top of page

බැද්දේ කුමරිය

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 24, 2020
  • 10 min read

(13 වෙනි කොටස )


මම දින දෙකක්ම මිනුම් වාඩියේ ගත කොට නැවත කොළඹ බලා ආවේ සඳුදා උදෙන්මය. මා කොළඹ එන්නට ප‍්‍රථම ජුවානිස් මා හමුවන්න පැමිණ කිව්වේ ඔහු කොළඹ කච්චේරියේ වැඩය කරගන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නා බවත්... ඒ ගැන දන්වා මට ලියුමක් එවන්නම් කියායි.... ඔහු මගෙ කොළබ ගෙදර ලිපිනයද ඉල්ලා ගත්තාය .


සති සන්තයේ කලුතර මාලිගේ නිවසට ගිය මට.....මාළිගේ උදරය තව ඉදිරියට නෙරාවිත් කකුල් ඉඳිමී බෙල්ල වටා තද කළු පැහැ ගැන්වී, ඇය තවත් තරබාරු වී සිටිනු දැක ගත හැකි විය. ඇය ඉතා අපහසුවෙන් ඇවිදියි. ඇයගෙ මවත් මෙහෙකාරියනුත් ඇයගේ අතට පයට උදව් කර දෙයි.... ඇයගෙ මව ඉතා ඕනෑකමින් ඇයට ඇප උපස්ථාන කරමින් ඇය පසුපසම හිදියි..... නොයෙකුත් කෑම වර්ග හදා කන්නට දෙයි.... ඇයව පන්සල් එක්ක යයි, ළගපාත ඇවිදින්න එක්ක යයි...... ඇයට සියලූම සැප පහසුකම් ලැබෙන නිසා, ඇය දැන් මාහා කොළඹ යාමට අකමැති යැයි මට සිතේ....ඇය දැන් අපහසුවෙන් ඉන්නා තත්ත්වය අනුව, මටද ඇය කොළබ කැදවාගෙන යෑමට නොසිතේ.... රැකියාවට යන ගමන් මට ඇයගේ ආවතේව කටයුතු කොහෙත්ම කල නොහැකි බව මම දනිමි. ඇයගෙ දෙමව්පියන් සේවකයින් ඇයට සලකන ආකාරයට මට කෙසේවත් ඇය බලාකියා ගැනිමට නොහැකි උනත්....මගෙ වගකිම ඇය මගේ ගෙදර කැදවාගෙන යෑම නිසා මම ඇයට ගෙදර යන්නට කතා කලෙමි.


‘‘අපි ගෙදර යන්නෙ නැද්ද මාළී....? ගෙදර පාළුවට යනවා.....‘‘ මං ඇයට ගෙදර යන්න කතා කළෙමි.


‘‘ගෙදර ගිහින් කොහොමද....? කවුද මට උදව් කරන්නෙ.....ඔයාට බෑනේ හැමදාම මට කෑම උයල පිහලා ගෙවල් අස්කරලා දෙන්න....ඔයත් වැඩට යන්න එපෑ.... ඊටත් දවස් දවසට මම තනියම ගෙදරනේ....හදිස්සියක් උනත් කවුරුත් ගෙදර නෑනේ.....ඊටත් මම කොළඹ ඉන්න ආසත් නෑ.... එහේ හරිම රස්නෙයි.... ටැප් වතුර පාවිච්චි කරන්න මම ආසම නෑ.... මම මේ ඉන්න විදිහට බබා හම්බ්වෙනකම් අම්මලා එක්ක ඉන්නම් .. . පස්සෙ බබා හම්බුනාම කොළබ එන්නම්...... ඔයා වැඩට ගිය වෙලාවක මට අමාරු උනොත් උදව්වටවත් කවුරුත් නෑනේ.......‘‘ මාළි කොළඹ යාමට අකමැත්තෙන් කීවාය.


‘‘ඒක තමා සුමල් පුතා.... දරුවා හම්බ වුණාට පස්සෙම මාළි කොළඹ ගියොත් නේද හොඳ......? දුවගෙ තනියටවත් කවුරුත් එහේ නෑනේ......‘‘

ඇගේ මව ද ඇයගේ පැත්තට කතා කරයි. මට හැමදාම අක්කලාගෙ ගෙදරට වෙලා ඉන්නටත් බැරිය..... කුලී නිවාසය නිතර ම වසා දමා කුලීය ගෙවන එකත් අපරාදේය........ ටික දවසකට හරි මම කුලි නිවාසයේ තනියම හරි පදිංචියට යනවා . ....එහි පාලු යන්නත් එක්ක යැයි මා තනියම සිතුවෙමි.


මම මාළිගෙ දුක සැප බලා දින දෙකක් එහි නැවති ඉද......කලුතර සිට කෙලින්ම කොළබ කුලී නිවස බලා ආවෙමි..... කුළී නිවස උනත් පාලුවට යාමට දීමට නොහැක .... තනියම උයාපිහාගෙන කා මෙහි සිට රැකියාවට යන්නට සිතා ගත්තෙමි.....අක්කලාගෙ ගෙදර සිට පැයක් එකාහමාරක් කෝච්චියේ වැඩට , යෑමත් මට එපා වි ඇත.... මම නැවත කොළබ එද්දි....මාලි මට අතේ ගිනියන්න පුලුවන් ප්‍රමානයට හාල් තුනපහ ලෑස්ති කර දුන්නේ....මම තනියම කුළී නිවසේ උයාපිහාගෙන කා එහි සිට වැඩට යන බව ඇයට කිව්වාට පසුයි....


කොළබ කූලි නිවස කිසිවෙක් නැති නිසා පාලුවට ගොස් ඇත.....මම ගෙවල් දොරවල් අස්පස් කර මිදුලද අතුපතුගා පිලිවෙලට අස්පස් කරගෙන එහි සිට වැඩට යන්න පටන් ගත්තෙමි.....උදේ පාන්දර නැගිට බතක්, පරිප්පු, බිත්තර ,කරවල වැනි දෙයක් සාදාගෙන මම දවල්ට බත් මුලක්ද මුල් දිනවල ගෙනගියෙමි. ටික දවසක් එසේ කැම උයාගෙන කාපු මම පසුව කන්තෝරුව ලග කඩේකින් තුන් වේලම කෑම කන්න පටන් ගත්තේ ...උයන්න කම්මැලි කමටය.


සුමාන දෙකකට විතර පසු මට ජුවානිස් එවා තිබු ලියුමක් ලැබුනි...... එම සුමානෙම සෙනසුරාදා හවස දෙක වනවිට කොළඹ පිටකොටුවේ, බස් නැවතුමට ඔවුන් එනවා යැයි කියා ජුවානිස් එවා තිබූ ලියුම දැක මට පුදුම සිතිනි.......


මම සිකුරාදා වැඩ ඇරී වේලාසන ගෙදර ගොස් නිල නිවාසය පිරිසිදු කරන්නට විය.... අප අලූත එම නිවාසයට පදිංචියට ආ බැවින් ඒ හැටි ගෘහ භාණ්ඩ ද එහි නොතිබිණි. කාමර දෙකෙන් සමන්විත නිල නිවාසය මා අතුපතු ගා පිළිවෙලකට අස්පස් කළේ සුනිලාද කොළබ එන බව සිතින් සිහිපත් කරමිනි...... ඇගේ පැමිණීම මතක් වෙද්දී මගේ හිතට අමුතුම හැඟීමක් ඇති වී නැති වී යයි. අමාරුවෙන් එය වලකා ගත් මා දින ගණනකින් උයා පියා නොතිබුණ කුස්සියට අවශ්‍ය හාල්, තුනපහ බඩු ලඟ කඩෙන් ගෙනත් තැබුවේ සුනිලා ඇතුළු අනිත් අයට සංග‍්‍රහ කිරීමට ය.


සෙනසුරාදා උදේ රැයින් නැගිට වත්ත පිටිය ද සුද්ද කළ මා බතක් උයා, පරිප්පු තෙම්පරාදු කර කෙලවල්ලන් මාළු උයා තක්කාලි සම්බෝලයක් සෑදුවෙමි...... මාළි දරුවා ලැබෙන්න ආ මුල් කාලයේ ඇයටත් එක්ක කෑම උයා පිහා දීමට පුරුදු වූ මට දැන්, තනියම උයා ගැනීමට හැකිය.


ගෙදර පාළුවට යන බැවින් සුමානයකට දෙකකට නිල නිවාසයට මා පදිංචියට යන බව පවසා අක්කලාගෙ ගෙදරින් පිට වුන මා සුනිලා ඇතුළු අනිත් අය කොළඹ එන බව කාටවත් නොපැවසූවෙමි. ශාන්ත අයියාට ජුවානිස් කොළඹ යන බව පවසා ඇති නමුත් ඔවුන් මෙතරම් ඉක්මනට කොළඹ ඒවි යැයි අයියාද සිතනු නැත.


සෙනසුරාදා කොළඹ කොටුව ස්ටේෂමට මා යන විටත් ජුවානිස් හා ඔහුගේ පුතාත්, සුනිලාත් මා එන තෙක් ස්ටේෂමේ බංකුවක වාඩි වී සිටිනු මා ඈත දීම දැක්කෙමි. මල් වැටුණු සාරියක් ඇඳ සිටි සුනිලා අද මට මහ ගෑණියක් ලෙස පෙනෙයි..... මා දුටු වහාම ඔවුන් තිදෙනාම සතුටින් ඉපිල ගිය බව පෙනින........ ජීවිතේට කොළඹට ඇවිත් නැති සුනිලා අතරමං වේ යැයි ඇය බියෙන් සිටින්නට ඇත.


‘‘ආ... ජුවානිස් මාමේ. ගොඩක් වෙලාද ඇවිත්..... මට පොඞ්ඩක් බස් එක පරක්කු වුණා. . කොහොමද ගමන මහන්සිද..? මොනවද මේ බරටම උස්සාගෙන ඇවිත් තියෙන්නෙ.‘‘


‘‘අපි මේ ගමේ පළතුරු , එළවළු ,හකුරු, කෙසෙල් එහෙම මහත්තයාට ගෙනාවා....සුනිලා කැවුම් හැලප එහෙමත් හදාගෙන ආවා......‘‘


‘‘අනේ මොකට මහන්සි උනාද....? යං... යං...ඉක්මනට තව බස් එකකින් යන්න තියෙනවා අපේ ගෙදර.‘‘


ජුවානිස් අප්පුහාමි ,සුනිලා හා ඇගේ වැඩිමහල් සහොදරයා කොළබ ඇවිත් තිබුනේ....ජුවානිස්ගෙ කච්චේරියේ වැඩය කර ගැනිමට හා කොළබ ටිකක් ඇවිද ඒවා දැකබලා ගැනිමටද කියා මට සිතේ


අපි නිවසට යන විට හවස හතරට ලං විය. ඔවුන්ට ගෙදර තිබෙන වැඩිපුර කාමරය පෙන්වා නාන කාමරයේ වතුර පයිප්ප පවා පාවිච්චි කරන විදිහ මට පෙන්වා දීමට සිදුවිය......


"තුන් දෙනාට දවල්ට කෑම කන්නත් බැරි වෙන්න ඇතිනේ....මම බත් උයලා තියෙන්නේ....මූණ කට හෝදගෙන ඇවිත් බත් කාලා ඉන්න... කෑම.මේසෙට නම් ඇරියෙ නෑ....මට ඕවා තේරෙන්නේ නෑ....සුනිලා තාත්තටයි, අය්යටයි බත් බෙදල දෙන්නකෝ......"


"හා මහත්තයා ....අපරාදේ මහත්තයා මහන්සි ත් වෙලා අපි නිසා...."


"ඕක මොකක්ද ....ආගන්තුකයින්ට අපි හොදට සලකන්න ඕනනේ...."


ජුවානිස් සහ ගුණපාල මූණ කට සෝදා ගෙන විත් මා උයා තිබූ බත්, සුනිලා පිගනෙටම බෙදා දුන් කල කන්නට විය....ඔවුන් උදේ පාන්දරින් ගමේ සිට ආ නිසා දවල්ට කෑම කන්නට නොලැබෙන්න ඇතැයි සිතා මම කෑම උයා තබා තිබුන එක හොදට ගියාය..... කෑම උයා තැබුවත් ඒවා මේසයට අරින්න තරම් දැනීමක් මට නොතිබුණි.


‘‘ඇයි සුනිලා කන්නෙ නැද්ද?’’


‘‘මට තවම බඩගිනි නෑ මහත්තයා..... අපි බස් එකේ එනකොට වඬේ කෑවා..... මං නාගෙනම ඇවිත් කනවා. හරි දාඩියයි....මෙහේ හරි රස්නෙයි.....‘‘


"එහෙනම් සුනලා ගිහින් නාගෙන එන්න...."


ජුවානිස් බත් කා සාලේ පුටුවක වාඩිවී ඇස් පියාන ඉදියි....උදේ පාන්දරින් ආ නිසා ඔහුට මහන්සි ඇතියි සිතේ . ....ගුණදාස ගෙයින් එලියේ අඹ ගහ යට බංකුවෙ වාඩිවී සිටින්නේ උඩුකයට කමිසයක්ද නැතුවය. මොවුන්ට මේ කොළබ , ගමේ සිසිලස හොදටම නැති බව දැනි ඇති ගානය....


සුනිලා නාගෙන කොණ්ඬේ පිට දිගට මුදා හැර වතුර බේරෙන්නත් දමා ගෙන, අත් බෝරිච්ච දම් පාට, සුදු පාට මල් ගවුමක් ඇඳ කුස්සියට ආවේ බත් කන්නටය.....ඇගේ සුන්දරත්වය මම ,අනිත් දෙදෙනාට හොරෙන් විඳගත්තෙ හිතේ සතුට උතුරා ගලා යද්දීය...... මුළු ගේම අද එළිය වී ඇත..... සුනිලා ගේ එහා මෙහා යන විට මුළු ගේ ම පිරී ඇත්තේ වාසනාවන්ත සිරියාවකිනි. සිරියාකාන්තාව මගෙ ගෙදරට වැඩම කල ගානය....


"කෑම රසද සුනිලා ....මම දවල් උයලා තිබ්බේ සුනිලලා බඩගිනි වෙලා එයි කියලා හිතලා....."


"හරි රසයි මහත්තයා ....අපි නිසා ගොඩක් මහන්සි වෙලා......වෙනස් රසක්....හැමදාම මම උයන ඒවාමනේ මට කන්න වෙන්නේ....අද ඒ නිසා ගොඩක් රසට කෑවා....කොච්චර හොදද මහත්තයාට උයන්න පුලුවන් වෙච්ච එක...."


"මොකද හිතෙන්නේ කොළබ ගැන සුනිලා ....?


"තාම ආවා විතරනේ.... මහත්තයා ....මම නම් කැමතියි ....මිනිස්සු ගෙට වෙලා තම තමන්ගෙ වැඩ...ගමේ වගේ ඕපාදූප හොයහොයා ඇවිදින්නෙ නෑ වගේ....


"මට මහත්තයා කියන්න ඕන් නෑ සුනිලා ....මට අය්යා කියන්න ..."


"බලමුකෝ...

පුරුද්දට කියවෙනවා....


"කොහොමද ජුවානිස් අප්පුහාමි කොළබ ...?


‘‘මම නම් මේ සුලඟත් අමුතුයි මහත්තයා...... ගමේ උන් කියන්නෙ කොළඹ කොන්ක‍්‍රීට් වනන්තරයක් වගේ කියලනේ. ඇත්තටම රස්නෙයි තමයි අපේ පැත්ත තරම් හුළෙඟ් සනීපයකුත් නෑ..... ඊටත් වැඩිය මේ වාහන සද්දෙ තමා ඉවසන්න බැරි.....‘‘ ජුවානිස් කියා ගෙන කියා ගෙන ගියේය. ඔහුට නම් දැනටත් කොළබ එපාවුන ගානය. ඔහු උඩුකයට ඇදුමක් නැතුව සරම් පිටින් ඉන්නේ....රස්නෙ වැඩි නිසා වන්නට ඇත.


එදින රෑ වනවිට ගෙයි ලයිට් දැම්ම වෙලේ නම් සුනිලත්, ජුවානිසුත්, ගුණදාසත් පුදුමයෙන් වගේ විදුලි බුබුළු දිහා බල බල සිටියේ පොඩි උන් ලෙසය.......


"අප්පේ මේ එලිය පලාතම එළිය වැටුනා....බලන්නකෝ දවල් වගේ හරි ලේසියිනේ වැඩ රාජකාරි කරගන්න ..."


"දැන් ගමට පාර කැපුවහම ජුවානිස්ලගෙත් ගමටටත් කරන්ට් එක එයි...."


"එහෙම උනොත් නම් හරි ලේසියි...පොඩි ළමයි ඉන්න් තැන්වල හරි කරදරයි , බයයි කුප්පි ලාම්පු පත්තු කරගෙන ඉන්න එක....

"

නාන වතුර මල් ,වතුර ටැප්, ලයිට්, දිලෙසෙන සිමෙන්ති පොළොව, හොඳින් සිමෙන්ති උලා සුදු තීන්ත ගා ඇති බිත්ති හැමදෙයක් ම ඔවුන්ට ඇති කළේ පුදුමයකි.


‘‘සුනිලා මේ පැත්තට ආස ද?’’


‘‘ඔව් මහත්තයා. මං හරි ආසයි. ....අලූත් දේවල් බලන්න.... අපි දැන් කවද්ද ප‍්‍රදර්ශනය බලන්න යන්නේ.‘‘


‘‘අද ප‍්‍රදර්ශනය පටන් ගන්නෙ..... අපි හෙට උදේට කාලා යමු. දවසම ඇවිදින්න පුළුවන්.......‘‘


ජුවානිස් ,ගුණදාස සමග කරුවල වැටුනට පසු ගෙයින් එළියට බැස පාර දිගේ... වටපිට බලමින්, ඇවිදමින් ලයිට් එළියෙන් එළිය වී ඇති පාර දිගේ හෙමිහිට ඇවිද ගෙන යන්නේ අවට පරිසරය ගැන දැන ගැනිමටය.......


‘‘සුනිලත් එනවද පාරට ඇවිදල වටපිට බලන්න.‘‘

‘නෑ මහත්යා මං රෑට අපට කන්න දෙයක් උයන්නම්...... මහත්තයා අපට දවල් උයල තිබුණ ඒවාත් ඉවරයිනේ....මිරිස් මාළු විතරයි ඉතුරු වුනේ......‘‘


‘‘සුනිලා උයල දෙනව නම් මට බඩ පිරෙනකම්ම කත හැකි .......සුනිලට රසට උයන්න පුළුවන්නේ.‘‘


‘‘මට මේ ලිප පත්තු කරන්න තමා බැරි.....අපි ඉතිං දර වලින්නේ උයන්නේ..... මහත්තයා. මට උදව් කරනවද මේ ලිප පත්තු කරන්න .....?‘‘....... සුනිලා කුස්සියේ එහෙ මෙහ යමින් එළවලූ කපමින් උයන හැටි මං බලාගෙන හිටියේ කුස්සියේ මේසේ ලඟ තිබුණ පුටුවේ වාඩිවීය...... මා බලා සිටිනා බව දැනී ඇය මුතුවන් දසන් පෙන්වා හිනා වී,


‘‘මොනවද මං දිහා බලාගෙන කරන්නේ.‘‘ ඇසුවා ය.

"ලස්සන බැලූවා. සුනිලා කැමති නැද්ද මෙහෙ නවතින්න.‘‘


‘‘මං කැමතියි කොළබ රස්සාවක් කරන්න .....ගමේ ජීවිතේ හරි කම්මැලියි......මහත්තයාගෙ නෝනාට බබා හම්බවෙන්න දැන් ලගද....?....මහත්තයාලා ලගදි නේද කසාද බැදලා තියෙන්නේ....අපේ තාත්තා කිව්වා ....ශාන්ත මහත්තයාලා පහුගිය කාලේ සුමානයක් විතර වාඩිය වහල කොළබ මහත්තයාගේ මගුල් ගෙදර යනවා කියලා ගියා කියලා ......ශාන්ත මහත්තයා තාත්තට කියලා ගොඩක් ලොකුවට මහත්තයාලගෙ මගුල ගත්තා කියලා ....මට කිව්වනම් මාත් එනවා මගුල් ගෙදර ....මම කවදාවත් ලොකු මගුල් ගෙදරක ගිහින් නෑ....ඒ උනාට මහත්තයා දන්නවද....අපේ ගමේ මගේ වයසේ යාලුවො දෙන්නෙක්ම කසාද බදින වෙලේ මම තමයි සාරිය අන්දලා.....වේල් එකත් ඔලුවට දැම්මේ....කොහෙන්වත් ඉගෙන ගෙන නෙමේ....පත්තරයක තිබුන පින්තූරයක් බලාගෙන කලේ.....මම තමයි ගමේ ගොඩක් අයට ඇදුම් මහලා දෙන්නේ....මම ඇදුම් මහන මැශිමක් මගේ සල්ලි එකතු කරලම ගත්තනේ....ලීනි අය්යත් සල්ලි ටිකක් දුන්නා.....‘‘


"මාලිට කොහෙන්ද සල්ලී...?


"අපේ ගේදර මම කිකිලියෝ හදනවනේ....උන්ගෙ බිත්තර කඩේට විකුනලා ගත්ත සල්ලි වලින්..."


"සුනිල හරි දක්ශයිනේ...."


"මහත්තයාගෙ නෝන මොනවද ගෙදර නිකන් ඉන්න වෙලාවට කරන්නේ....?


සුනිලා මාළිව මතක් කළ විට මගේ ඔළුව කකියන්නට විය. මට මාළි මුණ ගැහෙන්න ප‍්‍රථම සුනිලා හම්බ වුණා නම් කෙතරම් අගේද.......? එහෙනම් අපට කෙතරම් සතුටෙන් සිටිය හැකිද.....? ඈලි මෑලි ගෙදර වැඩට අකමැති මාළි ,මේ ගේ ඇතුළේ හැසිරුණු ආකාරයත් සුනිලා ගේ ඇතුළේ මුවැත්තියක් වගේ දුව පැන සතුටින් වැඩ කරන හැටිත් දකින විට මගේ හිතට ඇතුළ්කලේ දුකකි.....


එදින රෑට කන්න සුනිලා ගමෙන් ගෙනා කොස්මදුළු බෑගය සුද්දකර කිරිකොස් උයා....කරවල තෙල් දමා ගත්තේ ....කුස්සියේ ලිප් පත්තු කරන, වැඩය මම කියා දුන් පසුයි......ඇය සමග මම කුස්සියේ සිටියේ පුදුම සතුටකිනි....ජුවානිස් හ ගුණදාස අපට නිදහසේ කතා කරන්න හැර අප මග හැර සිටිම ,අපට නිදහසේ කතා කිරිමට හැකි විය.....


එදින රාත්‍රීය සුනිලා ගෙදර තිබුන එකම අමතර කාමරයේ නිදා ගත් අතර ,ජුවානිස් හා ගුණදාස ගෙදර සාලේ පැදුරු දෙකක් දමාගෙන නිදාගත්තේ....රස්නෙ වැඩියි කියමින.


පසුදින උදේ මා නැගිටින විටත් සුනිලා නැගිට අපි හැමෝට ම කන්න කිරිබත් උයා ලූණු මිරිස් සාදා තිබුනි.


‘‘ඊයේ දවල් ඉතුරු වෙලා තිබුණ මිරිස් මාලූත් තිබුණ නිසා මං වැඩිය මුකුත් හැදුවේ නෑ මහත්තයා .......‘‘


උදේ පිපුණු කෝපි මලක් වගේ නැවුම්ව සිනාසෙමින් අපට උදේ කෑම කන්නට ලෑස්ති කර දුන් සුනිලා දිහා මම බලා සිටියේ හොරෙනි.


‘‘මහත්තයා මං සාරියක් ඇඳ ගෙනද එන්න ඕනද කොළබ ඇවිදින්න යන්න..?....අපේ ලොකු අක්කා කිව්වා ...සාරියක් ඇදන් කොළබ යන්න කියලා ...මම දැන් ලොකු ගෑනියෙක් කියලා ......?"


‘‘නෑ.. නෑ... සුනිලා ගවුමක් ඇඳන් එන්න..... දවසම අද අපට ඇවිදින්න තියෙනවා....‘‘


ජුවානිස් සුදු ආරිය සිංහල ඇදුමක් ඇඳ සිටි අතර..... ගුණදාස සරමක් කමිසයකින් සැරසී උන්නේය....


"ගුණදාස මගේ මේ වැඩිපුර, අලුත් කලිසමක් තියෙනවා ඒක ඇදගෙන එන්න....හරි පහසුයි ඇවිදින්න යන කොට...."


මම ඔහුට ඇඳ ගැනීමට මගේ කලිසමක් දුන් විට ඔහු කෝළ ලෙස තාත්තාත්, නංගීත් දෙස බලමින් එය අතට ගත්තේය.

‘මට නම් මේවා පුරුදු නෑ මහත්තයා........‘‘ ගුණදාස කලිසම අඳින්න කැමැත්තක් හිතේ තියාගෙනම කීවේ ය.


‘‘අද ඔය ප‍්‍රදර්ශනය බලන්නයි සංදර්ශනය බලන්නයි මහා සෙනඟක් කොලඹට එනවා...... අපි හැමෝම හොඳට ඇඳලා යන්න ඕනේ.... ගුණදාස ඔය කලිසම ඇඳ ගෙන එන්න. වෙනසකටත් එක්ක....ඊටත් හරි පහසුයි.....බලන්නකෝ එක දවසක් ඕක ඇන්දහම ඊට පස්සෙ සරම් අදින්න හිතෙන එකක් නෑ......‘‘


ගුණදාස මා දුන් කලිසම කාමරයට ගොස් ඇඳ ගෙන් නුහුරු ලෙස එළියට ආවේය.


‘‘ටිකක් ලොකුයි වගේ.‘‘


‘‘ආ... මේ පටිය දා ගන්න එතකොට හැලෙන්නෙ නෑ.‘‘


‘‘අම්මේ මේ ඉන්නෙ අපේ කොලූවා කොළඹ මහත්තයෙක් වගේ.....‘‘

ජුවානිස් සතුටින් ගුණදාස දෙස බැලීය. රෝස පාට හැට්ටයකට දනිස්ස ලගට කොට ,රෝස පාට බෝල රැලි සායක් ඇද තනි කරලට කොන්ඩය ගොත් සිටි සුනිලා තවත් ලස්සන වී යැයි මට සිතේ......


අප හතර දෙනා විශ්වවිද්‍යාල භූමියේ තිබූ ප‍්‍රදර්ශනය නැරඹීමට යන විට දහවල් එකොළහට පමණ විය.....අපි පෝළිමේ විශ්වවිද්‍යාල භූමිය තුලට ගියෙමු......එහි නානා මාතෘකා යටතේ විවිධ කුටි තනා, සරසා ඇත..... ඒවා විශ්වවිද්‍යාල සිසුන් විසින් කර ඇති ඒවායි....... අප ඒවා එකින් එක නරඹමින් මුළු දවසම ඇවිද්දෙමු..... විශාල සෙනගක් එයට සහභාගි වි ඇත....එම උත්සවයේ කොටසක් රේස් කෝස් නම් අශ්වයින් දුවවන පීට්ටනියේද ඇති බව දැනගන්න ලැබුනි....


සුනිලා පොඩි දරුවකු සේ ඇස් ලොකු කරමින් එහි තිබූ හැම ප‍්‍රදර්ශන භාණ්ඩම හා අවට වටපිටාවේ හැම දෙයක් ම ඉතා ඕනෑකමින් නැරඹුවාය.


‘‘අපි අයිස්ක‍්‍රීම් කමු.....‘‘


මං අයිස්ක‍්‍රීම් වෑනය ලඟට ගොස් ගෙනා අයිස් පලම් ඔවුන් තිදෙනා එක හුස්මට කා ඉවර කළේය..... සැරෙන් සැරේ වඬේ, මුරුක්කු, කඩල කමින් දවසම ප‍්‍රදර්ශන භූමිය තුළ ඇවිද්ද අප හවස් වනවිට ලඟ තිබුණ තෝසෙ කඩයකට ගොස් බඩ පිරෙන්න තෝසේ, සාම්බරු, සම්බෝල සමඟ කෑවෙමු.


ඉන්පසු .....නැවත අප ප‍්‍රදර්ශන භූමිය තුළට ගියේ.... එහි තිබුණු සංගීත සංදර්ශනය ද බැලීමටය .....රෑ වෙන කොට මුළු ප‍්‍රදර්ශන භූමියම සරසා තිබු ලයිට් එළිවලින්...... . හතර අතට පාට එළි විහිදුවමින් පත්තුවන්නට පටන් ගත්විට මටද ඇතිකලේ සතුටකි.......ඒ සමගම ගස්වල හයිකර තිබු ලව්ඩ්ස්පීකර් නම් යකඩ කටවලින් නොනවත්වා ලස්සන සිංදු වල නාදය පැතිරේ.....එය උදේ සිට එකදිගට කියවයි.......සංගීතය පතුරුවයි.....ප්‍රදර්ශන භූමියේ හිටි ගමන් චීන මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්විණි....එය නම් ඇස් අදහාගත නොහැකි තරම් ලස්සනය.....


ඒ සියලු දේ....සුනිලා, ගුණදාස , හා ජුවානිස් බලා හිටියේ කට ඇරගෙන පුදුමයෙනී.......ඔවුන්ට වගේම සමහර දේ මටත් අලුත්දේ විනි........ ජුවානිස් මගේ ලඟට විත් කතා කළේ ය.


‘‘මහත්තයාට පින් සිද්ධ වෙනවා අපට මේවා පෙන්නන්න කොළබ එක්ක ආවට...... අපි ගොඩක් පිං කරලා තිබෙනවා මේ දිව්‍ය ලෝකේ වගේ ලස්සන දේ දකින්න ...... අනේ මගේ කෙල්ලයි, කොල්ලයි වාසනාවන්තයි මහත්තයා ....... ගමේ ඉන්න අනිත් වුන් ඔක්කොටම වඩා......මේ වගේ මල්වෙඩි සංදර්ශනයක් මම ජීවිතේට දැකලා තිබුනේ නෑ....මේ පාට පාට විදුලි බුබුළු ....කොයිතරම් නම් ලස්සනද....මට ගෙදර යන්න හිතෙන්නෙත් නෑ......‘‘ ජුවානිස් කීය.


‘‘ඇත්තමය මහත්තයා මහත්තයාට ගොඩක් ස්තූතියි..... අපිව මේ දේවල් බලන්න එක්ක ආවට.....‘‘

ගුණදාස ද මං ලඟට ඇවිත් කිවේ සතුටිනි.


මගේ කලිසමක් ඇඳ පුරුදු කාරයෙක් වගේ හැසිරෙන ගුණදාස දකින විට මට ඇති වූනේ සතුටකි....... සුනිලාගෙ ගමේ කිසිම කෙනෙක් කලිසම් අඳින්නවා මා දැක නොතිබුනි. මා සිතන විදිහට ගුණදාස තමයි ඉස්සෙල්ලාම ගමේ කලිසමක් අඳින්න ඇත්තේ....... ගමේ යන විට මගේ තව පරණ කලිසම් දෙකක් දෙන්න ඕනේ ගුණදාසට ගමේ ගෙනිහින් අඳින්න කියල..... කොළඹ ගිහින් එන අයට ඒ ගමේ තියෙන්නෙ පිළිගැනීමකි....ඒ කොළබ යනු යාමට අපහසු ගමනක් කියා ඔවුන් සිතිමයි. එකක් දුර ප්‍රශ්නය අනික් ගිහින් නවතින්න තැන් නොතිබීම හා කොළබ යන්න ඇති මුදල් අමාරුකම්‍ ය.


‘‘මට නම් දැන් හොදටම මහන්සියි මහත්තයා ....... මං ටිකක් මේ බංකුවේ වාඩි වෙලා ඉන්නම්....... උඹලා දෙන්නා මහත්තයත් එක්ක ඇවිදලා එන්න.......‘‘ ජුවානිස් දවසෙම ඇවිදලා ....සෙනග ගොඩේ කොනක තිබු බංකුවකින් වාඩි වුනේ මහන්සියටය.....


‘‘මාත් ටිකක් වාඩි වෙලා ඉඳල එන්නම් මහත්තයා ...... මටත් මහන්සියි දවල් ඉදන් ඇවිදලා......‘‘ ගුණදාසද ජුවානිස් ලඟින් වාඩි වීය.


‘‘අපි එහෙනම් ටිකක් ඇවිදලා එන්නම් අර පැත්තෙ....... ඔය දෙන්නා කොහේවත් යන්න එපා ඔතනම ඉන්න. සෙනඟ ගොඬේ මඟ ඇරෙන්න පුළුවන්.‘‘ මම කීවෙමි


මම සුනිලත් සමඟ නොයෙකුත් වෛවර්ණ එළි විහිඳුවන ප‍්‍රදර්ශන භූමිය තුළ ඇවිද ගියෙමු....... නොයෙකුත් සංගීත භාණ්ඩ සද්ද මිනිසුන්ගෙ කෑගැහිලි, කඩල විකුණන වෙළඳුන්ගෙ සද්ද, අයිස් ක‍්‍රීම් වෑන්වල සද්ද, නොනවත්වා කෑමොර දෙන යකඩ කටවල නානා සද්ද අතරින් මාත් සුනිලත් ඇවිද ඇවිද ප්‍රදර්ශන භූමියේ සිරි නැරඹූවෙමු.......


රෑවෙන්න් රෑ වෙන්න ප්‍රදර්ශන භූමියේ සෙනග වැඩි වන්නට විය....එකිනෙකා හැපි හැපි යන ගානට සෙනග වැඩිවිය......ප්‍රදර්ශන භූමියේ ගසා තිබු විශල අට්ටාලයේ සංගීත සංදර්ශනය පටන් ගත්තාය..... විවිධ ගායකයෝ පැමින එහි සිංදු කියන්න පටන් ගත්තේ සෙනගේ අත්පොලසන් මද්‍යයේය .......


සුනිලා සෙනඟ අතරින් යද්දී මගේ අතින් හෙමිහිට අල්ලන්න හැදුවේ මිනිසුන් ඇගේ හැපි තදබදයෙ වැටෙන්න යද්දීය...... සෙනඟ අතරේ තෙරෙපෙමින් සංදර්ශන භූමිය තුළ දී..... මා සුනිලාගෙ අතින් අල්ල ගෙන මගේ ඇඟට ලං කර ගත්තේ..... අනිත් මිනිසුන්ගෙන් සුනිලාට වන තදබදයෙන් කරදරයෙන් වලකා ගන්නටය...... එයට කිසිත් අකමැත්තක් නොදැක් වූ සුනිලා තව තවත් මගේ ඇඟට ම තද වී අනිත් මිනිසුන් ඇයගෙ ඇඟට තද වෙන එක මඟ හැර ගත්තේය. .....පසුව දෙන්නට දෙන්නා කතා නොකළත් එක ලඟින් ඇගේ හැපි නොහැපි ගානට ප‍්‍රදර්ශන භූමිය පුරාම ඇවිද්දේ ආශාවෙනි....... මගේ හිත සතුටින් පිරී ඇත..... ජීවිතයට කිසිදා හිතට නොදැනුන හැඟීම්වලින් හිත පිරී ඇත...... මගේ හිත සුනිලා ගැන ආදරයක් ඇති වී ඇතැයි මට සිතේ...... පුංචි දැරියක් සේ මගේ ලඟින් ඇවිදමින් තොදොල් බස් තෙපුල තෙපුලා වටේ සිරි නරඹන ඇය සිටින්නෙද ඉතා සතුටකිනි......


‘‘සුනිලා කැමති නැද්ද කොළඹ නවතින්න....?.‘‘


‘‘කැමතියි. ඒත් මං කොහේද නවතින්නෙ...?.‘‘


‘‘මං සුනිලට මගේ නෝනව අඳුන්නලා දෙන්නම්කෝ....... නෝනා කොළඹ එන්න බයයි...... තනියම වැඩ කරගන්න බැරි වෙන නිසා.....මේ දවස්වල නෝනා බබෙක් හම්බවෙන්න ඉන්න නිසා..... සුනිලාට පුළුවන්නෙ නංගි කෙනෙක් වගේ මාළිටත් උදව් කර ගෙන කොළබ නවතින්න ......‘‘


-හෙට හමුවෙමු --


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page