top of page

💞බැද්දේ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 24, 2020
  • 9 min read


( 11 වෙනි කොටස )

තාත්තාගෙයි, අක්කාගෙයි කරදරෙන් බේරෙන්න බැරිකමට මගුල් කපුවෙක් මාර්ගයෙන් සොයා දුන් මනමාළිය බලන්න ගිය මම, ඇයට කැමති වුණේ අක්කයි තාත්තයි කරදරයෙන් බේරෙන්න බැරි කමටය..... කියන්න තරම් කිසිත් ලස්සනක් නැති ඇය පොහොසත් පවුලක එකම දියණිය විය. වසර ගානක් මනමාළයන්ගෙ ඇද කුද සොයමින් සිට ,ඇය කසාඳ වයස පහුවෙන්න ඔන්න මෙන්න කියා තිබිය දී මා හට කැමති වූ බව මා දැනගත්තේ පුංච් අම්මාගෙනි. ආදරය සෙනෙහස කිසිදින සිතට දැනී නොතිබුණ මා මාළි කසාඳ බඳින්න කැමති වූයේ අක්කගෙ හා තාත්තාගෙ සිත් සතුටු කරන්නටය. ඉංග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගෙන, රජයේ සේවකයකු වූ මා, හොඳ වෙද පරම්පරාවකින් පැවත එන නෑදෑ පිරිසකුත් සිටිනා බැවින් මාළිගේ පැත්තෙන් මා හට උඩින්ම කැමති වී ඇත.


අපගෙ විවාහය ඉතා ජයට ම කෙරුණේ මා අපේ පවුලේ එකම පිරිමි ළමයා වීමත් මාළි ඇගේ පවුලේ එකම දරුවා වීමත් නිසාය.... යමක්කමක් ඇති අප පවුල් දෙකේ ම නෑදෑයින්ගෙ හිත මිතුරන්ගෙ ආශිර්වාද මැද විවාහ දිවියට පත් අප දෙදෙනා පදිංචියට කොළඹ බලා ආවේ, මම නැවති සිටි කොළබ කූලි නිවසටය. ජීවිතයේ කෙදිනකවත් කාහටවත් ආදරය කර නොතිබුණු මා විවාහයෙන් පසු, මාළිට ආදරය කරන්න පටන් ගත්තෙමි.... මාළිත් මා හට ආදරය කරන්න පටන් ගත්තේ විවාහයෙන් පසුව බව මා හොඳාකාරවම දනිමි. ඇය ඇගේ සැමියාට ගරුසරු ඇතුව හොදින්ම සලකන භාර්‍යාවකි.


අපගෙ පළවන දරු උපතට සූදානමින් සිටිනා මාළි , මුල් මාස කිහිපය ඇගේ දෙමව්පියන් ගේ නිවසේ නතර කිරිමට මා ඇය රැගෙන ගියේ ඇයගෙ පියා විසින් කළුතර සිට කොළබට එවා තිබුන වාහනයෙනි.


අප මාළිගෙ නිවසට ගිය කල, ඔවුන්ගේ දෙමව්පියන් අප දෙදෙනා ඉතා සතුටින් පිලිගෙන සංග්‍රහ සත්කාර කරේ ඔවුන්ගේ එකම දියනිය කුළුදුලේ දරු උපතකට ලෑස්ති වෙන බව දැනගෙන ඉතා ප්‍රීතියෙනි.


සෙනසුරාදා අප එන බව කලින් දැනගෙන හිටි නිසා, මාළිගෙ මව කැවිලි පෙවිලි, කෑම බීම මහ ගොඩක් සාදගෙන අප පිලිගන්න සූදානම් වි ඇත.


‘‘පුතා අද රෑටත් මෙහේ නැවතිලා සදුදා උදේම කොළඹ යන්න.බැරියැ...කෝච්චියේ....‘‘


"නෑ...මාමන්ඩි,....දවස් දෙකක් මෙහෙ හිටියනේ.... මම අද හවස අක්කලාගෙ ගෙදර ගිහින් අක්කගෙ දරුවනුත් එක්ක ටිකක් ඉදලා හෙට උදේම, එහේ ඉදන් වැඩට යන්නම්...."


"පුතාට හොද විදිහක් ....එහෙනම් අපේ කාර් එකෙන්ම මම පුතාව අක්කලාගෙ ගෙදරට බස්සන්න කියන්නම්.....ඒ දුවලටත් පහේ කළමනා ටිකක් මේ ගමන්ම අරින්න පුලුවන් ...මැංගුස් වත්තේ මේ පාර හොද පළදාවක් තිබුනා, හිටින්නකෝ එයින් කොටසකුත් මම ලෑස්ති කරලා දෙන්න..."


"පුතාගෙ අක්කා පුතාට හොඳට සලකන බව දන්න නිසා මේ මාළි ගෙ හිතට හොදයි කියන්නේ...... ඒ නිසා අපේ හිතටත් හොඳයි.‘‘


මාළිගෙ අම්මා එය කීවේ හිතේ කහටක් නැතුවමය. දීග දෙන වයස පහු කර ගෙන යන වයසක සිටි මාළි ගැබිනියක වී ඇති බව දැන ගත් දිනේ සිට ඇය සිටියේ පුදුම සතුකින්ය..... මුණපුරකු මිණිපිරියක දකින්න ඇති ආසාව නිසා ඇය මා හටත් ඇගේ දියණියට මෙන් ඉතා හොඳින් සලකයි.


නෑහිතමිතුරන් ජීවත්වන, ඇය උපන් ගමේ පදිංචියට මාළි ඉතා කැමතිය. රැකියාවක් නොකළ මාළි දෙමාපියන්ගෙ ආදරය කරුණාව මැද ඉතා සැපවත්ව හැදුනු වැඩුනු කෙනෙකිය.


‘‘මාළි නම් හැමදාමත් ගමේ ඉන්න තමයි කැමති.‘‘


‘‘ඒක තමයි මම පුතාටත් කීවේ..... මේ පැත්තට මාරුවීමක් හදාගෙන එන්න කියල. රස්සාවක් නම් නැතත් මොකද මේ තියෙන දේපල මදෑ. ඔය දරුවන්ගෙ දරුවන්ටත් එක්ක.‘‘ ...

පොල් , රබර් වතු ඉඩකඩම් හිමි මාළිගෙ පියා තවමත් ඒ ඉඩකඩම්වල ආදායම ලබමින් ඒවා ගැන හොයා බලමින් ජීවත් වේ.


මාළිව ඇගේ දෙමව්පියන් ලඟ නවතා දෙවන දින හවස මා කෙලින් ම ආවේ අක්කලාගෙ ගෙදරටය. මාළිගෙ පියාගෙ වාහනයෙන් මාළි බස්සන්න ගමේ ගිය මා හට අක්කලාගෙ ගෙදරට යෑමේදී , වාහනය, පිරෙන්නම හාල් පොල් එළවළු පළතුරු ,කැවිලි වර්ග පටවා අක්කාට දෙන්න කියා මාළිගෙ මව හා පියා තෑගි බෝග එවා තිබේ....


‘‘මාමා ඇවිත් , මාමා ඇවිත්.....මා දුටු වහාම අක්කගෙ දරුවන් දෙදෙනා ඇවිත් මගේ ඇගේ එල්ලිනි.....‘‘


‘‘අන්න මාළි නැන්දා තෑගි බෝග පැනි රස එව්වා, කාරකෙ ඇති.....ගිහින් බලන්න .....‘‘


මාළි, හාල් පොල්වලට අමතරව ගමේ රස කැවිලිත් එවන්නට අමතක නොකරන බව මා දන්නෙමි.


අක්කාගේ සැමියා රජයේ මිනින්දෝරු මහත්මයෙක් නිසා ඔහුට නිතර දෙවේලේ ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට මිනිම් දෝරු වැඩ වලට යෑමට සිදු වේ. ඔහුගේ රාජකාරි කටයුතුවලට විවිධ ප‍්‍රදේශවලට යනවිට ඔහු සමඟ විවේක කාලවලට මාත් ඉඳහිට යන්නට අමතක නොකරන්නෙමි. විවාහයට පෙර මා ජීවත් වුණේ අක්කලාගෙ ගෙදරය. හේතුව අය්යා විවිධ ප‍්‍රදේශවලට රාජකාරි කටයුතුවලට යන බැවිනුත්, මාගේ රාජකාරි ආයතනය ඔවුන්ගෙ ගෙදරට කිට්ටුවෙන් පිහිටා තිබූ බැවිනුත්ය. අයියා ගෙදර නැති දිනවලට මා ගෙදර ඉන්නා නිසා අක්කා බය නැතුව දරුවනුත් සමඟ ගෙදර ඉඳී.


‘‘මල්ලිට දැන් ඉතිං නිදහස ලැබුණානේ නෝනා ගෙදර නැති නිසා....ඒක හොදයි දැන් ටික දවසක් අපිත් එක්ක මෙහේ ඉදතැහැකි.....මේ දරුවො දෙන්නත් නිතර මාමා මතක් කර කර හිටියේ......‘‘


‘‘ඔව්... ඔව්... මං දැන් මාස දෙකතුනකට නිදහස්.....මාළි නැති කම්මැලි කම යන්නත් එක්ක, මට ආයෙත් අයියත් එක්ක ඉඩම් මනිනවා බලන්න යන්න පුලුවන් .... මාළි ගෙදර එන්න ඉස්සර තමයි ..... ආයිත් නැත්නම් කවද යන්න හම්බ වෙයි ද දන්නෑනේ......‘‘


‘‘අනේ මල්ලි අයියලා දැන් සුමාන ගාණක් වෙනවා ගිහින්.......ලියුමක් වත් එව්වේ නෑ..... තවම ආවේ නැත්තෙ ඇයි ද දන්නෑ ...,‘‘


"තාම රුවන්ගම කැලෑවද අය්යලා මනින්නේ....?


"ඔව්...මල්ලි....ඒ ඝන කැලෑව තවම මැනලා ඉවර කර ගන්න බැරි වුනා කියලා ..ගිය පාර අය්යා ආ වෙලේ කිව්වා ...


‘‘ඒක මහ ඝන කැලෑව දැම්ම නම් මැනල ඉවර කරන්න බැරි වෙයි.‘‘


‘‘මල්ලිට බැරිද කන්තෝරුවේ නිවාඩුවක් දාලා ගිහින් අය්යලා බලල එන්න..... ලියුමක් අරින්නවත් හරි ලිපිනයක් තියෙන එකක්යැ........


‘‘එහෙනම් මං එන සිකුරාදාට ගිහින් බලන්නම්....අය්යා ඊට ඉස්සර පනිවිඩයක් එව්වෙ නැත්තම් ......‘‘


"අනේ ඔව් මල්ලි.....ඒක හොදයි ...මල්ලි යනවනම් මම කැවිලි අච්චාරු මොනව හරි හදලා දෙන්නම්...."


මාළි මහ ගෙදර නැවත්තු පසු මම අක්කලාගෙ ගෙදර සිට වැඩට යන්න පටන් ගත්තෙමි....මම අක්කලාගෙ ගෙදර නැවති සිටිම ඇගේ දරු දෙදෙනාට ඇති කලේ විශාල සතුටකි. මම ඔවුන්ට පාඩම් වැඩ කියාදෙමින්, සෙල්ලම් කරමින්, මුහුදු වෙරලේ ඇවිදින්න එක්ක යෑම ඔවුන්ට මහත් සතුටට කාරනයක් විය.


"මල්ලි ..අය්යා තාම පනිවිඩයක් එව්වේ නෑනේ....බැරිද මේ සිකුරාදා පොඩ්ඩක් රුවන්ගමට ගිහින් අය්යලාගෙ තොරතුරු බලලා එන්න....මල්ලි යනව නම් මම මොනව හරි අය්යලාට කන්න කැවිලි ටිකක් හදන්නම් හෙට දිහාට....


"එහෙනම් අක්කා කැවිලි ටිකක් හදන්නකෝ...මම කන්තෝරුවෙන් වරුවක නිවාඩුවක් දාලා හවස ගිහින් බලන්නම්....."


සිකුරාදා කන්තෝරුවේ වරුවක නිවාඩු දැමූ මම, මගේ ඇඳුම් බෑගයත්, අක්කා දුන් කැවිලි, අච්චාරු පාර්සලයද රැගෙන රුවන්වැල්ල බලා ගමන් ආරංභ කලෙමි.....


කන්තෝරුවෙන් පිටකොටුවට ගොස්.....කොළබ සිට රුවන් වල්ලට යන බසයකට නැගුන මම වාඩිවි යාමට සීට් එකක් යාන්තම් සොයා ගත්තෙමි..... ,හවස් වී ගෙන එනවිට මිනිසුන්ගෙන් තදව් තෙරපුන බසය රුවන්වැල්ලට ලගා වුනේ....කිරිබිරි ගාමින්‍ ය....... රුවන්වැල්ලේ සිට රුවන්ගමට යන අන්තිම බසය හවස 6.30 තියෙන බව දැනගත්තේ බස් නැවතුමේ පලේ සිටි මගියෙක්ගෙනි.... රුවන්ගම බලා යන බසයෙ යන්නට බෑග් මලු, ගොනි කරගහගත්ත ගැමියන් විශාල පිරිසක් බසය එනතෙක් බලාපොරොත්තු දැල්වුන දෑසින් බලා හිදී.... ඔවුන් අතර සිටි මා දැඩි පිපාසයකින් පෙලුන නිසා, ලග තිබුන තේ කඩයට ගොස්, එතන තිබුන හැලපයක් කා කහට කෝප්පයක් බීවේ....දවල් කෑම පැයෙදි කාපු බත් එක මේ වන විට හොදටම දිරවා තිබුන බැවිනි....කහට කෝප්පය තොල ගාන ගමන් මම බස් නැවතුමට බස් එක එනවාද කියා ඇස් තියා බලමින් වුන්නෙමි.


වැඩි වේලාවක් නොයා බස් නැවතුමට ආ පාන් ගෙඩියක හැඩැති තනි දොරේ...ලංගම බස් රතය..... වට කරගෙන ගැමියන් පොරකාමින් බසයට නගින හැටි මා බලා උන්නේ කලකිරීමෙනි..... ඇගිල්ලක් ගහන්න ඉඩ නැති බසය තුලට මාද නැග ගත්තේ...මේ බසය මග හැරුනොත් අද දවසේ රුවන්ගමට යන්නට වෙන බසයක් නොඑන බැවිනි....


මිනිසුන්ගන් පිරි ගිය බසයේ තැලෙමින්, පොඩිවෙමින් , හරියට හුස්ම ගැනිමටවත් නොහැකිව සිටි මා රුවන්ගමින් බසයෙන් බැස ගත්තේ, ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන බාගෙට පන ගොස්‍ ය.


රුවන්ගම කිට්ටුව තිබු කඩමණ්ඞ්යෙන් මම බසයෙන් බැස ගන්නා විට, අවට පරිසරයට හොදටම අදුර වැට් තිබුනි..... හොදටම කලුවර නිසා.... රුවන්ගමට මා යා යුත්තෙ කෙසේදැයි කියා සිතා ගැනිමට නොහැකි විය....... දසතම පැතිර තිබු කලුවර නිසා මසිත තිගැස්සින.


කඩමණ්ඩිය නොහොත්... ගමේ තිබුන එකම තේ කඩය හා හාල් තුනපහ ආදිය විකුනන කඩයේ පැට්ට්‍රල් ලාම්පුවක් දැල්වේ.... බඩු ගන්නට හා තේ බොන්නට, පැමිනි ගැමියන් දෙතුන් දෙනෙක්ද කඩ කෑල්ලේ දොරටුව ලග හා මිදුලේ ඇත...


රුවන්ගම හරහා පැල්මඩුල්ලට යන බසයෙන් කලුවර වැටින පසු, අවසන් බසයෙන් පැමින කඩමණ්ඩියෙන් බැස ගත් කලිසම් ඇදගත් මහත්තයා කවුද කියා ඔවුන් සියල්ල විමසුන් ඇසින් මා දෙස බැලුවේ විමත්තියෙනි.....


"මහත්තයා....මේ කොහි යන ගමන්ද...මේ ගොම්මනේ....?


"මම මේ ඉහළ ගමට පාර කපන්න ...ඉඩම් මනින්න ආ මිනුම් දෝරු මහත්තුරු ඉන්න වාඩියට යන්න කියලා ....


"මගෙ අම්මෝ මහත්තයා ...මේ රෑ....ගමේ අපිත් ඒ වාඩිය පැත්තෙ යන්නෙ නෑ මේ රෑට ... ඒක මහ කැලේනේ......"


"මහත්තයා පාර දන්නවද යන්න...? තවකෙක් අසයි.


" එක ගමනක් ගිහින් තියෙනවා...හොයාගෙන යන්න පුලුවන් වෙයි.... මේ වෙලාවේ....ඔය කවුරු හරි ගම පැත්තට යන අය එහෙම ඉන්නවද දන්නැ....නේද?


"ඉන්න මහත්තයා බලන්න...අර තේමිස් මලය නම් ඉන්නවා....උන්දැ මගින් හැරිලා කුරුදු කෑල්ල පැත්තට බහිනවා....මහත්තයාට ටික දුරක් තේමිස් මලය එක්ක නම් යතහැකි....ඉන්න මම අහල කියන්න...."


"තේමිස් මලයෝ....දැන්ම කන්ද නගිනවද....?මේ මහත්තයාවත් තැන්න පැත්තට කලානම්....ඔය ඒ ගමේ කවුරු හරි මහත්තයාව මිනුම් වාඩියට එක්ක යයි......"


"මම මේ යන්න කියලා ......

.ඉන්න මහත්තයා මම මේ බඩු..ගෝනිය ඇරගෙන එන්නම්..... මේ හුළු අත්ත පත්තු කරගෙන ගියේ නැත්තම් සතාසීපාව පේන්නෙ නෑ කලුවරේ...."


කඩමණ්ඩියෙ උන් මිනිසුන්ගෙන් කැලේ මනින මිනුම් මහත්තයලා වාඩි දමා ගෙන සිටින පැත්ත ගැන ඇසූ විට ඔවුන් අරහෙන් මෙහෙන් හැරී යන ලෙස මා හට පාර කිවේය.....

තේමිස් නම් ගැමියා මා යන පාරේ මගක් දුරට යනවා කිව් නිසා....මම ඔහු පිටුපස වැටුනේ ඔහු සමග කතා කරමින්ය...... එක අතකින් විශාල බඩු ගෝනියක් කරේ තියාන.... අනිත් අතින් හුළු අත්ත එහෙට මෙහෙට වනමින් යන ඔහු ....හරි පහසුවෙන් යන බව මට හැගේ.....ඔහු පිටිපස මම .දිග අඩි තියමින්‍ යන්නේ හති දමමින්‍ ය.


දැන් හොදටම අඳුර වැටී ඇත......දැන් රෑ අටට විතර ඇති යැයි මට සිතේ....... කඩමණ්ඩියේ සිට ගුරු පාර දිගේ ඇවිද ආ අප දෙදෙනා ......පසුව කුඹුරු යායක් මැද නියර දිගේ ඇවිදගෙන ගියෙමු.. ... . කුබුරේ වක්කඩ වල දිය පාර වලින් බැස යන හීන් දිය සීරාවේ සද්දය....ගෙම්බන්, කුරුමිනියන්....රැහැයන්ගේ ශබ්දය ඇරෙන්න අවට පරිසරයේ වෙන කිසිම ශබ්දයක් නැත....කදු යායෙන් වටවුන කුබුරු යායෙ නියර දිගේ ආ අපට....ඊට පසු එතන තිබුන ඔයෙන් එගොඩට වෙන්නට තිබුනේ....පොල් ගසක් කපා දමා හදා තිබුන ඒදන්ඩෙනි......


"මහත්තයාට පුලුවන්ද ...ඒදන්ඩේ යන්න...බලාගෙන පය ලිස්සුවොත් ඔයට වැටෙයි...."


පොල් කොටන් දා සාදා තිබු ඒදන්ඩෙන් පහල ඔයේ , හීන් හඩක් නගමින් ජලය බැස යයි.....ගැමියා විශාල ගෝනියද කරේ තියාගෙන ඒදන්ඩ උඩ සීරුවට යයි....මම ඔහු පසු පස හෙමිහිට අඩි තබමින් යන්නේ සැකයෙනි. කොයි මොහොතේ මම ඔයට ඇද වැටේද කියා ඇත්තේ සැකයකි......


ඔයෙන් එගොඩ වී යන්නට තිබුන, ඝනට වැවුන මැංගුස් වතු යාය මැදින් යද්දි තිබුන ඝන කලුවර.....හිත තිගස්වයි.....එයින් පසු යන්නට තිබුන..... දිගටම ගල් මුල් වලින් ගහන අඩි පාරේ කලුවරේ අප ඇවිද ගියෙමු.....


"මහත්තයා මම මේ කුරුදු කෑල්ලෙන් පහලට බහිනවා....අපේ ගෙවල් ඔය පල්ලෙහා....මහත්තයාට ඉතිරි ටික තනියම යන්න පුලුවන්ද ......ඉස්සරහ අක්කර හතලිහේ රබර් කෑල්ල පාස් කලාම......ඔය අඩි පාරේ දීගටම යන්ඩ....හැතැප්ම දෙකකට කිට්ටු වෙන්න දුරක් ගිහාම ගම්මානය හම්බ වෙයි... මහත්තයාට ඔය ගමේ කාවහරි අඩගහගෙන වාඩියට යත හැකී......අනේ මන්දා...මහත්තයා හරියට පාර වත් දන්නෙ නැතුව මොකට....මේ රෑ ආවද මන්දා....අපේ අම්මා ලෙඩ වෙලා ඉන්නේ....නැත්තම් මම මහත්තයා බස්සලා යන්නඩ එනවා...."


"නෑ මට පුලුවන්. ..මේ ඉටිපන්දම පත්තු කරලා පොල්කට්ටක ගහ ගත්තම මට පාර බලාගෙන යත හැකි....."


"එහෙනම් මහත්තයා පරිස්සමට යන්න....ටික දුරක් ගිහාම පොඩි ඇල්ලක් හම්බ වෙයි....එතන පහුකරලා ගිහාම ටික දුරයි ගම්මානෙට....."


"හොදයි බොහොම ස්තුතියි ....එහෙනම් ..."


කන්දේ..., ගල් මුල් වල හැපි හැපි වැටි වැටි.. යාන්තමට පෑදි තිබූ අඩි පාර ඔස්සේ ගම් යාය සොයා ගනිමින් තිත්ත කරුවලේ යන මට පාර කියන්න තිබුනේ....කඩමන්ඩියෙන් පොල්කට්ටක ගසා පත්තු කල ඉටිපන්දම පමනි..... පේනතෙක් මායිමේ ගෙයක් දොරක් නැති කැලෑවේ, නොයෙකුත් නොදන්න වන සතුන්ගේ හඩවල්...එක දිගට කෑගසන රෑහැයියන්ගේ, ගෙම්බන් බකමූනන්ගේ හඩ මගේ හිත ගැස්සි ඇත..... සැතැප්මක් දෙකක් පමන ඝන අන්දකාරයේ යනවිට හිතේ ඇති තිගැස්මත් සමග හොඳටම හති වැටුනත්.....ඇග සීතල කර ඇත්තේ බයටය......පුලුවන් තරම් ඉක්මනට අඩි පාර දීගේ පය ඉක්මන් කරමින් යන්නේ වටපිට නොබලාය........ හතර අතින් ඇති අන්දකාරයේ මා පාර සොයා ගත්තේ බාගෙට පායා තිබු හඳ එළියෙනි....අතේ තිබුන ඉටිපන්දම දැන් නිවී ගොසින්‍ ය.....අඩි පාර දෙපැත්තෙ ඇති කැලෑවල සිටින සතුන්ගෙ හඬවල් ද, රැුහැයින්ගේ සද්දෙන් ද මගේ සිත චකිතයෙන් ගැහෙයි....... සිතට ශක්තිය ගෙන මා අඩිය ඉක්මණ් කර අඩි පාර දිගේ කන්දේ ඉහලට නැග්ගෙමි..... .ගැමියා කිව් පාරේ ඇති පොඩි දිය ඇල්ල හා දොළ පාරෙන් ඇද හැලෙන වතුර ශබ්දය මා සිතට ඇති කළේ අමුතුම බියකි ....දිය ඇල්ලේ සිට කඩා හැලෙනා වතුර අතරින් පෙනෙනා කලු ගල් මට හොල්මන් ලෙස පෙනේ...හෙළවෙන ගස් කොළන් තව තවත් මා භය කරයි.....


ඉතිපිසෝ භගවා අරහං සම්මා.....සම්බුද්දො....... යන ගාථාව

හයියෙන් හයියෙන් සද්දෙට කිය කියා මම දිගට ම පය ඉක්මණ් කර ගියෙමි.....ඇල්ල පසුකර කලුවරේ ..තව ටික දුරක් යනවිට ඈත ගේක පහන් එළියක් දුටු විට..... මගේ හිතට පණ ආවේ එවෙලේය..... මං හනි හනිකට ගල් මුල් වල හැපි හැපි ඒ දෙසට දිව්වේ....ඇගට ආ ශක්තියත් සමගිනි.....


එම ගෙදර ඉනි වැට කඩුල්ල අනවසරයෙන්ම පැන ගොස් ගෙයි දොරට තිඩි බෑවේ හිතේ තිබූ බය, සැකය, චකිතය සියල්ල මද්‍යයේය....ගෙයක් දුටු සතුටත් සමගය....


‘‘කවුද... කවුද... මේ මහ රෑ.... දොරට තඩි බාන්නේ.‘‘

වයසක උන්දෑ කෙනෙකු කරේ ඉඳන් චීත්තයක් පොරවා ගෙන භූමිතෙ පහනක් ද අතින් ගෙන දොර ඇරියේ කේන්තියෙනි.... ඇය ඇස් පොඩිකරමින් මා අදුනාගන්න උත්සහ ගනී.....


‘‘ආ... මේ මහත්තයා කෙනෙක් ....කවුද මේ....?’’ මගේ මූණට පහන අල්ලා ඇය මා අඳුනා ගන්නට උත්සහ ගනියි....


‘‘අම්මේ මං උඩහ කන්දෙ ලොකු මිනුම් මහත්තයාගේ මල්ලි..... ගෙදරින් පණිවිඩයක් ඇරගෙන ආවේ.... අනේ මට පාර වැරදිලා ද කොහේදෝ....මට පුළුවන්නම් මිනුම් කදවුරේ වාඩිය පැත්තට පාර පෙන්නුවානම්.....‘‘


‘‘මගෙ අම්මෝ කැලෑ මහත්තයලා වාඩි ගහගෙන ඉන්නේ කොයිතරම් නම් දුරකද? .....බැද්දේනෙ ඉන්නෙ.......මේ රෑ නම් මහත්තයාට ඒ පැත්තට යන්න වෙන්නෑ...... තව හැතැප්ම 4කටත් වැඩියි ඒ පැත්තට......මෙහෙ ඉදන්.... මේ රෑ ..... සතා සිව්පාවා එළි බහින වෙලාව යන්න නරකයි තනියම..... පොඞ්ඩක් හිටින්නකෝ..... මං මහත්තයාව අප්පුහාමි ලාගෙ ගෙදරට බස්සන්න..... අප්පුහාමිගෙ පාල කොලුවත් එක්කවත් මහතත්යාට ඒ පැත්තට යන්න පුළුවන්ද බලන්න.......‘‘


ඇය එසේ කියා ගෙදර දොර අඩවන් කර අතේ තිබූ පහනත් ඇරන් මට ඉස්සර විය.

මගේ හිතට සැහැල්ලූවක් දැනුණේ එවිටය..... ඇයගෙ පිටුපසින් මා ඇයට පිං දිදී ගමන් කළේ....රෑ පානේ ගමට ඇවිත් මා කරගත් මෝඩ වැඬේ කල්පනා කර ක‍රය......සැතැප්ම කාලක් පමන ගිය තැන, තව ගෙවල්වල පහන් එළි දෙකතුනක් මට දැක ගන්නට හැකි විය. මහළු අම්මා මා සමග එම ගෙවල් ද පසු කරගෙන ගොස් තැන්නකට පිවිසියාය..... තැන්නෙ තිබූ ගෙයි ඉදි කඩුල්ල පැන ඇය ගේ දොරකඩට යන විට එම ගේ අදුනාගන්නට හැකි විය.....ඒ සුනිලාගෙ ගෙදරය.


"අප්පුහාමි....අප්පුහාමි ....... උඹ මේ මහත්තයාව අඳුනනවද බලන්න .......මේ මහත්තයාට පාර වැරදිලාද කොහේදෝ.......ඒ හින්දා මං මේ මහත්තයාව මෙහෙට එක්ක ආවා. "

ඇය ගේ දොරකඩ සිටි ගේ ඇතුලේ ඉන්න ඇයට ඇසෙන සේ කෑගහයි.....


ගෙදර ඉදිරිපස දොර ඇරගෙන එයින් එලියට ආවේ අප්පුහාමි මාමාය......දොර ඇරුන විගස ගෙයි ඇතුලේ තිබුන ලාම්පු එළිය මිදුලට වැටින.


ගෙයි උළුවස්සේ සිට අතේ ඇති පහන මිදුලට අල්ලමින් ඇස් දෙක පොඩි කර මා දිහා බැලූ ජුවාන් අප්පුහාමි පුදුමයෙන් පුදුමයට පත් විය.


‘‘මගෙ අම්මෝ.....මේ ලොකු මිනුම් මහත්තයාගෙ මල්ලි නේ..... මොකද මහත්තයා මේ රෑ ජාමේ...... ‘‘


‘‘මම මේ අය්යට, ගෙදරින් පණිවිඩයක් ඇරගෙන ආවේ...... වැඩ ඇරිලා එනකොට හොඳටම හවස් වුණා..... මට හරියට පාර මතක නැති නිසා මග දිගට ම පාර අහ අහ ආවේ...... අනේ, අප්පුහාමි .....මාව ටිකක් වාඩිය පැත්තට කරන්න පුළුවන් ද? ......මෙතනින් එහාට නම් තනියම යන්නත් බයයි.‘‘


‘‘මහත්තයා දැන් මේ රෑ දහයත් පහුවෙලා..... සතා සීපාවා මඟ දිගට ම ඇති. මේ වෙලේ කැලේ යන එක නාකයි....නපුරුයි..... මහත්තයා අද රෑට මෙහෙ ඉඳල හෙට උදෙන් ම යන්න.....


." එන්න එන්න මහත්තයා ගේ ඇතුළට..... මංගෝඅක්කෙ .....ලොකු දෙයක් උඹ මහත්තයාව මෙහෙට කරපු එක.....‘‘


‘‘එහෙනම් මං ගිහින් එන්නම්. මහත්තයා....‘


‘‘අනේ අම්මේ බොහොම පිං මාව මේ පැත්තට එක්ක ආවට.‘‘


‘‘පිං මොකටද මහත්තයෝ..... කොහොමත් මාසෙකට දෙකකට සැරයක් අපේ ගෙදර රෑට පාර වැරදෙන අය එනවා.... මගේ ගේ නොවෑ ගමේ මණ්ඩියට එනකොට ඉස්සෙල්ලාම හම්බවෙන ගෙදර.‘‘


‘‘සුනිලා, ....මේ බලපන් කවුද ඇවිල්ලා ඉන්නෙ කියල.‘‘ ජුවානිස් කෑගෑවේ ගෙයි ඇතුලටය.....


චීත්ත රෙද්දක් කරේ සිට පොරවාගෙන, කුප්පි ලාම්පුවක් අතින් ගත් සුනිලා...

ගෙයි සිට එළියට ආවේ පුදුම වී මා දෙස බලමින්ය....


- නැවත සදුදා හමු වෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page