top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 12, 2021
  • 5 min read

💥ගිමන් හරිමි 💥

(34 වෙනි කොටස )

අපි නුවර සිට අපේ පාදුක්කේ ගෙදර බලා යන විට හොදටම හවස් වි තිබුනි....අප දෙදෙනා අපේ ගෙදරට යන නියර දිගේ ඇවිද යන විට, වෙලේ සරුංගල් අරිමින් සිටි මල්ලිලා දෙන්නා අප දැක කෑ ගසාගෙන ගෙදර දුවනට විය.


"අම්මේ...අම්මේ....

අක්කා,අලුත් අය්යත් එක්ක ගෙදර එනවෝ...."

ඔවුන් දෙදෙනා සතුටින් කෑගසාගෙන ගෙට දුවන විට, අම්මා ඇද සිටි ගවුමෙන් අත් පිස දමමින් පැමින ගෙයි උළුවස්සෙන් ඔළුව දමා, එළිය බැලුවාය.


"අප්පේ...මොකද මේ අලුත් ජෝඩුව අදම මේ පැත්තෙ ..."


"දුලීකට ගෙදර ඇවිත් යන්න ආසයි කිව්වා...."


"ඒක මිසක්...වරෙල්ලා දරුවනේ ගෙට..."


අම්මා අප දැක, සතුටින් ඉපිලි ඇති ගානය. ඇය මා බදා ගෙන ඉඹ, ගේ තුළට කැදවා ගෙන ගියාය.


"ආ..ළමයිනේ අදම ආවේ...අපි හිතුවා තව දවස් දෙක තුනකින් එයි කියලා ..."


බාප්පාද අප ගේ තුලට එනවා දැක අප සමග හොඳින් කතා කලේය.


"දුලීකට මෙහෙ ගෙදර එන්න ඕනෙ කිව්වා බාප්පේ.... ආයෙත් මීගමු යන්න ඉස්සර ......"


"ඒක හොදයි ..දෙන්නත් එක්ක ඇදුම් මාරුකරගෙන කාලා බීලා හිටියනම් මොනවත්..."


"අම්මේ නැන්දලා හෙට දවල්ට මෙහෙ එනවා කිව්වා...මොනව හරි හොදට කන්න හදන්න වෙයි...ඉස් ඉස්සෙල්ලමනේ සාමා නැන්දා මෙහෙ එන්නෙත්..."


"එහෙමද... හෙටම එනව කිව්වද....?., එහෙනම් මම මල්ලි එක්ක කඩපලට ගිහින් හෙට දවාලට උයන්න මොනවත් ඇරගෙන එන්නම්...."


මමත් සුමිතුත් ඇදුම් මාරු කරගෙන ගොස් , කුඹුරේ ලිදෙන් ඇගපත හොදාගෙන ආවෙමු. අප දෙදෙනා දවාලට කෑම කා නොතිබුන නිසා, අම්මා දවල්ට උයලා තිබුන දෙල් මාළුව හා කරවල බැදුම එක්ක අපි බත් කෑවේ හිතේ සතුටින් සැහැල්ලුවෙනි.


ඒ ටික වෙලාවට අම්මා, මල්ලී සමඟ කඩිමුඩියේ කඩ පොළට ගොස් හාල්, තුනපහ බඩු රැගෙන විත් ඇත. ඒ හෙට දවාලට, මාමලාට උයා කන්නට දෙන්නය.


එදින හවස ලොකු අයියාද එක අතිකින් බඩු මල්ලක් උස්සාගෙන ගෙදර ආවේ අම්මාගෙ අනුදැනුම ඇතුව යැයි මට සිතිනි.


"හෙට දවල්ට මල්ලිලා එනවා කිව්ව නිසා, මං මේ අවට ගෙවල් දෙකක, අපි හොදින් දන්න පවුල් දෙකක ඈයින්ටත් දවල්ට කන්න එන්න කිව්වා....දුලීකා කසාද බැදපු නිසා ඒ අයත් ආසාවෙන් ඉන්නේ දුලීකා බලන්න ....."


අම්මා කලබලේ ගෙයි එහාට මෙහාට දුවමින් හෙට දවාලට ගන්නට කෑම ලෑස්ති කරන්න එළවලූ, මාළු කපමින් සිටියාය.


"අක්කේ, උඹ පණිවිඩය ඇරපු ගමන් මං මේ ආවා....දුලීකා කසාද බැදපු බව අහලා අපටත් සතුටුයි ...අපිත් ඉතිං පුලුවන් විදිහට උදව් කරන්න එපෑ..."


අල්ලපු ගෙදර මාලා නැන්දා දුවත් සමඟ ඇවිත් ඇත්තේ හෙට දවාලට උයන්න, අම්මට උදව් වෙන්නටය.


"එන්න... එන්න... නංගියේ මං මේ මස් ටික කපල ඒදලා තිබ්බා...රෑට උයලා තියෙනවා දවාලට ගන්න. වම්බටු ටික තමයි බැඳගන්න ඕනේ..."


"දැන් හෙට දුලීකා මොනවද අදින්නේ....සාරියක්ද?"


"ඔව් නංගියේ මම ගත්ත හොද සාරියක් තියෙනවා , උඹට පුළුවන්ද ඒකේ හැට්ටෙ ටිකක් දෙපැත්තෙන් මහලා දෙන්න. කෙල්ලට ලොකු වැඩියි වගේ..."


"මොකෝ බැරි, මම මේ වම්බටු ටික බැදලා ඉවරවෙලා ඒක හදලා දෙන්නම්කෝ ..."


රෑ වනවිට බාප්පා ඕවිට ගෙදර මිදුලේ, ස්ටූලයක් උඩ අරක්කු😁 බෝතලයක්, සෝඩා බෝතලක් හා මුරුක්කු පැකට්ටුවක් කඩා පිරිමි සමඟ බොන්නට පටන් ගත්තේය...ඒ බාප්පයි, සුමිත්, ලොකු අයියා, හා මාලා නැන්දාගේ මනුස්සයා ඒ අතර විය. ඔවුන් අඩියක් ගසමින් ආ ගිය තොරතුරු කතා කරමින් සතුටු වෙයි.... රෑ වනවිට ඔවුන් සිංදු කියමින් බේසමකට තට්ටු කරමින් අත්පුඩි ගසමින් සිංදු කියන්න පටන් ගත්තේය.


"මේ ඔයා වැඩිය බොන්න එපා..."මම සුමිත් ලඟට ගොස් ඇඟිල්ලෙන් ඇන ඔහුට කිව්වෙමි.


"මොකද... මොකද... අලූත් මනමාලයාට බොන්න එපා කියනවද..?"


හිනාවෙමින් අනිත් කට්ටිය සිනාවෙද්දී මා කුස්සියට ගොස් මාලා නැන්දාට හා අම්මාට රෑ කෑම හදන්නට උදව් විය. පසුදිනට උයන්නට අවශ්‍ය දේ ද සාදා නිම කළ ගැහැණුන් පැමිණ බයිල සාජ්ජය නතර කරන්න කීය.


"ඔය බීගෙන කෑගහන්න එපා...දන්නවානේ අර කැරළි කාරයින් දැනගත්තොත් ඉදලා ඉවරයි...."


"ඔව්..ඔව් මේ කාලේ වැඩි සද්ද බද්දයක් නැතුව ඉන්න ඕනේ...දන්නවානේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය දාලා තියෙන නීතී....මතකනේ ගිය සුමානෙත් අර ලන්දේ මරලා දාලා තිබුන කොල්ලෝ දෙන්නගෙ මිනී දෙක..."


"අනේ මන්දා දැන් මේ 1987 ඉදන්නේ මේ කැරළි කරුවන්ගෙන් මිනිස්සුන්ට තියෙන කරදරේ..."


"අපිත් දැන් කාලා බීලා ඉවර නිසා ගෙවල් වලට ගියානම් හොදයි නේද..."


"ඔව්..ඔව්..රෑ වෙනකොට ගෝනි බිල්ලොත් එන්න බැරි නෑ...."


"අනේ මන්දා අමාරුවෙන් හම්බ කරගත්ත දෙයක් බඩට දාගන්න නිදහසක් නැති කාලයක් උනානේ..."


"මේ ගෙවල් වල ඉන්න කොල්ලන්ට පරිස්සමට ඉන්න කියන්න ...තරහ කාරයොත් ජ්.වි.පි එක පිටින් දාලා තරහ පිරිමහගන්න කාලයක් මේක...."


"ඔය ළමයි දෙන්නත් මීගමු ගිහාම පරිස්සමට ඉන්න බලන්න ..."


"ඔව්...ඔව්. රෑ වෙනකොට ගෙවල් ඇතුලට වෙලා ඉන්න බලන්න ..."


පසුදින උදේ පාන්දර අම්මාත්, මාලා නැන්දා හා මම නැගිට දවල්ට ගන්න කෑම උයා පියා තැබුවෙමු.


"දුවේ උඹ ගිහින් හෝදගෙන අර සාරිය ඇඳ ගනින්.... දැන් මාමලත් එනව ඇති. මණමාලි ගවුමක් ඇඳ ගෙන ඉන්න කොට හරි නෑනේ...."


"මට සාරිය තනියම ඇඳගන්න බෑ අම්මේ...."


"ඔය මාලා නැන්දගෙ කෙල්ලට කියල ඇඳ ගනින්.... මං ඉක්මණට කුස්සියෙ වැඩ ඉවර කරල එන්නම්...අර තව එහා පැත්තෙ ගෙවල් පවුල් දෙකක අයටත් මම දවල්ට කන්න එන්න කිව්වා.... "


ජීවිතේට දෙවන වරට සාරියක් අදින මම මාලා නැන්දාගෙ දුවට කියා සාරිය අන්දවා ගත්තාය. ඒ සාරිය අම්මා අලුත ගත්ත එකකි. එහි හැට්ටය මාලා නැන්දා දෙපැත්තෙන් ගසා මට සාදා දුන්නාය.


දවල් වෙනවිට නැන්දලා, මාමලා අවට ගෙවල් දෙකක මිනිසුන් දවල් කෑමට ආවෝය. ඔවුන් අපට තෑගි බෝග ද රැගෙන විත් තිබිණි.


දවල්ට කෑම කා සිංදු කියා සතුටු වූ ඔවුන් විසිර ගියේ අපට සුභ පතාය. අප ඒ හැමෝගේම ආශිර්වාදය ඉතා සතුටින් භාර ගත්තෙමු.


මම නුවරදි අපේ කසාදය රෙජිස්ට්‍රාර් කරපු දිනට වඩා අද දින බොහෝ සතුටට පත්ව සිටියෙමි. අද දින සුමිත්ගෙ අම්මලාටත් මේ උත්සවයට එන්න කියන්න අපේ අම්මාට උවමනා වී තිබුනත්, සුමිත් කිව්වේ එය අවශ්‍ය නැති බවකි. කවුරුත් මගෙ මූණට, සුමිත්ගෙ අම්මා මට කැමති නැති බව කතා නොකරාට, ඒ ගැන හැමෝම දැනගෙන අවබෝධ කරගෙන සිටිම මට පහසුවක්, විය.


අපගේ මංගල්‍යයේ, දෙවන ගමනද එසේ බොහෝ සරළව නිමා විය. මගේ ජීවිතයේ මා සතුටින් ම ගත කළ දින කිහිපය , අපේ විවාහයෙන් පසු ගෙදර අය සමග ගෙවන්න ලැබුනි. සුමිත්ගෙ අම්මා කෙසේ වෙතත් , දෙපැත්තේ ම නෑදෑයින්ගේ ආශිර්වාද මැද සුළුවෙන් හෝ මංගල්‍යයක් ගෙන කසාඳ බඳින්න ලැබීම මා කවදාවත් නොපතපු දෙයකි. සුමිත් සමඟ හොරෙන් පැන යන විට මා සිතුවේ මීට පසු මට මගේ අම්මා, මල්ලිලා, නැන්දලා, මාමලා කවදාවත් දකින්න නො ලැබේයැයි කියායි. නමුත් කුමක් හෝ වාසනාවකට ඔවුන් අපව කැඳවා අපේ මංගල්‍යය සුළුවෙන් හෝ පැවැත්වූයේ මා විසින් පවුලේ අය වෙනුවෙන් කාළයක් තිස්සේ කළ උපකාරවලට ප‍්‍රතිඋපකාරයක් ලෙස යැයි මා හට සිතේ.


අවුරුදු දහසය පිරීමටත් ප‍්‍රථම මා මණමාලියෙකු වුයේ හොර වයසක් දමා නිත්‍යානුකූල විවාහයකට උරුමකම් කියමින්‍ය. මා ආදරය කළ ප‍්‍රථම පෙම්වතා අද මට හිමි වී ඇත. අම්මාට හොඳ බෑනා කෙනෙක් ද, මල්ලිලා, අයියාට හොඳ මස්සිනා කෙනෙක් ද අද අපේ පවුලට එකතු වී ඇත.

මණමාලියෙක් ලෙස සුදු සාරියකින් සැරසී රෙජිස්ටාර් ඉදිරියේ දිවුරුම් දීමට තරම් මා වාසනාවන්ත තැනැත්තියක් වූයෙ ගිය ආත්මේ නෙමේ මේ ආත්මයේ මම මගේ පවුල වෙනුවෙන් කල කී දෑ වෙනුවෙන් වෙන්නැති. නිත්‍යානුකූල විවාහය ගැන හැගීමක් නොතිබුන මම, මාගේ විවාහයෙන් පසු, මට අනෙක් අයගෙන් ලැබුන ආදරය කරුණාව, ගෞරවය නිසා, විවාහය ගැන ලොකු හැගීමක් ,බරපතල කමක් හිතට දැනෙමින් තිබුනි.මගේ හිතේ දැන් ඇතිවි ඇතු සතුට උතුරා දෝරෙ ගලා යයි... සුමිත් වගේ හිත හොඳ ධෛර්යවන්ත තරුණයෙකු කසාඳ බැඳීමට තරම් මා වාසනාවන්ත වීම දෙවියන් විසින් මා හට දෙන ත්‍යාගයක් ලෙස මම සිතමි.


"දුවේ තව දවසක් දෙකක් මෙහේ ඉඳලම මීගමු යන්න...."

මම නිත්‍යානුකූල ලෙස විවාහයකට යෑම ගැන අම්මා සිටින්නේ සතුටින් පිනා යමිනි...එය ඇගේ මුහුනින් හොදින්ම පෙනේ...ඇගේ ජීවිත කාලයේම, මගේ ලමා කාලයේ සිට අද වෙනතෙක්, දිනෙන් දින මම වැඩිවියට පත්වෙද්දී ,මගේ අනාගතය ගැන මා පරිස්සම් කර ගැනිම වෙනුවෙන් ඇයට තිබු බය දැන් නැතිවි ඇත.... ඇයගෙ එකම දියණිය කුල කුමරියක ලෙස විවාහ වීම ඇයගෙ හිතේ තිබූ විශාල බලාපොරොත්තුවක්, සැකයක්, බයක් නැතිවි සතුටු දායක පුවතකි. .... ඇය දැන් ඇගේ එකම දියණියගෙන් නිදහස් වී ඇත. ඇය ගෙදර නැති කාලයේ මල්ලිලා හා අයියාට මවක වූ මා ගැන ඇගේ හිතේ තිබූ සියලූ බලාපොරොත්තු අද ඉෂ්ඨ වී ඇත. ඇය මටත් සුමිත්ටත් ඉතා ආදරයෙන්, කරුණාවෙන් සැලකීම,. ඇගේ කරුණාව, ආදරය හිතා ගැනීමට බැරි තරම්‍ය....


"බෑ... අම්මේ වැඩි දවසක් මෙහෙ ඉන්න බෑ.... සුමිත්ගෙ රස්සාව අලූත හම්බ වුණ නිසා අපි ඉක්මණට මීගමු යන්න ඕනේ...."


"එහෙනම් අද ඉඳලා හෙට පලයල්ලා... මං ගෙනියන්න කෑම බීම ටිකක් එහෙමත් ඉතිරි කරල තියාගත්තා...."


"ආ... ඒක හොඳයි. අපි නැවතිලා ඉන්න ගෙදර, අයිරින් අක්කටත් දෙන්න පුළුවන් කෑම එහෙම නම්..."


" අම්මලා දවසක ඒ පැත්තෙ ඇවිත් යන්න එන්නකෝ.... තවම නම් අපි ඉන්නෙ පොඩි කාමර කෑල්ලක. පඩිය ටිකක් වැඩි වුණාට පස්සෙ අපි පොඩි ගේ කෑලල්කට යන්න හිතාගෙන ඉන්නේ..."


"ඔව්... ඔව්... මුලින් පොඩියට තමයි හැමදෙයක් ම කර ගන්න ඕනේ.... පස්සෙ බැරියැ දෙන්නට දියුණුවෙලා ගේ කෑල්ලක් කුලියට ගන්න...."


"අනේ... ඔව්. අම්මේ දැනට මේ ඉන්න විදිහ හොඳයි..."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page