💞බැද්දේ කුමරිය 💞
- Prisila Godahewa

- Sep 13, 2020
- 7 min read
(දෙවන කොටස )
තාත්තාගෙ ලොකු අක්කා වන අපේ නැන්දා ,නිතරම මාත්, අක්කා ගැනත් සොයා බලන්නීය.... ඇය තාත්තාගෙ වැඩිමල් සොහොයුරියයි. ඇය පදිංචි වී සිටින්නේ ද අපේ ගෙවල්වලට කිට්ටුවෙන් ම නිසා, අම්මා නැති වුණ පසු අපේ තනිකම ටිකක් හෝ මඟ හැරී ගියේ ඇය නිසයි... අක්කාත්, මාත් දෙදෙනා ම ඇයට ආදරේ කරන්නේ එබැවිනි. ඇයගේ දරුවන්ද අපේ සහෝදරයන් මෙන් ය. ඇයගෙ නිවසේ සෑදෙන විශේෂ කෑම වර්ගද අපට දිනපතා රස බැලීමට අවස්තාව ලැබේ.
අපේ දුක, පාලුව කාන්සිය නැතිවෙන්නේ ඇය නිසයි. අප දෙදෙනාට නිතර අවවාද අනුශාසනා කරමින් ඇය අප හොද තැනකට උත්සහ ගනී. නමුත් සමහර අවස්තා වල ඒ අවවාද අපට කරදරයක් වෙන තරම් ය.
වැඩි කාලයක් නොගොසින් ම නැන්දා, අපට දුරින් නෑදෑවන පවුලකින් උනත් ,කපුවෙක් මාර්ගයෙන් අක්කාට මණමාලයෙක් සොයා ගෙන තිබුණි....
‘‘ යසෝමාට වඩා අවුරුදු හතරක් විතර වැඩිමල්, කඩවසම් ඉලන්දාරියෙක්..... අපේ ගම කිට්ටුවම අය තමයි ....මං දැකල තියෙනවා ඒ දරුවා….මීට අවුරුද්දකට විතර උඩදී...ගෙවල් දොරවලුත් හොදයි….වැඩි බරපතල පවුලක් නෙමේ….ඒ නිසා ඒ ළමයා , කසාද බැද්දොත් යසෝමට කරදරයක් නැතුව ඉන්න පුලුවන් වෙයි.....‘‘
‘‘කොහේද ඒ ළමයා වැඩ කරන්නේ..?..‘‘
තාත්තා නැන්දාගෙන්, අක්කාට කතා කරපු මණමාලයා ගැන, විස්තර කතා අහන්නේ උවමනාවෙනි.
‘‘ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ…. කොච්චර දෙයක් ද කවදාහරි පෙන්ෂන් එකත් තියෙන රස්සාවක්නේ.‘‘
‘‘එහෙනම් හොඳයි. ආන්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් නම්….
"ඒ ළමයට සහෝදර සහොදරියන් වැඩිය නෑ...ඒ නිසා ඉන්න මහගෙදරත් අයිති වන්නේ ඒ ළමයට...අනික කුළපරම්පරාවත් අපට හොදටම ගැලපෙනවා...... කොච්චර වටිනවද ඒකත්....‘‘
‘‘එහෙනම් අක්කා කතා කරල බලලා...ඒ කට්ටියව දුවව බලන්න මෙහෙ එක්ක එන්න දිනයක් දා ගන්න.....‘‘
"ඈතින් නෑදෑයෝ වුනාට, කපු රාල කෙනෙක් මාර්ගයෙන් ආ නිසා, අපට කපුවටත් ගානක් දෙන්න වෙයි…."
"අක්කා ඒ ගැන පොඩ්ඩක් බලන්න ..මට ඕවා තේරෙන්නෙ නෑ..…"
ඊට පසු එළඹි සෙනසුරාදා අක්කා බලන්න මණමාලයෙක් එනවා යැයි පවසමින් ලොකු නැන්දාත්, පොඩි මාමාත් පැමිණ අපේ ගෙවල් දොරවල් අස්පස් කරන්න, කෑම හදන්න උදව් කළෝය. සැවොම අම්මා නැති මාත්, අක්කාත් ගැන ඉතා ඕනෑකමින් සොයා බලා, උදව් කරති.
‘‘යසොට මං හෙට අඳින්න සාරියක් ගෙනාවා හැට්ටෙත් මහල ඉවරයි. ඇඳල බලන්නකෝ…..‘‘
ලොකු නැන්දා අක්කා සමඟ ඇගේ කාමරයට ගොස් ඇයට සාරිය අන්ඳා හැඩ බලයි.
"හැට්ටේ ටිකක් ලොකුයි...නැන්දේ…."
"මම රෑට දෙපැත්තෙන් අල්ලලා මහලා දෙන්නම්...මේක හොදයි..ලස්සනයි යසෝමට…මම උඩහ ගෙදර කැතරින්ට කියලා මහ ගත්තේ...".
‘‘හෙට උදේ කීයට ද නැන්දෙ කට්ටිය මෙහේ එන්නේ.‘‘
අක්කා ද ඇය බලන්න එන මණමාලයා හා ඇගේ පවුලේ කට්ටිය පිලිගන්නට සූදානමින් ඉදියි... මේ වනවිට අක්කාට අවුරුදු විසි දෙක සම්පූර්ණ වී තිබුණ බැවින් ඇය ද ඇගේ ගමේ, අනිත් යෙහෙළියන් සේ ඇයද දීග යා යුතු වයස යැයි සිතමින් සිටි කාලයකි....
අක්කාගෙ හොඳම යහළුවන් දෙදෙනා ද ඒ වනවිට දීග ගොස් සිටි බැවින්... ඇයට ද ඒ සඳහා උවමනාවක් ඇති වී ඇති බැව් අප හැමෝට ම පෙනේ.
‘‘යසෝගේ මූණ මලක් පිපිලා….. මණමාලයා දකින කම් ඉස්පාසුවක් නෑ වගේ....‘‘
ඇයගෙ පාසැලේ තව යෙහෙළියක් පැමිණ, එදින ඇගේ උදව්වට අපේ ගෙදර නැවතී ඉඳියි. ඇය ද අක්කාගෙ මණමාලයා බලන්න ආසාවෙන් ඉන්නා කෙනෙකිය.. ..
‘‘කෑම බිම ඔක්කොම දැන් ලෑස්ති ද? හෙට දවල් කෑමට නේද කට්ටිය එනව කියල තියෙන්නේ…..‘‘
‘‘ඔව්... නැන්දේ.. ගමේ ගැහැණු දෙන්නෙක් ගෙන්වා ගෙන හෙට උයන්න ඕන දේවල් ලෑස්ති කරල තියෙන්නේ...ඒ දෙන්නා හෙට උදෙන් ම උයන්න පටන් ගනියි...‘‘
පසුදින වෙනතෙක් මාත් බලා සිටියේ මගේ එකම සහෝදරිය බලන්න එන මණමාලයා දැක බලා ගැනීමටය….
ඒ වන විට මම උසස් පෙළ අවසන් කර පාසැලේන් අස්වී ,ගාල්ලේ නොතාරිස් කන්තෝරුවක ලිපිකරුවකු ලෙස රැකියාවක් කරමින් උන්නෙමි. පාසැලේන් අස්වෙන්න පෙරම මගේ තිබුන එකම ආසාව උනේ, ආන්ඩුවේ කන්තෝරුවක රැකියාවක් කිරිමයි. හේතුව ආන්ඩුවේ රස්සාවක් කලොත් වයසට ගිය කාලෙක පැන්ශන් එකක් ලැබෙන නිසයි. ආන්ඩුවේ ලිපිකාර රැකියාවක් සදහා ඉල්ලුම් කිරිමට පෙර ආන්ඩුවේන් පවත්වන ලිපිකාර විභාගයට ලියන්න මම ඒ දිනවල ලෑස්ති වී සිටි කාලයයි. ඒ නිසා මගෙන් කිසි වැඩක් ගන්නට පවුලෙ කිසි කෙනෙක් උනන්දු නොවිය. මම පුළු පුළුවන් හැටියට ගෙදර දොර අස් කර දෙන වැඩවලට උදව් උනෙමි.
එදින අක්කා බලන්න මණමාලයා ඇතුලු අට දෙනෙක් පමන අපේ ගෙදරට ආවෝය. ඔවුන්ට බත බුලතින් හොදින් සංග්‍රහ කරන්නට නැන්දා මාමා, තාත්තා ඇතුලු අය උනන්දු වූහ.
අක්කා බලන්න ආ නෑදෑයින් බත බුලතින් හොදින් සප්පායම් වී එදින අපේ ගෙදරින් ආපසු යන විට හවස තුනත් පසුවී තිබුනි.
එදින දකුනේ ගැහැනුන් අදින ආකාරයට, අක්කා, සාරියකින් සැරසී ,ඇය බලන්න ආ මනමාලයාට බුලත් හෙප්පුව ගෙන ගිය අක්කා, කෝළ ලෙස හැසුරිනි. නමුත් ඇය සතුටින් පසුවන බව නම් කාටත් හොදින් පෙනුන දෙයක් විය. ඔවුන් ආපසු ගිය පසුත් ඉන් පසු ගෙවුනු මුලු සුමානෙම, ඇය ගෙදර වැඩ කටයුතු කලේත් සතුටිනි.
පසු ගිය සෙනසුරාදා ….අක්කා බලන්න පැමිණි අලූත් නෑදෑයෝ අක්කාට කැමති වී ඇති බැව්, සුමානයක් ඇතුලත අපට දැනගන්නට ලැබුන විට, මට සතුටක් සේම දුකක් ද දැණිනි…. සතුට නම් අක්කාට හොඳ කෙනෙකු හා විවාහ වීමට හැකිවීමත්..., දුක නම් ඇය අපහැර දමා ඇය සැමියාගෙ නිවසට ගිය විට තාත්තාත් මාත් තනිවෙනවා යන හැඟීමත් නිසාය…. කෙසේ වෙතත් අක්කාගෙ අනාගත සුභ සිද්ධිය තකා මාත්, තාත්තාත් අක්කාගෙ විවාහයට, එක සිතින් කැමැත්ත දුන්නාහ.
‘‘ යසෝ කසාඳ බැඳලා ඒ ගෙදර නවතින්න ගියත් මේ ගම කිට්ටුව කෙනෙක් නිසා, යසෝට නිතර ගෙදර ඇවිත් යන්න පුලුවන්නේ.....කොහොම හිටියත් ගෑනු ළමයි කවදා හෝ ගෙදරින් යන්න එපෑ...’’
‘‘එහෙම තමයි ගෑණු ළමයිව අම්මල තාත්තලාට ඕන විදිහට ගෙවල්වල නවත්ත ගන්න බෑනේ….අනිවාර්යයෙන්ම විවාහ වුණාට පස්සෙ සැමියාගෙ ගෙදර යන්න වෙනවා.‘‘
නැන්දා අක්කාගෙන් ඉක්මනට නිදහස් වීමට උත්සහ කරයි….ඇය දවල් දවසට තනියම ගෙදර ඉදීම ඇයට ලොකු බරකි. උදේ පාන්දර මම වැඩට ගිය විට, තාත්තා නිතර බෙහෙත් සාප්පුවේ වැඩ කරමින් සිටින නිසත්, අක්කා තනියම ගෙදර සිටිම නැන්දාගේ හිතට හරි නැත. දවල් දවසට ඇය ඇගේ බාල දියනිය අක්කාගෙ තනියට නිතර අපේ ගෙදර එවයි. අම්මා නැතිවුන පසු, ගමේ ගැහැනුන් නිතර අපේ ගෙදර ව්ත් අක්කාගේ පාලුව මකා යන්නට, ඇය සමග කතා කරමින් ඉද යන්නට අමතක නොකරයි.
කෙසේ නමුත් අක්කා බලන්න පැමිණ ශාන්ත අයියා හොඳ කෙනෙක් බව මටත්, තාත්තාටත් අනිත් නෑදෑයින්ටත් තේරුනි.
එබැවින් අප සියල්ලෝම එක පයින් අක්කාගෙ විවාහයට කැමැත්ත පළ කලෙමු.
‘‘එහෙනම් අපි යසෝගේ මගුල් ගෙදර ...මැයි මාසේ දිනයක උත්සවය ගන්න දා ගමු. ඒ වෙනකොට පුතාගෙ ආන්ඩුවේ ලිපිකාර විභාගයත් ඉවර වෙලා තියෙයිනේ....‘‘
‘‘ඔව් ඒක හොඳයි. එහෙනම් අපි මණමාලයාගෙ පැත්තට ඒ බැව් දැනුම් දෙමු.‘‘
‘‘යසෝට දෑවැද්දට දෙන දේවලූත් පිළිවෙලක් කරලා ඒ අයට කියන්න වෙයි අය්යේ..…. මගුල් කපුවා ඒ ගැනත් ඇහුව්වා….මම කිව්වා බඩු මුට්ටු වලට අමතරව මුදල් එහෙමත් අපි දෙනවා කියලා.... අපි පුළුවන් හොඳට යසෝමාගෙ විවාහ උත්සවය ගමු.... අම්මාත් නැති කෙල්ලනේ…. මගුල් ගෙදර චාරිත‍්‍ර ඒ කෙරෙන්න ඕන විදිහට හොඳට, කවුරුත් එකතු වෙලාම කරමු.‘‘
"අක්කේ මම බැලුවේ අපේ ඉහළ වත්තේ කොටසක් විකුනලා..දුවගෙ මගුල හොදට ගන්න කියලා ...දෑවැද්දටත් දෙන දේවල් ලෑස්ති කරන්න සල්ලි තියෙන්නත් එපෑ…"
"ඔව් අර ඉහළ, පාර අයිනේ කොටස හොද මිලකට දීගන්න පුලුවන් වෙයි…., නිතරම පාර අයින කෑල්ල එක එක්කෙනා මිලට ගන්න ඉල්ලනවනේ...ඔන්න ඔහේ ඒ කෑල්ල විකුනලා දාලා යසෝමගෙ මගුලට සල්ලි හදාගන්න…. . නැතුව ඉතිං... ,මුලු ගමටම බෙහෙත් කරාට මොකද..අය්යට සල්ලි ඉතුරු කරන්න ඕන කමක් තිබුනෙ නෑනේ….අහිංසක මිනිස්සු කියලා කාගෙන්වත් බෙහෙත් වලට සල්ලි ගන්නෙ නෑනේ. ...හොදයි ඉතිං පරම්පරාවෙන් හම්බවෙච්ච් ඉඩකඩම් තියෙන නිසා...අර ශ්‍රියා නංගි ජීවත්ව ඉන්න කාලේ ,හම්බකරලා ඉතිරි කර ගත්ත දේවල් තියෙන නිසා ළමයි දෙන්නට හොදයි .... ඒ උනාට යසොමගෙ මගුල හොදට ගන්න ඕනේ….දෑවෑද්දට සල්ලිත් දෙන්න එපෑ...
අහල ගම් හතකට බෙහෙත් කලත් තාත්තා, ඒ කාගෙන්වත් මුදල් ගන්න අකමැති නිසා උන්දෑ අත ඉතිරි කරගත් මුදල් නොතිබුනි ගානය. නමුත් අම්මා ජීවත්ව සිටිය කාලේ....වත්තේ පොල් කොප්පරා ,පොල් තෙල් ආදිය සිදාදියේ මහ කඩේට ඇර විකුනා ලැබුනු මුදල්, අක්කාත් මාත් වෙනුවෙන් ඉතිරි කර තිබු බව අප දැනගත්තේ ඇගේ මරනින් පසුය. ඊට අමතරව ඇය අක්කාට රත්තරං කර මාලයක්, කරාබු ජෝඩුවක් සාදා ඇය වැඩිවිය පැමින දින පැලදුවාද මතකය. තාත්තා ඇයට වලලු ජෝඩුවක් වේලාසන සාදා තිබුන බව අම්මා කීවේ ලොකු සතුටකිනි. විශේෂ ගමන් වලට අම්මා දාපු රත්තරං වලලු ජෝඩුව, මාලය අම්මා නැතිවුන පසු, අක්කා එයත් පාවිච්චි කරනවා මම දැක තිබුනි.... කසාද බදින්න ලෑස්ති වෙන අක්කාට ඒ රත්තරං බඩු ඇති යැයි මට සිතේ….
අක්කා කවදත් පවුලේ සියලූ නෑදෑයින්ගෙ, හිත දිනාගෙන සිටි කෙනෙකිය. එබැවින් නෑදෑයෝ කවුරුත් ඇයට ඉතා ආදරය කලහ. ඇය ලොකු පොඩි කා හටත් ඉතා ආදරයෙන් ගෞරවයෙන් සැලකීම නිසා සැවොම ඇයට ඉතා කැමතිය.... ඇයගෙ විවාහ උත්සවයට අම්මාගෙ හා තාත්තාගෙ සියලූ නෑදෑයින් පුළු පුළුවන් විදිහට උදව් කරමින් ඇගේ විවාහ උත්සවයට සහභාගී විය.
අක්කාගෙ විවාහ උත්සවය අපේ මහගෙදර පුළුවන් ඉහලින් පැවැත්වීනි. තාත්තා එදා සිටියේ ඉතා සතුටෙන් වගේම කණගාටුවෙනි. අම්මා නැතිවුණදා සිට තාත්තාවත්, මාවත් ඉතා ආදරයෙන් රැක බලා ගත් ඇය අපට උයා පිහා ඇඳුම් සෝදා ගෙවල් අස් පස් කරමින් අම්මාගෙ තැන ගෙන සිටි තැනැත්තිය අද ගෙදරින් යන්න ලෑස්ති වී ඇත.
"අද යසෝමා හරි ලස්සනයි.... දකුනේ තාලෙට සාරිය ඇඳලා වේල් එක දාගෙන ඉන්න හැටි බලන්න ලස්සනයි. "
ශාන්ත අයියා කළු පාට කෝට් සූට් එකක් හැඳ ඇයගෙ ලඟින් ම සිටියේද කෝළ ලෙසය. අක්කා ඉතා සතුටින් මංගල චාරිත‍්‍රවලට සහභාගී වෙන බව අප සැවොටම දැණුනු දෙයකි
‘‘වෙලාව හරි නේද මනාල යුවලට යන්න.‘‘
‘‘එහෙනම් දෙන්නත් එක්ක නෑදෑයින්ට වැඳල අවසර ගත්තොත් හොඳයි වෙලාව පහුවෙන්න ඉස්සර.‘‘
අක්කා සහ ශාන්ත අයියා තාත්තා ලඟට ගොස් බිමට නැවී වැන්දාය... අක්කාගෙ ඇස්වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තේ තාත්තා ඇයගෙ උරහිස් වලට අත තියා ඇගේ හිස සිඹිනා විටය. ඔහුගේ දෙනෙතින්ද කදුලු වැටිනි….. අද දින ගෙදරින් ඇය අලුත් නෑදෑයින් වෙත නික්ම යන බැවි දැන තාත්තා දුක් වෙයි.....
අක්කා කඳුළු සලමින් අඬන්න පටන් ගත්තේ මා ඇයගෙ කකුල් දෙක අල්ලා වඳින විටය. මාව ඉඹ තුරුල් කරගෙන අක්කා කඳුළු සලමින් අඬන්න පටන් ගත්තාය. අප දෙදෙනාම අඬනවා දැක නෑදෑයින් ද ඇස්වල කඳුළු පුරවාගෙන අප දෙදෙනා දෙස බලා සිටියේ දුකෙනි.
අක්කාගේ දෙවැනිගමන නොහොත් "ඇට් හෝම්" එකශාන්ත අය්යාගේ මහ ගෙදර ඉතා ඉහලින් පැවැත්විණි. ඒදින දෙවන ගමන දින තාත්තා අක්කාට දෙන දෑවැද්ද නෑදෑයින් ඉදිරිපිට ශාන්ත අය්යා අතට දී මගුල් ගෙදර චාරිත්‍ර ඉටුකරන ලදි…..
ටික වේලාවකට පසු, ගෙයි එහේ මෙහේ කසු කුසුවක් ගියෙන් මම අක්කා ලගට ගොස් ඒ ගැන ඇගෙන් ඇසුවෙමි.
"අක්කේ, ඇයි මේ ශාන්ත අය්යලාගෙ ගෙදර කට්ටිය කසුකුසු ගාන්නේ… ශාන්ත අය්යත් පේන්න නෑ..ඒ මොකද?
"අනේ මල්ලියේ….හරි වැඩේනේ..තාත්තා දැන් ටිකකට ඉස්සර දීපු දෑවැදි සල්ලි ගාන වැරදිලු...කපුවා ශාන්ත අය්යලාට ඊට වැඩි ගානක්ලු දෙනව කියලා තියෙන්නේ.."
අක්කාගේ ඇස්වල කදුලු බිමට පනින්න ඔන්න මෙන්නය.
මගුල් ගෙදර ආ ශාන්ත අය්යාගෙ නෑදෑයෝ තැන තැන කුටු කුටු ගායි...අක්කා රතු සාරිය ඇදගෙන මුහුණ බෙරි කරගෙන මගුල් පුටුවේ තනියම ඇත…. ශාන්ත අයියා පේන තෙක් මානෙක නැත. මම ගෙයින් එලියට විත් ශාන්ත අය්යා කොහේදැයි විපරම් කලෙමි.
" ශාන්ත මුහුදු වෙරළ පැත්තට ගියා...ඒ පැත්තට ගිහින් බලන්න "කෙනෙක් කිය. ශාන්ත අය්යලාගෙ මහගෙදර මුහුදු වෙරලට ආසනව පිහිටා තිබුනි.
මම මගුල් ගෙදර සිට කළබලේ මුහුදු පැත්තට දුවගෙන මෙන් ගියෙමි. මට ඈතදීම ශාන්ත අය්යා මුහුදු වෙරලේ, පෙරලපු ඔරු කදක් උඩ ඉදගෙන සිකරෙට්ටුවක් උරන අයුරු දැක ගත හැකි විය. මම හෙමිහිට ඔහු ලගට ගොස් ඔහුට කතා කලෙමි.
"ශාන්ත අය්යේ මොකක් හරි ප්‍රශ්නයක්ද?අරහේ ටිකක් කළබල වෙලා තියෙන්නේ...?
"ප්‍රශ්නයක්ද අහන්නේ...තමුසෙලා මට බොරුනේ කලේ…"
"ඒ කිව්වේ අය්යේ…."
"කපුවා අපට දෑවැද්දට දෙනව කියපු ගානෙන් භාගෙනෙ දැන් මාමන්ඩි යසෝමට දුන්නේ..…මම ඒ දෑවෑද්දට දෙනව කියපු ගාන නිසයි යසොමට කැමති උනේ.....අපේ අම්මලා අරහෙ කේන්තියෙන් ඉන්නේ...ඒ ගොල්ලෝ ඒ සල්ලි වලින් තමයි අපේ නංගිට දෑවෑද්ද දෙන්න බලාගෙන ඉදලා තියෙන්නේ…."
"අනේ අය්යේ..අරහේ නෑදෑයෝ දෙවෙනි ගමන උත්සවයට ඇවිත්...අය්යව හොයනවා...අනේ අය්යේ තාත්තා දෙනව කියලා, කපුවා කියපු ගාන ...මම කන්තෝරුවෙන් ණයක් ඇරන් හරි අය්යට ගෙවන්නම්...අක්කට වෙනස් කමක් කරන්න එපා...දැන් අපි ගෙදර යමු..අරහේ කට්ටිය බලන් ඉන්නවා..මනමාලයා නෑ කියලා ….අනේ අය්යේ මම දිවරලා පොරොන්දු වෙනවා… කපුවා අක්කට දෙනව කිව්ව දෑවෑද්ද ,මම අය්යට දෙනවා කියලා ...අපි යමු අය්යේ ගෙට...."
ටික වේලාවක් මාදෙස බලන් හිටිය ශාන්ත අය්යා, හෙමිහිට ගෙවල් පැත්තට යන්න ආවේ..මා සමගය.
කොහොම හරි අක්කාගේ මගුල් ගෙදර, දෙවන ගමන ඉවරවුනේ එලෙසය.
අක්කා විවාහයෙන් පසුව ශාන්ත අයියාගෙ නිවසේ පදිංචියට ගියාය... ඔවුන් දෙදෙනාට පදිංචියට ශාන්ත අයියලාගේ මහ ගෙදර කිට්ටුවෙන් ම අලූතින් සාදන ලද නිවසක් තිබුණි. අලුත් නිවසට බඩු මුට්ටු තාත්තා අක්කාට දෑවැද්ද ලෙස යවන ලද්දෙ විවාහ දිනයටද ප‍්‍රථමය. ඒවා අතර අල්මාරියක් ,යුගළ ඇදක්, කන්නාඩි මේසයක්, පුටු සෙට් එකක් හා කෑම මේසයක්, පුටු හයක් තිබුනි….ඇයට තාත්තා දෑවැද්ද ලෙස මුදල් ද දුන්නේය.
ඒ දුන් මුදලට අමතරව තාත්තාට හොරෙන් මම ශාන්ත අය්යාට, කපුවා දීමට පොරොන්දු වී තුබුන ගාන දෙන්නට, කන්තොරුවෙන් ණයක් ගන්නට ඉල්ලුම් කලෙමි. ඒ අක්කාගේ මගුල කැඩී යැයි කියා බයේය.
- හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *





Comments