🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Aug 30, 2021
- 4 min read
(9 වන කොටස)
ඇන්ජලා හා ටෙරික් ඔවුන්ගේ විවාහයෙන් පසු, දරුවෙක් බලා පොරොත්තුවෙන් හිටියත්, ඇන්ජලාගෙ ගර්භාශය ශල්‍යකර්මයකින් මුළු මනින්ම ඇරන් දා ඇති නිසා, ඔවුන් අද වෙනකොට දරුවෙක් ලබා ගත නොහැකිව දුක් වෙන අයුරු ගැන මටත් ඇත්තේ ලොකු දුකකි..... ඒත්, මම කොහොමද ඔවුන්ට උදව් කරන්නේ....ස්ටිව් ගෙදර ආවහම මේ ගැන එයාට කියලා මේකට විසදුමක් අහන්න හිටියත්, ඔස්ට්‍රේලියානු ජාතික ස්ටිව් මෙවැනි දේ වලට උදව් කරන්න කැමති නොවන බව මම හොදාකාරවම දන්නෙමි.......ඇන්ජලා හා ටෙරික් ඔවුන්ගේ දරුවෙක් ලබා ගැනිමට, ලක්ශ සීයක් වගේ විශාල මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු වෙන බව මා සමග කිව් දේ ගැන ,මම දිගින් දිගටම කල්පනා කෙරුවෙමි.
"හලෝ....චතුරි , ඇයි ඔයා ලොකු කල්පනාවක,...මම ගෙදර ආවාවත් ඔයා දැක්කෙ නෑනේ...ඔයා ඇන්ජලා බලන්න ගිහින් ආවද...එයාට කොහොමද දැන් ... ?
"ඇන්ජලාට දැන් ගොඩක් හොදයි ....ඔයා වොශ් එකක් දාගෙන එන්නකෝ, ඔයාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...."
"ඇයි ඔයා බය වෙලා වගෙ....?..ඉන්න මම ඉක්මනට වොශ් එකක් දාගෙන එන්නම්.....චතුරි අන්න මම ඔයා කන්න කැමති චිකන් මශ්රූම් පාස්ටා එකක් රෑට කන්න ගෙනාවා, ඔයා කෑම එක රත් කරලා ගන්න. මම එනකම්..."
මට වඩා අවුරුද්දක් වැඩිමහල් ස්ටිව් මට ගොඩක් ආදරේ කරන කෙනෙක් බව, මට ඔහු අදුනගත්ත දිනයේ පටන් තේරුම් ගොස් තිබුනි.... අප දෙදෙනා එකට, එක ගෙදරක ජීවත් වෙන්න පටන් ගත් දිනයේ පටන් ඔහු මට ගෙදර දොර අස්පස් කරදෙන වැඩ, අප දෙදෙනාගෙ රෙදි වොශින් මැශින් එකට දමා හෝදා වේලෙන්න දාන වැඩ වගේම ඉඳහිට මට කෑම බීම හදාදී මාව ආදරයෙන් බලාගනී..... මගේ හිතේ ඔහුට තියෙන ආදරය තව වැඩි කරවමින්, ඔහු මාව විවාහ කරගන්නට කැමති වීම, මගේ හිතේ සතුට තව වැඩිකර ඇත... අප දෙදෙනාගේ, තනි තට්ටුවේ එපාර්ට්මන්ට් එකෙ වැඩ, මගේ වැඩ, සියල්ල ඔහු කර දෙන්නේ ස්වකැමැත්තෙන්මය. ඇත්තටම මට ස්ටීව් ගැන, දිනෙන් දිනම ලොකු ආදරයක් උපදී........
අපේ ලංකාවේ පිරිමි අයත්, මේ රටේ පිරිමි අයත් දිහා බැලුවාහම මම දකින තවත් ලොකු වෙනසක් තමයි ,සැමියා බිරිද කියා වැඩ බෙදාගෙන නොකර ,සියල්ලෝ සහයෝගයෙන් සියලු ගෙදර වැඩ කිරීම්....
"කෑම රත් කලාද චතුරි ...ඔයා ලොකු කලප්නාවකින් හිටියෙ, ඇයි ඒ...ඇන්ජලාට දැන් කොහොමද ?
"මම කල්පනා කලේ ඔයා ගැන ස්ටිව්, ඔයා කවදාවත් මම ගෙදර වැඩක් කියනකම් ඉන්නෙ නැතුව, ඒ හැම දෙයක්ම හොයලා බලලා මට කරලා දෙනවා....අපි දෙන්නගෙ කෑම බීම ගැන උනත් ඔයා හොයලා බලලා ලෑස්ති කරනවා....මට හරි සතුටුයි ඔයා වගේ ගොඩක් හොද කෙනෙක් මට ලැබුන එක ගැන ස්ටීව්.....මට ගොඩක් ආදරේ කරන ඔයා වගේ කෙනෙක් මට ලැබුනේ මගෙ වාසනාවට......."
"ඇයි ඔයාට එක පාරටම එහෙම හිතුනේ..."
"මේ රටේ පිරිමි තමන්ගෙ වයිෆ්ලට ගෙදර දොරේ සියලු වැඩපල කරගන්න උදව් කරනවා, දරුවන් බලාගන්න, ගෙදර කෑම බීම උයා පිහා දෙන වැඩ උනත් බොහොම කැමැත්තෙන් උවමනාවෙන් කරලා දෙනවා....ඒ උනාට අපේ ලංකාවේ ගෙවල් වල එහෙම දේවල් කරන්නේ නැති තරම් ස්ටීව්... විශේශයෙන් ලංකාවේ ජිවත්වන අපේ අම්මා තාත්තා නෑදැයින්ගෙ ගෙවල් වල සිද්ද වෙන්නෙ මීට ගොඩක් වෙනස් විදිහට ස්ටීව්....
"ඒ කිව්වේ....
" ඒ කියන්නේ ලංකාවේ ගොඩක් ගෙවල් වල සිද්ද වෙන්නෙ, වයිෆ් ගෙවල් දොරවල් අස්පස් කරලා, ළමයින්ගෙ වැඩ කරලා, රෙදි සෝදන වැඩ, උයන පිහන වැඩ ඔක්කොම කරලා හස්බන්ඩ්ට කෑම එක බෙදලා අතටත් දෙනවා, ....හස්බඩ්ලා වැඩ ඇරිලා ගෙදර ආවාහම, එක්කෝ වොශ් එකක් දාගෙන තේ එකක් බොනවා, ටීවී බලනවා, ටෙලිෆෝන් එකෙන් කා එක්ක හරි කතා කර කර ඉන්නවා, එහෙමත් නැත්නම් යාලුවො එක්ක එකතුවෙලා ජොලියක් දාන්න යනවා......ගෙදර ගෑනු කරන වැඩ කරන්න හස්බන්ඩ්ලා කැමති නෑ.....
"ඇත්තට...එහෙමද..?
"ඔව්....ගොඩක් වෙලාවට අපේ ගෙදර එහෙම තමයි සිද්ද වෙන්නේ.....අපේ තාත්තා අපේ අම්මට,ගෙදරට ඕන කරන බඩු මුට්ටු ටිකක් ඉද හිට කඩේට ගිහින් ගෙනත් දෙනවා, බර වැඩක් තිබුනොත් කරලා දෙනවා, වත්තෙ වැඩක් තිබුනොත් කරනවා මිසක් ගෙදර වෙන වැඩ වලට උදව් කරන්නෙ නෑ....අපේ අම්මා ගෙදර වැඩ් ටික තනියම කරගන්න ගොඩක් මහන්සි වෙනවා, මට හරි දුකයි අපේ අම්මා ගැන......."
" හැබැයි ඔස්ට්‍රේලියාවේ පිරිමි අය නම්, කසාඳ බදින්න ඉස්සර ගෙදර අම්මට උදව් කරනවා වගේම, කසාඳ බැන්දට පස්සෙ ගෙදර ඔක්කොම වැඩ, කරගන්න වයිෆ්ට උදව් කරනවා, දරුවන් හෝදලා බලාගන්න වැඩ, උයන පිහන වැඩ පවා..... ඔක්කොම තමන්ගෙ කැමැත්තෙන්ම කරනවානේ...."
"ඒක තමයි ස්ටිව් ඔයා වගේ කෙනෙක් මගේ අනාගත සැමියා වීම මට හරි සතුටුයි....ලංකාවේ කොල්ලෙක් කසාඳ බැදනම්, මටත් අපේ අම්මා වගේම තනියම දුක් විදින්නයි වෙන්නේ...."
"හැබැයි ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ අයගෙ හස්බන්ඩ්ලත් ඒ වගේම ළමයි බලාගෙන ගෙදර වැඩ එහෙම කරනවා මම දැකලා තියෙනවානේ...."
" ඔව් ස්ටිව්ව්....මේ රටට ඇවිත් පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ පවුල්වල අය, ඒ විදිහට හරි එකමුතු කමෙන් වැඩ කරගෙන ඉන්නවා......මෙහෙ ඔස්ට්‍රේලියාවේ අයගෙ හොද ගතිගුණ දැකලා ඒවා තේරුම් ඇරගෙන වෙන්න ඇති.....මම කිව්වේ ලංකාවේ ජීවත් වන අය ගැන....."
"දෙන්නෙක් එකට ජීවත් වෙනකොට, දෙන්නම සහයෝගයෙන් ගෙදර වැඩ කරගෙන හිටියම ලේසියිනෙ, ගෑනි මිනිහා කියලා වැඩ බෙදාගෙන කරන්නෙ නැතුව.....
"ඒක ඇත්තනේ....ලංකාවේ මිනිස්සුන්ට කොච්චර අඩුපාඩු තිබුනත් ගෙදර වැඩට වැඩ කාරයෝ ඉන්නවා....ඒකට මෙච්චර දියුණු රටවල වැඩ කාරයෙක් ඉන්න ගෙයක් හොයා ගන්නත් නෑනේ....ගෙදර හැමෝම එකට එකතුවෙලා,
ගෙවල් දොරවල් ලස්සනට පිරිසිදුව තියාගෙන, රස්සවට යනවා, ගෙදර වැඩ ටික කර ගන්නවා, දරුවෝ තුන් හතර දෙනෙක් හදා ගන්නවා....පාර්ටි දානවා.
විනෝද වෙනවා, යාලුවො ආශ්‍රය කරනවා, හරිම නිදහස් ජීවිතයක් ගත කරනවා මෙහෙ අය......ඒකට ලංකාවේ, හස්බන්ඩ්ලා විතරක් වැඩට යන තැන් වල, වයිෆ් තමයි ගෙදර වැඩ, ළමයින්ගෙ වැඩ, ඔක්කොම තනියම කරන්නේ....හස්බඩ්ලා තනියම ගිහින් යාළුවො එක්ක විනෝද වෙලා එනකම් ළමයි එක්ක ගෙදර තනියම ඉන්න වයිෆ්ලත් හරියට ඉන්නවා......"
"ඒක නම් හරි පව්....
ඉතිං චතුරි ඔයා මොකක්ද මට අර ලොකු කතාවක් කියන්න තියෙනවා කිව්වේ....?
"ආ....ඔව්නෙ....ඇන්ජලා ආයෙත් ඔෆිස් යන්න පටන් ඇරන් ..... ඒ දෙන්නා අපිත් එක්ක, අපේ වෙඩින් එකට ලංකාවට යන්න එන්නම් කිව්වා....."
"ඇත්තද...ඒක නම් ගොඩක් හොදයි ...ලංකාවට යන්න ඇන්ජලා ටෙරිත් එනවා නම් මටත් පාලුවක් නැති වෙයි ලංකාවේදි ..."
"ඇයි ස්ට්ව්....මම ඉන්නෙ ඔයාගෙ පාළුවට ,අපි යන්නෙ අපේ වෙඩින් එකටනේ...."
"නෑ චතුරි , ලංකාවේ ඉන්න ඔයාගෙ නෑදැයෝ ,යාලුවො ඔක්කොමලා ශ්‍රී ලංකන් අයනේ....ඇන්ජලා ටෙරික් ඔස්ට්‍රේලියාවේ දෙන්නෙක් නිසා, මට ඒ දෙන්නා ඉන්න කොට, මගේ පවුලේ දෙන්නෙක් ඉන්නවා වගේ දැනෙයි....".
"ඔයා දන්නවද...අද ඇන්ජලා මට මාර කතාවක් කිව්වනේ..."
"ඒ මොකක්ද ...?
"ඇන්ජලාගෙ ඩොක්ටර් කියලා , ඇන්ජලාගෙ ගර්භාශය ඉවත් කරලා නිසා, .... ඇන්ජලාගෙ ඩිම්බයි, ටෙරිගෙ ශුක්‍රාණුයි එකතු කරලා පරික්ශනාගාරයක ඒ දෙන්නගෙ දරුවෙක් IVF ක්‍රමයට හදාගන්න පුලුවන්ලු....."
"ආ....ඔව් මම ඒ ගැන අහලා තියෙනවා.....ඉතිං ඇන්ජලා මොකක්ද කිව්වේ...?
"ඉතිං එයාට ගර්භාශයක් නැති නිසා, පරික්ශනාගාරයක හදාගන්නා ඒ ගොල්ලන්ගෙ දරුවාගෙ කලලය, වෙන කෙනෙක්ගෙ ගර්භාශයේ තැන්පත් කරලා ඒ ගොල්ලන්ට දරුවෙක් හදා ගන්න ඕනලු.... ඩොක්ටර් ඒ ගැන කියපු වෙලේ ඉදන්, ඇන්ජලා හරි සතුටින්ලු ඉන්නෙ......"
"ඔව් එහෙම කරන්න පුලුවන්, දැන් විද්‍යාව දියුනුයිනේ....නල බබාලා එහෙම ඔය දැන් ඕන තරම් හදන්නේ.....ඒත් ඉතිං ඇන්ජලාගෙ ගර්භාශය ඉවත් කරලා තියෙන නිසා, ඒක කොහොමද කරන්නේ...? කාට කියලද දැන් එයා ඒ වැඩේ කර ගන්න හිතාගෙන ඉන්නේ....?
"ඒක තමයි ....ඒකට පිලියමක් ඇන්ජලාගෙ ඩොක්ට කියලා ..."
"ඒ මොකක්ද ...?
"වෙන තරුණ ගෑනු කෙනෙක්ගෙ ගර්භාශයක, ඒ කලලය තැන්පත් කරලා ,ඒ දෙන්නට ඒගොල්ලන්ගෙ ළමෙක් වෙන ගෑනු කෙනෙක් ලවා හදන්න පුලුවන්ලු...."
"ඕහ්හ්...ඔව්නේ එහෙම පුලුවන් නේ....ඉතිං ඒ වගේ දේකට කවුද කැමති වන්නේ....විශේෂයෙන් තරුණ ගෑනු කෙනෙක් ඒ වගේ දේකට කැමති වෙන එකක් නෑනේ ...."
"ඒගොල්ලෝ, ඒ වගේ දේකට කැමති වෙන කෙනෙක්ට ලක්ශ සීයක් දෙන්න කැමතිලු...
"මගෙ අම්මෝ එච්චර ලොකු සල්ලියක්....?
"ඒක තමයි මටත් පුදුම හිතුනා නැති බැරි තරුණ කෙනෙක්ට ඒ වගේ සල්ලියක් හම්බ වෙනවා නම් මාස නමයයිනේ, අමාරුවෙන් ඉන්න වෙන්නේ...ඊට පස්සෙ ළමයා හදලා ඒගොල්ලන්ට දීලා සල්ලි ඇරන්, ගෙයක් දොරක් හදාගෙන වෙන කෙනෙක් කසාද බැදලා සතුටින් ඉන්න පුලුවන් නේ... .
"ඔව්...ඒක ඇත්ත... ඒත් කොහෝමද ඇන්ජලා ඒකට කෙනෙක් හොයා ගන්න හදන්නේ....?
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments