🌏කොන්ත්‍රාත්තුව 🌏
- Prisila Godahewa

- Aug 28, 2021
- 6 min read
(6 වන කොටස)
අදට වසරකට පමණ පෙර, නෑ හිතමිතුරන් සියල්ලන්ගෙ ආශිර්වාද මැද, ඔස්ට්‍රේලියාවේ අතිඋත්කර්ශවත් විවාහ මංගල්‍යයකින් පසු, ඇන්ජලා හා ටෙරික් යුග දිවියට එළැඹියේය. ඇන්ජලා හා ටෙරික්ගේ විවාහ උත්සවය වෙනුවෙන් මාත් ස්ටිව්වෝත් ඒ දිනවල ඔවුන් වෙනුවෙන් බොහෝ මහන්සි විය.
"චතුරි...., ඔයයි ස්ටිව්වෝයි හරියට මහන්සි උනා අපේ වෙඩින් එක ගත්ත දවස්වල,....ඔය දෙන්නට ඉතිං ගොඩක් ස්තුතියි.... "
"ඕවා මොනවද ඇන්ජලා ...කවදාහරි අපේ වෙඩින් එකක් තියෙන කාලෙක ඔය දෙන්නත් අපට උදව් කරන්නකෝ ඒකට හිලව් වෙන්නත් එක්ක..."
"අනිවාර්යෙන්ම අපි උදව් කරනවා චතුරි.. .."
ඔවුන් විවාහවි දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගෙවි ගොස් ඇත.... ස්ටිව් හා මම තවමත් පරණ පුරුදු ලෙසම, අපේ රැකියාවන් කරමින් කුළී තට්ටු නිවාසයේ, නීත්‍යානුකූල නොවන අඹුසැමි ඇසුරක් පවත්වමින් කාලය ගත කරන්නෙමු. මට ඒ ගැන ඇත්තේ දුකකී..... නමුත් ,කවදා හෝ ස්ටීව් මගෙන් නීත්‍යානුකූලව විවාහ වෙන්න කැමතිද කියා අසන තෙක් මට එසේ ඉන්නට සිදුවි ඇත..... නමුත් ලංකාවේ සාම්ප්‍රදායික ගැහැනියක ලෙස ,ඉඳහිට මම, ඇඟට පතට නොදැනී, ස්ටිව්ව කේන්ති නොගස්වා, ඒ ගැනත් හෙමිහිට අහන්න අමතක නොකරමි.
විවාහයෙන් පසු, ඇන්ජලා හා ටෙරික්ගෙ එකම ආසාව උනේ, විවාහ වු සැනින් දරු සම්පතක් ලබා ගැනීමය.... අවුරුදු තිහකට කිට්ටු කර සිට් ඇන්ජලාට ඇයගේ කුළුදුල් දරු සම්පත, පමා කරන්න තරම් හේතු නොවිය.... ධනවත් දෙමව්පියන්ට දාව උපන් ඇයට, තමන්ටම කියන්න ගෙයක් දොරක්, වාහන දෙකක් ඇති ඔවුන්, විවාහ වූ විගස දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටියේ සියලු දේවල් වලින් සර්ව සම්පුර්ණ වය.
විවාහයෙන් අවුරුද්දක කාලයක් ගොසින් වත් ඔවුන්ට දරු සම්පතක් ලැබිමේ වාසනාව නොලැබීම නිසා, ඔවුන් දෙදෙනා දුකට පත්ව ඇත.
"අපි මැරි කරපු දවසේ ඉදන් ආසාවෙන් බබෙක් හදන්න බලන් හිටියත් තවම ඒ ගැන සලකුනක් වත් නෑනේ චතුරි ....අපි දෙන්නම ඒ ගැන ඉන්නෙ ගොඩක් දුකෙන්....."
"තාම ඔය දෙන්නා කසාඳ බැදලා අවුරුද්දයිනෙ ඇන්ජලා ....තව ටික දවසක් බලන්න .... එහෙම නැත්නම් ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යන්න....දැන් ඉතිං තව අලුත් ක්‍රම වලට, ඉක්මනට දරුපල ලබාදෙන ක්‍රම තියෙනවානේ...."
"ඔව් චතුරි , අපි ඉක්මනට වයසට යනවනේ, ඒ නිසා ඉක්මනට බබෙක් හදා ගත්තොත් හොදයි ....ඔයයි ස්ටිව්වෝයි උනත් ඉක්මනට මැරි කරලා බබෙක් හදාගන්න බලන්න චතුරි ,ඕවා පරක්කු කරන්න හොද නෑ....දැනටමත් අපි පරක්කුයි....අපි දෙන්නම දැන් අවුරුදු තිහට කිට්ටු කරලානේ ඉන්නේ...."
"මාත් ආසයි ඇන්ජලා ඉක්මනට කසාඳ බදින්න,.... ඒ උනාට ස්ටිව්ට තවම හරි හමන් ජොබ් එකක් නැති නිසා දැන්ම කසාඳ බදින්න කැමති නෑ කියනවනේ...... ඒ උනාට අපේ අම්මලා නිතරම මගෙන් අහනවා ඇයි තාම කසාද බදින්න හිතුවෙ නැත්තෙ කියලා....ඒගොල්ලන්ට තේරෙන්නේ නෑනේ අපට තියෙන ප්‍රශ්න .... ."
ඇන්ජලා හා ටෙර්ක් විශ්වවිද්‍යාල සමයේ ආදරෙන් මුණ ගැසි, එකම නවාතැනක අඹුසැමියන් ලෙස අවුරුදු දෙකක කාලයක් ජීවත් උන නිසාත්, හරි ලෙස නීත්‍යානුකූලව විවාහ දිවියට එළඹියාට පසු , පුලුවන් ඉක්මනට දරුවකු බලාපොරොත්තු උනත්, තවමත් ඔවුන්ට ඒ ආසාව ඉශ්ට කරගන්නට නොහැකි වි ඇත්තේ, ඔවුන් අවුරුදු ගනනක් පවුල් සැලසුම් ක්‍රම, බෙහෙත් වර්ග, පාවිච්චි කල නිසා යන සැකයකින් ඇන්ජලා පෙලේ......එය එසේ නොවුනත්, ඔවුන්ට දරුවෙක් පමා වෙන්නට හේතුව ගැන ඔවුන් දෙදෙනා මෙන්ම, අපත් සිටින්නේ කළකිරිමෙන්ය.
විශ්වවිද්‍යාලයට යන ගමන්ම හොද රැකියාවන් වල යෙදුන ඔවුන් දෙදෙනාම හොද ආර්ථික තත්ත්වයක් ඇතුව ජීවත් වුවන් විය. ඊට අමතරව බොහෝ ධනවත් ඔවුන්ගෙ දෙමව්පියන් ඔවුන්ට නිතර මිලමුදල් අතින් උදව් උපකාර කරන නිසා, ඔවුන්ගෙ ජීවිත ඉතා සැපවත් ලෙස, කිසි අඩුපාඩුවක් නැතුව ගලා යන බවත් අප දනිමු. ඒ අතින් මාත් ස්ටිව්වෝත් කොයිතරම් නම් මිල මුදල් අතින්, අසරණව ඇත්ද කියා මට නිතර සිතේ.... අප දෙදෙනාට මිල මුදළින් උදව් කිරීමට කිසිවකු නැත..... අප දෙදෙනාම රැකියා කර හම්බ කරන මුදල්, පවුලේ අනෙක් අයගෙ සුභ සිද්දිය සඳහා වියදම් කිරීමට සිදුවි ඇත. ඒ ගැන දෙදෙනාටම දුකක් නැත. අපි අපේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරමින් ,ජිවිත ගමන හෙමිහිට යන්නෙමු.
"ස්ට්ව්, දැන් කවද්ද අපි කසාඳ බදින්නේ....? ස්ටිව් සමග ආදරෙන් බැදි ඉන්නා මොහොත වල්වල, මම ඉදහිට ආදරෙන් ඔහුගෙන් අසන්නෙමි.
"බැන්දෙ නැති උනාට අපි දෙන්නා දැන් අවුරුදු දෙකක ඉදන් එක ගෙදරකනේ ජීවත් වෙන්නේ චතුරි ..."
"ඒ උනාට ස්ටිව් ,අපි දැන් නිකන් වයසට යනවා....ඒ නිසා ඉක්මනට කසාද බැදලා අපි, අපේ කියන්න දරුවක් හදාගන්න ඕනේ......බලන්නකෝ ඇන්ජලා මැරි කරලා අවුරුද්දකුත් ගියා, තාමත් එයාට බබෙක් නෑ... "
" මට ඔයාට කියන්න බැරි උනා චතුරි ....මට ඊයේ ටෙරික් කෝල් කරලා කිව්වා...., ඇන්ජලා ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගිය සුමානේ ගිහින්....ඒ උනාට ඒගොල්ලෝ හිතුවට වඩා බරපතළ අසනීපයක් තියෙනවලු ඇන්ජලාට....මට ටෙරික් කිව්වා ඔයාට පුළුවන් නම් ඇවිත් ඇන්ජලාව බලලා යන්න කියලා...."
"ඇයි දන්නෙ නෑ ඇන්ජලාට......මම අදම වැඩ ඇරිලා එන ගමන් ඇන්ජලා බලලා එන්නම්,... ඔයත් එනවද මාත් එක්ක එහෙ යන්න...."
"නෑ ...චතුරි, ඔයා ගිහින් එන්න, අද බ්රහස්පතින්දානේ ,
සිඩ්නි නගරෙ රෑ දහය වෙනකම් ශොපින් සෙන්ටර්ස් ඇරලා තියෙන දවස නිසා, මට අද වැඩ වැඩි වෙයි.....මම එනකොට රෑ වෙයි, ඔයා හවස ගිහින් ඇන්ජලා බලලා එන්න...."
ගිය සුමානෙම මට ඇන්ජලාට කෝල් එකක් දෙන්න බැරි උන බව මට මතක් උනේ, ස්ටිව් ඇන්ජලාගෙ අසනීපයක් ගැන කිව් පසුයි..... ඇන්ජලාගෙ මම නොදන්න අසනීපය මොකක්ද කියා සිතමින් මම එදින හවසම ඇය බලන්න යන්න කාර්යාලයෙන් නිවාඩුවක් ගත යුතු යැයි සිතුවෙමි.
හවස වේලාසන කාර්යාලයෙන් පැයක නිවාඩුවක් ගත් මම, ඇය බලන්න ඇයගේ එපාර්ට්මන්ට් එකට ගියේ සැකයෙන් මෙන්ය. හේතුව ඇයට ඇති අසනීපය කුමක්දැයි මම නොදැන සිටි නිසයි.
මම ඇන්ජලාගෙ එපාර්ට්මන්ට් එකට යන විටත්, ඇන්ජලාගෙ මව හා පියා ඇය බලන්න එහි ඇවිත් සිටියාහ. ඇන්ජලාගෙ වගේම ඔවුන් දෙදෙනාගේද මූණවල් එතරම් හොද නැත. ඔවුන් තුන් දෙනාම මොනවා හෝ දෙයකට දුකින් ඉන්නා බව පෙනේ....
"ඇන්ජලා ඔයා ගොඩක් දුකෙන් ඉන්නේ, ඇයි ඒ....මට අකමැත්තක් නැත්නම් කියන්න ඔයාගෙ අසනීපය ගැන. මම මට පුලුවන් උදව්වක් කරන්නම්....."
"මට ලොකු නරක අසනීපයක් හැදිලා චතුරි ....මට කැන්සර් එකක්... ඒ නිසා මම හෙට හොස්පිටල් නවතින්න යනවා, ලොකු ඔපරේෂන් එකකට...."
"අනේ මට හරි දුකයි ඇන්ජලා ඔයා ගැන..., මම හෙට ඔෆිස් එකේ නිවාඩුවක් දාලා, ඔයා ලඟ නවතින්න එන්නම්....."
"ඔයා කරදර වෙන්න එපා චතුරි , මමි ඩැඩි මගෙ ලඟ ඉන්නවනේ...."
"ඒකට කමක් නෑ මමත් එන්නම් ඔයාගෙ තනියට ...."
පසු දින ඇන්ජලා හොස්පිටල් එකක නැවති , කරන්න යන සැත්කම ගැන මගේ හිතට ආවේ ලොකු බියකි......
"ස්ටිව් ඇන්ජලාට කැන්සර් එකක්ලු, හෙට එයාව හොස්පිටල් ඇඩ්මිට් කරනවලු..... , මම හෙට ඔෆිස් එකේ නිවාඩුවක් දාලා එයාව බලන්න හොස්ටල් යනවා..."
"ඔව් චතුරි ....ඔයා ඇන්ජලාගෙ හොදම යාළුවානේ, ඔයා අනිවාර්යයෙන්ම හෙට යන්න. මමත් හවස් වරුවේ හොස්පිටල් පැත්තෙ එන්නම් ...."
ඊට පසු දින, ඇන්ජලා රෝහලට ඇතුලත් කර, ඇගේ ශල්‍යකර්මය කර තිබුනත්, අපට ඇය බලන්න දැඩි සත්කාර ඒකකයට යන්නට නොහැකි විය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පෞද්ගලික රෝහලක් වන මාටර් රෝහල වෙත ,දින දෙකක්ම මම ඇය බලන්න කියා ගියේ කාර්යාලයෙන් ගත් නිවාඩුත් සමඟයි. මගේ හොදම යාලුවා වන ඇන්ජලා වෙනුවෙන් කරන්න පුලුවන් යම් දෙයක් තියෙනව නම්, මම එය ඇය වෙනුවෙන් එය කල යුතු බවත්, ඇය කණගාටුවෙන් ඉන්න මොහොතකම, හොදම යාළුවෙක් විදිහට ඇය ලඟ සිටීම සුදුසු බවත් ස්ටිව්වොත් මට මතක් කලේය ....
ඇන්ජලා ඇගේ ශල්‍යකර්මය කරන්න ඇතුලත් වි සිටියේ, සිඩ්නි නුවර හොදම පෞද්ගලික රෝහලක් වන මාටර් රෝහල වෙතය.
එහි සිටින රෝගීන්ට,
උසස් තත්වයේ රැකවරණය, විශිෂ්ඨ සත්කාර සහ පුනරුත්ථාපන කටයුතු සඳහා විශිෂ්ටතා සැපයීම අතින් ඉහළ තැනක සිටින රෝහලක් බව ප්‍රසිද්ධියක් උසුලයි.
මාතෘ, විකලාංග, හෘද රෝග සහ පිළිකා සත්කාර ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි ප්‍රවීණතාවයෙන් යුත් විශිෂ්ඨ වෛද්‍යවරුන් හා කාර්ය මන්ඩලයක් සිටින, සිඩ්නි මාටර් රෝහලේ, ඉතා සැප පහසුකම් ඇති රෝහලක්ද වෙයි. ඇන්ජලාගෙ සියලු වියදම් බලා කියා ගන්නා ඔහුගෙ දෙමව්පියන්ට එහි ගාස්තු, එතරම් දෙයක් නොවිය.
මම රෝහලට ගිය දෙවන දින, පෙරදා කල ශල්‍යකර්මයෙන් පසු, දැඩිසත්කාර ඒකකයේ සිට, ඇන්ජලාව රෝහල් කාමරයකට ගෙනත් තිබුනි. එදින ස්ටිව්වෝද ඇන්ජලා බැලීමට රෝහලට ඇවිත් සිටිම මට සතුටට කාරණයක් විය.
එම රෝහල් කාමරයේ, ඇදේ වැතිර, හෙමිහිට සද්ද නොගා, එක දිගට කඳුළු වක්කරන ඇන්ජලා ගැන මගේ හිතේ ඇති වි තිබුනේ කියා ගත නොහැකි තරම් දුකකි.....
තද දුකකින්, කම්පාවකින් පෙළිමින් අඩන ඇන්ජලාගේ ඔළුව අතගාමින් ඇයව සනසන්න හදන ඇයගෙ සැමියා වන ටෙරික්ගෙ දෑසින්ද, කදුළු ගලා යන හැටි දැක මට ඇතිවුනේ ලොකු කණගාටුවකි.
මාත් මගේ ආදරවන්තයා වන ස්ටිව්නුත්, මාටර් රෝහලේ සැත්කමකට ලක්ව රෝහල් කාමරයට ගෙනත් සිටි ඇන්ජලා හා ටෙරික්ගෙ දුක බෙදා ගැනිමට, ඇන්ජලා රෝහලේ නැවති සිටි කාලයේ පුලුවන් විදිහට හැම දවසකම එහි යන්නට අමතක නොකෙලෙමු .
පසුගියදා, විශාල ශල්‍යකර්මයකට මුහුණ දුන් ඇන්ජලා තවමත් සිටින්නේ, ශරීරයේ ඇතිදැඩි වේදනාවකින් බව, බැලු බැල්මට අපට පෙනෙයි. නමුත් ඒ වේදනාව පරදා, ඇය සැරෙන් සැරේට අඩන්නේ වෙනත්ම දෙයක් වෙනුවෙන් බව අප කවුරුත් දනිමු. .....
බොහෝ දුකින් අඩන තම බිරිඳ සනසන්න හදන ටෙරික්ගේද හිතේ ඇත්තේ ඇයට ඇතිවි තිබෙන දුකම බව අපට හොදින්ම තේරේ....
" තව දවස් තුන හතරකින් ඇන්ජලාට ගෙදර යන්න පුලුවන් කියලා ඩොක්ටර් කිව්වා.. ..ඔපරේෂන් එකේ අමාරු වලට වඩා එයාට දැන් තියෙන්නේ , දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි ඇයට කරන්න සිදුවුන බරපතළ ඔපරේෂන් එක ගැන තියෙන දුකයි....."
අවුරුදු විසිඅටක් වයසැති ඇන්ජලා හා ටෙරික් ඔවුන්ගේ නීත්‍යානුකූල විවාහයත් සමග, බොහෝ ආසාවෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටියත්, ඇන්ජලාගෙ ගර්භාශයේ ඇතිවු පිලිකා රෝග තත්ත්වය නිසා ඇයට, අවුරුදු තිහේදී ඇගේ ගර්භාශය මුළු මනින්ම ඉවත් කරන්නට සිදුවි ඇත. දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි එම තරුණ යුවලට, එය දරා ගත නොහැකි කම්පනයක් වි ඇත. ඇන්ජලා සැත්කමට, මුහුණ දීමට ගිය දිනයේ පටන්, ඔවුන් දෙදෙනා මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද සිටියේ බොහෝ කළකිරිමෙන්ය.
"ස්ට්ව්, මට හරිම දුකයි ඇන්ජලාට උන දේ ගැන.....අනේ අපට එයාගෙ යාලුවො විදිහට, එයා වෙනුවෙන් කරන්න කියලා මුකුත්ම ඉතුරු වෙලා නෑනේ..... ."
"ඒක තමයි මටත් තියෙන දුක, මෙතරම් තරුණ ආදර යුවලකට උන දේ ගැන හිතා ගන්නත් බෑ......."
යුනිවර්සිටියේ එකම පන්තියක, ඉගෙන ගත් හොඳම යාළුවන් දෙදෙනෙක් උන මමත් ඇන්ජලාත් සිටියේ සහෝදරියන් දෙදෙනෙක් මෙන් බොහෝ ලංවය.... ඇන්ජලාගෙ සැමියාද අපේ පංතියේම ඉගෙන ගත් අතර, ඔස්ට්‍රේලියාවට පැමිණ වසර දෙකකට පසු මම ස්ට්ව් එක්ක ඇති කරගත් පෙම් සබඳතාවයට මට උදව් කලේද, ඇන්ජලා හා ටෙරික්ය. මට දැන් ඇන්ජලා ගැන ඇත්තේ ලොකු දුකකී. ධනවත් පවුලක එකම දරුවා උන ඇයට සිදුවුන කරදරය ගැන මමත් දැන් බොහෝ කණගාටුවෙන් පසුවෙමි .
"ඇන්ජලාව එයාගෙ අම්මලාගෙ ගෙදර එක්ක ගිහාම, අපි නිතරම එයා බලන්න එහේ යමු චතුරි ....ඇන්ජලා හරිම දුකෙන් ඉන්නෙ, එයාගෙ ඔපරේෂන් එක නිසා ...."
"ඔව්...ස්ට්ව් ඇන්ජලාගෙ අම්මා මට කෝල් කරලා කිව්වා, නිතර එයාව බලන්න එයාගෙ ගෙදරට යන්න කියලා.... ඒ වගේම එයාට ටිකක් හොදට සනීප උනාම අපි හතර දෙනාට කොහේ හරි වෙන රටකට ට්‍රිප් එකක් ගිහින් එන්න කියලත් එයාගෙ අම්මා කිව්වා. ඇන්ජලාගෙ හිත හැදෙන්නත් එක්ක එහෙම කරන්න ඕනේ චතුරි ...."
"ඒක නම් හොද අදහස, එහෙනම් අපි හතර දෙනත් එක්ක කොහේ හරි රටකට ගිහින්, නිදහසේ ඇවිදලා එමු එතකොට ...."
" එහෙනම් ඇන්ජලාට හොදටම සනීප උනාම අපි හතර දෙනා යමු , මාත් ආසයි වෙන රටක ඇවිදලා එන්න...."
ඇන්ජලාගෙ අසනීපයෙන් පසු ස්ටිව්ද සිටියෙ ටිකක් ඒ ගැන කණගාටුවෙන් මෙන්ම තැති ගැනුන ලෙසයි.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *






Comments