💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 5 min read
💥ගිමන් හරිමි💥
(47 වෙනි කොටස )
පොඩි මල්ලි මෙන්ම ලොකු මල්ලිද පසු කලෙක, ඕවිටේ තැන් දෙකක ලෑලි ගෙවල් හදාගෙන පදිංචි වීමෙන් පසු, එය කොළඹ මුඩුක්කුවක පෙනුමක් ගෙන තිබුනි.
මම ඒ පරිසරයේ ජීවත් වන්නට අකමැති නිසා දරු දෙදෙනා සමග, පාදුක්කේ ලොකු හිස් ඉඩමක තිබුන මේ කුළී ගෙදර පදිංචියට ආවෙ හිතේ සතුටින් සැනසිල්ලේය.
අම්මලාගෙ ගෙදර ඇති ගාලගෝට්ටියෙන් මිදී මෙලෙස නිදහසේ ජීවත් වෙන්න ලැබීම, මටත් දුවලා දෙන්නටත් පුදුම සහගත සැනසිල්ලක් ගෙන දුන්නකි.
"දැන්නම් නෝනා මම හරිම හිතේ නිදහසින්, සතුටකින් ඉන්නේ.... කෙල්ලො දෙන්නත් එක්ක මැටි පැලේ කන්න නැතත් හිතේ සතුටින් කනක් ඇහිලා ඉන්න ලැබෙන එක හරි නිදහසක්.... ලොකු කෙල්ල ගාමන්ට් රස්සාවෙන් ගන්න පඩියෙන් කොටසකුත් නෝනා මට දෙන පඩියෙන් කොටසකුත් දාලා තමයි අපි ගෙවල් කුලීය දෙන්න ඉන්නේ...."
" ඒක හොදයි ....කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා නිදහස් තැනක ඉන්න එක ...."
"අනේ ඔව් නෝනා, අවුරුදු ගානකට පස්සෙ තමයි මම නිදහසේ ගෙදර දොරකඩ බිම වාඩිවෙලා බත් කටක් කන්නේ..."
"දිලීමා තාම පුවක් කපනවද?
"ඔව් නෝනා.... මං පුවක් කපන වැඬේ නම් කවදාවත් නවත්වන්නෑ. මං නෝනලාගෙ ගෙදර එන්න තියෙන දවසට කලින්දා පුවක් දාහක් කපනවා.... කෙල්ලො දෙන්නත් පුවක් පන්සීයක් දෙන්නා එක්ක, එකතුවෙලා කපලා වියදමට සල්ලි එකතු කර ගන්නවා...."
"ඒක හොදයි මහන්සි වෙන්න ඕනේ දියුනු වෙන්න නම්...නිකන් හිටියට, කවුරුත් නිකන් අතට සල්ලි දෙන්නෙ නෑ...උත්සහ වන්තයා ජය ගනී කියන්නෙ නිකම් නෙමේනේ ..."
"මං මේ ලගදි පලා මිටි ටිකක්, ඕවිටේ පලා විකුණන කෙනෙක්ගෙන් ගෙනත්, ලග ලොකු ගෙවල්වලට ගිහින් විකුණුවා. අනේ මං ගෙනියන ගොටු කොළ, මුකුණුවැන්න වගේ අලූත් පලා ගන්න වටපිටාවේ ඉන්න නෝනලා හරි කැමතියි. හරි ඉක්මණට මට පලා ටික විකුණ ගන්න පුලුවන් වුනා...මේ ඉන්න ගෙට දැන් කුළියකුත් ගෙවන්න ඕනනේ... ඒ නිසා මම මේ වැඩේ පටන් ගත්තේ ..."
"ඇත්තද කොච්චර දෙයක්ද... දුලීකා තව ආදායමක් හදා ගත්ත එක."
මම දැන් සුමානෙකට දවස් තුනක් කොළ විකුණනවා. ගෙවල් ගානේ ගිහින්.... හවස ඉදන් රෑ වෙනකම් පුවක්ද කපමි. දවස් තුනක් උදේ වරුවට නෝනලාගේ ගෙදර වැඩටද යන්නෙමි.
මගේ අතට ටිකෙන් ටික සල්ලි හම්බ වෙන විට මම ඒවා පරිස්සම්න් වියදම් කරමින්, යාන්තමින් පොඩි ඉතිරියක්ද කරමි. දරුවන්ට හොඳ කෑම බීම ටිකක් ගෙනැවිත් කන්නටද දෙන්නෙමි. නෝනාගෙන් ලැබෙන ආධාර උපකාරය ද නොඅඩුව මට ලැබේ... මම දියුණු වෙනවා දැකීමට උවමනාවක් ඇති ඇය මම අමතර ආදායමක් ගන්නා දෙයක් කරනවාට බොහෝ කැමතිය. මගේ දුක අසමින් උපදෙස් දෙන නෝනා නිසාද මගේ ජීවිතය හොඳ අතට හැරෙමින් ටිකෙන් ටික දියුණු වෙමින් පවතී.
දිනක් නෝනාලාගෙ ගෙදර වැඩ කර මම ගෙදර ගිය සැනින් ලොකු දුව දුවවිත් මා හට කිව්වේ, මගෙ හිත රිදවන ආරංචියකි.
"අම්මේ ආච්චි ඉස්පිරිතාලෙලූ...ආච්චි ගෙදර කලන්තෙ දාල වැටිල ඉඳල සීයා ඉස්පිරිතාලේ එක්ක ගිහින්...."
"ආ.. එහෙමද ..? එහෙනම් මං මෙහෙමම ඉස්පිරිතාලෙට ගිහින් බලල එන්නම් මොකද කියලා ..."
මම කළබලේ රෝහලට යනවිට අම්මා රෝහලේ ඇඳක් උඩ නිදියගෙන සිටියාය. ඇගෙ ඇඳ ලඟ බාප්පා සිටියේ දුක්මුසුවය.
"ඇයි බාප්පෙ අම්මට මොකද වුනේ...?
"අනේ දුවේ පෙෂර් එක හොඳට ම වැඩිවෙලා. තව ඉස්පිරිතාලෙ ගේන්න පරක්කු උනානම් එක්තැන් වෙන්නත් තිබුණා කියල දොස්තර මහත්තයා කිව්වා...."
"මාගේ කටහඬ ඇසී මා දෙස බැලූ අම්මාගෙ දෙනෙතින් කඳුළු වැටිනි. ඇය මා දුටුවේ හුඟ කාලෙකට පසුය. ඇය මාව ගෙදරින් පන්නා ගත් පසු මම ඇය බලන්න නොගියෙමි.
"බාප්පා ගෙදර යන්න මං අම්ම ලඟ රෑට ඉන්නම්. ...ලොකු කෙල්ලට හවසට මටත් එක්ක කෑම එකක් හදා ගෙන ඉස්පිරිතාලේ එන්ඩ කියලා, බාප්පා පණිවිඩයක් අරින්න ගෙදරට..."
"හොඳයි දුවේ මං මේ ඊයේ රෑ ඉඳන් මෙතන.... වෙන කවුරුත් ඉන්න එකක්යැ මෙයා ලග නවතින්න. කොල්ලන්ගෙ ගෑණු ඇහැක් ඇරල මේ ගෑණි දිහා බලන්නෑ...."
"බාප්පා දුක්මුසු ලෙස කිව්වේ මල්ලිලාගෙ ගැහැණුන් ගැනය. මල්ලිලා තුන්දෙනාම ඒ වෙනවිට කසාඳ බැඳ හිදිති. දෙදෙනෙක් අම්මලත් සමඟ ඕවිටේ පදිංචි වී සිටින අතර, අනෙක් මල්ලි ගෙවල් කිට්ටුව කාමරක් කුළියට ඇරගෙන පදිංචි වි හිදියි. ලොකු අයියා පමණක් හැමෝටම වඩා හොඳින් මොරටුවේ කඩයක් කරමින් ඔහුගෙ බිරිඳ සමඟ හොදින් පවුල් කන බව ආරංචිය.
"ආච්චිට කොහොමද අම්මේ...." මම අම්මා ලඟ දවසක් රෑ නැවති සිට ගෙදර ආ දිනයේ දියණිය ඇසුවාය.
"දැන් හොඳයි හෙට ටිකට් කපනව කිව්වේ.... මං මේ ගෙදර ආවෙත් ගේ ටිකක් අස් කරල දාලා යන්න.... මං ආච්චිට සනීප වෙනකම් මෙහෙ එක්ක ගෙන එන්න කියලා හදන්නේ...."
"අනේ... අනේ... ආච්චිට සනීප තියෙන කොට නම් අපිට බැන බැන යනවා හැමෝම එක්ක, බැරි වුණාම අපි විතරයි ඉන්නේ...අම්මා හින්දම හොදයි ..."
"මොනව උනත් ඒ මගෙ අම්මනෙ බං...."
අම්මා ඉස්පිරිතාලෙන් ටිකට් කැපු පසු, මම ඇය, ත‍්‍රිවීලයකින් අපේ ගෙදර රැගෙන ආවෙමි. මට ඇයට ගෙයි තිබුණු එකම ඇඳ නිදාගන්නට සකස් කර දුන්නෙ සතුටිනි.
"අනේ දුවේ උඹට පින් සිද්ධ වෙනවා, මම ගැන බලනවට, මා ඇයට කන්න කෑම උයා පිඟානකට බෙදා ලඟට ගොස් දුන් විට ඇය කියයි. ඇය බලාගන්නට දුවලා දෙන්නද මට උදව් කරයි. මම වැඩට ගොස් එනතෙක් අම්මාට කන්න බොන්න දී බලා ගන්නේ දුවලා දෙන්නයි. අම්මා දැන් වයසට ගිහින් ඇත. මට ඇය ගැන ඇත්තේ කළකිරිමකී.
"මට දැන් හොදට සනීපයි දුවේ මං එහෙනම් ගෙදර යන්නම්...."
"අම්මා කැමති නම් තව මාසයක් විතර මෙහෙ ඉදලා යන්න ..."
මාසයක් පමණ මගේ සාත්තු සප්පායම් ලද අම්මා දැන් පෘෂ්ඨිමත් වී හොඳ සනීපයෙන් හිදී.... මට ඒ ගැන ඇත්තේ සතුටකි. ඇය ගෙදර ගිය පසු මම නෝනලාගෙ ගෙදරින් ගෙනෙන කෑමබීම පැණි රස කෑම, තේ කොළ, සීනි පවා අම්මාට ගෙන ගොස් දී ඇය බලන්නට යන්නට නැවත පුරුදු උනෙමි.
"මට ඉතිං උඹ විතරයි මොනවත් කන්නවත් ගෙනත් දෙන්නේ....කොල්ලෝ ටික නිකමට වත් අපි ගැන බලන්නෑ.... අම්මා සෑම දිනකම් මම ඇය බලන්න ගිය විට කියන්නෙ දෙනෙතේ කඳුළු පුරවා ගෙනය.
"ඉස්පිරිතාලේදි මම අම්මා අරක්කු බොන කතවා දොස්තර මහත්තයාට කිව්වේ නෑ..... මට ලැජ්ජයි... ඒකයි මං කිවවෙ නැත්තේ.... මේ රටේ කොහේද ගෑණු අරක්කු බොනව අහල තියෙන්නේ. මීට පස්සෙ එහෙම අරක්කු කටේ තියල අහුවුණොත් මං අම්මා බලන්න ගෙවල් පැත්ත පළාතෙ එන්නෙ නෑ ..... මං අම්මාට තරවටු කළෙමි.
"අනේ නෑ දුවේ දැන් බාප්පාට බොන්ඩ සල්ලිත් නෑනේ.... මට දැන් පුවක් කපන්නත් බැරි නිසා බාප්පා ඔය මොනව හරි විකුනලා හොයාගෙන එන කීයක් හරි වියදම් කරල යන්තම් කාල ඉන්නවා....."
"ඇයි මල්ලිලා අම්මලා ගැන බලන්නැද්ද...?
"මොන... උන්ට මාව පේන්න බෑ... මං බාප්පට කියල උන්ට ඉඩම කඩල ලියල දෙන්නෙ නෑ කියල...."
"ඉතිං අම්මා, බාප්පට කියලා, මේ ඉඩම පර්චස් පහගානේ කඩල ළමයින්ට ලියල දුන්නනම් ඉවරයිනේ....මමත් තැන් තැන් වල කුළියට වැටිලා ඉන්නවා....මටත් පොඩියට ගේ කෑල්ලක් හදාගන්න තිබුනා...."
"මේ ඉඩම තාම අයිති කමල් මහත්තයාට.... ඉඩම බාප්පට තවම ලියල දීලා නෑ.... ඉන්ඩ අවසර දීලා තියෙනවා විතරයි. ඒක මේ කොල්ලන්ට කිව්වට තේරෙන්නෙ නෑ... විශ්වාස කරන් නෑ...."
"බාප්පට කියන්න ඉඩම අයිති මහත්තයාට කතා කරල බලන්න කියල...."
"බාප්පා කමල් මහත්තයාට කතා කරලා... ඒ පාර මහත්තයා ඉඩම, මහත්තයාට ඉල්ලනවලූ, අපට වෙන කොහේට හරි යන්න කිව්වලූ...."
"හරි වැඬේනෙ, එහෙම උනොත් ... වෙන්නේ."
"ඒ උනාට බාප්පා කිව්ව එයා මැරෙනකම්, මේ ඉඩමෙන් පිට වෙන කොහේවත් යන්නෙ නෑ.... මැරෙන්නෙ මේ ඉඩමෙමයි කියල...."
මම දැන් අම්මාටත්, බාප්පාටත් මට පුළු පුළුවන් විදිහට උදව් කරන්නෙමි. ඔවුන් දැන් වයසට ගොස් වාරු සිඳී ඇත. මට ඇත්තේ ඔවුන් ගැන දුකකි. තාත්තා නැති වුණදා පටන් මල්ලිලා දෙන්නත්, මාත් ආදරෙන් බලා කියා ගත් බාප්පා අපට තාත්තා කෙනෙක් මෙනි. ඔහු මල්ලිලා දෙන්නා පාසැල් යවා අකුරු ඉගැන්නුවේය. මා හටත් මගේ දරුවන්ට ද ඔහු පුළු පුළුවන් විදිහට සැලකුවේය. මට බාප්පා ගැන ඇත්තෙ කණගාටුවක් මිශ‍්‍ර ආදර හැඟීමකි.
අම්මා මට වෙනස්කම් කළේ මම සුමිත්ගෙ අතුරුදන් වීමත් සමග ඇගේ ගෙදර නැවතුන පසුය. වෙන කරකියා ගන්න දෙයක් නැති නිසා, දරු දෙදෙනා සමග මම එසේ නැවති විදි වේදනා මට තවමත් මතකය. සුමිත්ගෙ මව හා සහෝදරිය , සුමිත්ගෙ අතුරුදන් වීමෙන් පසු,මාගේ දරුවන් බැලීමටවත් කිසිදින නොපැමිණියාය.
මමත් ඔවුන් බැලිමට නොගියෙමි.
ඔවුන්ට ඒ කාලයේ උවමනා වූයේ ලොකු දෑවැද්දක් සමඟ සුමිත්ට ගෑණු කෙනෙකු බන්දලා දෙන්නටය. මාමාගේ හා
නැන්දාගේ කීමට සුමිත් මා කසාඳ බැඳ ගත්තත්, ඔහු මට ආදරය කළ බැව් මා දනිමි. නමුත් , සුමිත්ගෙ අම්මලා එය නොරිස්සු නිසා, මම ඔහුගෙ අතුරුදන් විමේන් පසු, දරු දෙදෙනා ද සමඟ පැත්තකට වුණි.
ලොකු දුව දැන් රැකියාවකට යයි. ඒ ගාමන්ට් එකක අත් උදව් දීමටය. පොඩි දුව ආපොස සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙමින් හිදී. මම නෝනා ලඟ රැකියාවට යන අතර පුවක් කපමින්, පළා කොළ විකුණන වැඬේ ද කරන්නේ බොහෝ සතුටින්, සැනසිල්ලේ දුවලාගේත් සහාය ඇතුවය.
හෙට හමුවෙමු
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments