාඩු දමා කළුතර ගියෙමි. මාළිගේ ගෙදර ගියේ ඇයව බලා ගෙන දරුවා ලැබෙනකම් ගමේ නවතින්න හිතාගෙනය......


මාළි ඇතුළු ගෙදර සියල්ලන්ම අලූත එන පවුලේ සාමාජිකයා පිළිගන්න සැරසී හිදිති...... කුළුඳුලේ ලැබෙන්න සිටින දරුවා දකින්න මාත්, මාළිත් පෙරුම් පුරමින් සිටින්නෙමු . මා ගමේ ගියේ මාළිට හා දරුවාට අවශ්‍ය කරන දේ කොළඹින් ද රැගෙනය...


මාළිගෙ පුංචි අම්මාගෙ දුවත් ඒ වනවිට නුවර සිට පැමින් මාළිගෙ තනියට ඇයගේ ගෙදර නැවති සිටියාය ..... ඇය නමින් ජයන්ති විය. ජයන්ති , සුනිලා, මාළිට වඩා වෙනස් කෙනෙක් විය. ඇය තවමත් පොඩි දරුවෙක්, කොළුවෙක් ලෙස හැසිරෙයි...චංඩි කතාබහ, එහෙ මෙහේ දුවමින් ගස් උඩ නගිමින් ඇය පොඩි ළමෙක් ලෙස හැසිරෙයි...... මාළි , සුනිලා හා ජයන්ති නිතර එකමුතුව සිනාමුසුව ගේ තුලත් පිටතත් හොද යෙහෙලියන් තිදෙනෙක් ලෙස හිදියි..... ඇයද කසාද බදින වයසට ආ කෙනෙකිය.... සුනිලා හා ඇය නොනවත්වා විහිලු තහළු කරමින් කතා කිරිම නිසා, මාළිගෙ අසනීප ගති නැතිවුන ගානය.


"අනේ.. ..සුමල් අය්යේ දැන් අක්කට බබා හම්බුනාට පස්සෙ කොළබ එක්ක යනකොට මාවත් එක්ක යන්න කොළබ .. ...මම මාළි අක්කට බබා බලා ගන්න උදව් කරන්නම්....එතකොට අය්යට ලේසියිනේ...."


"දැන් මේ සුනිලත් කොළබ එනව කිව්වේ...."


"ඒක හොදයි දෙන්නම කොළබ එන්න...එතකොට මට ලේසියි.. ..

"

"දැන් නංගි කසාද බදින්නෙ නැද්ද ..? දැන් නම් හොද වයස..."


"කෝ ඉතිං අය්යගෙ කන්තෝරුවේ යාලුවෙක් හරි මට හොයල දෙන්නකෝ...මම නාකි වෙන්න ඉස්සර ...අපේ අම්මලාට කිසි උවමනාවක් නෑනේ මාව කසාද බන්දලා දෙන්න...."


"ඔයා ඔය කොල්ලෙක් වගේ ඉන්න විදිහට නම් නංගිට හොද මිනිහෙක් කැමතිවෙන එකක් නෑ.....


මම මාළිට දරුවා ලැබෙන්න සුමානයක් තියා කන්තෝරුවෙන් නිවාඩු දමා කළුතර ගිය නිසා...මාළි, ජයන්ති හා සුනිලා හරි සන්තෝශයෙන් මා වට කරගෙන කතා කරයි. දැන් දැන් සුනිලාද ජයන්ති ,මාළි මෙන් කට වාචාල වී ඇතැයි මට සිතේ...ඇයද ඔවුන් දෙදෙනා මෙන් මට විහිලු තහලු කරයි...කෙසේ හෝ මාළි දරුවා ලැබෙන්න සිටින අපහසු අමරු තත්ත්වය අමතක කරමින් ඔවුන් දෙදෙනා සමග සතුටින් සිටිම මට සතුටකි....


‘‘ඔයා ආස දුවෙකුට ද පුතෙකුට ද?’’ මාළි මම ඇය ලගට ගිය විට නිතර අසයි....


‘‘මට නම් කවුරු වුණත් කමක් නෑ....හොද නිරෝගී දරුවෙක් තමයි ඕනෑ.‘..‘


‘‘මට නම් හරි බයයි දරුවා හම්බ වෙනවා මතක් වෙනකොටත්.....මෙහෙම හිටියට මගේ ඇඟට පණ නෑ, හුස්ම ගන්නත් අමාරුයි. දරුවා ඕනෑවටත් වඩා හැදිලා කියල වින්නඹු අම්මා කිව්වා. මං ඉතිං ගෙදර දොරේ වැඩ කරන්නෙත් නැති නිසාලූ දරුවා ඕනෑවටත් වඩා හැදිලා තියෙන්නේ.....‘‘


‘‘ඇයි ඉතිං අම්මලා ඔයාට වැඩි ආදරේට ඕනෑවටත් වඩා කන්න දෙනවනේ.... ඒ නිසා තමයි ඔය තරම් මහත් වෙන්නෙත්....අනික ගෙදර කිසි වැඩක් කරන්නෑ....එහෙම බෑ..දරුවෙක් හම්බවෙන්න ඉන්නවා කියන්නේ ලෙඩක් නෙමේ....සාමාන්‍ය විදිහට වැඩපල කරගෙන ඉන්න ඕනේ...නැත්තම් දරුවා හම්බවෙන්න ගිහාම තමයි අමාරුවෙන්නේ....‘‘


ගෙදර අපි හැමෝම මාළට දරුවා ලැබෙන ලකුනු පහල වෙනකම් නොවිසිල්ලෙන් බලා සිටියෙමු......නමුත් මාළිට දරුවා ලැබෙන්න තිබුන දින පසු වුණත්, ඇයට දරුවා ලැබෙන ලකුණු පහළ නොවූවාය.... නමුත් මාළි සිටියේ ඉතා අපහසුවෙන් ය. මූණ ඉදිමී කකුල් ඉදිමී ඇය ඇවිදින්නේ ද ඉතා අපහසුවෙන් හෙමින් හෙමින්ය..... ඇය දකින විට ගෙදර සැවොටම ඇති වන්නේ දුකකි. දරුවකු ලැබෙන්න සිටින අම්මලා සැවොම මෙහෙම වෙන්න ඇතැයි මම සිතුවෙමි.


-සදුදාට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *


‘‘

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page