top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 1, 2021
  • 6 min read

💥ගිමන් හරිමි💥

(31 වෙනි කොටස)

මම හදිස්සියේ කසාද බදින්න හදන බව, අම්මාට කතා කර මාමා පසු දිනම කියා ඇත. මගුලට එන්න ලෑස්ති වෙන්න, වෙලාව මදි කියා, ඔවුන් සදුදා උදේටම කොළඹ සිට මෙහි පැමිනෙන බව කියා තිබුනි.


අපි මීගමුවේ සිට නුවර පැමිනි දින රාත්‍රීයේ සිට, ගෙවුනු දවස් තුනේම, සුමිත් රාත්‍රීයේ නැවතුනේ ඔහුගෙ ගෙදරය. මම සුපුරුදු ලෙස මාමලාගෙ ගෙදර උන්නෙමි. ඒ නැන්දාගෙ හා මාමාගෙ උවමාවටය.රෑ ඔහුගෙ ගෙදර නවතින සුමිත් ,පසුදා උදේ පාන්දරින් මාමලාගෙ ගෙදරට පැමිනේ....ඉන් පසු මුළු දවසම මාත් සමග මාමලාගෙ ගෙදර නවතින ඔහු නැවත, බොහෝ රෑ බෝ වුන පසුද ගෙදර යන්නේ අකමැත්තෙන් බවද මට පෙනේ.... මම ඔහුගෙන් ඒ ගැන නොඇසුවෙමි. නමුත් ඔහුගෙ ගෙදර රෑට නවතින්න ගිය දවස් දෙකට ඔහු බොහෝ වෙනස් වි ඇතැයි මට සිතේ..... මාමා කිව් ලෙස අපි කසාද බදිනකම්, ගෙවල් දෙකේ දෙදෙනා රෑට නැවතුනත්, ඔහු රෑට අකමැත්තෙන් ඔහුගෙ ගෙදර යන්නෙ ඇයි දැයි මට නොතේරේ....


සිකුරාදා ,සෙනසුරාදා දින දෙක සුමිත් හා මම මාමලාගෙ ගෙදර ඇතුලත පිරිසිදු කර මිදුලේ තණකොළ ගලවා අස්පස් කරේ සදුදාට අපේ ගෙදර අය හා සුමිත්ගෙ ගෙදර අය අපේ මගුලට මාමලාගෙ ගෙදර, කෑමට එන බව නැන්දා කිව් නිසයි.... නැන්දා ගමේ ගෑනු දෙදෙනෙක් ගෙන්නා ගෙන සදුදා දවාලට කෑම ටිකක් හදන බවද ඇය කීය.


සදුදා උදේ දහයට රෙජිස්ට්‍රාරගෙ ගෙදරට ගොස් අප දෙදෙනාව කසාද බන්දා දෙන්නට දැන් සියලු දේ සුදානම්ය. එය බොහෝ චාමෙට, සුළුවෙන් කරන දෙයක් බව මාමා කීය. ගමේ නමක් තියාගෙන සිට්න මාමාගෙ අණ කිරිමට සුමිත්ගෙ මව අපේ විවාහයට කැමති වි ඇති බව මම දැනගත්තේ නැන්දාගෙනි. ඒ ඔහුට නෑ බෑ කියන්නට ඇයට බැරි කමටලු....දෑවැද්දක් නැතුව ,ආතක් පාතක් නැතුව මාමලාගෙ ගෙදර ඇවිත් නැවති සිටි මම සුමිත් බලෙන් රවට්ටාගෙන මීගමු ගිය බවක් සුමිත්ගෙ අම්මා නැන්දාට කියා ඇත. එබැවින් ඇය, මාමාගෙ පෙරැත්තයට මිස කොහෙත්ම සුමිත්ව මම කසාද බදිනවාට අකමැති බව කියා ඇත. නමුත් මාමා කියා ඇත්තේ , සුමිත් අනිවාර්යයෙන්ම දැන් මාව කසාද බැදිය යුතු බවයි. හේතුව සුමාන දෙකක් ඔහු සමග එකට ජීවත් උන මට වෙන කෙනෙකු කසාද බැදිමට නොහැකි නිසා....


"එහෙනම් සුමිත් උඹ අම්මයි අක්කලයි එක්ක සදුදා දහයට රෙජිස්ට්‍රාරගෙ ගෙදරටම වරෙන්...අපි මෙහෙන් දුලීකා එක්ක එතනට එන්නම්... දුලීකලාගෙ අම්මලත් කොළඹ ඉදන්ම රෙජිස්ටාර්ගෙ ගෙදරට එනව කියලා තමයි කිව්වේ...."


"හොදයි ගාමිණි අය්යේ..."


"උඹට අදින්න ඇදුමකුත් කුළියට ගත්තා නේද...?


"ඔව්..ඒවා ඔක්කොම හරි..."


මාමලාගෙ උවමනාවට , නොසිතු මොහොතක , මෙතරම් ඉක්මනට ,සුමිත් සමග කරකාරේ කසාද බදින්න ලැබෙන එක ගැන මම සිටියේ ප්‍රීතියෙන් උදම් වෙමිනි. මෙතරම් ඉක්මනට ඔහු මෙලෙස කසාද බදින්න ලැබෙන එක මට හිතා ගැනිමට බැරි ගානය.. මම ඒ ගැන සතුටින් සිටියත්, සුමිත්ගෙ මූණේ නම් ඒ ගැන සතුටක් ඇති බවක් පෙනෙන්න නැත. ඔහු නුවර ආදා සිට රෑට ගෙදර නැවතෙන්න ගිය පසු, දින දෙක තුනට වෙනස් උන බවක් මට පෙනෙන්න ඇත. ගාමිණි මාමාට තියෙන බය නිසා, ඔහු කට පියාන සිටියාට, සුමිත් ඔහුගෙ ගෙදර අයගේ කතා අසා, මා කසාද බදින්න ඒ තරම් උනන්දුවකින් ඉන්නා බවක් නොපෙන්වයි. අනේ දෙවියනේ ..කසාද බදින්න ඉස්සරම, මගේ නැන්දම්මා , නෑනලා සුමිත් වෙනස් කරන්න හදන බවක් මට පෙනේන්නේ ඇයි..?...අසරණ මම සුමිත් කියන දෙයක් අසා සිටිනවා ඇරෙන්න, වෙන මොනවා කරන්නද...? මට මගේ අනාගතය ගැන දැන් ටිකෙන් ටික බයක් දැනෙන්න පටන් ගෙන ඇත. වෙන දෙයකට මූණ දීගෙන ඉන්නවා ඇරෙන්න මට දැන් කිරීමට කිසි දෙයක් නැත. කෙසෙ හෝ මාමලාට පිං සිද්දවෙන්න පුලුවන් ඉක්මනට සුමිත් කසාද බැද ගත්තාට පසු ඔක්කොම ඉවරයිනේ....කසාද බැදපු ගමන් සුමිත් සමග ගමෙන් පිටවෙලා යන්නට ඕනේ යැයි මගේ හිත කියයි...


මාමලා මාව, සුමිත්ට කසාද බන්දා දීමට නියමිත සදුදා දිනේටද හිරු උදාවිය..... සුමිත්ගේ ,අම්මා, සහෝදරියන් ඔහු මාව කසාද බදිනවාට කෙසේ අකමැති උනත්, මම අද දිනය ගැන බොහෝ සතුටට පත්ව සිටියෙමි .


සදුදා උදේ හතට පමණ නැන්දා මාව මණමාලියන්ට අන්දන තැනට එක්කරගෙන ගියේ වීල් එකකින්‍ය. නැන්දාද උදේ නිල් ඔසරියකින් සැරසී සිටියේ දරුවා ඇගේ අම්මාට භාර දීය.


"වැඩි හැඩ වැඩක් ඕන නෑ...මෙයාව නමයාහමාර වෙනකොට අන්දලා ගන්න....කෙල්ලගෙ අම්මට පේන්න හොදට අන්දලා තියන්න එපෑ....නැත්නම් අපි හරියට බැලුවෙ නෑ, යුතුකම් ඉශ්ට කරේ නෑ කියන්න පුලුවන්නේ.....ඊටත් අපි කෙලින්ම රෙජිස්ට්‍රාරගෙ ගෙදරට ගිහින් කසාද බැදලා ගෙදර යන එකනේ....ගෙවල් දෙකේ පවුලේ කට්ටිය විතරක් සහභාගි වෙන නිසා, ලොකු හැඩ වැඩක් ඕන නෑ.... "


නැන්දා මණමාළියන්ට අන්දන අක්කාට කීය.


"අපේ අම්මලා කීයටද නැන්දේ එන්නේ...?


"අම්මලා උදේ දහයට රෙජිස්ට්‍රාරගෙ ගෙදරට එනව කියලා තියෙන්නේ ... සමහර විට කෙලින්ම මෙතනට එන්නත් බැරි නෑ...."


මනමාලියන්ට අන්දන අක්කා මට සුදුපාට ලේස් සාරියක් උඩරට ඔසරියක් ආකාරයට ඇන්දවිය. ඔසරිය අන්දා කොන්ඩය බැද ඉටිමල්ද ඔළුවේ ගැසුවාය. නලලට තැල්ලක් දමා කරට මාල තුනක් දමා මා මණමාලියක් ලෙස චාමෙට ඇන්දුවේ නැන්දාගේ කීමටය. ඇය මට අන්දා ඉවර උනපසු, කාමරයේ තිබුන කන්නාඩියෙන් මම මගේ හැඩ බැලුවෙමි. මේ මමදැයි කියන්න බැරි තරමට ලස්සනට , ලොකු ගැහැනු කෙනෙකු ලෙස මම හැඩ වැඩ වි උන්නෙමි. මම මගේ ජීවිතේට පළවන වරට සාරියක් ඇන්දේ අදය. මට මා ගැනම ආඩම්බර සතුටක් දැනේ...ඒ මගේ බැලූ බැල්මට ඇති ලස්සන, උස මහත පෙනුම නිසයි....


මාව අන්දා ඉවර වුණ පසුව නැන්දා කාමරයට විත් මාදෙස බැලුවේ පුදුමයෙනි.


"ඈ කෙල්ලේ දැන්නෙ උඹේ ලස්සන පේන්නේ... මහ ගැහැනියක් වගේනේ උඹ... දැන් වෙලාවත් හරි...අන්න උඹලගෙ අම්මලත් කොළඹ ඉදන් මේ දැන් ආවා, මාමලත් එළියෙ ඉන්නවා, එහෙනම් අපි යමු...."


මම උඩරට මණමාලියක් ලෙස චාමෙට සැරසී එළියට එන වේලේ මාගේ අම්මත්, අයියත් මල්ලිලාත්,බාප්පා,හා නැන්දල, මාමලත් එතනට ඇවිත් සිටියේය. මා දැක අම්මා ඇස්වල කඳුළු පුරෝගෙන විත් මා බදා ගත්තේ සතුටු කඳුළු හෙලමින් ය.


"අනේ මගේ එකම කෙල්ල මනමාළියක් වෙලා....අනේ උඹගෙ ලස්සන කෙල්ලේ ... අදනෙ මම දැක්කේ... ...මම දන්නෑනේ මෙච්චර ඉක්මනට මල්ලි උඹව කසාද බන්දලා දෙන්න හදන බව...මම දැනගෙන හිටියනම් මාසයක් තියා ඇවිත් මෙහෙ නැවතිලා මගුලට උදව් කරනවානේ...."


"යං... යං... දැන් පරක්කු වෙනවා. රෙජිස්ටාර් හරියට වෙලාවට එතනට එන්න කිව්වා...."

මාමා මගේ විවාහය සම්බන්දයෙන් මූලික වී වැඩ කරයි. හැමෝම ඔහුගෙ අණට කීකරුය. ඒ යමක් කමක් තේරෙන ඔහු මගෙ මගුලට සුළුවෙන් හො වියදම් කරමින් එය සිදුකර දීමට ඇති උනන්දුවටය.... අපේ අම්මා වෙනුවෙන්, ඔහු මේ මට කරනා උදව්, මගේ ජීවිතේට අමතක වෙන්නැති දේවල්වේ...


අම්මලා කොළඹ සිට කතා කරගෙන ආ වෑන් රියෙන් හා වීල් එකකින් අප හැමෝම රෙජිස්ටාර් කාර්‍යාලය බලා ගියෙමු.


අප එහි යන විටත් සුමිත්, ඔහුගෙ ගෙදර කට්ටියත් තව යාළුවෝ දෙතුන් දෙනෙකුද සමඟ රෙජිස්ටාර්ගෙ ගෙදරට වාහනයකින් ඇවිත් සිටියෝය.


සුමිත් අත්දිග කමිසයක් ඇද ටයි පටයක් පැලද පිළිවෙළට ඇදගෙන සිටි හැටි දැක මට සතුටු සිතින. ඔහුගෙ අම්මා හා අක්කලා සාමාන්‍ය විදිහට ඔසරි ඇද මූනේ හිනා පොදක් නැතුව හිටි හැටි දැක නම් මට බය සිතිනි. ඔවුන් කවුරුත් මගේ මූණ නොබැලු අතර මාමා සමග පමනක් කතා කරනවා දැක ගත හැකි විය. අපේ අම්මා, බාප්පා අය්යා ,මල්ලිලා වෙන දෙයක් ,සිදුවන විදිහට සිද්ද වෙන්න ඇර ,පැත්තක් අල්ලන් ඉන්නේ සතුටිනි. ඒ පවුලේ එකම දියණිය, සහෝදරිය අද දින විවාහ දිවියට යන, සතුට දරා ගන්නට බැරුවය. කිසිම වියදමක් නැතුව, මාමාගෙ වියදමින් සිද්ද වෙන මේ කසාදයට අකුල් හෙලන්න අපේ ගෙදර අයටත්, සුමිත්ගෙ ගෙදර අයටත් අවශ්‍ය තාවයක් නැත. නමුත් අපේ විවාහයට ඇති අකමැත්ත සුමිත්ගෙ මවගෙ සහොදරියන්ගෙ මුහුනෙන් හැසිරිමෙන් පෙන්නුම් කරයි.


රෙජිස්ටාර් නෝනා ඉදිරිපිට පුටුවේ අප දෙදෙනා වාඩිවු කල, ඇය අප දෙදෙනාට කියා ලොකු පොතක අත්සන් කරවා ගත්තේය. පසුව මාමා හා සුමිත්ගෙ යාළුවෙක් අප දෙදෙනා වෙනුවෙන් සාක්කියට අත්සන් කරන ලදී.


" එහෙනම් දෙන්නා දැන් නීත්‍යානුකූලව කසාද බැදලා ඉවරයි ...දැන් මේ වාක්‍ය දෙන්නත් එක්ක කියන්න ...."


සුමිත් අත් දිග ශර්ට් එකක් ඇද ටයි පටියක් පැලද සිටි හැටි , හරියට ලොකු මහත්තයෙක් වගෙයි...කොහොමත් සුමිත් ගමේ අනෙක් කොල්ලන්ට වඩා හැඩ වැඩ ඇති කොල්ලෙක් බව මුළු ගමම කියයි. ...මට ඔහුගෙ පෙනුම දැක ඉවසන්න බැරි සතුටුක් ඇතිවිය.... ඔහුගේ අම්මා, අක්කලා සහ නංගි, මල්ලිත් රෙජිස්ටාර්ගෙ ගෙදරට පැමිණ සිටියත් ඔවුන් මට වැඩි හොඳ මූණක් පෙන්වූයේම නැත.

මා ඔවුන්ගේ පුතා රවට්ට ගෙන කසාද බැද ගත්තා යැයු ඔවුන් සිතනු ඇත. ගාමිණී මාමාගේ කීමට නො ඇවිත් බැරිකමට ඔවුන් අපේ කසාදයට එන්නට ඇත.


රෙජිස්ටාර්ගෙ කාර්‍යාලයේදී විවාහයේ වැඩකටයුතු ඉවර වුණ පසු, මාමා අපව ටවුමේ ෆොටෝ සාප්පුවට කැඳවා ගොස් මඟුල් පින්තූරයක් ද ගත්තේය. ඉන්පසු පවුල් දෙකේ කට්ටිය, වාහන දෙකෙන් මාමලාගෙ ගෙදර බලා පිටත් වුනේය. ඒ අපේ මගුල වෙනුවෙන් ඇති බෝජන සංග්‍රහයටය.


ඊට පෙර දින මාමලාගෙ ගෙදරට ආ ගැහැණු දෙදෙනා දුම් දමමින් කුස්සියේ උයමින් සිටියේ, මගෙ මගුලට ආ නෑදෑයන්ට කන්නට දෙන්නට ය.


එදින අපේ මගුලට ගෙවල් දෙකේ ම නෑදෑයෝ 20 - 30 ක් පමණ ඉන්නට ඇති... මාමා ගෙදර කැසට් එකේ සද්දෙට සින්දුවක් දා තිබුණි.... සුමිත්ගෙ නංගි ඇවිත් සිටි නෑදෑයින්ට බීම ඇල්ලූවාය. සුමිත්ගෙ අම්මා නො ඇවිත් බැරිකමට ඇවිත් කා සමඟත් කතා නො කරම පැත්තකට වි පුටුවක වාඩිවි හිදියි. ඇය අපේ මඟුලට කැමැත්තක් නොමැති බව තරයේ පෙන්වමින් හිදී....


"ඈ දුවේ දැන් කවදද උඹලා දෙදෙනා අපේ ගෙදර එන්නේ....?


අම්මා මා ලඟට විත් මාගේ සාරි පොට හදමින් සතුටින් අසයි...


" අපි ආපහු බදාදා මීගමුවේ යනවා අම්මේ.... ඒ යන්න ඉස්සර ඇවිත් යන්නම්...."


"උඹ දන්නවද රෙජිස්ටාර්ට, මාමා උඹට අවුරුදු දහඅටයි කියල බොරු කියල බන්දල දුන්නේ...."


"මං දන්නවා අම්මේ...."


"මොනව වුණත් මට හරි සතුටුයි මට හිටිය එකම කෙල්ල මණමාලියෙක් වගේ ඇඳල මේ විදිහට කසාඳ බැඳල යනවට..... මල්ලිට පිංසිද්ධ වෙන්න ඕනේ මේවා ලෑස්ති කරල දුන්නට... උඹ යන්න ඉස්සර මාමගෙ කකුල් දෙක අල්ලලා වැඳපං.... ඌ තමයි උඹව මේ මණමාලියක් විදිහට අන්දන්න මඟුල මේ තරමට ගන්න හරි වියදම් කළේ...."


අම්මා මාමා ගැන ඒ දේවල් කිව්වේ ආදරෙන්ය. නැන්දා ද ඇගේ අතින් මා හට ඉටු විය යුතුකම් ඉටු කර ඇත. මට සතුටුයි නැන්දයි, මාමායි මම ඔවුන් වෙනුවෙන් අවුරුද්දක කාලයක් කල ඇප උපස්ථාන වලට කල මේ කල ප්‍රතිඋපකාරය ගැන.... ඔවුන්ට ලේසියෙන් මම සුමිත් එක්ක පැන ගිය පසු අපව අමතක කර දමන්නට තිබුණි. නමුත් ඔවුන් එසේ කළේ නැත. මා පැනගිය බව අම්මාට ද හංඟා මා මණාලියක සේ අන්දා දෙපැත්තෙ ලඟම නෑදෑයින් එකතු කර දහවල් කෑම මේසයක් ද සකසා ඇත. මගේ හිතේ තිබුණ සැකය නම් සුමිත්ගේ අම්මාය. ඇගේ මූණේ කිසිම හිනා පොදක් නැතිව පැත්තක් අල්ලන් කතා නොකර ඉන්න විදිහ මගේ හිත දෙගිඩියාවට පත් කර ඇත.


දහවල් කෑම මේසයට අප දෙදෙනාට පළමුවෙන්ම කෑමට ආරාධනා කළේ නැන්දා ය. ඇය වතුර වීදුරුවක් අල්ලමින් සුමිත්ගෙ අම්මාට හා අපේ අම්මාට ඉන්පසු කෑමට ආරාධනා කළාය.

කෑම මේසය කහ බත්, කුකුල් මස්, වම්බටු මෝජුව, අල හොඳි, පපඩම්, සිංහල අච්චාරුවකින් හා තක්කාලි සලාදයකින් සරසා තිබුණි. මට සතුට වැඩිකමට කන්නට තරම් පිරියක් නො තිබුණත්, සුමිත් සමග පිඟානෙකට බත් ටිකක් බෙදා ගෙන හෙමිහිට කෑවෙමි. ඉන්පසු අම්මාත්, සුමිත්ගෙ අම්මාත් කෑම බෙදා ගත් පසු සියල්ලෝ ම කෑම බෙදා ගෙන කන්නට පටන් ගත්තා ය.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page