💥ගිමන් හරිමි💥
- Prisila Godahewa

- Mar 12, 2021
- 5 min read
💥ගිමන් හරිමි💥
(32 වෙනි කොටස )
"එහෙනම් හැමෝම කාල බීලා අහවරයිනේ.... අපි එහෙනම් අලූත් ජෝඩුව මනමාලයාගෙ ගෙදරට ඇරලලා එන්න යමු නේද...? අපි එකම ගමේ නිසා පයින්ම ජොඩුවට, මණ්මාලයාගෙ ගෙදරට යන්න පුලුවන් ...
"දුවේ ආපහු උඹලා දෙන්නා, මිගමු යන්න ඉස්සර අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න.. ...මම උඹලා දෙන්නා ගමේ එන දවසට, උඹේ ඔය යාලුවො දෙතුන් දෙනෙකුටත් එදාට එන්න කියන්නම් ..."
"එහෙනම් අම්මේ, ඉන්දුටයි, ගංගටයි, ලක්මිණියි ,සුමිත්‍රාටයි, අපේ ගෙදර එන්න කියන්න ....පුලුවන් උනොත් සුනේත්‍රා, බද්ද්‍රා, ජිනාදරි අනෝමා, අයේෂාටත් එදාට අපේ ගෙදර, එන්න කියන්න ..."
"ඔය රොත්තටම එන්න කියලා කවුද කන්න හදන්නේ ....මට බැංකුවක් කඩන්න වෙයි ඔය නඩේට කන්න දෙන්න..."
"ඒ උනාට ඒ අය හරි හොද කට්ටිය, මම කසාද බදිනකම් බලන් හිටිය අයනේ..."
"කාට නොකිව්වත් මම මේ බැලුවේ අර රට ඉදන් ආව සම්පත් මහත්තයාට, එදාට අපේ ගෙදර එන්න කියන්න.....එංගලන්තේහොදට සල්ලි තියෙන මහත්තයානේ..දුලීකා කෙල්ලට ගෙයක් දොරක් හදාගන්න වත් කීයක් හරි දෙන්නෙ නැතෑ...."
"අපෝ සම්පත් මහත්තයා ආවොත් අපට විස්කි බෝතලුත් ගේන්න වෙයි..."
"මොන විස්කිද අපට...? අන්න අර "ඇති හිටියා බෝතල් දෙකක් ගේමු.."
"මොනවද අම්මේ "ඇති හිටියා බෝතල්" කියන්නේ..."
"කසිප්පු බං කසිප්පු ...,🤣 ගමේ උන් කසිප්පු බොන උන් දැක්කහම , කියන්නේ.... මුං
"ඇති හිටියා බොනවා" කියලා.
ඒ "ඇති හිටියා" බොන උන්ට වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑනේ...ඒකයි ඒ නම දාලා තියෙන්නේ ..."
" අපෝ....සම්පත් මහත්තයාට කසිප්පු බොන්න දීලා, මහත්තයාගෙ "ලෝයර් අක්කා දැනගත්තොත් එහෙම අපි ඔක්කොම ගල් කරයි..."
"පරක්කු උනා... පරක්කු උනා, කට්ටිය එක්ක මණමාලිව, මණමාලයාගෙ ගෙදරට බස්සවලා එන්න යමු..."
සුමිත් සහ මම අම්මලා දෙන්නටත්, නැන්දටත්, මාමටත් දණ ගසා වැන්දෙමු. අත්කොටය එල්ලාගෙන මගේ මඟුල් ගෙදර ඇවිත් හිටි ලොකු අයියා දැක මට දුක සිති තිබුනි... මම ඔහුගේ කකුල් දෙක අල්ලා වැන්ද විට ඔහු ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මා බදා සිප ගත්තේය. ඔහු මාගේ අතේ ලියුම් කවරයක්ද තැබිය.
"නංගි මේක තියාගන්න.... ඔහු සුමිත්ට ද පේන ලෙස එය මට දුන්නේය. මා එය සුමිත්ගෙ අතට දුන්නෙමි.
මම සරත් බාප්පා ලඟට ද ගොස් වැන්දෙමි. ඔහුද මගෙ හිස අත ගා ලියුම් කවරයක් මා අතට දුන්නේය.
"උඹලා දෙන්නට තුණුරුවන්ගෙ සරණයි... දෙන්නගෙ අනාගතය සැපවත් වෙන්න කියලා ප්‍රර්තනා කරනවා..."
කසාදය ලියාපදිංචි කර ඇවිත්, මාමලාගෙ ගෙදර බෝජන සංග්‍රහයට සහභාගි වු අප සියලු දෙනා, පසුව සුමිත්ගෙ ගෙදර යන්න ලෑස්ති විය. විවාහයෙන් පසු සියල්ලන්ටම වැද අවසර ගත් අප දෙදෙනා, සුමිත්ගෙ ගෙදර බලා, මගෙ නෑදෑයින් සමග ගියේ පයින් ඇවිදගෙනය.
අපට පෙර සුමිත්ගෙ අම්මලා ගෙදර ගියේ, අප එහි යන විට ඔවුන් ගෙදර සිටිය යුතු නිසායි.... මාමා අප දෙදෙනා සුමිත්ගෙ ගෙදරට බස්සවන්න යන්න ලෑස්ති උනාට, මට නම් ඒ ගෙදරට යන්නට හිත හදාගන්නට අමාරු තරම්‍ය. නමුත් මම අද දින එහි යා යුතුය. අපේ අම්මා අය්යා, මල්ලිලා බොහො සතුටින් ඉන්නා බව පෙනේ.... ඒ පවුලේ එකම ගැහැනු ළමයා උන මගේ විවාහය නිසාය.
කිලෝමීටර් එකක් පමණ දුර තිබුනු සුමිත්ලගෙ ගෙදරට අප සියලු දෙනා ගියේ පයින් ඇවිදගෙනය .
අපේ අම්මලා, මාමලා සමග අප දෙදෙනා සුමිත්ලගෙ ගෙදරට යනවිට ඔවුන් දොර ජනෙල් ඇර දමා අප පිළිගන්නට ලෑස්ති වී සිටියාය. සුමිත්ගෙ අම්මා මල් දැමූ වතුර වීදුරුවක් අප දෙදෙනාට බොන්නට දී ගේ ඇතුළට කැඳවා ගියත් ඇගේ මූනේ නම් සතුටක් නැත. ඒ දෑවැද්දක් නැතුව මම ඔහුව කළබලේ කසාද බැන්ද නිසා වන්නට ඇත.
සුමිත්ගෙ අම්මා අක්කලා, නංගිලා, මල්ලිලා සැවොම ගේ ඇතුළෙ එහාට මෙහාට යන හැටි මා බලා සිටියේ තැති ගැනීවිය. නංගීත්, මල්ලීත් පැමිණ අප දෙදෙනා සමඟ හොඳින් කතා කරත් සුමිත්ගෙ අම්මත්, අක්කලා දෙන්නත් වැඩිය අපව ගණන් ගත්තෙම නැත. අපේ අම්මා බලෙන් මෙන් සුමිත්ගෙ අම්මා සමග කතාවට යයි...ඇය අහිංසක ලෙස සුමුත්ගෙ අම්මා සමග කතා කරනා හැටි දැක මට දුක සිතිනි. සුමිත්ගෙ අම්මාගෙ වෙනස අපේ අම්මාට දැනි ගොස් ඇති හැඩයි. ඇය ඒ නිසා බායාදු ලෙස ඇය සමග කතා කරනා ගානය. අය්යා හා මල්ලිලා අද සතුටින් ඉන්නා බවක් පෙනේ...පොඩි කාලේ පටන් මම විදි දුක් කන්දරාව දන්නා ඔවුන්ට, මම හොද කෙනෙකු සමග විවාහ දිවියට යෑම ඔවුන්ගේ සතුටට හේතු වේ.
අද දින අම්මලා, මාමලා මාව මේ ගෙදර බස්සවා ගිය පසු, මම දින කිහිපයක් මේ ගෙදර මේ මගේ මුහුන නොබලන නැන්දම්මා , නෑනලා සමග සිටින්නේ කෙසේද කියා හිතට එයි..... එය මා කෙසේ කරම්දෝ කියා සැකෙන් බයෙන් සිටියේ සුමිත්ගෙ අත තද කර අල්ලාගෙනය.
මම දෑවැද්දක් නැතුවම සුමිත්ගෙ ඇගෙ එල්ලූනා යැයි සුමිත්ගෙ අම්මා, නැන්දා සමඟ කියා මට බැණ තිබුණි. නමුත් මාමා, මට නොසලකා හරින එකක් නැතැයි කියා නැන්දා කියා ඇත.
සුමිත්ලගෙ ගෙදරදි ඔවුන් අපට හවස කේක් හා කෙසෙල් ගෙඩි කන්නට දී කිරි තේ බීමට දුන්නේය. මා සුමිත්ලගෙ ගෙදරට බස්සන්න පැමිණි අම්මාලා හා මාමාලා ආපසු යන්න ලෑස්ති වූ විට මට හොඳට ම ඇඬින.... ඒ කසාද බැද අම්මලාගෙන් වෙන්වි,ඈත් වී සිටීමට සිදු වෙන නිසා නොව මේ ගෙදර මගේ මූණ බලන්නෙ නැතිව සිටින සුමිත්ගෙ අම්මයි, අක්කලයි මතක් වය.
"ඇයි දුවේ අඬන්නේ, අද වගෙ හොඳ දවසක.... නාඬා ඉඳින්න දුවේ..." අම්මා මා ආදරෙන් සැනසුවාය. ඇගේ ඇස්වල ඇත්තේ සතුටු කඳුළුය.
"එහෙනම් අපි යනවා. අපේ දරුවව හොඳට බලාගන්න ඕනේ...." මාමා හැමෝට ම ආචාර කර මා සුමිත්ගෙ අම්මාට භාර කලේය. සියල්ලෝම ආපසු යන්න ලෑස්ති වි ඇත.
සුමිත්ගෙ කසාඳ බැඳ, ගමෙන් ඈත පදිංචි වි සිටින ඔහුගෙ සහෝදරියන්ද ආපසු ගෙදර යන්න ලෑස්ති වෙයි....ඔවුන් අපේ මගුලට පැමින සිටියේ ඔවුන්ගේ දරුවන් ද සමගය.
අපේ මගුලට ආ සියල්ලෝ නැවත තම ගම්බිම් බලා ගිය පසු, ගෙදර ඉතිරි වුණේ සුමිත්ගෙ කසාඳ නො බැන්ද අක්කාත්, නංගීත්, මල්ලීත්, අම්මත් සුමිත් සහ මම පමණි.
සුමිත්ගෙ තවමත් පාසැල් යන නංගී සහ මල්ලී මා ලගට විත් මා සමඟ හිනා වී කතා කලේය. සුමිත්ගෙ කසාද නොබැදපු අක්කා ගෙයි එහෙට මෙහෙට යන්නේ මගේ මුහුණ නොබලමිනි. අම්මා කතා කළ යුතු බැවින් උඩින් පල්ලෙන් සුමිත් සමගද කතා කරයි.
" දුලීකා අපි යමු කාමරයට ඇඳුම් මාරු කර ගන්න...."ගෙයි තිබුණ කාමර දෙකෙන් එකක් අද අපට දී ඇත. එය සුමිත් ගෙදර සිටි කාලයේ මල්ලීත් සමඟ නිදා ගත් කාමරයයි.
"ඔයා අද හරි ලස්සනයි, මේ ඇදුමට...මම අදමනේ දැක්කේ ඔයා සාරියක් ඇදන් ඉන්නවා..."
"ඇයි මම විතරක් , ඔයත් ලස්සනයි ..."
"අපි ඇදුම් මාරු කරලා ,දොළට ගිහින් නාගෙන එමු ද ..?"
අපි දෙන්නා ඉස්සර නිතර මුණ ගැසුණු දොළ ලඟට යන්නට මට ආසා සිති තිබුණි.
"මේ හවස් යාමේ දොළ ලඟට යන්න හොඳ නෑ. අපි ගෙදර ලිඳෙන් හෝඳ ගමු...."
අපි ඇඳුම් මාරු කර ගෙදර ලිඳ ලඟට ගොස් ඇඟ සෝදා ගත්තෙමු.
"අම්මයි අක්කයි කුස්සියේ ඇති, ඔයා ඒ පැත්තට ගිහින් ආව නම්..."
සුමිත් කියපු නිසා මම කුස්සිය පැත්තට හෙමිහිට ගියේ බයෙන් මෙන්ම අකමැත්තෙනි. අක්කත්, අම්මත් රෑට උයන සද්දය කුස්සිය පැත්තෙන් ඇසේ....
"මාත් උයන්න උදව් කරන්න එන්නද අම්මේ.....? මම බය මුසුව අම්මගෙන් ඇසීය.
"නෑ... නෑ... අපට කාගෙන්වත් උදව් ඕනෙ නෑ...අපට කරගන්න පුළුවන්...." සුමිත්ගෙ අක්කා ගත් කටට ම කීවේ අකමැත්තෙන් ගස්සා ගෙනය.
" අපි වැඩි දෙයක් රෑට උයන්නෑ, අපට පුළුවන් කර ගන්න .... සුමිත්ගෙ අම්මා ද නොසැලකිල්ලෙන් කීය.
මම කුස්සිය තුළ එහෙට මෙහෙට ටිකක් කරකැවී, නැවත සාලය පැත්තට ආවෙමි.
සාලේ හිටි සුමිත්ගෙ නංගිත් මල්ලිත් මා සමග හිනා වි කතා කලේය. ඔවුන් දෙදෙනා මා සමඟ හොඳින් හිනා වී කතා කිරිම මගේ හිතට හොද විය..
"අක්කා අද හරි ලස්සනට හිටියනේ. මණමාලි උන වෙලේ...."
"ඇත්තට මං ලස්සනට හිටිය ද නංගි...?
"ඔව්... අපේ ලොකු අක්කත් කිව්වා සුමිත් මල්ලිගෙ මණමාලි ලස්සනයි කියල...."
"ඇයි... දෙවැනි අක්කා කිව්වේ මල්ලි ලස්සනට රැවටිලා කියලා.... මල්ලි කිසිත් ගාණක් නැතුව කීය.
"එන්න අපි මිදුලට යමු ටිකක් ඇවිදින්න..." සුමිත් මා කැඳවා ගෙන මිදුල පැත්තට ගියේය. දැන් හොදටම බිම් කළුවර වැටි ඇත. ගස් කොළ අතරින් කණාමැදිරි එළි එහෙ මෙහෙ පාවෙලා යනු පෙනේ... පළගැටියන්ගෙ, ගෙම්බන්ගේ නොනනවතින කෑගැහිල්ල කන අගුලු වැටෙන තරමට සැරය... හඳ හාමි කදු ගස් අතරින් හෙමිහිට පායා එනු පෙනේ...හෙට පසලොස්වක පෝය නිසා, හඳ හරි ලොකුවට මුළු පළාතම එළිය කරයි . අප දෙදෙනා පාර දිගේ හෙමිහිට ඇවිදගෙන ගියේ, ගෙයින් එළියට ආවිට දැනුන හිතේ නිදහසිනි. මම සුමිත්ගෙ අත තදින් අල්ල ගෙන ඔහුට තුරුලු වී ගෙන ඇවිද්දෙමි. මට දැන් සිටිනා ,හොදම එකම ආරක්ෂකයා ඔහුය. මට සුමිත්ලගේ ගෙදර ඇතුළේ සිටින්නට බය හිතේ... සුමිත් නැති නම් මේ ගෙදර මට එක මොහොතක්වත් ඉන්නට බැරි වෙයි...ඒ තරමට සුමිත්ගෙ අම්මයි අක්කගෙයි ඇති වෙනස්කම් නිසා,මගෙ හිත නොසන්සුන් වි ඇත ...
"අනේ සුමිත් අම්මයි, අක්කයි හරියට කතා කරන්නෑ.... මට බයයි මේ ගෙදර එක රැයක්වත් ඉන්න..."
"මට ඒක තේරුණා... ඒ අය ඔයත් එක්ක වැඩිය කතා කරන්න කැමති නෑ කියල.... අම්මට ඕන වුණේ ලොකු දෑවැද්දක් තියෙන තැනකට මාව බන්දලා දෙන්න. ඒ හින්දා වෙන්න ඇති වෙනස්කම් කරන්නේ...."
"අනේ... අපි අද රෑ මෙහෙ ඉඳලා, හෙට උදේ අපේ පාදුක්කේ ගෙදර යමුද.?...."
"ඒක තමයි මාත් හිතුවේ.... අක්කා කසාඳ බඳින්න ඉස්සෙල්ලා මං කසාඳ බැඳපු එකට අක්කා මාත් එක්ක තරහින් ඉන්නේ...."
"අපි එහෙනම් අපේ අම්මලාගෙ ගෙදර හෙට යන්න ඕනෙ කියල උදේට කාපු ගමන් ම හෙට මෙහෙන් යමු...."
" එහෙනම් මං අම්මට කියන්නම් අපි හෙට යනව කියල...."
"අනේ ඔව් සුමිත් ...."
-හෙට හමුවෙමු --
*ප්‍රිසිලා ගොඩහේවා *




Comments