💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 6 min read
💥ගිමන් හරිමි💥
(33 වෙනි කොටස)
අප දෙදෙනා බොහෝ වේලාවක් ගෙයින් එළියේ ගුරුපාර අයිනේ, අපේ අනාගතය ගැන, අප ඉදිරියේදි කළ යුතු දේ ගැන කතා කරමින් සිටියෙමු.
අප දෙදෙනා කතා කරමින් ඉඳ ගේ ඇතුළට විට අම්මත්, අක්කාත් වේලාසන කාමරයට ගොස් නිදාගෙන ඇති බව කීවේ නංගියි...
"කෝ නංගියේ අම්මයි අක්කයි...?"
"නිදාගන්න ගියා...අන්න ඔය දෙන්නගෙ කෑම පිඟන් වලට බෙදල මේසෙ උඩ ඇති..."
නංගි ටෙලිවිෂනය දෙස බලාගෙන මොනවාදො පිඟානක දාගෙන කන ගමන් කීය.
"මෙච්චර ඉක්මනට නිදාගන්න ගියාද..?"
"ඔය ගිහින් තියෙන්නේ ..."
නංගියි මල්ලියි ටෙලිෆිශනය ඉදිරිපිට කෑම කන ගමන් හිදියි... අද මේ ගෙදර නවතින්න ආ මම ගැන, ඔවුන්ගේ අම්මාට අක්කාට මෙන්ම…..ඔවුන්ටද ලොකු විශේශයක් නැත.
"අපිත් කෑම කාලා නිදාගන්න යමු දුලීකා .."
සුමිත් ඉන්නේ දෙකට දෙගිඩියාවෙනි. ඔවුන්ගේ අම්මාගෙ අක්කාගෙ පැත්ත ගම්දෝ...මගේ පැත්ත ගම්දෝ කියා, ඔහුට තීරණය කිරිමට බැරි ගානට ඔහු අසරණ වි ඇත.
" ඔය මේස උඩ කෑම පිඟානටම බෙදල ඇති ඇති අක්කේ, ගිහින් කන්න ...." නංගි නැවත මා දෙස බලා කිය.
අප දෙදෙනාට අපේ මගුල් ගෙදර වුන අද දවල්ට ද, සතුට වැඩි කමට හරියට කෑමක් කන්නට බැරිවිය... හවස අඟපත හෝදා ගත් පසු මට හොඳට ම බඩගිනි වී තිබිණි. එය සුමිත්ට කීමට මම මැළි විය.
අප දෙදෙනා කෑම මේසය ලගට ගොස්, කෑම පිඟන් දෙක ඇර බලද්දී එහි තිබුණේ වට්ටක්කා හා කරවල බැදුමක් සමග සුදු බත් පමණි.....
"අපේ ගම් වල නම් වට්ටක්කා කරවල හදන්නේ මළගෙවල් වලට විතරයි ...අද වගේ හොද දවසක අපට මේවනෙ කන්න උනේ...." මම නොකැමැත්තෙන් සුමිත් ට කීවෙමි.
"ඔන්න ඔහේ තියෙන දෙයක් බඩගින්නට කමු..."
සුමිත්ට ඒවායෙ ගානක් නැත. ඔහු බත් පිගාන ඇර මටත් පෙර කන්නට පටන් ගෙනය.
අද දවසෙම ඔහුත් සිටියේ හිත සතුටකින් නොවන බව මම දැනන් උන්නෙමි. ඒ ඔහුගෙ මව අපගේ කසාදයට ඇති නොකැමැත්ත නිසා බව මම හොදින්ම දැන සිටියෙමි.
"හරි බඩගිනියි දුලීකා ...ඉක්මනට කන්න....."
සුමිත් මෙන්ම මාත් බඩගින්නට එය, ඔහු ලෙසම කන්නට පටන් ගත්තෙමි. ඉක්මනින් බත් පිඟන් දෙක කා දැමූ අප දෙදෙනා පිඟන් සෝදා තබා කාමරයට ගියෙමු.
ගෙදරින් හොරෙන් පැන ගොස් මීගමුවේ නැවති සිටි සුමාන දෙකේම, අප දෙදෙනා, සතුටින් සැහැල්ලුවෙන් එකට තුරුල් වී අපේ හැඟීම් සිතු සේ මුදා හරිමින් නිදා ගත් අපි දෙදෙනා ....නුවර ආපසු ගෙවි ගිය දින තුනම, දෙදෙනාට දෙතනක නිදා ගන්නට විය. අද අපි දෙදෙනා කසාද බැදපු දින, අප දෙදෙනාගේම හිත් කළු ගල් දැම්මා සේ බර වී ඇත. සුමිත්ගෙ අම්මා අක්කා අපි ආදරයෙන් පිළි නොගත් නිසා අපේ හිත්වල ඇත්තේ දුකකි, බයකි, සැකයකී.....
මණමාලියක සේ උදේ ලස්සනට ඇදුම් ඇඳ ගෙන නීතියෙන් අප දෙදෙනා එකතු වුණ අද දිනේ නෑදෑයින්ගේ ආශිර්වාදය ලැබුණත්, අද අප දෙදෙනාගේ ම හිත් තුල ඇත්තේ නොසන්සුන් බවක් පමණි. සුමිත්ගෙ අම්මාගේත්, අක්කාගේත් වෙනස්කම් නිසා අප දෙදෙනාට මේ ගේ ඇතුලේ සිටිමට පවා බය සිති ඇත.
අපට එකට එකතු වී නිදියා ගැනිමට වත් හිතට අවශ්‍යතාවයක්, ආසාවක් නොයෙයි. එහා කාමරයේ නිදා සිටිනා අම්මාත්, අක්කාත් මතක් වෙන විට, මෙතනින් පැන යන්නට සිතෙ.... අප දෙදෙනා රෙද්දක් පොරවාගෙන ඇදේ දෙපැත්තකට හැරි නිදිය ගත්තෙමු. දෙදෙනෙකුට එකට ආදරයෙන් එකතු වීමට නම් අනිවාර්යයෙන්ම හිතේ සැහැල්ලූවක් නිදහසක් තිබිය යුතුම ය.
සුමිත්ගෙ අම්මාගේත්, අක්කාගේත් නපුරු, මුහුණු මතක් වෙද්දී මට තිබුණේ කියා ගන්න බැරි තරම් දුකකි, බයකි.... මා දෑවැද්දක් නැතුව ආ ලේලි කෙනෙකි ලෙස ඇගේ අම්මා සැමට කියමින් මා පාච්චල් කරන තත්ත්වයට එන්න තරම් දරුනු කෙනකු වි ඇත.... ඔවුන්ගේ මේ වෙනස්කම් නම් කවදාවත් ඉවර වෙන නපුරු කම් නොවනු ඇත.
අම්මාගේත්, අක්කාගේත් මුහුණු මතක් වෙද්දී මට ඇතිවන්නේ කියා ගන්න බැරි තරම් බයකී....ඒ සමගම මට මම ගැන දුකක් ඇතිවේ...කවදාවත් මට මගේ කියන්න විශේෂ දවසක හිතේ සතුටක් ලබන්න වාසනාවක් නැති කෙනෙක් වි ඇති හැටි....මම අවුරුදු එකලොහෙන් වැඩිවියට පත්වි මාව නාවපු දවසේම, මගේ අම්මගෙ තාත්තා අන්ත්‍රා විය. එදින මගේ අම්මා කිව්වේ, මේකිගෙ අපල තාත්තගෙ පිටින් ගියා....මේකි වගේ අවාසනාවන්ත කෙල්ලක් කියයි....ඒ වගෙම මම කසාද බැදපු දින, මම සුමිත් සමග එකට එකතු වුන දිනද,....මට සතුටක් නොලැබුන දවස් වේ.... මම දෑවැද්දක් නැතුව ආ ලේලි කෙනෙකු නිසා, සුමිත්ගෙ අම්මාගෙ මේ වෙනස්කම් බවද මම දනිමි....මම වගේ අවාසනාවන්ත කෙල්ලෙක් කියා මටම සිතේ....මගේ ඇස් දෙකෙන් කදුළු ගුලි පැන, ඔළුව තියාගෙන සිටි කොට්ටය උඩ දියවි යන්නට විය...
හරියට හිතේ සතුටක් නැතුව නිදාගත් මට, මුළු රෑම සැරෙන් සැරේ ඇහැරිනි ....එළිවෙන්න කිට්ටුව නින්ද ගිය මට උදේ නැගිටින විට සුමිත් ඇදේ නොසිටියාය. මම හෙමිහිට ඇදෙන් බැස ගෙයින් එළියට යන විට සුමිත් ගෙදර ලිද ලග මුහුන සෝදමින් සිටිනු දැක ගත හැකි විය.
මම ඒ දෙසට යන විට, අම්මත්, අක්කත් වත්තේ එළවලූ පැලවලට සාත්තු කරමින් සිටිනු පෙනින.
එබැවින් මම විගහින් කුස්සියට ගොස්, සුමිත්ට තේ කෝප්පයක් හදා දී මා ද තේ කෝප්පයක් බිව්වෙමි.
"අපි යං තව ටිකකින් මාමලාගෙ ගෙදර පැත්තෙ ..... මට කන්න නැතත් සතුටින් ඉන්න ඕනේ සුමිත් ... මට බෑ මගේ මූණ බලන්නෙ නැති අයත් එක්ක මේ ගෙදර ඉන්න...."
"ඔයා එහෙනම් ඉක්මනට ලෑස්තිවෙන්න මං අම්මට කියල එන්නම් අපි යනවා කියලා...
"
සුමිත් කුස්සිය පැත්තෙන් ගෙයින් එළියට බැස, වත්ත පැත්තට ගියේ අම්මට අපි යන බව කියන්නයි.....
මම ඒ අවසරයෙන් මුහුන සෝදා , ඉක්මණින් ඇඳ පැළඳ ගෙන මගේ ඇදුම් ටික බෑගයටද දමා ගත්තෙමි. මේ ගෙදරින් කොයිවෙලේ එළියට බැස යන්නේ ද කියා මම සිතමින් උන්නෙමි......
වත්තේ සිටි අම්මාට කතා කර ගේ තුළට ආ සුමිත්,
"එන්න තියෙන දෙයක් කාලා යමු, නැත්නම් ගාමිණි අය්යලා වැරදියට හිතයි......සුමිත් කීය.
ඔහු මා සමඟ මේසය ලඟට ගොස් එහි ඇති පිඟාන ඇර බැලීය. එහි රොටි දෙකක් සහ ලූණු මිරිස් ටිකක් තිබුණි.
සුමිත්ගෙ මුහුණ එය දැක හොදටම වෙනස්විය.
"යමු යන්න දුලීකා ...මුංගෙ කෑම...."
සුමිත් කේන්තියෙන්, හයියෙන් පිඟාන වසා දමා, කාමරයට විත්,
අපේ ඇඳුම් බෑග් දෙකත් අරගෙන ගෙයින් එළියට බැස්සේ මාව තදින් ඇදගෙන මෙන්‍ය.
"අම්මේ අපි යනවා...
සුමිත් කටහඬ උස්කර කීය.... එය ඇසූ ඇය කර උස්සා බලා නැවත ඇය කරමින් සිටි වැඩය කරන්නට පටන් ගත්තාය.
මම සුමිත්ගෙ අත අතහැර, වැට අයිනේ, අපට පිටුපා සිටි ඇය ලඟට ගොස් පහත් වී ඇයට අත් දෙක එකතු කර වැන්දෙමි.
"අම්මේ අපි ගිහින් එන්නම්.... කීය.
"හොඳයි...." පමණක් කිව් ඇය ඇගේ වැඩය නැවත කරන්නට පටන් ගත්තා ය.
"අක්කේ අපි යනවා...." සුමිත් කෑ ගසා, වත්ත පල්ලෙහා සිටි අක්කාට කීය... ඇය අප දෙස හොරහින් බලා අහක බලා ගත්තාය.
"යං... යං....ඉක්මනට ..." සුමිත් මාවත් ඇදගෙන ඇඳුම් බෑග් දෙකත් කරේ එල්ලාගෙන, ගස්කොළන් අස්සෙන්, කෙටි පාරක් දිගේ නැන්දලාගෙ ගෙවල් බලා ආවෙමු.
"තරහ වෙන්න එපා සුමිත්, ආයිත් නම් මම ජිවිතේට ඔයගොල්ලන්ගෙ ගෙදර එක රැයක් නවතින්න එන්නෑ....අම්මලා ගැන ඈත ඉදන් බලලා උදව් කරනවා මිසක් . ...මට නම් ආයෙත් ඔයගොල්ලන්ගෙ ගෙදර එන්න අඩගහන්නත් එපා....අපරාදේ ...ඊයෙ කොච්චර ලස්සන දවසක්ද අපට...අපි නීතියෙන් එකතු උන දවස...බලන්නකෝ ඊයේ රෑ ගෙවුනු විදිහ ...මට නම් හරි දුකයි, තරහයි...."
උදේ පාන්දර, හිත නරක් කරගෙන, සුමිත්ලගෙ ගෙදරින් එළියට බැස ,අපි නැන්දලාගෙ ගෙදරට යන විට ගෙදර හිටියේ නැන්දා හා දරුවා පමනි.
"ඈ බං... මේ මොකද උදේ පාන්දරින්ම අලුත් ජෝඩුව බෑග්මලුත් උස්සාගෙන ..." නැන්දා අප දැක පුදුම වී ඇසුවා ය.
"දුලීකට පාදුක්කේ ගෙදර යන්න ඕනෙ කිව්වා....ඒ හින්දා අපි මේ අදම පාදුක්කේ යන්න කියලා ....එහෙ ගිහින් හෙට අනිද්දා දිහාට මීගමු යනවා....රස්සාවත් පරිස්සම් කරගන්න ඕනෙ නේ අක්කේ.... සුමිත් කීය.
"උඹලා අද පාදුක්කේ එනවා කියලා අම්මලාට කිව්වෙ නෑ නේද...? අම්මා උඹලා එහෙ ආපු දවසට මගුල් කන්න බලාගෙන ඉන්නේ.... උඹල යන දවසට අපටත් එහෙ එන්න කිව්වා. මං හිතන්නෙ අක්කා වටපිටාවේ උන්ට මඟුල් කියන්න හදන්නේ .....අපිත් එහෙනම් අනිද්දා දිහාට පාදුක්කේ එන්නම්...අම්මට කියපං...."
"හා.. මං කියන්නම් නැන්දේ .... මාමා කෝ නැන්දේ ...?
"මාමා උදෙන්ම පොළට ගියා...
උඹලා එන වගක් දැනගෙන හිටියෙ නෑනේ..."
"අපි එහෙනම් මෙහෙමම යන්නම් නැන්දේ.... මං වෙනුවෙන් කරපු හැමදේටම මට හරි සතුටුයි...නැන්දටයි මාමාටයි දෙන්නටම ගොඩක් පිං සිද්ධ වෙනවා මට කරපු උදව් වලට....."
"පිස්සුද බං...ඔහොම ඉස් ඉස්සෙල්ලා මුකුත් නොකා නොබි යන්න එපා අලුත් ජෝඩුවක් ...වරෙල්ලා ගෙට, තේ එකක් බීලා පලයල්ලා...."
මට නැන්දා ගැන ආදරයක් දැනින.... ඇය ඇයට දරුවා හම්බවෙන්න සිටි කාලයේ මම කරපු උදව් වෙනුවෙන්, සුමිත් ගේ අම්මලාගෙ අකමැත්තෙන් හෝ ඇය මගේ ජීවිතය සුරක්ෂිත කර දීමට මා නිත්‍යානුකූල ලෙස, සුමිත්ට කසාද බන්දා දී මට කල උදව්ව මට කවදාවත් අමතක නොවේ....මාමා මා වෙනුවෙන් මොනව කරත්, ඒ සියල්ල නැන්දාගෙ අදහස් බව මම දනිමි.
"දුලීකා ගෙදරින් ගියාට පස්සෙ මට හරි අමාරුයි මේ වැඩ ටික තනියම කරගන්න ...ඒ උනාට උඹටත් කියලා කලක් යන්න එපෑ...දැන් ගමේ ගෑනු කෙනෙක් උදේට ඇවිත් ගෙදර වැඩට උදව් කරලා යනවා..."
"මටත් දුකයි නැන්දා තනියම වැඩ කරගන්න එක ගැන...ඒත් මම මේ ගමේ ඉන්න කැමති නෑ නැන්දේ...සුමිත්ගෙ අම්මලා මට කැමති නෑ...දෑවැද්දක් නැතුව මම සුමිත්ගෙ ඇගේ එල්ලුනා කියලා ..."
"මම ඒවා දන්නවා බං...., අපේ ගාමිණි ගෙ බලේට කසාදය රෙජිස්ටර් කරන වැඩේට ඒ ගෑනි ආව මිසක්..... දැක්කනෙ සුමිත්ගෙ අම්මගෙ මූණ...ඊයේ දවල් අබ ටිකක් දැම්මොත් මූණට පුපුරන ගානට තිබුනේ....උඹලා ගමෙන් ඈත්වෙලා හිටපල්ලා...නැත්නම් ඔය ගෑනි උඹලා දෙන්නගෙ මගුල කැඩෙන තැනට වැඩ කරනවා..."
"අපි එහෙනම් ගිහින් එන්නම් නැන්දේ....මාමටත් කියන්න අපි ගියා කියලා ...එහෙනම් නැන්දලා අනිද්දට පාදුක්කේ අම්මලාගෙ ගෙදර එන්න....."
"හොදයි...හොදයි මම මාමට කියන්නම්....බුදුසරණයි.! දළදා සමිදු පිහිටයි .. උඹලා දෙන්නට...."
මං දෙකට නැමී නැන්දාට වැන්දාය. ඇය මගේ මූණ ඉඹ අපට සමු දුන්නේ සතුටිනි.... ඇයගේ ආශිර්වාදය මට දැන් ඇති යැයි මට සිතේ...මට ඇගේ හැසිරිම කතාබහ නිසා හිත සැහැල්ලු වී හිතට සතුටක් දැනින....
"අපි යමු සුමිත් ..."
මම සුමිත් සමඟ නුවර සිට පාදුක්කේ අම්මලාගෙ ගෙදර බලා ගියේ, මින් පසු සුමිත්ගෙ ගෙදර අයගෙන් වෙන්වී ඉදිරි ,මුළු ජීවිත කාලයම ගෙවන්නට හිතා ගනිමින්‍ය.
මම සුමිත් සමඟ, නුවර සිට පාදුක්ක බලා ආවේ සිතේ සතුටින්ය. අපි දැන් නීත්‍යානුකූලව කසාද බැදපු ජෝඩුවක් වි ඇත.. මට දැන් මා ගැනම ලොකු ආඩම්බරයක් දැනෙයි... මට වඩා අවුරුදු පහක් පමණ වැඩිමහල් සුමිත්ගේ බිරිඳ වී මා දැන් සිටිමි. නුවර සිට පාදුක්ක බලා යන බසයේ මම ,සුමිත්ගෙ අතින් අල්ලාගෙන ඔහුගේ උරහිසේ ඔළුව හොවාගෙන දිගටම ඇස් පියාන සිටියේ සතුටිනි.
-සදුදාට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments