top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 4 min read

💥ගිමන් හරිමි💥

(48 වෙනි කොටස )

ලොකු දුව රැකියාවට යන්න පටන් ගෙන මාස හයක්ද ගත වී ඇත. ඇය රැකියාවක් ලෙස ගාමන්ට් එකට යෑමත් මට ලොකු දෙයක් විය. රැකියාවට ගොස් මාස හයක් විතර යන විට ඇය, ගාමන්ට් එකට ආගිය ලොරියක, අත් උදව් දෙන්න ආ චානක නම් කොළුවෙක් සමග ඇයි හොදැයියක් පටන් ගත් බව මා සමග කීය.


"දැන් ඔය ළමයගෙ අම්මලා උඹ ගැන දන්නවද...?


"ඔව්...මාව බලන්න එන්න ඕනෙ කිව්වලු...එයා මාව කසාද බදින්නත් කැමතියි."


"එහෙනම් දිනයක් දාගෙන ඒ අම්මලා ගෙදරට එක්ක ගෙන ආවානම්..."


"මම චානකට කියන්නම් අම්මේ..."


මොනවා උනත් දැන් ලොකු දුවට අවුරුදු දහ හත ඉවර වේගෙන යයි. ඒ නිසා ඇගේ කැමැත්තෙන් ඇය කවුරු හෝ කසාද බදිනවා නම් මගෙ එයට අකැමැත්තක් නැත. මටත් දැන් අවශ්‍ය දුවලා දෙන්නා නිසි වයසේදි කසාද බන්දා දී නිදහස් වෙන්නයි. මේ ගැන නෝනාට කියා උපදෙසක් ගත යුතුයැයි මට සිතේ. ඊට පසු දින මම නෝනලාගෙ ගෙදර ගියේ මෙයට උපදෙසක් නෝනාගෙන් ගන්න හිතාගෙනයි.


"අනේ නෝනා ....නෝනට කියන්න ,ලොකු කෙල්ල ගාමන්ට් එකට යනකොට, කොල්ලෙක් එක්ක යාළුවෙලා... මං මේ බන්දලා දෙන්න කියල බැලූවේ...නෝනාගෙන් උපදෙසකුත් මට ඕනේ...."


"එහෙමද?..දුලීකාගෙ ලොකු දුවට තාම වැඩි වයසක් නෑනේ...

"

"ඔව් නෝනා යන්තම් දහහත පිරුනා...මේ අවුරුද්දේ දහඅට ලබනවා...මම බැලුවේ නෝනා, කෙල්ල කැමති කොල්ලෙක්ට බන්දලා දුන්නහම මම නිදහස්නෙ කියලා...ලොකුවට උත්සවයක් ගන්නේ නෑ.....අපට පුලුවන් විදිහට සුළුවෙන් කරලා දාන්න කියලා මම බැලුවේ....


"දූලීකාගෙ කැමැත්තක්...මම මොනව කියන්නද..? දැන් ඔය ළමයා මොනවා කරන කෙනෙක්ද..?


"ඒ කොල්ලා මේ ලොරියක අත් උදව් දෙන කෙනෙක්.... උනුත් අපි වගේම දුප්පත් මිනිස්සු තමයි ...අම්මා තාත්තා වැදගත් කමට ඉන්නවා..... මං තමයි කිව්වේ විවාහය රෙජිස්ට කරලා දාමු කියල. දෙපැත්තෙ අය විතරක් එකතුවෙලා මගුල චාමෙට කරලා දානවා නෝනා.... එදාට දෙපැත්තෙ කට්ටියට එන්න කියලා කන්න උයල දෙන්න මම හිතාගෙන ඉන්නේ....."


"ඔව් තමන්ට පුළුවන් විදිහට කරල දැම්මාහම හොඳයිනේ...."


" අනේ නෝනා මට නෝනගෙන් ණයක් ගන්න ඕනේ, කෙල්ලගෙ මගුල පොඩියට හරි කරලා දාන්න ..."


"හොදයි මං සල්ලි ටිකක් දෙන්නම් ලොකු ළමයගෙ මගුලට..... එදාට ගෙදර කට්ටියට කෑම උයන්න ඕන හාල් තුනපහ බඩු එහෙමත් ඒකෙන් ගන්න...."


"අනේ ලොකු පිනක් නෝනා...."


මාසයක් දෙකක් යන්නට පෙර දෙපැත්තේ නෑදෑයෝ ගෙන්න ගෙන, කතාබහ කර ලොකු දුවව සුළුවෙන් කසාද බන්දා දෙන්නට මට හැකි විය.


මට පුලුවන් විදිහට කුළියට ගත් මඟුල් සාරියකින් විවාහ දින ලොකු දුවව සරසා, ඇයව නීත්‍යානුකූලව කසාද බන්දා දෙන්නට හැකි විම මගේ ජීවිතේ මම ලද ලොකු ජයග්‍රහණයක් විය.


අපේ ගෙදර අයටත්, පිරිමි ළමයාගෙ පැත්තෙ ලඟම නෑදෑයන්ටත්, දන්න කියන තව කීහිප දෙනෙක්ට, කියා පොඩි උත්සවයක් ඇරන් මට ලොකු දුව කසාද බන්දා දෙන්නට හැකි විම ලොකු දෙයක් විය. එදින මගේ හිත බොහෝ සතුටින් පිරි ගිය දිනක් විය. තාත්තා නැති දුවලා දෙන්නාට පුලුවන් ප්‍රමානයට අකුරු උගන්වා...ලොකු දුව කසාද බන්දා දීමට හැකිවීම , තනි මගේ විශාල ජයග්‍රහණයක්ම වේ...


වැඩිමහල් දියණිය කසාඳ බැඳ පදිංචියට පැමිණියේ ද අපේ පුංච් මැටිගේටමය. ඇය කසාද බැද්දේද අපි වගේම දුප්පත් පවුලකින් නිසා, ඔවුන්ටද නවතින්න ගෙයක් දොරක් නොතිබුනි. කුළියට තව ගෙයක් ගන්න එක වියදම් අධික නිසා, මම ඇයට අපේ ගෙදරම නවතින්න එන්න යැයි කීවෙමි. ගෙයි තිබුණ එකම කාමරය ඔවුන් දෙදෙනාට දී, මාත් බාල දියණියත් දැන් සාලේ බුදිය ගන්නෙමු.


මම වෙනදා මෙන්ම නෝනලාගෙ ගෙදර රස්සාවට යන ගමන් පුවක් කපමි. පොඩි දුව අපොස සාමාන්‍ය පෙළට ලියන්න ලෑස්ති වෙමින් හිදී. ඉදහිට මම අම්මලාගෙ ගෙදර ගොස් ඔවුන්ගේද දුක සැප බලමි. දැන් මගේ හිතට යාන්තමට සතුටක් මිශ්‍ර සැනසිල්ලක් ලැබෙමින් පවති.


"දැන් දුලීකගෙ දුව කසාද බැදලා දුලීකගෙ ගෙදරමද ඉන්නේ....තාම දුව ගාමන්ට් එකේ රස්සාවට යනවද..."


"ඔව් නෝනා තව ගේකට ගෙවල් කුළී ගෙවන එක අපරාදේ නිසා, මම අපේ ගෙදරම නවතින්න කිව්වා....කෙල්ල තවම වැඩට යනවා. පොඩි කෙල්ල මේ අවුරුද්දේ අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් වාඩි වෙන්න මහන්සි වෙනවා...."


"නෝනට කියන්න ...

මම ඉපදුන දවසේ ඉදන් දුක් වින්ද කෙනෙක්...මගේ මනුස්සයාව කසාද බැදලා මම එයත් එක්ක එකට ජීවත් උන මුල් අවුරුදු දෙක විතරයි මම සතුටින් හිටයා කියන්න පුලුවන් ....මේ කෙල්ලො දෙන්නා හම්බුනාට පස්සේ, උන් දෙන්නා ලොකු කරගන්න මම තනියම වින්ද දුකක් දන්නෙ මම විතරයි .....මාත් එක්ක බලන කොට අපේ අම්මා වාසනාවන්තයි, අපේ අම්මව ළමයි පස්දෙනෙක් එක්ක අපේ බාප්පා භාරගෙන, අපි ගැනත් බැලුවනේ...අපේ අම්මට නම් කසාද බැදපු දවසේ ඉදන් මිනිහෙක් හිටියා....එක මනුස්සයෙක් නැති වෙනකොට තව එක්කෙනෙක් හිටියා. ඒකට මට.... මිනිහෙක්ගෙ ආදරය කරුණාව ආරක්ශාව ලබන්න වාසනාවක් ඇත්තෙම නෑ...ඉපදුන දවසේ ඉදන් මම තනි වෙලා...මොනව කරන්නද නෝනා මගේ අවාසනාව...."


"දැන් ඉතිං දුලීකට සතුටු වෙන්න පුලුවන්නේ දරුවො දෙන්නට උගන්නලා, ලොකු දුවව කසාද බන්දලා දුන්න නිසා..."


"අනේ ඔව් නෝනා මට දැන් හරි සතුටුයි ...හිතට සැහැල්ලුවක් දැනෙනවා ලොකු කෙල්ල කසාද බන්දලා දෙන්න පුලුවන් උන නිසා...."


"පොඩි දුවට හොදට උගන්න ගන්න බලන්න දුලීකා ..."


"කෙල්ලො දෙන්නම ඉගෙනීමට දක්ශ නෑ නෝනා...ඔය අපොස සාමාන්‍ය පෙළ කරනකම් විතරයි ඉගෙන ගන්නෙ කියලා පොඩි කෙල්ලත් කියන්නේ..."


"එහෙමද...? අපරාදේ ..."

"ලොකු කෙල්ලත් කසාද බැදලා මාස හතරයි වැඩට ගියේ ....ඔන්න දැන් ගාමන්ට් එකේ රස්සාවට යන එකත් නැවැත්තුවා නෝනා.... ඒකිට ළමයෙක් හම්බ වෙන්න ඇවිත්.... එකී කසාඳ බැන්ද චානක දැන් ෆැක්ටරියක වැඩට යනවා.... ඉතිං කීයක් හරි හම්බ කරලා ගෙදර අරන් එනවා. ...ඒ හින්දා ඉතිං කෙල්ලට අමාරුවක්, කරදරයක් , නෑ..."


"කසාද බැදපු ඉක්මනට ළමයෙකුත් හදාගෙනද...? ඒගොල්ලන්ගෙ කැමැත්තනේ..."


"අනේ ඔව් නෝනා...දරුවො ඉතිං දෙවියො දෙන දේවල්නේ... දෙවියො ඒ දෙන වෙලාවට අපි දරුවො භාර ගන්න ඕනේ...මට නම් හරි සතුටුය නෝනා , මම ඉතිං ගොඩක් වයසට යන්න කලින් ආච්චී කෙනෙක් වෙන්නනේ යන්නේ..."


අපේ ගෙදර වත්තේ වැඩට, ලොකු වැඩ කරන්න සෙල්වම් හිටියට කමක් නෑ.....දුලීකා දිගටම සුමානෙකට දවස් තුනක් අපේ ගෙදර වැඩට එන්න....මොකද මහත්තයා කිව්වා බේබිලාගෙ වැඩ දුලීකට කියලා කරගන්න කියලා ....කොහොමත් දුලීකා අපේ බේබිලාට ආදරේ බව මහත්තයා දන්නවා...."


"අනේ නෝනා ඇත්තමයි...මම මගේ දරුවන් දෙන්නට වඩා බේබිලාට ආදරෙයි...හරිම සීදෙවි හොද වාසනාවන්ත දරුවො දෙන්නා....ඇස්වහක් කටවහක් නෑ ...නෝනට කියන්න මම බේබිලාගෙ කාමරේ අස්කරන්න ගිහාම මට, බේබිලා සෙල්වම් බඩු, කෑම ජාති එහෙම දුවලට ගිහින් දෙන්න කියලා ගෙනත් දෙනවා.... දෙන්නත් එක්ක මොන කෑමක් කකා හිටියත් මටත් ටිකක් කන්න දෙනවා...කවදාවත් මගෙ හිත රිදෙන්න දෙයක් කියන්නෑ....මේ වගේ හොද දරුවො දෙන්නෙක් නෝනටයි මහත්තයාටයි හම්බුනේ නෝනලා පෙර ආත්මයක කරපු පිං නිසා නෝනා...මම හැමදාම ජේසුට ඉටිපන්දම් පත්තු කරලා නෝනලාගෙ මුළු පවුලටම ආශිර්වාද කරනවා...දෙවියො මේ පවුල බලාගන්නවා නෝනා..."


නෝනලාගෙ ගෙදර වත්ත බලාගන්න වැඩට සිටින සෙල්වම් ඒ ගෙදර නැවතී වැඩ කරයි. ඔහු මා සමඟ දැන් හොදින්ම මිතුරු වී ඇත. මම වැඩට ආ දිනට, ඔහුගෙ කෑම බීම ගෙනිහින් ඔහුට දෙන්නේ මාය.

ඔහුට නැවතීමට ගෙයින් පිටත කාමරයක් හා නාන කාමරයක් ඇත. නෝනා ගෙදර නැති දවසට ඔහු ඒ කාමරය පැත්තක ඇති කුස්සියෙ උයා පිහා ගෙන කෑම කයි. නෝනා ගෙදර සිටින විට, ඔහුට එළවලූ, මස්, මාළු, පැණි රස කෑම ආදිය දෙයි. මම වැඩ ඉවර කර ගෙදර යන්න, එළියට එන වේලාවට ඔහු පැමිණ මා සමඟ ටික වේලාවක් කතා කරමින් ඉද ගේට්ටුව වසා දමයි.


- සදුදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page