💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Sep 24, 2020
- 8 min read
(14 වෙනි කොටස )
‘‘මං තාත්තගෙන් අහල කියන්නම්. මං නම් ගමේ ජීවිතයට ආස නෑ..... මං ආසයි කොළඹ මේ කළබල ජීවිතයට .....මෙහේ නවතින්නත් කැමතියි......‘‘
‘‘මේ පාර සුනිලලා ගමේ යන්න ඉස්සර ඔක්කොමලා අපේ නෝනලගෙ ගමේ යමුද.....? නෝනට බබා හම්බ වෙන්න ලඟයි...... එයාගෙ තනියටත් එක්ක සුනිලා එහේ නැවතිලා ඉන්න..... බබා හම්බ වුණාට පස්සෙ මං එයාව කොළඹ එක්ක එනවා. එතකොට සුනිලට අපිත් එක්ක කොළඹ නවතින්නත් පුළුවන්......‘‘
නොයෙකුත් දේ කතා කරමින් අප සංදර්ශන භූමිය පුරා ඇවිද එදා දවස ම සතුටින් ගත කර රෑ ගෙදර ගියෙ සංදර්ශනය බලන්න ලෑස්ති කර තිබු විශේෂ ලංගම බස් සේවාවෙනි.......
ඉන් පසු දින මම ජුවානිස් හා ගුණදාස සමග කොළබ කච්චේරියට ගොස් ජුවානිස්ගෙ කොළබින් කරගන්න ආ වැඩය කර දුන්නෙමි......
ඉන්පසු දින දෙකක් ම කොළඹ සත්තු වත්තට, ග‍්‍රහලෝකාගාරයට, මුහුදු වෙරළ බලන්න ගියෙමු. කොළඹ අවට සිරි නැරඹූ ජුවානිස්, ගුණදාස සහ සුනිලා සතුටින් සිටියෝය.
සුනිලා ගමේ ජීවිතයට එතරම් කැමැත්තක් නොතිබුණි..... ඉතා දුශ්කර ගම්මානයක ජීවත් වුණ ඇය නිතර දෙවේලේ හම්බවන පත්තර පොත් ආදිය කියවා කොළඹ ගැන දැනගෙන තිබුණ කෙනෙකිය.... කොළඹ ගොස් පැමිණ තිබූ ගමේ මිනිසුන්ගෙන් ද ඇය කොළඹ ගැන අසා දැන ගෙන තිබුණි. කොළඹ බලන්න යන්න අඬ ගැසූ සැනින් ඇය පියත්, සහෝදරයත් සමඟ කොළඹ බලන්න ආවේ කොළඹ යන්න වෙන අවස්ථාවක් නො ලැබෙන බැවින් යැයි මට සිතේ..... ඇයව දන්න කියන කිසිම කෙනෙක් කොළඹ එක්ක ගෙන ගොස් නො තිබුණු බැවින් ඔවුන්ට මා විශේෂ කෙනෙක් විය.
‘‘උබලා කොච්චර පෙරුම් පිරුවද කොළඹ එන්න. මේ පාර තමයි අපට අවස්ථාවක් හම්බ වුණේ......නේද පුතේ...... මහත්තයාට පින් සිද්ධ වෙනවා.... උබලව කොළඹ එක්ක ගෙන ඇවිත් ලස්සන පෙන්නුවාට..... මෙන්න මේ කෙල්ල නිසා තමයි මං වැඩියෙන් ම කොළඹ එන්න ලෑස්ති වුණේ.‘‘ ජුවානිස් කීවේය.
‘‘ඇත්තමය මහත්තයා මහතත්යාට පිං සිද්ධ වෙනවා අපිව කොළඹ බලන්න එක්ක ආවට.‘‘
‘‘සුනිලා මට මහත්තයා කියන්න ඕනේ නෑ. අයියා කියලා කතා කරන්නකෝ.‘‘
‘‘එහෙම හොඳ නෑනේ.‘‘
‘‘ඒකට කමක් නෑ. සුනිලා මට අයියා කියන්නකෝ..... මං ඔයගොල්ලන්ව තව එක්ක යන්න හිතන් ඉන්නවා සත්තු වත්ත බලන්න. තව මුහුදු වෙරළ බලන්න. තව ගොඩක් තැන් තියෙනවා බලන්න ඉතිරි දවස් දෙකේ අපි තව කොළබ ඇවිදිමු....මම කන්තෝරුවෙන් නිවාඩුත් ගත්තා ජුවානිස්ලා ආපු නිසා.....‘‘
‘‘ඇත්තද අයියේ කොච්චර දෙයක් ද අපි කොළඹ ආපු එක.....අය්යා කන්තෝරුවේ වැඩත් පාඩු කරගෙන....‘‘ සුනිලා කට පුරා මට දැන් අයියා කියා කතා කරයි.
‘‘හැබැයි මහත්තයා, අපිට වැඩි දවසක් නම් ඉන්න බෑ. මට හේනේ පැල බලාගන්න කිය ආපු මනුස්සයත් දවස් හතර පහකට වඩා ඉන්න බෑ කිව්වා.‘‘
‘‘තව දවස් දෙකක් හිටිය නම් මුළු කොළඹ ම බලාගෙන යන්න පුළුවන්. කොහොමත් මටත් වැඩිය නිවාඩු නෑ. ඔයගොල්ලො යන්න ඉස්සර අපි කලුතර ගිහින් මගේ නෝනවත් බලලාම යමු......‘‘
‘‘ඒක නම් හොඳයි අපට තව පළාතක් බලා ගන්නත් පුළුවන්...... මහත්තයාගෙ නෝනවත් බලා ගන්න පුළුවන්.‘‘ ජුවානිස් තව රට තොට ගැන බලාගන්න ආසාවෙන් පසු වෙයි.
‘‘අපි හෙට උදේට සත්තු වත්ත බලන්න යමු.‘‘
‘‘ගොඩක් දුර ද අයියා... සත්තු වත්තට...මොක්කුද අපි දැකලා නැති සත්තු.....‘‘ සුනිලා ආසාවෙන් අසයි.....
"ගිහිල්ලම බලාගන්නකෝ....නෑ... එක බස් එකයි. හැබැයි අපට දවල්ට කන්න මොනව හරි ඇරගෙන යන්න ඕනැ......‘‘
‘‘ ඕක මොකද්ද මං උදෙන් ම නැගිටලා අපට දවල්ට කන්න බත් උයා ගන්නම්. මොනවද අයියා කන්න කැමති. මං ඕන දෙයක් රසට උයල ගන්නම්.‘‘
‘‘සුනිලා මොනව ඉව්වත් රසයිනේ..... ඔයාට කැමති දෙයක් උයල ගන්න..... මොනවද සුනිලා අද රෑට කන්න තියෙන්නේ. මට සුනිලා ඉන්න නිසා හරි ලේසියි....මේ දවස් දෙක තුනේ මාත් රසට කෑවා....‘‘
සුනිලා අපේ ගෙදර ආපු දිනයේ පටන් උයන්න භාර ගත්තේ මගේ කැමැත්ත අකමැත්ත ද නොඅසාය..... ඇය ගෙවල් දොරවල් අතු ගා..., උදේට උයා පිහා, වලං පිඟන් හෝදමින් ගෙදර සියලූ වැඩ කරන්නේ ඉතා ආසාවෙනි.
‘
‘අපේ ගමේ වගේ නෙමේනේ අයියේ..... වතුර ටික ටැප් එක ඇරියම කුස්සියෙ ඇතුළෙම තියෙනවා..... දර පත්තු කරන්න ඕන නෑ.... ලිප දාපු ගමන් කරන්ට් එකෙන් පත්තු වෙනවා..... ලාම්පු පත්තු කරන්න ඕන නෑ. විදුලි බුබුලූ පත්තු වෙවා..... කොච්චර ලේසි ද? අනේ ඇත්තමයි අපි ගමේ දී කොච්චර මහන්සි වෙනවද....? වතුර කල ගෙඩි උකුලෙ තියාන පීල්ලට හරි, ඇල්ලට හරි යන්න ඕනෑ වතුර ගේන්න...... ලිප පත්තු කරන්න දර හොයා ගෙන එන්න කැලේ යන්න ඕනේ..... හවස් වෙනකොට කුප්පි ලාම්පු පත්තු කරන්න ඕනේ.... ගමේ වගේ ද මෙහේ කොයිතරම් ලේසිද හැම දෙයක්ම.....? ඇත්තමයි අයියේ මං නම් ආයි ගමේ යන්න ආස නෑ..... මට මෙහෙන් රස්සාවක් හොයල දෙන්න අයියේ.....‘‘
‘
‘රස්සාවල් නම් ඉතිං හොයන්න ලේසි නෑ..... සුනිල ටික දවසක් අපේ නෝනා ලඟට ගිහින් ඉන්නකෝ. එයා ඔයාට පස්සෙ රස්සාවක් හොයල දෙන්නම්.....‘‘
‘
‘ඇත්තමයි තාත්තේ මං නම් ආයි ගමේ යන්න ආස නෑ..... මං මේ අයියට කියල කොළඹ රස්සාවක් හොයා ගන්නවා.‘‘
‘‘උඹ ඉතිං පොඩි කාලේ ඉඳන් කොළඹ යන්න ඕනේ... ඕනේ... කිය කියානේ හිටියේ..... උඹ කොළඹ තනියම නැවත්තුවොත් ගමේ මිනිස්සු මට දොස් කියයි. ගෑණු දරුවෙක්ව කොළඹ අත් ඇරලා ආවා කියාල.‘‘
‘‘තනියම නෙමේනෙ මං ඉන්න හදන්නෙ. මේ අයියගෙ නෝනා ලඟනේ..... අනේ තාත්තෙ මං කොළඹ ටික කාලයක් නැවතිලා ඉඳල ආයේ ගමේ එන්නම්......‘‘
‘‘අපි ඉස්සෙල්ලා නෝනව බලලා එමු.....නෝන උඹව නවත්ත ගන්න කැමති ද බලමුකෝ..... කවද්ද මහත්තයා අපි මහත්තයාගෙ නෝනව බලන්න යන්නේ.‘‘
‘‘අපි අනිද්දා යමු..... හෙට සත්තු වත්ත බලන්න ගිහින් හවස එන ගමන් කොළඹ ගෝල්ෆේස් එකත් බලාගෙන එමු..... මටත් වැඩිය නිවාඩු නැති නිසා අනිද්දා උදේන් ම අපි කළුතර යමු නෝනා බලන්න.....‘‘
‘‘අයියේ රෑ කෑම ලෑස්තියි..... මං වැඩිය මොනව හැදුවේ නෑ. බතක් උයල, පොල් සම්බෝලයක් හැදුවා. දවල්ට උයපු මාළුත් තියෙනවා ඇති නේද?‘‘
‘‘ඇති... ඇති... අපි එහෙනම් අද ඉක්මණට කාලා නිදා ගමු. ..... එහෙනම් සුනිලා උදේට නැගිටලා මොනව හරි උයල ගන්නව ද, සත්තු වත්ත බලන්න යන්න.‘‘
‘‘හොඳයි අයියා. මං උයල ගන්නම්.‘‘
සුනිලා ඉන්නෙ පුදුම සතුටකිනි..... ඇය ගෙයි එහෙ මෙහේ දුවමින් ගෙයි වැඩ කරන්නේ වැඩිහිට කෙනෙකු ලෙසය. ගමේ දුෂ්කර ජීවිතයක් ගත කළ ඇයට කොළඹ සැප පහසු ජීවිතය හිතා ගන්න බැරි තරම්ය..... ගෙයින් එළියට නොගොස් කුස්සියෙ ඇතුළෙම තියෙන වතුර පයිප්පය ඇය වැඩියෙන් ම ආස කළ දෙයයි...... සිවිලිමේ එල්ලෙන විදුලි බුබුලූ දිහා ඇය බලා සිටින්නෙ පුදුමාකාර ආසාවකිනි. මුළු ගෙයිම බිමට දමා ඇති රතු මැදපු සිමෙන්තිය ඇය රෙදි කෑල්ලක් දමා හොඳින් දිලිසෙන්නට මැද්දේ ඇය මෙහි ආ දෙවන දිනයේය..... ඇය නිතර ම ගෙයි බිම වාඩි වී කකුල් දෙක දිග ඇරගෙන වාඩි වී හිදියි.
‘‘ඇයි මේ... සුනිලා බිම වාඩි වෙලා.‘‘ මම ඇය පුටුවෙන් වාඩි නොවී බිම සිටින විට අසන්නේ පුදුමයෙනි.
‘‘මැදපු සිමෙන්ති පොළවේ මං හරි ආසයි වාඩි වෙලා ඉන්න. බිම හරි සීතලයි. හරි පිරිසිදුයිනේ..... තාත්තයි, අයියයි රෑට බිම රෙද්දක් දාගෙන නිදාගන්නෙ හරිම ආසාවෙන්....කොහොමත් ගමට වඩා රස්නෙ නිසා බිම වාඩිවෙලා ඉන්න කොටත් සනීපයි......‘‘
‘‘ඒක තමයි ඊයේ රෑ මං බැලූවා ජුවානිසුයි, ගුණදාසයු මොකද මේ සාලේ මැද්දෙ බිම රෙදි දාගෙන නිදාගෙන ඉන්නෙ කියල.....‘‘
‘‘ගමේ වගේ නෙමේ මහත්තයා මේහෙ එළියත් රසනෙයි. බිම නිදා ගත්තහම ඒ රස්නෙ අඩුවෙලා යනවා.....‘‘
සුනිලා ගෙයි තිබෙන වැඩිපුර කාමරයේ නිදා ගනියි..... මං අනිත් කාමරයේය. ජුවානිස් සහ ජුවානිස් ඇඳුම් ඇඳ ගන්න සුනිලා සිටින කාමරයට ගියත්, වැඩිපුර සිටින්නෙ ගෙදර සාලයේය..... ජුවානිස් සහ ගුනදාස නිතර හේනේ වැඩ මතක් කරමින් සිටින්නෙ ගමේ යන්නෙ කවදාද බලමිනි. ....සුනිලා නම් කොළඹ නවතින්නෙ කෙසේ දැයි සිතමින් හිදියි.....
.
ගෙදර තිබෙන රේඩියෝ එක ලඟ වාඩි වී ජුවානිස් සහ ගුණදාස එයට ඇහුම්කන් දෙන්නෙ කැමැත්තෙනි..... ගමේ රේඩියෝ තිබෙන ගෙවල් ඇත්තෙම නැති තරම් ය. ඔවුන්ට රේඩියෝ එක සුපෝපභෝගී භාණ්ඩයක් සේය.
පසුදින අප උදේ ආහාරය ගත් පසු දවාලට සුනිලා සකසා ගත් බත් මුල් ද වතුර බෝතල් දෙකක් ද රැුගෙන සත්තු වත්ත බලන්න ගියෙමු.......
දෙහිවල සත්තු වත්ත ලඟින් බසයෙන් බසිනවත් සමඟ නොයෙකුත් සතුන්ගෙ හඬවල් ඇසී සුනිලා ගුණදාස හා ජුවානිස් සිටියේ නොවිසිල්ලෙනි.
‘‘අනේ අයියෙ සත්තු වත්තෙ හැමතැනම සත්තු ඇවිදිනව ද? මට නම් බයයි. සිංහයොත් ඉන්නවද.....අපේ ගමේකැලෑව වගේද.....?‘‘ සුනිලා බයෙන් හා කුතුහලයෙන් අසයි.
‘‘නෑ... නෑ... නපුරු සත්තු ඉන්නෙ ලොකු ගල් ගුහා වගේ හදපු කූඩුවල..... අනිත් හැම සතෙක් ම වගේ කූඩුවල තමයි ඉන්නේ. දැන් අපි ටිකට් ඇරගෙන ඇතුළට ගිහාම බලා ගන්නකෝ සුනිලා නොදැක්ක සත්තු හැම එකෙක්ම වගේ මේකේ ඉන්නවා.....‘‘
‘‘ටිකට් ගන්නත් ඕනද සත්තු බලන්න.....‘‘
‘‘ඔව්... ඒ සල්ලිවලින් තමයි සත්තු වත්ත පවත්වා ගෙන යන්නේ..... සත්තුන්ට අවශ්‍ය කෑම බීම, සත්තු වත්තේ සත්තු බලාගන්න ඉන්න අයට පඩි නඩි ගෙවන්නෙත් මේ සත්තු වත්ත බලන්න එය අය ගන්න ටිකට්වලින් තමයි.....‘‘
අපි සත්තු වත්තේ විශාල ගේට්ටුවෙන් ඇතුල් වුණේ නොයෙකුත් සතුන්ගෙ හඬවල් මධ්‍යයේ ය.
‘‘අනේ අර බලන්නකෝ අර කොක්කුන්ගේ කකුල් තැඹිලිම තැඹිලි පාටයි. අර ඉරි ඉරි ඇගේ තියෙන සතා මොකාද අයියේ.‘‘
‘‘ඒ සීබ‍්‍රා... මේ වෙලාවට සීල් මාළුවාගේ සංදර්ශනයක් තියෙනවා. අර... අර... මිනිස්ස යන්නෙ ඒක බලන්න. එන්න අපිත් යමු සීල් මාලුන්ගෙ සංදර්ශනය තියෙන මණ්ඩපය ලඟට.‘‘
‘‘හරි ලස්සන තැනක්..... පඩි පෙලේ ඉදගෙන සීල් මාළුවාගෙ සර්කස් බලන්න හදපුම තැනක්.‘‘
‘‘හරි ලස්සන අමුතු සතෙක් අර බලන්නකෝ බෝලේ කටේ තියාන උඩට දාලා අල්ලන විදිහ.‘‘
‘‘අනේ අර බලන්නකෝ .....අපේ ගමේ කැලේ ඉන්න වඳුරෝ, රිලව්වත් කූඩුවල දාලා මිනිස්සුන්ට බලන්න.....‘‘ සුනිලා ගුණදාසට පෙන්වා හිනහෙයි...
‘‘ඒක තමයි මී මින්නෝ, මොණරු, උලමෝ, බකමූණෝ, ඌරෝ අපේ ගමේ වතුවල ඉන්න සත්තුත් මේ කූඩුවල දාලානෙ. මේ අය පෙන්නල සල්ලි ගන්නේ.‘‘
‘‘අර මී හරකුත් ඉන්නවා..... එළ හරකුත් ඉන්නවා.‘‘ ජුවානිස් එසේ කියා කට වසාගෙන හිනාවෙයි.
‘‘එහෙම තමයි ජුවානිස්ලා.... ගමේ ඉන්න සත්තු දැකල තිබුණට මේ කොළඹ මිනිස්සු ඒ සත්තු දැකල නෑනේ..... කොළඹ මිනිස්සු සල්ලි ගෙවල තමයි ඒ සත්තු දැක බලා ගන්නේ.‘‘
‘‘ඔව්... මහත්තයා අපිත් නොදැකපු සත්තු ගොඩක් බලා ගත්තා. ඒක හරි වටිනවා.‘‘
‘
‘අපි එහෙනම් කොහේ හරි වාඩි වෙලා කෑම කමුද....? දැන් හොඳට ම දවල් වුණා. හවස දෙකට අලි නැටුම් බලන්නත් තියෙනවා..... ඊට ඉස්සර අපි කාලා ඉමු.‘‘
‘‘අලි නටනවා මං කවදාවත් දැකල නෑ අලි කුලප්පු වෙන්නෙ නැද්ද මහත්තයා...... අපි නම් ඉතිං වල් අලි එන කොට කැලේ කඩන් දුවල ගිහින් හැංගෙනවා..... ඒ ඇරෙන්න සමන් දේවාලේ පෙරහැරේ යන අලි තමයි අපි දැකල තියෙන්නේ.‘‘
‘‘ඇයි වලව්වේ අලි දෙන්නා.‘‘ ගුණදාස ජුවානිස්ට මතක් කර දෙයි.
‘‘ඔව්... මහත්තයා අපේ පහළ ගමේ වලව්වේ මහත්තයා ලඟ අලි දෙන්නෙක් ඉන්නවා. උන්ට හරි වියදමක් වලව්වේ නිලමේ කරන්නේ. ... අලි බලා ගන්න එකත් ලේසි පාසු වැඩක් නෙමේ.‘‘
අපි ගස්වලින් හෙවන වී තිබුණ තැනක බංකුවල වාඩි වී, දවාලට සුනිලා උයා කෙහෙල් කොළවල ඔතා ගෙනවිත් තිබූ බත් කෑවේ හොඳට ම බඩගිනි වූ පසුය.
‘‘සුනිලගෙ බත් මුල හරිම රසයි..... කෙහෙල් කොලේ ඔතල තියෙන නිසා තවත් රසයි.‘‘
‘‘බත් මුල් බඳින කොට කිරි දාල උයන හොඳි මාළු, සම්බෝල දමන්න හොඳ නෑනේ. ඉක්මණට නරක් වන නිසා, ඒ නිසයි මං පරිප්පු හින්දලා පොල් මැල්ලූමුයි කට්ට කරවල තෙල් දාල ගත්තේ..... කෙහෙල් කොළ කපා ගත්තෙ ගෙදර වත්ත පල්ලෙහා තිබුණ කෙහෙල් ගසෙන්.‘‘
‘‘ඒක තමයි මං කල්පනා කළා කොහෙන්ද කෙහෙල් කොළ කියල. මට අමතක වුණානේ....කෙහෙල් ගස් ටික......‘‘
"‘‘තාත්තා තමයි මට උදේ බත් මුල් බඳින්න කෙහෙල් කොළ කපල ගෙනත් දුන්නේ......‘‘
දවල් කෑමෙන් පසු අපි අලි නැටුම් බලන්න සංදර්ශණ භූමියෙ වාඩි වී බලා සිටියේ නොවිසිල්ලෙනි. .....සංදර්ශනය පටන් ගැනීමට පේළියේ ආපු අලි දැක මිනිසුන් අත්පුඩි ගසන්න විය. පේළියේ මුළින් ම ආපු සත්දන්ත අලියා පෝස්ටරයක් කටින් එල්ල ගෙන ආවේය...... එහි ගසා තිබුණේ අපේ සංදර්ශනය බලන විට කැමරාවලින් එළි පිට නොවන ලෙස ඡුායාරූප ගන්න අපට කරදර නොකර සංදර්ශනය බලන්න කියායි...... දෙවනුව ආ අලියා කටින් පිඹින නලාවක් වාදනය කරමින් පැමිණියාය. අලි හත් දෙනෙක් ආ පෙරහැරේ අන්තිමට සිටියේ අලි පැටවුන්ය...... දකින්න ලස්සන සංදර්ශනයේ අලින්ව මිනිසුන් අත් පුඩි ගසමින් පිළිගත්තෙ ඉතා ආසාවෙන් හා නොවිසිල්ලෙනි. ඉතා ලස්සන මැජික් සංදර්ශනයක් සේ පුදුම හිතෙන නැටුම් ඉදිරිපත් කළ අලීන් දිහා හැමෝම පුදුමයෙන් බලා සිටියෝය.
සත්තු වත්තේ සිරි නැරඹූ අප ඉන් පසුව ගියේ කොළඹ ගාලූ මුවදොර පිටිය බලාය.
‘‘අනේ මුහුද මෙච්චර ලස්සන යැයි මම හිතුවේ නෑ..... කොච්චර බලාගෙන හිටියත් මදි...... නාන්න හිතෙනවා....අපි මුහුදු රැල්ල පාගමුද....?‘‘
‘‘මුහුදු වතුර ටිකක් බෝතලයකට ගෙනියන්න ඕන මහත්තයා ගමේ අයට පෙන්නන්න.‘‘
‘‘ආ... අපි බොන්න වතුර ගෙනාපු බෝතලයට එහෙනම් වතුර ටිකක් පුරවගෙන යන්න.... .‘‘
‘‘මුහුදු වැලි ටිකකුත් ගෙනියන්න ඕනේ. අපි කොළඹ ආපු ගමන මතක් වෙන්නත් එක්ක.‘‘
‘‘අපි අයිස්ක‍්‍රීම් කමුද....?’’ මං සුනිලගෙන් ඇසූ සැනින් ඇය දත් පෙන්නා සතුටින් සිනාසුනාය.
‘‘අද දවසේ අපි ගොඩක් දේවල් බලාගත්තා. මහත්තයාට පිං අපිව මේ වගේ වටින කියන දේවල් බලන්න එක්ක ආවට. සල්ලි වියදම් කළාට අපි වෙනුවෙන්...අපි ලගත් සල්ලි තියෙනවා මහත්තයා ...ගමෙන් එනකොට වියදම් කරන්න ඇරගෙන ආපු ඒවා වියදම් උනේම නෑනේ.....‘‘
‘‘ ඕව මොනවද මටත් සතුටුයි කොළඹ දැකල තිබුණ නැති අයට කොළඹ පෙන්වන්න පුළුවන් වීම.‘‘
අපි එදින දවසම ඇවිදලා සත්තු වත්ත නරඹා මුහුදු වෙරළද නරමා සතුටු විණි. ඈත දුෂ්කර ගමක ජීවත්වන අහිංසක තාත්තයි, දුවයි, පුතයි කොළඹ එක්ක විත් ඔවුන්ට විශේෂ ජීවිතේට නොදැකපු දේවල් බලන්න එක්ක එන්න ලැබීම මට සතුටක් විය.
‘‘ගමේ ජීවිතේට වඩා මේ ජීවිතේ, මේ පළාතට මං හරි කැමතියි.‘‘ සුනිලා සතුටින් උදම් වී ඇත. ගමේ ගොඬේ දැරියක් වුණත් ඇය, කොළඹ ආපසු එහි ජීවත් වෙද්දී කොළඹ ජීවිතයට හැඩ ගැහෙන ලෙස ඇඳුම් පැළඳුම් අඳියි... කතා බහ කරයි.., හැසිරෙයි. ඇය ගමේ මිනිසුන්ගෙන් දැන ගෙන ඇති ලෙස කොළඹ දී හැසිරිය යුතු විදිය පියාට සහ අයියාට ද මට හොරෙන් සැරෙන් සැරේ ඇඟිල්ලෙන් ඇන ඇන කියා දෙයි.
‘‘තාත්තේ ඔය බුලත් විට ගෙදර දී විතරක් කන්න. පාර දිගේ බුලත් විට කකා යන්න එපා.‘‘ ඇය ජුවානිස්ට සැර කරයි.
‘‘කමක් නෑ බුලත් විට කෑවට ඒ උනාට බස්වල යනකොට කෙල ගහන්න විදිහයක් නෑනේ. ඒ නිසා පාරේ එහේ මෙහ යනකොට සුනිල කියන විදිහට නොකා හිටියොත් තමයි හොඳ?’’
‘‘ඒක තමයි අයියේ මං මේ තාත්තට කිව්වේ. මහත්තයාලගෙ ගෙදර වුණත් මිදුලෙ අතන මෙතන කෙළ ගහන්න එපා කියල.... මං තාත්තට පොල්කට්ටක් දුන්නා කෙළ ගහල පස්සෙ වැසිකිළියට ගිහින් දාන්න කියල.‘‘ සුනිලා ජුවානිස් කෙළ ගහන එක ගැන ද සිතා ඇත.
‘‘ඔය... ඔය... සරම කැහැපට ගහගෙන යන්න එපා තාත්තේ. කොළඹ ආව නම් කොළඹට ගැලපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ.....‘‘
සුනිලා කොළඹ ජීවත් විය යුතු විදිහ ගැන ඕනෑවට වඩා සිතා බලා කටයුතු කරයි. හැසිරෙයි. අයියාට හා තාත්තාට ද ඒ ගැන කියා දෙයි.
‘‘අපි කොළඹ බලන්න තියෙන ගොඩක් දේවල් බලාගත්තා මහත්තයාට පිං......‘‘ ජුවානිස් නිතර ඒ ගැන මතක් කරයි.
‘‘මටත් වැඩිය නිවාඩු ගන්න විදිහක් නෑනේ. ආයෙත් පාරක් ජුවානිස්ලා කොළඹ එන්නකෝ මං තව නොගිය තැන් බලන්න එක්ක යන්නම්.‘‘
‘‘අපෝ මේ මදෑ මහත්තයා...... අපි බලාගත්ත ඒවා..... දැන් ඉතිං ගමේ මිනිස්සු අපි ගමේ ගිහාම එයි කොළඹ විස්තර අහන්න......‘‘ ගුණදාස ද ඉඳහිට කතා කරයි..... ඔහු වැඩි කතා බහකට කැමති කෙනෙක් නෙමේ..... නමුත් අවට සිරි බලමින් ඔහු හොඳ කල්පනාවෙන් ජීවත් වෙයි.... ඔහු ද සුනිලා මෙන් කොළඹ ජීවත් විය යුතු ආකාරය ගැන ඕනෑවට වඩා හිතමින් හැසිරෙයි. පිළිවෙලකට කතා කරයි.
හෙට හමුවෙමු
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments