top of page

💞බැද්දේ කුමරිය 💞

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Sep 13, 2020
  • 6 min read

(අදින් පටන් ගන්නා අලුත්ම නවකතාව )

*පළවන කොටස*

💞 "බැද්දේ කුමරිය " නම් අදින් ආරංභ වන මගේ අලුත්ම නවකතාව ගැන මුලින් වචන කිහිපයක් ඔබට කියන්නට සිත් වුනි.

විවිධ තේමාවන් ඔස්සේ නවකතා ලිවිමට ඇති දැඩි කැමැත්ත නිසා මෙම නවකතාව මම ලියන්න උත්සාහ ගත්තේ අහම්බෙනි....


මෙම නවකතාවට පාදක වී ඇත්තේ..එකදහස් නමසිය පනහ/හැට දශකයේ ගාලු දිස්ත්‍රික්කයේ ජීවත් වු තරුනයකු හා සබරගමු දිස්ත්‍රික්කයේ පාලු වන අරනක ජීවත් වු සුරූපිනියක වටා ගෙතුනු ආදර කතාන්දරයක් හරහාය…. මෙහි ඇති සියලු නම්, ගම්, හා කතාව මනංකල්පිත වන අතර මෙහි ජීවත් වන සියල්ලන්ගේ චරිත ලේඛකයාගෙ නිර්මාණත්මක හැකියාවන් මත ඉපදුන චරිත බවත් සදහන් කිරීමට කැමැත්තෙමි.


මගේ කුඩා අවදියේ මා ලග තියාගෙන ජන කතා, පරන කතා, ගම්නියම් ගම්වල සුන්දර අසුන්දර තැන් ලස්සනට පැහැදිලි කරදෙමින්, රස කරමින් ඒ තැන්වලට මට, මනසින් යා හැකිසේ, කතා ගොතා කිව් මගේ ආදර අම්මා නිසාත්.... ....ලංකාව සුද්දාට අයිතිව තිබූ කාලයේ හා ලංකාවට නිදහස ලැබුනට පසු කාලයේ, රසවත් කතා, පැරණි ගම්නියම් ගම් වල කතා, ඉංග්‍රීසි පොත් පත් වල කතා කියා දුන් මගේ ආදර තාත්තාත් නිසා මගේ කියවීමේ ලිවිමේ හැකියාව දියුනු වෙන්න ඇතැයි මම අද වන විට විශ්වාස කරමි ......ඔවුන් කියා දුන් කතන්දර ඔස්සේ... මනසින් ගොස්, ඒ කාලවල, ඇසුනු, කියවු සුන්දර අසුන්දර කතා ගැන සිහින මැවු මම.... ඒ ඔස්සේ මගේ ලිවීමේ කියවීමේ හැකියාව තව තවත් වර්දනය කරගත්තෙමි..


ඊට අමතරව දකින ඇහෙන සියලු දේ දැඩි ඕනෑ කමකින්, විමසා බලා මතකයේ තියා ගන්නා හැකියාව නිසාද මට ලේඛකයකු වීමේ හැකියාව ලැබෙන්න ඇතැයිද සිතමි.


ලේඛකයකු තම සිත ඇද බැදගත් අතීත සත්‍ය හෝ අසත්‍ය කතා අලලා විවිධ පුද්ගල චරිත, සමජ තත්වයන් ,වර්තමානය, අතීතය අලලා නවකතා ලිවිමට පෙලබිය හැක. ඒවා කුමන හෝ රටක වෙනස් සංස්කෘතික ගති ලක්ශන, නොයෙක් තරාතිරම් වල පුද්ගලයින් ඇතුලත් කර,රසවත් කර ලිවිම ලේඛකයාගෙ දක්ශ කමක්වේ... එය එසේ විය යුතුයි.... ලේඛකයකු විසින් ඉතිහාසය තුලින් දුටු ,ඇසුදේ... රසවත් සත්‍ය අසත්‍ය තොරතුරු සමග ගොතා මවනා අලුත් කතා තුල පරම්පරා ගානක කතා වස්තු, එක කතාවකට එකතු වී හැඩ වැඩ වීම් වල එකතුවක් ලෙස නවකතාවක් බිහිවිය හැක.


"බැද්දේ කුමරිය " නවකතාව අලුත් සංනිවේදන ක්‍රම කිසිත් නොතිබුනු, ගමනාගමන පහසුකම් අඩු වෙන් තුබුනු කාලයක...එනම් මෙය 1950/60 දශකයේ කතාවක් ලෙස, ලියන ලද්දක් බව ප්‍රේක්ෂක ඔබට මුලින්ම කීමට කැමැත්තෙමි.


💞 *බැද්දේ කුමරිය *💞

(පළවන කොටස)

ශ්‍රී ලංකා දීපයේ දකුනු දිග අකුරල, ගම කිට්ටුව, පදිංචිව සිටි පාරම්පරික ප්‍රසිද්ධ සිංහල වෙදමහත්තයෙකු වූ, මගේ පියාගෙ බෙහෙත් සාප්පුව අපේ ගෙටම අල්ලා වෙනම කඩ කෑල්ලක් ලෙස සාදා තිබුනි....


බෙහෙත් සාප්පුවේ පිටුපස වත්ත, අපේ ගෙදර පිටුපස වත්ත හා සම්බන්දව තිබුනි. අපේ වත්තේ කොනක,ගසා තුබුනු මඩුවේ, තැන් තැන් වල තාත්තා බෙහෙත් සාප්පුවට ගන්නට, බෙහෙත් කොටන වංගෙඩි, මිරිස් ගල් වගේම බෙහෙත් තම්බන විශාල ලිප්, හැලි ආදියත් ඒවා තම්බන්න ගන්න දර කොටන් ආදියද ගොඩ ගසා ඇත.

බෙහෙත් කොටන, අබරණ, කොලුවෝ දෙතුන් දෙනෙක්ද අපේ ගෙදර බෙහෙත් සාප්පුව පැත්තේ දවල් දවස නැවති ඉදිති. ඔවුන් කෑම බීම හදාගන්නේද බෙහෙත් සාප්පුව පිටුපස ඇති මඩුවේය... සමහරු රෑට බෙහෙත් සාප්පුවේ නැවති ඉද තාත්තාගෙ බෙහෙත් කසාය හදන, තම්බන, ගුලි හදන වැඩ කර දෙයි. ගෙට අල්ලාම තාත්තාගෙ බෙහෙත් සාප්පුව තිබෙන නිසා, අපට නිතරම බෙහෙත් තෙල්, කසාය තැම්බෙන ,කැකෑරෙන සුවදින් නම් අඩුවක් නොවීය.


ගමේ සියලු නෑදෑයෝ වගේම නොනෑයොත් තාත්තාගෙන් බෙහෙත් ගන්න නිතර සාප්පුවට එති. ඔවුන් එන විට ඔවුන්ගේ ගෙවතු වල ඇති, තාත්තාට බෙහෙත් හදන්න අවශ්‍ය කරන ගස්වල කොළ, මුල්,අල ආදි බෙහෙත් නොමිලේ ගෙනත් දෙන්නට අමතක නොකරති. නැතහොත් ලගපාත ලදු,කැලෑවලින් නිතර සොයා ගෙනවිත් දෙන්නේ උදව්වක් ලෙසය. ඒ තාත්තා බෙහෙත් ගන්න එන ලෙඩ්ඩුන්ගෙන් කවදාවත් මුදල් ගන්නේ නැති නිසාය. ඒවට හිලව් වෙන්න තාත්තාගෙන් බෙහෙත් ගන්න එන ඈයෝ...ඔවුන්ගේ වත්ත පිටියේ පලදාව වගේම...මුහුදට කිට්ටුවෙන් සිටිනා ඈයෝ නා නා වර්ගයේ මාලු වර්ගද රැගෙන තාත්තා බලන්න එන්නට අමතක නොකරති. එබැවින් අපේ ගෙදර කෑම, බීම එළවලු මාලු වලින් කිසිදා අඩුවක් නොවීය.... ගමේ සියල්ලෝ ගමේ වෙදමහත්තයා වු තාත්තාට වගේම අපටත් ඉතා ගරුසරුව සලකති.


අකුරල ගමට කිට්ටුවෙන් පිහිටා තිබු අපේ ගෙදර හා තාත්තාගෙ බෙහෙත් සාප්පුව අහල ගම් හතක්ම දැන සිටියාහ.

අපේ ගෙදර වත්ත පුරා ඇති පොල් ගස් නිසා, මාස දෙක තුනකට වරක් කඩන පොල්, වත්තේ කොනක ගොඩ ගසා ඇත…. බෙහෙත් සාප්පුවට එන ඕන කෙනෙක්ට එයින් කෑමට පොල් ගෙදර ගෙනයාමට තහනමක් නැත…. අපේ ගෙදර කෑමට ගන්නා පොල් වලට අමතරව, ඉතිරි පොල් බිද කොප්පරා වලට ගන්නට වත්තේ කොනක පැදුරක නිතර කොප්පරා වේලෙයි….. වත්තේ වැඩිපුර පොල් ගමේ ගැහැනුන් ලවා බිද ගා කොප්පරා මෝලේ ඇති සෙක්කුවට යවා පොල්තෙල් සින්දා ගැනීමද තාත්තා කරන දෙයකි.

ගමේ වෙද මහත්තයා වන අපේ තාත්තාට ගමේ මිනිසුන් වැඩිපුර ගෙනත් දෙන මාලු වලින් ජාඩි මුට්ටි දෙක තුනක්ද නිතර ගෙදර කුස්සියේ වසා තිබේ….කරවල ,උම්බලකඩ වලින්ද අපේ ගෙදර අඩුපාඩුවක් නැත.

වත්තේ තිබෙන රට දෙල් ගහේ කොළ ගානට සෑදෙන ගෙඩි…., පිටිවෙන්න තැම්බෙන දෙල්, අලුත් කලටි ගාගත් පොල්, ජාඩි කරවල හා ඇබුල්තියල් මාළු මගේ කැමතිම ආහාර වෙයි.... එම කෑමේ ගිනියම යන්න පොල් එකතු කරගන්නවා වාගේම…...මීකිරි කිතුල් පැනි සමග කෑමද කරන්නෙමි.... මී කිරි පැනි පිගානට, බත් ටිකක්ද එකතු කරගෙන කෑම දකුනු පලාතේ ඈයන්ගේ හැටියක්‍ය.

ගමපුරා බිලින් කාලෙට හැදෙන බිලිං වේලා, තාත්තාගෙ කොටස ගෙනත් දීමට ගමේ ගැහැනුන් අමතක නොකරති. එබැවින් වේලපු බිලින් තෙලේ බැද, හීන් හාල්මැස්සෝ දමා සාදන බිලිං අච්චාරුවත් මගේ ආසම කැමක් බව දන්නා අම්මා, ගෙදර නිතර සාදා තබන කෑමකි.

හැම දේකින්ම අඩුපාඩුවක් නැතුව සිටි මගෙ ජීවිතයද සෙල්ලක්කාර ජීවිතයක් කරා හෙමිහිට ගමන් කෙරිමින් පවති. මම ඉංගිරිසි මාද්‍යයෙන් ඉගෙනීම හැදෑරු නිසා ගමේ ලොකු පොඩි සියලු දෙනා අතර මටද වැඩි සැලකිල්ලක් තිබුනි. මේ කාලය වනවිට පාසැලේ අවසන් විභාගය ලියා පාසැලෙන් අස්වි මම ගමේ කන්තෝරුවක ලිපිකාර රැකියාවක් කරමින් උන්නෙමි.


‘‘ වෙද මහත්තයාගේ ලොකු දුව ගෙට වෙලා ටික දවසකට පස්සෙනේ ... වෙද නෝනා ලෙඩ වෙන්න පටන් ගත්තේ.….ඒ ලෙඩ වීමෙන්ම තමයි කාලයක් ගොස් වෙද නෝනා නැති වුනෙත්... දුවගේ මල්වර නැකතේ අපලෙට ම වෙන්න ඇති ඒ…..‘‘


"‘අනේ පව්.... එහෙම කියන්න එපා ...යසෝමා සීදේවි කෙල්ල.‘‘


‘‘වෙද මහත්තයා තව කසාදයක් කර ගනීද දන්නෑ...තාම වෙද මහත්තයා තරුනයිනේ....ඔය පරම්පරාවෙන් එන වෙද කමක් නේ...අපේ අම්මලා තාත්තලා බෙහෙත් ඇරන් තියෙන්නෙ ඔය වෙද මහත්තයාගෙ තාත්තගෙන්......‘‘


‘‘වෙද මහත්තයා ආයි කසාඳයක් කරගන්න එක්ක නෑ….. එයා දරුවෝ දෙන්නට හරි ආදරෙයි…..ඊටත් දැන් ලොකු දුව කසාද බදින වයසෙනේ...වෙද මහත්තයා තරුන උනාට.... "


‘‘දැන් ඉතිං ලොකු දුවට තමයි ඉදිරියටත් ගෙදර දොරේ වැඩ බලාකියා ගන්න වෙන්නේ…..‘‘


" ශියා නංගි, ලෙඩ වෙලා ඉන්න කාලෙත්….ගෙදර ඔක්කොම වැඩ, අම්මට කරල දීලා උදව් කරන්නේ යසොමා තමයි ..…. අම්මට කවල පොවලා බෙහෙත් ටික පවා දීලා….. වයසට වඩා එකී ගෙදර වැඩට උදව් කලා…කොච්චර වෙදමහත්තයාට වැඩට අත් උදව්වට මිනිස්සු හිටියත්…..‘‘


‘‘කොච්චර දෙයක් ද ඒ වගේ දරුවෙක් පවුලට ඉන්න එක….වෙද මහත්තයාගේ වාසනාවට ඒ වගේ දුවෙක් මේ පවුලට ඉපදුනේ.....‘‘

මගේ අම්මා අන්ත‍්‍රා උනේ, කාලයක් තිස්සේ තිබූ නොදන්නා රෝගයකින් පීඩා විඳිමින් ඉඳය…. ඇය ගමේ කා හටත් ඉතා කරුණාවෙන් උදව් උපකාර කළ ඉතා හොඳ ගුණ යහපත් කාන්තාවකි.... මට වැඩිමල් එකම අක්කා ඒ වන විට කසාද බදින වයසට ලංවී සිටියාය. අප දෙදෙනාට අම්මා ඉතා ආදරය කළාය. ඇය අසනීප උන දවසේ පටන් අප ගැන සිතමින්, දුක්වෙමින් කළ කිරී ඉද අප අතහැර ගියාය.


අම්මාගේ අසනීපයට මුලින් මුලින් තාත්තා බෙහෙත් කලත්, පසුව හික්කඩුවේ ප්‍රසිද්ධ වෙදමහත්තයකු ගෙදරට ගෙන්නා ගෙනද අම්මට බෙහෙත් කලා මතකය….. ඇගේ අවසන් කාලයේ තාත්තා නිතර ඇය ලග ඉදිමින් ඇප උපස්ථාන කළේය... තාත්තාගේත්, අක්කාගෙත් ඇප උපස්ථාන අම්මා, අසනීපයෙන් සිටි කාලයේ වින්ඳේ කළකිරීමෙන්ය.


අක්කා වැඩිවියට පැමිණි අලුත, අම්මා අසනීප වීම නිසා, ගමේ ගැහැණුන්ගේ කතාබහ වුණේ එය අක්කාගෙ අපලයක් නිසා සිදු වුණා කියායි.... අක්කා වැඩිවියට පැමිණියේ අවුරුදු දහහතරත් පහුවී නිස එය නරක නපුරු කාලයක් යැයි ගමේ ගැහැණුන් අතන මෙතන කතා වෙනවා මට ඇසී ඇත.


‘‘කෙල්ලගෙ ඇති අපලයක් නෑ. ඒකිගෙ අම්මා ගෙනා ආයුෂ ඉවර වෙලායි ඒකිගේ අම්මා නැති වුණේ….’’


ගැහැණුන්ගේ කතා ඇසී දිනක් තාත්තා එම ගැහැණුන්ට කෑ ගසා බැන්නේ ආයෙත් ඒ වගේ කතා කියන්න එපා කියමින.


අම්මාගෙ වියෝවෙන් පසු තාත්තාත්, අක්කාත්, මාත් තනි වුනත්...තාත්තා නිතර බෙහෙත් සාප්පුවේම රැදි සිටි නිසා ඔහුට ඔහුගෙ පාලුව මගහැර ගන්නට හැකි විය.

අම්මාගෙ මළ ගෙදරින් පසු නෑ හිත මිතුරන්ගෙන් පිරි තුබුන ගෙය හෙමිහිට පාලුවට යන්නට පටන් ගත්තේය.... පසුව ගෙදර ඉතිරි උනේ.... බෙහෙත් සාප්පුවට එන අය හා වැඩට එන අයගෙනි.

අක්කා, තාත්තාටත්, මටත් අම්මා කෙනෙක් විය....ඇය ඉවුම් පිහුම් වැඩට අමතරව මැහුම් ගෙතුම් වැඩද ඒ කාලයේ ඉගෙන ගත්තාය. නිතර පත්තර පොත් පත් බලමින් ගෙදර උන් අක්කා, තාත්තාත් මාත් බලාගත්තේ අපේ සියලු වැඩකටයුතු කර දෙමිනි..


"ලොකු දුවට පුලුවනෑ මේ ගෙදර වැඩ තනියම කරන්න .... අපි පොඩිනැන්දව ගෙදර ගෙනත් නවත්ත ගනිමුද..?


‘‘ ඕන නෑ තාත්තේ මොන කරදරයක් ද …. මං අම්මා ඉන්න කාලෙත් මේ වැඩ කරානේ.‘‘


‘‘දැන් ලොකු දුව ගෙදරට වෙලා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ.‘‘


‘‘ වැඩි දුර ඉගෙන ගන්න කැමැත්තක් නෑ තාත්තේ….මං මැහුම් ගෙතුම් වැඩ ටිකක් වැඩිපුර ඉගෙන ගන්න කියලා හිතාගෙන ඉන්නේ.......‘‘


‘‘ඒකනම් හොඳයි ගෑණු ළමයි වුණාම මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගෙනම තියෙන්න ඕනේ නේ…..‘‘

අක්කා ගෙදර දොර බලා කියා ගෙන මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගන්න ලග ගෙදරක නැන්දා කෙනෙක් ලගට ගියාය. ඇය මටත් තාත්තාටත් අම්මා කෙනෙක් මෙන් සලකයි. කෑම උයා පිහා දෙමින් ගෙවල් දොරවල් අස්පස් කරමින් අපේ ඇඳුම් සෝදා මැද දෙමින් ගෙදර සියලූ වැඩ කළා ය. මේ වන විට මම ගාල්ලේ කාර්‍යාලයක ලිපිකාර රැකියාවක් කරමින් උන්නෙමි. මම ගෙදර ඉදගෙනම උදේ රැකියාවට ගොස් හවස ගෙදර ආවේ කෝච්චියෙනි.


‘‘දැන් ඉතිං යසෝමව කසාඳ බන්ඳලා දුන්නොත් හොඳයි නේද?.....දැන් කසාද බදින වයසත් පනින්න... ලගයිනේ....නැත්තම් ගෙදරටම නාකි වෙයි….‘‘

"නැන්සි" නැන්දා තාත්තාට නිතර නිතර කියන්න පටන් ගත්තාය.


‘‘ඒකිට මට තාම පොඩි එකෙක් ගානයි...ඔන්න ඔහේ තව ටිකක් ගෙදර හිටියාවේ….. ‘‘


‘‘ඒ උනාට උඹ නිතරම ඉන්නේ බෙහෙත් සාප්පුවේ.. එකී දවල් දවසෙ තනියම ගෙදර ඉන්නෙ…. කොලූවත් වැඩට ගිහින් එන්නෙ හවස් වෙලානේ….. ඒකිව පිළිවෙලක් කරලා දැම්මොත් හොඳයි නේද?....අම්මත් ගෙදර නැති නිසා...’’


‘‘අක්කා දන්න තැනක් එහෙම තියෙනවා නම් බලන්නකෝ…. මට ඕවා තේරෙන්නෙ නෑ….මගුල් කපුවෙක්ට වත් කියලා බලමුද..‘‘

තාත්තා ඇගේ වැඩිමල් සොහොයුරිය ගැන දැඩි විශ්වාසයක් තබා ගෙන සිටින්නේය.


‘‘ එහෙනම් මං කපුරාලලා දෙතුන් දෙනෙක්ට කියල බලන්නම්…. ඒ වැඩත් වෙන්න ඕන ඒවානේ …ඕවා අපේ යුතුකම්...අම්මත් නැති කෙලීනේ.....‘‘

- හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page