💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 5 min read
💥ගිමන් හරිමි 💥
(39 වෙනි කොටස )
"දුලීකා දැන් බබාට මාස තුනත් පහු උනානේ... අපි දැන් අපේ ගෙදර යමු....මට තනියම නුවරට වෙලා ඉදලා ඇති වෙලා තියෙන්නේ ... සුමිත් මට නිතර නුවර යෑමට අඬ ගසයි.
"ඔයා අපි දෙන්නට නවතින්න ගෙයක් කුලියට හොයා ගත්තොත් මං එන්නම්....."
"අම්මා කැමති නෑ අපි කුළී ගෙවල් වල වෙනම ඉන්නවට, අපරාදෙලූ කුළී ගෙවල් වලට සල්ලි දෙන්නේ...අම්මා අපට නවතින්න ගෙට අල්ලලා තව කාමර කෑල්ලක් හදන්න හදන්නේ...ඒකට මගෙන් හැම මාසෙම සල්ලිත් ඉල්ල ගන්නවා...."
"ඒ උනාට ඔයා දන්නවනේ ඔයාගෙ අම්මයි, අක්කයි මට කැමති නෑ කියල... කන්න නැතත් මට හිතේ නිදහසෙන් ඉන්න ඕනේ..."
"අපේ ගෙදර හොදට ඉඩ තියෙනවා නම්, මොකටද කුළී ගෙවල් වල ඉන්නේ....ඔයාට එන්න බැරි නම් මෙහෙට වෙලා ඉන්නවා,... මට බෑ හැම සුමානෙම කොළඹ පදින්න...සුමිත්ට දැන් පොඩ්ඩ බැරි වෙනකොට මාත් එක්ක කේන්ති යයි....
"මට තාම දරුවා බලාගන්න නාවගන්න බෑ...මම තව ටික කාලයක් ඉදලා එන්නම්..."
" ඒහෙනම් ඕන එකක් කරගන්නවා..." ,
ඔහු හැමදාම පාදුක්කේ ආවිට ආපසු නුවර යන්නේ මා සමග රංඩු කර කේන්තියෙනි.
"මම දැන් ගෙදර ඉදන් අම්මා එක්ක පුවක් කපන නිසා, මට වියදමට කීයක් හරි හොයා ගන්න පුලුවන් ... නුවර ගියොත් ඒකත් නෑ...සුමිත්ගෙ අම්මලා මට දරුවා බලාගන්න උදව් කරන එකක් නෑ...සුමිත්ට ඒක තේරෙන්නෙ නැති හැටි..." මම අම්මාට කීවෙමි.
"දුලීකා...උඹේ මිනිහා ගෙදර යන්න අඩගහනවා නම් දරුවත් අරන් ඒ ගෙදර පළයං ....ගෑනි ඉන්න ඕනෙ මිනිහ ඉන්න තැන...මොන කරදර තිබුනත් දෙන්නත් එක්ක එක තැනක වැටිලා ඉන්න ඕනේ..."
"මට බෑ අම්මේ සුමිත්ලගෙ ගෙදර නවතින්න යන්න ...ඒ මිනිස්සු එක්ක මට ඉන්න බෑ...සුමිත් වෙන කොහේ හරි ගෙයක් කුළියට ඇරගෙන යනවා නම් මම යනවා...."
"හොදින් කියලා දීලා, මිනිහා කැමති කරව ගන්න බලපං.....කැත්තට පොල්ල වගේ ඉදලා බෑ, මිනිස්සු තමන්ගෙ පැත්තට නම්ම ගන්න.... චාටුවෙන් හැම දේම කර ගන්න ඕනේ ගෑනු උනාම...ඒක දැන්වත් තේරුම් ගනිං. ...."
ඉස්සර වගේ සුමිත් දැන් හැම සුමානෙම පාදුක්කේ එන එක නතර කර දමා ඇත. ඉන් පසු ඔහු මාත් දුවත් බලන්න ආවේ මාසෙකට විතර සැරයක්ය.....ඒ එක්කම, මුළින් මට ගෙදර යන්න අඬ ගසා බැරි තැන සුමිත් එය අතහැර දමා ඇත.
සුමිත් ආයෙත් තනියම නුවර නැවතුනාට පසු , විශ්ව විද්‍යාලයේ කොල්ලෝ වගයක් ආශ්‍රය කරන්න පටන් ගෙන ඇති බව ගාමිණි මාමා, අම්මාට කියා ඇත. ඔවුන් සමග, ඔහු දැන් සංගමයේ වැඩ වගයකට උදව් කරන්න යන බවද අම්මාට කියා ඇත. මම කියා දැන් මොනවා කරන්නද....? මම ඔහු යන එන ගමන් ගැන අහනවට ඔහු කැමති නැති නිසා, සුමිත්ට ඕන දෙයක් කර ගන්න ඇර මම දරුවා හදාගෙන අම්මලත් සමග ඉදිමි.
දරුවා අම්මයි, බාප්පයි සමඟ ලොකු මහත් කරමින් මම පාදුක්කේ ම නැවතිණි. සුමිත් ඉඳහිට ඇවිත් දින දෙක තුනක් නතර වී හිද නැවත නුවර යයි....
ඔහු වැඩි වැඩියෙන් ජවිපි සංගමයේ වැඩ වලට උදව් කරන්නේ මම ගෙදර නැති නිසා යැයි සුමිත්ගෙ අම්මා මාමාට කියා ඇත.
කාලය එසේ ගෙවී යද්දී ලොකු දුවට වයස මාස අටක් විතර යනවිට මා නැවත ගැබ් ගැණින....
මේ කාලයේ සුමිත්ගෙ අම්මා ඇගේ උවමනාවට, ඔවුන්ගේ මහ ගෙදරට අල්ලා තව කාමර කෑල්ලක් අපට හදාගෙන යන බව කියමින් ඔහු හම්බකරන පඩියෙන් භාගයක් ඉල්ල ගන්න බව සුමිත් කියයි. නමුත් සුමිත් ජවිපෙ වැඩ වලට ගොස් අතේ තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නවා යැයි මාමා කියා ඇත. දැන් ඔහු ඉස්සර මෙන් උවමනාවෙන් රස්සාවට නොගොස් කොල්ලො සමග කල්ලි ගැසෙන බව මාමා අම්මා සමග කියා ඇත්තේ අකමැත්තෙනි.
මම සුමිත් ඉදහිට අප බලන්න පාදුක්කේ ආවිට, අපේ වියදමට කීයක් හරි ඔහුගෙන් ඉල්ල ගන්න බලමි.
"සුමිත් මට ඒ හැට් වයසක් නැතුව දරුවා හම්බුන නිසාත්, ආයෙත් දරුවෙක් හම්බවෙන්න ඉන්න නිසත්, මිඩ් වයිෆ් නෝනා කිව්වා හොදට කිරි බිත්තර , ගුණ ජාති කෑම කන්න කියලා ...ඔයා මේ ඉදලා හිටලා ඇවිත් දීලා යන සොච්චම මදි මට පිටි පැකට් දෙකක් ගන්නත්..."
"මගෙ අතේ දැන් වැඩිය සල්ලි නෑ...අපට ඉන්න අපේ අම්මා කාමර කෑල්ලක් ගෙට අල්ලලා හදන නිසා මම ඒකට අම්මාට සල්ලි දෙන්න ඕනේ ..."
"හම්බකරන සල්ලි ටික වියදම් කරලා ඔය්ගොල්ලන්ගෙ ගෙදර අපට ඉන්න කාමරයක් හැදුවට, කොහොමද අපි දෙන්නා, මේ ළමයිනුත් එක්ක ගිහින් එහෙ නවතින්නේ...මට බෑ ඔය්ගොල්ලන්ගෙ ගෙදර නවතින්න ...මේ අවුරුද්දේ අන්තිම වෙනකොට මට මේ බඩේ ඉන්න දෙවන දරුවත් ලැබෙයි...."
"තමුසෙට බැරි නම් තමුසෙ මෙහෙටම වෙලා ඉන්නවා...මම ආයේ එන්නෙ නෑ මේ පලාතේ ..මට එහේ කරන්න ගොඩක් වැඩ තියෙනවා ...හැම සුමානෙම පාදුක්කේ එන්න බෑ...."
" ඔයා ජවිපෙ සංගමයට බැදිලා කියන්නෙ ඇත්තද....? මට ආරංචියි නුවර වෙන දේවල් .... කීයක් හරි හම්බ කරගෙන ඉන්නෙ නැතුව, අමාරුවෙ වැටෙනවකෝ......"
"මම කරන්නෙ මට ඕන දේ....ඒක අපේ අම්මා දන්නවා......තමුසෙට ඕන නම් නුවර එනවා, නැත්නම් මෙහෙටම වෙලා ඉන්නවා...."
" එක ළමෙක් නෙමේනේ....තව ළමෙක් මට හම්බ වෙන්න ඉන්න නිසා....ළමයින්ට තාත්තා කෙනෙකුත් ඕනනේ.... හරි මම එහෙනම් එන සුමානෙ නුවර යන්න එන්නම්...මම අපේ අම්මත් එක්ක එන්නම්...මට තනියම මේ ලොකු ළමයත් වඩාගෙන එන්න බෑ...."
සුමිත්ගෙ බල කිරිමට මම දරුවත් රැගෙන සුමිත්ගෙ මහගෙදර ගියේ අම්මත් එක්කයි. මාව සුමිත්ලගෙ ගෙදර බස්සා ,අම්මා එක පැයක් එහි නොසිට මාමලාගෙ ගෙදර ගියේ සුමිත්ගෙ අම්මාගෙ , දෙපිට කැපෙන ඇනුම්පද අසාගෙන සිටිමට බැරි නිසා වන්නට ඇත.
"දුලීකා මම මාමලාගෙ ගෙදර යනවා, උඹ පරිස්සමට මේ ගෙදර හිටපන්...මුං උඹට, කෑමට වහ දාලවත් දෙන්න බැරි නෑ....මේ මහ ගෑනිගෙ හිතේ උඹ ගැන තියෙන තරහ තවම අඩුවෙලා නෑ....සුමිත් එක්ක කාමර කෑල්ලක් කුළියට හොයාගෙන වත් යන්න බලපං......මෙතන හිටියොත් නම් මේ මහ ගෑනි මොනව කරයිද දන්නෑ....."
"සුමිත් මේ කැරළි කාරයන් එක්ක එකතු වෙලා කියලා ආරංචි උන නිසයි මම මේ අමාරුවෙන් දරුවත් අරන් මෙහෙ ආවේ....අඩු ගානේ හොදින් කියලා හරි ඔය සමිති සංගම් වලින් අයින් කර ගන්න ඕනේ....."
සුමිත් වැරදි කාලේ, වැරදි ආශ්‍රයට වැටි අමාරුවක වැටෙයි කියා මට දැන් ඇත්තේ බයකි... එබැවින් දරුවත් අරන් ඔහු සිටින තැනකට යන්න මමත් හිත හදා ගෙන මෙහි ආවෙමි.
දරුවා සමග නුවර ගොස්, සුමිත්ගෙ මහ ගෙදර නැවතුන පසු, මම හිතපු ලෙසම සුමිත්ගෙ අම්මයි අක්කයි සුපුරුදු පරිදි මට වෙනස් කම් කරන්න පටන් ගත්තාය.
ඔවුන් කියන වැඩ කන්දරාව කරන මට, ඒ මදිවට, මටත් දරුවාටත් කන්න බොන්න වත් ඔවුන් හරියට නොදෙයි.
" දූලීකා ගේ අතුගාලා දානවා.. ...අර කලේ වතුර නෑ..... දුලීකා අද දවල්ට උයලා ගන්නවා...අර වලං ටික හරියට හෝදලා නෑ...හොදට මැදලා ගන්නවා...අර මිදුල හැඩි වෙලා ...දුලීකා ඔය මිදුල අතුගාලා දානවා...." සුමිත්ගෙ අම්මා ඉවරයක් නැතුව මට ගෙදර වැඩ කරන්න නියම කරයි...
උදේට සුමිත් වැඩට ගියාට පසු මම දරුවා නිදි කර ඒ ගෙදර, ඔක්කොම වැඩ කරන්නේ තව දරුවෙක් හම්බවෙන්න බඩකුත් උස්සාගෙනය. සුමිත් උදේ වැඩට ගොස් හවසට ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා නිදා ගනී. එසෙ නැති නම් වැඩ ඇරි රෑ වනතෙක් කොහේදො ගොස් ගෙදර එයි....ඔහු යන ගමන් බිමන් මම අසනවාට ඔහු කැමති නැත. මම වැඩකාරියෙක් වගේ ගෙදර හැම වැඩක්ම කරමින් සුමිත්ගෙ අම්මාගෙන් අක්කාගෙන් බැනුම් අසමින් වැඩ කිරිම සුමිත්ට ගානක් නැත...මහන්සි වී ගෙදර වැඩ කර, දරුවා තනියම හෝදා, කවා නාහවා වැඩ ඉවර කර මම කන්න යන විට හැලි වලං වල මට කෑම නැත. යන්තම් වලං වල අඩිය සූරා, තියෙන දෙයක් කා මම යන්තම් බඩ පුරවා ගෙන දරුවාට කිරි දෙන්නෙමි.
"මට මල්ලිගෙ පොඩි කෙල්ල අඩන සද්දේ නිසා මේ ගෙදර ඉන්න හිතෙන්නේ නෑ...මොන කරදරයක්ද මන්දා..." සුමිත්ගෙ අක්කා කොයිවෙලෙත් දරුවා අඩන විට නාහෙන් අඩයි...
" දුලීකා ...මට හොද රස්සාවක් ටවුමෙන් හම්බුනා ...එන සුමානෙ ඉදන් මම වෙන ලොරියක වැඩ කරන්න ටවුමට යනවා...එතන හොදට ගෙවනවා කිව්වා...ගාමිණි අය්යගෙ ලොරිය එලෙව්වට මට හරියට ගෙවන්නේ නෑ...ඒ හින්දා මම එතනින් අස්වෙලා ටවුමේ රස්සාවට යනවා...."
මෙපමණ කාලයක් ගාමිණි මාමා ලග වැඩ කරමින් සිටි සුමිත්, ටවුමේ වෙන මුදලලි කෙනෙක් ලග වැඩට යන්න හදයි. නමුත් ඒ මුදළාලි කෙනෙක් ගෙ වැඩක් නොවන බව ගාමිණි මාමා සුමිත්ගෙ අම්මාට කියා ඇත. ඔහු දැන් විශ්වවිද්‍යාල කොල්ලන් සමග කල්ලි ගැසෙන්න යන බවත්, ඔවුන්ගෙ ඕනෑඑපාකම් වලට, රස්තියාදුවේ යනවා මිස රස්සාවකට නොයන බවත් මාමා හොයා බලා කියා ඇත.
"කොහේද ගෑනියෙක් ගෙනාවා, දෑවැද්දක් එක්ක ගෑනියෙක් ගත්ත නම් සැපට ඉන්නවා...කරුමෙ තමයි ...සුමිත්ගෙ අම්මා නිතර මට ඇනුම්පද කියයි.
සුමාන දෙකක් සුමිත්ගෙ මවගෙ අඩම්තෙට්ටම්, ඇනුම්පද අසමින් ඇයට, හා ඇගේ දියනියට යටවුන මම නැවත, ලොකු දුවත් සමග පාදුක්කේ අම්මලාගෙ ගෙදර බලා යන්නට තීරණය කලේ ඒ ගෙදර ඉන්නම බැරි තත්වයක් ඇවිත් තිබු නිසයි..... මම පාදුක්කේ නැවත පැමිනිම ගැන අම්මා සිටියේ ඒ තරම් කැමැත්තකින් නම් නොවේ...
"කසාද බැන්දනම් මිනිහා ඉන්න තැනක ඉන්න ඕනේ..." අම්මා මට ඇහෙන්නත් එක්ක බාප්පාට කියයි.
මම පාදුක්කේ ගෙදර නැවත ගිය පසු, සුමිත් මාත් දරුවාත් බලන්න අපේ ගෙදර ආවේ බොහෝ අඩුවෙනි.
ඔහු කැරළි කරුවන් සමග එකට එකතුවි ඔවුන්ගෙ වැඩට බොහෝ උනන්දුවෙන් වැඩ කරන්නට පටන් ගෙන ඇති බව පෙනේ.... , ඒ නිසා ඔහුට විවේකය අඩුය.
මම දැන් මාස හයක ගැබිනියකි. දෙවන දරුවා හම්බවෙන්න මම නැවත ලෑස්ති විය යුතු කාලය ලංවේ....
අවුරුද්දක් වයස ලොකු දුවත් බලාගෙන, මම අම්මා මෙන්ම, පරණ පුරුදු පුවක් කපන රස්සාව ගෙදර ඉදන් කරන්න පටන් ගත්තෙමි. එයින් මටත් දරුවාටත් අවශ්‍ය දේ ගන්න මුදල් ටිකක් හොයා ගන්නට පුලුවන් විය. සුමිත් දැන් ඉද හිට අපි බලන්න ආවාත් ඔහුගෙ අතේ ඒ හැට් මුදලක් නැත. ඔහු බොහෝ දේ ගැන කළකිරුන ලෙස ඉදී.... සමහර දිනට ඔහු නැවත නුවර යන විට මම ,අමාරුවෙන් හම්බ කරගත් කීයක් හරි ඔහු අතේද තබමි.
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments