top of page

💞බැද්දේ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 24, 2020
  • 9 min read

( 12 වෙනි කොටස )


ගෙයි උළුවස්සේ ලග සිට ඇස් පොඩිකර අදුරේ උන් මා දෙස ටික වෙලාවක් බලමින්, එළියට කර පෙවූ සුනිලා .......පුදුම වී මා දුටු වහා කඩිමුඩියේ ගෙයි දොරකඩට ආවේය.


‘‘ මගෙ අම්මෝ.....මහත්තයා මොකෝ මේ රෑ ජාමේ....තනියමද ආවේ මේ කැලෑ පාරෙන්....කෝ වාඩියෙ කවුරුත් ආවේ නැතෑ.... අපි නම් දැන් මේ නිදාගන්නයි ලෑස්ති වුණේ....‘‘


‘‘නිදාගෙන හරියන්නෑ කෙල්ලේ.... මහත්තයාට හොදටම බඩගිනි ඇති.....ගවස ඉදන් එනව කියන්නේ......මොනව හරි කෑම ටිකක් හදලා හරි, ඉතුරු වුණ කෑම හරි රත් කරල ගනින් මහත්තයාට කන්න දෙන්න.... "


"එන්න එන්න මහත්තයා ගෙට..."


"මොනව හරි තිබහට බොනවද...මහත්තයා ...?


"වතුර එකක් දුන්න නම් බොන්න ...ඇගපත ටිකක් හෝදගන්න තිබුන නම් ලොකු දෙයක්....උදේ ඉදන් ඇදගත්ත ඇදුම්....බස්වල ඇවිල්ලා හරි දාඩියයි....මහන්සියි....."


මහත්තයා එහෙනම් මුහුණ කට සෝදගන්න...යං පීල්ල ලඟට ....ඉන්න මං කුප්පි ලාම්පුවක් ඇරගෙන එන්නම් ......ඒ වෙනකොට සුනිලා ඔය මොනව හරි රත් කරලා ගනියි කන්න.....‘‘


‘‘මහත්තයාට ගෙයි එළියෙ කාමරයත් ලෑස්ති කරල තියපන් කෙල්ලේ නිදාගන්න...... මං මහත්තයා එක්ක පීල්ල ලඟට ගිහිල්ලා එන්නම්.‘‘ එසේ කියා ජුවානිස් මට ඉස්සර කුප්පි ලම්පුවකුත් ඇරගෙන ඉස්තෝප්පුවෙන් එලියට බැස්සේය.


ඉස්තෝප්පුවේ තිබුන හාන්සි පුටුව උඩ මම ගෙනා බෑගය තියා...එහි තිබුණ සරමයි, තුවායයි ඇරගෙන මං ඔහු පසු පස ගියේ උදේ ඉඳන් තද කරගෙන හිටපු ඇඳුම් ගලවා මුහුණ කට සෝදා ගන්නටය. අප්පුහාමි කුප්පි ලාම්පුවකුත් රැගෙන මට ඉස්සර වී ගෙයි ඉස්සරහ පැත්තෙන් පිලිකන්න පැත්තට ගියේය...


ගෙයි පිලිකන්නෙ ඉදන් ගල් පඩි පෙලක් බැස අප දෙදෙනා ගියේ....එක දිගට නොනවත්වා සද්දෙන් ගලා හැලෙන දිය පීල්ලක් ලගටයි........

කැලෑවෙන් වට වූ හිස් බිමේ ....කන්දේ සිට ආ පුවක් පිති එකතු කර සාදන ලද පීල්ලෙන් හීන් සද්දෙන් බිමට වැටෙන සීතල දිය කද යට.....වතුර පොකුනක් ලෙස සෑදී ඇත. එය තව දිය උල්පත් වලින් සෑදුන පොකුනකී... ඒ පොකුන උතුරා පොඩි ,ලොකු, කලු ගල්, වැලි ගල් අතරින් කන්ද පහලට ගලා බසී..... සීතල පිරිසිදු වතුර පීල්ල දැක්ක විට මට මුහුණ කට සෝදා ගැනීමට වඩා ඔලුව ඇඟපත සෝදා ගැනීමට සිත් විය.... ඇද සිටි ඇඳුම් ගලවා,පසෙක තිබු ගල් පොත්ත උඩින් තිබා යට ඇඳුම පිටින් පීල්ලට අල්ලා හොඳට ඔලුව ඇඟ පත සෝදා ගත්තේ සීතල වතුරෙනි. ....මා නා ගන්නා තුරු ගල් පොත්ත උඩ ඇන තියාන වාඩි වී උන් ජුවානිස් මා සමඟ එක එක දේවල් කතා කරයි..අහයි.... ඇඟපත සෝදන ගමන් ඔහු මා සමග, කතා කරේ මා කැලෑ පාර දිගේ දිගටම එන විට සිදු වූ දේ ගැනමය..... දැඩි සීතල වතුරෙන් නාගත් පසු ඇගට දැනෙන සැප කියා නිම කල නොහැකි විය ....


මම පීල්ලේ සිට ඇඟපත සෝදා ගෙන ගෙට ආපසු, ජුවානිස් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ වාඩි වුන අතර, මම එහි පිල් කණ්ඩිය ලඟ තිබුණු වැල් පුටුවේ ඉදගෙන සිටියේ ඉවසාගත නොහැකි බඩගින්නකිනි.....දහවල් අක්කලාගෙ ගෙදරින් ගෙන ගිය බත් මුල කෑ පසු හවස කෑ හැලපයේ කෑලිත් දැන් බඩේ නැත....බඩ පනුවො කෑ ගසන හඩ, කෙනෙකු ලග හිටියොත් ඇහෙන තරම්ය........


‘‘මහත්තයා කෑම ලෑස්තියි.... තියන විදිහට කමු.‘‘ සුනිලා ගෙයි සිට එළියට විත් කීවාය.


බඩගින්නේ සිටි මම ,ගේ තුල සිට ආ සුනිලා කිව් වහාම, පුටුවෙන් නැගිට්ටේ ජුවානිස්ටත් ප‍්‍රථමය......


"මහත්තයා ගිහින් කන්න....මම හොදට බඩ කට පිරෙන්න සප්පායම් වෙලා ඉන්නේ....සුනිලෝ .... උබ ,මේ මහත්තයාට කෑම බෙදපං....එසේ කියා ජුවානිස්..ඉස්තෝප්පුවේ , හාන්සි පුටුවේ දිගාදිනි....


ගෙයි ඇතුළේ මැද සාලයේ පුංචි මේසයක ,මට කන්නට කෑම තියා ඇත...... ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු දෙකක එළියෙන් ගේ ඇතුළත එළිය වෙයි....ඒ එලියෙන් මගේ හෙවනැල්ල ගෙයි එහාට මෙහාට යයි...... කෑම මේසයට මා වාඩි වනවිට, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත් වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි දීසි මට ලං කළාය....


‘‘වැඩිය මුකුත් නෑ මහත්තයා. .....මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා.... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයක් කොටල ගත්තා අනිත්වා අපි රෑට කාලා ඉතුරු වුන ඒවා......‘‘


‘‘මේ දේවල් වැඩිත් එක්ක.... මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ.....‘‘


රතු කැකුළු හාල් බතුයි, දඩ මස් බොරය හින්දලා, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාළුවකුත්, ලේන් හතු ඇබුලකුත් පමණක් මේසයට තියා තිබුණේ..... හොදටම බඩගිනි වී සිටි මට එම කෑම රජ බොජුනක් වු ගානයි......මම කෑම රස කර කර කෑවේ බඩගින්න ඉවසා සිටීමට බැරි තරමට බඩගනින්නේ සිටි බැවිනි.....


මා කෑම කන දෙස බලාන ඉන්නා සුනිලා දැක මට ලැජ්ජා සිතිනි..... කුප්පි ලාම්පු එළියෙන් ඇගේ වත පුන් සඳක් ලෙස දිලිසෙයි..... මුතුවන් දත් දෙපල පෙන්වා සිනාසෙන ඈ මා ලඟට විත් තව මාළු පිනි බෙදන්න විය.... ඇය මා ලඟට විත් පහත් වී මාළු පිනි බෙදන විට ඇයගෙන නික්මුණේ සිහින් නාමල් මිශ‍්‍ර සබන් සුවඳකි.... ඇය හවස නාන්නට ඇත. ඇය ඇගේ වරලස කඩා සිටිනවා මා මුල් වරට දැක්කේ දැන්‍ ය....... හවස නා ඇය කොණ්ඩය කඩා දමා වේලෙන්නට ඇර තිබේනවා වන්නට ඇත..... මගේ හිතට දැනුණේ අමුතු හැඟීමකි. අවුරුදු විස්සක් පමණ වන ඇය ඉතා සුරූපීය, හුරුබුහුටිය. නිතරම ඇගේ මුවේ සිනාපොඳක් ඇත. ඇය දෙස කෙතරම් වේලාවක් බලා සිටියත් මදි යැයි මට සිතේ.....


‘‘මහත්තයා තව බෙදා ගෙන කන්න.....ගොඩක් බඩගිනි ඇති....හොදටම රෑ උනානේ..... මං බෙදන්නද මහත්තයා ...?‘‘ ඇයට මා ලඟට විත් කෑම බෙදන්න ඇර මං ඇයගෙ වතින් එන සුවඳට ඉව ඇල්ලීය.....


රෑට කෑම කා ඉවර වුණාට පසු මා ඉස්තෝප්පුවට විත්, පිල් කන්ඩිය උඩින් වාඩි වුණේ හුස්ම ගන්න බැරි තරමට කුස පුරවා ගෙන සිටි නිසයි.....ඉස්තෝප්පුවේ කනප්පුව මත දැල්වෙන කුප්පි ලාම්පුවේ එළිය, ගෙයි මිදුලටද යාන්තමට වැටි ඇත. එතනින් එහාට කිසි දෙයක් නොපෙනේ....කළාමැදිරි එලි එහෙ මෙහෙ යන අතර රැහැයන්ගේ ගෙම්බන් හා නොයෙක් කෘමීන් ගේ සද්දය අවට පරිසරයේ නිහඩ බව බිදියි.... ජුවාන් අප්පු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිග ඇදි බුලත් විටක් හපයි.....


‘‘මහත්තයාලා කොළඹ කිව්වා නෙව පදිංචිය....."


"එහෙමයි අප්පුහාමි ..."


"මහත්තයාට කියන්න.... මට කොළබ කච්චේරියට යන්න උවමනාවක් තියෙනවා....හුග දවසක ඉදන්.....මම ඒ වැඩේ කල්දම දමා හිටියේ......කොළබ හිහින් ඕවා කරගෙන එන්න, පුරුද්දක් නැති නිසා...... මම මේ කල්පනා කර කර ඉන්නේ කොහොමද කොළබ යන්නේ කියලා ...."


"ඉතිං අප්පුහාමිට කොළබ වැඩක් තියෙනවා නම් එහේ එන්න...., මම එක්ක ගිහින් පෙන්නන්නම් කච්චේරිය....."


"එහෙම නම් කොච්චර ලොකු දෙයක්ද මහත්තයා ...මම අපේ ලොකු කොළුවටත් අඩ ගහ ගහා හිටියේ කොළබ ගිහින් එන්න.....මහත්තයා උදව් කරනවා කිව්වොත් ඒකත්, කම්මැලි නොකර මගේ තනියට එයි......."


"අප්පු හාමි කොළබ එන දවසක් කියන්නකෝ..... මම ආයේ කොළම යන්න ඉස්සර ....එතකොට අප්පුහාමිට පුලුවන්, කොළබ පිටකොටුවට, මෙහේ ඉදන් බස් එකේ කෙලින්ම එන්න....මම එන්නම් අප්පුහාමි එක්ක යන්න.... අප්පුහාමිට බැරියැ දවසක් දෙකක් අපේ ගෙදර ඉදලා කොළබ නොදැකපු දේවලුත් බලාකියා ගෙන එන්න....."


බොරු කියන්නෙ මොකටද මහත්තයා ....මම එක ගමනයි කොළබ ගිහින් තියෙන්නේ.....ඒත් අපේ ලොකු කොළුවත් එක්ක....මේ සුනිලලා එහෙම නම් ඉතිං කොළඹ දැකලත් නෑනේ..... හෝගාන පොකුණ, සත්තු වත්ත, කටුගෙ වගේ දේවල් ඉතිං මුංට පෙන්නන්න ඕන කම මට තිබුනට, කොහේද ඉතිං අපිට ඕවායේ ගිහින් ඉන්න තැනක් නෑ...පාරවල් දන්නෑ........ ඔය කොළඹ මමයි ලොකු කොල්ලයි ගිහං ආවට පස්සෙ ගමේ උං විස්තර අහනවා කොළබ ගැන ...මේ ගමේ දෙතුන් දෙනෙකුට වඩා කොළබ ගිහින් නෑ..මයහිතේ.....‘‘ ජුවානිස් කිව්වේ දුකෙන් ය.


අප කතා කරනවා විට කතා බහට ඇහුම්කන් දෙමින් උළුවස්සට හේත්තු වී සිටිනා සුනිලා.... මා දෙස බලාන ඉඳ මා බලනවාත් සමඟ ම වෙනතක් බලයි..... මාත් සැරෙන් සැරේ ඇය දෙස බැලූවේ තව තවත් ඇගේ සුන්දර වත බැලීමට ඇති ආසාව නිසා ය.


‘‘ඔය ඇත්තම ද කිව්වේ සුනිලා කොළඹ ගිහින් නැද්ද ....?.‘‘


‘‘අනේ නෑ මහත්තයා....කොහෙද. අපේ තාත්තා ලොකු අය්යව විතරයිනේ හැම තැනම එක්ක යන්නේ....අපි ගෑනු කියලා කොහේවත් එක්ක යන්නේ නෑ......‘‘


‘‘ජුවානිස් මාමා කච්චේරියේ වැඩය කරගන්න කොළබ එනකොට, ගෙදර කට්ටියත් එක්ක එන්න......... අපේ ගෙදර මේ දවස්වල වහල දාල තියෙන්නෙ......කට්ටියටම එහෙ නැවතිලා කොළබ විශේෂ තැන් බලලා, දකලා ඇව්දලා එන්න පුළුවන්. ......ඒ ආපුවහම මං කොළඹ හැමතැනම ජුවානිස් මාමලාව එක්ක යන්නම්කෝ...... අපට මේ ජුවානිස් මාමලා උදව් කරන හැටියට අපිත් මොනව හරි කරන්න එපෑ.......‘‘ මම කිව්වේ ඇත්තටමය.


‘‘බලමු මහත්තයා..... කොළඹ යන්නව නම් ඉතිං අපේ ලොකු කොළුවා ගුණදාසවත් ලෑස්ති කරගන්න ඕනේ නේ........ඒකා තමා යමක් කමක් තේරෙන එකා..... .‘‘


"මේ මාසේ අන්තිමට කොළඹ රේස් කෝස් පිට්ටනියේ ලොකු සංදර්ශනයක් තියෙනවා....... ඒ අවට විශ්වවිද්‍යාල භූමියෙත් ප‍්‍රදර්ශනය තියෙනවා......කොළබ මිනිස්සු දැම්ම ඉඳන් ඒකට හරි ජමෙරට ලෑස්ති වෙනවා. .....හැම පිට පළාතකින්ම වගේ මිනිස්සු ඒ උත්සවය බලන්න එයි කියලා බලාපොරොත්තුවෙන් ඒ උත්සවය ලෑස්ති කරන්නේ......... . ජුවානිස්ලා කොළබ ආවොත් ඒ උත්සවයත් බලලා යන්න පුලුවන් ..... ඒ වගේ විශේෂ අවස්ථාවක තමයි කොළබ යන්නත් ඕනේ.....කොළබ අපිත් ඒ උත්සවය පටන් ගන්නකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.....‘‘


‘‘අනේ තාත්තෙ මාවත් එක්ක යන්නකෝ......අපිත් යමුකෝ කොළබ ...... අපි ලොකු අයියාවත් එක්ක ගෙන යමු....මහත්තයා එන්න කියෙන එකේ අපි යමුකෝ....ආයි කවදා යන්නද...මහත්තයා උදව් කරන්නම් කිව්වනේ...


‘‘කවද්ද මහත්තයා ඕක හරියට ම තියෙන්නේ.‘‘


‘‘මාසෙ අන්තිම සුමානේ දවසක පටන් ගන්නේ...... සුමානයක් ප‍්‍රදර්ශනය තියෙනවා. ජුවාන්ලා එනවා නම් රුවන්වැල්ලෙන් කොළඹ බස්සෙක ඇරන්, කොළඹ පිට කොටුවට එන්නකෝ.... මං එතනට එන්නම් එක්ක යන්න......‘‘


‘‘මහත්තයා මේ ගමන වාඩියෙ දවස් කීයක් ඉන්නවද?’’


‘‘මේ ගමන නම් වැඩි දවසක් ඉන්නෙ නෑ....ඉරිදා හවස ආපහු යනවා.......මේ ආවෙත් අය්යා ගෙදරට පනිවිඩයක් එව්වෙ නැති නිසා බලලා යන්න කියලා.... අනිද්දට මම ආයි කොළඹ යනවා..... මං අයියා ගෙදර ආවෙ නැති නිසා බලලා යන්න ආවේ.... අක්කගෙ කරදරයට......‘‘


‘‘අපි කොළඹ යන්න එනවනම් අනිද්දට, මහත්තයා කොළබ යන්න ඉස්සර කියන්නම්....... මගේ නම් දැන් කාලේ ඉවරයි මහත්තයා .... මේ සුනිලා කෙල්ලයි, එකිගෙ අයියයි ආස ඇතිනේ කොළඹ අලුත් දේවල් බලන්න..... අපට පුළුවන් කමක් තියෙන වෙලේ ඒක කරල දැම්මහම හොඳයිනේ... ..බලමු මහත්තයා එහෙනම් අපට කොළබ යන්න පුළුවන්ද කියලා.......දැන් එහෙනම් නිදාගමු හොඳටම රෑ වුණා.‘‘


‘‘මහත්තයාට මං ඉස්තෝප්පු කාමරය හැදුවා.....අලුත් කොට්ට උරයක් ඇද රෙද්දක් එහෙම දැම්මා.... එහෙනම් මහත්තයා ඉස්සරහ කාමරයට ගිහින් නිදාගන්න.‘‘ සුනිලා කීවාය.


"මං හිටියෙත් හොදටම මහන්සි වෙලා.....දැන් රෑ දොළහටත් ලග ඇති.....එහෙනම් මම නිදාගන්නම් අප්පුහාමි ...."


" ඔව් මහත්තයා ....අද මම මේ ඉස්සරහ කාමරේන් එලියේ බූරු ඇදක් දාගෙන නිදා ගන්නවා....මහත්තයාට මොනව හරි උවමනාවක් උනොත් මට කතාකරන්න......ඔය තියෙන්නේ ඉස්තෝප්පු කාමරය මහත්තයා ....ගිහින් නිදාගන්න ..."


අප වාඩි වි සිටි ඉස්තෝප්පුවේ පැත්තක තිබුනු කාමරයේ දොර ඇර ඇත..... ඒ ඇතුලේ කුප්පි ලාම්පුවක් දැල්වෙන බව පෙනේ..... මම අප්පුහාමි කිව් පසු, එහි ඇතුලට ගියේ දවසම ඇවිද ඇගේ තිබුන දැඩි මහන්සිය හා සීතල වතුරෙන් නා ගෙන බත් කෑ පසු එන නිදි, හා බුදි මතේ සිටි නිසයි......


මම කුප්පි ලාම්පු එළියෙන් එළිය වුණු පුංචි කාමරයට ගිහින්.... එහි තිබූ තනි ඇඳේ ඇල වුනෙමි. ඇඳේ දා තිබූ ඇඳ රෙද්දෙනුත් කොට්ටෙනුත් විහිදුනේ සැවන්දරා කොළ, හා කපුරු මිශ‍්‍ර අලූත් සුවඳකි.... නුපුරුදු පුංචි ගෙදර, පුංචි කාමරය තුළ එතරම් බඩු මුට්ටු නොතිබුණි. පුංචි මේසයක් ද එහි තිබිණි. සුනිලා කිව් ලෙස වෙනදාට එම කාමරයේ නිදාගන්නෙ සුනිලාගෙ බාල සහෝදරයායි..... අද ඔහු මේ වනවිට හේනේ පැලේ ,පැල් රකින්න ගොස් බව කීවේ අප්පුහාමිය. මට ඔහු දෙතුන් ගමනක් හමු වී ඇත. ඒ මිනුම් වාඩිය හදන් දිනවලය.....ඉතා අහිංසක ගතිගුණ ඇති ඔහු අක්කාට සහ පියාට ඉතා ආදරය කරන්නෙකි.


‘‘මහත්තයා මං වතුර එක්ක ගෙනාවා. ඇතුලෙන් තියන්නද?‘‘ කාමරයේ දොර ලඟ එළියෙ ඉඳන් සුනිලා කතා කරයි.


‘‘ආ... සුනිලා ඇතුළට ඇවිත් තියන්න.‘‘

සුනිලා කාමරය තුළට විත් වතුර වීදුරුව මගෙ බූරු ඇඳ ලඟ ඇති ලෑලි මේසෙ උඩින් තිබ්බාය. මා ඇඳේ වාඩි වී ඇසි පිය නොහෙලා ඈ දෙස බලා සිටියේ ආසාවෙනි.... පිට දිගට මුදා හැර ඇති ඇගේ දිගු වරලසෙන් තවමත් නාමල් සුවඳ විහිදේ. ඇගේ ඇස් කුප්පි ලාම්පු එළියෙන් තරු කැට දෙකක් සේ එළිය විහිදුවයි. කුප්පු ලාම්පු එලියෙන් ඇගේ සෙවනැල්ල කාමර බිත්තියේ එහෙ මෙහෙ යන්නේ යෝද සෙවනැල්ලක් ලෙසය....


‘‘මහත්තයාට තව මොනව හරි රෑට ඕන උනොත් කියන්න.... තාත්තා ඔය පිලේ ඇඳ උඩ නිදා ගෙන ඉන්නවා. ඇහෙනවානේ දැනටමත් සද්දේ...."


මිහිරි හඬින් සිහින්ව සිනාසෙමින් ඇය කිව්වේ පියා දැනටමත් ඇඳට වැටී ගොරවන සද්දෙනි.


‘‘මං යනවා මහත්තයා.... එහෙනම් නිදාගන්න.‘‘


ඇය මා දෙසට හැරී හෙළුෑ ලයාන්විත බැල්මෙන් මගේ හිත අමුතුම උද්යෝගයකින් පිරී ඉතිරි ගියේය.... එය මගේ හිතට මෙන් ම ගතට ද දැනුණේ අමුතුම වේගයකිනි. මට පිටුපා දොරෙන් එළියට යන ඇය දෙස මා බලා සිටියේ ඇයට වශී වීය.... මගේ හිතට ගතට දැනුණේ අමුතුම හැඟීමකි. කසාද බැද සිටින මගේ ජීවිතයට මින් කවරමදාකවත් නොදැනුණ මේ හැඟීම, මටවත් හිතාගන්නට බැරිය ..... මං මොනවද මේ හිතන්නෙ මං හෙට අනිද්දාට පියෙක් වෙන්න සිටින කෙනෙකිය..... මගේ බිරිඳ මාළි....මගේ දරුවා ලැබෙන්න කල් බලමින් හිදි..... අක්කාගේත්, තාත්තාගේත් උවමනාවට මාළි කසාඳ බැන්ද මට කිසිම දවසක මේ මොහොතකට පෙර හිතට දැනුණු හැඟීම දැනී නැත .... මට වඩා වසර දෙකක් වැඩිමල් මාළි නිතරම ඈලි මෑලිව දවස ගෙවයි. කිසිම කඩිසරකමක් නැති ඇය මලානිකව මා පිළිගනිද්දී මා හට කිසිම හැඟීමක් ඇති නොවෙයි.... නමුත් මා ඇගේ සැමියායි. මොනවද මේ මං හිතන්නෙ මට වඩා අවුරුදු ගනනාවක් බාල පුංචි කෙල්ලක් ගැන ඇයි මට මේ වගේ අමුතු හැඟීමක් ඇති වන්නේ..... පිබිදුනු සිතින් කයින් සිටි මට නින්ද ආවේ එළිවෙන ජාමයේ ය.


‘‘මහත්තයා නැගිටින්න..... මෙන්න මං තේ ගෙනාවා......‘‘ උදේ පාන්දර සුනිලාගෙ කටහඬින් අවධි වුණ මා ඇස් පිස දමමින් ඇය දෙස බැලූවෙ.....මම මේ කොහේද ඉන්නේ කියා අමතකව ගොස් තිබු බැවිනි.....


මුතු දසන් පෙන්වා සිනාසෙමින් මා දෙස කාමරයේ දොර ලග සිට බලා සිටි සුනිලා.....කාමරය තුලට විත් කාමරයේ එකම ජනේලය ඇර දැම්මාය..... ඒ තුළින් හිරු එළිය ගෙට විත් ලා හිරු රැස් වැදී සුනිලාගේ මුහුණ දිලිසෙන්නට විය..... ප‍්‍රබෝධමත් ලෙස කතා බහ කරමින් මුතු සිනා පාමින් මා දෙස බලන ඇය නිවසක ශ‍්‍රියාකාන්තාවක යැයි මට සිතේ....


උදේට මා නැගිට තේ හදා කතා කරන තෙක් නිදියන මාළිගේත්, සුනිලාගේත් වෙනස මට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.


‘‘මහත්තයා බලන්න... මේං මං එළ කිරි එකක් ගෙනාවා..... නැගිටලා බොන්න. අපේ වැස්සි අලූත පැටියෙක් දැම්මනේ. එකිගේ කිරි.... මහත්තයාට එළ කිරි බීලා පුරුදු ද දන්නෑ.....‘‘


‘‘මට පුරුදුයි සුනිලා....අපේ ගෙදරටත් ඉස්සර, උදේට ගමේ කෙනෙක් එළකිරි ගෙනත් දෙනවා.....‘‘


ඇය ගෙනත් දුන් වතුර වීදුරුවෙන් කට සෝදා ජනේලයෙන් එළියට විසි කළ මා..... ඇය දුන් වතුර කවලම් නොකළ ඝනකම් පිරිසිදු රස එළ කිරි වීදුරුව බිව්වේ ආසාවෙනි.... එළකිරි කෝප්පය තුලින් ඉගුරු රසක්ද එයි.....ඉගුරු එළකිරිවල ඇති ශීත ගතිය නැතිවෙන්නට දමන බව තාත්තා කියන බව මතකය. එළකිරි බිව් පසු සමහරුන්ට සෙම හැදෙන නිසා එසේ කරනවා ඇත....අපේ තාත්තා වෙද මහත්තයෙක් නිසා එසේ කරනා බව අපි දන්නවා වගේම මේ ගමේ ගොඩේ මිනිසුන්ද ඒවා අත්දැකීමෙන් දන්නා හැට්.....


‘‘මහත්තයා උදේම වාඩිය පැත්තෙ යනවද.....? මං අද උදේට හාල් පිට්ටු හැදුවා. දඩ මසුයි, පොල් කිරියි, ලූණු මිරිසුයි එක්ක හාල් පිට්ටු හරි රසයි...... මහත්තයා කාලම යන්න..... .‘‘


‘‘මං කවදාවත් හාල් පිටිටු කාලා නෑ.....ඒ මොනවද...? බලමු අද කාලා. උදේට කාපු ගමන්ම මං වාඩිය පැත්තට යන්න ඕනෑ...... සුනිලා.... ජුවානිස් ගෙදර ඉන්නවද? ....කොහාටවත් ගිහිල්ලද...?


‘‘ තාත්තා නම් උදේට කාලා, අන්න වත්තෙ පැත්තෙ මිරිස් පැලවලට සාත්තු කරනවා......‘‘


උදේ ආහාරය ගෙන අහවර වූ පසු මා ජුවානිස් එක්ක වාඩිය බලා ගියෙමු..... අප වාඩියට යන විට ශාන්ත අයියා ඇතුළු සියල්ලෝ ම මිනුම් වැඩ කටයුතුවලට යන්න ලෑස්ති වී සිටියෝය....


‘‘ඈ..... මේ මල්ලි මොකද මේ උදේ පාන්දර.....?‘‘ ශාන්ත අයියා මා දැක පුදුම වී ඇසුවේය.


‘‘මෙච්චර උදෙන් කොහෙ ඉඳන් ද ආවේ.‘‘


‘‘ඊයේ හවස මෙහෙ එන්න ඇවිත් මට පාර වැරදුනානේ..... වෙලාවට ගමේ ආච්චි කෙනෙක් මාව ජුවානිස්ලගෙ ගෙදරට ගිහින් බැස්සුවා..... ඊයේ රෑ....ජුවානිස්ලගෙ ගෙදර හිටියේ...... මහ රෑ කැලේ....මේ පැත්තට එන්න එපා කියල ජුවානිස් කියපු නිසා රෑ එහෙ නැවතුනා...... මං මේ ජුවානිස්ලගෙ ගෙදරින් උදේටත් කාලයි ආවේ......‘‘


‘‘හොඳ වෙලාවට.....ජුවානිස්ලා හම්බවුනේ.... මොකට ආවද මහ රෑ....පිස්සුද මේ කැලේ එන්නේ......දන්නෙ නැද්ද මේක කැලෑවක් කියලා..... නපුරු සතෙකුට එහෙම අහුවුනානම් මොකද වෙන්නේ......‘‘ අයියා කේන්තියෙන් කීයයි.


‘‘ඒක තමයි මහත්තයා මං මේ සුමල් මහත්තයා භයවෙයි කියල ඊයේ රෑ කිව්වේ නෑ..... ඔය සුමල් මහත්තයා ඊයේ රෑ ආපු පාරේ තිබුන ඇල්ල පැත්තේ අපේ ගමේ මිනිස්සුවත් හවස හයෙන් පස්සේ යන්නෙ නෑ...... එතන තනි පිරිමි බිලි ගන්න තැනක්. ... සුමල් මහත්තයාගෙ වෙලාව හොඳ නිසා බේරිලා ඇවිත් තිබුණේ.‘‘


‘‘ඒ කිව්වේ මොකද්ද ජුවානිස්.‘‘


"මහත්තයා ඊයේ රෑ එනකොට ඇල්ලක් හම්බුන කිව්වා නේද....ඒ ඇල්ලට කාලෙකට උඩ දී ගෑණු කෙකෙන් පැනලා මරුණා..... ඊට පස්සේ තනි පිරිමි හතර දෙනෙක් ම ඔය පාරෙන් එද්දි ඇල්ලට වැටිලා මැරුණනේ..... ගමේ මිනිස්සු කියන්නෙ ....රෑ වෙලා එන වෙලාවට ඇල්ල ලග කවුද ගෑණු කෙනෙක් ඉන්නවා දැකපු අයත් ඉන්නවා කියලා..... හොල්මන් තියෙනව කියල මිනිස්සු රෑ වුණාම ඇල්ල පැත්තෙ යන්නෙ නෑ.‘‘


‘‘මගේ අම්මෝ.....මගේ ඇගේ මයිලූත් කෙලින් වුණා.... හැබැයි මම පාර දිගට ම ඉතිපිසෝ ගාතාව කිය කියා ආවේ..... ඒ හින්දද දන්නෑ මං හොල්මන් දැක්කෙ නැත්තේ.‘‘


‘‘සෙල්ලම් නෙමේ... මීට පස්සෙ එහෙම රෑ වෙලා මේ පැත්තේ එන්න එපා..... මොනවහරි උනොත් මට තමයි වග කියන්න වෙන්නේ.‘‘


‘‘අක්ක තමයි කිව්වේ අයියා මාසෙකට කිට්ටුවෙලත් ගෙදර ආවෙත් නෑ පණිවිඩයක් එව්වෙත් නෑ ගිහින් බලන්න කියල.....‘‘


‘‘යසෝමට පිස්සු...... මං කියල තියෙනවා මම කැලේ වැඩට ගිහාම ගෙදර එන වෙලාව හරියට කියන්න බැ කියලා ...... මං ගැන බය වෙන්න එපා කියලා.‘‘


මම දින දෙකක්ම මිනුම් වාඩියේ ගත කොට නැවත කොළඹ බලා ආවේ ඉරිදා හවසය..... කොළඹ එන්න ප‍්‍රථම ජුවානිස් මා හමුවන්න පැමිණ කිව්වේ ඔවුන් කොළඹ කච්චේරියේ වැඩය කරගන්න කොළබ එන බවයි....


"දැන් කවදා විතරද අප්පුහාමිලා කොළබ එන්න හිතන් ඉන්නේ...."


"අර අපේ කෙල්ල කිව්වේ ....මොකක්ද කොළබ උත්සවයක් තියෙනවා කියලා....ඒකත් බලලා කොළබ කච්චේරියේ වැඩත් කරගෙන එන්න ....ඒකිවත් කොළබ එක්ක යන්න කියලා බේරෙන්න බෑ මහත්තයා ඒකිගෙන්.....කවදාවත් ඒකි කොළබ ගිහින් නෑනේ....මහත්තයා ..."


"ඉතිං සුනිලවත් කොළබ එක්ක එන්න....මගේ නෝනවත් සුනිලට අදුන්නලා දෙන්න බැරියෑ...."


"කමක් නැද්ද මහත්තයා ...අපි ඇවිත් මහත්තයාට කරදර වෙයිද...?


"මොන කරදරයක්ද...? ගෙදර ඕන් තරම් ඉඩ තියෙනවා ...."


"අපි එහෙනම් මේ මාසේ අන්න්තිම සුමානෙ කොළබ එන්නද මහත්තයා ..."


"ඔව්....පිටකොටුවට එන වෙලාව කියලා මට ලියුමක් දාන්නකෝ....මම එන්නම් අපේ ගෙදර එක්ක යන්න."


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page