top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 1, 2021
  • 5 min read

💥ගිමන් හරිමි💥

(20 වන කොටස )

"ඔව්... උඹ ඉක්මණට ඇදගෙන පළයන්.... මං හිතන්නෙ ලොකු අයියා ඉස්පිරිතාලේ කියල තමයි මාමාට කෝල් කරපු කෙනා කියල තියෙන්නේ...."


"අනේ දෙවියනේ... ලොකු අයියාට මොනව වෙලා කියලද කිව්වෙ නැද්ද නැන්දේ....? අනේ මට දුකේ බෑ.... අපිට පොඩි කාලේ ඉදන් කන්ඩ බොන්ඩ ගෙනත් දීලා අපිව බලාගත්ත අය්යා...අනේ අය්යට ලොකු අමාරුවක්ද දන්නෑ... නැන්දේ...."


"දන්නෑ බං...ඉක්මනට උඹ ගෙදර ගිහින්ම බලපං..."


"මට බයයි දුකයි නැන්දේ ..."


අම්මා රට හිටිය කාලේ, අපිව බලාගත්ත ලොකු අයියා, හවසට බඩු මළු උස්සාගෙන ආ හැටි මට මැවී මැවි පෙනේ.... අම්මා, තාත්තාට වඩා අප ගැන සොයා බලපු ලොකු අයියා, මාකට් එකේ පරණ එළවලූ පළතුරු ගෙනත් දෙමින් අපේ බඩකට පිර වූ ලොකු අයියා...., ඇයි දන්නෙ නෑ ඉස්පිරිතාලේ.....මගේ පපුව බයෙන් ගැහේ... මටත් නොදැනීම මගේ ඇස් දෙක කදුළුන් පිරි, බිමට වැටෙන්න ලංව ඇත.


"දන්නෙ නෑ බං... උඹ ගෙදර ගිහින්ම බලපං... මෙතන අඩන්නෙ නැතුව ....හැබැයි පුලුවන් ඉක්මනට ආයෙත් නුවර වරෙන්....මටත් දැන් කොයි වෙලේ දරුවා ලැබෙයිද කියලා දන්නෑ...."


"අන්න මාමා ආවා...එහෙනම් මම යන්නම් නැන්දේ..."


"හොදයි, හොදයි ..පරිස්සමින් පළයං ...."


නුවරින් කොළඹ බස්සෙකට මා නැග්ග වූ මාමා මා අතට, මුදල් වගයක් ද දුන්නේ අම්මාට දෙන්න කියායි.


"දුලිකා පුළුවන් ඉක්මණට ආපහු නුවර වරෙන් දුවේ.... නැන්දට කොයි වෙලේ ද නෑ ළමය හම්බවෙන්න..."


"මං ඉක්මණට එන්නම් මාමේ...අය්යා මතක් වෙනකොට මට දුකයි බයයි...."

මම කොළඹ යන වග සුමිත්ට කියන්නවත් තරම් වේලාවක් නොතිබුණි. මා හනිකට ලෑස්ති වී කොළඹ ආවේ ලොකු අයියා ඉස්පිරිතාලේ බව දැන ගත් වහාය.


සුමිත් නැන්දලාගෙන් දැන ගනීවි මං කොළඹ ගිය වග... පුළුවන් ඉක්මණට මං ආපහු එන්න බලනවා...අනේ අද දැන් පැය දෙක තුනකට උඩදි ..සුමිත් මගේ කමුලක් සිපගෙන මාව කසාද බදින්න කැමති යැයි කිව් සතුටුදායක මොහොත ......එය සතුටින් විදින්න මොහොතක් ඉඩ නොදී, මට මේ ආරංචි උන නරක ආරංචිය..

අනේ දෙවියනේ මම වගේ පව් කාරියක්...කවදාවත් මට මගේ කියලා කිසිම දේකින් සතුටක් විදින්න ලැබෙන්නේ නැති හැටි..... මට දැන් ලොකු අය්යා ගැන ඇත්තේ ලොකු බයකි... .


දහවලෙන් පසු, බසයට නැග ගත් මා පාදුක්කේ අපේ ගෙදරට යනවිට හොඳටම රෑ බෝවි තිබුණි.


"ඈ මල්ලියේ අම්මයි බාප්පයි කෝ...."


"ලොකු අය්යා බලන්න ඉස්පිරිතාලේට ගියා..."


මම ගෙදර යනවිට අම්මා සහ බාප්පා ගෙදර නොසිටියේ බාප්පාත් අම්මා සමඟ, ඉස්පිරිතාලෙට අය්යා බලන්න ගොස් තිබු නිසයි.... ගෙදර සිටියේ මල්ලිලා දෙන්නා පමණය.කොළඹ කොටුවෙන් බසයට නගිනන්ට පෙර මා ගත් රට කජු මුලත්, බූන්දි බෑගයක් ඔවුන් දෙදෙනාට දුන් මා ඔවුන්ගෙන් ලොකු අයියා ගැන ඇසීමි. උන් දෙන්නාට මා අහන දේට උත්තර දීමට සිහියක් නැත. ඔවුන් පොරකමින් බූන්දි කති.


" මේවා හරිම රසයි අක්කේ... කොහෙන්ද උඹට.....?


" පිටකොටුවෙන් ගත්තේ ....මොනවද මල්ලියේ අයියට වෙලා තියෙන්නේ....ඇයි ලොකු අය්යා ඉස්පිරිතාලේ නවත්තලා තියෙන්නේ ..."


"ලොකු අය්යා කෝච්චියට අහුවෙලානේ....."


"කෝච්චියට....????

දෙවියනේ ඒ මොනව වෙලා ද? ඉතිං අයියට කොහොමද? ගොඩක් අමාරුද...?


"ඌ රෑ කුඩු ගහල කෝච්චි පාරේ නිදාගෙන ඉඳල.... කෝච්චියක් එනව දැකල, පාරේ යන මිනිහෙක් තමයි පැනල ඇඳල ඇරන් තියෙන්නේ.... ඒත් දකුණු අත කෝච්චියට අහුවෙලා....."


"අනේ දෙවියනේ අපට කන්න දෙන්න කාලයක් මහන්සි උන ලොකු අයියා..... අනේ අය්යගෙ එක අතක් නැතුව, අය්යා කොහොමද දැන් තනියම වැඩක් කරගන්නේ.....ඒ මදිවට අය්යා දැන් කුඩු ගහන්නත් පටන් ඇරන් ද? මේවා ඔක්කොම අම්මලා තාත්තලාගෙ වැරදි.... ළමයි හදනවා විතරයි උන් ගැන බලන්න උවමනාවක් නෑ.... අවුරුදු දොළහේ දහතුනේ ඉඳන් ම අයියා මාකට් එකේ මුට්ට කරගහන්න ගියේ අපට මොනවහරි කන්න ඇරන් එන්නයි... අපි පොඩිවුන්, බඩගින්නෙ අඬනවා බලා ඉන්න බැරි ලොකු අයියා පාසැල් වයසේ සිටියත්, පාසැලට ගියේ දෙකේ පංතියට පමනයි.. ..ඔහුව බල කරලා ඉස්කෝලේ අරින්න, අම්මටවත් තාත්තටවත් ඕන කමක් තිබුනේ නෑ ....ඔවුන්ට ළමයි හදනවා ඇරෙන්න වෙන දෙයක් ගැන උවමනාවක් දැනිමක් නොතිබුන නිසා, අපේ පවුලේ ළමයින් පස්දෙනාම ආතක් පාතක් නැතුව, ඔහේ හැදෙන්නන් වාලේ හැදී, අයාලේ ගිය හැටි... ලොකු අය්යා, ඉපදුන දවසේ සිට ,ඔහුගේ හා අපගේ බඩ පුරවා ගන්නේ කෙසේදැයි සිතපු කෙනෙක්ය. ඔහුගේ බඩ විතරක් නෙමේ පුංචි නංගිලා මල්ලිලා ගැන සිතූ අයියා...දැන් කුඩු බොන්නට පුරුදු උනේ කොහොමද? අම්මෙක් අප්පෙක් ලග නැති කළ හැදෙන දරුවො, ගස් ගල් වගේ හැදෙන්නන් වාලේ හැදෙන්නෙ ඔවුන්ට ඕන ලෙසය.


රෑ වේගෙන එනවිට අම්මත්, බාප්පත් ගෙදර ආ අතර අම්මා දුකෙන් මුහුන බෙරි කරගෙන සිටියාය .


"අයියට කොහොමද අම්මේ....?"


දුකින් සිටි ඇයගෙන් මා ඇසුවේ හෙමිහිටය.


"දකුණු අත වැලමිට ගාවින් නෑ...කෝච්චියට අහුවෙලා.... ඔය වාට්ටුවට ගෙනත් දාලා තිබුණේ.... දැන් ඉතිං රස්සාවක් කරන්න කියල ද තනි අතින්.... අනේ මගේ ලොකු කොල්ලා. අපි ඌ ගැන බැලූවේ නෑ. ඌ අතන මෙතන වැටිලා හිඟා නොකා හිඟා කෑවා. ඌ, ඌ ගැන විතරක් බැලූවේ නෑ. ඒ කාලේ ඉදන් පුලුවන් උන හැටියේ, පොඩි උන්ට කන්න මොනවහරි උස්සගෙන එනවා.... අපි ඌව අමතක කරල, මාකට් එකටම කරලා දැම්මා."

අම්මා නහය පිහිමින් අඩමින් කතා කරයි....


"අය්යා කුඩු බොන්නත් පටන් ඇරගෙන කියන්නේ..."


"ඒක තමයිනේ මේ ඔක්කොටම මුල.... කඩ අයින්වල රෑට බුදියන්න ගිහාම කවුරු හරි දීලා පුරුදු වෙන්න ඇති.... ඌට මතක නෑ කෝච්චිය කොහෙන් ගියා ද කියලවත්...."


"හෙට දවාලට මං ඉස්පිරිතාලේට යනවා අයියව බලන්න...."


"උඹ කොයි වෙලේ ද ආවේ කෙල්ලේ.....උඹව දැන් අදුනන්නත් බෑනේ....පාට වැටිලා, මහත් වෙලා...."


"අටටත් කිට්ටු වෙලා මම එනකොට...... මං ආපු ගමන් අන්න අම්මලාට රෑට කන්න බත් ඉව්වා...."


"මට නම් බඩගිනි නෑ දුවේ.... අයියගේ අත් කොටේ දැකල මගේ හිත වාවන් නෑ....අපි මේ ඉස්පිරිතාලේ ගිහින් එන ගමන්ම නුගේගොඩ පල්ලියේ පාදිලි තුමා හම්බවෙන්න ගියා....ගිහින් අය්ය ගැන කියලා පුලුවන් උදව්වක් කරන්න කියලා උන්වහන්සේට කිව්වා...... අපරාදේ කියන්න බෑ පාදිලි උන්නාන්සේ....අය්යා සනිප වෙලා ගෙදර ආවාහම පල්ලියට එවන්න කිව්වේ.....කුඩු බොන එකට අවවාද කරලා, තනි අතින් කරන්න පුලුවන් රස්සාවක් හොයල දෙන්න බලන්නම් කිව්වේ..."


" ඒක නම් ලොකු දෙයක් ....අම්මා අයියාට රෑට කන්න ගිහින් දුන්න ද....?


"ඔව්... කඬේකින් බත් මුලක් ඇරගෙනම තමයි ගියේ. උයාගෙන යන්න මට සිහියක් තිබුණෙ නෑනේ....."


"මම හෙට උදේට බත් මුලක් උයාගෙන යන්නම් අය්යා බලන්න ...."


"ඒක හොදයි කෙල්ලේ....එහෙනම් දැන් රෑ උනානේ ,උඹ දැන් නිදා ගනින් ඔය මල්ලිලා දෙන්නත් එක්ක...."


ඉදින මම රෑ නින්දට ගියේ අය්යා ගැන කල්පනා කරමින්‍ය. අම්මා කිව් ලෙස පල්ලියේ, පාදිලි උන්නාන්සේගේ උදව්වෙන් වත් අය්යට ගොඩ එන්නට ලැබුනොත් ලොකු දෙයක් කියා මම සිතුවෙමි.... උපතින් අප බුද්ධාගම්කාරයෝ උනාට, කොළඹ ලැයිමේ ජීවත් උන කාලයේ, ලගපාත තිබුන ක්‍රිස්තියානි පල්ලි වලට අපව ගෙන්නා ගෙන අපට කෑමබීම් ඇදුම් පැලදුම් ආධාර දී, පාදිලි උන්නාන්සේ අපව ආගමට හරවාගෙන තිබුන නිසා, අපි දැන් නත්තලට විශේෂ දවස් වලට පල්ලියට යන්න පුරුදු වි ඇත. එබැවින් දැන් අපි ක්‍රිස්තියානි ආගම් කාරයො නිසා, අම්මා අපට කරදරයක් ,හදිස්සියක් උන වෙලාවට පාදිලි උන්නාන්සේ හම්බවෙලා උදව් ඉල්ලිමට පුරුදු වි ඇත. අය්යා කරදරේ වැටුන මේ අවස්තාවේ, උන්වහන්සේ අය්යාට උදව් වෙන්න කැමති උන එකගැන මගේ හිතට සතුටක් ඇති වි තිබුනි.


කාලෙකට පස්සෙ ගෙදර ආ නිසා, මම පසු දින පාන්දරින්ම නැගිට ගෙදර වත්තේ හැමතැනම ඇවිද ගියේ වටපිට බලමින් සතුටිනි. මම ගෙදර හිටිය නැති ටික කාලෙට වත්ත පිටිය වෙනස් උන විදිහක් පෙනේ.....මම ගෙදර හිටි කාලයේ ගෙදර අවට මිදුල අතුපතුගා පිරිසිදුව තියා ගත්තට දැන් මුළු වත්තම අපිරිසිදු වි ඇති බවක් පෙනේ....මල්ලිලා දෙන්නට කියා අද වත්ත උදළු ගා පිරිසිදු කල යුතුයැයි මම තනියම සිතුවෙමි.


වත්තේ ඇවිද ගොස් දෙල් ගෙඩියක් කඩා ගෙන ගෙට ඇවිදින් බත් උයා, දෙල් ගෙඩිය කිරට උයා, වත්තේ කෙසෙල් ගහකින් කෙහෙල්මුවක් කඩා තෙල්දා ගත්තෙමි. තව කරවල කෑල්ලක්ද ලුණු දමා බැද අය්යාට කෙසෙල් කොලේ බත් මුළක් බැද ගත්තේ දහවලට ඉස්පිරිතාලේට ගෙනයන්නයි.


"අක්කේ මමත් එන්නද ලොකු අය්යා බලන්න යන්න ..."


"හා...මටත් යන්න තනියි....එහෙනම් ලෑස්ති වෙයං.. "


මල්ලිත් සමග දහවල් ලෙඩ්ඩුන් බලන වෙලාවට අයියා බැලීමට ඉස්පිරිතාලෙට ගිය මට ඔහුගෙ අත් කොටේ දැක හීල්ලිනි.


පොඩිකාලේ අපි බඩගින්නේ ඉදිද්දි... අපට කන්න කෑම අරන් ආ අයියා අද කාත් කවුරුත් නැති ගානට ඉස්පිරිතාලේ ඇඳේ වාඩිවී, අත් කොටෙත් කරේ එල්ලාගෙන හිදියි....


"ආ... ලොකු නංගියේ කවද්ද උඹ නුවර ඉඳන් ආවේ...."


"ඊයේ හවස... අයියා ඉස්පිරිතාලේ කියල, අම්මා පනිවිඩයක් එවලා තිබුනා මාමලාට....ඒ ගමන මාමා කිව්වා ගිහින් අය්යව බලල එන්න කියලා .... අයියට දැන් කොහොමද?..


" තාම අත ඇදුම් කනවා....බෙහෙත් වගයක් දුන්නා ,රිදිල්ල අඩුවෙන්න කියලා ....ඒ උනාට තාම අමාරුයි...... දැන් ඉතිං තනි අතින් තමයි ඔක්කොම කරගන්න වෙන්නේ....."


අයියා අත් කොටය පෙන්වමින් කීය.මට ඒ දැක හීල්ලිනි.


"උඹ කවද්ද ආයේ නුවර යන්නේ.....? අයියා මා දෙස බලමින් අසයි.


"අයියා බලන්නනේ මම ආවේ.... අයියට සනීප වුණාම යනවා...."


"මගේ මොනව බලන්නද බං...? උඹ මාමලාගෙ ගෙදර පලයන්... උඹ එහෙ ඉන්න එක මගෙ හිතට හොඳයි...."


"අයියා කුඩු ගහනව කියල මිනිස්සු කියන්නේ ඇත්ත ද?


"නෑ බං.... කම්මැලිකමට අර එකෙක් මට සූස්තියක් අඳින්න දුන්නා... මට මොනව උනා ද මතක නෑ... රේල් පාරෙම නින්ද ගිහින්නේ, ඒකනේ මේ හදිය උනේ..."


"මීට පස්සෙ ඕවා බොන්න එපා අයියේ.... උඹ කුඩු ගහල නැති වෙනව බලන්න මං කැමති නෑ...."


"අපේ ජීවිත මොනවද නංගියේ... ඉන්න හිටින්න තැනක් නෑ, කන්න අඳින්න නෑ. හැමදාම මුට්ට කරගහ ගහ දුක් විඳිනවා. දවසම මැරිලා මැරිලා ,ඇගේ අමාරුව යන්න හවසට කුඩු නැත්නම් කසිප්පු අඩියක් ගහනවා ඇරෙන්න වෙන මොනව කරන්න ද නංගියේ...."


මට ලොකු අයියා ගැන ඇත්තේ දුකකි. මා හට මතක තියෙන කාලයේ පටන් ඔහු අපව ජීවත් කරවන්නට මහන්සි ගත්තේය. අම්මා සරත් බාප්පත් එක්ක ගියාට පසු තමයි ඔහුට අපි ගැන තිබුණ බර හිතෙන් නිදහස් වෙන්න ඇත්තේ ... ඒත් තවමත් ඔහු ජීවත්වෙන්නෙ මාකට්ටුවේ කඩකාමරයකය. රෑට නිදියන්නේ කඩ කාමරය ඉස්සරහය..... ඒ රෑට කඩ කාමරය තුළ ඇති රස්නයත්, එළවලූ ගඳත් නිසා බව ඔහු කීවා මට තවමත් මතකය.


"කෙල්ලේ උඹ ආයෙත් නුවර යන්නෙ කවද්ද...?


"මම මෙහේ හිටියා කියලා ඇති වැඩකුත් නෑනේ...අය්යා හෙට ගෙදර ආවට පස්සෙ මම අනිද්දට නුවර යන්න කියලා ..."


"ඒක හොදයි ...අය්යා කැමතිත් නෑ උඹ මේ ගෙදර ඉන්නවට..."


අය්යා විතරක් නෙමේ අම්මත් මම මේ ගෙදර ඉන්නවට කැමති නැත. ඔවුන් දෙදෙනාම මාව පුලුවන් ඉක්මනට නැවත නුවර යවන්නට උත්සහ ගනී.


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page