top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 1, 2021
  • 5 min read

💥ගිමන් හරිමි💥

(29 වෙනි කොටස)

මීගමුවේ පදිංචියට විත් දෙවන දින උදේ පාන්දර, මම සුමිත්ට පෙර නැගිට ගත්තෙමි. අප දෙදෙනාට නවාතැන් ගන්න දුන් කාමරයෙන් එළියේ, අයිරින් අක්කලාගෙ කුස්සියට ගියේ අද සුමිත් වැඩට යන්නට පෙර යමක් උයා ඔහුට කන්නට දෙන්නයි. එම කුස්සියේ මුල්ලක ඇති ලෑලි මේසය උඩ, අපේ භූමිතෙල් ලිප තියාගෙන මම කිරිබතක් උයා, ලුනුමිරිසක් සැදුවෙමි. අප දෙදෙනා එකට ජීවත් වෙන්න පැමිනි පසු ඉස් ඉස්සෙල්ලාම ,උදේ කිරිබතක් සාදා සුමිත්ට කන්න දෙන්නට ලැබීම මට සතුටක් විය.


"වැඩි වෙලා කකා ඉන්න බෑ දුලීකා... කෝ මට පොඩි කිරිබත් කෑල්ලක් කවන්නකෝ...මම ඉක්මනට වැල්ලට ගිහින්, මාළු මුදලාලිලාට උදව් කරලා කීයක් හරි හොයා ගන්න බලන්න ඕනේ...මම දවල්ට ගෙදර ආපුවහම අපි කිරිබත් කමු...මම අලුත් මාළු ටිකක් වැල්ලෙන් ගේන්නම්, මිරිසට උයාගෙ කිරි බත් කන්න....."


"මාත් එන්නද ඔයත් එක්ක වැල්ලට යන්න...මට ගෙදර හිටියා කියලා වෙන වැඩකුත් නැති එකේ..."


"හා එහෙනම් කාමරේ දොර වහල එන්න...පූසෝ කාමරයට රිංගයි..."


අපි දෙදෙනා උදේ හය වෙනකොට වැල්ල පැත්තට අඩිය ඉක්මන් කරමින් ගියෙමු. නුවර මාමලාගෙ ගෙදරින් ආදා සිට මගේ හිතේ දෝංකාර දුන් ප්‍රශ්නය මම සුමිත්ට කියන්න මේ මොහොත හොද යැයි සිතුවෙමි.


" සුමිත් ..

අපේ නැන්දල, මාමල මාව හොයනව ද දන්නෑ ... අපි දෙන්නා කොහේ ගිහින්ද කියලා, අපේ අම්මා ඇහුව්වත් කියන්න ඒගොල්ලෝ දන්නෑනේ......නරකද මාමාට පණිවිඩයක්වත් ගෙදරට ඇරියොත් ...."


"මාත් ඒ ගැන හිතුවා දුලීකා ... මාත් එක්ක අර නුවර ට‍්‍රැක්ටරේ වැඩ කරපු සිසිරයා අතේ ඔයාගෙ මාමට පණිවිඩයක් ඇරියා නම් හොඳයි කියල හිතෙනවා...... අපි දෙන්නා හොදින් ඉන්නව කියලා මාමට කියන්න කියලා මම අද සිසිරට කෝල් එකක් දාලා කියන්නද...?


"ඒක නම් හොදයි සුමිත් , ඔයා අද හවසට එහෙනම් කෝල් එකක් දීලා බලන්න ..."


"මම එහෙනම් මාළු මුදලාලිලා ඉන්න පැත්තට යනවා...ඔයා වැල්ලෙ ඈතට වෙලා ඉන්න මම වැඩ කරලා එනකම්..."


කසාද නොබැද සුමිත් සමග පවුල් ජීවිතයක් ආරංභ කරන්න මීගමුවට පැමිනි අප දෙදෙනාට, අයිරින් අක්කාගේ ලෑලි කාමරයක පදිංචි වෙන්න ලැබීමත් ලොකු දෙයකි.


අගහිගකම්වලින් පිරි ළමා තරුණ කාල ගෙවා දැමු අප දෙදෙනාටම මේ අලුතින් පටන් ගත් ජීවිතය තුල ඇති අමාරුකම් අපහසුකම් ඒ හැටි දේවල් නොවිය. මේවා අප දෙදෙනාටම හොදටම පුරුදු අමාරුකම් වේ. මට වඩා හොද පවුලක ජීවත් වෙන්න සුමිත්ට වාසනාව ලැබි තිබුනත්, ඔවුන්නුත් පොඩි කාලයේ පටන් අමාරුකම් මැදින් ජීවිත ගමන ආබව සුමිත් මට කියා තිබුනි. එබැවින් අප දෙදෙනාම එකම බෝට්ටුවේ අය යැයි මට සිතේ...

මීගමු වැල්ලේ, අයිරින් අක්කාගෙ ලෑලි ගැසූ පුංචි කාමරයේ, පැදුරු කඩමල්ල උඩ විකුම් දුන්න ඇඳ රෙද්දක් හා කොට්ට දෙක දමා ගත් අප අපේ විවාහ ජීවිතය ආරම්භ කළේ කිසිදු අමාරුකමක් අපහසුවක් අකමැත්තක් නැතුවමය. අමාරුකම්, අගහිගකම්, දුක්වේදනා, සියල්ල හොදින්ම විද ඇති මට ඒ හැමදේකටම වඩා කිසිම සැපක් සතුටක්, කිසිම දෙයක වටිනාකමක් නැතුව සුමිත්ට තුරුල්ව එක වහලක් යට එකට ජීවත් වීමට ලැබීම, එකට නිදාගන්න ලැබීම තරම් වෙන සතුටක් නොවිය.

ලියාපදිංචි කල විවාහයක් නොමැතිව , සැප සම්පත් කිසිත් නොමැතිව , ආරංභ කල අලුත් දිවියේ උපරිම රසය විඳිමින් හිත ගත දෙකම සතුටින් පුරවමින්, තියෙන දෙයක් බඩට දාගෙන ජිවිතය ගලා යෑම පමනක් මට ඇති යැයි සිතේ....


උදේ පාන්දර හයට ප්‍රථම නැගිට තේ කහට කෝප්පයක් බී සුමිත් වැඩට යන්නේය. සුමිත්ට උදේ පාන්දර කැම කා පුරුද්දක් නැත. මටද ඔහුමෙන් උදේට තේ කහට එකක් බී හිදින්නට හොදින්ම පුරුදුය.

දහවල් දහය එකොළහ වනවිට ගෙදර එන සුමිත් පසුදින හවස උයන ලද ඉතිරි හොඳි මාලූත් සමග පාන් බත් හෝ රොටි කන්නෙ මාත් සමඟමය.


සාමාන්‍යයෙන් මම හවස් වරුවට, රෑට හා දවාලට ගන්න උයන්නේ එකටමය. එය පහසුවක් වගේම භූමිතෙල් ඉතිරි කර ගැනිමටද හැකි වෙයි. බතක් මාළුවක් පරිප්පුවකට වැඩි යමක් මම උයන්නෙ නැත. සුමිත් වැඩට ගොස් එනවිට ගෙනෙන අලුත් මාළු වැලක් හෝ කූරියෙක් මම එක පාර ලුනු මිරිස් ගොරකා දමා හින්දා උයා දවස් දෙකකට විතර තියාගන්නෙමි. එබැවින් දවස පතා , බතක් සම්බෝලයක් , පරිප්පුවකට වැඩි යමක් හැදීමට අවශ්‍ය නැත. ගෙදර සිටිය කාලේ පටන් , හැම දෙයක්ම අරපිරිමැස්මෙන් කරගෙන ඇති පුරුද්ද නිසා මම සුමිත් මහන්සි වි හම්බ කරන හැම සතයක්ම ඉතිරි කරගන්නට උත්සහ ගන්නෙමි.

"මොනවද ඔයා මම වැඩට ගිහාම ඇසලින් නැන්දලාගෙ ගෙදරට වෙලා කළේ....?


ඔහු වැඩට ගොස් එනතෙක්, අයිරින් නැන්දා ලණු අබරන තැනට මම යන්නෙ කම්මැලිකමටය.


" මම අයිරින් නැන්දා එක්ක ලණු ඇඹරුවා...මොනව හරි. ඉගෙන ගත්තොත් පස්සෙ කාලෙක මටත් ගෙදර ඉඳන් කීයක් හරි හොයාගන්න පුළුවන්නේ..."


"ඒක නම් හොඳ අදහස...."


"දුලීකා දන්නවාද වැඩක්.... මං මාත් එක්ක ගමේ ට‍්‍රැක්ටරය එළවපු සමන්ට පණිවිඩයක් යැව්වානේ ගාමිණී අයියට කියන්න කියල ඔයා මාත් එක්ක ඉන්නෙ කියලා...මිනිහා මාමට කියලා , අද මට කෝල් කරලා කිව්වා...."


"ඇත්තට ඉතිං... ඉතිං මාමා මොකද කියල තියෙන්නේ....?


"ඔයා ගෙදරින් ගිය එක ඔයාගෙ අම්මට තාම කියල නෑලූ ඒගොල්ලෝ .... අපි දෙන්නට පුලුවන් ඉක්මනට ගෙදර එන්න කිව්වා ඔයගොල්ලන්ගෙ අම්මා දැනගන්න කලින්.... ඒ ආවාහම අපි දෙන්නව ඒගොල්ලෝ මැදිහත් වෙලා කසාද බන්දල දෙන්නම් කියලත් කිව්වේ....."


" නෑ....ඇත්තටම මාමා එහෙම කියලද...?. ඔය ඇත්තමද? මට නම් හිතා ගන්නත් බෑ.... මාමා කොහොමත් හරි හොඳයි, මට ආදරෙයි..... නැන්දත් මට ආදරෙයි. නැන්දාට ළමයා හම්බ වෙනකම්ම මං නෙ උදව් කළේ....."


"ඒක තමයි ගාමිණි අය්යා බය ඇති ඔයා ගෙදරින් ගිය කතාව ඔය්ගොල්ලන්ගෙ අම්මට කියන්න ..ඒකයි අපට එන්න කියන්න ඇත්තේ ..."


" ඉතිං සුමිත් ... අපි කවදද එහේ යන්නේ....මාමා අපිව කසාද බන්දලා දෙන්නම් කිව්වනම් අපි පුලුවන් ඉක්මණට එහේ යමු....." මං සතුටින් ඉපිලෙමින් සුමිත්ගෙ අතේ එල්ලෙමින් කිවෙමි .


"එන සෙනසුරාදා ඔයගොල්ලන්ගෙ අම්මලාට ගාමිණි අය්යා නුවර එන්න කියනවලු .... අපි දෙන්නට ඊට ඉස්සර බ‍්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි එන්න කියල සමන් අතේ පණිවිඩයක් එවලා තිබුනේ..."


"අනේ ඒකනම් කොච්චර දෙයක්ද...? අනේ අපි ගමේ යමු සුමිත් ... මොනව වුණත් අම්මලා, නැන්දලාගේ ආශිර්වාදය අපේ විවාහ ජීවිතයට ලැබෙන එකත් ලොකු දෙයක්නේ...."


"එහෙනම් මම මේ සිකුරාදා උදේ වැඩ ඉවර කරලා ඇවිත්, අපි දවල්ට නුවර යමු... මං මුදලාලිට කියල එන්නම් මම සුමානෙකට විතර ගමේ ගිහින් එන්න යනව කියල...."


"ඔව් ඒක හොඳයි... මොනව වුණත් ඔයාට ආපු ගමන් ම රස්සාව දුන්න කෙනානේ....කියලා යන එක හොදයි ..."


"මට නම් ගෙදර යන්න ලැජ්ජත් වගේ...."


"ඔයා ගෙදරින් ගිය දවසෙම ගාමිණී අයියා, හවස අපේ ගෙදර ගිහින් මං කෝ කියල අම්මගෙන් අහල.... නංගි කියල ඇඳුම් බෑග් එකකුත් අරගෙන කොහේද ගියා කියල... ගාමිණී අයියා මං ගැන දන්නවා. ඌ මට අකමැති නෑ. මං මහන්සි වෙලා වැඩ කරන නිසා ඌ මට කැමතියි. අපි දෙන්නා අතර ඇයි හොඳයියක් තිබුණා කියලා සාමා අක්කත් දන්නවා. ඒකිත් අපි දෙන්නට කතා කරන්න මඟ හැරල හිටිය හැටි මට මතකයි...."


"ඔව්... සාමා නැන්දා දවසක් මගෙන් ඇහැව්වා ඔයයි මගෙයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලත්...., මං කිව්වා අපි අතර එහෙම මුකුත් නෑ කියලා. ඒ වෙලේ සාමා නැන්දා කිව්වා සුමිත් හොඳ එකා හොඳ ධෛර්යවන්ත කොල්ලා කියලත්..."


"එහෙනම් අපි සිකුරාදා දවල්ට නුවර යමු...මට නම් හරි සතුටුයි ..මාමලා අපි දෙන්නට සමාව දීලා ගෙදර එන්න කියපු එකට..."


සිකුරාදා හවස නුවර නැන්දලාගේ ගෙදර යන්න කතා කරමින් අප දෙදෙනා අයිරින් අක්කාගෙ කුස්සියේ, භූමිතෙල් ලිපේ රෑට කන්න උයමින් සිටියෙමු. සැමදාම හවසට වේලාසන කෑම උයා ගන්නෙ පසුදින දවාලටත් එක්කයි. රෑ වනවිට අයිරින් අක්කා කුස්සියෙ උයන්න එන්න ඉස්සර මං අපි දෙන්නාට කන්න බත් උයා ගන්නෙමි. මා උයා ඉවර වෙන තෙක් කුස්සියේ පෙරලපු වංගෙඩිය උඩ ඉඳගෙන, සුමිත් මා සමඟ ආගිය තොරතුරු කතා කරමින් පාළු කපන්නේය.

බතක්, පරිප්පුවක් සාදා පොල් සම්බලක්, තක්කාලි සම්බෝලයක් වැනි දෙයක් සාදා අලූත් මාළු මිරිසට හෝ තෙලේ බැඳ රෑ කෑමට මම නිතරම උයන දේවල්ය. වැඩ ඇරී එන විට මාළු කූරියෙක් හෝ පොඩි මාළු වැලක් ලාභෙට හෝ නිකං හම්බ වුණොත් සුමිත් රැුගෙන එන්නට අමතක නො කරයි. අපේ හැම වේලකට ම අලූත් මාළු මිරිසට කිරට හෝ තෙලේ බැඳ කෑමට එක් කර ගනිමු. නුවර හා අතුරුගිරියේ සිටියදී නිතර මාළු කන්නට නොලැබුණ නිසා මා අලූත් මාළු කෑමට ඉතා කැමතිය. සුමිත් ද එලෙස ය. ලාභෙට හම්බවෙන නිසා නිතර ම අප ආහාරයට මාළු කෑමට ගනිමු.


මීගමුවට අප දෙදෙනා ආ පසු ගෙවුනු සුමාන දෙක, ගෙවි ගියේ හරි ඉක්මනට ,හරි සතුටෙනි. හවස් වරුවේ උයා පිහා ගන්නා අපේ කෑම ටික, අපේ ලෑලි කාමරයේ මුල්ලකින් තියා හොඳින් දොර වසා අප මුහුදු වෙරළේ ඇවිදින්නට යන්නෙමු. වැල්ලේ බැස මුහුදු වතුර නා ඒ ඇඳුම් පිටින් ම පයිප්පය ලඟට ගොස් වතුර නා ගන්නෙමු. වැල්ලේ මුහුදු වතුරේ බැස සෙල්ලම් කරමින් සතුටින් කාලය ගත කරන අප දෙදෙනා දිනක් චිත‍්‍රපටයක් බැලීමට ද ගියෙමු. හොඳින් ඇඳ පැළඳගෙන චිත‍්‍රපටයක් බැලීමට යෑමට මම හරි කැමතිය. රට කජු ගොට්ටක් ඉවර කරමින් චිත‍්‍රපටය බලා රෑ එන ගමන් සයිවර් කඬේකින් තෝසේ කා ගෙදර ආවෙමු. ලෑලි කාමරය තුළ විවාහයේ උපරිම සතුට විඳිමින්, මීගමුවට විත් අප දෙදෙනා සුමාන දෙකක් ගෙවා නිම කෙරුවෙමු. ගෙවී යන ජීවිතය අඟහිඟකම් තිබුණත් සතුටෙන් තෘප්තියෙන් ගත කරන්නට ලැබීම අප දෙදෙනාට ම සතුටකි.

-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page