top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 23, 2021
  • 5 min read

💥ගිමන් හරිමි💥

(50 වන කොටස )


"දුලීකා දොස්තර මහත්තයා කියන විදිහට නම් පොඩි දුවට ලොකු අසනීපයක් නෑ... දුවගෙ ඇඟේ හොදටම ලේ අඩුලු...., ඔය අල, බතල, බත් විතරක් කෙල්ලට කන්න දීලා හරියන්නෙ නෑ.... ඇඟට හොඳ ගුණවත් ආහාර කන්න දෙන්න ඕනේ කියලා දොස්තර කිව්වා....."


"අනේ නෝනා... ඔය මොනවහරි දාගෙන බඩ පුරවා ගන්නවා ඇරෙන්න ගුණවත් කියලා දේවල් අපි හොයන්නෙ නෑ....."


ඇය රැකියාවට යමින් මහන්සි වී නිදි මරා ඇඟට හරියට කෑමක් නැතිව සිටි බැවින් දුර්වල වී ඇති බව දොස්තර කීම, ගැන මට ඇති වුනේ සතුටකි. වෙන නරක අසනීපයක් නැතිවුන එක ලොකු දෙයක් විය.


"දොස්තර මගෙන් ඇහුව්වා දුවට කසාද බදින්න කෙනෙක් ඉන්නවද කියලා ...මම කිව්වා ,මම දන්නෑ මම ළමයගෙ අම්මව දොස්තර හම්බවෙන්න එවන්නම් කියලා...."

" ඒකි තාම පොඩි එකිනෙ නෝනා...තාම කොල්ලෙක් එක්ක යාළුයි කියලවත් මට ආරංචි උනේ නෑ....මම ලොකු දුවගෙන් අහල බලන්නම්...."


පොඩි දුව දැන් ඉස්සර වගේ කඩිසර කමෙන් වැඩ නොකරයි. ඇය වැඩට යන්නේද ඕනෑවට එපාවට මෙන්‍ය. මට ඒ ගැන ඇත්තේ දුකකි.


"දොස්තර මහත්තයා කිව්වනේ උඹට ලොකු අසනීපයක් නෑ කියලා ...මොකද උඹ ඈලිමෑලි වෙලා ඉන්නේ ...."


"මට හරි මහන්සියි අම්මේ..."


නෝනාලාගෙ ගෙදර වැඩ කර මා බදාදා ගෙදර ගියේ, පොඩි කෙල්ලගෙ ඇගේ දුර්වල බව ගැන හිතමින්‍ය. මොනවා හෝ හොද දේවල් ඇයට ගෙනවිත් කන්න හදාදිය යුතු යැයි මම තනියම සිතමින් ගෙදර ගියෙමි.


ගෙදර ඉස්සරහ දොර ඇරගෙන ගෙට ඇතුල් වෙනකොටම මට, සාලයේ ස්ටූලය උඩ සුදුපාට කොළයක් තියෙනවා පෙනින. එය ලියුමකි. එම ලියුම රැගෙන මම කඩිමුඩියේ, ලඟ ගෙදරක පදිංචි වී සිටින ලොකු දුවගෙ ගෙදරට දුව ගියෙමි.


ලියුම ලියා තිබුනේ මගේ බාල දියණියයි. ඇය මැහුම් වැඩපලට ත්‍රිවිල් එකක බඩු ගේන දෙමළ කොල්ලෙකු හා පැන යන බව එයි සඳහන් කර තිබිණි. එය අසා මම උන්හිටි තැනම වාඩි වුනෙ ඔළුව බදාගෙනය.


"අනේ...ලොකු දුවේ ඇයි මට මේකි කොල්ලෙක් එක්ක යන්න බව කිව්වෙ නැත්තේ....මම හාංකවිසියක් ඒ ගැන දැනගෙන හිටියෙ නෑනේ...."


"මම නම් දැනගෙන හිටියා...අම්මා ගෙදර නැති වෙලාවට දවසක් දෙකක් නංගි ඔය කොල්ලත් එක්ක ගෙදර ආවා...දවසක් මම බැන්නා අම්මා නැති වෙලාවට තනියම ගෙදර යනවා කියලත්..."


"ඇයි බං උඹ මට කිව්වෙ නැත්තේ...මම දන්නවා නම් බන්දලා දීලා දානවානේ...මොකට හොරෙන් යනවද...?


මගේ මුළු ජීවිත කාලයම මම බොහෝ දුක් විදි කෙනකි....ළමා කාලය, බාළ , තරුණ, කාලය වගේම වැඩිහිටි කාලයත් ඉතා දුකසේ ගත කරන්නෙමි.මම මගේ සැමියා සුමිත් විවාහ කරගෙන යන්තම් අවුරුදු දෙකක් පමනක් හිතේ සැනසීමෙන් සතුටෙන් හිටි කෙනෙකි....සුමිත්ගෙ අතුරුදන් වීමෙන් පසු, තනි මම අපේ දරුවන් දෙදෙනා උස්මහත් කර ගන්න නොවිදිනා දුක් විද ඇත්තෙමි. දරු දෙදෙනා පාසැල් යවා, අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්වීමට මම විදි දුක් කන්දරාව දන්නේ මම විතරමය. බොහෝම අමාරුවෙන් ලොකු දුව බන්දා දුන් මම දැන් ඇයගෙ දරුවා ලොකු කරගන්නටද උදව් කරමි. ලොකු දුව කළබලේ බොහෝම සුළුවෙන් කසාද බන්දා දුන් මම හිටියේ, කවදා හෝ පොඩිදුව බොහෝම උජාරුවෙන් කසාද බන්දා දීමටය. ඒ වෙනුවෙන් මම සල්ලි ටිකක්ද ඉතිරි කරගන්නටද සිතා සිටියෙමි.

අතට කීයක් හරි මම අමාරුවෙන් එකතු කරගන්නට සිතුවේ ලොකු කෙලිගේ මඟුල, ලොකුවට ගන්න බැරි වුණත් පොඩි කෙළිගේ මඟුල හරි ලොකුවට කරවා දැමිය යුතු යැයි සිතායි. නමුත් ඇය අප අතහැර දෙමළ කොල්ලෙකු හා පැන ගොස්ය. මගේ හිතට ඇතිවුන දුක කියා නිම කල නොහැකි විය .


"නංගිට හොද නිසානේ ක්‍රිශ්නා එක්ක නංගි පැනලා ගියේ....අම්මා දුක් වෙන්න එපා. "


"නිකමට මට කිව්වනම් ඒ කොල්ලව කසාද බදින්න ඕනේ කියලා , මම ඒක කරලා දෙනවනේ....ඊටත් වඩා ඒකිටත් තාම අවුරුදු දහ අට පිරිලත් නෑ... උඹ නම් කසාද බදිනකොට ඇගපතවත් හැදිලා තිබුනා...ඒකිගෙ ඇඟෙ ඇට ටික විතරයි. ඊටත් නිතරම හිටියේ ලෙඩ ගානේ ..."


"අම්මා දුක් වෙන්න එපා...ඒකිට හොද නිසා නේ නොකියම ගියේ...මම දන්නවා නංගි ගිය තැන....මම එතන හොයලා බලලා ඒකිට හොද දෙකක් කතා කරලා එන්නම්කෝ...."


එම ආරාංචියෙන් පසු මම, නොකා නොබි එදින රෑ තිස්සෙ දුක් උනෙමි. මෙපමණ ආදරෙන්, අමාරුවෙන් හදාවඩා ගත් කෙල්ල මටත් නොකියාම ගෙදරින් ගියේ ඇයි...?. අනේ දෙවියනේ තාත්තා නැති ,මේ කෙල්ලො දෙන්නා ලොකු මහත් කර ගන්න මම වින්ද දුක් කන්දරා ගොඩ.....ඇයි මම වින්ද දුක් කරදර මේ දරුවන්ට තේරෙන්නෙ නැත්තේ......මෙපමණ ආදරෙන් තමන්ව හදාවඩා ගත් අම්මා, අක්කා අමතක කර කොහොමද කොල්ලෙක් එක්ක නොකියා පැනලා ගියේ...?


පසුදින මම වැඩට ගොස් නෝනා සමඟ ඒ ගැන කිව්වේ අඬ අඬාමය.


"අනේ නෝනා මං මේ කෙල්ලො දෙන්නා හදා ගත්තේ කොච්චර අමාරුවෙන් ද? ලොකු එකී කොල්ලෙක් එක්ක යාළුයි කියලා දැනගත්තහම මම පුලුවන් විදිහට බන්ඳලා දුන්නා... එහෙම කලේ හොයා ගත්ත මිනිහා දාල යයි කියල බයට....., මම හිතාගෙන හිටියේ පොඩි එකීව හොඳට මගුල් කාලා බන්දලා දෙන්න.... එකිට තාම අවුරුදු දහඅටත් නෑ. එකී දෙමළ කොල්ලෙක් එක්ක පැනල ගිහින්...මට දුකේ බෑ නෝනා ..."


"දුලීකා දැන් අඬල වැඩක් නෑ.... ඔය කෙල්ලයි, කොල්ලයි ඉන්න තැනකින් හොයලා ගෙදර ගෙන්නලා බන්ඳලා දාන්න...නැත්නම් කෙල්ලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් , කොල්ලා දාලා ගියොත් එහෙම ...."


"අනේ නෝනා මගේ අයියල, මල්ලිලාගෙ ගෑනු වුණත් දැන් මාත් එක්ක එච්චර හිත හොඳ නෑ.... මං දැන් ටිකක් ඔළුව උස්සලා ඉන්න නිසා.... දැන් උන් ඔක්කොම මට හිනාවෙයි ,පොඩි කෙල්ල පැනලා ගිහින් කියලා ..."


" අනිත් අය දැනගන්න කලින් ,දුලීකා ගිහින් ටිකක් හොයලා බලන්න කෙල්ල කොහේද ඉන්නෙ කියලා ..."


"ඉන්න තැන නම් අපේ ලොකු කෙළි දන්නව කිව්වා...., ඒ උනාට ගිය තැනක නංගිට ඉන්න දෙන්න කියලා ලොකු කෙල්ල කියන්නේ..."


"ඒ උනාට දුලීකා පොඩි දුවව ඉන්න තැනකින් හොයලා ගෙදර එක්ක ඇවිත් ඒ කොල්ලට කසාද බන්දලා දෙන්න....දුලීකට ඕන විදිහට, දෙපැත්තේ නෑදෑයන්ට, වටපිටාවේ අයටයි, කියලා ඉක්මනට පොඩියට මඟුලක් ගන්න බැරියැ .... තාම දුලීකලා පරක්කු වැඩි නැ..."


"අනේ මන්දා නෝනා, තනි කැමැත්තට ගිය හින්දා,ඔන්න ඔහොම ඉන්න අරිනවා කියලා මට හිතෙනවා...".


"එහෙම නෙමේ, දුලීකා කැමති විදිහට කෙල්ල එක්ක ඇවිත් පොඩියට මගුලක් ගන්න..... මම සල්ලි ටිකක් දෙන්නම් කෙල්ලගෙ මගුලට වියදම් කරන්න.... ඉන්න තැනකින් ගෙන්නලා පොඩියට මඟුල ඇරගෙන ඉවර කරලා දාන්න...."


"අනේ නෝනට පිං සිද්ධ වෙනවා....මම හිතුවේ මුරංඩු කමට ගිය එකීට ඔහොමම ඉන්න අරිනවා කියලා ....අපේ ලොකු කෙල්ල දන්නවා නංගි ඉන්න තැන..... මං අදම පණිවිඩයක් යවල ජෝඩුව ගෙන්න ගන්නම්...."


"ඔව් දුලීකා... ඒ වැඩ ඉවර කරගෙනම ආයෙත් වැඩට එන්න...ළමයිගෙ වැඩ ටික ඉවර කරාම දුලීකා නිදහස්...නැත්නම් වැඩට ඇවිත් අඬ අඬා හිටියම මගේ හිතටත් හොද නෑ...."


"හොදයි නෝනා මම නෝනා කිව්ව විදිහට කරන්නම්..."


"එහෙනම් දුලීකා මේ සල්ලි ටික වියදමට තියාගන්න..."


"නෝනට ගොඩක් පිං....මගෙ දරුවො ගැන හිතනවට...."


නෝනා කිව් ලෙස, දවස් තුනක් උඩ මම කෙල්ලව ගෙදරට ගෙන්න ගෙන මණමාලියක් ලෙස සරසා පළවෙනි දවස වගේම දෙවෙනි ගමනටද වෙන වෙනම කුළියට සාරි ගෙන , අන්දා මඟුල් පින්තූරයක්ද ගත්තෙමි . දන්න කියන හැමටම කියා පුලුවන් විදිහට මඟුලක් ගත්තේ, අම්මලාගෙ ගෙදර , නෝනා දුන් මුදලිනි.


"නෝනා මේ මම නෝනට බලන්න කෙල්ලගෙ මගුල් පින්තූරෙ ගෙනාවා.....එදා හැමෝම කිව්වා කෙල්ල හරි ලස්සනට හිටියා කියල. හැමෝම කිව්වා කෙල්ලව අඳුනන්නත් බෑ ඒ තරමට ලස්සනයි කියල.... එදා ඒකි එච්චරට ලස්සනට හිටිය නෝනා...මනමාලියන්ට අන්දන කෙනා ලස්සනට කෙල්ලට අන්දලා තිබුනා... දැන්නම් මගේ හිතේ තිබුන දුක්කන්දරාව නැතුව ගිහින් හිතට පුදුම සතුටක් දැනෙනවා නෝනා....මම කොහොම හරි තාත්තා නැති කෙල්ලො දෙන්නට උගන්නලා, කසාදත් බන්දලා දුන්නනේ..."


"දැන් ඉතිං දිලීමට සන්තෝසයිනේ. මනුස්සයෙකුත් නැතිව දුවලා දෙන්නව ඉස්කෝලෙත් ඇරල අකුරු උගන්නලා කසාඳ බන්ඳලත් දුන්නනේ...."


"අනේ ඔව් නෝනා.... මට දැන් හරි සතුටුයි. දැන් මං කෙල්ලෝ දෙන්නගෙන් නිදහස්. දැන් මට නිදහසේ මැරෙන්න පුළුවන්..."


"දුලීක තාම තරුණයිනේ.... ළමයි පොඩි කාලෙම මනුස්සයා නැති වෙලත්, අමාරුවෙන් ළමයි දෙන්නා හදලා, දැන් ඒගොල්ලෝ බන්දලත් දුන්න එකේ... දුලීකා දැන් කාව හරි කසාද බැන්දනම් ඉවරයි...."


"පිස්සුද නෝනා.... මේ දීග ගිය කෙල්ලො දෙන්නෙක් ඉන්දෙද්දි මට මොන මඟුල් ද...?


මම මගේ දූවරු දෙදෙනා කසාඳ බන්දා දුන් පසු සිටියේ බොහෝ සතුටිනි.

මම වෙනදා වගේම නෝනා ලඟ දිගටම වැඩ කරන්න ගියෙමි. පුවක්ද කැපුවෙමි. පළා කොළද විකුනමින් ලැබෙන මුදල දුවලා දෙන්නාගේ වියදමටද දුන්නෙමි. මම ඒ සියල්ල කරන්නේ සතුටිනි.


"දුලීකට අලුත් ආරාංචියක් තියෙනවා කියන්න ...මහත්තයා කිව්වා, දුලීකා කාලයක් තිස්සෙ අපි ලග වැඩ කරපු නිසාත්, ඉදහිට ගිහින් මහත්තයාගෙ ඔෆිස් එකේ අතුපතුගාන වැඩත් කරන නිසා, ...ඔෆ්ස් එකේ වැඩ කරන හැමෝටම දෙන අර්ථසාදක අරමුදල් දුලීකටත් දෙන්න ලෑස්ති කරලා දෙන්නම් කියලා ..."


"ඒක නම් කොච්චර ලොකු උදව්වක්ද නෝනා...."


"එතකොට දුලීකට අවුරුදු 55 පැන්නහම අර්තසදක අරමුදලත් ගන්න පුඑවන්..."


"අනේ නෝනලාට බොහෝම පිං ...මම දන්නවා මහත්තයා මට ගොඩක් අනුකම්පා කරනවා කියලා...."


නෝනා මට ගෙවන පඩියත්, මහත්තයාගෙ වැඩපලේ මම අතුපතුගාන වැඩත් නිසා, මට අර්ථ සාධක අරමුදල් ගෙවීමට සකසා දීම මගේ ජීවිතේ මම ලොකු ජයක් ලැබු දෙයක් විය. කවදාහරි මට අවුරුදු පනස්පහ පැන්න විට මා හට අර්ථ සාධක අරමුදල් ගන්න පුළුවන් වීම ලොකු දෙයකි. නෝනා සහ මහත්තයා මට උදව්වක් ලෙස කළේ විශාල පින් අතේ වැඩකි.


නෝනාගේ අවුරුද්දක පුංචි දරුවා බලා ගන්නට ගිය මා අද ආච්චි කෙනෙකි. නෝනා මහත්තයා මෙන්ම ඔවුන්ගේ දරුවත් ඉතාමත් කරුණාවන්තය. ඒ ගෙදර ගිය දිනට නෝනා මෙන්ම ඒ දරුවත් මට ඇඳුම්, සෙල්ලම් බඩු, සබන්, පවුඩර්, කෑම ජාති ගෙදර ගෙනයන්නට දෙන්නෙ මගේ දරුවන්ට හා මිණිපිරිට දෙන්නට කියායි. ඉදහිට මාගේ අතේ නැලවුණු, දරුවගේ කැත කුණු ඇඳුම් සේදූ මාව ඔවුන් අමතක කර නැත.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page