
💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 23, 2021
- 4 min read
💥ගිමන් හරිමි💥
(49 වෙනි කොටස )
කසාද බැද වැඩි දවසක් යන්න කලින්, ලොකු දුවට කුළුදුලේ දරුවෙක් හම්බවෙන්න ඉන්න බව දැනගත්තාදා සිට, මම ඇයට කන්න ආසා කෑම සොයා, සාදා දෙන්න පටන් ගත්තේ සතුටිනි.... දුවගෙ නැන්දම්මා හා මාමන්ඩි ද ඉද හිට ඇයට කන්න ආස කෑමක් හදාගෙන ඇය බලන්න එයි. ඒ අතින් ලොකු දුව වාසනාවන්ත යැයි මට සිතේ. චානක පුතාද ඇයට ආදරෙන් සලකයි. ඊට වැඩි මොන සතුටක්ද මට..?
ලොකු දුවගෙ බඩට මාස ගාන සම්පූර්ණ වී ඇය ඉස්පිරිතාලේ නතර කල දිනට පසුදින, වැඩි අමාරුවක් නොවිම, ඇයට කුළුදුලේ ගැහැනු දරුවකු ලැබින. මම ආච්චි කෙනෙක් උන සන්තෝෂයත් සමග මම ඇගේ වැඩකටයුතු කලේ බොහෝම සතුටෙන් හා උවමනාවෙනි.
මම ලොකු දුවට දරුවා හම්බ වෙන්න ලංවී, සුමාන දෙකක් නෝනාගෙන් නිවාඩු ඉල්ලා ගත්තෙමි. ඒ සුමාන දෙකේ මම ඇය ලග හිදිමින්, ඇගෙත් කුළුදුල් දරුවාගෙත් වැඩ රාජකාරි කලෙමි. දරුවන් වෙනුවෙන් මම කරනා සෑම දෙයක්ම ඉතා සතුටින් කරන්නේ මගේ තරුණ කාලය සිහිපත් කරමින්ය.
නැවත මම නෝනලාගෙ ගෙදර වැඩට යා යුතු දින, ලොකු දුවගෙ නැන්දම්මා ඇගේ තනියට නතර කලෙමි. ලොකු දුවගෙ නැන්දම්මා, මගේම වයස කෙනෙක් නිසා මට දැන් හොද යාළුවෙක්ද ලැබි ඇත. ඇයත් මම මෙන්ම අසරණ , හිත හොද කෙනෙක් වීම ලොකු දෙයකි. මගේ අමාරුකම් ඕනෑඑපාකම් වලදි ඇය මට උදව් කරයි. ඇගේ අමාරුකම් ඕනෑ එපාකම් වලදි මම ඇයට උදව් කරන්නෙමි.ලොකු දුවට වගේම මටත් එය ලොකු සතුටක් වගේම පහසුවක් වි ඇත.
"නෝනා ලොකු දුවට කුළුදුලේ දුවක් හම්බ වුණානේ....කිසි කරදරයක් උනෙත් නෑ....අනේ මට ආසාවේ බෑ....මම දැන් ආච්චි කෙනෙක්නේ.... මට දැන් වැඩ වැඩියි නෝනා... ඒ උනාට මම හරි ආසාවෙන් ඒ වැඩ කරන්නේ....උන් දෙන්නගෙ වැඩත් මටම නේ කරන්න භාර වුණේ....හැබැයි අපරාදේ කියන්න බෑ, කෙල්ලගෙ නැන්දම්මත් ඇවිත් සැරෙන් සැරේ දුවට උදව් කරනවා...මම මේ අදත් වැඩට ආවේ නැන්දම්මා ,ලොකු දුව ලග නතර කරලා ...."
"එහෙනම් දුලීකා දැන් ආච්චි කෙනෙක්.... මටත් සතුටුයි "
නෝනාටත් බාල මා දැන් ආච්චි කෙනෙක් ද වී ඇත. නෝනාගෙ දරුවන් තවමත් පාසැල් යයි.
මාගේ ජීවිත කතාව, දරුවන් ගැන, අම්මා බාප්පා ගැන විස්තර අසා නෝනා සැරෙන් සැරේ දුක් වෙයි. මට මගේ දුක නිවා ගන්න ඇය උපදෙස් දෙයි....මගේ සතුටකදී ඇය සතුටු වෙයි, දුකේදී දුක් වෙයි. මට ඇය තවත් අම්මා කෙනෙක් මෙන් යැයි, මම ඇයට පුල පුලා කියමින් මගේ හිත සනසවා ගන්නෙමි. ඇය මටත් මගේ දරුවන්ට ද පුළු පුළුවන් විදිහට උදව්ද කරයි.
ලොකු දුවත් ඇගේ මනුස්සයත් ඔවුන්ගෙ දරුවාත් දැන් අපේ ගෙදරම පදිංචි වි හිදින නිසා පුංචි මැටි පැලේ දැන් ඉන්නට තැනක් නැති තරම්ය. ඉද හිට චානක පුතාගෙ අම්මත් රෑට එහි නවතින නිසා ඉඩකඩ බොහෝ අඩුය. ගෙට තියෙන එකම කාමරය ලොකු දුවලට දි, මාත් බාල දියණියත් සාලේ කොනක නිදාගන්නෙ, පැදුරු කෑල්ලක් එලාගෙන එකට ගුලි වීය. සමහර දිනට නැන්දම්මාද අපට එකතු වෙයි.
"අනේ ලොකු දුවේ උඹ දැන් ඔය කොහේ හරි කාමරයක් කුළියට ඇරගෙන පලයං.... මේ ගේ ඇතුලෙ ඉඩ නෑනේ....නංගිත් දැන් ලොකුයිනේ, මාත් කීයක් හරි උඹට දෙන්නම් ගෙයි කුලිය ගෙවන්න..."
"ඔව් අම්මේ චානකත් කිව්වා, අපි කුළී ගෙයක් හොයාගෙන යමු කියලා...චානකගෙ අම්මලා ආපු දවසට හරියට නවතින්න තැනකුත් නෑනේ ..."
වැඩි දවසක් නොගොසින්ම ලොකු දුවත් ඇගේ සැමියාත්, දරුවාත් අපේ ගෙට කිට්ටුවෙන් ම තිබූ ලෑලි ගෙයක් කුලියට ගෙන පදිංචියට ගියේය.
මාත්, බාල දියණියත් පමණක් දැන් මේ ගෙදර හිටියත්, දවල් කාලයට ලොකු දුව අපේ ගෙදර පැමිණ මා සමඟ පුවක් කපමින් ගෙදර වැඩට උදව් කරයි. ඇය ගෙදර යන්නෙ ඇගේ සැමියා ගෙදර එන වේලාව කිට්ටු වෙන්නටය. ඔවුනට ඒ ගෙදර අවශ්‍ය රෑට නිදිය ගන්නටම පමණය.
තමන්ට කියලා ගෙයක් දොරක් නැති අඩුපාඩුව නිසා, අපට තැන් තැන් වල කුළියට වැටි සිටින්න සිදුවි ඇත. හම්බකරන සොච්චමෙන් ගෙවල් කුළීද ගෙවන්න සිදු විම නිසා වියදමට සල්ලි මදි තරම් වෙයි. මේ විදිහට අපි හැමෝටම ජීවිත කාලයේම මෙලෙස කුළී ගෙවල් වල ජීවත් වන්නට සිදුවී ඇති එක ගැන මට ඇත්තේ දුකකි. එයට විසදුමක්ද නැත. ඒ තරමට අපි අන්ත දුගීයන්ය.
බාල දියණියද වැඩි දුර ඉගෙන නොගෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ කර ගෙදර නැවතුනාය. ඒ ඉක්මණටම ඇය ගෙවල් කිට්ටුව තිබුනු ඇඳුම් මහන තැනක රැකියාවට යන්න පටන් ගත්තේ අප දෙදෙනාගෙ ගෙවල් කුළී ගෙවන්න මුදල් හොයා ගත යුතු නිසයි.
ඇය දිගටම මැහුම් වැඩපලේ ඉතා හොඳින් වැඩ කරගනිමින් යයි. වැඩි දවසක් නොගොසින් ඇය මැහුම් ආයතනයේ පාලිකාවගේ හොඳම ගෝලයා විය.
දවල් මෙන්ම රෑ වැඩද කරමින් ඇය ඉතා මහන්සි වී වැඩිපුර වැඩ කරයි. ඒ නිසා ඇය වැඩිපුර මුදලක් හොයාගෙන , මාස ගානක් යන විට , ඇගේ පඩියෙන් කරට රත්තරං චේන් පොටක්, කරාබු දෙකක් ගෙවන්න සාදා ගත්තා ය.
"පොඩි කෙල්ල වැඩට යන නිසා අපට දැන් ලොකු අමාරුවක් නෑ නෝනා..."
මම කවදත් ඇත්ත කතා කරයි. මම අහිංසකය. මගේ දුක සැප අසා නෝනත් සතුටුවන බව මම දනිමි. එබැවින් මම ඇය සමග ඇත්තම කතා කරමි.
"මං දැන් සුමානෙකට දවස් තුනක් කොළ විකුණනවා ගෙවල් ගානේ ගිහින්.... ලොකු දුව මට හවසට පළා කොළ කොටුවෙන් , පළා මිටි ගෙනත් දෙනවා. ඒකි පලා මිටි ගේන්න යන දවසට මම ඒකිගෙ ළමයා බලා ගන්නවා. උදේට දවස් තුනක් මං කොළ විකුණලා ගාණකුත් හොයා ගන්නවා නෝනා...."
"කොච්චර හොදද..දුලීකා මහන්සි වෙලා දියුණු වෙන්න උත්සහ කරන එක. මම හරි කැමතියි ඒවගේ අයට...."
මගේ බාල දියණිය ද රෙදි මසා කීයක් හරි දැන් හම්බ කර ගනියි. ලොකු දුවට ෆැක්ටරියක වැඩ කරනා සැමියෙක් සිටී. දැන් ටික ටික මාගේ කාලෙ හොඳ වේගෙන එනවා ඇතැයි මට සිතේ ....
මගේ අතට සල්ලි හම්බ වෙන විට මම ඒවා පරිස්සම් කරමින් ඉතිරි කරමි. දරුවන්ට හොඳ කෑම බීම ගෙනැවිත් කන්නට දෙන්නට උත්සහ ගන්නෙමි.... මා දියුණු වෙනවා දැකීමට කැමැත්තක් දක්වන නෝනා, මම අමතර ආදායමක් ගන්නා දෙයක් කරන විට මාව දිරිමත් කරමින් උපදෙස් දෙයි. ඇයට පුලුවන් ලෙස මගේ දරුවන් ගැනද බලයි. නෝනා නිසාද මගේ ජීවිතය හොඳ අතට හැරෙමින් ටිකෙන් ටික දියුණු වේගෙන යයි.
මැහුම් වැඩපලේ වැඩට යන දුවට සමහර දවසට රෑ වැඩ වැටෙයි. ඇය නිදිමරාගෙන වැඩ කරනා නිසා දැන් ඇගේ ඇග දුර්වල පෙනුමක් ගෙන ඇත. ඒත් ඇය නොනවත්වා වැඩ කරයි. සමහර දිනට ඇය කලන්තේ ගතියක් ඇතැයි කියමින් වේලාසන ගෙදර එයි.
"නෝනා අපේ පොඩි කෙල්ලට නිතර කලන්තයක් හැදෙනවා, කන්න බොන්න වත් උවමනාවක් නෑ...මොකක් හරි අසනීපයක්ද කියලා බයයි...කවුරු හරි හොද දොස්තර මහත්තයෙක්ට පෙන්නුවොත් හොදයි නේද නෝනා..මොකක් හරි ඇඟේ නරක අසනීපයක්වක් තියෙනවද දන්නෑනේ..."
" එහෙමද ...?එහෙනම් මම හොද දොස්තර කෙනෙක් හොයලා බලන්නම්...දුලීකා දුවව ලෑස්ති කර ගන්න, මං හෙට අනිද්දා දිහාට එන්නම් එයාව දොස්තර කෙනෙක් ලඟට එක්ක යන්න. මොනවත් අසනීපයක් තියෙනවද කියල ලේ එහෙම චෙක් කරොත් දැන ගන්න පුලුවන් ...පොඩිකාලේ ඉදන් මම දන්න ළමයිනේ...අසනීපයක් උනාම බලන්න එපෑ...." නෝනා ඇඟේ දරුවන්ට වගේම මගේ දරුවන්ටද ආදරය කරයි. හොයා බලයි. උදව් කරයි.
"ඒකි මේ දවස්වල වැඩට යන්නෙත් නෑ නිදාගෙන ඉන්නවා පණ නෑ කියල...."
" එහෙනම් වැඩිකල් බලන් ඉන්න හොද නෑ, මං හෙට උදේ එන්නම් දුවව දොස්තර ගාවට එක්ක යන්න.
"ලොකු උදව්වක් නෝනා....නෝනට පිං සිද්ද වෙනවා...."
පසු දින නෝනා, ඇගේ කාරයෙන් අපේ ගෙදර ආවේ දුවගේ අසනීප තත්ත්වය පෙන්නන්න දොස්තර කෙනෙක් ලගට රැගෙන යන්නයි.
ඇය මගේ බාල දියණියව මාත් සමඟ කාර් එකේ දොස්තර මහත්තයා ගාවට රැගෙන ගියාය. දුව සිටියේ බොහො දුර්වල තත්වයකිනි. ඇය දුවව දොස්තර මහත්තයාට පෙන්නා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සියල්ලක්ම කර දුන්නෙ ඇයගෙ වියදමෙන්ය. ආපසු එන ගමන් ඇය දුවට විටමින් වර්ග හොඳ පිටි වර්ගයක් සහ කිරි බිත්තර අරන් දුන්නාය.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments