
💥ගිමන් හරිමි 💥
- Prisila Godahewa

- Jan 19, 2021
- 6 min read
(7 වන කොටස )
🍁🍁🍁🍁🍁🍁
"දුලීකා මම උඹට කියන්න කියලා හිතාගෙන හිටියේ....මං දැක්කා දවස් දෙක තුනක්ම, උඹේ ලොකු මල්ලි අර ටවුමේ කඬේ ලඟ කැරකෙනවා..... ඌත් ලොකු එකා වගේම හොරකමේ යනවා කියලා මට ටිකක් ආරංචියි..... කාගෙහරි ගෙදරක සෙරෙප්පු දෙකක්, වැලක රෙද්දක් තිබුණත් වූ උස්සන් යනවා කියලා තමයි ආරංචිය.... පොඞ්ඩක් කියල හදාගනින්.... නැත්නම් උඹටත් වැඩි කාලයක් යන්න ඉස්සර පොලීසි ගානේ රිංගන්න වෙයි...."
පසුගිය දිනක ලොකු මල්ලි මට ලස්සන ගවුමකුයි සෙරෙප්පු ජෝඩුවකුයි ගෙනත් දුන්නෙ ටවුමෙ නෝනා කෙනෙක් දුන්නා යැයි කියායි....මට එය කිව් ඇසිල්ලෙන් සිහිවිය . එහෙනම් ඔහු හොරකමේ ගොස් ගෙනාපු ගවුමක් හා සෙරෙප්පු ජෝඩුවක් වෙන්න ඇති එදා ඒ මට ගෙනත් දුන්නේ.... මා හට ක්ෂණිකයෙන් එය සිහි විය.
"ආපු දෙන්කෝ ඌ අද ගෙදර, මං ඌව හම ගහනවා....
අම්මා රට ගිහින් එහේ දුක් විඳිනවා.... තාත්තා අම්මා එවන සල්ලි නාස්ති කර කර ගෑණු පස්සෙ යනවා.... අර අයියා නැත්නම් අපි කන්ඩ නැතුව මැරිලා ගිහින්.... ඒ මදිවට මූං හොරකමේ යන්නත් පුරුදු වෙලා.... මට මේ තියෙන වැඩ මදිවට මුංගේ වැඩට පොලීසි ගානෙත් යන්න වුණොත් තමයි හොඳ...."
"ඔව් දුලීකා, උඹ වත් කෑගහල, බැනලා මල්ලිලා හදාගන්න බලපන්... පොඩි උන්ට කන්ඩ නැතත් අනුන්ගෙ දේවල් නම් හොරකං කරන්න දෙන්න එපා....
"නැන්දා මට ඒක කියපු එක හොඳයි....මම මේ පොඩි එකා හොක්කේ ගහගෙන මුළු දවසම විදින දුකක්....අම්මට ගානකුත් නෑ....තාත්තට ගානකුත් නෑ....මම තනියම නහිනවා....මුන්ට ඒවයෙ ගානක් අමාරුකම් තේරෙන්නෙ නෑනේ....ආපු දෙන් ඕකා ගෙදර ...."
එදින හවස ලොකු මල්ලී ගෙදර ආවේ කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් අතැතිව හනි හනිකට බයෙන් මෙන් පස්ස බලමින් දුවගෙනය......ඔහු ගෙට ගොඩවදින්නකම් මම කෝට්ටක් අතේ තියාන බලා උන්නේ කේන්තියෙනි.
"ආ...උඹ ගෙදර ආවද...?උඹට මේවා කොහෙන්ද?...කියපං ...
"අර ටවුමේ ගෙදර නෝනා දුන්නා....." දාඩියදා බයේ උන් මල්ලි ගොත ගසමින් කීවේ මගේ අතේ ඇති කෝටුව දැකය.
"උඹ මෙතන මහ වුන් ගෙදර නැති වෙලේ... හොරකමේ යන්න පටන් ගත්ත ද?....මට ආරංචියි උඹ ගෙවල් වල, වතු වලට රිංගලා, වැලවල් වල තියෙන ඇදුම් හොරකම් කරනවා කියලා.....උඹව මම ආයෙත් ඉතුරු කරන්නෑ.... කාගෙන්වත් ඇදුම් හොරකම් කරගෙන ආවොත්....උඹ ආයෙත් ඔය වගේ වැඩ කරනවද...? කරනවද....? මං ඔහුගේ අතින් අල්ලාගෙන කකුල් දෙකේ පාර හිටින තුරු කෝටුවෙන් ගැසුවේ ඔහුට ආයේ හොරකම් නොකරන ලෙස කියායි.
"අනේ අක්කේ මං ආයේ හොරකම් කරන් නෑ....අක්කේ.... අනේ ඇති... ඇති දැන් ගැහුවා..... අනේ අක්කේ මගේ කකුල් රිදෙනවා.... ලොකු මල්ලි කෑ ගහමින්, අඬන්න ගත්තෙ මගේ දඬුවමින් මිදෙන්නටය.
"ආයේ කාගෙහරි දෙයක් හොරකම් කරල මට පේන්න මේ ගෙදරට ගෙනාවොත් මං උඹේ අත් දෙක කඩනවා.....තේරුනාද...? මං ඔහුට සැර වැර කළේ ඔහුව හොරකම් කිරීමෙන් නවත්වා ගන්නටය.
අම්මා තාත්තා නැතුව, අවුරුදු දොළහක් වයසැති මට, මල්ලිලා තුන් දෙනාට අම්මා වී ගෙදර වැඩට අමතරව ඔවුන් කරන හොද නරක වැඩද බලන්න සිදු වී ඇත.
අවුරුද්දක් වයසැති පොඩි මල්ලී නිතර ම අඬන්නේ කිරි ඉල්ලාය. ඌ වැඩිපුර ඉන්නෙ බඩගින්නේ කියා මට සිතේ..... අතපය කෙසඟ ඔහුට මා කන්නට දෙයක් නැති විට කහට තේ හදා බිස්කට් එකක් හෝ පාන් විස්කෝතුවක් කවන්නෙ වෙන දෙන්නට දෙයක් නැති කලය.... අම්මා එවපු සල්ලි වලින් මම හංගා ගෙන සිටින සල්ලි ,වැඩිපුර වියදම් නොකර, පාන් ගෙඩියක්, විස්කෝතු ටිකක් , තේකොළ ,සීනි ටිකක් ගැනිමට පමනක් වියදම් කරන්නේ මල්ලිලා බඩගිනි වී හඩන විට යමක් ගෙනත් දීමටය.
අහල පහල ගෙවල්වල ගැහැණුන් චූටි මල්ලී අඬන විට මොනවා හෝ ගෙනත් පොඟවා කන්නට දෙන්නට දෙයි. කිරි බොන කිරි සප්පයාට බොන්නට කිරි නැත. හදා පොවන්නට පිටි කිරි ද නැත. බත් කුලූ ටික ටික කවා ඔහු ලොකු මහත් කිරීමට මා ගන්නා වෙහෙස දන්නෙ උඩ ඉන්නා දෙවියන් පමණි.
"නංගියෙ මං පිටි පැකට් එකක් ගෙනාව මල්ලිට හදලා පොවපං.... අයියා ඉඳහිට ගෙදර එන විට පිටි පැකට් එකක් ගෙනත් දීමට අමතක නො කරයි.
"මේ අනිත් උන් දෙන්නගෙන් මං පිටි පැකට් එක හංගලා තියා ගන්නෙ හරි අමාරුවෙන්....උන් දෙන්නා මට හොරෙන් පිටි සීනී අල්ලට දාගෙන කනවා....එහෙම නැත්නම් උන්ටත් කිරි හදල ඉල්ලනවා බොන්න... උන් දෙන්නත් තව ම පොඩියිනේ...."
අයියා නිතර ම මාකට් එකේ කුණු බක්කිවලින් අහුල ගන්නා එළවලූ පළතුරු හෝ මුදලාලි දෙන පලතුරු අපට ගෙනත් දෙයි. මා මල්ලිලා තුන්දෙනාට ඒවා තම්බා රත් කර දී ඔවුන්ගෙ බඩ පුරවමි. භූමිතෙල් ගන්නට, හාල් තුනපහ ගන්නට අයියා කීයක් හෝ මගේ අතේ තියන්නෙ මාකට් එකේ නාට්ටාමි වැඬේ කර හම්බ කර ගන්නා සල්ලි වලිනි.
තාත්තා ඉඳහිට ගෙනත් දාන බඩු මල්ලට වඩා මට අයියා මාකට් එකෙන් ගෙනත් දෙන කෑම වටින්නේ ය.
අවුරුදු පහළොවක් පමණ ඇති අයියා, ජීවත් වෙන්නෙ මාකට් එකේ මුදලාලිලාට අත් උදව් දෙමින්ය. ඔහුට අතට මුදල් ලැබෙන්නෙ එහෙමත් වෙලාවකය. ඔහු වැඩ කරන්නෙ බඩකට පුරවා ගැනීමට ය. මුදලාලිලා ඔහුගෙන් වැඩ ගෙන කන්නට යමක් දෙයි. ඊට අමතරව අහක දාන එළවලූ, පලතුරු ගොඩවල් සාදා විකුණා ගන්නා මුදල් හා මුට්ට කරගසා අයියා හම්බ කර ගන්නා සොච්චම් මුදලින් මල්ලිට කිරි පැකට් එකක් හා අපට කන්නට දේවල් ගෙන එයි.
දෙමව්පියන් ඔවුන්ට ඕන ලෙස දරුවන් බිහි කර, ඔවුන්ට මෙලෙස දුක් දෙන්නෙ ඇයි දැයි මට නිතර සිතෙයි. තාත්තා කිසිදිනක පාසැල් ගිය කෙනෙක් නොවෙයි. ඒ නිසා ඔහුට ඉගෙනීමේ ඇති වැදගත්කම නොතේරෙයි. අම්මා ළමා මඩමේ සිටිනා කාලයේ දී අකුරු කියවන්නට ලියන්නට යාන්තමට පමනක් ඉගෙන ගෙන තිබුණත් පසුකලෙක ඒවාද අමතකව ගොස් ඇත. එබැවින් ඇය රට ගිය පසු අපට ලියුම්
නොලිව්වාය. ඇගෙ රට විස්තර අප දැනගන්නේ ලූසියා නැන්දාගෙනි. අම්මා රට ගොස් කියක් හම්බකරනවද..? කීයක් ලුසියා නැන්දාට එවනවද කියාවත් අප නොදනී. ඇය දෙන මුදලක් අතට ගෙන අප යාන්තම් තියෙන දෙයක් කාබී පණ ගැට ගහ ගන්නෙමු.
අම්මා රට ගොස් අවුරුද්දකට ලං වෙන්න ඇවිත් ඇත. ඒ කාලය අප ගත කලේ කොහොමද කියා මට හිතා ගැනිමට බැරිය. අහල පහල ලැයිමේ ගෑනුන්ගේ උදව්වෙන් මම චූටි මල්ලි ලොකු කරගෙන ,ලොකු මල්ලිලා දෙන්නා ඉස්කෝලේ යවන්නද උත්සහ ගත්තෙමි .
"යංතං පොඩි එකා දැන් වැටි වැටි ඇවිදිනවා නේද? උඹට පිං සිද්ධ වෙන්න මු... ලොකු වුණේ අම්මා තාත්තා කෙනෙක් වත් නැතුවනේ...."
මා මල්ලි බලාගෙන ගෙදර වැඩත් කරගෙන ඉන්නවා දකින හැමකෙනෙක්ම මා හට අනුකම්පා කරයි. ඔවුන් මට ගෙවල්වල ඉතිරිවෙන කෑම බීම පුළු පුළුවන් විදිහට ගෙනත් දෙන්නේ මල්ලිලා සමග මම බඩගින්නේ ඉන්නවා දකින විටය. ඔවුන්ට මාත්, මල්ලිලා ගැනත් ඇත්තේ දුකකි.
ලොකු මල්ලිත් ඉදහිට පාසැල් යන ගමන්,... හවස් වරුවට අයියා පසු පස මාකට් එකට යන්න පටන් ගෙන ඇත. ඔහුට දැන් අවුරුදු දහයක් පමණ ඇත. පාසැල් නොයන දවසට ඔහුද අයියා මෙන් ම මාකට් එකේ මුදලාලිලාට අත් උදව් දී හිලව්වට දවල් දවසේ මුදලාලිලා දෙන දෙයක් කා බඩකට පුරවා ගනියි. බඩ පුරවා ගැනීමට මුදලාලිලාට උදව් කරනා ඔවුන් දෙදෙනා එළවලූ මාකට් එකේ අහක දාන එළවලූ එකතු කර ගොඩවල් සාදා දුප්පත් මිනිසුන්ට විකුණා කීයක් හරි හම්බද කරගනී. ඔවුන් ඒවා වලින් හවසට කීයක් හරි මට ගෙනැවිත් දෙන අතර අනිත් මුදල්වලින් බීඩි බොන්නට පුරුදු වී ඇත.
ඔවුන් කරනා හරි වැරදිවලට කතා කිරීමට, කා හටවත් පුළුවන්කමක් නැත. පාසැල් වයසේ සිටිනා ඔවුන් දෙදෙනාටම හරි වැරදි පෙන්වා දීමට කිසිවකු නැත. මා හටද ඒ ගැන ලොකු දැනීමක් නැත. අය්යා ඔහුට ඕන ලෙස වැඩකටයුතු කරයි....ලොකු මල්ලී මා කියනා දේ වලට කන් දෙන්නෙ නම් මාගෙන් ගුටි කෑමට ඇති බයටය.
ඔහු ඇඳුම් හොරකම් කරන බව දැන ගෙන මා ඔහුට පහර දුන් පසු, ඔහු හොරාට කාගෙවත් ඇඳුම් ගෙදර නොගෙනාවේය. නමුත් ඔහු හොරකම් කරන එක හරියට ම නවත්වා ඇත්දැයි තවමත් මට සැකයක් ඇත.
තාත්තා දැන් මැගලින් නැන්දා සමඟ පවුල් කයි.... ඉඳහිට ගෙදර එන තාත්තා අපට මොනවා හෝ කන්නට ගෙනත් දී නැවත යයි.
"අම්මා කවදද එන්නෙ ලොකු දුවේ...."?
"තවම හරියට දිනයක් කියල නෑ. කොයි වෙලේ හරි එයි. තාත්තා මැගලින් නැන්දලාගේ ගෙදර ඉන්නෙ කියල අම්මට ආරංචි වෙලා ඇති දැන්.... බලන්නකෝ අම්මා දැන් කොයි වෙලේ හරි ලංකාවට ආපුවහම යකා නටන්නෙ නැද්ද කියල. ..."
"ඒකි නටපු දෙන්.... ඒකිත් දැන ගන්න ඕනෙ ළමයිනුත් දාලා, තනි කැමැත්තට රට යනකොට ඕවා එහෙම වෙයි කියලා...."
"අම්ම ගියේ අපි දුක් විඳන හින්දනේ..... තාත්තා හම්බ කරන ඒවා බීලා නාස්ති කරනවා.... අපි ගැන බලන්නෙ නැති නිසා අම්මා රට ගියේ කීයක් හරි හම්බ කරන් එන්න....."
" අනේ උඹ කට පියාගෙන හිටින්....පොඩි එකාට දැන් අවුරුදු දෙකකටත් ළඟයිනේ.... ඒකා අම්මව අඳුනන්නෙත් නැතුව ඇති දැන් ...."
"ඌ දැන් අම්මා කියන්නෙ මට..... මං කොච්චර දුක් විඳලද මූව මෙච්චරකට ලොකු කර හදාගත්තේ... මට අම්මත් එක්ක කේන්තිත් ගිහින් තිබුනේ.... මේ කිරි බොන පොඩි එකාව මට බලාගන්න කියල රට ගිය එකට.... අඩුගානේ ඌට බොන්න කිරි පැකට් එකක්වත් ගෙනත් දෙන්න කෙනෙක් හිටියෙ නෑ. අයියා තමයි දුක් විද‘ලා අපට කන්න මොනවහරි ගෙනත් දුන්නේ. මං මේ පොඩි එකාව හදා ගත්තෙ, වැඩිපුර කහට තේත්, පාන් විස්කෝතුත් දීලා....."
"ඔව්... උඹ තමයි උගේ අම්මා... පේන්නෙ නැද්ද මූ උඹේ ඇගේ එල්ලිලා ඉන්න හැටි. පව් පොඩි එකාට බොන්න අම්මගෙ කිරිවත් තිබුනෙ නෑනේ.... බලපන් මුගේ අතපය වල හැටි. හරියට දර ඉපල් වගේ.... උඹලගෙ මහවුන්ගෙ වැරදි...."
දකින දකින අය මල්ලි දකින විට අත් නිකටේ තියාගෙන කියති.
කාලය ගෙවී ගියේ ඉතා දුක්මුසු ලෙස ය. කිරි බොන පොඩි මල්ලිව හොක්කෙ ගහගෙන හැමවැඩක් ම කරන මං ගෙදරට ම කොටු වී ඇත. ලොකු මල්ලි ද අයියා පස්සෙ මැනිං මාකට්ටුවට ගොස් මොනවාහරි වැඩක් කර කීයක් හරි හොයා ගෙන එයි. දෙවන මල්ලී ද ටික ටික ඔවුන් පස්සෙන් ඉස්කෝලේ ඇරුනු පසු යන්න පුරුදු වි ඇත්තේ බඩගින්නෙ සිටිනවාට වඩා මාකට්ටුව පැත්තෙ ගොස් කුනුබක්කිවල තිබෙන පළතුරක් හෝ කා බඩ පුරවා ගැනීමට ය. නමුත් සැමදා උදේ මම ඌව ඉස්කෝලේ අරින්න කොහොම හරි උත්සහ ගන්නෙමි.
පුංචි එකා හොක්කෙ ගහගෙන ඌට අම්මා වී සිටින මා තවමත් 13 වැනි වියේ පසුවෙයි.
තාත්තා ගෙදර එන එක එහෙම් පිටින් ම නතර කරඇත. ඔහු දැන් මැගලින්ගෙ ගෙදර නතරවි පවුල් කන්නට පටන් ගෙන ඇත. ඉඳ හිට හාල්, තුනපහ ගෙදරට ගෙනත් දෙන ඔහුට ඔහුගෙ ලෙයින් හැදුන ළමයි පස්දෙනා ගැන හිනව්වක් නැත.
මේ අතරේ අම්මා රට සිට ගෙදර එන බව අපට දන්වා එවා තිබුණේ ලූසියා නැන්දාගෙ අතේය.
"අම්මා රට ඉදන් එනවාලූ අයියේ අද හෙට... මට හරි සතුටුයි අවුරුද්දක් ගිය ඉක්මණ...."
"අම්මා එන එක හොඳයි. අම්මා රට ගියා කියලා අපට උන සෙතක් නෑ.....ඒ මදිවට ඉතිං දැන් තාත්තාත් ගෙදර නෑ....තාත්තා ගෙදර නැති බව දැනගත්තහම අම්මා යකා නටයි...."
"අපි මොනව කරන්නද අය්යේ... අම්මට විස්තර ලියල අරින්න අපි හරි ඇඩ්ඩ්‍රස් එකක්වත් දන්නෙ නෑනේ .......ඊටත් ඉංග්‍රීසි අකුරක්, වචනයක් වත් හරියට ලියාගන්නවත් පුළුවන් යෑ අපට....අපි ඉස්කෝලේ ගිහින් යන්තම් ඉගෙන ගත්ත අකුරු වලින් ලියුම් ලියල ඇරියත් අම්මට කියවන්න පුළුවන් එකක්‍යෑ.....අම්මා අපට හපන්නේ... අකුරු ලියන්නම බෑනේ....."
හෙට හමුවෙමු
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments