top of page

💥ගිමන් හරිමි 💥

  • Writer: Prisila Godahewa
    Prisila Godahewa
  • Feb 25, 2021
  • 5 min read

💥ගිමන් හරිමි💥

(16 වන කොටස)

මම මාමාත් සමඟ මාගේ ඇඳුම් පැළඳුම් ද රැගෙන නුවර බලා පිටත් වුණේ දහවල් කෑමෙන් පසුවය. මගේ ජීවිතේ තවත් අලුත් පිටුවක් පෙරලෙන්නට පටන් ගන්නා හැඩය....


කොළඹ කොටුවෙන් නුවර බලා යන බසයට නැගගත් මාත් මාමාත් එකම ආසනයේ වාඩි වු සිටියෙමු. බසය අතරමග බස් නැවතුම් වල නොනවත්වා එක දිගටම වේගයෙන් ගමන් කරයි. මෙය සීග්‍රගාමි බසයක් උන හෙයින් අපට වේලාසන මාමලාගෙ ගෙදර යත හැකියැයි මම සතුටින් සිතුවෙමි.

ලැයිමෙන්, ඕවිට ගෙදර පදිංචියට ආ මම, අද නුවර මාමලාගෙ විශාල ගෙදර පදිංචියට යන්නේ ලොකු කැමැත්තකිනි. නැන්දාගෙ විශාල නිවස, ඇගේ වත්පොහොසත් කම් නිසා, අම්මත් මාව මාමා සමග පිටත් කර හැරියේ ඔවුන් මගේ අනාගතය සැපවත් කරනු ඇතියැයි බලාපොරොත්තුවෙන් වෙන්නට ඇත. එහෙම නැතහොත්, අම්මාගේ දීගය ආරක්ශා කර ගැනිම සදහා ඇය මා ඈතකට පිටත් කර හරින්නට කැමති වුවාද නොදනි. කෙසේ හෝ වේවා මතක ඇති කාලයේ පටන් , මල්ලිලාගේ බර කරට අරන් වැඩ කල මට, අන්ත අසරණව ගෙවුනු දුගී කාලය වගේම, මගේම අම්මාගෙන්, ලගකදි ඉදන් මට වෙන කරදර, අඩම්තෙට්ටම්, නිසා ඒ ගෙදරින් පිටව් කොහේ හෝ නවතින්න යන්න ලැබීම ගැන මම අද සතුටු වන්නෙමි.


නුවර යන සීග්‍රගාමි බසය එක හැල්මේ දුවයි....බසය පිරෙන්න අද සෙනග ඇත්තේ සිකුරාදා දිනයක් නිසා වන්නට ඇත. නුවර සිට කොළඹ රැකියාව කරන්නට පැමිනෙන බොහෝ අය සිකුරාදාට ඔවුන්ගේ ගෙවල් දොරවල් බලා යන නිසා, සිකුරාදාට කොළඹින් පිටත්වන බොහෝ බසයන් සෙනගින් පිරි ඉතිරි යයි.


බසයේ කවුළු වලින් නොනවත්වා හමන සුළගින් මගේ හිසකෙස් දසත විසුරු වයි....කවුළුව ආසන්නයේ ඇති ආසනයේ වාඩි වි මම එයින් අවට බලාගෙන යන්නේ කිසිම හැගීමක් නැතුවමය. මාමා ඔහුගේ ලෝකයේ ලොකු කල්පනාවක නිරත වෙමින් මා අසලම වාඩි වී ඇත.


නුවර යන්නට, පාදුක්කේ ගෙදරින් මම එළියට බසින වෙලේ, අම්මාගේ මුහුනේ තිබුනු කළඑළිය මට සිහියට එයි...


මම අම්මා සමග එකතු වී පුවක් කපා ඉතිරි කරගත් මුදල් වලින් ගත්, හීන් රත්තරං චේන් පටය දමා අලූත් ගවුමක් ඇඳ අලූත් සෙරෙප්පු දෙකක් දමා, නුවර ගමනට ලෑස්ති වුනේ අම්මා කියන පරක්කුවෙන්ය. හේතුව ගෙදරින් එළියට බැස ගමනක් යන්න තියෙනවා නම් මට ඊට වඩා දෙයක් නැත.එක දිගට ගෙදරටම කොටුවි, අම්මාගෙන් නිතර බැනුම් අසමින්, පුවක් කපමින්ම ඉද මට, ගෙදර ගත කල ජීවිතය එපාවි තිබුනි.

මම ලස්සනට ඇද පැලද ගෙයින් එළියට බැස, අම්මාට වැන්ද මොහොතේ...., අම්මා සැහැල්ලු දෙනෙතින් මා දෙස බලා සිටි හැටි, මට තවම මැවි මැවි පෙනේ...


" ඈ කෙල්ලේ...උඹේ ලස්සන පේන්නේ, ඇඳල කරල ගත්තහමනේ... ඔන්න බාප්පත් ඇවිත් ඉන්නවා. මං කිව්වා ටික දවසකට උඹ නුවර මාමලාගෙ ගෙදර යවනව කියල,... සාමා නංගිගෙ උදව්වට...." බාප්පගෙ නම් එතරම් කැමැත්තක් නෑ උඹ නුවර යනවට.... මෙහෙ හිටියනම් උඹට බාප්පා , ගාමන්ට් එකක රස්සාවක් හොයලා දෙන්නලු හිටියේ...." ඇය එය කීවේ මා ගෙදරින් යනවාට අකමැත්තෙන් ලොවි ගහ බංකුව උඩ වාඩි වී සිටි බාප්පා දෙස බලමින්‍ය..


අම්මාගෙ නම් මුහුන සතුටෙන් පිරි ඇත්තේ ... මා ගැන සැකයෙන් සිටි ඇයට, මා ගෙදරින් පිටත් කර, නැන්දා ලඟට යවන්නට හැකි වීම ගැන වෙන්නට ඇත.


කොළඹ මුඩුක්කු ජීවිතයෙන් සමුගෙන පාදුක්කේ පදිංචියට ආ මම, එහි තිබුන නිදහස් පරිසරයට බොහෝ කැමැත්තක් දැක්විය. මට දැන් නුවර ගම්මානයක පදිංචියට යන්නට ඉඩ සැලසී ඇත. එය මේ ජීවිතේට වඩා හොද සැපවත් ජීවිතයක් වෙනු ඇතැයි මට සිතේ...ඒ මාමලා ඉන්න ආර්ථික තත්ත්වය උඩය.


"කෙල්ලේ අපි නුවර ඉදන් හවස පහට අපේ ගමට තියෙන බස් එක ගන්න ඕනේ... මේ බස් එකෙන් බැස්ස ගමන් ඉක්මන් කරලා යන්න ඕනේ....."


"එක බස් එකකින් මාමලාගෙ ගෙදර යන්න බෑනේ ...ඒ ටවුමෙනුත් අපි තව බස් එකක් ගන්න ඕනෙ නේද මාමලාගෙ ගෙදර යන්න ...මට තාම පාර මතකයි... මාමාගෙ මගුලට ගිය නිසා......"


"ආ...ඔව්නේ දුලීකා අපේ මගුල් ගෙදර ආවනේ.. , අම්මා එක්ක ගියේ බස් එකේ නිසා තාම මතක ඇති ....."


"අපි මාමලාගෙ ගෙදර යනකොට හොදටම රෑ වෙයි නේද..?..."


"ඔව්...ඒකට කමක් නෑ....ගෙදරනේ යන්නේ....අපි ගෙවල් ලගට යන්න, ත්‍රීවීල් එකක් ගමු...ගොඩක් රෑවේගෙන එන නිසා..."


ඉදින අපි නුවර මාමලාගෙ ගෙදර යනවිට රෑ අටට කිට්ටු කර තිබුනි. නැන්දා මා දැක, මා සමග කතා කලේ බොහෝ සතුටිනි.


"ආ...දුලීකා ඉතිං කොහොමද ..? එදා මගුල් ගෙදර දවසේ දුලීකා එක්ක හරියට කතා කරන්නවත් බැරි උනානේ..."

නැන්දා දරුවෙක් ලැබෙන්න ඉන්න ගැහැනුන් අදින ගවුමක් ඇද, අපහසුවෙන් මෙන් ඉදී...


"හොදයි නැන්දේ...මම ඇයට නැන්දා කීවට ඇයට තවමත් අවුරුදු 27 ක් පමණ ඇත. මාමාට අවුරුදු තිස් දෙකක් බව කීවේ අම්මයි... ඔවුන් දෙදෙනා ඔවුන්ගේ වයසට....

වෙළඳාම අතින් බොහො ඉදිරියට ඇවිත් ඇති බව පෙනේ....


එදින මාමා නුවර සිට ගෙදරට යන අතරමග, නුවර කඩ මංඩියෙන් රෑට කන්න ගත් ඉදි ආප්ප, හොදි සම්බෝල නිසා, ඇගපත සොදා ගත් වහා මට රෑට කන්නට ලැබුනි.


"ඈ නැන්දේ...මේ ගමේ ඕන තරම් ගෑනු අය ඉන්නවනේ නැන්දට තනියට ගෙනත් නවත්ත ගන්න...ඇයි මාමා මාව එක්ක ආවේ මෙහේ...."


"අනේ කෙල්ලේ... මේ ගම් වල ගෑනු විස්වාස කරන්න බෑ...පොඩ්ඩ බැරි උනොත් ගේ ඇතුලේ තියෙන දෙයක් අත ගාගෙන යනවා...ඒකයි මාමා කිව්වෙ..දුලීකාව මෙහෙ එක්ක එමු කියලා මගේ තනියට..."


"එහෙමද...? මම නම් කොහොමත් හරි කැමැත්තෙන් මෙහෙ නවතින්න ආවේ....මට ඉතිං එකම පාඩුව වෙන්නේ පුවක් කපලා දවසට හොයා ගත්ත රුපියල් පනහ නැති වෙන එකයි...."


"උඹ ගෙදර යන දවසට මම උඹට සල්ලි ටිකක් ඒ වෙනුවට දෙන්නම්කෝ ...."


"ඒ උනාට නැන්දලාගෙන් මම කොහොමද සල්ලි ගන්නේ..."


"අනේ නිකන් ඉදින් බං...බොරු නැතුව, උඹට

ගමන් මහන්සියත් ඇතිනේ... එහෙනම් දුලීකා ගිහින් නිදාගන්න ..."


"ඔව් ඔය සාලේ කොනේම තියෙන කාමරය හෙට දිහාවට හොදට අස්කරලා ගන්න දූලීකට නිදා ගන්න...ඒකේ ලට්ට ලොට්ට පිරිලා...අද රෑ පොඩ්ඩක් ඕවා එහෙට මෙහෙට කරලා නිදාගන්නකෝ...." මාමා කීය.

"හොදයි මාමේ...මම හෙට කාමරය අස්කරලා ගන්නම්..."


එදින මම නුවර, සීතල කාලගුණය මැද නින්දට ගියේ, පාදුක්කේ ගෙදර එහෙන් පිටින්ම අමතක කර දමාය. ගමන් මහන්සිය හා සීතල සනීප දේශගුනය නිසා මගේ ඇස් දෙක පියවෙනවා මට නොදැනින....


පසුදින පාන්දර, විවිද අමුතු කුරුළු නදින් ඇහැරුනු මම, ගෙදර ඉදිරිපස දොර ඇරගෙන ගෙයින් එළියට බැස ගත්තේ පොරවන් හිටි රෙද්ද කරේ සිට දමාගෙනය. උදේ පාන්දරට මේ පැත්තෙ ලොකු සීතලක් ඇත...අවට වටපිටාවට, කදුකරයෙ සිට සුදු පාට මීදුම හෙමිහිට වැටිගෙන එන හැටි කියන්න බැරි තරම් ලස්සනය.... . යාන්තමින් ගස් අස්සෙන් පායා එන හිරු රැස් වල, රන්වන් පාට කිරණ... මීදුම අස්සෙන් දිලිසෙමින් දසත එලිය දීගෙන එයි......මට ඒ එළියත් සමග හිතට දැනෙන්නේ...හරියට මෙපමණ කලක් කළු වළාවකින් වසා සිටි මගේ ජීවිතයට අලුත් ඉරක් පායා එන හැගීමකි.......


"මොනවද දුලීකා ඔය හීතලේ එළියේ කරන්නේ..." නැන්දාද උදේම නැගිට ඇත.


"කියන්න බැරි තරම් පුදුම ලස්සනක් නැන්දේ මේ පැත්තෙ තියෙන්නේ....අර සුදු පාට මීදුම දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නෑ ...."


"දුලීකා අන්න මම කේතලේ ලිපේ තිබ්බා, තේ ටිකක් හදල ගනින් අපට බොන්න..."


"හා නැන්දේ මම හදන්නම්..."


"කෙල්ලේ තේ බීලා මේ වත්ත ටිකක් අතුගාලා දාපන්...මට දැන් වැඩි වැඩක් කරන්න බෑ...හරි මහන්සියි ..."


"හා නැන්දේ මම කරන්නම්..."


"දුලීකට රසට උයන්න පුලුවන් කියලා මාමා කිව්වා...දුලීකා අද දවල්ට බත් මාළු උයල ගන්නකෝ රස බලන්නත් එක්ක..."


"හා..නැන්දේ ..බඩු තියෙනවා නම් උයන එක මොකක්ද ...?


නුවර පදිංචියට ආපසු, කාලය ගෙවි ගියේ හිතේ සැහැල්ලුවෙන් හා හිතේ සතුටිනි. ඉතා සනීප දේශගුනය මැද කෑමෙන් බීමෙන් අඩුවක් නැතුව, ගෙවියන ජීවිතය..... මම සිතුවාට වඩා ප‍්‍රියමනාප සැපවත් ජීවිතයක් විය.


නැන්දාට දෑවැද්දට ලැබි තිබුන ගෙය ඉතා විශාල එකක් විය. එය කොස් දෙල් අඹ කජු ගස් වලින් වටවි ලොකු ඉඩමක පිහිටා තිබුනි. ගෙදර විශාල උනාට එය පිළිවෙළට ලස්සනට තියා ගැනිමට නැන්දාට කිසි උවමනාවක් නැති ගානය...

එළවළු වගා බිම්වල, මිනිස්සු දමා වැඩ කරවන නැන්දාට, සල්ලි හම්බකරන්න මිස, ගේදොර ලස්සනට තියාගන්නට අවශ්‍ය තාවයක් නැති බව බැලුබැල්මට පෙනේ... .


උදේට හවසට මීදුමෙන් හැඩවෙන, කඳුහෙල්වලින් වටවුණු මාමලාගෙ ගේ අවට, කැලෑවෙන් හා ගලා බසිනා ඇල දොළ වලින් වටවී ඇත....ඇගට සනීප සීතල දේශගුනය හා මෙතරම් ලස්සන, නිදහස් පරිසරයක ජීවත්වීමට එන්න ලැබීම, මගේ වාසනාවකටම වන්නට ඇත... මගේ හිතට ගතට ඇති කලේ පුදුම සැහැල්ලූවක් මිශ්‍ර සැනසීමකී.


"දුලීකා ගෙදර ඇතුල, වත්ත හොදටම හැඩිවෙලා පොඩ්ඩක් ගේ අතුගාලා දාපන් කෙල්ලේ..."


මාමා මට ආදරෙන් කියයි. කවුරුන් හො මට ආදරයෙන් කතා බහ කරනවා නම් මට ඊට වැඩිය සතුටක් නැත. මට ඒ කරුනා බර හඩ නිසා, ඕන වැඩක් කිරිමට හිත දෙයි....


"හා මාමේ මම වත්ත අතුගාලා දාන්නම්...ඊයේ නම් මම ගෙදර කාමර ඔක්කොම අස්කරලා අතුගාලා දැම්මා...."


" ඒක හොදයි ...දුලිකට ඒ හැටි වැඩක් නැති එකේ ඔය ගෙදර දොර අස්කරලා පිලිවෙලට තියාගන්න බලන්න...දැන් ඉතිං නැන්දට ඕවා කරගන්න බෑ...."


උදේ පාන්දරට ගේ අවට කදුකර බිම් වල, බලන බලන හැම පැත්තම, සුදු පාට මීදුමෙන් වැසි යයි..... කදුකරයේ හැඩ බලමින්, පිනි වැටෙන සීතලේ..., නුවර ගෙදර මිදුල අතු ගා වත්තෙ ඇති මල් පාත්තිවලට සාත්තු කරන්නට මම වැඩි දවසක් යන්නට පෙර පුරුදු විය.


දිනපතා උදයට, දවාලට ගෙදර අයට කන්න කෑම සාදන මම පසුව ගෙදර සාලය, කාමර අතුගා පිලිවෙලට තියා ගන්නට උත්සහ ගන්නෙමි. මගේ ගෙයක් මෙන් මම මේ ගෙදර පිරිසිදුව තියාගන්නේ මීට පෙර මෙවැනි ලොකු ගේක මට ඉන්නට වාසනාවක් නොතිබීම හා මෙවැනි ඉඩකඩ ඇති පරිසරයක ජීවත් වෙන්නටඇති ආසාවටය.……


මාමාලාගෙ ගෙදර වත්ත පිටුපස තිබෙන අක්කර දෙකක පමන විශාල එළවලූ කොටුවේ, ගැහැනු මිනිසුන් හතර පස් දෙනෙක්ම වැඩ කරන්නේය. එබැවින් උදේ වරුවට, ගෙදර වැඩ ඉවර උනාට පසු මමත් එහි ගොස් වැඩ කරන්නට පටන් ගත්තේ මගේ කැමැත්තෙන්මය.


එක දිගට පාත්ති කපා ,ලස්සනට කැරට්, බීට්, ලීක්ස් රාබු එළවළු වගා කර ඇති හැටි බලන්න ලස්සනය. ඒවා දකින විට හිතට ඇතිවන්නේ ලොකු සතුටකි....එළවළු වතුවල මම කැමැත්තෙන්ම වැඩ කරන්න පටන් ගත්තෙ මාමාගෙ පැසසුම් මැදය.


නැන්දාට අයිති වතුවල වගා කටයුතු කරමින් ඒවායින් ලැබෙන ඵලදාව පොළට ගෙනයමින් ජීවත්වන මාමා සහ නැන්දා ඉතා සරල සැහැල්ලූ ජීවිතයක් ගත කරති.


ඔවුන්ට කුළුඳුලේ ලැබෙන්න සිටින දරුවා ගැන සිතමින් ඔවුන් සතුටු වෙති. මම නුවර පදිංචියට ආවාට පසු නැන්දාට ගෙදර වැඩට උදව් කරමින්, උයා පිහා වත්ත පිටියෙ වැඩ කලේ ඔවුන්ගේ හිත් සතුටු කරමින්,....ඉතා උද්යෝගයෙනි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

 
 
 

Recent Posts

See All
🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

 
 
 

Comments


bottom of page