top of page

💥ගිමන් හරිමි💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Mar 1, 2021
  • 3 min read

💥ගිමන් හරිමි💥

(17 වන කොටස)

එක යායට,ලස්සනට හැඩයට කපා සකසා ඇති එළවළු පාත්ති වල , විවිධ පාටින් සරුවට එලවළු වැවි තිබෙන හැටි නම් බලන්න ලස්සනය....ඒවා සරුවට හදන්න ගහන විවිධ පෝර වර්ග මෙන්ම පැල වර්ග කෘමීන් කනවාට, බෙහෙත් ගහන්න වෙනම මිනිසුන් දෙදෙනෙක් ඇත. ඔවුන් නහය කට වසාගෙන බෙහෙත් ,පොහොර ගසන විට අපට ඒ අවට යන්නට තහනම්ය. එළවළු වෙළඳාම සදහා වගා කරන්නන් අනිවාර්යයෙන්ම එලෙස ඔවුන්ගේ එළවළු පලදාව වැඩිකරගැනිමට, පොහොර දැමීම වගේම කෘමීන්ට සැර බෙහෙත් වර්ග ගසයි. එබැවින් නැන්දා ගෙදර වත්තේ කොනක අපට කන්න එළවළු ටිකක් බෙහෙත්, පොහොර නොගහා හදා ගන්නට මට උපදෙස් දී ඇත.


එළවළු කොටුවේ මැද, පලදාව කන්නට එන සතුන් බය කිරිමට, පඹයකු සාදා තිබුනත්...ඔහුගෙ ඔලුවෙ අත්වල වසා ගිරවුන්, කුරුල්ලන් බෝංච්, මෑ, හීන් තුඩින් කීතු කරන හැටි නම් හරි අපූරුය.


හවස් වරුවට එළවළු කොටුවේ වැට අයිනේ එහෙට මෙහෙට පනිමින් එළවළු කොටුවට ඇතුල්වෙන්න දගලන හා පැටවුන් හා මී මින්නන් නම් මම දකින්න ආසාම දසුනක්වේ.... කොටුවෙ එහෙමෙහෙ වැට් ඇති ඉත්තෑ කූරු වලින් පෙනෙන්නේ, ඉත්තෑ පවුලක්ද මෙහෙ පදිංචිව හිදින බවයි. ඉද හිට මාමා, වෙඩික්කාරයෙකු ලවා,එළවළු කොටුවට පනින්න හදන ඌරන්ට තුවක්කුවක් බදින අවස්තාද ඇත... ඒ තුවක්කු වෙඩිල්ලක් ඌරෙකුට වැදුන දවසකට නම් අපටත්, අහල පහල ගෙවල් වල අයටද තුන් වේලටම වල් ඌරුමස් වලින් නම් අඩුවක් නොවේ......වැඩිපුර ඉතිරි වන ඌරු මස් මාමා, ටවුමේ මස් කඩයකට යවයි.


"මේ පාර කැරට්, ගෝවා හොඳට හැදිලා තියෙනවා... හොඳ ආදායමක් ගන්න හම්බ වෙයි."


"දරුවගෙ වාසනාවට වෙන්නැති....දැන් ඉතිං . වැඩිපුර කීයක් හරි හොයා ගන්නත් එපෑ... දරුවගෙ වියදමටත් එක්ක."


"දුලීකා ඉන්න නිසා හරි ලේසියි... කෙල්ල ගෙදර වැඩට හරි කඩිසරයි... ගෙදර වැඩ ඔක්කොම එක හුස්මට කරලා එළවලූ වගාවටත් උදව් කරනවා. බිම් කොටන්න එන මිනිසුන්ට කන්න, බොන්න හදල දෙන්නත් උදව්කරනවා.... දුලිකා වැඩ වලට කවදාවත් කුණුකුණු ගාන්නෙ නෑ...."


"ලොකු දෙයක් මගෙ අක්කා, දූලීකා කෙල්ල මෙහෙ එවපු එක...නැත්නම් කොහේද ඔයා මේ බඩත් උස්සගෙන වැඩ කරන්නේ..."


නැන්දලා එම ගමේ, ඔවුන්ගේ ඉඩම් වල එළවලූ වගාව ඉතා විශාල ලෙස කරන්නේ කාලයක සිටය. ඇයගේ දෙමව්පියන්ගෙ රැකියාව ,ආදායම් මාර්ගය එය වෙයි...


අක්කර දෙකක පමණ ඉඩමක, එක දිගට වගා කර ඇති ගෝවා, කැරට්,ලීක්ස් මාළු මිරිස් හා බෝංචි පාත්ති බලන්න ලස්සනය. මම ඒවා දෙස බලමින් අතගාමින් කාලය ගත කරන්නේ හැබෑම සතුටකිනි.


එම ගමේ ගැහැනු පිරිමි උදේට නැන්දලාගේ එළවළු ඉඩම් වල, වගාව කරන්නට එන්නේ කුළියටය. ඔවුන් එළවළු වගා කරන්න, බිම සැකසීම, පාත්ති හැදීම, එළවළු ඇට සිටුවිම, ඒවාට වතුර ,පෝර දැමිම, තණකොළ ගැලවීම, ඉනි සිටුවීමේ සිට පළදාව නෙළීම දක්වා වැඩ කරන්නේ දවසේ කුළියටය.


"දූලීකා එළවළු වගා බිම්වල වැඩ කරන මිනිස්සුන්ට දවල් දහයට හවස හතරට තේ කහට ගිහින් දෙන්න ඕනේ...උඹට පුලුවන් නේ...."


"පුලුවන් නැන්දේ..."


"උදේ දහයට තේ ගෙනියන කොට කන්න, මාමා පාන් ගේනවා, පාන් කන්න හොද්දක් හරි පොල්සම්බෝල ටිකක් හරි හදල ගන්නත් ඕනේ... දුප්පත් මිනිස්සුනේ ,උදේට කාලා නෙමේ වත්තෙ වැඩට එන්නේ...."


"හා නැන්දේ මම හදන්නම්..."


වත්තේ වැඩට එන කුළී කරුවන්ට මුළින් තේ කහට හදා දුන් මම, දැන් ඔවුන්ට උදේට හා දවල්ට එකටම කන්න, පාන් හෝ බත් ලෑස්ති කර දෙන්නේ තනිවමය.


උදේ පාන්දර ගෙවල් මිදුල් අතුගා ඒ වැඩ ටික ඉවරකරන මම, වත්තේ වැඩට එන මිනිසුන් හත අටකට උදේට හා දවල්ට එකටම, පාන් හෝ බත් සමග කන්නට එළවළු මාළුවක් උයා දෙන්නෙමි.


" දුලීකා ගෙදර ,කොටුවේ වැඩට කොච්චර මහන්සි උනත්,බලන්න එපෑ දැන් දුලීකගෙ ලස්සන....එන්න එන්න ලස්සන වෙනවා.... හොද සනීප පලාතේ, බත් එළවළු කාලා සැපට හැදිලා...මූණ හදක් වගේ පාට වැට්ලා....මේකිට දැන් අවුරුදු විස්සක් විතර පේනවා...තාම අවුරුදු දහසයට වත් නෑ කියලා කියන්න බෑ..."


"ඔව්...ඔව්..වත්තේ වැඩට එන ගෑනු මිනිස්සු ,ගමේ කොල්ලෝ මේකි දිහා බලන්නේ හරි ආසාවෙන්..."


"කෙල්ලේ... අපි මේ ගමේ හොද නම්බුවට ඉන්න මිනිස්සු ...ඔය එක එක කොල්ලෝ කුරුට්ටො එක්ක බජනෙට ගිහින්, නම එහෙම නම් කැත කරගන්නවා නෙවේ..."


නැන්දා මට නිතර ඔවුන්ගේ වැදගත්කම මතක් කර දෙයි.


"එන සුමානේ කැරට්, රාබු ,ලීක්ස් ගලවලා පොළට අරින්න තියෙනවා...එදාට වැඩියෙන් කට්ටිය වැඩ කරයි...දවල්ට කෑම ටිකක් වැඩියෙන් හදලා දෙන්න වෙනවා දුලීකා ..."


"ඒක ඒ හැට් දෙයක් නෙමේ නැන්දේ....බඩු තියෙනව නම් උයන එක ඒ හැටි දෙයක්ද..? ....ඊටත් ඉතිං බතක් එළවළු දෙකක් හදල ගන්න එකනේ..."


ඒහෙමත් දවසක තමයි මාමා වත්තේ වැඩ කරන මිනිස්සුන්ට මාළු හෝ කරවල වැනි දෙයක් ගෙනත් උයන්න දෙන්නේ....මොනව ගෙනත් උයන්න දුන්නත්, මම ඒවා හදන්නේ ඉතා කැමැත්තෙනි.


"ඒ වැඩ කරන මිනිස්සුන්ට පරිප්පුයි බතුයි දුන්නත්...එක හුස්මට ගිලිනවා මිසක් රසක් ගුනක්, හොද නරක බලන්නෙ නෑ මාමේ......ඔවුන්ට ඕනේ බඩගින්න නැති කරගැනීමට කෑමක් විතරයි... පව් ගමේ නැතිබැරි අහිංසක මිනිස්සු නැන්දේ.. ...".


"එහෙම කියලා .... ඒ මිනිස්සු උඹ කරේ නග්ගව ගන්නව හෙම නෙමේ...කරදර කාරයො....පොඩ්ඩ ඇත්නම් ණයට සල්ලි, බඩු ,එළවළු තුනපහ ඉල්ලනවා...වැඩිපුර මොනව හරි දෙයක් ගෙදර තියෙනවා පේන්න බෑ..."


"හැමෝම අමාරුවෙන් නේ නැන්දෙ ඉන්නේ...."


"ඔව්..ඔව්..උන් වගේම අපිත් අමාරුවෙන් තමයි ඉන්නේ..."


"හෙට උදේ වරුවේ එළවළු ගලවනවා, දවල් වෙනකොට ටවුමේ එළවළු මුදලාලිගෙ ටැක්ටරය එයි බඩු ගෙනියන්න ...ඊට ඉස්සර අපි එළවළු ගොනී වලට පටවලා ලෑස්ති කරගෙන ඉන්න ඕනේ..."


"හෙට ටිකක් උදේන්ම නැගිටලා වැඩ පටන් ගන්න වෙයි දුලීකා..."


"හොදයි නැන්දේ..."


නැන්දා බඩ ගෙඩියත් උස්සගෙන, එළවළු වගාව ගැන බලයි...ඇගේ උත්සහය ද්‍යිර්‍ය නිසා, මාමාගෙත් නැන්දාගේත් ජීවතය තව තව දියුණු වෙමින් පවති....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page