💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 23, 2021
- 5 min read
💥ගිමන් හරිමි💥
(52 වන කොටස)
ලොකු දුවලා වැස්සට වහලේ කැඩී අපේ ගෙදර නවතින්න ආ දිනේ පටන්, අපේ ගෙවල් අයිතිකාරයා මගෙන් ගෙට වැඩිපුර කුළියක් ඉල්ලන්න පටන් ගෙන ඇත.
"බලපං ලොකු දුවේ අර ගෙවල් අයිතිකාරයා මගෙන් වැඩිපුර කුළියක් ඉල්ලනවා උඹලා මෙහෙ ඉන්න නිසා...නැත්නම් වෙන ගෙයක් හොයාගෙන යන්නලු....එක පවුළකටලු ගෙදර කුළියට දුන්නේ...දැන් පවුල් දෙකක් ඉන්නවලු...."
"අපි පුලුවන් ඉක්මනට වෙන ලොකු ගෙයක් හොයාගෙන එකට ඉන්න යමුද අම්මේ...., එතකොට ගෙවල් කුළී දෙකක් ගෙවන්න ඕනෙ නෑනේ....."
දරුවන්ට හා මට නිදහසේ වැටී සිටින්නට ගෙයක් දොරක් නැත. අසරණ අපට ගෙවල් අයිති කාරයෝ කූළී ගෙවල් ඉල්ලන විට තව ගේකට යන්න වෙයි.... දුවලා දෙන්නා හා ඔවුන්ගේ දරුවන් සමග ගෙයින් ගෙට මාරු වෙමින් ගෙවල් කුළී ගෙවමින් අමාරුවෙන් ජීවත් වන අපට කවදා හෝ නිදහසේ අපේ කියන්න ගෙයක් දොරක් කවදා හදාගන්න පුලුවන් වේදැයි නොදනී. අවුරුදු ගානක් දුක් කම් කටොළු මැදින් ආ මගේ එකම සිහිනය මගේ කියන්න ගෙයක් දොරක් හදාගන්නට ඇති අසාවය. අනේ දෙවියනේ ඒ ආසාව ඉශ්ට කරගන්න මට වාසනාවක්, මුදල් නැති හැටි..... මම දිනපතා මගේ කියන ගෙයක් හදාගන්නා හැටි, එහි ජීවත් වෙන්නට සිහින මවමින් ජීවත් වෙන්නෙමි. අපි වැනි අසරණයන්ට ඒවා සිහිනම පමණි.
"අනේ නෝනා ගෙවල් අයිතිකාරයා අපි ඉන්න ගෙදර ඉල්ලනවා...ආයෙත් අපට වෙන ගෙයක් හොයාගෙන යන්න වෙලා...අපි වගේ අසරනයො...."
"දැන් දුලීකගෙ දුවලා දෙන්නත් දුලීකා එක්කමද ඉන්නේ..."
"ලොකු දුව අපි එක්ක ඉන්නේ...තව ටික දවසකින් පොඩි දුවට බබා හම්බවුනාම අපේ ගෙදර එක්ක එන්න වෙනවා....දරුවා හම්බ්වුනාට පස්සේ නැන්දම්මලාගෙ ගෙදර ඉන්න අරින්න බෑනේ...ඒවා චාරිත්‍ර නේ.... කුළී ගෙවන්න අමාරු නිසා තමයි ලොකු දුවත් අපේ ගෙදර ඇවිත් ඉන්නේ......එයාටත් ආයෙත් දරුවෙක් ලැබෙන්නනේ....."
"අනේ මන්දා දුලීකා ...ඔය ගෑනු ලමයි දෙන්නට තව වැඩි වයසක් නැති නිසා... මිඩ් වයිෆ් නෝනට කියලා, මේ පාර දරුවා හම්බවුනාම උපත් පාලනයක් කරගන්න ...ළමයි නිකන් දුර්වල වෙනවා..."
" ඔව් නෝනා, එහෙමවත් කරන්න ඕනේ.....අපි ටිකක් ලොකු ගෙයක් කුළියට හොයා ගත්තා නෝනා....එන සුමානෙ අපි ඒ ගෙට බඩු ටික ඇදගෙන යන්න හදන්නෙ ...එතකොට ලොකු දුවත් එක්ක එකතුවෙලා ගෙවල් කුළී ගෙවනවා ඒක දෙගොල්ලන්ටම පහසුයි ..."
" දුලීකා ලොකු දුවත් එක්ක දිගටම එකට ඉන්න යන්නද හදන්නේ ..."
"ඔව් නෝනා, මටත් කියලා තනියම ගේක ඉන්න බෑනේ...මම හම්බ කරන ඒවත් ඔය ළමයි දෙන්නටම තමයි ...."
පොඩි දුව කසාද බැඳ මාස හතයි ගියේ.... ඇයට දරුවා හම්බවෙන්න,
අමාරුවෙලා ඉස්පිරිතාලෙට ගෙන යන්නට සිදු විය.
පොඩි දුව ඉස්පිරිතාලේට ඇතුලත් කල වහා ඇයව ප්‍රසූතිකාගාරය තුලට ගත්තාය. ඒ ඇයට හොදටම අමාරුවි තිබුන නිසයි.... ඇයව ඉස්පිරිතාලේට එක්ක ගියේ මාත්, බෑනත් ,නැන්දාම්මාත් ඔවුන්ගේ ත්‍රිවිලයෙනි. බෑනාගෙ අම්මාත්, මාත් කෙල්ල ඇතුළට ගත්ත වෙලේ ඉඳන් එළියෙ හිටගෙන හිටියත්, කෙල්ලව පැය ගානකට එයින් එළියට ගෙනාවේ නැත.
එළිවෙන්න කිට්ටුව කෙල්ලව ට්‍රොලියක දමා වාට්ටුවට ගෙනයන්නට එළියට ගෙනාවේය.
මාත්, බෑනාගෙ අම්මත් දුවගෙන ගොස් ට්‍රොලියේ සිටි දුව සමග කතාකෙරුවෙමු. ඇය සිටියේ බොහො අමාරුවෙනි. අපි ඇය සමග කතා කල විට ඇය අමාරුවෙන් උත්තර දුන්නාය.
" උඹට කොහොමද පොඩි දුවේ....?මොකද දුවේ ,උඹව අමාරුවෙලානේ ඇතුලට ගත්තේ...ඇයි මෙච්චර පරක්කු වුණේ.... කෝ දරුවා ..... දුවෙක් ද? පුතෙක් ද?
"පුතෙක් කිව්ව අම්මේ මට පෙන්නුවෙත් නෑ...."
"ඉතිං කෝ දරුවා...
"ළමය බේබි රූම් එකට ගෙනියනවා කිව්වා...හැදිලා මදි කියලා...."
" ඔව් ඉතිං ළමෙක් හම්බවෙන වයසකයැ උඹ ඉන්නේ....කොහේද ඇගපත හැදෙනකම්වත් ඉන්නෙ නැතුව බැද ගත්තා....එහෙනම් දරුවා හරියට හැදිලා මදි ඇති....ඒකයි දරුවව බේබි රූම් දාන්න ඇත්තේ ...."
"අනේ මං දන්නෑ අම්මේ.... මට ළමයා බලන්න ආසයි....තාම දරුවව මම දැක්කෙ නෑනේ...." කෙල්ල ඇස්වල කඳුළු පුරෝගෙන කතා කරයි.
"දැන් මෙතන ලෙඩ්ඩු බලන වෙලාවක් නෙමේ...හා.හා..දැන් මේ අම්මලා යන්න...හෙට උදේට ලෙඩ්ඩු බලන වෙලාවට ආපහු එන්න...."
"එහෙනම් දුවේ අපි ගෙදර යන්නම්...මෙතන ඉන්න බෑනේ...අපි හෙට උදේට ඉස්පිරිතාලේට එන්නම් උඹට කන්න මොනව හරි හදාගෙන...."
"හා අම්මේ...අරයටත් උදේට එන්න කියන්න මගේ තව ඇදුම් ටිකක් ඇරගෙන ..."
"මොනව උනත් කිශ්ගෙ අම්මේ...මට හරි සතුටුයි දුවට ඉස් ඉස්සෙල්ලා පුතෙක් හම්බුන එක....මට ඉතිං ලොකු දුවගෙන් මිණිපිරියෙක් නෙව ඉන්නේ...දැන් ඉතිං මට මුණුපුරෙකුත් ඉන්නවා...මට තියෙන සතුට කියන්න බැරි තරම්...."
"එහෙනම් අපි හෙට උදේම දුවව බලන්න ඉස්පිරිතාලේ යමු නේද...?
"ඔව් මම දුවට මොනව හරි හොදට කිරි එරෙන්න කන්න දෙයක් හදාගෙන එන්නම්..."
"මම පොළොස් ඇඹුලක් හදලා, මෝර මාළු කෑල්ලක් උයලා බත් ගේන්නම්...."
"ඒක හොදයි අක්කේ...මම කරවිල ටිකක් උයාගෙන එන්නම් කෙල්ලට හොදට කිරි එරෙන්න..."
පොඩි දුවට මුණුපුරෙකු ලැබුන සන්තෝසෙන් ගෙදර ගිය මම, තවත් හොදට ගෙදර අස්පස් කලෙමි. පොඩි දුව අලුත් දරුවා සමග ගෙදර ඉන්න ආපසු, ඇදක් හෙම ලෑස්ති කර තැබුවේ ලොකු දුවගේද උදව්වෙනි....
පසුදින මාත් බෑනත්, පොඩි දුව බලන්න ඉස්පිරිතාලේට ගියේ, මගේ අලුත් මුණුපුරා දකින්න ඇති ආසාව නිසා, නොවිසිල්ලෙනි ....
අපි පොඩි දුව බලන්න ඉස්පිරිතාලේ වාට්ටුවට යන විටත් ඇය, ඇදේ තනියම නිදාගෙන හිටියත් දරුවා තවමත් ඇය ලගට ගෙනත් නොතිබුනි.
"ඈ දුවේ කෝ.... තවම දරුවව වාට්ටුවට ගෙනාවේ නැද්ද...?
"අනේ නෑ අම්මේ...මට දරුවා දකින්න ආසාවෙ බෑ...තාම බේබි රූම් එකේ කියන්නේ....අනේ අම්මේ.... ගිහින් නර්ස් නෝනගෙන් දරුව ගැන අහල එන්නකෝ...."
පොඩිදුව ඇස්වල කදුළු පුරවාගෙන දරුවා දකින්න ආසාවෙන් බලා ඉදී....
"මේ අම්මගෙ කවුද භාරකාරයෝ ඇවිත් ඉන්නේ....? නර්ස් නෝනා කෙනෙක් විත් මගේ කෙළී පෙන්නා අපෙන් ඇසුවා ය.
"මේ මම මෙයාගෙ අම්මා....මේ මෙයාගෙ මහත්තයා .."
"ආ... එහෙනම් මේ අම්මා එන්නකො මාත් එක්ක යන්න ,.. ලොකු දොස්තර මහත්තයා කතා කළා..."
මම නර්ස් නෝනා පසුපස දුව ගියේ අනේ දෙවියනේ .....මගේ කෙල්ලගෙ දරුවාට කරදරයක් නම් වෙන්න එපා කියමින් හිතෙන් දෙවියන්ට පිං දෙමින්ය.
පොඩි එකීගේ කුළුඳල් දරුවා පිරිමි ළමෙක් බව දැනගත් මොහොතේ පටන් මම සිටියේ බොහො සතුටිනි. මට හිටියේ දූවරුම දෙදෙනෙක්.... ලොකු දුවට මුළින් ලැබි සිටියෙත් දුවෙක් නිසා, මට මගේ පොඩි දුවගෙ දරුවා පිරිමි දරුවෙක් වීම ගැන තිබුනේ කියාගන්න බැරි තමයි ලොකු සතුටකී.
" නර්ස් නෝනා මේ කොහේද මාව එක්ක යන්නේ...?
"දරුවා හම්බවෙනකොට දුර්වලයි ...ඒ නිසා බේබි රූම් එකට දලා තියෙන්නේ ...ලොකු මහත්තයා කිව්වා දරුවගෙ වැඩිමහල් ලඟම නෑදෑයෙක්ට ඉස්සෙල්ලම දරුවව පෙන්නන්න කියලා ..."
"අනේ ඇයි දන්නෙ නෑ නෝනා....අම්මා තාත්තාට පෙන්නන්නෙ නැතුව ළඟම නෑදෑයෙක්ට පෙන්නන්න කිව්වේ..."
"ගිහිල්ලම බලන්නකෝ....."
මගේ පපුව ගැහෙන්න පටන් ගත්තේ කෝච්චියක් පපුව උඩින් යන්නා සේය....මගේ දෑසට කදුළු පිරුනේ මොනවා හරි නරක දෙයක් දරුවාට සිද්දවී ඇතිදැයි සැකෙනි ....
නර්ස් නෝනා මාව ඉස්පිරිතාලේ කොරිඩො එක දිගේ එක්ක ගියේ.... නොමේරු දරුවන් සිටි වාට්ටුවකටය.
"ලොකු මහත්තයා මේ අර දරුවගේ ආච්චි අම්මා ඇවිත් ඉන්නවා...."
නර්ස් නෝනා මාව ලොකු දොස්තර මහත්තයාට අදුන්වා දුන්නාය.
එහි සිටි ලොකු දොස්තර මහත්තයා මගෙන් පොඩි දුවගේ විස්තර ගොඩක් අසා කොළයක දේවල් ලියා ගත්තේය..... ඔහු මගෙන් අසපු දේවල් වලින් මට තේරුම් ගියේ දුවගේ ඇගේ තිබුන දුර්වල කම් නිසා, විටමින් ,ලේ අඩුපාඩු කම් නිසා, පොඩි දුවගෙ දරුවාද දුර්වල තත්වයෙන් ඉන්නා බවකී.
"නර්ස් මේ අම්මට එහෙනම් අර දරුවව පෙන්නන්න..."
නර්ස් නෝනා නොමේරු දරුවන් ඇති වාට්ටුව ඇතුලට මාව එක්ක ගියාය. එය ශීත කල කාමරයකි. එහි ඇතුලත වටේටම වීදුරු පෙට්ටි ආකාරයේ තොටිලි තියා තිබුනි. ඒවායේ නහයට කටට බට ගසපු , එක එක පෙනුම ඇති ලේන් පැටියො වැනි දරුවෝ ලයිට් එලියෙ නිදාගෙන සිටිනවා පෙනේ.... මගෙ පපුව තව තවත් ගැහෙන්නෙ ගත්තේ ඒ වීදුරු පෙට්ටි වල ඉන්නා දරුවන් දැකය. කිසිම සද්ද බද්දයක් නැති කාමරය තුල මැශින් වලින් ජීවත් වන දරුවන් ඉදී....හිතේ ඇති උනේ බය මිශ්‍ර දුකකී...මගේ ඇස්වලට කදුළු උනාගෙන එයි.
නර්ස් නෝනා මාව එම කාමරයේ එක් කොනක තිබු වීදුරු පෙට්ටියක් ලගට එක්ක ගොස් එහි සිටි දරුවෙක් මට පෙන්විය.
....අනේ දෙවියනේ..... මේ....මේ... මගේ පොඩි දුවගේ දරුවද....? මේ...මේ..දරුවා...මගේ ඔළුව කැරකෙන්නට පටන් ගෙන ඇගට වාරු නැති විය..... මට කලන්තයක් සෑදිනි.... මගේ ඇස් නිලංකාර වෙමින් යයි....නර්ස් නෝනා මාව වත්තන් කරගෙන ගොස් පුටුවක වාඩි කෙරෙව්වේය. ටික වේලාවක් එසේ සිටි මට, ඉහෙන් කනින් දාඩිය දාන්නට පටන් ගත්තාය..... මගේ හිතට ඇතිවි තිබුනේ දරාගන්න බැරු වේදනාවකී.... මාව වත්තන් කර මගේ මුහුනට වතුර ගසා මා යතා තත්ත්වයට ගෙන ආවේ නර්ස් නෝනලා දෙදෙනෙකී. මට වතුර බොන්න දුන් නර්ස් නෝනාලාගෙ මුහුනේ තිබුනේ මා ගැන ලොකු අනුකම්පාවකී.
මම මගේ දණහිසේ මුහුණ ඔබාගෙන ඉකි ගස ගසා අඬන්න පටන් ගත්තෙමි.
"දැන් ඉතිං අඩලා වැඩක් නෑනේ....ගෑනු ළමයි දීග දෙනකොට, හරි වයසට ආවාම කසාද බන්දලා දෙන්න ඔනේ....ඒ විතරක් නෙමේ ගෙවල් වල ඉන්න පිරිමි ළමයින්ට වඩා හොද ගුණවත් කෑමබීම දෙන්න ඕනේ ගෑනු ළමයින්ට.....මොකද කවදාහරි දරුවෙක් බිහිකරන්න ඉන්න ගෑනු ළමයි තමයි හොද ශරීර සවුක්‍යයෙන් ඉන්න ඕනේ...එහෙම නොවුනොත් අම්මයි ළමයයි දෙන්නම දුර්වල වෙනවා....., දරුවෝ අඩුපාඩු එක්ක ඉපදෙනවා.... " නර්ස් නෝනා කීය.
මගේ පොඩි කෙළීට හම්බ වී තිබුණේ කොලූ පැටියෙකු උනත්,..... ඔහුගෙ මූණ දෙස බැලීමට බැරි තරමට පුංච් මුහුණ විරූපී වි ඇත..... ඔහුගෙ උඩු තොල දෙකට පැලී එය නහයට ඇලී ඇත. කොළු පැටවා ඉපදී තිබුණේ එලෙසය.... මූණ බලන්න බැරි තරමට විරූපීය. දරුවාට කිිරි උරා බීමට වත් තොලක් හා තල්ලක් නැතුව ඉපදී ඇත.... රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ සිටින නර්ස් නෝනලා දරුවාට බටවලින් කිරි පොවන්නට සලස්වා ඇත.
" මේ දරුවට අම්මගෙ කිරි උරලා බොන්න බෑ....ඒ නිසා ටික දවසක් දරුවගෙ දුර්වල තාවයන් මග හැරෙන කම් මේ නොමේරු ළදරු ඒකකයේ තමයි ඉන්න වෙන්නේ....වාට්ටුවේ ඉන්න අම්මව මෙතනට එක්ක ඇවිත්.... මේ බෝතලයට දුවගෙන් කිරි දොවල දෙන්න ඕනේ අපට..... ළමයට අපි ඒ කිරි පොවනවා ටිකක් ලොකු වෙනකම්......"
"අනේ නෝනා... මේ..මේ දරුවා... මට අවශ්‍ය දේ අහන්න තරම්වත් ශක්තියක් නැත ...
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments