top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 4 min read

ගිමන් හරිමි💥

(44 වෙනි කොටස )

නිම නොවනා දහසක් දුක් කම්කටොළු මැදින් ගලා යන ජීවිතේ , නොනැවති වැටි වැටි, ඉදිරියට යන මම තවමත්

තිස් එක්වෙනි (31) වියේ පසුවන්නෙමි. තාත්තා නැති දියණියන් දෙදෙනෙකු, ඉතා දුක සේ හදාවඩා ලොකු මහත් කර ගන්නට වෙහෙස දරමින් හිදිනා තවත් අසරණ අම්මා කෙනෙකි මම.....


මෙපමණ කාලයකට කාගෙවත් උපකාරයක් නැතිව සිටි මම අලුත් ගෙදර නෝනාගෙ කරුණාව නිසා හිතේ පොඩි සැනසිල්ලකින් ජීවත් උනත් ...., මගේම අම්මා එන්න එන්නම මාත් සමඟ හිත නොහොදින් සිටිම, ගෙදර සිටිනා හැම මොහොතකම මගෙ හිත, දුකෙන් පුරවයි.


ලොකු මල්ලි කසාද බැද ඔහුගෙ බිරිදගෙ ගෙදර පදිංචි වී හිදින අතර,පොඩි මල්ලී ,වයසට කළින් කසාඳ බැඳ ඇගේ බිරිදත් සමඟ අපේ ගෙදර නතරවි හිදියි. ඔහුගේ බිරිදටත් දැන් දරුවෙක් හම්බවෙන්න ලඟය.... පුංචි ගේ තුළ දැන් පවුල් තුනක් ඇත. අම්මා බාප්පා , හා බාල මල්ලිත් පොඩි මල්ලි සහ නංගිත්, මාත් දරුවො දෙන්නත්වේ.... ගෙට තිබෙන පුංචි කාමර දෙකේ හා

සාලේ තැන තැන රෑට හැමොම නිදියති... මං එක කාමරයක මල්ලිලා අනිත් කාමරයේය.


"සමන් උඹ ඔය වත්තෙ පල්ලෙහයින් මැටි ගෙයක්වත් හදා ගනින් ....මේ ගේ ඇතුලේ ඉඩ නෑනේ පවුල් තුනකට නිදියගන්න..."

බාප්පා දිනක් ලොකු මල්ලිට කීය.


"ඒක තමයි බාප්පෙ මං බැලූවේ.... එහෙනම් මම ලෑලි ගෙයක්වත් අර ඇටඹ ගහ කිට්ටුවෙන් හදාගන්නම්...."


"දිලීමා ...දැන් උඹේ ලොකු කෙල්ල ළමිස්සියෙක්, පොඩි කෙල්ල කොයිවෙලේද දන්නෑ......උඹ ඔය කෙල්ලො දෙන්නත් ඇරගෙන වෙන ගෙයක් කුලියට ඇරන් පලයං.... මේක ඇතුලෙ ඉඩ නෑ ඔක්කොටම ඉන්න...බාප්පා උඹට හොයලා දීපු අලුත් ගෙදර රස්සාව නිසා, දැන් උඹට නෝනා හොඳට සලකනවනේ අපට පවු නොදී දැන් මෙහෙ හිටියා ඇති පලයං....."


අම්මා මාව කිසිම හිතක් පපුවක් නැති ගානට මේ ගෙදරින් එළවයි....


හැමදාම හවසට බාප්පා ,අරක්කු බෝතල් කාලක් හෝ බාගයක් ගෙනැවිත් වත්තේ තියාගෙන බොන්න පටන් ගෙන ඇත. සමහර දිනට එයට බාප්පාගෙ යාළුවෝ දෙතුන් දෙනකුද එකතු වෙයි. අම්මා ඔවුන්ට අරක්කු බොන්න, බයිට් හදා දෙයි.... සමහර දවසට ඇයත් ඔවුන් සිටින තැනින් වාඩිවි, රෑවෙනකම් කතා කරමින් හිදියි.


"කුසුමේ ඉදා... උඹත් මෙයින් උගුරක් බීපන්...."


"අප්පේ ඕවා හරි ගඳයි බං.....ඒත් කො දීපං බලන්න ...උඹලා ඔච්චර රස කර බොන එකේ , මොකක්ද අරක්කු රස කියලා බලන්නත් එක්ක. ..." අම්මා බාප්පා දුන් අරක්කු වීදුරුව නහයට ලං කර කටට හලා ගත්තාය.


බාප්පාට හා යාලුවන්ට අරක්කු බොන්න, මොනව හරි බයිට් හදන් එන අම්මා, ඔවුන් ලගින් වාඩි වි ඉන්නට පුරුදු වි ඇත .....ටික දවසක් ගිය පසු, බාප්පා ලගින් වාඩි වී ඇයත් අරක්කු උගුරක් දෙකක් බෙන්න පටන් ගෙන ඇති බව අප වටහා ගත්තේ ඇඟේ කතා බහෙනි. එය ඇය මුළින් හොරෙන් කලත්, ටික දවසක් යන විට ඇය හැමෝටම පේන්න ,බාප්පා හා යාළුවන් සමග එකට අරක්කු බොන්න පටන් ගත්තාය. ඉන් පසු ඇය අරක්කු බී ගත් දිනට, මත් වි අනවශ්‍ය දේ කියවන්න පටන් ගෙනද ඇත.


මම ඒ විගඩම් බලමින් ඉන්නේ ලොකු කළකිරිමකිනි. ඔවුන් බොන්න පටන් ගන්නා දිනට,මම දරුවෝ දෙන්නා තුරුල් කරන් වේලාසන, කාමරයේ දොර වසාගෙන නිදා ගන්නට යමි.


දැන් දැන් අම්මා බිපූ දවසට අපේ කාමරය ලඟට විත් මට කුණුහරුපෙන් බනී....


"උඹ මෙතන බින්න බැහැල ඉන්නෙ වෙන ගෙයක් හොයන් පලයං.....නැත්නම් මට කාමරයට කුළියක් ඕනේ....උඹ මගේ මිනිහව රවට්ටගෙන ඌ හම්බ කරන දේත් කඩාවඩා ගන්නවා....අම්මා නොනවත්වා මට බනියි...මට බාප්පා පාවා දී ඇය එලෙස බනින්නේ කිසිම සිතක් පපුවක් නැති ගානටය.... අම්මා මට එලෙස බැන වඳින දවසට...ලොකු මල්ලි හෝ පොඩි මල්ලි විත් අම්මට බනින්නේ මට එලෙස

බැන නොවදින්න කියායි.


"අම්මේ... මොනවද මේ කියන කුණු කතා...කෑවානම් බිව්වානම් ගිහින් නිදා ගන්නවා...අපට පව් නොදී...."


"උඹ ඉන්නෙත් අපේ වත්තක...උඹ කට වහ ගනින්...නැත්නම් උඹත් මෙතනින් තොලිංචි වෙලා පළයං...." අම්මාගේ චරියාව අරක්කු බිව් පසු වෙනස්ම ආරක් ගනී.


සමහර දිනවලට අම්මාත්, බාප්පාත්, මල්ලීලාත් බීගෙන විත් එකට රණ්ඩු කරයි..... ගෙදර රෑ වෙන කොට ඇත්තෙ එකම ගාල ගෝට්ටියකි. ගමේ මිනිසුන්ට ද මෙය කරදරයකි.


"අම්මේ මට දැන් මේ ගෙදර ඉන්න හිතෙන්නෙ නෑ...ආච්චියි සීයයි මාමලයි එකට රංඩු කරනවා....අපට පාඩම් කරන්නත් නෑ....අපි පුලුවන් විදිහට කාමර කෑල්ලක් කුළියට හොයාගෙන යමුද .....? පොඩි දුව අසයි...


"අනේ ඔව් අම්මේ, අපි පුලුවන් ඉක්මනට මෙතනින් නිදහස් වෙලා යමු..." ලොකු දුව නිතර කියයි.


"ගෙයක් කුළියට ඇරගෙන යන්න සල්ලි එපෑ ළමයිනේ...තව ටික කාලයක් බලමු..."


ලොකු අයියා ,ඉරිදා දිනෙක, අප බලන්න ආවේ ගෑනු කෙනෙකු සමඟය. ඇය බොහො ආභරණ පැළද,දිලිසෙන ගවුමක් හැද සිටියාය. අය්යාට වඩා වයස පෙනුමැති ඇයගෙ බැලු බැල්මට වරදක් කියන්න නැත. ඔවුන් අතේ බෑග් මලු වගයක් තිබුනේ අපට දෙන්න ගෙනාපු ඒවා වගෙයි.


"මං කසාඳ බැන්ඳා අම්මේ.... මේ ටෙක්ලා....මෙයා දැන් මාස ගානක් වෙනවා ඩුබායි රටේ ඉදලා මෙහෙ ඇවිත්...මට මෙයාව අදුන්නලා දුන්නේ පල්ලියේ ෆාදර්....


"ආ...එන්න එන්න ලොකු පුතේ ගෙට...අපට පොඩ්ඩක් කියලා ආව නම් මොනව හරි හොදට කන්න හදලා තියනවානේ..."


" උයන්න ඕන නෑ...මං ඔක්කොටම බුරියානි පාර්සල් වගයක් ගෙනාවා....ලොකු නංගියේ මේවා හැමෝටම බෙදලා කන්න දීපං..." අය්යා ඉස්සර මෙන්ම අපට කන්න දෙයක් ඇරගෙන එන්න අමතක කර නැත.


"අය්යගෙ අත දැන් ලස්සනයි ...බොරු අතක් දැම්මද...?


"ඔව් නංගියේ...ෆාදර් පල්ලියට එන මහත්තයෙක්ට කියලා මේ බොරු අත හදවලා දුන්නේ...දැන් ඉතිං කැත නැතුව පාරක බැහැලා යන්න පුලුවන් ..."


"අනේ හොදයි ..."


අම්මා ටෙක්ලා අක්කව ආදරයෙන් පිළිගත්තාය.

ඇය රට ගිහින් ආ දරුවෙක් සිටින ගැහැණියක් බව ඇය කීවේ කිසි ගානක් නැතුවය. ඇය අප හැමෝටම තෑගි බෝග ගෙනැවිත් තිබිණි.


"මම කාලෙක ඉදන් පල්ලියේ ෆාදර්ව අදුනනවා...මම මට බදින්න කෙනෙක් හොයන කොට, ෆාදර් තමයි මේයාව අදුන්නලා දුන්නේ...මගෙ ඉස්සර කසාදෙන් මට ලොකු දුවෙක් ඉන්නවා...එයා අපේ අම්මා ගාව හැදෙන්නේ...ඒ නිසා අපට කරදරයක් බරක් නෑ...මට ඉන්න හිටින්න ගෙයකුත් තියෙනවා ...මම මෙයත් එක්ක , අපේ ගේ ඉස්සරහ මොරටුවේ කඩයක් දාගන්න ඉන්නේ..."


"ඒක හොදයි ..ලොකු පුතත් පිලිවෙලක් උන එක....අනේ වාසනාවන්. ගෙයක් දොරක් තියෙන තැනකින් ගෑණියෙක් ගත්ත එක...... අර පේන්නෙ නැතෑ...දෙවෙනි කොල්ලත්, නිකම්ම නිකම් ගෑණියෙක් ඇරගෙන ආවේ බඩකුත් එක්ක...." අම්මා කියන්නෙ බාල මල්ලී ගැන ය.


" මල්ලි මැටි ගෙයක් වත්ත පල්ලෙහා හදාගෙන නේද?


"ඔව්... මේ ගේ අස්සෙ පවුල් තුනකට ඉන්න බෑනේ.... බාප්පා කිව්වා ගේ කෑල්ලක් පල්ලෙහාට වෙන්න හදා ගන්න කියලා...."


ලොකු අයියලා ඔහු ගෙනාපු බුරියානි බත් මුල් කා.... අක්කත් එක්ක හවස යන්නට ගියේය.


අපේ පවුලේ එක්කෙනෙක් , දෙන්නෙක් හරි, හොදින්, සතුටින් ඉන්න එක මට ලොකු දෙයකි.... විශේශයෙන් අපි පුංචි කාලේ අපි වෙනුවෙන් මහන්සි උන ලොකු අය්යාට, හොද කලක් ගිය එක ගැන මට ඇත්තේ කියන්න බැරි සතුටකි.


හෙට හමුවෙමු

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page