🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Aug 30, 2021
- 7 min read
(8 වන කොටස)
අප දෙදෙනාගේ විවාහ උත්සවය සුළුවෙන් ඔස්ට්‍රේලියාවේ පවත්වන්න, සියලු වැඩකටයුතු දැන් ලෑස්ති වෙමින් පවති...
අපි හිතුවාට වඩා ඉක්මනට, අපගෙ නීත්‍යානුකූල විවාහය කර දැමීමට, ස්ටීව්ගෙ මව සුදානම් වීම මට සතුටට කරුණක් විය.
"ස්ට්ව් අද මම ඇන්ජලාගෙ ගෙදර යනව....අපේ වෙඩින් එකේ වැඩ කතාකරගන්නත් එක්ක......එයාට දැන් හොදටම සනීප නිසා..... ඇන්ජලායි ටෙරිකුයි ආපහු ඒගොල්ලන්ගෙ සිඩ්නි එපාර්ට්මන්ට් එකට ගිහින්...ඇන්ජලා දැන් වැඩටත් යනවා.... අද ඉරිදා නිසා, ඇන්ජලා ගෙදර ඉන්නවා ඇති, මම හවස ගිහින් එයාව බලලා, ටික වේලාවක් එයත් එක්ක ඉදලා එන්නම් ස්ටීව් ...."
"ඔව් ඒක හොදයි....ඇන්ජලා හරි කැමතියි ඔයා එයත් එක්ක කතා කර කර ඉන්න එනව නම්......එහෙනම් මමත් රෑ වෙලා ඇන්ජලාගෙ ගෙවල් පැත්තෙ එන්න බලන්නම්.. ...ඒ වෙලාවට ටෙරිත් ගෙදර ඉන්න වෙලාවනේ...."
"මම ගොඩක් රෑ වෙන්න ඉස්සර ආපහු ගෙදර එන්න හිතාගෙන යන්නෙ ස්ටීව්,....මට එන්න පරක්කු උනොත් විතරක් ඔයා එන්න..."
"ආ...හොදයි "
ඉතා ධනවත් පවුලක එකම දියනිය ලෙස උපන් ඇන්ජලාගෙ දෙමව්පියන් ඇයට, අවශ්‍ය හැම දෙයක්ම කිසි අඩුපාඩුවක් නොකර ලබා දෙයි. ඇය විවාහ උනා කියා, ඔවුන් ඇය ගැන නොබලා ඉන්නෙ නැත..... ඒ වගේම ඇයගෙ ගර්භාශ සැත්කම නිසා, ඔවුන් දෙදෙනා බොහො කළකිරි සිටින බවත් මට දැනින.....
එදින හවස් වරුවේ මම ඇන්ජලාලගෙ සුඛෝපභෝගී තට්ටු නිවාසයට ගියේ, ඇය කන්න කැමැති චිකන් පේස්ට්‍රි හා බටර් කේකයක්ද, මගේ අතින්ම සදා ගෙනය....
මම ඔවුන්ගෙ ගෙදර ගොස්, ගෙදර සීනුව නාද කල සැනින් ඇය ගෙදර දොර ඇරියේ,.... මාව දැක බොහො සතුටින් බව මට තේරුනි .
"එන්න එන්න චතුරි ... මම ඔයා එනකම් බලාගෙන හිටියේ, අලුත් ආරංචියක් කියන්නත් එක්ක....."
" ඒ මොකක්ද .....? ඉතිං ඊට ඉස්සෙල්ලා කියන්නකෝ, කොහොමද ඔයාට දැන් හොදටම සනීපද...?"
"දැන් නම් ගොඩක් දුරට හොදයි ..'."
"එහෙනම් අපි හතර දෙනා කොහේ හරි ට්‍රිප් එකක් ගිහින් එමුද?...."
"ඊට ඉස්සේල්ලා, ඔයා මට කියනකො ඔයාගෙ වෙඩින් එකේ වැඩ දැන් කොහොමද වෙන්නෙ කියලා.... , ඒ දේවල් හොදින් කරගෙන යනවද...? අපෙන් මොනවද ඔයාගොල්ලන්ට වෙන්න ඕන උදව්......"
"එහෙමට ලොකු උදව් මුකුත් ඕන නෑ ඇන්ජලා ...වෙඩින් එක ඔක්කොම පනහකට විතර කට්ටියකට තමයි අපි කියන්න ඉන්නේ....., චර්ච් එකේනේ වෙඩින් එක ගන්නේ, ස්ටීව්ට එහෙම ලොකුවට වෙඩින් එකක් ගන්න උවමනාවක් නෑ......එයා කියන්නෙ බොරුවට සල්ලි නාස්ති කරන්න එපා කියලා...... අපේ වෙඩින් එකට, අපි දෙන්නගෙම යාලුවො ටිකක් එනවා, ස්ටිව්ගෙ අම්මයි තාත්තයි නංගිලා මල්ලිලා එනවා එච්චරයි.......පල්ලියේ වැඩ කටයුතු ඔක්කොම , ස්ටිව්ගෙ අම්මා ලැස්ති කරනවා, ඒ නිසා අපි දෙන්නට වැඩිය කරන්න දෙයක් නෑ....
"ඔව්.... මම හිතුවා ඔයගොල්ලෝ ලොකුවට වෙඩින් එකක් මෙහෙ ගන්න එකක් නැති වෙයි කියලා ....ඔයාගෙ අම්මලා තාත්තලත් මෙහෙ නෑනේ ...."
" ඔව් ඇන්ජලා , ඒක තමයි .....හැබැයි ඇන්ජලා මම මේ ඔස්ට්‍රේලියාවේදී අපේ වෙඩින් එක සුළුවට ගත්තට, ලංකාවේදි අපේ හෝම්කමින් එක නම් ටිකක් ලොකුවට ගන්න හිතාගෙන ඉන්නේ.....ඒවාට අවශ්‍ය කරන සල්ලි මම අපේ අම්මට ලංකාවට ඇරියා.... මම ඔස්ට්‍රේලියාවේ වෙඩින් එක සුළුවෙන් ඇරන්, සල්ලි ඉතිරි කරගෙන තමයි , ලංකාවේ වෙඩින් එක ගන්න කියලා අම්මට වියදමට සල්ලි ඇරියේ....තව එකක් මෙහෙ වගේ නෙමේ, ලංකාවේ වියදම අඩුවෙන් මේ දේවල් කර ගන්න පුලුවන් ......අනික, අපේ ලංකාවේ නෑදෑයෝ, යාලුවො ඔක්කොමලට දැනගන්න උවමනාව තියෙනවා, අපේ අම්මලා මාව ණය වෙලා රට ඇරිය නිසා මම හොදට දැන් ඉන්නවද කියලත්...., මම දැන් රට ගිහින් ගොඩක් සැපට, ඉන්නවා කියලා හිතෙන කට්ටියකුත් ඉන්නවා තමයි , ....
ඒ වගේම තව කට්ටියක් බලාගෙන ඉන්නෙ මට වරදිනකම්.....හිනාවෙන්න...... අපේ ලංකාවේ මිනිස්සු එහෙම තමයි.....කොච්චර හොදට මූණට පණ දෙන්න කතා කලත්, හිත යටින් අපට ඉරිසියා කරන කට්ටියකුත් ඉන්නවා.....හැමෝම නෙමේ ඇන්ජලා ...., මගේ නෑදැයෝ ගැන මම කිව්වේ.....ඒ හින්දයි මම තියෙන සල්ලි ඔක්කොම එකතු කරලා , ලංකාවේ අපේ හෝම් කමින් එක ලොකුවට ගන්න හදන්නේ....අපේ අම්මගෙ තාත්තගෙ ආසාවත් ඉශ්ට කරන්න ඕනෙ, පව් අහිංසක අය සතුටු වෙයි මගේ වෙඩින් එක් හොදට, ජයට ලංකාවේ ගත්තහම...."
"ඔව්, ඔයගෙ ලංකාවේ නෑදෑයන්ට යාලුවන්ට කියලා ලොකුවට වෙඩින් එක ලංකාවේ ගන්න එක නම් හොදයි තමයි ...."
"ඉතිං කියන්නකො ඔයාට කියන්න තියෙනවා කිව්ව වැදගත් සතුටුදායක ආරංචිය මොකක්ද කියලා ...."
"ඒක තමයි අපේ අම්මලා, අපට අවසර දුන්නා, ඔයගොල්ලන්ගෙ වෙඩින් එකට, අපි දෙන්නටත් ලංකාවට යන්න ....අපි දෙන්නත් ඒ නිසා, ඔයගොල්ලෝ දෙන්නත් එක්කම ඔයගොල්ලන්ගෙ වෙඩින් එකට ලංකාවට යන්න එනවා....."
"හානේ ඒකනම් හොදම ආරංචියක්.....ස්ට්ව් ගොඩක් ආස වෙයි ඒ ගැන දැනගත්තහම.....ඇයි අපේ අම්මලත් ඒකට ගොඩක් සතුටුවෙයි.... ස්ටීව් වෙනුවෙනුත් ඔස්ට්‍රේලියාවේ කවුරු හරි ලංකාවට එන එකට......ඇයි එතකොට අපේ නෑදෑයින්ට ස්ටිව්ගෙ අයත් පෙන්නන්න ලැබෙනවානේ.... "
"ඔව් ටෙරික් කිව්වෙත් ඒකමයි.....ස්ටීව් වෙනුවෙන් අපි දෙන්නා එහෙ යමු කියලා ...ඇයි චතුරි ඔයා ස්ටීව්ගෙ අම්මට නංගිට වත් ලංකාවට යන්න අඬගැහුවේ නැත්තේ....?
"මම ඒ දෙන්නවත් ලංකාවට එක්ක යමු කියලා ස්ටීව්ට කිව්වා....එයා තමයි කිව්වේ, මේ වෙලේ අපට සල්ලි වැඩිය නැති නිසා, පස්සෙ කාලෙක ඒ දෙන්නව එහේ එක්ක යමු කියලා ....ස්ටීව්ගෙ අම්මත් වැඩිය එහෙ මෙහෙ යන්න කැමති කෙනෙක් නෙමේ...."
"ඔව්, ස්ටීව්ගෙ අම්මා ආස ෆාර්ම් හවුස් එක බලාගෙන නිදහසේ ඉන්න තමයි ...එයා සිඩ්නි සිටී" එකටවත් එන්න ආස කෙනෙක් නෙමේනේ....
"ඉතිං....ඇන්ජලා ඔයාගෙ අසනීප තත්වය කොහොමද දැන් ....දැන් ඔයාට හොදටම සනීපයි නේද...?
"ඔයාට කියන්න තියෙනවා, මට ගොඩක් සතුටු හිතුන දෙයක් .... මගේ ඩොක්ටර් මට, මගෙ හිත සැනසෙන්න ලොකු හොද ආරංචියක් කිව්වානේ..."
"ඒ මොකක්ද ඇන්ජලා ඒ....මටත් සතුටුයි ඔයා සතුටින් නම්...."
"ඔයා දන්නවනෙ චතුරි , මට කවදාවත් මගෙ කියලා දරුවෙක් මගේ බඩේ හදන්න බැරි බව....මගේ ගර්භාශය ඇරන් දැම්ම නිසා...."
"ඔව්....මට ඒ ගැන ගොඩක් දුකයි ඇන්ජලා ...."
"මට දුක මගේ ගැන නෙමේ චතුරි... , ටෙරික් ගැනයි , එයා තමයි මටත් වඩා අපේ බබෙක්ට කැමැත්තෙන් හිටියේ,...මට බබාලා හදන්න බැරි නිසා, එයාටත් කවදාවත් එයාගෙ කියලා දරුවෙක් දකින්න හම්බවෙන්නෙ නෑනේ......මට ඒ ගැන හරි දුකයි .....ඒ නිසා මම ටෙරික්ට කිව්වා,මාව ඩිවොස් කරලා වෙන කෙනෙක්ව කසාද බදින්න කියලා ,...ඒ උනාට එයා එහෙම කෙනෙක් නෙමේ, එයා කියනවා අපි ළමෙක් අරන් හදාගමු කියලා ...."
"ඔව් ඇන්ජලා ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ...."
"ඒ උනාට ඕන පිරිමියෙක් කැමති තමන්ගෙ දරුවෙක් හදන්න නේ චතුරි ...."
"ඒක ඉතිං ,දැන් තියෙන තත්වය අනුව, ඔයාට කරගන්න පුලුවන් දෙයක් නෙමේනෙ ඇන්ජලා ...."
"නෑ චතුරි , ඒකට දැන් ක්‍රමයක් තියෙනවලු..... මට දරුවෙක් හදන්න ගර්භාශයක්
නැති උනත්, ටෙරික්ගෙ ශුක්‍රාණුත් මගේ ඩිම්බත් එකතු කරලා, දරුවෙක් අපට හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවලු.... ...ඒක කරන්න පුලුවන් කියලා මගේ ඩොක්ටර් කිව්වා.... ඩොක්ටර් මට ඒ ගැන හරි හොදට පැහැදිලි කරලා කිව්වා...."
ඇන්ජලා පුදුම හදිස්සියකින්, ලොකු සතුටකින් ඒ ගැන කියාගෙන යයි...
"ඒ මොකක්ද ඒ....ඒ ගැන මම අහල නෑනේ... ..."
"මගේ ගර්භාශයේ පිලිකා සෛයිල තිබිලා , මුළු ගර්භාශයම ශල්‍යකර්මයකින් ඇරන් දැම්මට, මගෙ ඩිම්බ කෝශ ඇරන් දාලා නෑනේ......, ඒ නිසා මගේ ඩිම්බ කෝශ වලින් ගන්නා ඩිම්බත්, ටෙරික්ගෙ ශුක්‍රාණුත් එකතු කරලා අපට පරික්ශනාගාරයක් තුල අපේම දරු කලලයක් හදාගන්න පුළුවන්ලු.....ඒ ක්‍රමයට කියන්නෙ IVF ක්‍රමය කියලලු....ඉතිං ඩොක්ටර් කිව්වා
IVF ක්‍රමයට අපට දරුවෙක් හදාගන්න බලන්න කියලා .... මට ඒ ගැන දැනගත්තහම පුදුම විදිහේ සතුටක් ඇතිවුනා චතුරි ......."
"ඉතිං පරීක්ෂණාගාරයක කළලයක් හදා ගත්තට, ඒකට ජීවය දෙන්න අම්මා කෙනෙක් ,එහෙම නැත්නම් ගර්භාශයක් ඕනනේ..... ඔයාට ගර්භාශයක් නැතුව කොහොමද ඒක කරන්නේ...."
"ඔව්...චතුරි ඒකයි දැන් මෙතන තියෙන ප්රශ්නය ....., අපි දෙන්නගෙ දරුවෙක් පරික්ශනාගාරයක් තුල හදාගත්තට, ඒ කලලයට ජීවය දෙන්න , ඒ දරුවා ලොකු කරගන්න කාගෙ හරි ගර්භාශයක් අපට අවශ්‍ය වෙනවා......."
"ඉතිං ඒ වගේ දෙයක් කොහොමද හොයා ගන්නේ....??
"ඒ විදිහට අපේ දරුවෙක් හදාගන්න නම්, අපි කොහොම හරි හොද විශ්වාස වන්ත කෙනෙක් හොයා ගන්න වෙනවා චතුරි ......"
"අනේ මන්දා ඇන්ජලා ,ඔය කියන තරම් ලේසියෙන් ඒ වැඩේ කරගන්න නම් බැරි වෙයි...."
"ඒ උනාට ඕන දෙයක් අපි උත්සහ කරලා බලන්න ඕනනේ චතුරි .....කවුරු හරි මාර්ගයකින් අපේ දරුවා අපි හදාගන්න නම්, අපට මාස නමයකට, කාගේ හරි ගර්භාශයක් කුළියට ගන්න වෙනවා....හැබැයි ඉතිං ඒ කෙනා ගොඩක් විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනේ.......ඒ කියන්නේ ඔයා වගේ විශ්වාස වන්ත කෙනෙක් තමයි අපට අවශ්‍ය ...."
"මම වගේ කෙනෙක් ....????
"ඔව්....ඔයා ඒ වැඩේට කැමති නම් මට ඊට වැඩිය සතුටක් නෑ චතුරි ....ඒ උනාට දැන් ඔයා ලඟදි මැරි කරන්න ඉන්න නිසා ස්ටීව් ඒ වැඩේට අකමැති වෙන්න පුලුවන් ...."
"මගේ අම්මෝ....ඇන්ජලා ඇයි ඔයා එහෙම හිතුවේ...., මම කොච්චර විශ්වාස වන්ත කෙනෙක් උනත්, අපේ අම්මලා තාත්තලා, ස්ටීව්, එයාගෙ අම්මා, හැමෝම බලන් ඉන්නේ, අපි දෙන්නා නීත්‍යානුකූලව කසාඳ බැදපු ගමන් අපේම කියලා දරුවෙක් හදාගන්න කම්නේ...."
" ඇත්තටම නිකම් නෙමේ චතුරි ..., මායි ටෙරිකුයි හිතුවා ඒ වෙනුවෙන් ඔයාට සල්ලි දෙන්න....."
"ඒ උනත් කොච්චර සල්ලි අමාරුකම් තිබුනත් ස්ටීව් ඒවගෙ වැඩකට කැමති වෙන එකක් නෑ ඇන්ජලා ...."
"ම්ම්....
මට තේරෙනවා චතුරි .....ඔය දෙන්නා කසාඳ බදින්න හදන මොහොතේ මම ඒවගේ දෙයක් අහපු එකත් නරකයි කියලා .....මම ඉන්න තත්ත්වය අනුව එහෙම ඇහුව්වට සමාවෙන්න ...."
"නෑ ඒකට කමක් නෑ ඇන්ජලා ....ඔයා ඉන්න තත්ත්වය මට තේරෙනවා...."
"එහෙම නැත්නම් චතුරි, අපට වෙන කාව හරි විශ්වාස වන්ත කෙනෙක් හොයා ගන්න බැරි වෙයිද....? හැබැයි
කවුරු උනත් එහෙම දෙයක් නිකන් කරන්න කැමති වෙන්නෙ නෑ කියලා අපි දන්නවා....., ඒ නිසා කොහොමත් මමයි ටෙරිකුයි ඒ ගැන කතා කරගෙන ඉන්නේ......."
"ඒ කිව්වේ....?
"ඩොක්ටර් කිව්ව විදිහට ,පරීක්ෂනාගාරයක හදාගන්න අපේ දරුවාව.....,කොටින්ම තමන්ගෙ නොවන දරුවෙක් තමන්ගෙ ගර්භාශයේ හදාගන්න කැමති කෙනෙක්ට ලොකු මුදලක් දෙන්න අපි හිතන් ඉන්නේ..... ඒ කියන්නේ ඒ ගර්භාශය අයිති කෙනාට, ලක්ශ සීයක් වගේ මුදලක් අපි දෙන්නා දෙන්න කැමතියි ...."
"මගේ අම්මෝ එච්චර ලොකු මුදලක්.......ඒත් මේ වගේ රටක ,කවුද ඉතිං ඒ වගේ දේකට කැමති වෙන්නේ...?අනුන්ගේ ළමෙක් තමන්ගෙ ගර්භාශයේ හදාගන්න.......නිකම් නෙමේ සල්ලි වලට උනත්....???ඒ කියන්නෙ මේක මාස නමයක දහයක කොන්ත්‍රාත්තුවක්....? "
"ඔව් චතුරි , ඒ වගේ කන්ටැරැක්ට් එකක් තමයි.... මෙච්චර ලොකු මුදලක් අපි දෙන්නා දෙන්න හිතුවේ මේකේ බරපතළ කම දන්න නිසයි......."
"හැබැයි ඔයගොල්ලෝ හිතන තරම් මේක ලේසී පහසු කටයුත්තක් නෙමේ ඇන්ජලා ..."
"ඔව් චතුරි ඒක අපි දන්නවා.....කොච්චර විශ්වාස කෙනෙක් හම්බුනත් ....ඒක නීත්‍යානුකූලව ලෝයර් කෙනෙක් ගාවත් අත්සන් කරලා කරන්න ඕන දෙයක්..... මොකද ඒ පරික්ශනාගාරයක් තුලදි අපි දෙන්නගෙ දරුවෙක් හදලා ,....වෙන ගෑනු කෙනකුගෙ ගර්භාශයේ ඒ කළලය තැන්පත් කලාට පස්සෙ, මාස නමයහාමාරක් විතර ඒ ගෑනු කෙනාගෙ ගර්භාශයේනෙ අපේ දරුවා හැදෙන්නෙ,.... එතකොට, ඊට පස්සෙ ඒ ගෑනු කෙනා අපේ දරුවා, අපට නොදි ඉන්නත් පුලුවන්නේ.... ඒ නිසා තමයි ලෝයර් කෙනෙක් ගාව සයින් කරන්න ඕනේ කිව්වේ...., ඒ වගේම අනිවාර්යයෙන්ම ගොඩක් විශ්වාස වන්ත කෙනෙක් වෙන්නත් ඕනමයි....,ඒ කියන්නේ ඔයා වගේ කෙනෙක්..... කසාඳ බැදපු කෙනෙක් නොවෙන්නත් ඕනේ, ළමයි ඉන්න කෙනෙක් නොවෙන්නත් ඕනේ, මොකද එහෙම අය අන්තිමට අපේ දරුවට උනත් ආස වෙලා, දරුවා ආයෙත් අපට නොදි ඉන්නත් පුලුවන්නේ.... ඒ නිසා මේකට හොදම කෙනෙක් වෙන්නේ, කසාඳ නොබැදපු ,වගකීම් අඩු, සල්ලි අවශ්‍ය තාවයක් තියෙන ගෑනු කෙනෙක්ම තමයි ..... හැබැයි මේ වගේ රටක, ඒ වගේ දෙයකට, අපේ සුදු ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් නම් හොයා ගන්න පුලුවන් වෙන්නෙ නෑ.....කවුරුත් ඒ වගේ දේකට කැමති වෙන්නෙ නෑ.....සමහර විට නීතියෙනුත් තහනම් ඇති.... .ඒ නිසා ඔයාට බැරි වෙයිද අපට උදව් කරන්න ..."
"මම කොහොමද ඒ වගේ දේකට උදව් කරන්නේ ඇන්ජලා ...."
"මෙහෙමයි, මම ටෙරි එක්ක ඒ ගැන කතා කලා ,එයා කිව්වා ඔයා එක්ක මට ඒ ගැන කතා කරලා බලන්න කියලා ....ඒ කියන්නේ නිකම් නෙමේ, ලක්ශ සීයක් විතර මම දෙන්න කැමතියි ....ඔයා කැමති නම් එහෙමයි, එහෙම නැත්නම් ඔයා දන්න කවුරු හරි උනත් කමක් නෑ අපට හොයලා දෙන්න..... අපේ දරුවා හදාගන්න ගර්භාශයක්, සල්ලි වලට කුළියට දෙන්න කැමති කෙනෙක්....."
"අනුන්ගේ ළමෙක් තමන්ගෙ ගර්භාශයේ හදන්න කොයිවගේ ගෑනු කෙනෙක් කැමති වෙයිද ඇන්ජලා ....?."
මගෙ ඔළුවත් කැරකුනා...මම ඒ ගැන ගෙදර ගිහින් කල්පනා කරලා බලලා, ස්ටීව්ටත් කියලා බලලා ඔයාට කියන්නම්.....මොනවද මට ඔය දෙන්නා වෙනුවෙන් කරන්න පුලුවන් කියලා ...."
"ඔව් චතුරි ,ඒක මට ලොකු උදව්වක් ...මම කැමති නෑ කාගෙවත් දරුවෙක් ඇරන් හදාගන්න.... මට ඕනේ අපි දෙන්නගෙම දරුවෙක් හදාගන්නයි. ඒකට තියෙන එකම ප්රශ්නය මගේ ගර්භාශය නැති කම විතරයිනේ....අපට ඒ වෙනුවෙන් ලොකු සල්ලියක් දෙන්න පුලුවන් ..."
"මම දැන් ගෙදර යන්නම් ඇන්ජලා ....ස්ට්ව් වැඩ ඇරිලා දැන් ගෙදර ඇවිත් ඇති....මම ස්ටීව්ට මේ ගැන කියලා බලන්නම්....ඒත් මට ස්ටීව්ට මේ ගැන කියන්නත් මොකක්ද වගේ....."
"හොදයි එහෙනම් අපි ආයෙත් ඉක්මනට හම්බ වෙමු, ඔයාගෙ වෙඩින් එක ගැන කතා කර ගන්නත්, අපි ලංකාවට යන එක ගැනත් කතා කරගන්නත් එක්ක......."
ඇන්ජලා හා ටෙරි විවාහයෙන් අවුරුදු තුනකට පසු, දරුවෙක් බලා පොරොත්තුවෙන් හිටියත්, ඇයගේ ගර්භාශය මුළු මනින්ම ඇරන් දාපු නිසා, ඔවුන් අද වෙනකොට දරුවෙක් ලබා ගත නොහැකිව දුක් වෙන අයුරු ගැන මටත් ඇත්තේ දුකකි..... ඒත්, මම කොහොමද එයාට උදව් කරන්නේ....ස්ටීව්නම් මේ වගේ වැඩ වලට කැමති කෙනෙක් නොවන බව මම හොදටම දන්නවා..... ගෙදර ආවහම මේ ගැන ස්ටීව්ගෙන් අහන්න ඕනෙ කියලා හිතුවත්, එයාගෙන් මට ඒකට බැනුම් අහන්න වෙයි කියලත් සැකයි.....ඇන්ජලා හා ටෙරික් ඔවුන්ගේ දරුවෙක් ලබා ගැනිමට, ලක්ශ සීයක් වැනි විශාල මුදලක් දෙන්නට කැමති වි සිටීම,....මගෙත් ස්ටීව්ගෙත් මුදල් අඩුපාඩු දන්නා නිසාම ඇන්ජලා ,මගෙන් ඒ වගේ දෙයක් ඇහුව්වාද කියාත් මට සැකයි..... මුදල් අඩුපාඩු ඇති මගේ හිතට එන්නේ අමුතුම අදහස් ය.....එච්චර ලොකු සල්ලියක් තිබුනොත්, මටත් ස්ටීව්ටත් අපේ ප්‍රශ්න වලින් ටිකක් හෝ මිදෙන්න හැකියාවක් ලැබෙයි කියලත් මගේ හිතට දැනේ.....ඇන්ජලා කිව් දෙයින් මගේ මුළු ඔළුවම හිරි වැටීගිය බවක් මට දැනේ....
-හෙට හමුවෙමු-
*ප්‍රිසිලා ගොඩහේවා*






Comments