💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 3 min read
💥 ගිමන් හරිමි💥
(41 වෙනි කොටස )
සුමිත් ආපසු පාදුක්කේ එන බව පවසා, නුවර ගිය පසු, මම සිටියේ බොහෝ සතුටිනි.
ආන්ඩුවට එරෙහිව ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 පටන් ගත්තට පසු, දැන් වසර හතරකට කිට්ටු කාලයක් ගෙවි ගොස් ඇත. කැරැල්ලේ මුල් භාගයේදී සාමාන්‍ය ජනතාවගෙ, සහය එයට පළ උනත්, කැරැල්ලේ මැද භාගයේ සිට ජවිපෙ දේශපාලන අංශය ගැන සාමාන්‍ය ජනතාව කළකිරි ත්‍රාසයෙන් ජීවත් වෙන්න පටන් ගෙන තිබුනි. ඔවුන් විසින්
ප්‍රවාහන කටයුතු අඩපණ කිරිම, උගත් බුද්ධිමතුන් , ව්‍යාපාරිකයන්, සාමාන්‍ය ජනතාව ඝාතනය කිරිම්, බිය වැද්දවීම්, පෙළපාලි වැනි බලහත්කාරයෙන් කරන ලද පීඩාකාරී වර්ජන සහ ක්‍රියාමාර්ගයන් නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට ලක් වි තිබිම සුමිත් යම්තම් හෝ තේරුම් ගෙන, සංගමයෙන් අස්වී පාදුක්කේ පදිංචියට එන්න තීරණය කීරිම මට ලොකු සතුටක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ , කැරැල්ලේ සදාචාරය සහ විනය බිඳවැටී පෞද්ගලික පළිගැනීම් සහ මං කොල්ලකෑම් නිසා, කැරැල්ල කෙරෙහි ජනතාව තුළ ප්‍රබල අප්‍රසාදයක් දැන් ඇතිවි ඇත. 1988-89 යනු ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි ත්‍රස්තවාදී කැරැල්ල උත්සන්නව පවතින කාල වකවානුව වී ඇත.
"ඇත්තද බාප්පේ...,
කැරැලිකරුවන්ගේ නියෝගයට අනුව හමුදා සහ පොලිස් භටයන් සේවයෙන් ඉවත් නොවුණහොත් ඒ පවුල්වල අයත් ඝාතනය කරනවා කියලා කියන්නේ...... ?
" ඔව්....හැබැයි ඉතිං, දැන් ලේසියෙන් මේ
කැරැලිකරුවන්ට ආරක්ෂක අංශ වලින් බේරිලා ඕවා කරන්න හම්බවෙන්නෙ නෑ........"
"ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ කැරැල්ල සදහා විශාල වශයෙන් තරුණයන් හා පාසැල් ළමුන් මේ කාලයේ යොදවාගෙන ඉන්නවානේ....ඒවට කාට කාටත් දඩුවම් ලැබෙයි ඉස්සරහ කාලේ......"
"ජනාධිපති ජෙ, ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස මහත්තයාගෙ UNP රජය, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමට විවිධ වූ උපක්‍රම, කන්ඩායම් යොදවලා තියෙනවා කියන්නෙ ඇත්තද බාප්පේ......? "
" ඔව්...සමහර ගම්මාන වලට, රෑට හමුදා කන්ඩායම් ගිහින් ගම් වටකරලා, සමහර නිවෙස් වල ඉන්න අවුරුදු 16ට වැඩි පිරිමි ළමයින් ගමේ කොහේ හෝ ස්ථානයකට රැස් කරලා "ගෝනි බිල්ලා" ගේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ගෙන යනවලු..... "ගෝනි බිල්ලා" කවුරු හරි ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස ඔවුන් අදුනගත්තොත්, එවෙලෙම ආරක්ෂක අංශවලින් ඔවුන් අත්අඩංගුවට ගන්නවලු....ඒවගේ අත් අඩංගුවට පත් උනොත් ඉතිං නැවත ගෙවල් වලට එනවා බොරු...."
"ඒගොල්ලන්ට මොනවද බාප්පෙ කරන්නේ..."
"මොනවද ඉතිං, හරියටම පෙරමුණේ කෙනෙක් කියලා අදුන ගත්තොත් අත් අඩංගුවට ගන්නවා....ඊට පස්සෙ ඉතිං පිළිස්සෙන ටයර් සෑයේ හරි, හිස ලයිට් කණුවක හරි, පාළු පාරක හරි කානු පල්ලම් වල තමයි .... සුමාන ගනන් මරා කුනුවුනු සිරුරු මේ දවස් වල තැන තැන දකින්න ලැබෙන්නෙ ඒ නිසනේ...."
"අනේ බාප්පෙ මට තාමත් සුමිත් ගැන බයයි...අපි එයාව ඉක්මනට මෙහෙ ගෙන්න ගෙන නවත්ත ගන්න හිතපු එක හොදයි නේද..? ..."
"කොහේද ඌට මෙහෙ ඇවිත් ඉන්න බෑනේ...ඔය ආපු ගමන් දුවන්නෙ කඩි කුලප්පුව හැදිලා වගේ...."
"නෑ බාප්පේ එන සුමානෙ සුමිත් මෙහෙ නවතින්නම එනවා කිව්වා...."
#####
සුමිත් නුවර සිට අප සමග පාදුක්කේ පදිංචියට එනවා කිව් දිනයේ සිට මම බොහෝ සතුටින් දරුවත් සමග කල් ගෙව්වෙමි.
අප දෙදෙනාට එකට ඉන්න අම්මලා හදලා දුන් කාමර කෑල්ල මම පිරිසිදු කර අස්පස් කර ඔහු එනතෙක් ආසාවෙන් බලා සිටියෙමි.
සුමිත් නුවර ගොස් දවස් හතරකට පසු, එක් උදයක ලොකු අය්යා, පල්ලියේ සිට ගෙදර ආවේ කළබලේය.
"නංගියේ....අම්මේ....
බාප්පේ....හරි වැඩේනේ මට නුවර මාමා අද උදේ කෝල් එකක් දුන්නා....."
"මොකද ලොකු පුතේ පාරේ ඉදන්ම කෑ ගහන්නේ...."
" ඊයෙ රෑ සුමිත්ව හමුදාවෙන් ඇවිත් අල්ලන් ගිහින්ලු......"
"මොනවා....අනේ දෙවියනේ පාදුක්කේ පදිංචියට එනවා කියලා ගිය කොළුවනේ...."?
"අනේ අම්මේ මගේ සුමුත් ...."
මගෙ ඇස් නිලංකාර වීගෙන ගියේ ...මගෙ අතේ සිටි ලොකු දුව, ලග සිටි බාප්පා වඩා ගෙන මා වත්තන් කර ගනිද්දීය ...
මට සිහිය එන විට, මාලා නැන්දා ,ලාල් මාමා හැමොම මා වටකරගෙන, අත් කමුලේ තියාන උන්නේය.
"අනේ අම්මේ මගේ සුමිත්ට උන් කරදරයක් කරයිද...? අනේ අම්මේ මට බයයි...අනේ සුමිත් ..ඔයා ඉක්මනට එනවා කියලා නේද ගියේ...අනේ ඔයාට උන් කරදරයක් නම් කරන්න එපා....අම්මේ...බාප්පේ..අනේ ගිහින් සුමිත් බේරගෙන එන්න අම්මේ...මගෙ දරුවගෙ තාත්තා ...අනේ මගෙ බඩේ ඉන්න දරුවගේ තාත්තා ...අනේ දෙවියනේ මගේ සුමිත්ට නම් කරදරයක් වෙන්න දෙන්න එපා...." මම කදුළු පෙරමින් බිම වැතිරි කෑ ගසමින් ඇඩුවෙමි ...
"දැන් කොයි වෙලේද කියනවද ඔය ළමයව ඇරන් ගිහින් තියෙන්නේ..."
"ඊයෙ රෑ කියන්නේ...."
" හමුදාවේ කී දෙනෙක් ඇවිල්ලද ගෙනිහින් තියෙන්නේ..."
"හමුදාවෙ ඇදුමෙන් නෙමේලු ඇවිත් තියෙන්නේ....රෑ ජීප් දෙකක් ගෙදරට එන සද්දෙට සුමිතයා කුස්සිය පැත්තෙන් පැනල ගිහින්.....ඒත් යන්න ලැබිලා නෑ....උස මහත හතර පස් දෙනෙක් සුමිතයා අල්ලලා ජීප් එකට දාගෙන තියෙන්නේ ...."
"ගෝනි බිල්ලෙක් එක්ක ඇවිත්ද අල්ලගෙන තියෙන්නේ...?
"නෑ...කාගේ හරි ඔත්තුවකට කෙලින්ම ඇවිත් අල්ලන් ගිහින් තියෙන්නේ....අපි දන්න විදිහට ,ඔය සුමිතයා විශ්වවිද්‍යාල කොල්ලො පස්සේ ගිහින්, පන්සල් , කාමර වල රැස් වීම් වලට ගියා කියලා ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් දන්නවා...ඔය සුමිත්ගෙ තාත්තා නැති වෙලා තියෙන්නෙත් 1971කැරැල්ල කාලේ ඔය ජෙවිපි කල්ලියට වැඩ කරන්න ගිහින්ලුනේ......ඕවා ගමේ මිනිස්සු දන්නවා. තාත්තා ගිය පාරෙම මේ කොල්ලත් ගිහින්, නිකන් ජිවිතේ නාස්ති කර ගනීද දන්නෙ නෑ..."
"හමුදාවෙන් එක්ක ගියා නම් ආයෙ එනව බොරු..."
"අනේ ඉතිං කවුරු හරි සුමිත් ළමයා ගෙනිච්චයි කියන හමුදා මුර පොළට ගිහින් වත් හොයලා බලන්න වෙයි නේද...?
"අද උදේ මාමා යනවා කිව්වා, ගමේ ඉස්කෝලේ මහත්තයා එක්ක..."
"අපිත් සුමිත්ලගෙ ගෙදර ගිහින් ආවොත් හොදයි නේද සරත්..."
"ඔව් එහෙනම් ඔයා ලෑස්ති වෙන්න අපි ගිහින් බලමු...නැත්නම් හොද නෑ..."
"අනේ අම්මේ මමත් එන්නම් නුවර යන්න...."
මම අඩමින්, කදුළු පිහමින් හිටි තැනින් නැගිට ගත්තෙමි.
"උඹ කොහේ යන්නද ඔය බඩත් උස්සාගෙන ....මෙන්න මෙහෙ හිටපං....නුවර මහ ගෑනි උඹව දැකපු ගමන් කියයි උබේ අවසානාවට කොල්ලව හමුදාවෙන් ගෙනිච්චේ කියලා ..."
"අනේ අම්මේ මම හමුදාවේ මහත්තුරුන්ට වැදලා හරි සුමිත්ව නිදහස් කරලා දෙන්න කියන්නම්...මාවත් එක්ක යන්න අම්මේ...මට වාවන්නෙ නෑ අම්මේ.....මගෙ සුමිත්ට මොනවත් උන් කරදරයක් කරයිද අම්මේ....අනේ අම්මේ...මගෙ පපුව පැලෙන්න එනවා මට දුකේ බෑ....මට බයයි අම්මේ...." මම බිම පෙරළි පෙරළි නැවත අඩන්න විය.
මේ කාලයේ ජවිපෙට වැඩකරපු කවුරු උනත් හමුදාවෙන් ඇවිත් ඇරන් ගියාට පස්සෙ ආයෙ ගෙදර එන්නෙ නැති බව කවුරුත් දැනන් හිටි දෙයක් නිසා, හැමෝම හිටියේ බයෙන් දුකෙන් භිරන්තට්ටු වය.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments