top of page

💥ගිමන් හරිමි💥 (අවසන් කොටස)

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 23, 2021
  • 7 min read

(54 වෙනි කොටස )

ගෙදර ,දරුවන්ගේ මොන අමාරුකම් වැඩ තිබුනත්, මම නෝනලාගෙ ගෙදර, වැඩට යන එක නොනැත්වුවෙමි.

දිනක් නෝනාගේ ගෙදර රැකියාවට ගිය විටක ,නෝනා මා හට කිවූ දෙයින් මට ඇස් අදහාගත නොහැකි විය. මම කඳුළු සලමින් නෝනාගෙ කකුල් දෙක ලග වැටී ඇඬුවෙමි....

මගේ ජීවිතයේ මට අසන්නට ලැබුණු සතුටුම ආරංචිය ....මගේ කනට වැටුනු ඒ මොහොත මගේ සතුට දෝරේ ගලා ගියේය.


"දුලීකා දන්නවා ද....මං මහත්තයත් එක්ක කතා කළා දිලීමටයි, ළමයින්ටයි ලොකු උදව්වක් කරන්න ඕනේ කියල....."


"මොකක්ද නෝනා ඒ....නෝනා ඉතිං මට හැමදාම උදව් කරන එකනේ...අපේ අම්මටයි මල්ලිලාටයි නම් හරි කේන්තියි, ඉරිසියයි, නෝනා නිතරම මට උදව් කරනවා කියලා ...අපේ අම්මා කියන්නේ මම නෝනව රවට්ටගෙනලු ....ඒ උනාට එහෙම නෙමේනෙ.... නෝනා, දන්නවනේ මම අවංකව වැඩ කරනවා කියලා ....ඒ නිසානේ නෝනයි මහත්තයයි මට හැමතිස්සෙම උදව් කරන්නේ....ඒකටත් එක්ක, ඉතිං සමහරු ඉරිසියයි නෝනා....,"


"එහෙම නෙමේ දුලීකා .... මගේ හිතටත් දැන් හරි නෑ දුලීකා ළමයි එක්ක, තැන් තැන් වල, කුලී ගෙවල් වල වැටිලා දුක් විදින එකට.....ඉතිං මම මහත්තයාට කිව්වා, දුලීකලාට කුළී නොගෙවා වැටී ඉන්නට තමන්ගෙම කියන්න ගෙයක් හදල දෙන්න ඕනේ කියලා.. ...මම ඒකට මහත්තයාව කැමති කර ගත්තා....‘‘


‘‘අනේ නෝනා....ඔය ඇත්තමද...? මගෙ කන් අදහා ගන්න බෑ....නෝනා.... මහත්තයාටයි, නෝනටයි කවදාවත් වරදින් නෑ....මට කරන උදව් නිසා.... දරුවෝ දෙන්නටත් ජාති ජාතිත් කිසිදිනක කිසි දේකින් අඩුපාඩුවක් වෙන්නෑ... වරදින්නෙ නෑ.... තව තවත් දියුණු වෙලා ඉන්න ඕනේ... නෝනාටයි, මහත්තයාටයි වැඩි වැඩියෙන් ම ලැබෙනවාමයි.....මටයි මගෙ දරුවන්ටයි කරන උදව් වලට....‘‘


"මගේ දුවලා දෙන්නව පොඩිකාලේ ඉදන් දුලීකා විශ්වාසයෙන් බලාගෙන මට උදව් කලානේ....මගෙ හිතට හරි නෑ දුලීකා ළමයි එක්ක දුක් විදිනවා දකින එක.....ඒකයි මම මහත්තයාව කැමති කරගත්තේ දුලීකට ගෙයක් හදලා දෙන්න....."


‘‘අනේ නිදහසේ, අපේ කියලා තැනක වැටිල ඉන්න තියෙනව නම් .... නොකා නොබී හරි ඉන්න පුළුවන් නෝනා....."‘


"එහෙනම් දුලීකා ඔය දුලීකලා ඉන්න පැත්තෙන්ම පොඩි ඉඩම් කෑල්ලක් හොයා ගන්න බලන්න ...ඊට පස්සේ මම මහත්තයා එක්ක එන්නම් ඉඩම හොදද බලලා, ගේ හදන්න ඕන හැටි කතා කරගන්න ......."


"අනේ නෝනා මම පුලුවන් ඉක්මනට ඉඩම් කෑල්ලක් හොයලා බලන්නම්..."


නෝනා සල්ලි වලට ගන්න ඉඩමක් බලන්න කිව් දිනේ ඉදන්... මම ගම වටේ ඇවිදමින් පොඩි ඉඩම් කෑල්ලක් හොයා ගන්න වෙහෙසුනෙමි....නමුත් මට එය වෙහෙසක්ම නොවුවාය.


වැඩි දිනයක් නොගොසින් මට, අඩුවට ,පොඩි පර්චස් අටේ ඉඩම් කෑල්ලක් අපේ ගමෙන්ම සොයා ගන්නට හැකි විය.


අවුරුදු ගනනාවක් නෝනා ලඟ මම වැඩ කරත්, කවදාවත් නෝනාවත් මහත්තයාවත් අපේ ගෙදර ඇවිත් නැත.... නමුත් මම හොයා ගත්ත පර්චස් අටේ ඉඩම බලන්න නෝනයි මහතයයි ආපු එක මගේ හිතට ලොකු සතුටක් විය.


"මම ප්ලෑන් එකක් අන්දලා බාස් උන්නැහැලා දෙන්නෙක් එවන්නම් දුලීකාගේ අලුත් ගෙදර හදාගන්න වැඩේට....."


"හොදයි මහත්තයා ..."


මහත්තයා අපේ ඉඩමේ හදන්න ඕන ගෙදර ප්ලෑන් එක ඇන්දේ නෝනා එක්ක එකතු වය.... එය කාමර දෙකක පොඩි ගෙයකී. නමුත් මට එය අදහාගැනීමට බැරි තරම් ලොකු දෙයක් වී ඇත.


පර්චර්ස් අටේ ඉඩමක් අරන් මහත්තයයි නෝනයි ප්ලෑන් එක අන්දවා අපට ඉන්නට ගෙයක් හදන්න පටන් ගත්තේ ලොකු කලබලයකිනි..... නිදන කාමර දෙකක් ලොකු සාලයක් හා කුස්සියකින් සමන්විත බ්ලොක් ගල්වලින් සාදා ශීට් දමා සාදන ගෙයට, බිමට රතු සිමෙන්ති දමන්න නියමිතය. ගෙට පයිප්ප වතුරත්, ලයිට් ගන්නටත්, නියමිත බව දැන ගත්දා මට ඇතිවුන සතුට කියා නිම කල නොහැක....


නෝනලා අපට හදන ගෙදර වැඩ..., බාස්ලා පටන් ගත් පසු..... ,ගෙදර වත්ත පිටිය බලන්නට මම දරුවෝ සමග යන්නේ සතුටින් ඉපිලෙමින්‍ ය. අපි නිතර එහි ගොස් වත්තේ ,මයිඤොක්කා, අල, බතල , කෙසෙල් මල් පැල ආදියද සිටුවුවෙමු.

විවේක තියෙන හැම වේලේම, අප වෙනුවෙන් හැදෙන ගේ බලන්න දවස ගානේ ගියත් මගෙ හිත පිරෙන්නේ නැත. ඒ තරමට මගේ හිත සතුටින් පිරි ඇත.


නෝනයි, මහත්තයායි ,බාස්ලාට හදිස්සි කරමින් ගෙදර වැඩ නිම කිරීමට වෙහෙසෙයි.... දවසින් දවස අප වෙනුවෙන්, ගලින් ගල බැද ගොඩ නැගෙන අපේ ගෙදර දකින විට හිතට දැනෙන සතුට කියා නිම කල නොහැකිය.


" දුලීකා දැන් ඉතිං ගෙදර හදලා ඉවර වේගෙනනේ යන්නේ...නරකද නැකතක් එහෙම බැලුවනම් ගෙට පදිංචියට යන්න..."


"අනේ ඔව් නෝනා...මම මේ ආසාවෙන් ඉන්නේ කවද්ද ගෙට ගෙවදින්නෙ කියලා ....අපේ ළමයි ගිය සෙනසුරාදාත් ගිහින් වත්ත වටෙ පාර සුද්දකරලා දැම්මා...ගේ වටේට මල් අල බතල, කෙසෙල් එහෙමත් හිටෙව්වා...."


"දැන් දුලීකා කවුද ඔය ගෙදර පදිංචියට යන්නේ....? "


"කවුද ඉතිං කියන්නෙ නෝනා....මම කෙල්ලො දෙන්නටම ඒ ගෙදර පදිංචියට එන්න කිව්වා...මොකටද හම්බකරන එක වියදම් කරගෙන කුළී ගෙවල් වල ඉන්නේ....පොඩි කෙල්ලට මම කිව්වා, ඉඩමේ එහා පැත්තෙ ඇති පොඩි ඉඩම් කෑල්ලෙ, ගේ කෑල්ලක් පස්සෙ හදාගන්න දැම්ම තියා සල්ලි එකතු කරන්න කියලා ....එතකම් මේ ගෙදර අපි හැමෝටම ඉන්න පුලුවන් නෝනා....මොනව උනත් අක්කයි නංගියි නේ... රංඩු අඩදබරත් නෑ...උන් දෙන්නා එකමුතුයි. බෑනලා දෙන්නත් හරි හොදයි. ඉතිං පවුල් දෙකට එකට ඉන්න අමාරුවක් නෑ....අනිත් ගේදර හදාගන්න කම් විතරනේ...."


මාස තුනෙන් හදා නිමවුන ගෙදරට අපි

නැකතක් බලා පදිංචියට ආවේ කියා නිම කල නොහැකි සතුටකිනි.


ගෙට ගෙවදින දින, දූවරු දෙදෙනත් දරුවන් තුන් දෙනත්, බෑනලා, අපේ අම්මා හා බාප්පාද එයට සහභාගි විය.


උදේ පාන්දර නැකතට ගෙට ගෙවදුන අපි, අලුත් ගෙදර මැද සාලේ ලිප් ගල් තුනක් තබා ගිනි මෙළවුවෙමු.


මම අලුත් කුස්සියේ කිරිබතක් හැදුව අතර ලොකු දුව ලුනුමිරිසක් සෑදුවාය.


පොඩිඋන් තුන් දෙනා, අලුත් ගෙයි, රතු සිමෙන්ති බිමේ හැම තැනම දුවමින් සෙල්ලම් කරයි..... මීට පෙර අපි පදිංචි වි සිටි ගොම මැටි බිම, ටකරන් සෙවිලි කල ගෙවල් වල තිබුනු අපිරිසිදු ,ගරා වැටුනු ගෙදරින් නික්ම මේ ගෙදරට එන්න ලැබීම අපි සැමටම ඇති කර තිබුනේ කියාගත නොහැකි සතුටක් හා සැනසිල්ලකී.


‘‘ අම්මේ....අපට මේ කාමරය. අක්කලාට ඉස්සරහ කාමරේ දෙන්න...."


" එතකොට අම්මා කොහේද නිදාගන්නේ...".


" අනේ ළමයිනේ....මට ඔය සාලේ පැදුරක් දාගෙන නිදාගන්න පුලුවන් ....අනේ දෙවියනේ.... කුස්සියේ හරි නිදාගත්තහම මොකද...මේක අපේ ගෙදර ...අනේ ඉතිං වෙන මොන සතුටක්ද මට......."


"අක්කේ අපට දැන්, උයන්න වතුර ගන්න ලිං ගානේ ගිහින් වතුර අදින්න ඕනෙ නෑ..... කුස්සියටම වතුර පයිප්පයක් තියෙනවා....‘‘


‘‘ ඇයි....අලුතින් පෝචිචිය දමලා හදපු වැසිකිළියට යන්නත් ආසයි.‘‘


‘‘අනේ මේ ගේ ඇතුළේන් එන අලූත් තීන්ත සුවඳ මට ඉවසන්න බෑ අම්මේ.....ආසාවේ බෑ...‘‘


මැද සාලේ කිරි උතුරුවා, කුස්සියේ කිරි බතක් සාදා ලූණු මිරිස්, කෙසෙල් ගෙඩි මේසයට තිබ්බෙමු. අම්මා, බාප්පා සමග උදේ එනවිට හදා ගෙන ආ අතිරස ටික මේසෙන් තිබ්බේ පොඩි දුවයි.... අපි ඔක්කොම එකතුවී සතුටින් කෑම කෑවේ මෙය සිහිනයක්ද කියා සිතා ගැනිමට බැරුවය.


"අපි ගෙට ගෙවදීමට උත්සවයක් ගමු. මාමලාටත්, නැන්දලාටත් එන්න කියන්න ඕනේ....මට හිතුනොත් සුමිත්ගෙ අම්මටයි අක්කයි එන්න කියනවා, අපිව බලලා යන්න එන්න කියලා ...... මම සතුටෙන් පිනා ගොස් සිටියෙමි.


දහවල් වනවිට නෝනා ලොරියකින් ගෙට සාලෙට කැබිනෙට්ටුවක්, පුටු හතරක්, ඇඳක් ,ශීතකරණයක් හා පිඟන් බඩු, පරණ දොර රෙදි එවා තිබුනි. ඒවා නෝනාගෙ පරණ බඩුය. නමුත් අපට ඒවා කෝටියක් තරම් වටී....


ගෙවල් කුලී ගෙවන්නට නැතුව අපට දැන් එකට වැටි එකට ජීවත් වීමට ගෙයක් ඇත.... කටු මැටි, ලෑලි ගැසූ, ලැයිම් වල, කැලෑවල් වල ජීවත් වුණ අපට මේ ගෙය මාලිඟාවක් වැනිය. හැමදාම රෑට ලයිට් දමනතෙක් පොඩි උන් ඉන්නේ නොඉවසිල්ලෙනි... කුප්පි ලාම්පු එළියෙන් ඉපදුන දාසිට රාත්‍රීය ගතකල අපට දැන් අදුරේ අත පත ගාන්න අවශ්‍ය නැත.

ලිං වලින්, පාරේ පයිප්ප වලින් වතුර ඇද්ද අපට දැන් ගේ ඇතුලේම වතුර පයිප්ප ඇත. පයිප්පයට කට තියාන වතුර බොන පොඩි එවුන් මගෙන් බැනුම් අහන්නෙ පයිප්පයේ වතුර නාස්සි කරන විට ය.....උන්ට අලුත් ගෙදර අමුතුම තැනක් වී ඇත.


කෙල්ලෝ දෙදෙනාම, බෑනලා සමග එකම ගෙයි, කාමර දෙකේ පදිංචියට ආවේ සතුටිනි. අක්කයි, නංගියි, මස්සිනලා දෙන්නයි ඉතා සතුටෙන් සාමදානෙන් එකට උයාපිහාගෙන කන හැටි බලාගෙන මම සතුටු කදුළු වගුරන්නෙමි. ජීවිත කාලයක් පුරා දුක් කදුළු පෙරමින් දුක් මහන්සි උන මම අද මගේම වාසස්ථානයකට විත් සිටිනු දැනී මා සතුටු වන්නෙමි.


මාත්, දුවල දෙන්නත් දැන් රෑට ලයිට් එළියෙන් පුවක් කපන්නෙමු. දහවලට පළා කොළ විකුණන්නටද යන්නෙමු. බෑනෑවරුන්ට ෆැක්ටරියක වාහන පදවන්න ලැබී තිබුනි... ඔවුන් එයින් හොඳ වැටුපක් දැන් ලබයි. ගෙවල් කූළී ගෙවන්න නැති නිසා, දැන් හම්බකරන එක වියදමට ඇතිය.


වැඩි කාලයක් නොගොසින් බෑනෑවරු දෙදෙනාම ත‍්‍රීවීල් දෙකක් මාසපතා මුදල් ගෙවන්න ගත්තේය.... ඒ අමාරුවෙන් ඉතිරි කරගත් සල්ලිත් අඩුපාඩුවට දමාය. ඔවුන් දැන් රැකියාවට අමතරව, නිවාඩු වෙලාවට ත්‍රිවිල් හයර් දුවා අමතර ආධායමක් ලබා ගනී....දැන් අපි ගමන් බිමන් යන්නෙ, දරුවන් පාසැල් ගෙන යන්නේ ඒ ත‍්‍රීවීල්වල්ය.... පොඩි කෙල්ලට තව කොලූ පැටියෙක් ලැබි ඔහුත් දැන් ටිකක් ලොකු වි ඇත. මා දැන් මිණිපිරියන් දෙදෙනෙකුගේ හා මුණුපුරාලා දෙදෙනෙකුගේ ආච්චි කෙනෙකිය. මාගේ හිත සතුටෙන් පිරී ඇත. මා හට මේ තත්ත්වයට එන්නට උදව් කළ නෝනාට, මහත්තයාට මං හැම මොහොතකම පින් දෙමි.


‘‘දිලීමා දැන් බෑනලාට ත්‍රිවිල් තියෙන නිසා නරක ද ගමේ පළා කොළ විතරක් නෙමේ ඕවිටිවලට ගිහින් එළවලූ , පළතුරු එකතු කරගෙන ඇවිත් කඩයක් දැම්මොත්.... ගමේ පලතුරු, අල, බතල එහෙමත් ඔය හයිලෙවල් පාරේ කඩයක් දාගෙන, තියාන හිටියොත් විකුණ ගන්න බැරි වෙන එකක් නෑනේ..."


‘‘ඔව් නෝනා. මාත් ඒක හිතුවා...අපේ ලොකු කෙලීට බයිසිකල් පදින්න පුලුවන් නිසා, ගම වටේ ගිහින් එළවළු පළතුරු හොයාගෙන එන්නත් පුලුවන් ..."


"නෝනට කියන්න මම දැන් ටික ටික සල්ලි එකතු කරනවා. අර අපේ ඉඩමේ තව පර්චස් හතරක් විතර ඉතිරි වෙලා තියෙන තැන පොඩියට ගේ කෑල්ලක් හදල පොඩි දුවට දෙන්න... අක්කයි, නංගියි නිසා රණ්ඩු සරුවල් එහෙමත් නෑනේ... මං එන අවුරුද්දෙ දිහාට එතන ගේ කෑල්ලක් හදන්න මේ දැන්ම ඉඳන් සල්ලි එකතු කරනවා නෝනා....


‘‘කොච්චර හොඳ ද දුලීකට දියුණු වෙන්න ආසාව තියෙන එක......මටත් හරි සතුටුයි දුලීකා දියුණුවෙලා සතුටින් ඉන්නව දැකීම....‘‘


"මටත් ඕනේ මහන්සි වෙලා දියුණු වෙලා දරුවොත් එක්ක හොද තැනකට එන්නයි නෝනා....."


‘‘දුලීකට ඕන නම් දැන් අපේ මහ්තතයාගේ ඔෆිස් එකේ වැඩට යන්න පුළුවන්......‘‘


‘‘ අනේ නෑ නෝනා...දැන් ඉතිං තව රස්සාවක් කරන්න වෙලාවක් නෑනේ..... නෝනලාගෙ ගෙදර දවස් තුනක් මට වැඩට ආවහම, අනෙක් දවස් වලට මම එළවලූ, පළා විකුණන්නත් යනවනේ.... දරුවෝ බලා ගන්න, උන් ඉස්කෝලෙ ඇරන් යන්න ගිහාම, මට දැන් මහන්සි අරින්නත් වෙලාවක් නැති තරම් නෝනා... ඒ උනාට කෙල්ලො දෙන්නත් මට පෙනි පෙනීම මගෙ ලඟ ඉන්න එක මට ලොකු සතුටක්. පුංචි ඈයෝ ටික මං බලාගන්නෙ හරිම ආසාවෙන්.... උන්ගෙ කතා ඇහෙනකොට උන් එක්ක හුරතල් වෙනකොට මට පහු ගිය කාලවල වෙච්ච දුක් කරදර ඔක්කොම අමතක වෙලා යනවා නෝනා.....‘‘


‘‘එහෙම නෙමේ දිලීමා..... දිලීමට කියන්න ආරංචියක් තියෙනවා. මට නම් ඒක සතුටුදායක ආරංචියක් උනාට ....ඒක දිලීමට නම් සතුටුදායක ආරංචියක් වෙන්නෙ නෑ කියල මං දන්නවා.....‘‘


‘‘අනේ ඇයි නෝනා....මොකක්ද ඒ ආරංචිය....? මොකක්ද ඒ නරක ආරංචිය....මම මේ සතුටෙන් හිත හදාගෙන ජීවත් වෙන්න හැදුවා විතරයි නෝනා....මට නරක ආරංචියක් උනත් කමක් නෑ...නෝනට සතුටු ආරංචියක් නම්...‘‘


‘‘ දුලීකා ....මං දුවල දෙන්නත් එක්ක එන මාසේ රට යනවා.... මං දුවලට උගන්නන්න රට යන්නේ.... මහත්තයා නම් මේ රටේ නිතර ඉඳියි.....මහත්තයාගෙ බිස්නස් වැඩ බලන්න තියෙන නිසා.... ඒකයි මං කිව්වේ මං ගිහාම දිලීමා මහත්තයාගෙ වැඩ පළේ වැඩට යන්න කියලා .... සුමානෙකට දවස් තුනක් අපේ ගෙදර ආපු දවස් තුන, දුලීකා වැඩපලට ගිහින් වැඩපල කරදීලා අස් කරලා, අතු ගාලා දීලා එන්න.....‘‘


‘‘නෝනා මගේ ජීවිතේ ගොඩගන්න කරපු උදව් මට කවදාවත් අමතක වෙන්නෑ නෝනා....තාත්තා නැති මගේ දරුවො දෙන්නා ලොකු කරගන්න මට උදව් කරලා දීලා... උන් දීග දෙන්න උදව් කරලා උන්ට දරුවො හම්බ වෙනකම් බලලා, දරුවන්ගෙ දරුවනුත් හදාගන්න උදව් කරලා.... මට ජීවිත කාලෙම වැටිලා ඉන්න ගෙයක් හදලා දීලා නෝන කරපු උදව් මගේ ජීවිතේට අමතක වෙන්නෙ නෑ නෝනා...නෝනා සතුටෙන් කැමති ගමනක් හොද හිතින් සතුටෙන් යන්න නෝනා .... නෝනාට කවදාවත් වරදින් නෑ... දෙවියෙක් වගේ ඉන්න මහත්තයාට වැඩි වැඩියෙන් හම්බවෙන්න ඕනේ... මගේ පවුල ගොඩදාන්න කරපු උදව්වලට..... සීදේවි මැණිකෙලා දෙන්නව හොඳට බලාගෙන නෝනා රට ගිහින් හොඳින් ඉන්න නෝනා ....‘‘


පංචිකාවත්ත මුඩුක්කුවක ඉපිදී, අනේක නරා දුක් විඳිමින් සහෝදරයන්ට කලෙක මවක් වී ඉද, පසුකලෙක පාදුක්කේ බාප්පාගෙ ගෙදර ජීවත් වන්නට ලැබීමත්, පසුකලෙක නුවර මාමලා, නැන්දලාට වැඩකාරකම් කරන්නට ගිය ගමනත්, මගේ ජීවිතයේ සතුටින්ම ගත කළ කාලය....මගේ සැමියා සුමිත් සමඟ ගෙවුණු වසර දෙකක කාලය වේ,... පසුව දරු දෙදෙනා හදා ගැනීමට නොයෙක් දහ දුක්විද රැකියාවන් කළ මා, කරුණාවන්ත නෝනා හා මහත්තයෙක් නිසා යාන්තම් ඔළුව ඉස්සුවෙමි.... මාගේ හතලිස් පස් වසරක ගෙවුණු ජීවිතය දිහා බැලීමේදි .... බාධක කම්කටොළු මැදින්, වැටි වැටි දිව ගිය අන්දම මට මැවි පෙනේ...


අද වනවිට මම දරු මුණුපුරන් හා සතුටින් මාගේම නිවසක සතුටින් කාලය ගත කරමි.

දූවරුන් දෙදෙනාටම එකම ඉඩමේ අද වනවිට ඉන්නට ගෙවල් දෙකක් සාදා දීමට මට හැකියාව ලැබි ඇත. නෝනා මහත්තයාට පින් සිද්ධ වෙන්නට මම නැති කළෙක, මගේ දරු දෙදෙනාට වැටී සිටීමට දැන් ගෙවල් දෙකක් ඇත. මගේ ජීවිතයේ කාලයෙන් කාලයට ගෙවී ගිය අහිකුණ්ඨක ජීවිතයට සමුදී, මම අද මගේ ජීවිතයේ හොඳ තැනකට පැමිණ සිටිමි.

මගේ පියා, අද කොතන සිටිවාදැයි මා නොදනිමි. අම්මා බාප්පාට, මල්ලිලා අයියට මම උදව් කරමින් දරුවන්ගේ දරුවන්ට ද උදව් උපකාර කරමින් ජීවිතය සතුටින් ගෙන යන්නෙමි. දරුවන්ට හොඳ මවක් වෙමින් ඔවුන්ගෙ සියලූ අවශ්‍යතාවයන් නොපිරිහෙලා ඉටු කරමින් මම අද මගේ නමට නෝනා සාදා දුන් ගෙයි වැටී සතුටින් ගත කරන්නෙමි. මාගේ ජීවිතයේ තිබුණු ලොකුම බලාපොරොත්තුව හිසට නිවහනක්ය. අද මගේ ජීවිතයේ මා දුටු සිහිනය සැබෑ වී ඇත.


නෝනා දුවලා දෙන්නා සමඟ රට ගිහින් දැන් අවුරුදු හයක් ගත වී ඇත.... ඒ කාලය තුල නෝනා ලංකාවට ආ හැම පාරම, මම ගොස් ඇයට ගෙවල් දොරවල්, ඉස්සර මෙන්ම අස්කර දෙන්නෙමි. ඇය ගේන රට බඩු , රට කෑම කන්නට මගේ දරුවන් බලා සිටින්නේ ආසාවෙනී.


බබාලාගෙ පුංචි කාලේ සිට, නවකතා පොත් ලියන නෝනා,... මගේ ජීවිත කතාව, නවකතාවකට හරවා ලියා මුද්‍රණයකර කර, පිටරටකදි එළිදක්වා විකුනා, එහිදි ලැබුනු මුළු මුදලම මට, මහත්තයා අතේ එවන්නද අමතක කරේ නැත....ඒ මුදලින් පොඩි දුවගේ ගෙදර හදා නිම කර ලීමට මට හැකි විය. නෝනා අදටත්, මගෙත් දරුවන්ගේත් දුක සැප බලමින් මා සමග කතා කරමින් මට උදව් උපකාර කරයි.


මම දරුවන් සමග දැන් මගේ ගෙදර සතුටින් කල යවමි.


.....නිමි....


*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page