💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 3 min read
💥ගිමන් හරිමි💥
(46 වෙනි කොටස)
නෝනලා අලුත් ගෙදර පදිංචියට ගිය පසු මට නම් දිනපතා ඒ ගෙදර වැඩට යන්නට අපහසු වේ යැයි මම නෝනාට කීවෙමි..... එබැවින් නෝනා මට සුමානෙකට දවස් තුනක් වැඩට ආවාම ඇති යැයි කිවාය.
මම නෝනලාගෙ අලුත් ගෙදර හොයාගෙන වැඩට ගිය මුල්ම දිනේ...ගෙදර ගේට්ටුව ඇරියේ මගේ වයසම වගේ ඇති පිරිමි කෙනෙකුයි. ඔහු මම මෙන්ම මේ ගෙදර වැඩ කරන කෙනෙකු වෙන්නට ඇතියි, බැලු බැල්මට පෙනේ...
"නෝනා ගෙදර ඉන්නවද..?
"ඔව් නෝනා ඉන්නවා...දැන් පල්ලෙහාට එයි...නෝනා මෙයාට ඇතුලට එන්න කිව්වා..."
ඔහුගෙ කතා බහෙන් ඔහු දෙමළ ජාතිකයකු බව තේරුනි.
මම හිතුවට වඩා ලොකු ගෙදරකට නෝනලා පදිංචියට ඇවිත් ඇත.මං දැන් කොහොමද මේ විශාල ගෙය පිරිසිදු කරන්නෙ කියා සිතමින් .... මම ගේට්ටුවෙන් ඇතුල් වුනේම බියෙන් මෙනි.
"ආ... එන්න එන්න දුලීකා ...අපේ අලූත් ගේ හොඳ ද?
"අනේ නෝනා හරිම ලස්සනයි.... මට අස් කරගන්න පුළුවන් වෙයිද කියලා තමයි බය..."
"මාත් උදව් කරනවනේ බය වෙන්න එපා....වත්තේ වැඩට මහත්තයා වෙන පිරිමි කෙනෙක් ගෙන්න ගත්තා.....දුලිකට ගෙදර ඇතුලේ වැඩ ටික විතරයි කරන්න තියෙන්නේ ...."
"බබාල ඉස්කෝලෙ ගිහින්ද නෝනා...."
"ඔව්...ඒගොල්ලෝ මහත්තයා එක්ක ගියා...."
"එන්න දුලීකා ...උදේට මොනව හරි කාලාම වැඩ පටන් ගමු...."
එදායින් පසු මම වැඩට යන හැම දිනකම ,නෝනා මට උදේ දහයට පමණ යමක් කන්නට දී හොඳ කිරි තේ එක්ක සාදා දෙයි...ගෙදර අගහිගකම් හා අම්මලා බාප්පලාගෙ කරදර නිසා මම මානසිකවද මේ වන විට වැටි සිටියෙමි. නෝනා මගෙ විස්තර හොදින් දන්නා නිසා මට නිතර අනුකම්පා කරන බව මට හොදින්ම වැටහේ....ඇයට හොදට වැඩ කරන්නට හැකි වෙන කෙනෙකු රස්සාවට ගන්න පුලුවන් කම තිබියදී ... මාව තියාගෙන ඉන්නේ මගේ අසරණ කමට යැයි මට සිතේ....
මම ගෙදර අතු ගාන වෙලාවට නෝනා ද මට බඩු පිසදමා උදව් කරයි. ඇය ලොකු බරපතළ වැඩ කීරිමට මට නොදෙයි. ඒවා ඇය වත්තේ වැඩ කරන පිරිමි කෙනාට කියා කරවා ගනී. ඇගේ කරුණාව නිසා නෝනලාගෙ ගෙදර එන හැමදවසකම මම හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙමි. සතියකට දවස් තුනක් පාදුක්කේ සිට නෝනලාගෙ ගෙදර වැඩට උදව් කරන්න යෑමට මම පටන් ගත්තෙමි.
"දුලීකා වැඩ ඇරිලා යනකොට මේ බත් මුල ගෙනිහින් දරුවන්ට කන්න දෙන්න.... හැමදාම උදේට මට කන්නට, බොන්නට දෙන නෝනා නොවරදවාම මා ගෙදර යනවිට විශාල බත් මුලක් බැඳ දරුවන්ට දෙන්නට කියයි. ඇය ශීතකරණයේ ඇති ඉතිරි වුණු කෑම බීම පැණි රස කෑම ආදිය ගැට ගසා දෙන්නට ඉස්සර මෙන්ම අමතක නොකරයි. සැමදා මා ගෙදර යන්නෙ බෑගයක් පිරෙන්න නෝනාගෙ ඉතිරි වුණ කෑම බීම හාල් තුනපහද අරගෙනය. මා යන තෙක් පාසැල් ගොස් පැමිණ සිටින දරුවන් දෙදෙනා බලා සිටින්නෙ නොවිසිල්ලෙනි. මම ගෙනියන බත් මුල ලිහා ගෙන කන ඔවුන් දෙදෙනා දිහා මම බලා සිටින්නෙ හිතේ දුකෙන් මෙන්ම සතුටිනි.
"කෑම එක හරි රසයි අම්මේ...අම්මත් එන්න කන්න....."
" ඔව් අම්මත් එන්න කන්න, මේක ලොකු බත් මුලක්.... නෝනා ගොඩක් එළවළු මාළු මේකට දාලා,හරි රසයි...."
ඔවුන් මට බත් කන්නට කතා කරත්.... මම ඔවුන් දෙදෙනාට මස් මාළු වැනි හොඳ ජාති කන්නට ඇර ඉතිරි වන බත්වලින් මාද බඩකට පුරවා ගන්නෙමි. අපේ දහවල් ආහාරය එය වෙයි.
"නෝනා මේ වැඩිපුර දුන්නු කේක් බිස්කට්, තුනපහ වගයක් තියෙනවා ගිහින් ආච්චිට දීපන්..." මං නෝනා දෙන වැඩිපුර කෑම බීම අම්මාට යවන්නෙ දරුවන් අතේය. මා සමඟ වැඩි කතාබහක් නැති අම්මා දරුවන් අතේ මා යවනා රස කැවිලි එළවලූ තුනපහ ආසාවෙන් ගන්නා බව දරුවන් කියති.
"මේ පාර නෝනා අල්මාරි අස්කරලා හොඳ ඇඳුම් ගොඩක් දුන්නා.... මට උස්සාගෙන එන්න බැරි නිසා මං තියල ආවා.... ලොකු දුවේ බදාදට මං වැඩට යනකොට උඹත් වරෙන් ඒ බෑග් ටික ගේන්න.... අපි දෙන්නට ඒවා උස්සගෙන එන්න පුළුවන්...උඹේ සාමාන්‍ය පෙළ විභාගය ඉවර නිසා ගෙදර නිකන් ඉන්න එකේ මාත් එක්ක බදාදාට යන්න වරෙන්...."
නෝනා දෙන පරණ ඇඳුම්, පැළඳුම් ගෙදර බඩු මුට්ටු ආදිය වැඩිපුර තියෙනදාට මම ලොකු දුවත් සමඟ බත්තරමුල්ලේ වැඩට යන්නෙමි. එදාට ඇයත් මට ගෙදර අස්කර අතු පතු ගා දීමට උදව් කරයි. මට එදිනට නම් හරි පහසු වේ... නෝනා අපි දෙන්නාටම උදේට කන්නට පාන්, තෝසේ, රොටි ආදී කිසියම් දෙයක් කන්නට දී තේ දෙයි. ගෙදර එනවිට ගෙන ඒමට දෙන බත් මුල දීම නම් ඇය කවදාවත් අමතක නොකරයි.
"දිලීමගෙ ලොකු දුව දැන් ඉස්කෝලෙ යන්නෙ නැද්ද....? ඇයි මේ දුවව දුලීකාගෙ වැඩට එක්ක එන්නේ...?
"ඒකී අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියල ගෙදර ඉන්නේ නෝනා..... මම මෙයාව ගාමන්ට් එකක රස්සාවකට දාන්න හදන්නේ....ගාමන්ට් එකෙ රස්සාව ලඟදිම හම්බ වෙයි.."
"ඇයි දුලීකා ,දුව වැඩිදුර ඉගෙන ගන්න අදහසක් නැද්ද...."
"අනේ එකී එච්චර ඉගෙනීමට දක්ෂ නෑ නෝනා.... ඉස්කොලෙ දහය පංතියට ගියෙත් මගේ වදේට..... මං කිව්වා එහෙනම් ගාමන්ට් එකක වැඩට වත් යන්න කියල..."
"එහෙමද...? එහෙනම් පොඩි දුවට හරි හොඳට උගන්න ගන්න බලන්න ..."
"ඔව් නෝනා.... නෝනාට පිංසිද්ධ වෙන්න තමයි මෙච්චර දුරක් හරි මේ කෙල්ලත් ඉගෙන ගත්තේ....."
ආපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එන්න ප්‍රතම ලොකු දුව පාදුක්කේ ගාමන්ට් එකක රැකියාවට යන්නට පටන් ගත්තාය. ඇය ඒ ගැන සිටියේ සතුටිනි.
අම්මලාගෙ ගෙදර ,රණ්ඩු සරුවල් මැද ගෙවන ජීවිතය මටත් දුවලා දෙන්නටත් දැන් එපා වි ඇත.... දුවල දෙන්නා පාසැල් යවමින් පුවක් කපා මා ඉතිරි කරගත් මුදලත් ,නෝනලාගේ ගෙදර වැඩ කර ඉතිරි කරගත් සුළු මුදලකුත් මා අතේ දැන් ඇත. ඒ නිසා පුලුවන් විදිහට ගෙයක් කුළියට ඇරන් ,අම්මලාගෙ ගෙදරින් යන්න කාලය ඇවිත් ඇතැයි මට සිතේ...
" ලොකු දුවේ අපි ගෙයක් කුලියට ඇරගෙන වෙන කොහේ හරි යමුද...?"
"අනේ අම්මේ ඒක කොච්චර දෙයක් ද? අපි යමු අම්මේ මට නම් දැන් මේ ආච්චිලා, සීයලත් එක්ක ඉඳලා ඇති වෙලා තියෙන්නේ ...මට ගාමන්ට් එකේ වැඩකරලා හම්බවෙන පඩියෙන් ගෙවල් කුළී ගෙවමු...අපට පුවක් කපලත් ගානක් හම්බවෙනවනේ... "
"මට ගෙදර ඇඩ්වාන්ස් එකට දෙන්න නෝනගෙන් ගානක් ඉල්ලගන්නත් පුලුවන් වෙයි. ..."
"එහෙනම් අපි පුලුවන් ඉක්මනට වෙන ගෙයක් හොයාගෙන යමු අම්මේ..."
අම්මලාගෙ ගෙදර තිබුනු අප්‍රසන්න වාතාවරණය මැද අවුරුදු ගානක් ගෙව්ව අපහසු ජිවිතයෙන් සමුගෙන අපි නිදහසේ වැටි සිටින්න, කුළියට ගෙදරක පදිංචියට යන්න තීරණය කලෙමු.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments