top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 4 min read

💥ගිමන් හරිමි 💥

(36 වෙනි කොටස )

" සුමිත් ,අපි පාදුක්කේ ගිහින් එමුද අපේ අම්මත් සතුටුවේවි අපට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තහම...."


"යමු එහෙනම් මේ සිකුරාදා.. .."


" නුවර මාමයි, නැන්දයි බලන්නත් යන්න ඕනේ.... දවසක එහෙත් ,ගිහින් එමු....


"දරුවා හම්බ වෙන්න ළං වෙනකොට ඔයා ගෙදර ගියොත් හොඳයි නේද දුලීකා ...? මෙහේ ඉතිං කවුද ඔයාට උදව් කරන්න ඉන්නේ.... අයිරින් අක්කත් එයාගෙ වැඩවලට හිර වෙලානේ ඉන්නෙ....මටත් ගෙදර නැවතිලා ඔයාව බලාගන්න බෑ ..."


"ඒක තමයි මමත් හිතුවේ...එහෙනම් සිකුරාදා අපි එහෙ ගියාම අම්මට කියමු දරුවා හම්බවෙන්න ලංවෙලා පාදුක්කේ නවතින්න එනව කියලා ..."


"ඔව් ඒක හොදයි, එහෙම කියමු අපි ..."


"මේ පාර ගෙදර යන කොට හොද අලුත් මාළු ටිකක් අම්මට හින්දලා ගිහින් දෙන්න ඕනේ...මීගමු අලුත් මාළු කන්න හැමෝම කැමතියි නෙව..."


"එහෙනම් මම ලොකු ඉස්සො ටිකකුත් ගේන්නම් ගෙනියන්න ..."


"හැබැයි වැඩි දවසක් ඉන්න බෑ...අපි සිකුරාදා ගිහින් ඉරිදා හවසට එමු...."


"මේ දවස් වල වාහන ගමනාගමන අඩහිටලා නිසා, සිකුරාදා දවල්ට ගිහාම කීය වෙයිද දන්නෑ පාදුක්කේ යන කොට..."


"කෝකටත් ඔයා බිස්කට් පැකට් එකක්වත් බෑග් එකේ දාගෙන යන්න....බඩගිනි උනොත් කන්න..."


සිකුරාදා සුමිත් උදේම වැඩට ගොස් විත්, මීගමුවෙන් අප යනවිට දවල් දොලහත් පසුවි තිබුනි.


පාදුක්කේ අම්මලාගෙ ගෙදර ගිය විට, අම්මාගෙන් මෙන්ම, ගෙදර හැමෝගෙන්ම මට ආදර සැලකිලි ලැබෙන්නට විය. මගේ හිතට එය ලොකු සතුටක් විය.


අහල පහල ගෙවල් වල ගෑනු අය, මට විවිධ කෑම වර්ග සාදා ගෙනත් දෙන්නේ ලොකු උවමනාවකිනි. ලංකාවේ මිනිසුන්ගෙ ඇති හොද ගතිගුණ , ආදරය කරුණාව, ගැන මට ඇත්තේ පුදුමයකි.


අපේ අම්මා මල්ලිලා ලැබෙන්න ඉන්දෙද්දී ලැයිමේ ගැහැනුන් අම්මාට කෑම බීම පුලුවන් විදිහට හදාගෙන ආ හැටි මට මතක් වෙයි.


පාදුක්කේ ගොස් දින දෙකක් එහි නැවති ඉද ආ අපි, සුපුරුදු ලෙස මීගමුවේ නැවත කාලය ගත කලෙමු. දිනෙන් දින මගේ අතපය, බඩ මහත්වි මගේ ගැබිණි තත්ත්වය දැන් පෙනෙන්න පටන් ගෙන ඇත. ඒ එක්කම මට පොඩි පොඩි අපහසුතාද දැනෙන්න පටන් ගෙන ඇත.


මිගමුවෙ අපි පදිංචි ගෙදර අයිරින් අක්කාගෙ, ආදරනීය සැලකුම් නිසා මට අම්මා ලග නැති අඩුපාඩුවක් නොදැනින. ඇය මට දරුවෙක් ලැබෙන්න ඉන්දෙද්දී වගේම දරුවා ලැබුනු පසු කල යුතු සෑම දෙයක්ම හොදින් පහදා දුන්නාය. මාව ගැබිණි සායනය වෙත උදේ වරුවේ රැගෙන ගියේද ඇයමය. අපේ ලංකාවේ ගැබිණි මව් වරුන්ට අනෙක් අයගෙන් ඇති සැලකීම්, ගෞරවය , උදව්පදව් කිරිම ගැන මට ඇත්තේ පුදුමයකි.


"තව මාසයකින් විතර ඔයා අම්මලාගෙ ගෙදර ගියොත් හොදයි නේද දුලීකා ....?


" ඔව් සුමිත් මේ ජවිපෙ කරදර කාලේ, අතන මෙතන ඉන්නෙ නැතුව , අම්මා ලගට ගියොත් හොදයි කියලා මටත් හිතෙනවා.....මම ගිය පාර ගිය වෙලෙත් අම්මට කියලා ආවේ අපි පාදුක්කේ එනවා කියලා .....මට බයයි සුමිත් ඔයා මීගමුවේ ඉන්දෙද්දී , මම පාදුක්කේ නැවතිලා ඉන්න යන එකට..."


"ඔයා එහේ පාදුක්කේ නවත්තලා මට තනියම මෙහෙ නම් ඉන්න බෑ තමයි ......"


"එහෙම උනොත්, ඔයා නුවර යන්න...අපේ මාමලාට දැන් සරුයි.... මාමා ලොරියකුත් ගත්තා කිව්වනේ.... ඔයාට ඒක එළවන්න පුළුවන්...."


"එහෙනම් එහෙම වත් කරමු...


දරුවා ලැබෙන්න මාසයක් තියා අපි අම්මලාගේ ගෙදර යන බව ඇසිලින් අක්කාට කිව් විට ඇය එය හොද තීරණයක් බව කීය.


"ඔව් නංගියේ උඹ උඹේ අම්මා ලගට ගියොත් තමයි හොද....මටත් කියලා හැම දෙයක්ම කරන්න බෑනේ...දරුවා හම්බවෙලා මාස පහක් හයක් ගෙදර ඉදලා ආයෙත් මෙහෙ වරෙල්ලා....ඒ වෙනකොට මේ කාමරය හිස් වෙලා තිබුනොත්, උඹලට ආයෙත් කුළියට දෙන්නම්..."


"ඇසිලින් අක්කට බොහෝම ස්තුතියි, අපට අවුරුද්දකට වැඩි කාලායක් නවාතැන් පහසුකම් දීලා අපිව ආදරෙන් බලාගත්තට...."


"සුමිත් මාළු මුදලාලි ට කිව්වා රස්සාවෙන් අස්වෙලා නුවර යනව කියලා ..."


"ඔව්...ඒක කියලා යන එක හොදයි ..ආයෙත් ආවහම එතකොට රස්සාවක් ඉල්ල ගන්න පුලුවන් ..."


"කොහේ ගියත් උඹලා පරිස්සමින් හිටපල්ලා, මේ කරදර කාලේ.....සුමිත් මල්ලි හවසට වැඩ ඇරුනම අතන මෙතන රස්තියාදු නොවි ඉක්මනට ගෙදර පලයං .....දුලීකා අම්මලාගෙ ගෙදර නවත්වලා, එහෙ මෙහෙ කොල්ලෝ කුරුට්ටො එක්ක රස්තියාදුවෙ යනවා එහෙම නෙවේ....."


"හොදයි අක්කේ..."


"අපි මීගමුවට ආව දවසේ ඉදන් සමීර අපට ගොඩක් උදව් කලා, සමිරටත් අපි පාදුක්කේ ගෙදර යනවා කියලා කියමු.."


"ඔව් ,අනිවාර්යයෙන්ම අපි හෙට දිහාවට නිවාඩු නිකේතනයට ගිහින් සමිරට ඔයා අම්මලාගෙ ගෙදර යන බව කියමු..."


මම දරුවා ලැබෙන්න මාසයක් තියා, අම්මලාගෙ ගෙදර එන බව අපි වේලාසන අම්මාට කියා තිබුනි. ඒ නිසා ඇය අපි එනතෙක් දැන් බලා ඉන්නවා ඇති.


අපි එහි එන බව වේලාසන කියා තිබුන නිසා, අම්මාත්, බාප්පාත් ගෙට අල්ලා තව බ්ලොක් ගල්වලින් අලුත් කාමරයක් සාදා තිබුනේ මටත් සුමිත්ටත් නවතින්නයි. නමුත් සුමිත් නැවත මාමා ලග වැඩ කරන්න නුවර යන නිසා, නිතර අම්මලාගේ ගෙදර නතර විය නොහැකි බව කීය. ඔහු වේලාසන නුවර මාමලාගෙ ලොරිය එළවන්න මාමා සමඟ කතා කරගෙන තිබුනි.


අපි මීගමුව හැර දමා ගම් රට බලා යන බව අසා අයිරින් අක්කා හා සමීර දුක් විය.


"කොහේ ගියත් කමක් නෑ දෙන්නත් එක්ක් පරිස්සම් වෙන්න... මේ කාලේ මේ.... ජනතා විමුක්ති පෙරමුනේ කොල්ලෝ කැරැලි ගහන නිසා, අවේලාවේ එහෙ මෙහෙ යන්න එපා සුමිත් මල්ලි...දන්නවනේ තරුණ කොල්ලො, ඉස්කෝලේ යන ළමයි එහෙම, ඒගොල්ලෝ මේ කැරළි ගහන වැඩ වලට බලෙන් හවුල් කරගන්න හදන්නේ .... "


"ඔව් අක්කේ...අපේ මාමත් කිව්වා, සුමිත්ට පරිස්සම් වෙලා ඉන්න කියලා ..."


"ජනතා විමුක්ති පෙරමුනේ කට්ටිය ආන්ඩුවේ බස් ප්‍රයිවට් බස් ගිනි තියලා පොදු වාහන සේවා ඔක්කොම අඩපන කරලා, ඒ නිසා මිනිස්සුන්ට හරි කරදරයි ගමන් බිමන් යන්න එන්න..."


"ලාම්පු පත්තු කිරීමට භුමි තෙල් ටිකක් ගන්න , පාන් පිටි , හාල්, අල, ලුණු සහ සීනි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඕන උනාම අනිවාර්යෙන්ම සම්පුර්ණ දිනක් සමුපකාරයක හෝ කඩ වල පෝලිමේ ඉන්න ඕනේ...."


"ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ....උඹලා දෙන්නත් මේ රටේ තියෙන කලබල කාලේ පරිස්සම් වෙලා හිටපං ...විශේශයෙන් දුලීකා මේ කාලේ අම්මා ලග ඉන්න එක හොදයි ..."


"මේ රටේ මේ කාලේ අහන දකින දේවල් නිසා මටත් බයයි අක්කේ... මට සුමිත් ගැන හරි බයයි, මාත් ලග නැති නිසා...අපි එහෙනම් ගිහින් එන්නම් අක්කේ...අක්කට බොහෝම ස්තුතියි අපි දෙන්නට කල උදව් වලට...."


" පහුගිය දවස් වල මට ලණු අඹරන වැඬේට දුලීකා උදව් කළ නිසා මං ලේසියෙන් ඒ වැඬේ කර ගත්තා.... දැන් නම් ඉතිං තනියම මැරෙන්නයි වෙන්නේ...."


"අක්කට තව කාව හරි වැඩට හොයා ගන්න පුලුවන් වෙයි නේද?..."


"දැන් එතකොට දුලීකා පාදුක්කේ අම්මලාගෙ ගෙදර පදිංචියටම යනවද.....?"


"අම්මලා අපි දෙන්නට ඉන්න කාමරයකුත් එහේ හදලා.... ඒ උනාට සුමිත්ට හැමදාම එහෙ ඉන්න බෑ... නුවර මාමගෙ ලොරිය එළවන්න මාමා අඬ ගැහුව්වනේ...."


"දුලීකා දරුවා හම්බ වෙනකම් පාදුක්කේ තනියම හිටියට, දරුවා හම්බ උන ගමන් සුමිත් ඉන්න තැනකට, දරුවත් එක්ක යන්න...ගෑනු මිනිස්සු කසාද බැන්දට පස්සෙ එක ගෙදරක එකට ඉන්න ඕනේ...නැත්තම් නිකන් ප්‍රශ්නය එනවා..."


"ඒක තමයි අක්කේ මම දුලීකට කිව්වේ නුවර අපේ ගෙදර නවතින්න යමු කියලා ...මේ රටේ තියෙන ජවිපි කළබල නිසා, මටත් නිතර නිතර දුලීකා බලන්න යන්න බැරි නිසා..."


"අනේ මට නම් බෑ ඔයගොල්ලන්ගෙ ගෙදර නවතින්න යන්න... අපි කුළියට ගෙයක් අරගෙන ඉන්නව නම් මම එන්නම්..."


"එතකොට දරුවා හම්බවුනාම කවුද බලාගන්නේ...?


"ඒක තමයි මම අපේ අම්මලාගෙ ගෙදර යන්න ලෑස්ති කර ගත්තේ....."


"එතකොට ඔයා දැන් ගමේ ගිහාම අම්මලාගෙ ගෙදරද නවතින්න යන්නේ..."


"ඔව්... මං විතරයිනේ.... ඒ හින්දා එහෙ නවතිනවා....රෑට නිදියගන්න විතරනේ ගෙදර යන්න වෙන්නේ...."


"අනේ මන්දා ඔයගොල්ලන්ගෙ අම්මා මාත් එක්ක තියෙන තරහ තාම නිවිලා නෑනේ...මට ඒ හින්දා නුවර යන්න හිතෙන්නෙම නෑ..."


"දරුවා හම්බවුනාම අපි නුවර ගෙයක් කුළියට ඇරගෙන යමු...එතකම් මම අම්මලාගෙ ගෙදර ඉන්නම්..."


අපට මීගමුවට එන්න උදව් කල සමීරටත්, අයිරින් අක්කාටත්, අයිරින් අක්කාගේ ලෑලි කාමරයටත් සමුදුන් අපි දෙන්නා පාදුක්කේ අම්මලාගෙ ගෙදර බලා පිටත් වුණි.


අම්මා මා දරුවකු ලැබෙන්න සිටි නිසා ඉතා සතුටෙන් සිටියාය. මම තරුණ වයසෙන් අම්මා කෙනෙක් වෙන්න යනවා මෙන්ම, ඇය තරැන කාලෙන් ආච්චි කෙනෙක් වෙන්න යන සතුටිනි.


ඇය මට කවදාවත් නැති තරමට ,ලොකු උනන්දුවකින් ආදරයෙන් සැලකීම මට හිතා ගන්නට බැරි තරම් විය. මම දරුවා ලැබෙන්න ගෙදර ආ එක මල්ලිලා දෙන්නාට, ඊට වඩා සතුටක් නොවිය.


මම දරුවා ලැබෙන්න ගෙදර ආබව දැනගෙන අය්යත් පල්ලියේ සිට ගෙදර ආවේ මට කන්න බොන්න දේද රැගෙනය.

අය්යා දැන් කතෝලික පල්ලියේ මුරවැඩ හා වත්තේ වැඩ කරමින් බයිබලය කියවමින් ඉන්නා බව මට දැනගන්නට ලැබුනි.


හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page