top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 1, 2021
  • 8 min read

💥ගිමන් හරිමි 💥

(27 වෙනි කොටස)

පසුගිය රාත්‍රීයේ සමීර, සුමිත්ට කිව්වේ උදේට පහසු ඇඳුමක් ඇඳ ගෙන වැල්ලට යන්න එන ලෙසයි. ඒ උදේට ලැබෙන රස්සාවක් කරන්න පුලුවන් වෙයි කියායි... සුමිත් උදේ කොට කලිසමක් හා ටී ෂර්ටයකින් සැරසී ආවේ රැකියාවක් හමු වුණොත් එයට ඒ මොහොතේම යන අදහසිනි.


අපට පැත්තකට වෙලා ඉන්න කිව් සමිර, මාළු මුදලාලි කෙනෙකු යැයි සිතිය හැකි කෙනෙකු ලඟට ගොස් මොන මොනවාදෝ කියනු අපට ඈතට පෙනින. ඉතා රෞද්‍ර පෙනුමැති ඔහු, සමීර කීයන දෙය අසා සමිරට අතින් සන් කරමින්,


"එන්න කියනවා ,එන්න කියනවා ඉක්මණට..... මේ මාළු පෙට්ටි ගිහින් ලොරියට දාන්න කියනවා. හා... හා... හරි පස්සෙ බලමු ඒ රස්සාව... දැන් මේ පෙට්ටි ගිහින් දාන්න තියෙනවා. ...කෝ කෝ මිනිහා...."

ඉතා කලබලයෙන් ඔහු වට පිට බැලීය. සුමිත් විගහට මාළු මුදලාලි ලඟට දුවලා වගේ ගියේ සමිර අතින් ඔහුට එතනට එන්න කිව් නිසයි .


"මල්ලි,... මේ පෙට්ටි ලොරියට ගිහින් දාන්න තමයි තියෙන්නෙ.... පස්සෙ බලමු ඩ‍්‍රැයිවින් ජොබ් එක... පරක්කු වෙනවා ඉක්මනට පටන් ගන්නවා ඉක්මනට .... අර ඈත තියෙන්නෙ නිල් පාට ලොරිය. ඒකට මේ මාළු පෙට්ටි ගිහින් දාන්න තියෙන්නේ...."


වෙන්දේසියෙන් මිල දී ගත් මාළු පෙට්ටි මුදලාලි ඔහුගෙ ගෝල බාලයින් ලවා ඔහුගෙ ලොරියට දමා පටවා ගන්නෙ කොළඹ ගෙනියන්නටය. දවල් වෙන්නට මත්තෙන් මාළු කොළඹට ගෙනියන්න අවශ්‍ය බැවින් සැවොම ඉතා කලබලයෙන් පෙට්ටි එහෙ මෙහෙ ගෙනියමින් කෑ ගසමින් වෙරළේ දඟලති. උදේට මීගමු වෙරළේ මාලූ බෝට්ටු එන පෙදෙස ඉතා කලබලකාරීය. එකිනෙකා බැන අඬ ගහන සද්දවලින් ද ඉවරයක් නැත. පොඞ්ඩ බැරි වනවිට මාළු පිහිය උලූක්කු කරවා ගෙන කතා කරනා ගෑණු මිනිස්සු දකිද්දී මට හිතට බයක් ද දැනේ...

.

"සුමිත් එහෙනම් දැන්ම මේ වැඩේ පටන් ගන්න.... පස්සෙ හොඳ රස්සාවක් හොයාගෙන කරන්න බැරියැ.... දැනට ජීවත් වෙන්න කීයක් හරි හම්බ කරගන්න මේකවත් කරන්න..."


සමීර සුමිත්ට අවවාද කරයි.


"හරි... හරි... සමීර මං එහෙනම් මාළු පෙට්ටි ලොරියට පටවලා එන්නම් ....පොඞ්ඩක් දුලීකාව බලාගන්න...

දුලීකා ඔයා පොඞ්ඩක් වෙරළේ අර පැත්තට වෙන්න වාඩි වෙලා ඉන්න මං ඉක්මණට ලොරිය යන්න ඉස්සර මාළු පෙට්ටි ,ලොරියට පටවලා එන්නම්....."

සුමිත් හදිස්සියේ මාළු පෙට්ටි තියෙන තැනට දුවන ගමන් මට කීය.


එළවලූ පෙට්ටි උස්සා පුරුදු සුමිත්ට මාළු පෙට්ටි උස්සන එක ඒ තරම් අමාරු දෙයක් නොවන බව මා දනී. අදින් පසු අප දෙදෙනාගේ වියදමට කීයක් හරි හොයා ගත යුතු නිසා සුමිත් එයට, අදම වැඩ පටන් ගෙන ඇත. අද සිට අප දෙදෙනා ජීවත් වීමට කීයක් හරි මුදලක් සොයා ගත යුතුය. ඒ සදහා මොනවා හෝ රැකියාවක් සුමිත් කල යුතුය. සුමිත් මාළු පෙට්ටි කර තබා ගෙන ලොරිය වෙත යන හැටි මා නැවති සිටි තැනට දැක ගත හැකි විය. මට සුමිත් ගැන ඇති වුණේ දුකකි.


උදේ හත, අට වනවිට සුමිත් සහ අනිත් පිරිමි ළමයින් මාළු මුදලාලිලාගෙ ලොරි වලට මාළු පටවා අහවර කළේ ය. මුදලාලි හවසට ගණන් බේරන බැව් කිව් පසු සුමිත් වෙන මාළු මුදලාලි කෙනෙක් ගේ ද මාළු පෙට්ටි උස්සන වැඬේ පටන් ගත්තෙ තව කීයක් හරි හොයා ගත යුතු බැවිනි. ඔහු මාළු පෙට්ටි උස්සාගෙන යන අයුරු දකින විට මාගේ හිතට දුකක් දැනේ.... නමුත් මීගමුවේ වෙරළ කිට්ටුව සිටිනා ඔහුගෙ වයසේ පිරිමි ළමයින් හා වැඩිහිටියන්ගේ රැකියාව මෙයවේ. ඔවුන් උදයට කෙඳිරි නොගා මේ රැකියාව කරන්නේ මුළු පවුලක බඩ වියත රැකගැනීමටය. උදයට කිලිටි ඇඳුමක් ඇඳ ගෙන ඔළුවේ ඉඳන් දෙකට කැපු පෝර බෑගයක් පිටුපසින් දමා ගන්නා ඔවුන් (මාළු වතුර බේරනවාට) මාළු පෙට්ටි ඔළුවේ තබා ගෙන ලොරිවලට ගෙන යයි. පෝර බෑගය ඔළුවේ සිට දමා ගත් විට මාළු පෙට්ටිවලින් බේරෙන වතුර ඇඟ දිගේ බේරී යාමෙන් මිදිය හැකි ය.


හිරු නැග එන හිමිදිරියේ කලබලයෙන් පිරිණු මීගමු වෙරළට මාළු බෝට්ටු එන විදිහ, මාළු දැල් වෙරළට අදින හැටි, මාළු මුදලාලිලා කේවල් කරමින් ලංසු දමමින් මාළු මිලදි ගන්නා හැටි, මිගමු වෙරලේ ගැහැනු මිනිසුන්ගෙ හැම ඉරියව්වක්ම නීරික්ශනය කරමින් ,අවට සිදුවන දෑ බලමින් මා මුහුදු වෙරළේ නිදහස් තැනක වාඩි වී සිටියේ සුමිත් වැඩ අහවර කර එන තෙක් ය.


"නංගි එහෙනම් ඔතන වාඩි වෙලා ඉන්න. මං අපේ නැන්දට කතා කරල බලන්නම්. උඹලට අද රෑට නවතින්න කාමර කෑල්ලක් හොයා ගන්න පුළුවන්ද කියලා..."


"අනේ ඒකනම් ලොකු උදව්වක් අයියේ... මං මෙහෙම ඉන්නම් සුමිත් එනකම්."


"හොඳයි... හොඳයි... වැඩි ඈතට යන්න එපා නංගිට මේ පැත්ත පුරුදු නෑනේ...."


මම මුහුදු වෙරළේ ඈතට වෙන්න තිබූ පොල් ගසක් යට වාඩි වී සුමිත්ලා වැඩ කරන පැත්ත බලා ගෙන කල්පනා කරමින් උන්නේ මගේ ජීවිතය පටන් ගත්දා සිට අද වෙනතෙක් ගෙවපු ජීවිතය ගැනය.


කොළඹ ජීවත් වු මම ,පාදුක්කේ බාප්පලාගෙ ගෙදර ගිය හැටි, ඉන් පසු නුවර මාමලාගෙ ගෙදර හිටිය හැටි....සුමිත් සමග ආදර සම්බන්ධය පටන්ගෙන අවුරුද්දකින් කසාද නොබැද ඔහු සමග මීගමු ආ මම...මගේ අනාගතය කෙසේ විසදේවිද, සුමිත් මට හොදින් සලකාගෙන ඉදීද..? මට වෙනස් කමක් කරයිද...? කසාද නොබැද මට සුමිත් ගෙන් දරුවෙක් ලැබෙයිද...? ,මට යනඑනමං නැති වෙයිද...? ,මගේ ජීවිතය මම හිටියට වඩා අන්ත දුඛ්ත තත්ත්වයකට පත් වෙයිද...? මට මම ගැනම ඉදිරිකාලයේ විය හැකි නොයෙකුත් සුභ අසුභ දේවල් සිහි වෙයි.....


හදිසියේ ම මගෙ හිතට බයක් දැනුණේ නැන්දත්, මාමලාත් මතක් වය..... ඔවුන් දැන් මාව සොයනවා ඇති. මං කොහේ ගිහින් ඇති දැයි ඔවුන් බය වී ඇත. නමුත් මා මේ සුමානෙ ගෙදර යන්න සිට බැවින් මා ගෙදර යන්න ඇතැයිද ඔවුන් හිතනු ඇත. ඒත් මා කාටවත් නොකියා ගියේ ඇයි දැයි සිතනු ඇත. මම සුමිත් සමග යන බව කියා, ලියා ආ ලියුම දැක නැන්දලා ඒ ගැන සිතනු ඇත.


නැන්දා, හා මාමා මා සුමිත් සමඟ ඇයි හොඳයියක් තිබුණ බව දැනගෙන සිටියේය.... එම නිසා නැන්දා සුමිත්ලගෙ ගෙදර ගොස් මා ගැන විපරම් කරයි ද? සුමිත් කසාඳ නොබැඳපු අක්කාත්, නංගීත්, මල්ලීත් සමඟ ජීවත්වන සුමිත්ගෙ අම්මා මා ගැන මොනව හිතනු ඇද්ද? මා ගෙදරින් ගොස් ඇති බව මාමාගෙන් දැනගෙන අම්මා මොනවා කරයි ද? මොනවා සිතයි ද? ඇය නැන්දාට අනිවාර්යයෙන් බැන වඳිනු ඇත.... මා ඇයගෙ නිවසේ වැඩකාරියක් ලෙස සිටි ආකාරය දැක කුපිත වී මා හට ගෙදර එන්න යැයි පවසා ගෙදර ගිය අම්මා නැන්දාගෙ වැරදි නිසා මා ගෙදරින් යන්න ඇතැයි සිතනු ඇත. මා දහසකුත් එකක් ඇති වී තිබෙන ප‍්‍රශ්න ගැන සිතමින් උන්නෙමි. උදේ වරුවේ කරදිය මිශ‍්‍ර මාළු ගඳත් සමඟ මිශ‍්‍ර වී එන සීතල සුලඟ විඳිමින්, මුහුදු වෙරළේ පොල් ගසක් යට වාඩි වී සිටයේ සුමිත් වැඩ අහවර කර එන තෙක්ය.


මට ඈත පොල් ගස් අතරින් මා සිටින දෙසට එන සමීර පෙනේ...ඔහුගෙ මුහුනේ සතුටක් ඇත. මම ඔහු මා දෙසට එන පෙර මගට ගියේ ඔහුගේ සතුට ගැන දැන ගැනීමටය.

"හරි නංගි වැඬේ හරි....අපේ නැන්දලාගෙ ගෙදර එක කාමර කෑල්ලක් කුළියට දෙන්න තියෙනවා කිව්වා... උඹලට අදම ඒකේ පදිංචියට යන්න පුලූවන්...."


"අනේ ඇත්තද අයියේ...ඒක නම් ලොකු දෙයක් ...අපි දෙන්නට අදම නවතින්න තැනක් හම්බවුන එක...."


"හැබැයි සුමාන පතා ගෙට කුලිය දෙන්න ඕනේ.... සුමානෙකට රු. 60 යි. මාසයක් ගෙයි කුලිය ගන්න අයිරින් නැන්දා බලන් ඉන්න කැමති නෑ.... හැමදාම සුමානෙ රස්සාවෙන් හම්බවෙන පඩියෙන් ගණන් බේරනවාට තමයි ඒකි කැමති.... නැත්නම් ඉතිං, එදාවේල හම්බ කරන මිනිස්සු , මාසෙ අන්තිමට එකපාර සල්ලි දෙන්න ගිහාම කම්මැලි කරනවා....ඊටත් මෙහෙ වැල්ලෙ කට්ටිය එදාවේල හම්බකරගෙන කාලාබීලා ඉන්නවා ඇරෙන්න හෙට දවසක් ගැන හිතන අය නෙමේනේ .... රුපියල් හැටනම් ඉතිං නංගිලාට අමාරුවක් නැතිව ගෙවල දාන්නත් පුළුවන්නේ...."


"ඒක හොඳයි අයියේ.... අපි සුමිත් වැඩ ඉවර කරල ආවහම ඒක බලන්න යමුද...?


" ඔව්...මම ගෙස්ට් හවුස් එකට ගිහින්, ඔයගොල්ලන්ගෙ ඇදුම් බෑග් දෙකත් ඇරන් එන්නම්.....තව ඇතිලි දෙකකුයි, පිඟන් කෝප්ප දෙක තුනකුයි, උඹලට ගෙනත් දෙන්නම් උයාගෙන කන්න.... රෙස්ට්හවුස් එකේ අයින් කරපු ඇඳ රෙදි තියෙනවා. උඹලට නිදාගන්න පොරවන්න ඒවත් දෙන්නම් මං...."


"අනේ අයියට ගොඩක් පිං අපට උදව් කරනවට..."


"හැබැයි ඉතිං කෑම උයාගන්න භූමිතෙල් ලිපකුයි, නිදාගන්න පැදුරකුයි සල්ලි වලට ගන්න වෙයි.... කොට්ට දෙකකුත් මම දෙන්නම්කෝ....උයාගෙන කන්න භූමිතෙල් ලිපක් ගන්න නංගිලා ලඟ සල්ලි තියෙනවද?.... වැඩි ගානක් නෑ. රුපියල් 450 ක් විතර වෙයි...."


"සුමිත් අතේ සල්ලි ටිකක් තිබුණා... පුළුවන් වෙයි අයියේ....."


"එහෙනම් මම ගෙස්ට් හවුස් එකට ගිහින් ඔයගොල්ලන්ගෙ ඇදුම් බෑග් දෙක ඇරන් එන්නම්...අද හවස් වෙනකොට කට්ටියක් ගෙස්ට් හවුස් එකේ නවතින්න එනවා...ඒ හින්දා දවාලෙන් පස්සෙ, මට වැඩ ගොඩක් තියෙනවා ... අපි සුමිත් ආව ගමන් නැන්දලාගෙ ගෙදර කාමරය බලන්න යමු..."


"හොදමයි අය්යේ..."


සුමිත් සමග හොරෙන් ඇවිත් මම අලුතින් පටන් ගන්න යන ජීවිතය.... අදින් පසු එක වහලක් යට එකට ජීවත් වෙන්න හදන අපි දෙදෙනාට කාමර කෑල්ලක හරි එකට ජීවත් වෙන්න ලැබෙන ඒක කොච්චර දෙයක්ද...?


දහවල් එකොළහ විතර වෙන කොට සුමිත් මාලූ පෙට්ටි ලොරිවලට පටවා අහවර කර මා සිටින තැනට පැමිණියේ භාගෙට මැරුන ගානටය.


"අම්මේ.... එළවලූ පෙට්ටිවලට වඩා බරයි බං මාළු පෙට්ටි..... පෙට්ටි ගාන ගණන් කර කර, ලොරියට දමන නිසා පෙට්ටි ගාන වැඩි කර ගන්න මං එක හුස්මට පෙට්ටි ඇද්දා.... දැන්නම් අත් දෙකයි, උරහිසයි දෙකම රිදෙනවා.... සුමිත් අමාරුවෙන් උණත් උද්යෝගයෙන් කතා කිරීම මගේ හිතට දුකක් වගේ ම සතුටක් විය.


"ලොකු දෙයක් එදාවේල හොයා ගන්න පුළුවන් රස්සාවක් හරි මෙහෙම හොයා ගන්න පුලූවන් උන එක....මටත් දුකයි ඔයා ගැන ...පුලුවන් ඉක්මනට මටත් මොකක් හරි රස්සාවක් හොයල දෙන්න කියලා සමිර අය්යට කියන්න ඕනේ...."


"කෝ සමිර ගෙදර ගියාද..?


" ඔව්, සමීරඅයියා එයාලගෙ නැන්දට කතා කරල , අපට නවතින්න කාමරයක් හොයාගෙන... එක කාමර කෑල්ලක් තියෙනවලූ එයාගෙ ගෙදර .... අපට ඒක අදම ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා...."


"ඇත්තට, ඒක ලොකු දෙයක්. මං මේ බයේ හිටියේ අද රෑ කොහේ නවතින්නද කියලා.... අද සමිරලගෙ රෙස්ට් හවුස් එකට , හවසට පවුලක් එනවලූ දවස් දෙකක් නවතින්න...."


" සමීර අයියා අපට ඊයේ රෑ ඒකේ හොරෙන් හරි නවතින්න දීලා කරපු උදව්ව මදෑ....ඒක කවුරු හරි දැනගත්තොත් එයාගෙ රස්සාවත් නැති වෙනවා...."


"අපි එහෙනම් යමුද....? කොයි පැත්තට ද සමීර ගියේ.... මගේ ඇගෙන් මාළු ගඳ එනවද දුලීකා ...මාළු පෙට්ටි උස්සන කොට, ඔළුවේ ඉදන් ඉටි කොලේ දාගත්තත් ඇඳුම්වලට මාළු ඉස්ම බේරෙනවා...."


සුමිත් ඔහුගේ කමීසය එහෙ මෙහෙ ඉඹ බලමින් වෙරළ කොනේ තිබුණ ටැප් එක පැත්තට ගියේ අත පය හෝදාගන්නටය.... ඔහු කමීසය ගලවා වතුර පයිප්පයෙන් මූණ කට අත පය ඇගේ උඩ කොටස දෙකට නැමී සෝදාගන්නා කම් මම එතනට වෙලා බලා සිටියෙමි. ඇගපත උඩින් පල්ලෙන් සෝදාගත් සුමිත්, කමීසය නැවත ඇද නොගෙන, කරේ දමාගෙන ගෙන මා සමඟ කතා කරමින් ආවේ මුහුදු සුලඟට ඇගේ තියෙන වතුර වේලෙන්න හැරය.


"ආ... අර එන්නේ සමිර අයියා.... අර අපේ ඇඳුම් බෑගුත් උස්සගෙන එනවා...."


ඈත වෙරළ කොනකින් සමිර අපි දෙන්නාගෙ ඇදුම් බෑග් හා තව ගෝනියක් උස්සාගෙන එන හැටි අපට පෙනේ...අප දෙදෙනා ඔහු එන පැත්තට අඩිය ඉක්මන් කරමින් ගියෙමු .


"ආ... සුමිත් වැඩ ඉවර කරලා ආවද.....? අද හවස අර මාළු වාඩියට වරෙන්.... මාළු මුදලාලි පෙට්ටි උස්සපු මිනිස්සුන්ගේ පඩිය,ගාන බේරන්න හවසට වැල්ලට එනවා. ඒ වෙලාවට වාඩියට වරෙන්... .දවස් පතා කුළිය හම්බ වෙන නිසා හොඳයි. යන්තම් පන ගැටගහ ගන්න මදෑ ඔය රස්සාව හරි හම්බුන එක....


"අපොයි ඔව්...මේ රස්සාව හරි හම්බුන එක ලොකු දෙයක් ...කාත් කවුරුත් නැති අපි දෙන්නට නැත්නම් බඩගින්නේ ඉන්න වෙන්නේ..."


"ඔන්න මං උඹලාගේ ඇඳුම් බෑග් දෙක අරගෙනම ආවා.... මොකද අද හවස් වෙනකොට කට්ටියක් රෙස්ට් හවුස් එකේ නවතින්න එනවා. උඹලා ඒ පැත්තෙ කැරකැවෙනවා කවුරුත් දැක්කොත් මට ප‍්‍රශ්නයක් වෙන්නේ...."


"උඹට පිං ...අපට ඊයේ රෑ නවතින්න දීලා සැලකුවාට.....මේ දුලීකා කිව්වා අපට නවතින්න තැනක් උඹ හොයාගත්තා කියලා ...."


සමීර අතේ තිබුණ අපේ ඇදුම් බෑග් අතට ගනිමින් සුමිත් ඇසුවේය.


"ඔව්... ඔව්... යමු යමු උඹලගෙ වෙලාව හොදයි ...මම මේ දැන් ගිහින් කතා කරලා ආව විතරයි ....යමු මං අඳුනලා දෙන්නම් අයිරින් නැන්දව.... මට අද හවස නම් උඹල බලන්න එන්න බැරිවෙයි. අර නවතින්න ආපු කට්ටිය ගිහාම තමයි මට ආයි උඹල බලන්න එන්න වෙන්නෙ.... උඹල දෙන්නට තනියක් නෑනේ, මොනවහරි උවමනාවක් වුණොත් අයිරින් නැන්දට කියපන්කෝ එකී මගේ තාත්තගෙ නංගී.....එහෙනම් යමු..."


සමීර අපව අයිරින් නැන්දාගෙ ගෙදරට එක්ක ගියේ කළබලේමය. ඔහුට නිවාඩු නිකේතනයේ වැඩ තියෙන වෙලාවේ ඔහු අප ගැනත් බැලීම ගැන මට ඇතිවි තිබුනේ ඔහු ගැන ගෞරවයකි.....


මාළු බෝට්ටු එන මීගමු වෙරළ තීරයට ටිකක් ඈතට වෙන්න ....වෙරලේ පොල් ගස් හෙවනේ එක ලගට වෙන්න හදා තිබුන ලෑලි ගෙවල් පොකුරක් දැක මට අපි පුංචි කාලේ ජීවත් වු ලැයිම සිහි විය. පොල් ගස් හෙවනේ ලෑලි ගසා, ටකරන් හා පොල් අතු සෙවිලි කර එක ලග ඇති ගෙවල් ඇතුලේ හා එළියේ මිනිසුන්, ළමයි ඉන්නවා පෙනේ... ලෑලි ගෙවල් ඉදිරිපිට මිදුල් වල බූරු ඇදවල් , ලෑලි බංකු තබා ඒවායේ ගිමන් අරින කොටසක්ද දකින්න ලැබේ... ගෙවල් වල ඉස්සරහ පස්සෙ මාලු දැල්, වට්ටි පෙට්ටි , ආම්පන්න එල්ලා ඇත....පිලිවෙලකට වත්ත පිටියේ බඩු මුට්ටු තැබු ගෙවල් දකින්න නැති තරම්‍ය.

සමහර ගෙවල් උඩින් දුම් කැරළි යන්නේ ...දර ලිපක යමක් ඉදෙන බව පෙන්වීමටය. පුංච් ළමයි හරියට ඇගට ඇදුමක් නැතුව වැල්ලේ වැලි ගොඩේ සෙල්ලම් කරති. ඔවුන් ඔවුන්ගේ ලෝකය් සෙල්ලම් කරන්නේ වටපිටාව ගැන සිහියක් නැතුවය.


ඒ අවට නකුට කකුල් දෙක අස්සේ ගසාගත් බල්ලෝ, හා වැල්ලෙ වලවල් හාරාගෙන නිදා සිටින හොරිකඩ බල්ලොත් ඇත. එයින් එක බල්ලෙක් අප දැක හිටි තැනින් නැගිට විත්, අපට පැන පැන බුරන්න පටන් ගත්තේ අවට ගෙවල් වල නිදා සිටි බල්ලන් දෙතුන් දෙනෙක්ද ඇහැරවමින්‍ය.


වෙරලේ පොල්ගස් හෙවනේ ඇති ගෙවල් ගොඩේ ,එලියේ මිදුලේ සිටින මිනිසුන්ට අප ගැන ගානක් නැත. ඔවුන් හරි සද්දෙට, කෑගසමින් කතා කරමින්, සමහරු රංඩු කරමින් ඔවුන්ගෙ ලෝක වල සිටිති.


සමිර අප දෙදෙනා එක්ක ගිය ගෙදර ,වැල්ලේ ගෙවල් ගොඩේ කොනකට වෙන්න ටකරන් ගසා හදාතිබු ලෑලි ගෙදරකි. මිදුලද වටකර එහි පොල් අතු වලින් තාප්පයක් පරිස්සමට හදා තිබුනි. අනෙක් ගෙවල් වලට වඩා ටිකක් පෙනුමට තිබුන ඒ ගෙදර පිරිසිදු කම අතින්ද, අනෙක් ගෙවල් වලට වඩා හොද විය.


අපි ඒ ගෙදර දොරකඩට ගිය විට, ගෙදර ඇතුලේ සිටි තරබාරු ගැහැනු කෙනෙකු එයින් එළියට ආවේ සමීර අය්යාට සද්දෙන් කතා කරමින්‍ය.


"ඈ සමිරයෝ උඹ කිව්ව අලුත් ජෝඩුවද මේ...

මේකි තාම පොඩි කෙල්ලෙක්නේ බං..... උඹල කසාඳ බැඳලද කෙල්ලේ ...? ඇය මා දෙස බලමින් ඇසුවාය.


මම හෙමිහිට ඔළුව වැනුවේ ඔව් කියන්නා සේ ය.... මා කසාඳ බැඳ නැති බැව් පැවසුවොත් ඇය අපට නවාතැන් දෙන්නෙ නැති වෙයි කියා මට බය සිතුනි.


" එහෙනම් කමක් නෑ...නැත්තම් මට පොලීසි ගානෙත් යන්න වෙයි උඹලට නවාතැන් දීලා....... වරෙන්... වරෙන් ඇතුලට... සමිර කිව්වහම උගේ යාළුවෙක්ට කාමරයක් හොයන්නේ කියල කොහොමද බෑ කියන්නේ.... මං කුලියට දෙන කාමරයක් නෙමේ මේක, අපේ ගෙදරම පිටුපස්සෙ තියෙන ඔය මාළු ආම්පන්න බඩු දාන කාමරයේ තමයි උඹලට ඉන්න වෙන්නෙ...මම දැන් ටිකක් ඒ කාමරය අස්කරලා ලට්ට ලොට්ට එළියට ඇදලා දැම්මා...උඹලට මගේ කුස්සියෙම භූමිතෙල් ලිපක් තියාගෙන උයා ගන්න වෙන්නේ..."


"හා... අක්කේ...ඒකට කමක් නෑ....ඇය කියන දෙයකට කැමති විය යුතු බැවින් මා කිව්වෙමි.


"එහෙනම්... සුමිත් මෙන්න මේ බෑග් එකේ ඇද රෙදි දෙකක් තියෙනවා. පිඟන් කෝප්ප දෙක තුනකුයි, ඇතිලි දෙකකුත් ඇති. තව මොනවහරි ඕන වුණොත් නැන්දගෙන් ඉල්ල ගනිල්ලා.. මට පරක්කු වෙනවා මම යන්නම්....."


"බොහොම ස්තුතියි සමිර අය්යේ අපට කල උදව් වලට..."


මම අපට පිටුපා කළබලේ යන්න හදන සමිර අය්යාට කීවෙමි.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page