top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 6 min read

💥ගිමන් හරිමි 💥

( 35 වෙනි කොටස)

දවස් තුනක් පාදුක්කේ ගෙදර බොහෝ සතුටින් සැහැල්ලුවෙන් ගත කල අප දෙදෙනා නැවත මිගමු යන්න ලෑස්ති වුනෙමු.


"ඔන්න දුවේ මම මාලා අක්කට කියලා අතිරස ටිකක් හැදුවා, උඹලට මීගමු ගෙනියන්න .... අලුත බැදපු ජොඩුවක් අත වන වන ගෙවල් වලට යන එක හොද නෑනේ ..."


"ඒක නම් හොදයි අම්මේ...අයිරින් අක්කාටයි, සුමිත්ගෙ යාළුවා සමීරටත් අතිරස ටිකක් දෙන්න පුලුවන් ..."


"අර ලාල් මාමා කිව්ව විදිහට ඔය ළමයි දෙදෙනා මීගමු ගිහින් පරිස්සමින් ඉන්න...මේ "ජවිපෙ " කරදර නිසා පාරක තොටක තරුණ කොල්ලෝ කෙල්ලො අරින්නත් බයයි..."


"අපි පරිස්සම් වෙලා ඉන්නම් අම්මේ...අපට මීගමුවට යන්න බස් අද තියේද දන්නෑ...පුදුම කරදර කාලයක්නේ මේක....."


"ඒක තමයි මේ "ජවිපෙ " කැරළි කාරයෝ ලංගම බස්, පෞද්ගලික බස් ගොඩක් ගිනිතියල දාලනේ......ඒ නිසා මේ දවස් වල පොදු ප්‍රවාහන සේවා අඩපන වෙලා තියෙන්නේ ...."


"ඇයි ගොඩක් පැතිවල විදුලි කණු කඩා දාලා, විදුලි ට්‍රාන්ස්ෆොර්මර් පුපුරවාලා, මාස ගණන් විදුලිබලය නොමැති ගම් තියෙනවා ...."


" භූමිතෙල් ලාම්පු, ඉටි පන්දම් පත්තු කරගෙන වත් සමහර රෑට ඉන්න දෙන්නෙ නෑනේ....එහෙම කලොත් ජවිපෙ එකෙන් මරණ දණ්ඩනය දෙනව කියන නිසා අපි බයේ ඉන්නේ....."


" ඈ සුමිත් ඔය පෙරමුණ කොයි කාලේ ආරංභ උන එකක්ද?


" ඕක 1965 මැයි මස 14 වන දා ගාල්ල, අක්මීමන දී රෝහණ විජේවිර මහතා විප්ලවාදී හත් දෙනෙක් එකතු කරගෙන පටන් ගත් ව්‍යාපාරයක් කියලනේ කියන්නේ........ ඒ වගේම

1967 කියුබානු විප්ලවවාදි "චේ ගුවේරාගේ" මරණින් පස්සේ කියුබානු රජයේ ආදර්ශය, ජවිපෙට ඇරගෙන තමයි ආරංභ වෙලා තියෙනවා කියන්නේ....ඊට පස්සෙ ඒ සංගමයේ අය දිගටම කරගෙන ආ අරගලය තුලින්1971 කැරැල්ල ආරංභ උනාලු.... මෙකට වැඩිපුරම තරුණ ළමයි තමයි එකතු වෙලා තියෙන්නේ .... ඒකාලේ ලංකාවේ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යටතේ වූ, ලංකාවේ ආණ්ඩුවට එරෙහිව, කොමියුනිස්ට් ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) "සමගි පෙරමුණ"ට පහර දීමට තමයි ඇවිත් තියෙන්නේ ..... ඒ වෙනුවෙන් ඔවුන් තරුණයින් උසිගන්වලා තියෙනවා...."


"ඉතිං ඊට පස්සෙ ...?


" 71 ජවිපෙ කැරැල්ල මර්දනය කිරීමේදී ,සමගි පෙරමුණ ආණ්ඩුව අතින් කැරැලිකරුවන් දාස් ගානක් ඝාතනය වෙලා තියෙනවා...

1971 කැරැල්ලෙන් පස්සේ එයට සහභාගි උන,එයට උදව් කල නායකයො, අත් උදව්කරුවන් සිරගත කරලා, පුනරුත්ථාපනය කරලා තියෙනවා ....


"එහෙනම් මේ ආයෙත් පටන් ඇරන් තියෙන්නේ ....?

" ඊට පස්සෙ විජේවීර ඇතුළු සිරදඬුවම් විඳිමින් සිටි සියලු දෙනා 1977 නොවැම්බර් 2 දින එජාප ආණ්ඩුව මගින් නිදහස් කරානේ....ඒ නිසා තමයි මේ ඔක්කොම කරදර ආයෙත් පටන් ඇරන් තියෙන්නේ ....... ඒ නිදහස් උන නායකයො නැවත එකතු වෙලා,... ජවිපෙ 2 වැනි කැරැල්ල කියලා තමයි,... මේ , කාලයේ මේ පටන් ඇරන් , සිද්ද වේගෙන යන්නේ......"


" ඔයාට ඒ කාලේ උන දේවල් මතකද...?


"මට මේවා මුකුත් මතක නෑ...අපේ අම්මලා කියන දේවල් තමයි මම දන්නේ...ඔයා නම් ඉපදිලත් නැතුව ඇති ඒ කාලේ.......


"අනේ මන්දා මට නම් දැන් ගෙදර ඉන්නත්, පාරෙ යන්නත් බයයි...."


"හෙට උදේම අපි මීගමු යන්න ඕන නිසා ඉක්මනට නිදා ගන්න යමු...."


පසුදින පාන්දර අප දෙදෙනා අම්මා ඔතා ගැට ගසා දුන් කැවිලි පෙවිලි ආදිය ද අපට ලැබුණු පොඩි ත්‍යාග පෙට්ටි දෙක තුනක්ද

රැගෙන මීගමුව බලා නැවත ගියෙමු.


"මට නම් දැන් හිතේ තියෙන්නෙ කියන්න බැරි තරම් සතුටක්...අපි නීතියෙන් කසාද බැදපු එකේ වටිනාකම මට දැන් තමයි තේරෙන්නේ....."


"මටත් එහෙම තමයි. මොනව වුණත් ගෙවල් දෙකේ ම නෑදෑයින්ගෙ ආශිර්වාදය අපට ලැබුණු එක හරි වටිනවා.... අපි දැන් නිදහස්නේ... කාටවත් බයේ ඉන්න ඕනේ නෑ, අපි දැන් කසාඳ බැඳල නිසා....මාමටයි නැන්දටයි පිං සිද්ද වෙනවා අපිව පිලිවෙලක් කලාට..."


"ඒක තමයි මටත් තියෙන සතුට...."


"අපි තව සුමානයකින් දෙකකින් විතර, සල්ලි ටිකකුත් එකතු කරගෙන කොහේ හරි විනෝද ගමනක් ගිහින් එමුද දුලීකා ....."


"අනේ සුමිත් ඒක නම් හොද අදහසක්.... මට ආසාවේ බෑ විනෝද ගමනක් යන්න ......ඇයි අපි කසාද බැදපු වෙලේ, තෑගි වලට ලැබුන සල්ලි ටිකකුත් අපට තියෙනවානේ .... අපට ඒ සල්ලි වලින් විනෝද ගමනක් ගිහින් එන්න පුලුවන්නේ ..."


" අපි ඒවා නාස්ති කරගන්නෙ නැතුව ඉමු දුලීකා ....."


"එහෙනම් ඔයා මේ දවස් වල ටිකක් වැඩිපුර මහන්සි වෙලා, වැඩ කරලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලන්න....."


"අපොයි ඔව්...මේ ජ්විපි කරදර කාලේ නිසා, පුලුවන් උන හැම වෙලාවකම වැඩක් කරලා සල්ලි හම්බ කරගන්න ඕනේ...කොයි වෙලේ මේ පෙරමුණේ කට්ටිය ඇදිරිනිතිය දායිද දන්නෑනේ...."


"අපි කවද්ද මඩුපල්ලි යන්නෙ සුමිත් ......? මඩු පල්ලියේ මංගල්‍යයට ගිහින් අපි දවස් කීයක් එහේ නැවතිලා ඉඳල එනවද.....?"


"දවස් තුනක් විතර ඉමු....සල්ලි ටිකක් වැඩිපුර ඇරගෙන යමු,හදිස්සියක් උනොත්, ගන්නත් එක්ක...."


"අනේ ඒක නම් කොච්චර දෙයක් ද..? මං කවදාවත් මඩු පල්ලි ගිහින් නෑ. මට ආසාවේ බෑ යනකම්...."


විවාහයෙන් පසු නැවත මීගමුවේ ගොස් සුපුරුදු පරිදි අපි ඇසිලින් අක්කාගෙ කාමර කෑල්ලේ පදිංචි වී අපේ අලුත් විවාහ ජීවිතය බොහෝ සතුටින් සැහැල්ලුවෙන් ගත කෙලෙමු.


සැමදා උදයේ සුමිත් මාළු මුදලාලි ලග වැඩට යයි...දවල් වෙනවිට ගෙදර එන ඔහු දවල්ට බත් කා හවස් වරුවේද තව කුළී රැකියාවක් සොයාගෙන යයි.... හවස් වනවිට ගෙදර එන ඔහු මා සමග මුහුදු වැල්ලේ ඇවිදින යන්නේ සතුටිනි. සෙනසුරාදා ඉරිදට.... සතියේ දින හම්බකරන සල්ලි වලින් එහේ මෙහේ කොහේ හරි විනෝද ගමනක් යන්නටද අපි අමතක නොකෙරුවෙමු. මගේ ජීවිතේ හොඳම, සතුටුම කාලය මෙසේ මගේ ආදර සැමියා සුමිත් සමග ගෙවි යයි....


"සුමිත් ඔයා වගේ හොඳ සැමියෙක් මට ලැබුණේ මං ගිය ආත්මේ ගොඩක් පින් කරල තිබුණ නිසාවෙන්න ඇති.....මම පොඩිකාලේ ගොඩක් දුක් විදපු කෙනෙක්....මම හැමදාම පැතුවේ නිදහසේ මේ විදිහට ඉන්න පුලුවන්, මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මට ලැබෙන්න කියලයි...."


මං නිතරම සුමිත්ගෙ තුරුලට වී එසේ කියන්නෙ, ඔහු නිසා සතුටට පත් වී ප‍්‍රබෝධමත්ව ඉන්නා සෑමවිටමය.


"අපි තව ටික කාලයකින් වෙනින් ගේ කෑල්ලක් හොයා ගමු නේද? .."


"තව ටික කාලයක් ඉඳලා පඩි වැඩි උනාමම යමු....මොන සැප සම්පත් නොතිබුනත් අපි දෙන්නා සතුටින් ඉන්නවානේ මට ඒ හොදටම ඇති..."


අයිරින් අක්කගේ ලෑලි කාමරය අපේ නවාතැනයි....ඇගේ කුස්සියේම පැත්තක භූමි තෙල් ලිපක් තියාගෙන දවසට එකපාරක් උයාගන්නා අපි ,උයන හොදි මාළු ඇතිළි පිටින් කාමරයට ගෙනවිත් තියාගෙන කන්නෙමු. බිම එලූ පැදුර උඩ ඉඳගෙන, බෙලෙක් පිඟන් දෙක අතේ තියාගෙන කෑම කන අප දෙදෙනාට ,මේ තියෙන සැප සම්පත් අහසටත් උඩින් යැයි සිතේ...අපේ ආදරය, අපේ විවාහ ජීවිතය මේ ලෑලි කාමරය තුල නිදහසේ ගලා යන්නේ පුදුමාකාර සැහැල්ලුවකිනි....


සමහර දිනට, හවස් වරුවේ වැල්ලේ ඇවිද ඉද, ඇදන් ඉන්නා ඇදුම පිටින්ම මුහුදේ නා ගෙදර එන ගමන් පාරේ පයිප්පෙන් නාගන්නෙමු..... සමහර දිනට ලස්සනට ඇදපැලැද ටවුමට ගොස් පික්චර් එකක් බලා, තෝසේ කඩේකින් රෑට යමක් කා ගෙදර විත් බිමට එළා ගත් පැදුරේ එකට තුරුලු වී නිදාගන්නේ කියන්න බැරි තරම් සතුටකිනි. අම්මෙක් අප්පෙක්, නෑදෑයෙක්, ගෙයක් දොරක්, බඩුමුට්ටු ,යාන වාහන කිසිත් නැති අප දෙදෙනා , එදාවේල හම්බ කරගෙන තියෙන දෙයින් සෑහීමකට පත්වෙමින් ලෑලි කාමරයේ ජීවත් වන්නේ බොහෝ සතුටිනි.


සුමිත් වැඩට නොයන දිනට, නිතර ම අප දෙදෙනා කාලය ගත කරන්නේ වැල්ලේ ඇති පොල් ගස් සෙවනේය. උදේට සුමිත් වැඩට යන වෙලාවට, මම ඔහුත් සමග වැල්ලට යන්නට පුරුදු වි උන්නෙමි . ඔහු වැඩ ඇරි එනකම් ඔහු වැඩ කරන දිහා බලමින් මා වැල්ලේ වාඩි වී ඉන්නෙමි.

මා හට වෙන කරන්නට වැඩක් නැති නිසා මම එසේ වැල්ලේ වාඩිවී සිටින දවසක අයිරින් අක්කා මා ලඟට පැමිණ කතා කළා ය.


"නංගියේ උඹට වැඩක් නැත්නම් මට ලණු අඹරණ වැඬේට උදව් කරපං කෝ.... මං මාසෙකට කීයක් හරි උඹට දෙන්නම්...."


"අනේ අක්කේ ඒක කොච්චර දෙයක් ද.... මං මේ කම්මැලිකමෙන් වැල්ලෙ වාඩි වෙලා ඉන්නෙ සුමිත් එනකම්...."


"එහෙනම් වරෙන් යන්න....."


එදායින් පසු මම සුමිත් වැඩට ගොස් එනකම් අයිරන් අක්කාගෙ, ගේ දොරකඩ ලණු අඹරන වැඬේට උදව් කරන්නට පටන් ගත්තෙමි. ඇය දහවල් දහයට ඇය තේ බොන වේලාවට මට ද තේ කහට එකක් බීමට දෙන්නෙ වංඩු ආප්ප කෑල්ලක් හෝ ඥාන කතා කෑල්ලක් සමඟ ය. සුමිත් ගෙදර එන්නට පරක්කු වුණ දවසට මට ඇය දවල් කෑමටද මොනවහරි කන්නට දෙයි. බොහෝවිට ඒ රොටියක්, පාන් කෑල්ලක් හා මාළු හොඳිත්, පොල් සම්බල් වැනි දෙයක් සමගය. ඇගේ කෑම ඉතා රසවත්ය.


"සුමිත්ට කන්න මොනව හරි උයලා තියන්න ඕනේ අක්කේ, මම ගෙදර ගිහින් එන්නද...?


"ආ..එහෙනම් පළයං ..මම ඊයේ හදපු කරවල වගයක් ඇති කුස්සියේ, ඒකත් කන්න ගනින්. ..."


මම, සුමිත් වැඩ ඇරී එන්නට ප‍්‍රථම ඔහුට කන්නට බත්, මාළු උයා තබන්නෙමි. ඒ වෙලාවට මම ලණු අඹරන වැඩය නවත්වා කුස්සියට ගොස්, විගහට කෑම ටිකක් උයා අපේ ලෑලි කාමරය ඇතුලෙන් තියා නැවත ලනු අඹරන්නට එමි.


සුමිත් සැමදා වැඩ ඇරි ගෙදර එන්නේ ලිඳට හෝ පයිප්පයට නාන්න යන්න බලාගෙනය. ඔහු මාළු පෙට්ටි උස්සද්දි, මාළු වතුරෙන් පෙගී ගඳ ගසමින් සිටින නිසා කෑම කන්නට ප‍්‍රථම ඔහු පොදු ළිඳට හෝ පාරේ පයිප්පයට ගොස් නාගන්නේ මාත් සමඟ ය.


"අද හරි මහන්සියි. පෙට්ටි පනහකට වඩා ලොරියට පැටෙව්වා...."


"එහෙනම් අද හවසට කුලිය හොඳට ලැබෙයි...."


"ඔව්... අපි අද ෆිල්ම් එකක් බලන්න යමු. එන ගමන් කොත්තුවකුත් කාල එමු...."


"ෂා... එහෙනම් නියමයි.... මාත් ඔහු සමඟ ඇවිදින්නට යන්නේ ආසාවෙනි.

අපේ විවාහ ජීවිතය, අඩුපාඩු බොහොමයක් මැද ඉතා සතුටින් ගෙවී යයි. කොළඹ ලැයිමේ ගෙවපු ජීවිතය, පාදුක්කේ වෙලක් අයිනෙ ගෙවපු ජීවිතය, නුවර සුන්දර පරිසරයක සනීප දේශගුණයක ගෙවුණු ජීවිතය හා දැන් මීගමුවේ වැල්ල අයිනෙ පොඩි ලෑලි කාමරයක ගෙවන ජීවිත දිහා බලද්දි මා සතුටෙන් ම ගත කරන්නෙ මේ ජීවිතය තුල යැයි මට සිතේ..... සුමිත් සමඟ තියෙන දෙයක් බෙදා හදා ගෙන කා බී ලෑලි කාමරයේ පැදුරු කඩමල්ලේ වැටී ගෙවෙනා මේ ජීවිතය කොයිතරම් අඟහිඟකම් තිබුණ ද මා සතුටින් ඉපිලෙමින් ගත කරන්නෙමි.


සුපුරුදු ලෙස මාත්, සුමිතුයි මීගමුවේ අයිරින් අක්කාගෙ ලෑලි ගෙයි ඉතා සතුටින් දැන් මාස තුනක කාලයක් ගත කර තිබුනි. සුමිත් උදේ පාන්දර වැඩට ගොස් දවල් එනවිට මා උයා පිහා දෙන දෙයක් කා නැවත හවස් වරුවේ, කඩපලට ගොස් තව මොනවාහරි කුලී වැඩක් කරදෙමින් තව කීයක් හරි හොයා ගනියි.


"දුලීකා.... දුලීකා .. දන්නවද වැඩක්. මට අද අලුත් රස්සාවක් හම්බුනා...."

සුමිත් වැඩ ඇරි දිනක් ගෙදර ආවේ බොහෝ සතුටිනි.


"අනේ ඇත්තද...මොකක්ද රස්සාව...?


"මාළු මුදලාලිගෙ ලොරියක් එළවන්න හම්බ වුණානේ.... හෙට ඉඳන් උදේට ලොරිය කොළඹ එළවන්න එන්න කිව්වා..."


"අප්පේ ඒක කොච්චර දෙයක්ද....ඇත්තටම මට හරිම සතුටුයි ඒ ආරංචියට නම්..... එහෙනම් මීට පස්සේ ඔයා මාළු පිලී ඇගේ බේරගෙන පෙට්ටි කරගහන්න ඕන නෑ...."


"ඔව්....ඒකනේ...මේ අපේ හොඳ කාලේ, මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ....."


විවාහයෙන් මාස තුනක් ගත වෙන කොට, සුමිත්ට කවදත් කල, පුරුදු රැකියාවම කරන්න ලැබීම අපට ලොකු සතුටක් විය. නමුත් ඔහු මා සමග ගෙදර හිටි කාලය ටිකක් අඩු විය. ඒ ගැන නම් මට දුකක් නැත. ඒ ඇසිලින් අක්කා සමග මම, ඇගේ ලණු ඇඹරිල්ල කරන නිසා, මටත් කියක් හරි අතට හොයා ගන්නට ලැබිම නිසයි .


සුමිත්ට ලොරිය එළවන්න හම්බ වුන විට පඩිය ද වැඩි විය. උදේ පාන්දරින් ගෙදරින් යන ඔහු හවස් වනවිට ගෙදර එයි. දවල් දවසට පාළු යන්නත් එක්ක මම අයිරින් අක්කාට ලණු අඹරන්න උදව් කරන්නෙමි. ඇය ඒ වෙනුවට මට, පොඩි ගානක් අතමිට මොළවන අතර, මට දවාලට කන්නද දෙයි. මම හවස සුමිත් එන වෙලාවට ඔහුට කන්නට, උණු උණුවේ බත්, මාළු උයා තබන්නෙමි.


වැඩ ඇරි එන ඔහු, සමහර දවසට දැන් පුංචි අඩියක් ගසා ගෙදර එන්නටද පටන් ගෙන ඇත. ඇඟේ මහන්සියට එසේ කරනා බැව් ඔහු කියද්දි මං එය පිළිගන්නෙමි.


අප කසාඳ බැඳ මාස හතරක් විතර යනවිට මා ගැබනියක් වුන ලකුණු පහල විය. මාව ගැබිණි සායනයට මුලින්ම එක්කගෙන ගියේ ඇසිලින් අක්කයි.... ඇය මට මවක් මෙනි... මම කන්න ආස කරන කෑම හදා ඇය මට කන්නට දෙයි. අඹ, වෙරළු, අච්චාරු සාදා දෙයි. ළමයෙක් හම්බ වෙන්න ඉන්නකොට පිළිපැදිය යුතු කාරණා නිතර කියා දෙයි.


මම ගැබනියක වූ බව අසා සුමිත් ඉතා සතුටට පත් වි ඇත.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page