top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 4 min read

💥ගිමන් හරිමි 💥

(40 වෙනි කොටස)

"දැන් එන්න එන්නම මේ රටේ කළබල තත්වය වැඩි වෙලා තියෙන එකේ....අනේ සුමිත් මේ අපේ ළමයි ගැන හිතලවත් ඔයා පරිස්සම් වෙන්න...ඔය ඕන නැති සංගම් වලට බැදිලා අමාරුවෙ වැටෙන්නෙ නැතුව....දැන් ඔයා මාත්, අපේ මේ දරුවත් එක්ක එකට ඉන්න ඕන කාලේ....ඔයා නුවරට වෙලා ඉදලා හරියන්නෙ නෑනේ....අපිත් එක්ක නවතින්න මෙහෙ එන්න සුමිත් ..."


" මට හරියට නුවර වැඩ තියෙනවා දුලීකා ...මම මේ ඔයා එන්න කියපු නිසාමයි අදත් ආවේ...."


"ඔයාට මතක නැද්ද...? හෙට අපේ ලොකු දුවගෙ පළවෙනි උපන් දිනය ....මට ඕන උනේ ඔයත් එක්ක දුවවත් ඇරන් පන්සලකට හරි පල්ලියකට හරි ගිහින් එන්න...ඒකයි ඔයාට කොළඹ එන්න කියලා පණිවිඩය ඇරියේ...."


" ඇත්තටම දුලීකා ,මට ඒක අමතක වෙලා තමා තිබුනේ... ඊයේ ගාමිණි අය්යයි ,සාමා අක්කයි මේ පාර්සලය දීලා කිව්වා දුවගෙ උපන් දිනයට ගිහින් දෙන්න කියලා ....ඒ පාර තමයි මම මේ කළබලේ දුවට පොඩි තෑග්ගකුත් ඇරගෙන මේ ආවේ..."


" එහෙම හරි, මාමාලා මතක් කරපු නිසා, තාත්තාට දුවගෙ උපන් දිනය මතක් වෙලා ....ඇති යන්තම්, තෑග්ගක් ඇරන් ආපු එක...."


"එහෙනම් ඔයත් ආස නිසා, අපි හෙට බෙල්ලන්විල පන්සලට ගිහින් එමුද දුලීකා ..?"


" හා... මම උදේම කිරිබත් හදලා, එයින් ටිකකුත් බුද්ධ පූජාවට ඇරගෙන එන්නම් ... අපි පන්සල් යමු ...කාලෙකින් ඔයත් එක්ක කොහේවත් සතුටින් ගමනක් යන්න බැරි වුනා...අපේ අම්මා, හෙට අය්යටත් මෙහෙ එන්න කියලා රෑට බත් කටක් කාලා යන්න....දුවගෙ පළවෙනි උපන් දිනය අපි සුළුවෙන් හරි සමරමු...."


"මට අනිද්දා උදේම ආපහු නුවර යන්න ඕනෙ දුලීකා .... ගොඩක් වැඩ තියෙනවා ..."


"අනේ දුවගෙ පළවන උපන් දිනේ දවසෙ වත් ඔයා අපිත් එක්ක ඉන්න... එකත් මට ලොකු දෙයක් ..."


සුමිත් සමග දුවගේ පළවන උපන් දිනය දවසේ බෙල්ලන්විල පන්සලට ගොස් වැද පුදාගැනිමට ලැබීම මට ලොකු සතුටක් විය. සුමිතුයි මමයි දුවත් සමග බෝධිය නහවා මල් පූජා කර බොහෝ වේලාවක් බෝධිය ඉදිරිපිට වාඩිවි සිටියෙමු....


"මෙතන ඉන්න කොට හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා නේද සුමිත් ..."


" ඔව්....කාලෙකට පස්සෙ මගේ හිතට අද ටිකක් හොදයි තමයි ..."


"ඇයි ඔයා දුකෙන් වගේ සුමිත් ...?


"පහුගිය කාලේ මමත් අර සංගමයේ වැඩ වලට උදව් කලා.... ඉස්සර ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති ගැන මම පැහැදිලා හිටපු නිසයි මම ඒවට සම්බන්ධ උනෙ...ඒත් දැන් ඒ සංගමයේ කට්ටිය ඒගොල්ලන්ගෙ ඒකමතික තීරණ වලට ගිහින් තේරුමක් නැති අපරාධ කරනවා...මම දැන් ඒවා ගැන කළකිරිලා ඉන්නෙ...මට දැන් ඒ සංගමයේ වැඩ වලින් අයින් වෙලා ඉන්න ඕනේ...ඒත් ඒගොල්ලෝ ඒකට ඉඩ දෙන්නෙ නෑ..."


"අනේ සුමිත් කොච්චර දෙයක්ද ඔයාට එහෙම හිතුන එකත්...ඔයා නුවර යන්නෙ නැතුව අපිත් එක්ක පාදුක්කේ නවතින්න ...මම බාප්පට කියලා ඔයාට මොනව හරි රස්සාවක් මෙහෙන් හොයලා දෙන්නම්..."


"මටත් එහෙම හිතුනා . මම ඒ ගැන තමයි මේ ටිකේම කල්පනා කලේ....මේ පාර ගමේ ගියාම මට කරන්න පොඩි පොඩි වැඩ වගයක් තියෙනවා ..ඒවා ඉවර කරලා මෙහෙ එන්නම් නවතින්න..."


"අනේ කොච්චර හොදද සුමිත් එහෙනම්.... දරුවට අම්මා වගේම තාත්තත් ලඟ ඉන්න එක කොච්චර හොදද....?අර ජිනාදරි අක්කා මට බැන්නා මෝඩ ගෑනි කියලා , කසාදේ ආරක්ශා කරගන්න දන්නෙ නෑ කියලා ....හැබැයි ඉන්දු අක්කා නම් මගෙ පැත්තෙ ...ඒයා අපේ අම්මලාට තමයි බනින්නේ, අපි දෙන්නා ගැන වැඩිය බලන්නෙ නෑ කියලා. කොහොම හරි මට හරි සතුටුයි ඔයා මෙහෙ නවතින්න එනවා කිව් එකට...මට අද හරිම සතුටු දවසක් සුමිත් ...අපි අපේ දරු දෙන්නා හදාගෙන හොදට එකට ජීවත් වෙමි...තව ටික කාලෙකින් අපට තව දරුවෙකුත් ලැබෙන්න ඉන්න එකේ...."


"අපි ඉස්සර වගේ මිගමු ගිහින්, පොඩි ගෙයක් කුළියට ඇරගෙන වෙනම ජීවත් වෙමුද දුලීකා ...අපි දෙන්නා කසාද බැදපු අලුත කොච්චර සතුටින් හිටියද මීගමුවේ ...? දරුවා ලැබුනට පස්සෙනෙ අපට මේ වගේ වෙනම ජීවත් වෙන්න උනේ...අපේ අම්මත් එක්ක ඔයාට එහේ ජීවත් වෙන්න බෑ.... ඒ වගේම ඔයගොල්ලන්ගෙ ගෙදර ඇවිත් එක ගොඩේ නැවතිලා ඉන්නත් මම කැමති නෑ....ඒ හින්දා ඔයා මම එනකම් මෙහෙම දැනට ඉන්න ,මම නුවර ගිහින් එහෙ දේවල් පිලිවෙලක් කරගෙන එන්නම්. ...ඊට පස්සෙ අපි මීගමුවේ පදිංචියට යමු...මම සමිරට කෝල් එකක් දීලා, අපට නවතින්න තැනක් හොයාගන්න බලන්නම්....මට රස්සාවක් මාළු මුදලාලිගෙන් ඉල්ල ගන්නත් බලමු..."


"අනේ ඒක කොච්චර දෙයක්ද..? මට තාමත් මතකයි, අපි දෙන්නා මීගමුවේ හිටිය හැටි ...අපි කොච්චර සතුටින් ඒ කාලේ ගත කලාද...?


"ඒක තමයි ...පහුගිය කාලේ අපි දෙන්නා දෙපැත්තට වෙලා කොච්චර දුක් වින්දද..? මාත් මේ තේරුමක් නැති සංගමයට බැදිලා, නිකන් කාලේ කා දැම්මා....අපරාදේ මගේ කාලේ. මම තවත් පරක්කු වැඩි නෑ...මම නුවරින් ඇවිත් මිගමුවෙ පදිංචියට ගිහාම, ඔය සංගම් වල අයට මාව අමතක වෙලා යයි...."


"කොච්චර දෙයක්ද ඔයාට පහුවෙලා හරි මේ දේවල් තේරුම් ගිය එක...එහෙනම් ඔයා නුවර ගිහින් ඉක්මනට ආපහු එන්න. මම බලාගෙන ඉන්නේ ඔයා එනකම් සතුටින්....


දුවගේ පළවන උපන්දින දවසේ සුමිත් සමග පන්සල් ගොස් එනවිට මම සිටියේ බොහෝ සතුටිනි. එදින හවස් වෙනකොට පල්ලියේ වැඩ කරන අය්යත්, මාකට් එකේ වැඩ කරන ලොකු මල්ලිත් දුවගේ උපන්දිනේ සමරන්න ගෙදරට ඇවිත් සිටිම, අපේ මුළු පවුලටම සතුටු දවසක් විය.


"දුලීකා මම රෑට කුකුල් මස් උයලා කහ බත් හැදුවා....අන්න බාප්පා බෝතලයකුත් ගෙනත්...."


"ඇත්තට...සුමිත්ටයි අය්යයි, මල්ලිලාටයි පොවන්නද ඔය බාප්පා "ඇති හිටියා බෝතලේ" ගෙනාවේ..."


"කෑ නොගහ හිටින් දුලීකා ...මේ වගේ සතුටු දවසක විතරනේ කට්ටිය එකට එකතු වෙලා එකට බොන්නේ...."


"මිනිස්සු බොන්න මොනව හරි හේතුවක් හොයා ගන්නවා..."


"එහෙම තමයි බං...දුක්විදින මිනිසුන්ට හිත සතුටු කරගන්න, ඔය අඩියක් ගහලා සතුටු වෙනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ ......"


"අම්මේ සුමිත් මේපාර ගමේ ගිහින්, එහේ තියෙන පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා ආපහු මෙහෙ එනවලු අපිත් එක්ක නවතින්න ...අපි දෙන්නා ආයෙත් මීගමුවේ පදිංචියට යනවා...සුමිත්ට එහේ ලොරියක වැඩ හොයාගන්න පුලුවන් ..."


"අප්පේ ඇති යන්තම් ....දෙන්නටම මොලේ පෑදුනා....මොනව උනත් කසාද බැන්දාහම දරු මල්ලොත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ, දෙන්නා දෙමහල්ලෝ.... රස්සාවල් කරන්න, සල්ලි හම්බකරන්න කියලා, දෙපැත්තට වෙලා, රට රට වල ගිහින් මිනිස්සු පවුල් නැති කරගන්නවා....මතකනේ මගේ පවුල මට නැති උනේ...., උඹලගෙ තාත්තා උඹලට නැති වුනෙත් මම රට ගිය නිසානේ...."


"ඒ ගැන නම් මොකට කතා කරනවද...කල් ගිහින් හරි සුමිත්ට මාත් එක්ක එක වහලක් යට ඉන්න මතක් උන එකත් ලොකු දෙයක් ..."


"මොනව උනත් හොදයි සුමිත් ළමයා මෙහේ පදිංචියට එන එක...මම පල්ලියේ ෆාදර්ට කියලා, හොද ඩැයිවින් ජොබ් එකක් සුමිත් ළමයට හොයලා දෙන්නම් හොද පැත්තකින් ...."


"එතකොට අපි දෙන්නා, මීගමුවේ කුළියට ගෙයක් අරගෙන වෙනම ඉන්න යනවා....."


"අපෝ ඒක නම් ලොකු දෙයක් ...මේ අපේ ගෙදරත් ඉන්න වැඩි ඉඩක් තියෙන එකක් නෙමේනේ..."


"ඔව් අපි ඉස්සර හිටියා වගේ වෙනම පදිංචි වෙනවා නැන්දම්මා ....ඒක හැමෝටම හොදයි නේ....."


දුවගේ පළවෙනි උපන්දිනය දවස ඉතා සතුටින් ගෙවි ගියේ අපේ මුළු පවුලම එකට එකතු වි කාබි සතුටු වෙමිනි. එදින බොහෝ රෑ වෙනකම් සුමිත්, බාප්පා ,අය්යා, හා මල්ලි අප සමග කතා බහ කරමින් බොහො සතුටින් සිටියේ බොහෝ කාලයකට පසුයි.


පසු දින සුමිත් නුවර බලා ගියේ පුලුවන් ඉක්මණට පාදුක්කේ ඇවිත්, මාත් සමග මීගමුවේ පදිංචියට යන බව පවසමින්‍ය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page